භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Thursday, December 26, 2024

රාහුල මුනිඳුන්ගේ විස්තරය


පින්වතුනි අපේ ඇස් කොච්චර කිලිටි උනාද නරක දේවල් දැකලා. අපේ කතාවල් කොච්චර කිලිටි උනාද නරක දේවල් කියලා. හිත කොච්චර කිලිටි උනාද නරක දේවල් හිතිලා. අපේ ශරීරය කොච්චර කිලිටි උනාද නරක දේවල් කරලා. මේ මුනිවරු ළඟ අපි කවුද. එකයි මන් මේ අයට කියන්නේ නුඹලා මෙහෙ කරන්න. වත කරන්න කියලා. ඔය කිලිටි වෙච්ච හිත් වල කිලිටි හරින්න, ඔය කිලිටි වෙච්ච ඇස් දෙකේ පව් ගෙවන්න. නරක දේවල් කියලා කිලිටි වෙච්ච කටවල් වල පව් ගෙවෙන්න, මේ අතපය වල පව් ගෙවෙන්න මේ රාහුල මුනිඳුගේ සෑයට ගඩොල් අල්ලන්න. මේ මුනිඳුගේ නේත්‍රා දෙකෙන් නරක දේවල් දැකලා නෑ. ඒ හිත නරක දේවල් හිතලා නෑ. සිහිනෙකින්වත් කිලිටි වෙලා නෑ. මේ මුනිඳුගේ නේත්‍රා දෙක කාමයෙන් කිලිටි වෙලා නෑ. ඔය මුව මඩලෙන් කුනුහරුපයක් කියලා නෑ. ඔය හිතින් කාමය ගැන හිතලා නෑ. ඔය මුනිඳුගේ මුළු ජීවිතයම පවිත්‍රයි. දම්ම්බමල්ල පුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මෙවුන්දම් සෙවන කියන එක හීනෙන්වත් මං දැකල නෑ’ කියලා. මං අවුරුදු හතෙන් රහත් වුනේ. කොච්චර පවිත්‍ර මුනිවරු වැඩ සිටියද සඟ රුවන තුල. “සංඝං සරණං ගච්චාමි”. ඒ සඟ රුවන මම සරණ යමි.

තමන්ගේ රාගය තමන්ට පෙනෙන්න ඕන. පින්වතුනි මේ මුනිවරුන්ගේ පවිත්‍ර ජීවිතය පෙනෙන්න මහා අත්‍යන්ත බ්‍රහ්මචාරී. අවුරුදු හත වෙනකොට බඹසරට හානියක් වෙනවද?. අවුරුදු හතේදී බඹසරට හානියක් වෙන්නෙ නෑ. අවුරුදු හතෙන් මහන වුනාම එතන ඉඳලම තියෙන්නේ බ්‍රහ්මචාරී ජීවිතේ නම් මේ මුනිඳුන්ගේ මුළු ජීවිතයම බ්‍රහ්මචාරී. අත්‍යන්ත බ්‍රහ්මචාරී. අංශුවකින්වත් කිලිටි නොවිච්ච බඹසරක් අපගේ රාහුල මුනිඳුන්ට තියෙනවා. අපේ මුනිඳුට මල් සෑයක් හැදුවා. ගඩොලින් චෛත්‍යක් හදනවා වගේ තමයි මල් වලින් චෛත්‍යක් හදපු එකත්. ඒ මුනිඳුට සෑයක් හැදුවා. කවදා හරි අපේ හිත විරාගී වුනොත් එදාට අපිට පෙනේවි මේ මුනිඳුන්ට මලක් පුදපු එකත් මෙයට උපකාරයක් උනා කියලා. ලෝකයේ කොතැනක හරි කෙනෙක් බඹසරට ආසයි නම්, කාමය දුරු කරන්න ආසයි නම්, රාගයෙන් කිලිටි වෙච්ච හිත පිරිසිඳු කරගන්න ආසයි නම් ඔයාල රාහුල මුනිඳුන්ගේ සෑය අමතක කරන්න එපා. මේ මුනිඳු බුද්ධ පුත්‍රයෙක්. බෝධිසත්වයෙකුට දාව ඉපදිච්ච පුත්‍රයෙක්. යශෝධරා වගේ පවිත්‍ර අම්මා කෙනෙක්ගෙ රස්නෙට හැදිච්ච පුත්‍රයෙක්. පුදුම සහගතයි. මේ උත්තමය පැවිදි වෙලා හිටියෙ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළඟ. ලොකු ස්වාමීන් වහන්සේ වගේ මේ යුගයේ පහල වෙච්ච උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඈතක වැඩ ඉඳලත් අපි මෙහෙම සැනසීමක් ලබනවා නම් සංඝයා අතර අග්‍ර ප්‍රඥාවන්තයන් අතර අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හෙවනේ ඉන්න කෙනා කොහොම සැනසීමක් ලබයිද. අපේ රාහුල මුනිඳුන්ගේ උපාද්‍යයන් වහන්සේ, ආචාරීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ. ඉර, හඳ අතින් අල්ල්ලන මේ පොලොව අනික් පැත්ත පෙරලන්න පුළුවන් සෘධිමත් මුගලන් ස්වාමීන් වහන්සේ හෙවණේ ඉන්න මෙච්චර පවිත්‍ර රාහුල මුනිඳු කොහොම සැනසිල්ලක් ලබන්න ඇතිද. කාශ්‍යප මහරහතන් වහන්සේ උදේ හවස වඳින, පුදන රාහුල මුනිඳු කොහොම සැනසිල්ලක් ලබන්න ඇත්ද. ආනන්ද මුනිඳුන් බණ කියන හැටි අහගෙන ඉන්න රාහුල මුනිඳු කොහොම සැනසිල්ලක් ලබන්න ඇතිද. මේ රාහුල මුනිඳුන් පින කියන ඒක බුක්ති වින්දා. සැපය කියන ඒක භුක්ති වින්දා හෙවනැල්ලේ ඉඳල. 'සුඛා තේ සමාන ඡායා' බුදුරජාණන්වහන්සෙගේ හෙවනැල්ලේ ඉඳල සැපය විඳපු මුනිවරයෙක්. මේ සුළු පටු රහතන් වහන්සේ නමක් නෙවෙයි. අත්‍යන්ත පාරිශුද්ධ රන්වන් සිරුරක් තියෙන මුනිවරයෙක්. බුදුරජාණන්වහන්සෙත් එක්ක පිටිපස්සෙන් වඩින කොට දෙවිවරු මල් ඉහිනව කියනවා. වැඳගත්තු ගමන් කියනවා. කඳුළු සලනවා කියනවා. බුද්ධ පුත්‍රයන් වහන්සේ බුදු පියාණන් පිටුපසින් වඩින කොට.

රාහුල මහ සෑය හදන්න එකතුවෙන්නේ මේ ලෝකයේ කොතැනක හරි ඉඳල මම කියන්නේ සිල් රකින්න ආසයි. ශික්ෂාකාමී බව කියලා කියන්නේ සිල් රකින්න ගොඩක් ආසයි. ඒ නිසා හැමවෙලාවෙම විමසනවා මේකෙන් මගේ සීලයට හානියක් වෙයිද නැද්ද කියලා. ඒ විදිහට සිල් රැකපු කෙනෙක් මේ බුද්ධ සාසනයේ වෙන නෑ. ඒකයි ශික්ෂාකාමී කියන්නෙ. ඒ කියන්නෙ හික්මීමට කැමතියි. ගොඩක් තමන් දමනය වෙන්න කැමතියි. අපිට දමනය වෙන්න බැරි වෙලා. සිල් පද ගැන දැන දැනත් සිල් පද ඉක්මවා යනවා. අපිට අපිවම පාලනය කරගන්න බැරි වෙලා. අපි මේ රාහුල මුනිඳුන් ළඟ දූවිල්ලක් වගේ වැතිරිලා පින් කරගන්න ඕන. මේ සුළු පටු මුනිවරයෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව ස්වාමීනි මට පිරිනිවන් පාන්න කාලයයි. තාත්ත කෙනෙක්ගෙන් පිරිනිවන් පාන්න පුතෙක් අහනවා. බලන්න විරාගී බව. රාහුල ඔබ කොහෙද පිරිනිවන් පාන්නෙ. ස්වාමීනි දෙවියන් ගොඩාක් ඉල්ලා හිටිනව දිව්‍යලෝකේ පිරිනිවන් පාන්න කියලා.

මේ රහතන් වහන්සේගේ ජීවිතේ ආශ්චර්ය තමයි මනුස්සයෙකුට දෙවියන් අතර මැරෙන්න බෑ. ඒ කියන්නේ මනුස්සයෙකුට දිව්‍යලෝකේ අවසන් හුස්ම හෙලන්න බෑ. මනුස්සයෙකුට මේ සරීරයෙන් දිව්‍ය ලෝකේ ගිය හැකියි. ඒත් අවසන් හුස්ම හෙලන්න මනුස්ස ලෝකෙට එන්න ඕන. මහා මන්ධාතු රජ්ජුරුවෝ ආදී රජ්ජුරුවෝ පවා දිව්‍යලෝක වල ඉඳල මැරෙන්න මනුස්ස ලෝකෙට ආව. ඒ ලෝක ධර්මතාවය වෙනස් උනා. මේ මහ රහතන් වහන්සේ දෙව් විමනේ දෙවියන් හඬද්දී, වැලපෙද්දී රන් කඳක් සේ විමනේ සැතපිලා එහෙමම පිරිනිවන් පෑවා. විමනෙන් විමන කම්පා වෙලා පෘතුවිය තෙක් සෙලවී ගියා. ඒ ශ්‍රී දේහය ඉබේම දැවී ගිහින් ශ්‍රීමත් කොඳමල් පැහැයෙන් ධාතු ඉතුරු උනා. දෙව් විමනේ අපගේ මහා රාහුල මුනිඳුන්ට සුපහන් සිත් ඇති ඒ පිහිට ලබපු දෙවිවරු දිවි දෙවැනි කොට ආරක්ෂා කරනමින් වඳිනවා දෙව් විමනේ රාහුල මුනිඳුන්ගේ ධාතුන් වහන්සේලාට. ඉතින් මනුස්ස ලෝකේ අපිත් ඒ උතුම් ශ්‍රී නාමයට ඇල්පිටිය මහමෙව්නා භාවනා අසපුවේ අද මුල් ගල තිබ්බ. සොඳුරු වෙහෙරක් හැදේවි. දෙවියන්ටත් පින් කරගන්න අවස්තාවක්. දෙවි වරුන්ටත් ධාතූන් වහන්සේලා ලබා දෙන්න අවස්තාවක්. මේ වෙහෙරට දරදිය අදින්න අවස්තාවක්. නාගයන්, යකුන්, රකුසන් ආදී අමනුශ්‍යන්ට පවා පින් කරගන්න අවස්තාවක්.

නාග ලෝකේ දී තමයි මේ මුනිඳුන් පලවෙනි විවරණ ගත්තේ. ඒ නිසා නාග ලෝකේ අයටත් නාග ලෝකෙන් අත්මිදෙන්න සුදුසු අවස්තාවක් මේ මුනිවරයාගේ සෑයට මෙහෙ කිරීම. දෙවියන්ට, මිනිසුන්ට කාටත් ශික්ෂා කාමී බව පිණිස, ඉවසීම පිණිස, අවවාදක්ෂම පිණිස, ධරාගනීම පිණිස, ලද සිව්පසයෙන් සතුටු වීම පිණිස මුනිවරුන්ගේ සෙවනේ සැනසීම පිණිස, බුදුරජාණන් වහන්සේගේ සෙවනේ සැනසිල්ල ලැබීම පිණිස උපකාරී වන පිනක් මේ වෙහෙර තැනීම.

ඒ නිසා අද මෙතක් වෙලා ධර්මය අහපු පින, රාහුල මුනිඳුගේ ජීවිත කතාව ඇසූ පින, මලින් මේ සෑ රජුන් නිර්මාණය කරපු පින, මල් සෑයක් සැදුව පින, සොඳුරු රාහුල මුනිදුන්ගේ සිතුවමක් ඇඳපු පින. (ඇත්තටම මේ සිතුවම වගේ කෝටි ගුණයක් ලස්සනයි ඇත්තම රාහුල ස්වාමීන් වහන්සේ). රාහුල මුනිඳුන් ගැන සුපහන් සිත් ඇති දෙවිවරු, තම විමනේ රාහුල මුනිඳුන්ගේ ධාතු වලට වඳින දෙවිවරු, මිනිස්සු ගැන අනුකම්පාවෙන් රාහුල මුනිඳුට වැඳලා පින් කරගන්න මේ මිනිස්සු ගැන අනුකම්පා කරන්න, දයාව ඇති කරගන්න, දේව ගතියෙන් ඔබ වහන්සේලා බැබලෙන්න, මේ උතුම් සෑයට දෙවි වරුන්ගෙන් රාහුල මුනිඳුන්ගේ ධාතුන් වහන්සේලා ලැබේවා. දෙව් විමනේ පිදුම් ලැබූ මේ ධාතුන් මේ සෑයේ නිදන් වේවා.

ඉතින් ඒ සියලු දෙවියන්ට, සියලු බ්‍රහ්ම රාජයන්ට මේ පින අනුමෝදන් වේවා. ඒ වගේම තුසිත තව්තිසා වැසි දෙවිවරුන්ට, පිනැති සක් දෙවිඳුන්ට, ඒ වගේම විශේෂයෙන් දුටුගැමුණු දිව්‍යරාජයා, සද්ධාතිස්ස දිව්‍යරාජයා, නන්දිමිත්‍ර, වේළුසුමන ආදී දෙවි වරුන් ඒ වගේම තිස්තුන් කෝටියක් දෙවිවරුන්, චන්දිම දිව්‍යපුත්‍රයා ඇතුළු දෙවිවරු රාහුල මුනිඳු කෙරේ පහන් සිත් ඇති දෙවිවරු, ධාතුන් වහන්සේලා වඳින පුදන දෙවිවරු, විස්කම් දිව්‍ය පුත්‍රයා, ඒ වගේම දතරාෂ්ඨ, විරුඩ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු ආලවක සෙන්පතිඳුන්, සීවක සෙන්පතිඳුන් ඇතුළු දෙවිවරු, ඒ වගේම සුමන සමන් දෙවියන්, ශ්‍රී කතරගම කන්ධ කුමාර දෙවියන්, ශ්‍රී විෂ්ණු මහා දෙවියන්, දැඩිමුණ්ඩ, අයියනායක, ගම්බාර, පත්තිනි දෙවියන්, නා ලොව නා පිරිස, ගස් ගල් වන පර්වත ජාල තටාක භූමි ආශ්‍රිත දෙවි දේවතාවෝ සියලු දෙනා මේ පින් අනුමෝදන් වේවා. රාහුල මුනිඳුට වෙහෙරක් කරන්න එකතු වේවා. සැපයට පත් වේවා. බුදු සසුනත් මේ සියලු දෙනාත් ආරක්ෂා කරත්වා.

තෙරුවන් සරණයි 🙏

Monday, November 11, 2024

හිත සතුටින් තියාගන්න උපක්‍රමයක්

 හැම තිස්සේම හිත සතුටින් තියාගන්න උපක්‍රමයක් කියන්න පුළුවන්ද? අපිට එහෙම ප්‍රශ්නයක් යොමු කරලා තිබුනා.

හැමතිස්සේම සතුටින් ඉන්න කවුද ආස නැත්තේ? මේ කියාදෙන එකම එක ක්‍රමය ඔබට ගොඩක් සතුටින් ඉන්න උදව් කරාවි. මේ ක්‍රමයට විතරක් නෙමෙයි ජීවිතයේ සතුටින් ඉන්න පුළුවන්. නමුත් මේ කියා දෙන ක්‍රමය ඔබට ගොඩාක් හිත සතුටින් පුරවාගෙන සන්තෝසෙන් ජීවිතය ගතකරන උදව් කරයි. ඒ තමයි අනිත් අය දිහා බලල ඔබ ගොඩක් සතුටු වෙන්න. තව කෙනෙකුගේ ලස්සන දකිනකොට සතුටු වෙන්න. තව කෙනෙකුගේ දක්ෂතා දකිනකොට ඔබ සතුටු වෙන්න. තව කෙනෙක් යම් පමණකට දියුණුවෙලා සැප සම්පත් සහිත ඉන්නවා වගේ පේනව නම්, එයාගේ ජීවිතයේ සතුටින් යනවා කියල පේනව නම් ඔබ හදවතින්ම සතුටු වෙන්න. ඔබට වඩා දක්ෂයෙක් ඉන්න පුළුවන් ඉගෙන ගන්න තැනක, ආයතනයක සමහරවිට ඔබේ පවුල් සංස්ථාවේ ඔබට වඩා දක්ෂයෙක්, ඔබට වඩා හැකියාවල් තියෙන කෙනෙක් අනිත් අය අතරට ගියාට පස්සේ  ඔබට වඩා පිළිගැනීම් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ඔබ හදවතින් සතුටු වෙන්න. අනේ මේ අය තමන් ලැබූ සැප සම්පත් කිසිවකින් පිරිහෙන්න නම් එපා කියන ලස්සන හිත ඔබ ඇති කරගන්න. අන්න ඒ ලස්සන හිත ඔබට ගොඩාක් සතුට සැනසුම උදාකරනවා. නමුත් මේ සමාජයේ හැමෝම නෑනේ දියුණ වෙච්චි, සාර්ථක වෙච්චි, සුවසේ වාසය කරන අය නෙමෙයි හැමෝම. එතකොට අපිට පේනවා සමහරු අසරණ වෙලා ඉන්නවා. සමහරු දුක සේ ඉන්නවා. සමහරු අපහසුවෙන් ඉන්නවා. එහෙම අය දකිද්දී අපි මොකද කරන්නේ? එහෙමයි දකිනකොට ඒ අයගේ දියුණුව පතන්න. හදවතින් ආශිර්වාද කරන්න. අනේ මේ අය මේ අපහසුතාවයෙන් ගොඩ ඒවා. අනේ මේ කෙනා මේ දුකෙන් මේ වෙහෙසෙන් නිදහස් වේවා! අන්න ඒ වගේ ලස්සන ප්‍රාර්ථනා කරන්න.

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා භික්ෂූන්ට මහණෙනි තථාගතයන් වහන්සේගේ හිත තුළ නිතර විතර්කයක් තියෙනවා ඒ තමයි මගේ ඉරියව්වකින්වත් කිසිම සත්වයෙකුට වෙහෙසක් වෙන්න එපා කියන හිතුවිල්ල. බලන්න බුදු කෙනෙකුගේ හිතක තිබුණු ලස්සන විතර්කය. ඒ බුදුරජාණන් වහන්සේ අවවාද කළා, අනුශාසනා කළා මහණෙනි, ඔබත් ආන් ඒ විදියට හිතන්න. මගේ ඉරියව්වකින්වත් කිසිම සත්වයෙකුට වෙහෙසක් වෙන්න එපා කියලා. ඕන් ඔය කරුණු ඔබ ළඟ තිබුණත් දියුණුව සාර්ථකත්වය දැකල සතුටු වීම ඊළඟට අනිත් අයට හදවතින්ම දියුණු උදෙසා ආශිර්වාද කිරීම හැම තිස්සේම හිත සතුටින් තියාගන්න. ඒක ඔබට ගොඩක් උදව් වෙනවා. ඒ නිසා පුරුදු කරගන්න ඔය ක්‍රමය.

තෙරුවන් සරණයි 🙏


Tuesday, October 1, 2024

මතකශක්තිය වැඩි කරගැනීමට බුදුරජාණන්වහන්සේ පෙන්වාදුන් කරුණු 5


🎯 ඇයි මතක හිටින්නේ නැත්තේ, විභාග කරන දරුවන්ට අධ්‍යාපනය ලබන දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිතියන්ට පවා තියෙන ප්‍රශ්නයක් ඕක. ඇයි මතක හිටින්නේ නැත්තේ. මතක තියාගෙන හිටපු ඒවත් අමතක වෙලා යන්නේ ඇයි?. ඔය ප්‍රශ්නෙම බුදුරජාණන් වහන්සේගේ ඇහුව සංඝාරව කියල කෙනෙක්. ඇයි මතක හිටින්නේ නැත්තේ?.

 

මතක නොහිටින්න පළවෙනි හේතුව තමයි කැමති කැමති අරමුණු ගොඩයක හිත දුවන එක. තමන් ආස කරන කැමති අරමුණු ගොඩයි. ඔන්න පාඩම් කරන්න කැමති දුවෙක් පුතෙක් පාඩම් පොතත් අරගෙන ලෑස්ති වෙනව. එයාට කැමතිවීම් ගොඩක් තිබුණොත් එහෙම එයාට ගේම් වලටත් හිත යනවා, වීඩියෝ බලන්නත් හිතෙනවා, සිංදු අහන්නත් හිත යනවා, රූපවාහිනී බලන්නත් හිත යනවා. එයාට එයාගේ යාළුවො මිත්‍රයෝ මතක් වෙන්න ගන්නවා. සමහර දරුවො ඉන්නව නොයෙකුත් ආදර සම්බන්ධතා ආදිය හදාගෙන තමන්ගේ පෙම්වතියෝ මතක් වෙනවා. තමන්ගේ පෙම්වතුන් මතක් වෙනවා. එතකොට මතක හිටින්නේ නැත. ආසා කරන අරමුණු ගොඩක හිත දුවනවනම් තමන්ට වැදගත් දෙයක් කියලා මූලික අරමුණ තුළ හිත පවත්වන්නට හරි වෙහෙසයි. එතකොට මතක හිටින්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පිරිසිදු වතුරකට පාට කලවන් උනා වගේ. පිරිසිදු වතුරකට පහසුවෙන් මූණ බලාගන්න පුළුවන්, ලස්සනට පේනව අපි හිතමු ඒකට පාට කලවම් වෙලා. කහ පාට හරි රතු පාට හරි මොනවා හරි පාටක් කලවන් වෙලා. පාට කලවං වෙච්ච එකෙන් අපිට පැහැදිලිව මුහුණ බලාගන්න බෑ. ඒ වගේ අරමුණු ගොඩක හිත දුවනවා නම් තමන්ගේ ජීවිතයේ වැදගත් කම් කියල දෙයක් තමන්ට ඍජුව දීගන්න බැරි නම් විභාගයට මූලික තැන දෙන්න බැරිනම්, අධ්‍යාපනයට මූලික තැන දෙන්න බැරිනම්, තමන්ට විශේෂයෙන් ඉලක්කයක් සහිතව යම් වැදගත් මූලික අරමුණක් හදාගන්න බැරිනම්, හිත පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දුවනවා. මතක හිටින්නේ නෑ. මතකයේ තිබුණේ ඒවත් අමතක වෙනවා.

 

බුදුරජාණන් වහන්සේ වදාළ දෙවැනි කාරණය තමයි හිතේ හටගන්න ගැටීම. මතක හිටින්නේ නැති කොටත් ගැටීමක් එනවනේ. කේන්ති යනවා, මට මේ ඉස්සර හොඳට මතක හිටිය. දැන් මතක හිටින්නේ නෑනෙ කියල තව කේන්ති යනවා. සමහර වෙලාවට හොඳට මතක හිටින අය දකිනකොට තවත් කේන්ති යනවා. ඒ අයට මතකයන් හිටින හොඳට ඇයි මේ මට විතරක් ඇත්තේ?. ගැටුණු හිත බුදුරජාණන් වහන්සේ උපම කළා හරියට පිරිසිදු වතුර එකක් උණුසුම් වෙලා නටනවා වගේ. උණුසුම් වෙලා නටන වතුරෙන් අපි කොච්චර ආස කලත් අපේ මූණ පැහැදිලිව බලාගන්න බෑ. ඒ වගේ කේන්තිය, ක්‍රෝධය, අමනාපය, තරහ අපේ මතක ශක්තිය නැති කරනවා. බලන්න තරහා ගියපු වෙලාවක කතා කරන වචනෙත් අමතක වෙනව නේ. කරන්න ඕන දේත් අමතක වෙනව නෙ. ඒ තරහේ ස්වභාවයක්. එනිසා මතක හිටින්නේ නැතිනම් තරහා අඩු කරගත යුතුයි. මෛත්‍රීය දියුණු කරගත යුතුයි. මෛත්‍රීය හිතේ ගොඩාක් බලවත් කරගන්නව නම්, අපි හිතමු දරුවෙක් මෛත්‍රී භාවනාව නිතර කර කර එයා පාඩම් කරන්නේ, එයාට හොඳට මතක හිටිනවා. යම් මනුස්සයෙක් තමන්ගේ ජීවිතයෙ නිතර මෛත්‍රී භාවනාව පුරුදු කරනවනම්, මෙත් සිතින් නිතර ඉන්නවනම් එයාගේ මතක ශක්තිය එන්න එන්න තියුණු වෙනව.

 

තුන්වෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා මතකය නැතිවෙලා යන්නත්, මතක නොහිටින්නත් හේතුව නිදිමත, අලසකම, කම්මැලිකම. නිදිමතටමයි හිත බර. ඇඟත් හැම තිස්සෙම නින්දට සූදානම් වෙලා බර වෙලා තියෙන්නෙ. කොහේ හරි වාඩිවෙච්ච ගමන් නිදාගන්නවා. කොහේ හරි තැනකට ගියත් කෙලින් හිටගෙන ඉන්න බෑ, කොහෙට හරි හේතු වෙන්න ඕන, කම්මැලි අලස ජීවිතේ ස්වභාවය. කම්මැලිකම, අලසකම ජීවිතයක තියෙනවා නම් ඒ ජීවිතයේ අමතක වීම ගොඩාක් වැඩියි. එදිනෙදා කටයුතු පවා අමතක වෙනවා. සමහර විට කම්මැලි කෙනාට අලස කෙනාට උදේ වැඩට යන්න, ඉස්කෝලෙට යන්න, කොන්ඩෙ පීරන්න පවා අමතක වෙනවා. කම්මැලිකමේ, අලසකමේ හැටි ඒ. තමන් අඳින ඇඳුම පවා පිරිසුදු කරන් අඳින්න ඕන කියන එක අමතක වෙනවා. එහෙව් එකේ පාඩම් වැඩ, අනිකුත් ජීවිතයේ විශේෂ වැඩ? අමතක වීම වෙන කවර කතාද. ඒ නිසා කම්මැලිකම, අලසකම දුර කරගන්න. ප්‍රබෝධමත්ව ජීවිතය ගතකරන්න. හැමතිස්සෙම ප්‍රබෝධයෙන් ඉන්නවනම්, හැම තිස්සෙම ප්‍රමුදිත වූ සිතකින් වාසය කරනවනම්, ඒ තුළින්මයි මතක ශක්තිය දියුණු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න පිරිසිඳු වතුර එකක් තියෙනවා. හොඳට මූණ බලාගන්න පුළුවන්. හැබැයි ඒ පිරිසිදු වතුර එකේ පාසි බෝවෙන්න පටන්ගන්නවා. දිය පෙඳ, පාසි ඇවිල්ල අර වතුර එක සම්පූර්ණයෙන් වහගන්නවා. දැන් ඉතින් කොච්චර බැලුවත් මූණද පේන්නෙ, පාසිද පාසි පේන්න. ආයෙ මූණ බලාගන්න හම්බෙන්නෑ. ඒ වගේ තමයි කම්මැලිකමට, අලසකමට හිත වැටුනහම මතක ශක්තියක් අහලක හිටින්නේ නෑ. ඒ නිසා ප්‍රබෝධයෙන් ජීවත් වෙන්න. පාඩම් වැඩ කරනකොටත් ප්‍රබෝධමත්ව කරන්න. යම් දරුවෙක් ඉන්නවනම් තෙරුවන් වන්දනා කරන, නිතර බුද්ධානුස්සතිය ආදී භාවනා කරන, එයාගේ හිත හරි ප්‍රබෝධයි. ඊළඟට හිත ප්‍රබෝධමත් කරගන්න උපකාර කරන දෙයක් දරුවනේ අනිත් අයගේ දියුණුව පතන්න. අනිත් අයගේ දියුණුව හිතින් පත පත ඉන්න. අනේ මගේ යාලුවෝ හැමෝටම අධ්‍යාපන කටයුතු විභාග කටයුතු හොඳට කරගන්න ලැබේවා. මගේ යාලුවන්ට අලසකම් එන්න එපා. මගේ යාළුවන්ගේ හිත එහේ මෙහේ දුවන්ඩ එපා. මගේ යාලුවන්ගේ හිත් කේන්තියට අහුවෙන්නත් එපා. කම්මැලි නැතුව එයාලට හොඳට පාඩම් වැඩ කරගන්න ලැබේවා. මුදිතාව එයාලගේ හිතේ තිබුනොත් ඒ හිත හරි ප්‍රබෝධයි. ඒ ප්‍රබෝධවත් හිත හදාගන්න එතකොටත් අපිට පාඩම් මතක තියාගන්න පුළුවන්.

 

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා උද්දච්ච කුක්කුච්චිය නිසා, විසිරීමයි පසුතැවීමයි නිසා මතකය නැතිවෙලා යනවා. හිත විසිරිලා නම් හිතේ තියෙන්නෙ පසුතැවීම නම් එතන කොහොමද මතකයක් රැඳෙන්නේ. හිත විසිරෙන්න ලොකු හේතුවක් සාමාන්‍යයෙන් විභාගාදිය ලන්වෙනකොට දූලා, පුතල හුරු වෙනව motivation video කියල වීඩියෝ බලන්න. මෝටිවේෂන් වීඩියෝ කියන ඒවා බල බල නිකම් තමන්ගේ හිතට අමුතු ජවයක් ගන්න තමයි උත්සහ කරන්නේ. අවසානයේ විභාගය සම්බන්ධයෙන් ගොඩක් හිතේ කැමැත්තක් එනවා මං මෙහෙම කරගන්නවා, මෙහෙම කරගන්නවා. දැන් අහවල් අහවල් අයියලා, අක්කලා කලින් විභාගවලදී හොඳට ලකුණු දාලා තියෙනවා. මාත් ඒ වගේ ලකුණ දානවා කියලා දැන් මෙයා ලොකු සිහින ලෝකෙකට එනව, කැමැත්ත බලවත් වෙනවා. කැමැත්ත බලවත් උනාට පස්සේ, කැමැත්ත විතරක් ආවට පස්සේ ඒ කැමැත්ත කියන එක අධිෂ්ඨානය, නුවණ, වීරිය, කැපවීම එක්ක කලවන් වෙන්න එපැයි. එහෙම නැති අර මෝටිවේෂන් වීඩියෝ වගේ බලලා මෙයාට නිකන් ලොකු කැමැත්තක් විතරයි ඇවිත් තියෙන්න. දැන් පොත අතට ගත්ත ගමන් ඔහේ විසිරිලා සිහින ලෝක ගොඩක දුවනවා. පාඩමේ හිත පවත්වන්න බැරුව යනවා. ඒ නිසා දරුවනේ ගොඩක් පරිස්සම් වෙන්න තමන්ගේ හිතට ජවයක් ගන්න මවුපියෝ ගැන හිතලා, අම්ම තාත්තා තමයි මට මෙච්චර කාලයක් පාඩම් වැඩ කරගන්න උදව් කලේ. ඒ දෙන්නගෙ හිතට සතුටක් දෙන්න ඕන මං හොඳට පාඩම් කරලා. මං හොඳට ඉගෙනගෙන ඒ දෙන්නගේ හිත සතුටු කරනවා. ඒ දෙන්නගේ ඇස්වලට සතුටු කඳුලක් එන විදිහට මං මගේ අධ්‍යාපනය කරගන්නවා. ආන්න ඒවා තමයි හිතට ගන්න ජවයන්. මට මේ පොඩි කාලේ තියෙන්නේ ඉගෙන ගන්නේ. ඒ ඉගෙන ගන්න කාල වකවානුවේ මම හරියට ඉගෙන ගන්නවා. එතකොට මට ඉස්සරහ ජීවිතේ ගොඩක් සුවපහසුවෙන් ගත කරන්න පුළුවන්. ආන් ඒවා තමයි ගන්න ජවයන්. අපේ ගුරු මෑණිවරු ගුරු පියවරු උගුරෙන් ලේ රහ එනකන් අපිට කොච්චර අනුකම්පාවෙන්ද උගන්වන්නෙ. ඒ ගුරු මෑණිවරු ගුරු පියවරුන්ගේ හිතට මං ලොකු සතුටක් දෙනව. මං හොඳට විභාග, අධ්‍යාපනය කරගන්නවා. ආන් ඒව තමයි හිතට ගත යුතු ජවයන්. එහෙම නැතුව නිකන් විභාගෙ ලන්වෙනකොට ඕගොල්ලෝ වීඩියෝ බලනවා. ඔයාට විභාගෙ පුළුවන්මයි, පුළුවන්මයි කියල. ඒකෙන් දරුවනේ ප්‍රයෝජනවත් ජවයක් එන්නේ නෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න හිත විසිරෙන දේවල්වලින් අපි ඈත් වෙන්න ඕන.

 

ඊළඟට හිතේ පසුතැවීම තියාගෙන කවදාවත් මතකේ වර්ධනය කරගන්න බැහැ. අයියෝ මට මේ මේ පාඩම් මග ඇරුන. මං මේ කාලයේ ක්ලාස් කට් කරපු නිසා මට මේවා මේවා මගහැරුනා කියල දැන් පසුතැවෙනවනම් ඒ පසුතැවීම තුළ මතක ශක්තිය දියුණු වෙන්න කිසි උදව්වක් නෑ. විසිරීමයි, පසුතැවීමයි තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඔන්න හොඳ පිරිසුදු වතුර භාජනයක් තියෙනවා ඒකෙන් හොඳට මූණ බලාගන්න පුළුවන්. අනේ මේකෙ දිය රැලි හටගෙන. දැන් හැමතිස්සෙම රැලි. දිය රැලි ආවට පස්සේ මූණ පේන්නෙ නැතුව යනවා. ඒ වගේ විසිරීම, පසුතැවීම හිතට ආවොත් මතක ශක්තිය නැති වෙලා යනවා. ඒ විසිරීමයි, පසුතැවීමයි තියාගන්න එපා.

 

ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අන්තිම කාරණය තමයි සැකය. තමන් කරන කටයුත්ත ගැන තමන්ට විශ්වාසයක් නැත්තම්, තමන්ගේ පාඩම් වැඩ ගැන තමන්ට බලවත් විශ්වාසයක් නැත්තන්, තමන් ගැනම තමන්ට විශ්වාසයක් නැත්නම්, තමන් ගැන තමන්ට සවියක් නැත්තන්... එබඳු කෙනාට පාඩම් වැඩ මතක හිටින්නෙත් නෑ. ජීවිතයේ අනිත් වැදගත් කටයුතු මතකයේ රඳවාගෙන කරන්නත් බැහැ. ඒ නිසා සැකය කියන එක නම් ජීවිතයෙන් දුරින්ම දුරු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කලා හරියට මේ හොඳට මුහුණ බලාගන්න පුළුවන් පිරිසුදු වතුර එකක් තියෙනවා, මේ වතුරෙකට බොර කලවන් වෙලා. ඒ වතුර එකට බොරක් කලවන් වුනොත් එහෙම කොච්චර ආස කලත් ආයෙ මූණ බලාගෙන හමාරයි. ඒ වගේ සැකය කියන එක නම් අහලකට ගන්න එපා. හොඳ විශ්වාසයෙන්, හොඳ ජවයෙන් ඔයාලා තමන්ගේ කටයුතු කරගන්න.

 

ඕන් ඔය දුර්වලතා පහ දුරුකර ගත්තොත්.... හිත ආසා කරන අරමුණුවල ඔහේ පිස්සුවෙන් වගේ දුවන්න දෙන එක ඔයාල නවත්තගත්තොත්, හිත ගැටිලා කේන්ති අරන් නොමනාපෙන් යුක්තව හිත ඇවිලිච්ච හිතක් බවට පත් කරගෙන එහෙම වාසය කරන එක දුරු කරගත්තොත්, හොඳ මයිත්‍රී සිතකින් වාසය කලොත්,  ඊළඟට කම්මැලිකම අලසකම අපේ හිතෙන් දුරුකරගත්තොත් හොඳ ප්‍රබෝධමත්ව වැඩ කළොත්, විසිරීමට පසුතැවීමට එන්න දෙන්නේ නැතිව හොඳ පිළිවෙලකට ක්‍රමානුකූලව සැහැල්ලුවෙන් හොඳ දැක්මක් ඇතුව ඔයාල ජීවිතේ ගතකරන්න. සැකයකට අහලකට එන්න දෙන්නැතුව, හොද විශ්වාසයෙන් යුක්තව ඔයාලගේ කටයුතු ඔයාලා කරගන්න දක්ෂ වුනොත්, ඇයි මතක හිටින්නේ නැත්තේ කියන ප්‍රශ්නේ ඔයාලගෙ ජීවිතයෙන් දුරස් වෙලා යනවා.

 

ඒ නිසා හොඳ මතක ශක්තියෙන් යුක්තව පිරිසිදු සිතක් ඇතිව තමන්ගේ අධ්‍යාපන කටයුතු විභාග කටයුතු කරගන්නට උත්සුක වෙන්න මේ දරුවෝ හැම දෙනාට අපි ආශිර්වාද කරනවා. මතක ශක්තිය දුර්වල කරගන්නේ නැතිව හොඳ මතක ශක්තියකින් පිරිසුදු මනසකින් ජීවිතයම ජයගන්නට ඔයාලට වාසනාව ලැබේවා.

තෙරුවන් සරණයි 🙏

Friday, July 21, 2023

අසහාය ශ්‍රේෂ්ඨතම සමාජ සේවකයාණන් වහන්සේ


 අසහාය ශ්‍රේෂ්ඨතම සමාජ සේවකයාණන් වහන්සේ - අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ

සිංහල බෞද්ධයා 1968.05.10 ප්‍රඥාප්‍රභා 6

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

 

ලෝකයෙහි විසූ ශ්‍රේෂ්ඨතම අසහාය සමාජ සේවකයාණෝ බුදුරජාණන් වහන්සේ යයි කිව යුතු ය. උන්වහන්සේ බුදු වී සත්සති ගෙවා බරණැස ඉසිපතන්හි දම්සක් පවත්වා පස්වග මහණුන් නිවන් දැක් වූ තැන් පටන් අවුරුද්දකට නව මසක් හෝ අට මසක් හෝ සත් මසක් හෝ ගමින් ගමට ඇවිදිමින් ගිය ගිය තැන සුළු වේලාවකට වඩා විවේක නොගෙන තමන් සුව නො තකා අනුන් සුව සඳහා වැඩ කළ සේක. ආගම්, රාෂ්ට්‍ර, ජාති, කුල ආදී කිසිදු භේදයක් නොසැලකූ බුදුරජාණන් වහන්සේ හැම දන හට එක සේ මෙත් සිතින් සෙත් කළහ.

මෙසේ අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ ස්වල්ප වූ ද ලාභයක් පුද සත්කාරයක් කීර්ති ප්‍රශංසාදියක් නො තකා, ''මේ සත්ත්‍වයන් දුකන් මුදවන්නෙමි, සුඛිත මුදිත කරවන්නෙමි" යි යන කරුණා මෛත්‍රී පෙරදැරි සිතින් ආදර්ශයත් සමඟ කළ අනුශාසනා වලින් ජන සමාජයට සිදු වූ සේවය, සැලැසුණු ශාන්තිය අතිවිශාලය.

බුදුරජාණන් වහන්සේ අනුශාසනා වලින් රට වැසියා සසර දුකින් මිදුණා පමණක් නො ව එසේම අගුණ දුර්වලකම් අඩු කැරැ ගනිමින් ගුණ නුවණ දියුණු කැරැ ගත්තා පමණක් නො වැ නොයෙක් ලෙසින් සමාජයට සෙත සැලැසිණ. මිනීමරුවෝ සාහසික ක්‍රියා අත් හළහ. නොයෙක් ලෙසින් නොයෙක් වෙසින් වූ අපරාධකරුවෝ අපරාධ හළහ.

එසේ ම ඒ අනුශාසනා වලින් ගිහියෝ ගිහිකම්හි ද පැවිද්දෝ පැවිදිකම්හි ද හොඳින් යෙදුණහ. රජවරු රාජසභා දියුණු කැරැ ගත්හ. මැති ඇමතිවරු නමින් නො වැ ක්‍රියාවෙන් ම ගුණයෙන්ම ජනනායකයෝ වූහ. ගම් වඩන්නෝ ගම්සභා දියුණු කැරැ ගත්හ. මවුපියවරු දරුවන් ලැබීම මාත්‍රයෙන් නො වැ නියම ගුණයෙන්ම මවුපියෝ වූහ. ස්වාමි පුරුෂවරු ද භාර්යාවෝ ද ඉන්ද්‍රියයන් පිණවන අදහසින් නොවැ රටට ජාතියට භාෂාවට හා ආගමට වැඩ ඇති දරුවන් ලැබීමේ පරමාධ්‍යාශයෙන්ම ස්වාමි පුරුෂයෝ භාර්යාවෝ වූහ.

ඥාති මිත්‍රයෝ කතාවෙන් හිනාවෙන් ගනුදෙනුවෙන් පමණක් නොවැනියම ඥාති ධර්මයෙහිම පිහිටිය හ. සමාජ සේවකයෝ වේදිකාවන්හි බෙරිහන් දීමෙන් පමණක් නො නැවතී ලොකුකම ලොකු නම් ලොකු තනතුරු ගැන නොබලා කීර්ති ප්‍රශංසාදියට වහල් නොවී රට වැසියා සුඛිත මුදිත කිරීමේ අදහසින් ම ක්‍රියා කළහ. ජනතාව ලොවි ලොවුතුරා දියුණුවේ මඟ පමණක් නො වැකන - බොන - යන - එන - කතා කරන - හිනා හෙන සැටි පවා ඉගෙන ගත්හ.

බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ආදර්ශයත් සමඟ වූ අනුශාසනාවෙන් ම ජන සමාජයට සිදු කළ සේවය ස්වල්පද? මෙතරම් සේවයක් මේ ලොවැ වෙන කවුරුන් හෝ කැරැ තිබෙනුවා දැයි සලකා බලන්න. එසේම උන් වහන්සේ සේවය කළ විශේෂාකාරය ගැන ද සිතා බැලිය යුතු වේ.

දිනක් ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා, " ඔබ වහන්සේ කවරෙක් දැයි බුදුරජාණන් වහන්සේගෙන් ඇසී ය. " බ්‍රාහ්මණය, උපුලක් හෝ පියුමක් හෝ පුණ්ඩරීකයක් හෝ ජලයෙහි හට ගත්තේ ජලයෙහි වැඩුණේ ජලයෙන් උඩට නැගි ජලය හා නො ගැටී වාසය කරමි. මම බුදුවෙමි යි වදාළහ. බුදුරජාණන් වහන්සේ සමාජයට සේවය කළේ සමාජය හා ඇලී ගැලී ගැටී නොවන බව මෙයින් මැනවින් පැහැදිලි වේ.

ලොවැ ශ්‍රේෂ්ඨතම සමාජ සේවකයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අප ගිහි පැවිදි බෞද්ධයන් විසින් සමාජ සේවය කළ යුතු ම යි. ගිහි පක්‍ෂයට සමාජ සේවය කළ හැකි නොයෙක් ආකාර ඇත ද භික්ෂූන් වන අප එය කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ කළ ආකාරයට ආදර්ශයත් සමඟ වූ අනුශාසනාවෙනි.

ඈත අතීතයේ පටන් ජන සමාජය පිරිහීම් මුඛයෙන් මුදා නිවැරදි දියුණුවෙහි යෙදීමේ මූලික වැ අනුශාසනා කළාහු භික්ෂූන් වහන්සේ මය. මුළු භික්ෂු ජීවිතය ම සමාජ සේවයට කැප වූවෙකි. ගිහි භවතුන් සමාජ සේවය කරන්නේ එක්තරා කාල පරිච්ඡේදයක් ඇතුළත පමණ ය. භික්‍ෂූන් වහන්සේ පැවිදි වූදා පටන් අපවත් වන දා දක්වා මත් සමාජයට සේවය කරන්නෝ ය. පැවිදි වු දාමත් දායක වරුන්ගේ දානයට වඩිති. එතැන් පටන් සැමදා මත් කරන්නේ මහජනයාගේ කටයුතු මයි. බලවත් රෝගයක් නැත්නම් අපවත් වන දාත් එය එසේ ම ය. එය එසේ වුවද බොහෝ භික්ෂූන් වහන්සේ ඉගෙනීම ලබන්නෙත් මහත් කරදරයෙනි, ජීවත් වන්නෙත් මහත් පීඩා සහිතවය. මුළු ජීවිතය පුදා කරන හොඳ වැඩ සඳහා ලැබෙන ප්‍රශංසාදියට වඩා එක දවසකදී සිදු වූ ප්‍රමාද දෝෂයට සමාජයෙන් නින්දා චෝදනා ලැබෙයි. එය ස්වභාවික සිද්ධියෙකි. බුදුරජාණන් වහන්සේටත් එය එසේ ම ය. භික්‍ෂූන් වන අප හට ඒවාට නො කළකිරී සමාජ සේවය කළ යුතු ම ය. එහෙත් කවර තරමේ සමාජ සේවයක් වුව ද කළ යුත්තේ තමාගේ මහණ කමත් රැක ගෙනමය. සියලු දුකින් මිදී නිවන් සුව පසක් කරනු සඳහා ය යන පැවිද්දේ පරමධ්‍යාශයට බාධාවක් නොවන පරිදි ම ය.

ධර්මය ඉගැන්වීම භික්ෂූන් වහන්සේගෙන් සිදුවිය යුතු උසස් ම සේවයකි. සෑම පාසලකම ධර්මය ඉගැන්වීමට ආගමික අංශය භාර වැ කටයුතු කිරීමට භික්ෂූන් වහන්සේ නමක් පත් වී සිටිනුවා නම් එයින් ඉතා උසස් ප්‍රතිඵල ලබා ගත හැකි වනුවා ඇත. එහෙත් එය කළ යුත්තේ රජයේ සේවකයකු වශයෙන් නොවැ අනුශාසකයකු වශයෙනි. ගුරු කම්, වෙද කම්, නැකැත් කම්, දේශපාලන කම් කිරීමට ලක්ෂ ගණන් ජනයා සිටිති. මහණ කම් කරන්නට සිටින්නෝ පහළොස් දහසක් තරම වන අපි ටික දෙනා පමණය. මේ මහණ කම අප නො කළොත් කරන්නට වෙන කෙනෙකුත් නැත. භික්ෂූන් නැති වූවෝත් ශාසනයක් නැත. මේ කරුණ හොදින් නුවණින් සලකා බලා භික්‍ෂූන් වන අප බුදුරජාණන් වහන්සේ අනුගමනය කෙරෙමින් සමාජ සේවය කරන්නටත් ගිහි පින්වතුන් එයට සියලු පහසුකම් සලසා දෙන්නටත් තරයේ ම ඉටා ගන්නේ මැනවි. ගිහි භවතුනට සමාජ සේවය කළ හැකි ක්‍රම බොහෝ ය.

සමාජ සේවය තුන් ආකාරයකට බෙදිය හැකි ය.

1. සමාජයට අපකාර නොකිරීම,

2. උපකාර කිරීම,

3. තමන් යහපත් වීම.

සමාජයට අපකාර - කරදර නොකිරීම උසස් සේවයකි. බෝධිසත්ත්ව ගුණයෙකි. අන්‍යයනට කරදර නොවන පරිදි කතා කිරීම, ක්‍රියා කිරීම, ජීවිතය පැවැත්වීම උසස් සමාජ සේවයකි. අන්‍යයනට කරදර නොවන පරිදි ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියා කරවීම, පාරේ ගමන් කිරීම, රිය පැදවීම, පාඩම් කිරීම, සෙල්ලම් කිරීම උසස් සමාජ සේවයකි. වැදගත් මහත්මයකු සේ අන්‍යයනට කරදර නොවන පරිදි කෙළ ගැසීම පවා බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ සැටි සිහියේ තබා ගත යුතුවේ. මහජනයාට උපකාර කිරීම මුදල් වියදමෙනුත් කළ හැකි වෙයි. මුදල් නැති වත් කළ හැකි වෙයි. මහජනයා යන එන රැස්වෙන තැන්වල වැටී තිබෙන කටු අතු, වීදුරු කටු, ගල් මුල්, අඹ ලෙලි, කෙහෙල් ලෙලි ආදිය බැහැරට දැමීම දුප්පත් පොහොසත් ලොකු කුඩා කාටත් කළ හැකි සමාජ සේවා ය. පාර වැරදී සිටින්නෙකුට පාර කියා දීම, ගිලන් හල, බෙහෙත් හල, දුම්රිය පළ, පොලිසිය ආදිය සොයන කෙනෙකුට එය කියා දීම, දුප්පත් අසරණයනට උපකාර කිරීම උසස් සමාජ සේවාය.

පාරවල් තැනීම, ඒ දඬු දැමීම, ගිලන් හල් තැනීම්, බෙහෙත් වැවීම, සෙවණ පිණිස ගස් සිට වීම, පින් පැන්තාලි තැබීම, නවාතැන් හල් තැනීම, මහජනයාගේ සුව පහසුව සඳහා මල් පළතුරු උයන් වැවීම ඉතා උසස් සමාජ සේවා ය. මෙකල ප්‍රසිද්ධ ව තිබෙන විවිධ ශ්‍රමදාන කටයුතු ද මීට ඇතුළත් වේ. තමන් ගුණවත් වීම ද, යහපත් වීම ද උසස් සමාජ සේවයකි. සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු කේළාම් හිස් වචන පරුෂ වචන නො කීම, මත් පැන් නො බීම, සුදුවෙහි නො යෙදීම, ක්‍රෝධ නො කිරීම, ඊර්ෂ්‍යා නො කිරීම ද උසස් සමාජ සේවා ය.

ආගම හොඳින් ඇදහීම, සිල් රැකීම, භාවනා කිරීම, දෙමාපියන් වැදීම පිදීම, ගුරුවරුන් වැඩිහිටියන් හට සැලකීම, සහෝදර සහෝදරියන් හට ප්‍රිය මනාප වැ සිටීම, නෑදෑ හිත මිතුරන් සමඟ සමගියෙන් විසීම, සියලු දෙනාට ම මෛත්‍රී කිරීම ද ඉතා උසස් සමාජ සේවාය.

ශ්‍රේෂ්ඨතම සමාජ සේවක බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වන අප බෞද්ධයන් සමාජ සේවයෙහි තව තවත් යෙදිය යුතු වේ.