භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Sunday, May 28, 2023

කරුණාවේ පියාපත්

 කරුණාව සුන්දර පරවියකු වශයෙන් උපකල්පනය කළොත්, ප්‍රඥාව උගේ පියාපත් ය. ප්‍රඥාවෙන් තොර කරුණාව, කිසි විටක පියසර නො කරයි. බාලදක්ෂයෙක්, වයස්ගත කාන්තාවක, රථවාහන අධික මාර්ගයක් හරහා කැඳවා ගෙන යාමෙන් යහපත් ක්‍රියාවක් කලේ ය. ගැට‍ළුව වූයේ, ඇයට පාර හරහා යාමට අවස්ථාවක් නොතිබීම ය. ඒ බව ඔහුට පැවසීමට නොහැකි තරමට, ඇය වික්ෂිප්ත වී සිටියා ය.

අවාසනාවකට මෙන්, ඒ කතන්දරයෙන් විස්තර වන්නේ, කරුණාවේ නාමයෙන් ලොව සිදු වන දේවල් ය. අප බොහෝ විට සිත ගෙන සිටින්නේ, අනෙක් තැනැත්තාට අවශ්‍ය දේ අප දන්නා බව ය.

උපතින් ම බිහිරු වූ තරුණයෙක්, නිතිපතා සිදු කළ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා, දෙමාපියන් සමග වෛද්‍යවරයා වෙත ගියේ ය. වෛද්‍ය සඟරාවක දකින්නට ලැබුණු නවතම වෛද්‍ය ක්‍රියාමාර්ගයක් පිළිබඳව, වෛද්‍යවරයා දෙමාපියන්ට දැන්වීය. සරල, ලැබ ශල්‍ය කර්මයක් මගින්, උපතින් ම බිහිරි අගයෙන් 10% දෙනෙකුට, සම්පූර්ණ ශ්‍රවණය ලබා දිය හැකි බව, ඒ සඟරාවේ සඳහන්ව ඇති බවත්, දෙමාපියන්ගේ අනුමැතිය ඒ සඳහා අවශ්‍ය බවත්, වෛද්‍යවරයා පවසූ විට, ඔවුහූ එක හෙළා ඊට කැමති වූහ.

ඒ අනුව, තරුණයාගේ ශ්‍රවණ ශක්තිය, මුළුමනින් ප්‍රකෘතිමත් කරන ලදී. එවිට දෙමාපියන් සහ වෛද්‍යවරයා කෙරෙහි ඔහු තුළ ඇති වූයේ දැඩි කෝපයකි. ශල්‍යකර්මය පිළිබඳව ඔවුන් අතර ඇති වූ සාකච්ඡාව ඔහුට නෑසුණු අතරම ඊට ඔහුගේ අනුමැතිය විමසා නො තිබිණි. නිරන්තර ඝෝෂාවෙන් ඇති වූ පීඩාව, දර ගත නොහැකි බවට ඔහු මැසිවිලි නැගී ය. ශ්‍රවණය ලබා ගැනීමට ඔහුට කිසි විටක අවශ්‍ය නො වී ය.

දෙමාපියන්, වෛද්‍යවරයා පමණක් නොව මා ද, එතෙක් සිත ගෙන සිටියේ, හැම දෙනා ම ශ්‍රවණය කිරීමට කැමති බව ය. එබඳු අනුමාන කිරීම් මගින් උද්ගත වන කරුණාව, අඥාන මෙන් ම අනතුරුදායක ය.


Thursday, May 25, 2023

සර්පයා, පුරපති සහ භික්ෂුව

 මම භික්ෂුවක වශයෙන්, අවුරුදු අටකට වැඩි කාලයක් තායිලන්තයේ ගත කළෙමි. බොහෝ විට මා ජීවත් වූයේ සර්පයින් බහුල ආරණ්‍ය සේනාසනවල ය. මා 1974 දී තායිලන්තයට පැමිණි විට, එහි සර්ප වර්ග සීයක් සිටින බවත් ඉන් වර්ග අනූනවයක් දරුණු විෂ සහිත බවත්, ඉතිරි වර්ගය වූ පිඹුරන් සතුන්ගේ ගෙල මිරිකා මරා දමන බවත්, මට දැන ගන්නට ලැබිණි.

ඒ කාලය තුළ හැම දිනක ම වාගේ සර්පයින් දක්නට ලැබිණි. වරක් මගේ කුටිය තුළ සිටි අඩි හයක් දිග සර්පයකු මට පෑගුණු විට, බියට පත් ඌත්, මාත්, වාසනාවකට මෙන් දෙපැත්තකට පැන්න නිසා එදා මම බේරුණෙමි. තවත් අවස්ථාවක අප පිරිත් සජ්ජායනය කරමින් සිටිය දී, එක් භික්ෂුවකගේ පිට දිගේ සර්පයකු බද ගානු දැනී, සිවුර ගලවා දැමූ විට ඌ ඉවතට ඇදී ගියේ ය. ආරණ්‍යවාසී භික්ෂූන් වශයෙන්, සියලු සතුන්ට මෛත්‍රී කිරීමට, අපට පුහුණුවක් ලබා දෙන ලදී. ඒ දිනවල, කිසි ම භික්ෂුවකට සර්පයින් දෂ්ට නො කළේ ඒ නිසා විය යුතු ය.

තායිලන්තයේ ගත කළ කාලය තුළ අතිවිශාල සර්පයින් දෙදෙනකු දුටුවෙමි. ඉන් එකෙක්, මීටර් හතක් පමණ දිග පිඹුරෙක් විය. ඊට අවුරුදු කීපයකට පසු මම නැවතත් ඌ දුටුවෙමි. ආශ්‍රමයේ සිටි තවත් භික්ෂූන් ද ඌ දැක තිබිණි. අනෙක් සර්පයා, නාග රාජයෙක් විය. ඌ දුටු විට, මම බිරාන්ත වීමි. තවත් අවස්ථාවක මීටර් දෙකක් පමණ වූ කැලෑ අඩිපාරක මම ගමන් කරමින් සිටියෙමි. තද කළු පාට සර්පයෙකු පාර හරහා ගමන් කරනු දැක, නතර වී බලා සිටියත්, උගේ හිස හෝ වලිගය මට නො පෙනී ගියේ, ඌ මීටර් දහයකට වඩා දිග බව ය. ඌ නාග රාජයකු බව, ගම්වැසියෝ මා සමග පැවසූහ.

අචාන් චා හිමියන්ගේ ශිෂ්‍යයකු වූ කුඩා සාමණේර භික්ෂුවක්, තවත් භික්ෂූන් පිරිසක් සමග, තායිලන්තයේ වනාන්තරයක භාවනා කරමින් සිටියේ ය. කිසි යම් සතකු එහි ළඟා වන ශබ්දය ඇසී, භික්ෂූන් ඇස් ඇර බැලූහ. නාග රාජයකු ඔවුන් දෙසට බඩගා එනු දකින්නට ලැබිණි. ජ්‍යෙෂ්ඨ භික්ෂුව වෙත පැමිණි නාගරාජයා, එතුමාගේ හිසේ මට්ටමට තම හිස ඔසවා, පෙණය දිග හැර, සිහින් ශබ්දයක් නිකුත් කරන්නට විය.

එබඳු අවස්ථාවක දුවන්නට තැත් කිරීමෙන් පලක් නැත. ඒ විශාල සර්පයින්ට අපට වඩා වේගයෙන් ගමන් කළ හැකි ය.

ජ්‍යෙෂ්ඨ භික්ෂුව, මද සිනාවෙන් යුතුව, දකුණු අත ඔසවා, නාගයාගේ හිස පිරිමදිමින්, “ම හමු වීමට පැමිණීම ගැන ඔබට ස්තුතියි” යනුවෙන් පැවසී ය. එතුමා, සුවිශේෂ කාරුණික බවකින් යුත් භික්ෂුවක් විය. නාග රාජයා පෙණය හකුළා ගෙන, හිස බිමට පහත කර, ඉවතට ඇදී ගියේ ය.

ඒ ජ්‍යෙෂ්ඨ භික්ෂුව, ඕස්ට්‍රේලියාවේ, අපේ ආශ්‍රමයේ මාස කීපයක් නතර වී සිටියේ ය. අපේ ගොඩනැගිලි කීපයක් සඳහා නගර සභාවේ අනුමැතිය අවශ්‍යව තිබිණි. ඒ කටයුතු පරීක්ෂා කිරීමට, නගරාධිපතිතුමා ආශ්‍රමයට පැමිණියේ ය.

එතුමා, දිස්ත්‍රික්කයේ සිටි වඩාත් ම බලගතු පුද්ගලයා විය. සිය තනතුරට සරිලන පරිදි එතුමා කදිම ඇඳුම් කට්ටලයකින් සැරසී සිටියේ ය. පිට කබායේ බොත්තම් අමුණා නො තිබුණු බැවින්, ඔහුගේ අතිවිශාල ඕස්ට්‍රේලියානු උදරය ඉස්මතු වී පෙනිණි. භික්ෂුව ඉරිදියට ගොස් ඒ උදරයට මදක් තට්ටු කළේ ය. එය භික්ෂුවකට අකැප බවත්, එබඳු උසස් තනතුරකට ගෞරවයක්  බවත් මම කල්පනා කළෙමි.

උදාර පුද්ගලයෙකු වූ නගරාධිපති තුමා, හඬ නගා සිනාසෙන්නට විය. අපේ සියලු ගොඩනැගිලි සැලසුම්වලට අනුමැතිය ලැබිණි. එතුමා අපේ ඉතා හිතවත් මිතුරකු බවට පත් විය.

Wednesday, May 24, 2023

කුඩා දැරිය සහ ඇගේ මිතුරා

 

බටහිර ඕස්ට්‍රේලියාවේ පිටිසර පෙදෙසක දී, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසකට, කඳුළු සැලූ එළදෙන පිලිබඳ කතාන්දරය මා පැවසූ විට එහි සිටි වයස්ගත පුද්ගලයෙක් ඊට සමාන කතන්දරයක් පැවසී ය.

ඔහුගේ මිතුරාගේ දියණිය, එවකට පස් හැවිරිදි පමණ වූවා ය. එක් උදෑසනක, ඇය සිය මෑණියන්ගෙන් කිරි පීරිසියක් ඉල්ලීමට හේතුව කුමක් දැයි, ඒ අවස්ථාවේ කාර්ය බහුලව සිටි මව, වැඩිපුර නො සිතුවා ය.

පසුදා ද ඒ වෙලාවට ම කුඩා දැරිය, කිරි පීරිසියක් ඉල්ලුවා ය. පෝෂ්‍යදායක ආහාරයක් වූ කිරි බීමට දියණිය ආශා කිරීම මවගේ සතුටට හේතු විය.

දැරිය, දින කීපයක් ම, ඒ වෙලාවට ම එසේ කළ අතර, ඇය කිරි පානය කරන බව නුදුටු මව, සැක සිතී, රහසින් ඒ ගැන සෙවීමට තීරණය කළා ය.

එකල ඒ ප්‍රදේශයේ නිවාස ඉදි කරන ලද්දේ, බිම් මට්ටමින් මදක් ඉහළින් සිටින සේ, ලී කොට උඩ ය. නිවසින් පිටතට ගිය දැරිය, නිවස අයිනේ දණ ගසා ගෙන, කිරි පීරිසිය බිම තබා, නිවසට ය. තත්පර කීපයකින්, කළු පාට විශාල පොලඟෙක් පිටතට ඇදී ආවේ ය. ඌ ඉතා විෂඝෝර සර්පයෙකි. ඌ දැරිය අසළ වූ කිරි පීරිසිය පානය කළ අතර, කිසිවක් කර ගත නොහැකිව මව බලා සිටියා ය. පොළඟා කිරි බීම අවසන් කර, යළිත් අඳුර තුළට ඇදී ගියේ ය. එදා සවස, ඇගේ සැමියා වැඩ අරී ආපසු නිවසට පැමිණි විට ඇය ඒ තොරතුරු දැන්වූවා ය.

“ඔයා හෙටත්, දුවට කිරි පීරිසියක් දෙන්න. මම ඒ ගැන බලා ගන්නම්” ඔහු පැවැසීය.

පසුදා ඒ වෙලාවට ම, කුඩා දැරිය, සුපුරුදු පරිදි කිරි පීරිසියක් ඉල්ලා ගෙන නිවසින් පිටතට ගොස්, එය බිම තබා සිය මිතුරාට අඬගැසුවාය. පොළඟා අඳුර තුළින් පිටතට පැමිණෙත් ම, ඒ අසල වෙඩි හඬක් ඇසිණි. ඒ වෙඩි පහර වැදී සර්පයාගේ හිස සුනු විසුණු විය. පඳුරක් පිටිපස සැඟවී සිටි දැරියගේ පියා එතැනින් නැගිට අවුත්, තුවක්කුව පසෙකට දැමී ය.

එතැන් පටන් කුඩා දැරිය ආහාර අනුභව කිරීම ප්‍රතික්ෂේප කළා ය. ඇය ආහාර කෙරෙහි පෙළඹවීමට දෙමාපියන් දැරූ තත ව්‍යර්ථ විය. ඇය දිස්ත්‍රික් රෝහලට ගෙන යනු ලැබුවත්, වෛද්‍යවරුන්ට ද කිසිවක් කළ නොහැකි විය.

කුඩා දැරිය මිය ගියා ය.


Tuesday, May 23, 2023

කඳුළු සැලූ එළදෙන

 බන්ධනාගාරයක භාවනා පන්තියක් සඳහා මම, නියමිත වේලාවට කලින් එහි ගියෙමි. මා ඊට පෙර කිසි විටක දැක නො තිබුණු සිරකරුවෙක්, මා සමග කථා කිරීමට සූදානම් ව සිටියේ ය. ඉතා ඝනට වැවුණු හිස කෙස් සහ යටි රැවුලක් ද, පච්ච කෙටූ අත් ද සහිත ඔහු දැවැන්ත පුද්ගලයෙක් විය. ඔහුගේ මුහුණෙහි වූ තුවාල කැළැල්වලින් ප්‍රකාශ වූයේ ඔහු බිහිසුණු ආරවුල් රැසකට පැටලෙන්නට ඇති බව ය. එතරම් දරුණු පෙනුමක් ඇති කෙනකු, භාවනාව ඉගෙනීම සඳහා පැමිණීමට හේතුව කුමක් දැයි මම කල්පනා කලෙමි. භාවනා පන්තිවලට සහභාගී වූයේ එබඳු අය නොවූවත්, මගේ නිගමනය වැරදි බව වැටහුණි.

ඊට දින කීපයකට පෙර තමන් ඉමහත් භීතියට පත් කළ සිදු වීමක් ගැන ඔහු මා සමග විස්තර කලේ ය. ඊට හේතු වූ පසුබිම පැහැදිලි කිරීම සඳහා ඔහු ළමා වියේ දී හැදුණු වැඩුණු පරිසරය ගැන කෙටි සඳහනක් කළේ ය.

“මගේ ළමා විය ගත වුණේ, උතුරු අයර්ලන්තයේ බෙල්ෆස්ට් නුවර, භයානක අපරාධකරුවන් ගැවසුණු වීදිවල මා මුල් ම අපරාධය කරන කොට මගේ වයස අවුරුදු හතයි. පාසලේ සිටි ඉතා ම දාමරික ළමයා, දවල් කෑම සඳහා මා ළඟ තිබුණු මුදල ඉල්ලා බල කළා ම, මම ඊට කැමති වුණේ නෑ. එයා දිග පිහියක් අතට අරගෙන දෙවැනි වරටත් මුදල් ඉල්ලුවා ම, මම හිතුවෙ එයා කරන්නේ, බොරු තර්ජනයක් කියලා. මුදල් දීම, මම යළිත් ප්‍රතික්ෂේප කළා. එතකොට එයා මගේ අතට පිහියෙන් ඇන්නා. මගේ අතින් ලේ ගලන්නට පටන් ගත්තා. මම ගෙදර දුවගෙන ගියා. තාත්තා මගේ තුවාලය දිහා මදක් බලා ගෙන ඉඳලා මා සමග මුළුතැන්ගෙට ගොස්, ලොකු පිහියක් මගේ අතට දීලා, ආපසු පාසලට ගොස්, ඒ ළමයට අනින්න මට බය කළා.”

ඔහු ඇති දැඩි වුණේ එලෙස ය. ඔහු එතරම් ශක්තිමත් නො වූවා නම් බොහෝ කලකට පෙර, කා අතින් හෝ මැරුම් කණු නියත ය.

ඒ බන්ධනාගාරය, කෙටි කාලීන සිරකරුවන් සහ නිදහස ලැබීමට ආසන්න සිරකරුවන් සඳහා වූ ගොවිපොළක් විය. වගා කටයුතු පිළිබඳව යම් පුහුණුවක් ලබා දීමෙන් ඔවුන් කිසියම් රැකියාවක් සඳහා  සූදානම් කිරීම, ඒ ගොවිපොළෙහි අරමුණ විය. එපමණක් නොව, එහි නිෂ්පාදන පර්ත් නුවර අවට සියලුම බන්ධනාගාරවලට පහසු මිලට සපයන ලදී. ඕස්ට්‍රේලියාවේ සෙසු ගොවිපොළවල මෙන් එහි ද තිරිඟු සහ එළවළු වගා කිරීමට අමතරව මස් ලබා ගැනීම සඳහා හරකුන්, ඌරන්, බැටළුවන් යන සත්තු ද ඇති කරනු ලැබූහ. බන්ධනාගාර ගොවිපොළේ මස් මඩුවක් ද විය.

සෑම සිරකරුවෙකු ම, ඒ ගොවිපොළේ කිසියම් කාර්යයක් කළ යුතු විය. වැඩිම ඉල්ලුම තිබුණේ මස් මඩුවේ කටයුතුවලට ය. ඒ කටයුතු භයානක අපරාධකරුවන් අතර ඉතා ජනප්‍රිය විය. වඩාත් ම ඉල්ලුම පැවති කාර්යය වූ සත්ත්ව ඝාතක තනතුර සඳහා තරඟ කළ යුතු විය. එහි සත්ත්ව ඝාතකයා වූයේ, ඒ යෝධ අයර්ලන්ත ජාතිකයා ය.

මස් මඩුව පිළිබඳව, ඔහු මට විස්තරේ කළේ ය. මරා දැමීමට නියමිත සතුන් මස් මඩුවේ ‘දංගෙඩිය වෙත යොමු කිරීම සඳහා ශක්තිමත් වානේ වැටකින් ආවරණය වූ ප්‍රවේශ මාවතක් තිබේ. එහි කෙළවර, වරකට එක් සතෙකුට පමණක් ගමන් කළ හැකි පරිදි ක්‍රමයෙන් පටු වේ. එහි මදක් උස් වූ වේදිකාවක් උඩ, විදුලි සැර විදිනයක් ඇතිව ඝාතකයා බලා සිටී. කෙවිටිවලින් අනිමින්, සතුන් ඒ ස්ථානයට තල්ලු කරන විට, මරණය ඉව වැටී උන් බෙරිහන් දෙන බව, ඔහු පැවසී ය. සතුන් මරා දැමීමට අධි බල විදුලි සැර දෙකක් යොදා ගනු ලැබේ. එක විදුලි සැරයකින් ඌ විසඥ වන අතර දෙවැනි විදුලි සාරයෙන් ජීවිතක්ෂයට පත් වේ.

අනතුරුව, තමන් භීතියට පත් කළ ඒ සිදු වීම ඔහු විස්තර කළේ මෙසේ ය.

“බන්ධනාගාර සඳහා එදිනට අවශ්‍ය වුණේ හරක් මස්. මම හරකුන් මරමින් සිටින විට ඊට පෙර නුදුටු ආකාරයේ එළදෙනක් දංගෙඩිය ලඟට ආවා. වෙන සතුන් වගේ ඇය කිසි ම ශබ්දයක් කළේ නෑ. ඇය බිම බලා ගෙන, ස්වේච්ඡාවෙන්, දංගෙඩිය වෙත සෙමින් පිය නැගුවා. එහි දී ඇය හිස ඔසවා, ඉතා සන්සුන්ව මා දෙස බලා ගෙන සිටියා. ඇය එතැනිනි පලා යන්න උත්සහ කළේ නෑ. විදුලි සැර විදිනය උඩට එසවීමට වත් ඇගේ ඇස්වලින් මගේ ඇස් ඉවතට ගන්න වත් මට බැරිවුණා. එළදෙනුන්ගේ ඇස් ලොකුයි. ඇගේ වම් ඇස බොඳ වෙලා. කම්මුල් දිගේ කඳුළු ගලන්න පටන් ගත්තා. ඇගේ දකුණු ඇසෙනුත් ඒ වගේ ම කඳුළු ගැලුවා. ඇය අඬන බව මට තේරුණා.”

මම විදුලි විදිනය විසි කළා. ‘මට කැමති දඬුවමක් දෙන්න අර එළදෙන නම් මරන්න බැහැ. කියල නිලධාරීන්ට මම කිව්වා. ‘මම දැන් මස් මාළු මොකුත් කන්නෙ නෑ.’

එය සත්‍ය කතාවක් බව, එහි සිටි අනෙක් සිරකරුවෝ මා සමග පැවසූහ. ඒ එළදෙන, ඉතා දරුණු මිනිසකුට කරුණාව දැක්වීමේ සැබෑ අර්ථය කියා දුන්නා ය.


Sunday, May 21, 2023

රජතුමාගේ ප්‍රශ්න තුන

 පර්ත් නුවර පැවති අධ්‍යාපන සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා මට ආරාධනයක් ලැබී තිබිණි. මා ඒ ස්ථානයට ලඟා විට, කාන්තාවක් පෙරට අවුත්, මා පිළිගත්තා ය. සම්මන්ත්‍රණයේ සංවිධායිකාව ඇය බව, පැළඳ සිටි ලාංඡනයකින් දැක්විණි.

“ඔබ වහන්සේට මා මතක ද...?” ඇය මගෙන් ඇසුවා ය.

එය පිළිතුරු දීමට අපහසු, ඉතා අනතුරුදායක ප්‍රශ්නයකි.

“නැහැ” මම සෘජු පිළිතුරක් දුන්නෙමි.

සත් වසරකට පෙර, ඇය විදුහල්පති තනතුරු දැරූ පාසලේ දී මා පැවැත් වූ දේශනයක ඇතුළත් වූ කතන්දරයක්, ඇඟේ ජීවිතයේ ගමන් මග වෙනස් කිරීමට හේතු වූ අයුතු ඇය සිහිපත් කළා ය. විදුහල්පති තනතුරින් ඉල්ලා අස් වූ අයුරු ඇය සිහිපත් කළා ය. විදුහල්පති තනතුරින් ඉල්ලා අස් වූ ඇය, පාසල් හැර ගොස්, වීදි දරුවන්, ළාබාල ගණිකාවන් සහ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බවට පත්ව සිටි ළමයින් නිසි මගට යොමු කිරීම සඳහා වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමෙහි නිරත ව සිටියා ය. තමන්ගෙ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමෙහි නිරතව සිටියා ය. තමන්ගෙ වැඩ සටහනට රුකුලක් වූයේ, මා පැවසු කතාන්දරය බව ඇය පැවසුවා ය. මා ඒ කතාන්දරය උපුටා ගත්තේ, ලියෝ ටෝල්ස්ටෝයිගේ කෙටි කතා පොතකිනි. ඈත අතීතයේ දී, එක් රජ කෙනෙක් ජීවිතය පිළිබඳ දර්ශනයක් සෙවීමෙහි උත්සුක විය. සිය රාජ්‍ය පාලනයකට මග පෙන්වීම සඳහා ඔහුට බුද්ධිය අවශ්‍ය විය. එකල පැවති ආගම් හා දර්ශන පිළිබඳව එතුමා තෘප්තිමත් නො වීය. එබැවින්, එතුමා ජීවිත අත්දැකීම් මගින්, සිය දර්ශනය පිළිබඳව සොයා බැලී ය.

මූලික ප්‍රශ්න තුනකට පමණක් පිළිතුරු ලබා ගත යුතු බව, අන්තිමේ දී එතුමාට වැටහිණි. ඒ පිළිතුරු ඇසුරින්, තමන්ට අවශ්‍ය බුද්ධිමත් මාර්ගෝපදේශකත්වය ලබා ගත හැකි බව එතුමා කල්පනා කළේ ය.

ඒ ප්‍රශ්න තුන මෙසේ ය.

01. ඉතා ම වැදගත් වෙලාව කුමක් ද..?

02. ඉතා ම වැදගත් පුද්ගලයා කවුද..?

03. කළ යුතු ඉතා ම වැදගත් කාර්යය කුමක් ද..?

දීර්ඝ කාලයක් සොයා බැලීමෙන් පසු තාපසයකු හමු වී, පිළිතුරු තුන සොයා ගැනීමට රජතුමාට හැකි විය. ඒ පිළිතුරු මොනවා දැයි ඔබට සිතා ගත හැකි ද? කරුණාකර ඒ ප්‍රශ්න දෙස යළිත් අවධානය යොමු කරන්න.

පළමුවැනි ප්‍රශ්නයට පිළිතුර, අප කවුරුත් දැන සිටියත්, බොහෝ විට එය අමතක වේ. ඉතා ම වැදගත් වේලාව, මේ මොහොත ය. අපට හැම විට ම ඇත්තේ, මේ මොහොත පමණකි. ඔබේ මවට හෝ පියාට, ඔබ කොපමණ ආදරේ දැයි, කොපමණ කෘතවේදී දැයි පැවසීමට ඔබට අවශ්‍ය නම්, එය මේ මොහොතෙහි ම කරන්න. හෙට නො වේ, තවත් මිනිත්තු කීපයකින් නොවේ. මිනිත්තු කීපයකින්, ඔබ පමා වුණා විය හැකි ය. ඔබ පසුතැවිලි වන බව, ඔබේ සහකරුට/ සහකාරියට පැවසීමට ඔබට අවශ්‍ය නම්, එසේ නොකිරීමට හේතු සොයමින් නො සිට, මේ මොහොතෙහි ම එසේ කරන්න. ඒ අවස්ථාව යළිත් කිසි විටක් උදා නොවනු ඇත. මේ මොහොතෙහි ම එසේ කරන්න. ඒ අවස්ථාව යළිත් කිසි විටක උදා නොවනු ඇත. මේ මොහොත ඩැහැගන්න.

දෙවැනි ප්‍රශ්ණයට පිළිතුර ඉතා ගැඹුරු ය. නිවැරදි පිළිතුර අනුමාන කරන්නේ ටික දෙනෙකි. ශිෂ්‍යකු වශයෙන්, මම ඒ පිළිතුර ගැන දින ගණනක් කල්පනා කළෙමි. ඉතා ම වැදගත් පුද්ගලයා මේ මොහොතෙහි ඔබ, ඉදිරිපිට සිටින තැනැත්තා ය. විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වෙත මා ඇතැම් ප්‍රශ්න යොමු කළ විට, ඔවුන් ඒ ගැන උනන්දුවක් නො දැක්වූ සැටි මට සිහිපත් වේ.  මා ධෛර්යය උපදවා ගෙන සුප්‍රකට කථිකාචාර්යවරයකු වෙත ලං වූ විට, එතුමා සිය පූර්ණ අවධානය මා වෙත යොමු කළේ ය. එවකට, දිග කෙස් වැටියක් සහිත සාමාන්‍ය ශිෂ්‍යයකු වූ මා තුළ යම් වැදගත්කමක් ඇති බව සිතා ගැනීමට එතුමා මට පිහිට විය. මහාචාර්යවරුන්ගේ සහ කථිකාචාර්යවරයාගේ ප්‍රතිචාර අතර වෙනස ඉතා විශාල විය.

අදහස් සහ ආදරය බෙදා හදා ගත හැකි වන්නේ, ඔබ ඉදිරිපිට සිටින තැනැත්තා කවුරුන් වුවත්, ඒ අවස්ථාවේ, මුළු ලොව ම සිටින වඩාත් ම වැදගත් පුද්ගලයා ඔහු බව හැඟෙන පරිදි කටයුතු කිරීමෙනි. තම සහකරු/ සහකාරිය, උවමනාවෙන් තමන්ට සවන් නො දෙන බවට විවාහක අය බොහෝ විට මැසිවිලි නගති. එහි අදහස, ඔහු /ඇය තවදුරටත් තමන් වැදගත් යයි හැඟෙන පරිදි කටයුතු නොකිරීම ය. රජතුමාගේ දෙවැනි ප්‍රශ්නයට පිළිතුර, මේ සඳහා කදිම විසඳුමකි. අප කෙතරම් කාර්ය බහුල වුවත්, වෙහෙස වී සිටියත්, අපේ සහකරු /සහකාරිය සමග සිටින විට, ඔහු /ඇය මෙලොව සිටින වඩාත් ම වැදගත් පුද්ගලයා බව හැඟෙන පරිදි, ඒ දෙවැනි පිළිතුර ක්‍රියාත්මක කළ යුතු ය.

වෙළඳ ව්‍යාපාරයක දී, අපේ ගනුදෙනුකරුවකු අපට සිටින වඩාත් ම වැදගත් පුද්ගලයා බව හැඟෙන පරිදි කටයුතු කළ විට, භාණ්ඩ අලෙවිය පමණක් නොව, එහි සේවය කරන අපේ වැටුප ද ඉහළ නගිනු ඇත. තමන්ගේ ගැටලු පිළිබඳව පැවසීමට මගෙ මිතුරන් මා වෙත පැමිණෙන විට, ඔවුන් ඉතා වැදගත් සේ සලකා සාකච්ඡා කරමි.

අධ්‍යාපන සම්මන්ත්‍රණයේ සංවිධායක කාන්තාව, ඒ වීදි දරුවන් සමග පැවති ප්‍රථම සම්මුඛ පරීක්ෂණයේ දී ‘වඩාත් ම වැදගත් පුද්ගලයා තමන් ඉදිරිපිට සිටින තැනැත්තා ය යන සංකල්පය ක්‍රියාත්මක කළා ය. ඒ දරුවන්ගේ ජීවිතයේ මුල් වරට, තමන් වැදගත් යයි හැඟෙන පරිදි කටයුතු කළේ, බලගතු කාන්තාවකි. එපමණක් නොව, ඔවුන් වැදගත් බව ඒත්තු ගැන්වීමෙන්, ඇය කළේ ඔවුන් ගැන තීරණ ගැනීම නොව ඔවුන්ගේ දුක්ගැනවිලි වලට සවන් දීම ය. තමන්ට ගරු කරන බව ඒ දරුවන්ට හැඟිණි. ඒ කෙසේ වෙතත්, ඒ අවස්ථාවේ දී, වඩා වැදගත් වූයේ මගේ දේශනය නො වේ. මගේ දේශනයට පසු එක් දරුවෙක් ද දේශනයක් පැවත්වී ය. පවුලේ අඬදබර, මත්ද්‍රව්‍ය, අපරාධ ආදිය පිළිබඳවත් ඒ කාන්තාවගේ වැඩසටහන් මගින්, ජීවිතය පිළිබඳ බලාපොරොත්තු යළිත් ඇති වී, ඉක්මනින් විශ්ව විද්‍යාලයට ඇතුල් වන බවත්, ඔහු සඳහන් කළේ ය. එදා ප්‍රධාන දේශනය වූයේ එයයි.

ජීවිතයේ වැඩි කාලයක් ඔබ ගත කරන්නේ තනිවම ය. ඒ නිසා, ඔබ ඉදිරිපිට සිටින වඩාත් ම වැදගත් පුද්ගලයා, ඔබම ය. ඔබ සඳහා වැදගත්කමක් ලබා දීමට, කාලය ඕනෑ තරම් තිබේ. ඔබ උදේ පිබිදෙන විට, මුලින් ම දකින්නට ලැබෙන, ඔබ දන්නා හඳුනන පුද්ගලයා කවුද? ඔබම ය. ‘සුබ උදෑසනක් යනුවෙන් ඔබ ඔබට සුබ පතනවා ද? මම නම් එසේ කරමි. ඔබ නිදන්නට සැරසෙන විට අවසන් වරට දකින්නට ලැබෙන පුද්ගලයා කවුද..? නැවතත්, ඔබම ය. ‘සුබ රැයක්’ යනුවෙන් මම මට ම සුබ පතමි. දවස තුළ, බොහෝ පෞද්ගලික අවස්ථාවල, මා වැදගත් බවට මට හැඟෙන පරිදි කටයුතු කරමි. එය බොහෝ පලදායි වේ.

රජතුමාගේ තෙවැනි ප්‍රශ්නයට (කළ උය්හ්ටු ඉතාම වැදගත් කාර්යය කුමක් ද?? පිළිතුර, කරුණාව දැක්වීම ය.

‘කරුණාව දැක්වීම යන්නෙහි අදහස පැහැදිලි කිරීම සඳහා පහත දැක්වෙන කතන්දර ඉදිරිපත් කරමි.


Friday, May 19, 2023

අනුන්ට දොස් පැවරීම


වැදගත් තීරණයක් ගැනීමට තැත් කරනා විට, මීට ඉහත කතාන්දරයේ සඳහන් ක්‍රමවේදය, ඔබට භාවිත කළ හැකි ය. එහෙත් ඔබ ඒ ක්‍රමවේදය අනුගමනය කිරීම අනිවාර්ය නොවේ. ඒ කුමක් වුවත්, තීරණය ඔබගේ ය. එය සාර්ථක නො වේ නම්, මට චෝදනා නො කරන්න.

එක් සරසවි ශිෂ්‍යාවක්, අපේ භික්ෂුවක හමුවීමට පැමිණියා ය. ඊට පසු දා වැදගත් විභාගයක් පැවති බැවින්, පිරිත් සජ්ජායනයක් මගින් තමන්ට ආශීර්වාද කරන ලෙස, ඇය ඉල්ලීමක් කළා ය. භික්ෂුව, ඇය කෙරෙහි කරුණාවෙන්, ඒ ඉල්ලීම ඉටු කළ අතර ඒ සඳහා මුදල් අය කිරීමක් නො වීය. ඇය මුදල් පරිත්‍යාගයක් කලේ ද නැත.

ඇය යළිත් කිසි දිනක දකින්නට නො ලැබිණි. අපේ විහාරස්ථානයේ භික්ෂූන් අදක්ෂ යයි ද, නිසි පරිදි ආශීර්වාද කරන සැටි අප දැන සිටියේ නැතැයි ද යනුවෙන් ඇය අපට දොස් පැවරූ බව, ඇගේ මිතුරන්ගෙන් දැන ගන්නට ලැබිණි. ඇය විභාගයෙන් අසමත් වී තිබිණි.

විනෝදකාමී තරුණියක වූ ඇය, විභාගයෙන් අසමත් වූයේ, කිසි ම පාඩමක් නො කළ නිසා බව ඇගේ මිතුරියෝ මා සමග පැවසූහ. සරසවි ජීවිතයේ ‘එතරම් වැදගත් නො වූ අධ්‍යයන කොටස, භික්ෂූන්ගේ ආශීර්වාදයෙන් ඉටු කර ගැනීම ඇගේ බලාපොරොත්තුව වන්නට ඇත.

අපේ ජීවිතයේ යම් වැරදීමක් වූ විට, තවත් කෙනකුට දොස් පැවරීමෙන් සහනයක් ලැබේ යයි පෙනුණත්, එමගින් ගැටලුව නො විසඳේ.