Wednesday, March 17, 2021

ආනන්ද මහ රහතන් වහන්සේ

සුද්ධෝදන රජතුමාගේ මාලිගයේ සිද්ධාර්ථ කුමරුවාගේ ඉපදීම නිසා සතුටින් පිරී ගියාද ඒ ලෙසම අමිතෝධන රාජ මාලිගයේත් ඒ දිනයේම පින්වත් කුමරෙක් ඉපදීම නිසා සියලු දෙනාගේම සිත් සතුටින් පිරී ගියේය. ඒ නිසාම කුමරුවාට ආනන්ද යයි නම් තැබීය. ගිහි කාමභෝගී සැපයට නොඇලුණු කුමරුවා තරුණ වයසේ අනුරුද්ද, බද්දිය, දේවදත්ත, යන් කුමරුවන් හා උපාලි කරණවෑමියාද සමග ගිහිගෙයින් නික්ම ගෞතම බුදුහිමියන් දම් සක ඇරඹි මුල් කාලයේදීම පැවිදි බිමට එක විය. පැවිදි දවසේ පටන් බුදුහිමියන්ට මහත් ගෞරවයකින් වාසය කළ ආනන්ද හිමියන් සුනක්ඛත්ත, රාධ, චුන්ද... ආදී භික්ෂුන් සමග නියත බුද්ධ උපස්ථායකයෙක් නොමැති සමයේ වරින්වර බුදුහිමියන්ට උපස්ථාන කළහ. නමුත් යම් යම් අතපසුවීම් මේ සමයේ සිදුවුනි. මේ නිසා හා නිත්‍ය උපස්ථායකයෙක් නොමැති නිසාත් සියලු දෙනාගේ පහසුව පිණිස බුදුහිමියන්, සංඟයා රැස්වූ මොහොතක නිත්‍ය උපස්ථායක පදවියට අයෙක් තෝරා පත්කර ගැනීමට සුදානම් වූ සේක. මේ නිසා විවිධ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් විය. අනඳ හිමියෝ “මා එම තනතුරට සුදුසුයි නම් භාග්‍යවතුන් වහන්සේම මාව තෝරා ගනිත්වා” යයි සිතා නිහඬවම වැඩ සිටියහ. ඒ බව නොදත් ළඟ සිටි හිමිවරුන් උන්වහන්සේට “ඔබ වහන්සේත් බුදු හිමියන්ට වරින්වර උපස්ථාන කරා නොවෙද, කිසිඳු අඩුපාඩුවක් සිදුනොවීමට වග බලා ගත්තා නොවෙද ඒ නිසා ඔබ වහන්සේත් ඉදිරිපත් වෙන්න ” යැයි ඇවිටිලි කළහ. මේ මොහොතේදී බුදු හිමියන් පැමිණ සිටි සඟයා අමතා “මහණෙනි, ආනන්දයන්ට අමුතුවෙන් ඉදිරිපත්වීමක් අවැසි නොවෙයි. පාරමී පුරාගෙනම අනඳයෝ මෙයට සුදුසු වෙයි ”යනුවෙන් වදාළ සේක.

මීට මහා කල්ප ලක්ෂයකට පෙර වැඩ සිටි පියමතුරා බුදුරජාණන් වහන්සේ දවස අනඳ හිමියෝ සුමන රාජ කුමාරයාව ඉපදී නිසි වයස් සපිරුණ කළ ප්‍රාන්ත රාජ්‍යයක රජකමට පත්විය. මේසේ දින ගෙවී යන අතරතුර මේ රාජ්‍යයට සතුරු ආක්‍රමණයක් පැමිණිය. මෙය තම පිය රජුගෙන් උදව් උපකාරයක් නොමැතිව තනිවම සංසිඳලුහ. මේ නිසා පිය මහ රජ අතිශය සතුටට පත්ව කුමරුවාට කැමති වරයක් ඉල්ලන්නැයි පැවසීය. මෙවිට ඇමතිවරුන් කුමරුවාහට වලාහක ඇතෙක්, අජානීය අශ්වයෙක් ඉල්ලන ලෙස විවිධ යෝජනා කළහ. නමුත් එක ප්‍රඥාවන්ත ඇමතියෙක් කුමරුවාට ලංව “කුමරුව, මනුෂ්‍ය ජීවිතයක් හිමිකරගත් ඔබ බුදුරජාණන් වහන්සේ නමක් වැඩසිටින කලකදී හිස් පුරුෂයෙක් ලෙස නොසිට. වහාම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමට, දන් පිදීමට වරය යොදා ගන්න” යනුවෙන් පැවසීය. වහා නුවණ මෙහෙයවමින් මේ අනගි අවස්තාව මග නොහරිමියි සිතා, පිය රජුගෙන් බුද්ධ උපස්ථානයට අවසර ඉල්ලීය. රටේ ජනතාවටද බුද්ධ උපස්ථානය කිරීමට ඉඩ නොතියා රජතුමාම එය ඉටුකරන නිසා රජු එකහෙළාම අකමැති විය. රාජ කුමරුවාගේ බලවත් ඉල්ලීම නිසාම පසුව ඒ අවස්ථාව ලබා දුන්නේය. සතුටු සිතින් කුමරුවා වහාම විහාරය වෙත ගොස් බුදුරජාණන් වහන්සේව හමුවීමට අවැසි බව විහාරවාසික ස්වාමීන් වහන්සේලාට හට දන්වා සිටීය. එවිට භික්ෂුන් වහන්සේලා විසින් එසේ සෑම වෙලාවකම බුදුහිමියන් හමුවීම කළ නොහැකි බව කීහ. එවිට කුමරුවා භික්ෂුන් වහන්සේලාගෙන් අසා සිටියේ බුදු හිමියන්ගේ ලඟින්ම සිටින හිතවත් භික්ෂුව තමාට මුනගස්වන ලෙසයි. එවිට බුදුහිමියන්ගේ අග්‍රඋපස්ථායකයන් වහන්සේ හමුවට හැකිවූ කුමරුවා තමා පැමිණි කරුණ පවසා සිටියහ. මේ කුමරුවාගේ පින්බලය  දැක මතු දියුණුව උදෙසා දායකවෙමියි සිතා උපස්ථායකයන් වහන්සේ සෘදියෙන් ජලතලයක් මවා පාමින් පොලොව යටින් ගමන්කර බුදු හිමියන්ගේ සුගන්ඳ කුටියට පැමිණ සුමන රජ කුමරුවා හමුවීමට පැමිණ ඇති බව පවසා සිටියහ. මේ මොහොතේ භාග්‍යවතුන් වහන්සේගෙන් සත් දිනක් දන්, පැන් පුදකිරීමට අවසර ගෙන දින සත අවසන බුදුහිමියන් ඇතුළු සංඟයා වහන්සේලාට වස් ආරාධනාවක් ද කර සිටියහ. මෙසේ වස් තුන්මසද බුද්ධ ප්‍රමුක සංඟ රත්නයට ඇපඋපස්ථාන කර, එදා ආරාමයේදී දැක සිත පහදවාගත් අග්‍රඋපස්ථායකයන් වහන්සේගේ තේජස්, බුදුහිමිට ඇති වල්ලභ භාවය මෙනෙහි කකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද නමස්කාර කරමින් “හිමියනි, මා මේ කළා වූ අපරිමාණ පුණ්‍යස්කන්ධයෙන් මෙලොව, පරලොව සැපතක් මොහොතකුඳු නොපතමි. ඔබ වහන්සේ වැනි සම්මා සම්බුදු හිමියන් වහන්සේ නමක් ලොව පහළ වන සමයේ උන්වහන්සේගේ අග්‍රඋපස්ථායකයන් වීමට ප්‍රාර්ථනා කරමි ” කියා පැවසීය. බුදුරජාණන් වහන්සේ මේ කුමරුවාගේ මතු සසර දෙස බලා ඒ පැතුම එලෙසින්ම අනාගත කළ ලොව පහළවන ගෞතම බුදුහිමියන් ඉදිරියේ සමෘධ වනවා යනුවෙන් විවරණ ලබා දුන් සේක.

මෙසේ පාරමී පුරණය කර පැමිණි අනඳ හිමියෝ අග්‍රඋපස්ථායකතත්වයට පත්වීමට පෙර බුදුහිමි දෙසට දෑඟිලි බැඳ නමස්කාර කරමින් “හිමියනි, ඔබ වහන්සේට මම දිවි දෙවෙනි කොට උපස්ථාන කරමි. ඊට මා හට වර අටක් ලබා දෙන්නැයි ” අයැද සිටියහ. එවිට බුදුන් වහන්සේ ඒ වර අට ඉදිරිපත් කරන්නැයි වදාළා සිටියහ. ඒ වර අට ප්‍රතික්ෂේප කිරීම් හතරක් ලෙසිනුත්, අනුමත කිරීම් හතරක් ලෙසිනුත් දැක්වූ හ. ඒවා නම් -

ප්‍රතික්ෂේප කිරීම් වර හතර - 1 ස්වාමීණි, ඔබ වහන්සේට ලැබෙන චීවර මට නොදෙන සේක්වා. 2 ස්වාමීණි, ඔබ වහන්සේට ආරාධනා කරන දානයන්ට මා නොගෙනියන සේක්වා. 3 ස්වාමීණි, ඔබ වහන්සේට ලැබෙන පිණ්ඩපාතය මට නොදෙන සේක්වා. 4 ස්වාමීණි, ඔබ වහන්සේගේ සුගන්ඳ කුටියේ මට විසීමට නොදෙන සේක්වා.

අනුමත කිරීම් වර හතර - 1 ස්වාමීණි, මට හිමිවූ චීවරයන් ඔබ වහන්සේ පිළිගන්නා සේක්වා. 2 ස්වාමීණි, මට ආරාධනා කරන දානයන්ට ඔබ වහන්සේද වඩින සේක්වා. 3 ස්වාමීණි, දුර සිට බුදුහිමියන් වහන්සේ හමුවීමට පැමිණෙන අය හට ඔබවහන්සේව මුණගැස්වීමට අවසර දෙන සේක්වා. 4 ස්වාමීණි, මා නැති තැන වදාළ ධර්මය මා හට ඔබ වහන්සේ නැවත වධාරණ සේක්වා.

මේ කරුණු දෙස බැලීමේදී පෙනී යන්නේ උන්වහන්සේගේ මහා ප්‍රඥාවත්, තමා පත්වන තනතුර ගැන ඇති මනා අවබෝධයත්ය. මේ සියලු වරයන් අනුමත කළ බුදුරජාණන් වහන්සේ හට අනඳ හිමියෝ මහා පරිනිර්වාණ මංචකය දක්වාම උන්වහන්සේට පුරා විසිපස් වසරක් මහත් ගෞරවයෙන්, අනලස්ව උවැටන් කළහ. උන්වහන්සේ පෙර සසරේද මෙලෙසම ගෞතම බෝසතාණන්ට පෙරුම්දම් පුරණ කළ එලෙසම උපස්ථාන කළහ. ආරක්ෂාව සොයා බැලුහ. ඒ බව ජාතක කතා බොහොමයක සඳහන්ව ඇත. මෙලෙස මහා කැපවීමකින් උවැටන් කරේ තම ජීවිතද ගැන මොසිතමිනි. එදා බුදුන් වෙත මත්වී එන නාළාගිරි හස්තියා පෙරමගට බුදුරජාණන් පසුකර සිට ගත්තේ බුද්ධ බලය නොදැන නොව. ඒ උපස්ථායක පදවිය මනාවට ඉටු කිරීමටය. බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කිරීමටය. නමුත් බුදුරජාණන් වහන්සේ මහා පොලොව කුඹල් සකක් කරකවනා පරිද්දෙන් කරකවා අනඳ හිමියෝ නැවතත් පිටුපසට කර මහා කරුණා සාගරයෙන් පෙරමග පිළිගෙන හස්තියා දමනය කළ සේක. ඒ අවස්ථාවේදී පමණක් නොව දෙව්දත් තෙරුන්ගේ අකටයුතුකම් වැඩි වෙද්දීද රාත්‍රියේ බුදු කුටිය අවට සංඟයා සමග රැස්ව ධර්මය සජ්ජායනා කරමින් ආරක්ෂාවට කටයුතු කළහ. නමුත් ඒ සියලු දෙනා අස්වසා බුදුසිරුරට විපතක් කිරීමට කවරෙකුටවත් නොහැකි බව පෙන්වා බුදුහිමියන් එම කටයුත්තෙන් භික්ෂුන් වහන්සේලා මුදවා ලූ සේක. එයින්ද නොනැවතී අනඳ හිමියෝ තථාගතයන් වහන්සේට පැන් පහසුවීමට හෝ වෙනයම් කරුණකට හෝ අවදි වුවහොත් මා උපස්ථායකයන් වහන්සේ ලෙස නිදා සිටීම නොහොඹිනා යයි සිතා රාත්‍රියට කිහිප වරක් බුදු හිමියන්ගේ කුටිය වටා හුළු අත්තක් දල්වාගෙන පැදකුණු කිරීම සිරිතක් කර ගෙන සිටියහ. මෙසේ මහත් ගෞරවයෙන් බුද්ධ උපස්ථානය කළ ආනන්ද හිමියන්ගේ මහා පුණ්‍ය භාවය නිසාම මේ බුද්ධ ශාසනය තුළ අග්‍ර උපස්ථායක තනතුරට අමතරව තවත් අග්‍රස්ථාන සතරක් ලැබුහ. ඒවා නම් -

අග්‍රස්ථාන පහ - 1 බහුශ්‍රැතියන් අතර අග්‍ර.  2 සිහියෙන් වාසය කරන්නන් අතර අග්‍ර.  (සතිමන්තා) 3 මහා වැටහෙන්නන් අතර අග්‍ර (ගතිමන්තා).  4 වීර්යයෙන් ධර්මයේ වාසය කරන්නන් අතර අග්‍ර (ධුතිමන්තා).  5 බුද්ධ උපස්ථායකයන් අතර අග්‍ර (අග්‍රඋපස්ථායක)

මේ අග තනතුරු වලින් පෙනී යන්නේ උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනය තුළ කෙතරම් වැදගත් ස්ථානයක් ඉසිලුවාද යන්නය. උන්වහන්සේගෙන් තොරව භික්ෂු ශාසනය තියා භික්ෂුණි ශාසනය ගැනවත් කතා කළ නොකහ. මන්ද මහා ප්‍රජාපති ගෝතමිය කිහිප විටක් පැවිදි වන්නට සහ භික්ෂුනී ශාසනය ඇති කරන්නට අවසර පැතුවද බුදුන් වහන්සේ නිහඬව සිටි කළ දී ආනන්ද හිමියන් මැදිහත්ව කරුණු කාරණා භාග්‍යවතුන් වහන්සේ වෙත දක්වමින් කාන්තා පැවිද්ද ලබා ගැනීමට උරදුන්හ. ඒ වගේම උන්වහන්සේ අසූ හාරදහසක් වූ ශ්‍රී සත් ධර්මස්කන්ධයම ධරාගෙන වාසය කළ නිසා ශාසනයේ චිරස්ථිතියට හා පර මතවාද බිඳ සත් ධර්මය රැක ගැනීමටත් හැකියාව ලැබුණි. නමුත් උන්වහන්සේ ප්‍රථම සංඟායානාව පැවැත්වීමට පෙර දින දක්වාම අරිහත්වයට පැමිණ නොතිබුණ නිසා පෙර දින වැඩි වැඩියෙන් වීර්ය දරා භාවනා කොට කෙටි විවේකයකට යහන මත සැතපෙන්නට වාඩිවී එක් පාදයක් ගෙන අනෙක් පාදය ඔසවනවාත් සමගම නිර්වාණාබෝධයට පත්විය. මෙලෙස සතර ඉරියව්වෙන්ම තොරව මේ බුද්ධ ශාසනයේ අරිහත්වයට පත් එකම රහතන් වහන්සේ අනඳ හිමි විය. මෙසේ අරිහත්වයට පත්වී ප්‍රථම ධර්ම සංගීතය පැවති ස්ථානයට යතුරු සිදුරින් ඇතුළු තම අරිහත්වය ගැන ඇති සැක සංකා  සියලු දෙනා ඉදිරියේ දුරු කළහ. ඒ වාගේම උන්වහන්සේ තමා බුදුරජාණන් වහන්සේගෙන් අසාගත් දහම සංඟායානාව ඉදිරියේ දැක්වූයේ මේ තමාගේ ධර්මයක් නොව ශාස්තෲන් වන බුදුහිමියන්ගේම ධර්මය බව පසක් කරමිනි. “ ඒවං මේ සුතං ඒකං සමයං භගවා....” ලෙස මා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ අසන ලදී ලෙස දක්වමින් මේ ධර්මය තමාගේ නොව භාග්‍යවතුන් වහන්සේගේම බව උන්වහන්සේ නිරහංකාරව පෙන්වූහ. මේසා විසාල ධර්මස්කන්ධයක් දරාගෙන සිටීමට හැකිවූ අයුරු උන්වහන්සේ පසු කලෙක තේරී ගාතාවක සඳහන් කර ඇත. ඒ මෙසේ ය. “ධර්මය නිතරම මෙනෙහි කරමින්, සජ්ජායනා කරමින්, ධර්මය අන් අයට කියා දෙමින්, රහතන් වහන්සේලා සමග ධර්ම කතාවේ දෙමි හා බුදුහිමියන් දෙසූ ධර්මය උන්වහන්සේගෙන් නැවත අසා ගනිමින්, බුදුහිමියන් වදාළ අසූ දෙදහසක්වූ ධර්මස්කන්ධයත්, උන්වහන්සේලාගේ ශ්‍රාවක රත්නය වන මහරහතන් වහන්සේලා වදාළ දෙදහසක් වූ ධර්මස්කන්ධයත් වන, අසූහාරදහසක් වූ මුළු ධර්මස්කන්ධය මම ධරාගතිමි ”  යනුවෙන් වදාළහ. (ගණිතමය ක්‍රමයකට පද වශයෙන්  බෙදා මේ සංඛ්‍යාව ලබාගෙන ඇත).

දිනක් මගද කෙත්යාය පෙන්වමින් “මාගේ ශ්‍රාවකයාගේ චීවරය මෙසේ වූවානම් සුදුසුයි ” යනුවෙන් බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන්ට වදාළහ. සිවුරු පිළිසකර කරන විට මෙය අවධානයට ගත අනඳ හිමියෝ කුඹුරේ ඇති නියර සේ කඩ කපා, උඩ දාරයත්, යට අවසාන දාරයත් නොගෙවෙන සේ වාටි අල්ලා, සිවුර පොරවා ගත විට සුලඟේ ගසා නොයනසේ ගැට ගැසීමට පටි දෙකක්ද එකතුකර පඬු පොඟවමින් සිටිද්දී ඉතා මනාව සකසා ඇති සිවුරු දැකගත් බුදු හිමියන්ඒ මොහොතේදී අනඳ තෙරුන්ගේ ගුණ වර්ණනා කළ සේක. තවත් අවස්තාවකදී  සෑම භ්‍රක්මචාරී ජීවිතයක්ම ඵල සහිතයිදැයි ” බුදුරජුන් ඇසූ පැනයට එක එල්ලේම පිළිතුරු දීමට නොහැකි බව පවසා විභජනය කර පිළිතුරු ලබාදුන්හ. එවිටද උන්වහන්සේ බුදුරදුන්ගෙන් පැසසුම් ලැබූහ. මේ ඇතුළු බොහෝ අවස්ථාවල අනඳ හිමියන්ව බුදුරජාණන් වහන්සේ ඇතුළු සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලාගේ අගය කිරීම්, ගුණ වර්ණනාවන්ට ලක්විය. නමුත් උන්වහන්සේ ඒ කිසිවකින් උද්දාමයට පත් නොවීය.

ඒ වාගේම උන්වහන්සේගේ නිකෙළෙස්ව වාසය කළ බව පෙනෙන තව අවස්ථාවක් නම් බුද්ධ උපස්ථායක සමයේ උන්වහන්සේ අරිහත් භාවයට පත් නොවුනද “මම බුදුරජාණන් වහන්සේට පුරා විසිපස් වසරක් උපස්ථාන කර නමුත් ඇතිවූ රාග සිතක් නොදනිමි, ඇතිවූ ද්වේශ සිතක් නොදනිමි...” යනුවෙන් අරිහත්වූ පසුව තේරී ගාථාවක සඳහන්ව ඇත. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හැර පරිනිර්වාණයට තීරණය කළ බව දැනගත් මොහොතේ පටන් මවක් අහිමි වූ දරුවකු පරිද්දෙන් සෝක වෙමින්, බුදුහිමියන්ගේ පරිනිර්වාණ මංචකයේදී  වාවනු බැරිව උන්වහන්සේ හඬා වැටුනහ. එවිට බුදුරජාණන් වහන්සේ මේ සසරේ ඇති අනිත්‍ය ස්වභාවය ගැන පහදමින් කරුණු වදාරමින් අනඳ හිමියන්ව අස්වසාලූ සේක. මෙසේ පැමිණි ගමනේ ලඟින්ම ඇසුරු කළ රහතන් වහන්සේලා බොහෝ දෙනා සහ නිතරම තමා උවැටන් කළ බුදුරජාණන් වහන්සේද පිරිනිවන් පා තිබූ නිසා උන්වහන්සේ අවසාන කාලය තුළ තවතවත් ධර්මයටම ලංව කල් ගතකර බව උන්වහන්සේගේම තවත් තේරී ගාථාවක සඳහන්වේ.

මෙසේ බුදුරජාණන් වහන්සේට හා බුද්ධ සාසනයට මහත් කැපවීමෙන් කටයුතු කළ අනඳ මහ රහතන් වහන්සේ පුරා එකසීය විසි වසරක් ආයු වළඳා තම පිරිනිවීමට කාලය පැමිණ ඇති බව අන් අයට දැනගන්නට සැලැස්වූහ. මෙහිදී මහත් ගෞරවයෙන් උන්වහන්සේට සත්කාර කළ රෝහිණී ගඟ දෙපස පිරිස, දෙපිලකට බෙදී අනඳ හිමියන්ගෙන් “මෙහි පිරිනිවන් පාන්න, මෙහි වැඩම කරන්නැයි...” යනුවෙන් ඇවිටිලි කළහ. මේ නිසා උන්වහන්සේ ගම් දෙකටම මැදිව ඇති රෝහිණී  ගංඟා මධ්‍යයේ සෘදි පාමින් අහසට පැන දෙපිරිසටම ධර්මය දේශණා කර සෘධි පාමින් පිරිනිවන් පෑ සේක. මේ පිරිනිවීමත් සමග ධර්මකාමී පිරිස “අපට බුදුරජාණන් වහන්සේගෙන් පසුව සිටියේ ආනන්ද හිමියන් පමණයි. දැන් උන්වහන්සේත් අපට නැතිවුනේය...” යැයි කියා සෝකයට පත්වූහ.

0 comments:

Post a Comment