භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Sunday, August 28, 2022

කෝපය කා දමන යක්ෂයා

 

කෝපය පිළිබඳ ගැටලුව නම්, කෝප වීමෙන් අප එක්තරා ආස්වාදයක් අත් විඳීමය. කෝපය ප්‍රකාශ වීම හා සම්බන්ධ ප්‍රබල සතුටක් පවතී අපට සතුට ලබා දෙන යම් දෙයක් අත් හැරීමට අප කැමති නැත. කෙසේ වෙතත් කුමන සතුටක් වුවද අභිබවා යන අනතුරක් ද කෝපය තුළ රැඳී තිබේ. ඒ අනතුර මතක ඇත්නම් කෝපය අත් හැරීමට අප කැමති වනු ඇත.

බොහෝ කලකට පෙර, රජතුමා රජ මැදුරෙහි නො සිටි අවස්ථාවක යක්ෂයෙක් එතුළට පැමිණියේය. විරූපී යක්ෂයාගෙන් නිකුත් වූයේ ඉතා උග්‍ර දුගඳකි. ඔහු පැවසූ වචන පිළිකුල් සහගත විය. මුර භටයින් ද සේවක පිරිස ද භීතියෙන් ගල් ගැසී බලා සිටි බැවින් රාජ සභාව දක්වා ගමන් කර රජතුමාගේ සිංහාසනයෙහි හිඳ ගැනීමට යක්ෂයාට අවස්ථාව ලැබිණි. මුර භටයින්ට පියවි සිහිය ලැබුණේ එය දුටු විටය.

“මෙතනින් පිටවෙයන් යකෝ” ඔවුහූ කෑගසූහ. “නැත්නම් අපේ කඩුවලින් නුඹ කෑලි කෑලි වලට කපා දමනවා.”

මේ කෝපාවිෂ්ට වචන කීපය පිට වුනු විට යක්ෂයාගේ ශරීර ප්‍රමාණය අඟල් කීපයකින් වැඩි වී මුහුණ වඩාත් විරූපී වී දුගඳ තවත් උග්‍ර වූ අතර, ඔහුගේ මුවින් පිට වූ වචන ද වඩා අශිෂ්ට විය.

මුර භට පිරිස කඩු ලෙලවූහ. කිනිසි ඇද ගත්හ. විවිධ තර්ජන කළහ. ඒ හැම කෝපාවිෂ්ට වචනයක් හා ක්‍රියාවක් මෙන් ම චේතනාවක් සමග යක්ෂයා වඩා විශාල විය. වඩා විරූපී විය. ඔහුගේ දුගඳ වඩාත් උග්‍ර විය. මුවින් පිටවූයේ පෙරටත් වඩා අසභ්‍ය වචනය.

රජතුමා ආපසු පැමිණියේ, මේ ගැටුම මෙසේ තරමක වෙලාවක් පැවතෙද්දී ය. තමන්ගේ සිංහාසනය මත දැවැන්ත යක්ෂයකු හිඳ ගෙන සිටිනු එතුමා දුටුවේ ය. එතරම් පිළිකුල් සහගත විරූපී කෙනෙකු, එතුමා චිත්‍රපටයක වත් දැක නො තිබිණි. යක්ෂයාගෙන් නිකුත් වුණු දුගඳ, ඉහඳ පණුවෙකුට වුවද ඔක්කාරය සෑදෙන තරම් උග්‍ර විය. සෙනසුරාදා සැන්දෑවක, කඩමණ්ඩියේ තබෑරුම්වල බේබද්දන්ගේ මුවින් පිට වන වචනවලටත් වඩා යක්ෂයාගේ වචන ඉතා කටුක විය.

රජතුමා බුද්ධිමත් පුද්ගලයෙක් විය. ඔහු රජ කෙනෙකු වූයේ ඒ නිසාය. කල යුතු දේ ඔහුට වැටහිණි.

“ආයුබෝවන්. මගේ මාලිගාවට පැමිණි ඔබතුමා සාදරයෙන් පිලිගන්නවා. ඔබතුමාට මොකුත් සංග්‍රහයක් ලැබුණා ද?”

රජතුමා ඉතා සුදහව ඇසී ය.

ඒ කාරුණික වචන කීපය සමග යක්ෂයා මදක් කුඩා විය. විරූපී බව ද තරමක් අඩු විය. ඔහුගේ දුගඳ ද අඩු වූ අතර වචන ද පෙර තරම් අසභ්‍ය නො වීය. මුර භටයින් ඇතුළු සියලු සේවක පිරිස ද රජතුමා අනුගමනය කළහ.

“ඔබතුමාට තේ කෝප්පයක් ගේන්නද?” එක් සේවකයෙක් ඇසී ය. තවත් සේවකයෙක් දුරකථනය මගින් යෝධ පීසාවක් ඇණවුම් කළේය. එක් මුර භටයෙක් යක්ෂයාගේ දෙපා මිරිකීය.

හැම කාරුණික වචනයක්, ක්‍රියාවක් හෝ චේතනාවක් පාසා යක්ෂයාගේ ශරීර ප්‍රමාණය දුඟද සහ වචන වල අසභ්‍ය බව කෙමෙන් අඩු විය. ඔහු සිංහාසනයේ හිඳ ගත් අවස්ථාවේ පැවති ශරීර ප්‍රමාණය දක්වා කුඩා වී සිටියත් සේවක පිරිස ඔහුට දැක්වූ කරුණාව බිඳකුදු අඩු නො කළහ. ඒ නිසා ඇසට නො පෙනෙන තරමට ඔහුගේ ප්‍රමාණය කුඩා වී තිබිණි. තවදුරටත් කරුණාව දක්වන විට, යක්ෂයා මුළුමනින් අතුරුදහන් විය.

අප එබඳු යක්ෂයින් හඳුන්වන්නේ ‘කෝපය කා දමන යක්ෂයින් වශයෙනි. ඔබේ සහකරු ඇතැම් විට ‘කෝපය කා දමන යක්ෂයකු’ විය හැකිය. ඔබ ඔහු/ ඇය සමග කෝප වූ විට තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත. ඔබ සිතින් වුව ද කෝප වන විට ගැටලුව තවත් වර්ධනය වේ. සමහර විට ඔබේ වරද ඔබට වැටහුණු විට කුමක් කළ යුතු දැයි අවබෝධ වේ.

වේදනාව, ‘කෝපය කා දමන’ තවත් යක්ෂයෙකි. අප වේදනාව ගැන කෝපයෙන් කල්පනා කරන විට එය වඩාත් වර්ධනය වේ. වේදනාව වැනි පීඩාකාරී තත්ත්වයකට කාරුණික වීම අපහසු වුවත්, ජීවිතයේ ඇතැම් අවස්ථාවල අපට වෙනත් විකල්පයක් නැත. මගේ දත් කැක්කුම පිළිබඳ පිළිබඳ කතාන්දරයෙහි දැක්වූ පරිදි වේදනාව සාදරයෙන් පිළිගත් විට, එය ක්‍රමයෙන් අඩු වී යයි.