භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Thursday, January 13, 2022

සාපරාධී හැඟීම් / අසීමිත ආදරය


 

සාපරාධී හැඟීම් සදහටම අත්හැරීම

 

සාපරාධි හැඟීමෙන් ඉවත්ව යන මේ ගමනේ වඩාත් ම අසීරු අවස්ථාව, අප සමාව ලැබිය යුතු බව අපටම ඒත්තු ගැන්වීමය. මෙතෙක් පැවසූ කතන්දර අපට සහාය වීම සඳහා වන අතර බන්ධනාගාරයෙන් පිටතට අවසන් පියවර තැබීම තමන්ම කළ යුතුය.

මාගේ මිතුරෙක් ළමා කාලයේ දී සිය හොඳම මිතුරා සමග පාලමක් උඩ සෙල්ලම් කරමින් සිටියේය. ඔහු විහිළුවට මෙන් සිය මිතුරා  වතුරට තල්ලු කළ විට දියේ ගිලී මළේය.

වසර ගණනාවක් යන තුර මගේ මිතුරා ජීවත් වූයේ තමන් අතින් වූ වරද පිළිබඳ අතිශය වේදනාත්මක හැඟීමකින් යුතුවය. දියේ ගිලී මළ මිතුරාගේ දෙමාපියන් ජීවත් වූයේ යාබද නිවසේය. ඔවුන්ට සිය එකම පුතා අහිමි වූයේ තමන් නිසා බව මගේ මිතුරා දැන සිටියේය. තමන් තවදුරටත් ඒ හැඟීමෙන් වේදනා විඳීමට අවශ්‍ය නැති බව එක් උදෑසනක ඔහුට වැටහිණි. තමන්ගේ ම බන්ධනාගාරයෙන් පිටතට ඔහු පිය නැගීය.

 

අසීමිත ආදරය

 


මගේ වයස අවුරුදු දහතුනක් වූ විට මගේ පියා මා දෙසට හැරී, මගේ ජීවිතය වෙනස් කිරීමට හේතු වූ වචන කීපයක් පැවසීය. ඒ අවස්ථාවේ ඔහුගේ අබලන් කාරයෙන් ලන්ඩන් උප නගරයක් මැදින් අපි දෙදෙනා ගමන් කරමින් සිටියෙමු.

“පුතා, ඔයා ජීවිත කාලය තුළ කුමන කාර්යයක් කළත් මේක මතක තියා ගන්න. මගේ නිවසෙහි දොර හැමදාම ඔබට විවෘතයි.”

නවයොවුන් වියේ සිටි මට එහි අදහස හරි හැටි නොවැටහුණත් එය වැදගත් අදහසක් බව දැනුණු බැවින් මතක තබා ගතිමි. ඊට තෙවසරකට පසු මගේ පියා මියගියේය.

මා ඊසාන දිග තායිලන්තයේ දී පැවිදි වූ විට, මගේ පියා පැවසූ වචන යළිත් මෙනෙහි කලෙමි. එකල අප ජීවත් වූයේ ලන්ඩන් නුවර දිළිඳු පෙදෙසක රජයේ සහනාධාරවලින් ඉදිකරන ලද කුඩා නිවසකය. එහෙත් මගේ පියා සැබවින්ම අදහස් කළේ ඒ නිවස නොවූ බව මට වැටහිණි. රෙදි කැබැල්ලක දවටන ලද මැණිකක් මෙන්, ඔහුගේ වචනවල රැඳී තිබුණේ ආදරය පිළිබඳ ඉතාමත් පැහැදිලි ප්‍රකාශයකි.

“පුතා, ඔයා ජීවිත කාලය කුමන කාර්යයක් කලත් මගේ හදවත හැමදාම ඔබට විවෘතයි.”

මගේ පියා මට ප්‍රධානය කළේ කොන්දේසි විරහිත අසීමිත ආදරයකි. මා ඔහුගේ පුතා වීම ඊට ප්‍රමාණවත් විය.

එවැනි වචන තවත් කෙනෙකුට පැවසීමට කොන්දේසි විරහිතව ඔබේ හදවත විවෘත කිරිමට ධෛර්යයත්, බුද්ධියත් අවශ්‍යය. එසේ කළොත් ඔවුන් අයුතු වාසි ලබා ගනිතැයි ඇතැම් අය බිය වීමට ඉඩ තිබේ. එබඳු ආදරයක් තවත් අයෙකුගෙන් ඔබට පිරිනැමෙන විට එය ඉතා අගනා තිළිණයක් වැනිය. ඔබ එය කෙනෙකුට අවංකව මුළු හදින් ඒ වචන පැවසුවහොත්, ඔබේ ආදරය පිළිගැනීමට ඔහු හෝ ඇය දෑත් දිගු කරනු ඇත.