භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Thursday, December 16, 2021

වරද සහ සමාව


කලකට පෙර ඕස්ට්‍රේලියානු තරුණියක් මා හමුවීමට පර්ත් නුවර පිහිටි මගේ විහාරස්ථානයට පැමිණියාය. බොහෝ විට පෞද්ගලික ගැටලු පිළිබඳව උපදෙස් ලබා ගැනීමට භික්ෂූන්ගේ පිහිට අපේක්ෂා කෙරේ. ඊට හේතුව ඇතැම් විට අප කිසි විට ඒ සඳහා මුදල් අය නොකිරීම විය හැකිය.

තමන් අතින් සිදුවුණු වරදක් පිළිබඳව ඇය බලවත් සිත් වේදනාවකින් පීඩා විඳිමින් සිටියාය. ඊට මාස හයකට පෙර බටහිර ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු ආකාරයක ඇය සේවය කර තිබිණි. එහි වැඩ කටයුතු දුෂ්කර වුවත් උසස් වැටුපක් ලැබිණි.

එක් ඉරිදා සවසක වනගත පෙදෙසක විනෝද චාරිකාවක යෙදීමට සිය හොඳම මිතුරියටත් අගේ පෙම්වතාටත් ඇය යෝජනා කළාය. ඔවුන් දෙදෙනාම ඊට අකමැති වූ විට පෙරැත්ත කරමින්, තර්ක කරමින් කැමති කරවා ගැනීමට තරුණිය සමත් වුවාය.

ඔවුන් ගමන් කළ රථය අනතුරකට භාජනය විය. එය බොරළු පාරක ගමන් කරන විට පෙරලී යෑමෙන් මිතුරිය ජීවිතක්ෂයට පත්වූ අතර ඇගේ පෙම්වතා ආබාධිත තත්වයට පත්විය. ගමන පිළිබඳව යෝජනාව තරුණියගේ වුවත් ඇයට අනතුරක් සිදු නො වීය.

“මේ ගමන යෑමට මා ඔවුන්ට බල කළේ නැත්නම් ඇය තවමත් ජීවත් වෙනවා. ඔහුට තවමත් පාද දෙකක් තිබෙනවා. මගේ සිත වේදනා විඳිනවා. මගේ අතින් බරපතළ වරදක් සිදු වූ බව මට හැඟෙනවා.” ඇය පැවසුවේ කඳුළු සලමිනි.

මගේ සිතට ආ මුල්ම අදහස වූයේ එය අගේ වරදකින් සිදු වුවක් නො වන බව පවසා ඇය සැනසීමටය. අනතුර සැලසුම් කළේ ඇය නොවූ අතර සිය මිතුරු මිතුරියන්ට පීඩා කිරීමේ අදහසක් අයට නොතිබිණි.

“මේ වගේ දේවල් සිදු වෙනවා. එක සිතින් ඉවත් කරන්න. වරදක් කළා කියලා සිතන්න එපා.” යනුවෙන් උපදෙසක් දීමට මා කල්පනා කලත් එබඳු උපදෙසක් ඇය සිය වරක් අසන්නට ඇති බවත් ඒවා සාර්ථක නොවූ බවත් මට වැටහිණි.

“ඔබේ අතින් වරදක් සිදු වී යයි කල්පනා කිරීම බොහොම හොඳයි.” මදක් කල්පනා කිරීමෙන් පසු මම පැවසීමි.

තරුණියගේ මුහුණ ශෝකී බවින් පුදුමයටත් ඒ පුදුමය සැනසිලිදායක බවටත් පරිවර්තනය විය. වරදක් සුදු වූ බවට උපදෙසක් ඇය ඉන් පෙර අසා නොතිබිණි. මා අනුමාන කළ සැටි නිවැරදිය. තමන් අතින් වරදක් සිදු වූ බවට ඇය පසු වූයේ ලජ්ජාවෙනි. එසේ නො සිතන ලෙස හැම දෙනාම පැවසීම අගේ සිතට පීඩාවක් විය. අපගේ ව්‍යාකූල සිත් ක්‍රියාත්මක වන්නේ එලෙසය.

වරදක් සිදු වී යයි සිතීම නිවැරදි බව තහවුරු කළ පසු විසඳුම පිළිබඳ ඊළඟ පියවරට අපට ගමන් කළ හැකිය.

‘අඳුර ගැන මැසිවිලි නගනු වෙනුවට ඉටිපන්දමක් දැල්වීම වඩා සුදුසුය.’ යනුවෙන් බෞද්ධ ආප්තෝපදේශයක් තිබේ. හැමවිටම කනස්සලු වීම වෙනුවට කළ හැකි යම් දෙයක් තිබේ. වරදක් සුදු වූ බවට ඇතිවන හැඟීම, පසුතැවීමට වඩා හාත්පසින් වෙනස් ය. අපේ සංස්කෘතිය අනුව ‘වැරදිකරු’ යනු උසාවියකදී දෙනු ලබන තීන්දුවකි. අන් කිසිවෙකු අපට දඬුවම් නුදුන්නොත් අපට ම දඬුවම් කර ගැනීමට අපේක්ෂා කරමු.

මෙසේ සිය වරදින් සිත නිදහස් කර ගැනීම සඳහා තරුණියට යම්, දඬුවමක් අවශ්‍ය විය. එය අමතක කර දමන ලෙස උපදෙස් දීම නිෂ්ඵලය. ප්‍රාදේශීය රෝහලේ හදිසි අනතුරු අංශයේ තුවාලකරුවන්ට කරන ප්‍රතිකාරවලට ස්වේච්චාවෙන් සහාය වන ලෙස මම ඇයට යෝජනා කළෙමි.