භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Thursday, September 22, 2022

කැරලි මර්දන ක්‍රම


 

අප වැරදි දිසාවට යන විට, බොහෝ ගැටලුවලට විසඳුම් ඇති බව අපට නො පෙනේ. මීට ඉහත කතාන්දරයේ යාත්‍රාවේ ඇන්ජිම අලුත්වැඩියා කරන ලද අතර තරුණයෝ දෙදෙනා ගජ මිතුරන් බවට පත් වූහ. මුහුදු ගමනෙහි ඉතිරි කොටස ඉතා විනෝදාත්මක විය.

මිනිසුන් වඩාත් සුහදව ජීවත් වීමට පටන් ගෙන ඇති බැවින්, අපේ ගැටලුවලට විසඳුම් සොයා ගත යුතුව තිබේ. අපට පලා යාමට අන් තැනක් නැත. තවදුරටත් දරුණු ගැටුම් ඇති වීමට අපට කිසි සේත් ඉඩ දිය නොහැකි ය.

, 1975 දශකයේ මැද භාගය විය. දරුණු අර්බුදයකට එබඳු විසඳුමක් ලබා දුන් රජයක් පිළිබඳ අත්දැකීමක් මට තිබේ. එය ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් තර්ජනයක් විය.

1975 වර්ෂයේ සුළු කාලයක් ඇතුළත දකුණු වියට්නාමය, ලාඕසය සහ කාම්බෝජය යන රටවල් කොමියුනිස්ට් කැරලිකරුවන්ගේ ආධිපත්‍යට නතු විය. ඊළඟට තායිලන්තයට ද ඒ ඉරණම අත් වනු ඇතැයි බටහිර බලවතුන් අනාවැකි පැවසූහ. එකල මම ඊසාන දිග තායිලන්තයේ තරුණ භික්ෂුවක් වීමි. අපේ ආශ්‍රමය උතුරු වියට්නාමයේ හැනෝයි නගරයට ඉතා ආසන්න විය. අපේ තානාපති කාර්යාල වෙත ලියා පදිංචි වීමට අපට දන්වන අතර අප තායිලන්තයෙන් ඉවත් කිරීමේ සැලසුම් සූදානම් කරන ලදි. බටහිර බලවතුන් විස්මයට පත් කරමින්, තායිලන්තය කොමියුනිස්ට් ආධිපත්‍යයට නතු වූයේ නැත, ඒ වන විට අචාන් චා හිමියන් ඉතා ප්‍රකටව සිටි අතර හමුදා ජනරාල්වරු ද, ජාතික රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද, උපදෙස් ලබා ගැනීම සඳහා එතුමාගේ ආශ්‍රමයට ගියහ. මා තායි සහ ලාඕස බාෂා මැනවින් දැන සිටි බැවින් තත්ත්වයේ බැරෑරුම් බව පිළිබඳ ගැඹුරු අවබෝධයක් මට ලබා ගත හැකි විය. හමුදාවට සහ රජයට වඩාත් බරපතල ගැටුම වූයේ, දේශ සීමාවෙන් පිටත රැඳී සිටි ‘රතු හමුදා නොව රට තුල ම සිටි කොමියුනිස්ට් කැරලිකරුවන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ය. අත්‍යන්තර තායි කොමියුනිස්ට් ගරිල්ලා හමුදාවකට සහාය දැක්වීම සඳහා සරසවි සිසුන් රැසක් ඊසාන දිග තායිලන්තයේ වනාන්තරයට පලා ගොස් සිටි අතර ඔවුන්ට අවි ආයුධ සැපයීමත්, පුහුණු කිරීමත් සුදු වූයේ දේශ සීමාවෙන් ඔබ්බෙහිය. ඒ ප්‍රදේශයේ ගම්වලින් ඔවුන්ට ආහාර සහ වෙනත් අවශ්‍යතා සපයන ලදී. ඔවුහූ භයානක තර්ජනයක් බවට පත්ව සිටියහ. එය විසඳීමට රජය අනුගමනය කළ උපාය මාර්ගය අදියර තුනකින් සමනිවියත විය.

01.සංයමය :-

කොමියුනිස්ට් කැරලිකරුවන් ගැවසුණු ස්ථාන, මැනවින් දැන සිටියත් හමුදාව ඔවුන් ආක්‍රමණය කලේ නැත. හුදකලා භාවනාවට උචිත ස්ථාන සොයමින් මා කඳුවලත්, වනාන්තර වලත් සැරිසරන කාලයේ මුර සංචාරයේ යෙදුණු සෙබළුන් හමු වූ විට, ඔවුහූ මට අවවාද කළහ. කොමියුනිස්ට් කැරලි කරුවන්

 

ගැවසෙන කඳුකරයට නො යන ලෙස දැන්වූහ.

ඒ දිනවල වනාන්තරයේ භාවනා කරමින් සිටි භික්ෂූන් කීප දෙනෙකු අල්ලා ගත් කැරලිකරුවන්, වදහිංසා පමුණුවා මරා දැමූ බව මට දැන ගන්නට ලැබුණි.

 

02.සමාව දීම :-

මේ බිහිසුණු කාල පරිච්ඡේදය පුරා කොන්දේසි විරහිත පොදු සමාවක් ප්‍රකාශ කර තිබිණි. ත්‍රස්තවාදී ක්‍රියා අත් හැර දැමීමට කිසි යම් කරලිකරුවෙකුට අවශ්‍ය වූ හැම විටම ආයුධ බිම දමා තම ගමට හෝ විශ්ව විද්‍යාලයට ආපසු යා හැකි විය. දැඩි පරීක්ෂණ වලට මුහුණ දීමට සිදු වුවත් දඬුවම් දීමක් සිදු නො වීය.

 

03.මූලික ගැටලුව විසඳීම :-

මේ කාලය තුල නව මහාමාර්ග ඉදි වුනු අතර පැරණි මාර්ග රැසක් අලුත් වැඩියා කරන ලදි. එමගින් තම ගොවි නිෂ්පාදන විකිණීම සඳහා නගරයට ගෙන යාම, ගැමි ජනතාවට පහසු කරුණක් විය. කුඩා ජලාශ සිය ගණනක් සහ ඊට සම්බන්ධ වාරිමාර්ග ව්‍යාපාරයක් ඉදිකරන ලද අතර රජතුමා ඒ කටයුතු පෞද්ගලිකව පරීක්ෂා කළේය. ඒ නිසා වර්ෂයකට තවත් කන්නයක් වී වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සැලසිණි. ඉතා දුර බැහැර ගම්මානවලට විදුලි බලය සපයන ලදි. හැම ගමකටම පාසලක් සහ වෛද්‍ය සායනයක් ලැබිණි. ගැමි ජනතාව සාපේක්ෂ වශයෙන් සමෘධිමත් වූහ.

මුර සංචාරයේ යෙදෙමින් සිටි තායි සෙබළෙක් වරක් මා සමග මෙසේ පැවසී ය.

“කොමියුනිස්ට් කැරලිකරුවන් මරා දමන්නට අපට අවශ්‍ය නෑ. ඔවුන් අපේ ම තායි වැසියන්. කඳුකරයේ සිට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඔවුන් ගමට යන විට අපට හමු වෙනවා. ඔවුන් කවුරුන්ද කියා අප දන්නවා. මගේ අලුත් ඔරලෝසුව ඔවුන්ට පෙන්වනවා. මගේ කුඩා ගුවන් විදුලි යන්ත්‍රයෙන් ගීතයකට සවන් දෙන්න ඔවුන්ට ඉඩ දෙනවා. එවිට කොමියුනිස්ට්වරුන් වීම ඔවුන් අත් හැර දමනවා”.


අනෙක් සෙබළුන්ගේ අත්දැකීම් ද ඊට සමාන විය.

 තායි කොමියුනිස්ට්වරුන් සිය කැරැල්ල ආරම්භ කලේ රජය කෙරෙහි දැඩි කෝපයෙනි. සිය තරුණ ජීවිත පූජා කිරීමට ඔවුහූ සූදානම් ව සිටියහ. එහෙත් තම කෝපය වඩා උග්‍ර වීම වළක්වා ගැනීමට, රජය දැක්වූ සංයමය ඔවුන්ට පිහිට විය. පොදු සමා කාලය මගින් සුරක්ෂිත ව නම්බුකාර ලෙස ඒ කටයුතු වලින් ඉවත් වීමට අවස්ථාව සැලසිණි. සංවර්ධනය මගින් ගැටළු විසඳීම නිසා ගැමි ජනතාව සමෘධිමත් වූහ. කැරලිකරුවන්ට තවදුරටත් සහාය දැක්වීමේ අවස්ථාවක් නැති බව ගැමියන්ට වැටහිණි. ඒ වන විට පැවති රජය කෙරෙහි ජනතාව තෘප්තිමත් වූහ. ඒ අතර කලාවෙන් වැසුණු වනාන්තරවල අපමණ දුක් ගැහැට විඳිමින් ගමන් කරමින් සිටි කටයුතුවල අරමුණු පිළිබඳව කොමියුනිස්ට්වරු විසින් ම සැක කිරීමට පටන් ගත්හ.

 කැරලිකරුවෝ එකිනෙකා ආයුධ බිම දමා, තම පවුල් වෙත හෝ විශ්ව විද්‍යාලය වෙත ආපසු ගියහ. 1980 වර්ෂයේ මුල් කාලය වන විට කිසිම කැරලිකරුවෙකු ඉතිරි වී නො සිටි අතර ‘කැලෑ හමුදාවේ ජනරාල්වරුද, කොමියුනිස්ට් නායකයෝද, හමුදාවට බාර වූහ. කැරලිකරුවන් විසූ ගල් ගුහා සංචාරක ආකර්ෂණයක් වී ඇති බව බැංකොක් පොස්ට් නම් පුවත්පතෙහි විශේෂාංග ලිපියක සඳහන් ව තිබිණි.

 කැරලි නායකයින්ට කුමක් සිදු වී ද? කොන්දේසි විරහිත පොදු සමාවක් ඔවුන්ට ද දිය හැකි ද? ඔවුන්ට දඬුවම් දීමක් හෝ රටින් පිටුවහල් කිරීමක් හෝ සිදු නො වූ අතර ඒ වෙනුවට ඔවුන්ගේ නායකත්ව ලක්ෂණ ද පොදු ජනතාව කෙරෙහි ඇති දයාව ද අගය කිරීමක් වශයෙන් රජයේ වැදගත් තනතුරු ඔවුන්ට පිරිනමන ලදී. එබඳු ශූර වීර  සේවයකට කැපවුණු තරුණ සම්පත අපතේ යවන්නේ මන්ද?

 මෙය එකල ඊසාන දිග තායිලන්තයේ සිදු ගැමියන්ගෙන් මට අසන්නට ලැබුණු සත්‍ය කතාවකි. එසේම මගේ ඇස් දෙකින් දුටු සිදු වීමකි.

Monday, September 19, 2022

කෝප වීම මෝඩ කමකි


 

අපේ නෑමිතුරු සබඳතා බිඳ වැටීමත්, මිතුරන්ගෙන් දුරස් වීමත්, කෝපය නිසා ඇති වන තවත් විපාකයකි. සහකරුවෙකු / සහකාරියක සමග දීර්ඝ කාලයක් සතුටින් ජීවත් වීමෙන් පසු, අපේ සිත රිදවන එක් වරදක් සිදු වූ විට කෝපාවිෂ්ට වී, ඒ සම්බන්ධය සදහට ම අවසන් කරන්නෙ මන්ද? දෙදෙනා එක්ව ගත කළ අප්‍රමාණ ප්‍රීතිමත් අවස්ථාවල කිසිඳු වැදගත්කමක් නැති සේ ය අපට පෙනෙන්නේ, ඒ එකම වරද පමණකි. හුදෙකලාව ජීවත් වීමට ඔබට අවශ්‍ය නම්, කෝපය තවත් වර්ධනය කර ගන්න. මා හඳුනන තරුණ කැනේඩියානු යුවලක්, පර්ත් නුවර කොන්ත්‍රාත් වැඩක් අවසන් කිරීමෙහි නිරතව සිටියහ. වැඩ අවසන් වී සිය උපන් බිම වූ ටොරොන්ටෝ නගරයට ආපසු යාම පිළිබඳව කදිම අදහසක් ඔවුන්ට ඇති විය. කුඩා යාත්‍රාවක් මිලට ගෙන තවත් තරුණ යුවලකගේ සහාය ඇතිව, ශාන්තිකර සාගරය හරහා යාත්‍රා කිරීමට ඔවුහූ සැලසුම් කළහ. ඉන් පසු යාත්‍රාව විකුණා දමා ඒ මුදල් බැංකුවට තැන්පත් කිරීම ඔවුන්ගේ අදහස විය.

ඔවුන් සුරක්ෂිතව කැනඩාවට ලඟා වූ පසු, මුහුදු ගමනෙහි තොරතුරු දන්වා මට ලිපියක් ඒවා තිබිණි. අප කෝප වූ විට කොතරම් මෝඩ විය හැකි දැයි පෙන්වන එක්තරා සිද්ධියක් ඒ ලිපියෙහි විශේෂයෙන් සඳහන් කර තිබිණි.

“ශාන්තිකර සාගරය මැද හරියේ දී ඔවුන්ගේ යාත්‍රාවෙහි ඇන්ජිම ක්‍රියා විරහිත විය. පිරිමි දෙදෙනා පහළ තට්ටුවට බැස එය අලුත් වැඩියා කිරීමට උත්සහ කළහ. කාන්තාවෝ දෙදෙනා උඩ තට්ටුවට වී සඟරා කියවමින් විනෝද වූහ.

ඇන්ජිම පිහිටි කුටිය කුඩා මෙන්ම උණුසුම් ද විය. ඔවුන් කෙතරම් උත්සහ කලත් පලක් නොවීය. ඇන්ජිම මුරණ්ඩු වූවා මෙනි. විශාල මුරිච්චි කරකැවීම ඉතා දුෂ්කර විය. කලකිරීම නිසා පළමුව එන්ජිම සමග ද අනතුරුව ඔවුනොවුන් අතර ද නුරුස්සන බවක් උද්ගත විය. එය ඉක්මනින් කෝපයක් බවට වර්ධනය විය. ඉන් එක් තරුණයෙක් ආයුධ බිම දමා “හරි ඒක ඉවරයි මම මෙතනින් යනවා” යයි කෑගැසීය.

ඔහුගේ කෝපය එතරම් බලවත් විය. ඔහු අත් සෝදා ගෙන සිය ගමන් මල්ල සූදානම් කර ගෙන කෝපයෙන් පුපුරමින් උඩ තට්ටුවට පැමිණි බවත් කාන්තාවන් දෙදෙනාට සිනාව නතර කර ගත නොහැකි වූ බවත් ලිපියේ සඳහන් විය. අහිංසක තරුණයා සාගරය දෙස බලා සිටියත් යාමට තැනක් නොවීය.

තමන් කළ මෝඩකම ගැන ඔහුගේ මුහුණ ලැජ්ජාවෙන් රතු විය. ඔහු ආපසු තම කුටියට ගොස් ඇඳුම් මාරු කරගෙන අනෙක් තරුණයාට සහාය වීම සඳහා පහළ තට්ටුවට ගියේ ය.




Sunday, August 28, 2022

කෝපය කා දමන යක්ෂයා

 

කෝපය පිළිබඳ ගැටලුව නම්, කෝප වීමෙන් අප එක්තරා ආස්වාදයක් අත් විඳීමය. කෝපය ප්‍රකාශ වීම හා සම්බන්ධ ප්‍රබල සතුටක් පවතී අපට සතුට ලබා දෙන යම් දෙයක් අත් හැරීමට අප කැමති නැත. කෙසේ වෙතත් කුමන සතුටක් වුවද අභිබවා යන අනතුරක් ද කෝපය තුළ රැඳී තිබේ. ඒ අනතුර මතක ඇත්නම් කෝපය අත් හැරීමට අප කැමති වනු ඇත.

බොහෝ කලකට පෙර, රජතුමා රජ මැදුරෙහි නො සිටි අවස්ථාවක යක්ෂයෙක් එතුළට පැමිණියේය. විරූපී යක්ෂයාගෙන් නිකුත් වූයේ ඉතා උග්‍ර දුගඳකි. ඔහු පැවසූ වචන පිළිකුල් සහගත විය. මුර භටයින් ද සේවක පිරිස ද භීතියෙන් ගල් ගැසී බලා සිටි බැවින් රාජ සභාව දක්වා ගමන් කර රජතුමාගේ සිංහාසනයෙහි හිඳ ගැනීමට යක්ෂයාට අවස්ථාව ලැබිණි. මුර භටයින්ට පියවි සිහිය ලැබුණේ එය දුටු විටය.

“මෙතනින් පිටවෙයන් යකෝ” ඔවුහූ කෑගසූහ. “නැත්නම් අපේ කඩුවලින් නුඹ කෑලි කෑලි වලට කපා දමනවා.”

මේ කෝපාවිෂ්ට වචන කීපය පිට වුනු විට යක්ෂයාගේ ශරීර ප්‍රමාණය අඟල් කීපයකින් වැඩි වී මුහුණ වඩාත් විරූපී වී දුගඳ තවත් උග්‍ර වූ අතර, ඔහුගේ මුවින් පිට වූ වචන ද වඩා අශිෂ්ට විය.

මුර භට පිරිස කඩු ලෙලවූහ. කිනිසි ඇද ගත්හ. විවිධ තර්ජන කළහ. ඒ හැම කෝපාවිෂ්ට වචනයක් හා ක්‍රියාවක් මෙන් ම චේතනාවක් සමග යක්ෂයා වඩා විශාල විය. වඩා විරූපී විය. ඔහුගේ දුගඳ වඩාත් උග්‍ර විය. මුවින් පිටවූයේ පෙරටත් වඩා අසභ්‍ය වචනය.

රජතුමා ආපසු පැමිණියේ, මේ ගැටුම මෙසේ තරමක වෙලාවක් පැවතෙද්දී ය. තමන්ගේ සිංහාසනය මත දැවැන්ත යක්ෂයකු හිඳ ගෙන සිටිනු එතුමා දුටුවේ ය. එතරම් පිළිකුල් සහගත විරූපී කෙනෙකු, එතුමා චිත්‍රපටයක වත් දැක නො තිබිණි. යක්ෂයාගෙන් නිකුත් වුණු දුගඳ, ඉහඳ පණුවෙකුට වුවද ඔක්කාරය සෑදෙන තරම් උග්‍ර විය. සෙනසුරාදා සැන්දෑවක, කඩමණ්ඩියේ තබෑරුම්වල බේබද්දන්ගේ මුවින් පිට වන වචනවලටත් වඩා යක්ෂයාගේ වචන ඉතා කටුක විය.

රජතුමා බුද්ධිමත් පුද්ගලයෙක් විය. ඔහු රජ කෙනෙකු වූයේ ඒ නිසාය. කල යුතු දේ ඔහුට වැටහිණි.

“ආයුබෝවන්. මගේ මාලිගාවට පැමිණි ඔබතුමා සාදරයෙන් පිලිගන්නවා. ඔබතුමාට මොකුත් සංග්‍රහයක් ලැබුණා ද?”

රජතුමා ඉතා සුදහව ඇසී ය.

ඒ කාරුණික වචන කීපය සමග යක්ෂයා මදක් කුඩා විය. විරූපී බව ද තරමක් අඩු විය. ඔහුගේ දුගඳ ද අඩු වූ අතර වචන ද පෙර තරම් අසභ්‍ය නො වීය. මුර භටයින් ඇතුළු සියලු සේවක පිරිස ද රජතුමා අනුගමනය කළහ.

“ඔබතුමාට තේ කෝප්පයක් ගේන්නද?” එක් සේවකයෙක් ඇසී ය. තවත් සේවකයෙක් දුරකථනය මගින් යෝධ පීසාවක් ඇණවුම් කළේය. එක් මුර භටයෙක් යක්ෂයාගේ දෙපා මිරිකීය.

හැම කාරුණික වචනයක්, ක්‍රියාවක් හෝ චේතනාවක් පාසා යක්ෂයාගේ ශරීර ප්‍රමාණය දුඟද සහ වචන වල අසභ්‍ය බව කෙමෙන් අඩු විය. ඔහු සිංහාසනයේ හිඳ ගත් අවස්ථාවේ පැවති ශරීර ප්‍රමාණය දක්වා කුඩා වී සිටියත් සේවක පිරිස ඔහුට දැක්වූ කරුණාව බිඳකුදු අඩු නො කළහ. ඒ නිසා ඇසට නො පෙනෙන තරමට ඔහුගේ ප්‍රමාණය කුඩා වී තිබිණි. තවදුරටත් කරුණාව දක්වන විට, යක්ෂයා මුළුමනින් අතුරුදහන් විය.

අප එබඳු යක්ෂයින් හඳුන්වන්නේ ‘කෝපය කා දමන යක්ෂයින් වශයෙනි. ඔබේ සහකරු ඇතැම් විට ‘කෝපය කා දමන යක්ෂයකු’ විය හැකිය. ඔබ ඔහු/ ඇය සමග කෝප වූ විට තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත. ඔබ සිතින් වුව ද කෝප වන විට ගැටලුව තවත් වර්ධනය වේ. සමහර විට ඔබේ වරද ඔබට වැටහුණු විට කුමක් කළ යුතු දැයි අවබෝධ වේ.

වේදනාව, ‘කෝපය කා දමන’ තවත් යක්ෂයෙකි. අප වේදනාව ගැන කෝපයෙන් කල්පනා කරන විට එය වඩාත් වර්ධනය වේ. වේදනාව වැනි පීඩාකාරී තත්ත්වයකට කාරුණික වීම අපහසු වුවත්, ජීවිතයේ ඇතැම් අවස්ථාවල අපට වෙනත් විකල්පයක් නැත. මගේ දත් කැක්කුම පිළිබඳ පිළිබඳ කතාන්දරයෙහි දැක්වූ පරිදි වේදනාව සාදරයෙන් පිළිගත් විට, එය ක්‍රමයෙන් අඩු වී යයි.




Tuesday, August 9, 2022

සප්ත රතනය හා විල් සත

 


    සප්ත රතන - රන්, රිදී, මුතු, මැණික්, වෛරෝඩි (වෙරළුමිණි), දියමන්ති හා පබළු.


    සත් විල්: හිමාලයේ පවතින මහා විල් සත - අනවතප්ත විල, කර්ණමුන්ඩ විල, රථකාර විල, ඡද්දන්ත විල, කුණාල විල, මන්දාකිණි විල, සීහපපාත විල.


Monday, August 8, 2022

වස්සාන කාලය

 


බොහෝ විට අපගේ කෝපයට හේතුව බලාපොරොත්තු බිඳ වැටීම ය. අප බෙහෙවින් කැප වන කිසියම් ව්‍යාපෘතියක් අපට අවශ්‍ය පරිදි සාර්ථක නොවන විට, අප කුපිත වන්නෙමු. ඒ සියලු ම අවශ්‍යතා අනාගත අපේක්ෂා බවට පත් වන අතර, අනාගතය අවිනිශ්චිත බව අපට දැන් වැටහී තිබේ. අනාගතය ගැන පමණට වඩා බලාපොරොත්තු තැබීම, කරදරවලට අත වැනීමකි.

මා හඳුනන බටහිර බෞද්ධයෙක්, ඈත පෙරදිග රටක දී පැවිදි විය. දැඩි විනයක් පවතින කඳුකර භාවනා ආශ්‍රමයකට ඒ භික්ෂුව සම්බන්ධ විය. හැම වසරක ම, දින හැටක භාවනා වාරයක් එහි පැවැතිවිණි. දුර්වල සිත් ඇති අයට ඔරොත්තු නො දෙන තරමට එය ඉතා දුෂ්කර විය. පෙරවරු 3.00 ට පිබිද, පෙරවරු 3.10 වන විට එරමිණියා ගොතා ගෙන භාවනාව ආරම්භ කළ යුතු විය. හිඳ ගෙන මිනිත්තු පහනක් භාවනා කර, ඒ සමගම මිනිත්තු දහයක් සක්මන් භාවනාවක් වශයෙන් දිගින් දිගට දවස පුරාම භාවනා කිරීමට සැලසුම් කර තිබිණි. ඒ ස්ථානයේ ඒ ඉරියව්වෙන් ම ආහාර අනුභව කළ අතර කතාබස් කිරීමට අවසර නො ලැබිණි. රෑ නින්දට අවසර ලැබුණේ පස්වරු 10.00තය. එහෙත් නිදා ගත යුතු වූයේ භාවනා ශාලාව තුළ තමන් භාවනා කළ ස්ථානයේ ම ය. පෙරවරු 3.00ට පිබිදීම අනිවාර්ය නොවීය. අවශ්‍ය නම්, ඊට කලින් පිබිදීමට අවසර තිබිණි. එහෙත් ඊට පසු නොවේ. එකම විවේකය ලැබුණේ බිය දනවන නායක භික්ෂුව සමග පවතී දෛනික සම්මුඛ පරීක්ෂණය සඳහා ය. ඊට අමතරව වැසිකිළි යාමට ද සුළු විවේකයක් ලැබිණි.

තෙදිනකට පසු බටහිර භික්ෂුවගේ දෙපාවල ද, පිටකොන්දෙහි ද තියුණු වේදනාවක් දැනිණි. බටහිර ජාතිකයකු වශයෙන් එබඳු අපහසු ඉරියව්වකින් එපමණ වේලාවක් සිටීමට ඔහු පුරුදුව සිටියේ නැත. තවත් සති අටක කාලයක්, ඒ දුෂ්කර භාවනාව සඳහා ඉතිරිව තිබිණි.

පළමු සතියෙ අවසානය වන විට වේදනාව තවත් උග්‍ර විය. දින දහයක භාවනාවක යෙදුණු අය, එය කෙතරම් වේදනාත්මක දැයි දනිති.

එහෙත් මේ භික්ෂුව, දැඩි සිත් ඇති පුද්ගලයෙක් විය. තමන් සතු සියලු අධිෂ්ඨාන ශක්තිය ඒකරාශී කරගත් ඔහු, මොහොතින් මොහොත ඒ වේදනාව විඳ දරා ගත්තේ ය. එහෙත් ප්‍රථම දෙසතිය අවසන් වන විට, ඔහුට එය එපා වන තත්ත්වයට පැමිණ තිබිණි. වේදනාව දරා ගත නොහැකි තරම් විය. බුදු දහමේ සඳහන් මධ්‍යම ප්‍රතිපදාවට එය පටහැණි බව කල්පනා කළේ ය.

ආසියානු භික්ෂූන් එය විඳ දරා ගත් අන්දමට දුටු විට, තමන් ගැන ඇති වූ ලැජ්ජාව නිසා තවත් දෙසතියක් ඉවසා සිටීමට ඔහුට හැකි විය. එකම සහනය වූයේ පස්වරු 10.00 ට පීඩාවට පත් ශරීරය දිග හැර වැතිරීමට අවස්ථාවක් ලැබීමය.

තිස්වන දිනය අවසානයේ, බලාපොරොත්තුවේ ආලෝකය ඈත දිලිසෙනු පෙනිණි. එහෙත් දවස් වඩා දීර්ඝ වන බව දැනුණු අතර, වේදනාව ද වඩා උග්‍ර විය. ඔහු කෙසේ හෝ අඛණ්ඩව භාවනාවෙහි නිරත විය. පැණිවල ඇලුණු කුඹියෙකු මෙන් කාලය ගාටන බවක් ඔහුට දැනිණි. ඒ වන විට වේදනාව විඳ දරා ගැනීමට ඔහු පුරුදුව සිටියත් එය කිසි සේත් පහසු නො වීය. ඒ අවස්ථාවේ භාවනාව අත් හැර දැමීම එතෙක් කළ ඉවසීමට කරන අසාධාරණයක් බව ඔහු කල්පනා කළේය. තමන් මියගියත්, අවසානය දක්වා භාවනාව දිගට ම කරන බවට රෑ කාලයේ දී ඔහු අදිටන් කර ගත්තේ ය.

හැට වැනි දිනයෙහි පෙරවරු 3.00ත ඔහු පිබිදුණේ ය. එදින දැනුණු වේදනාව, ඇදහිය නොහැකි තරම් විය. එතෙක් සමච්චල් කල වේදනාව සැබෑ ප්‍රහාරයකට සැරසෙන බව පෙනිණි. කෙසේ හෝ අවසන් මිනිත්තු පනහ උදාවිය. තවත් පැයකට පසු භාවනාව අවසන් වූ විට දීර්ඝ වෙලාවක් උණු වතුරෙන් ස්නානය කිරීම, නිදහසේ ආහාර අනුභව කිරීම, පිළිසඳර කථා ආදී කටයුතු රැසක් ඔහු සිතේ මවා ගත්තේ ය. බිත්ති ඔරලෝසුව දෙස බැලීමට ඔහු දෙනෙත් මදක් විවර කළේය. එය සෙමෙන් ගමන් කරන බව ඔහුට දැනිණි. අන්තිම මිනිත්තු පහන, කල්ප පනහකට සමාන විය. අන්තිමේ දී භාවනාවේ අවසානය හඟවමින් සීනුව නාද විය.

ප්‍රීතිය ගත පුරා පැතිර ගොස් වේදනාව යටපත් විය. ඔහු භාවනාව අවසන් කර තිබිණි.

හැම දෙනාගේ අවධානය ලබා ගැනීම සඳහා නායක භික්ෂුව යළිත් සීනුව නාද කලේ ය. නිවේදනයක් කිරීමට එතුමාට අවශ්‍ය විය.

“මේක විශේෂ භාවනා වාරයක් වූ බව කිව යුතුයි. බොහෝ භික්ෂූන් විශාල දියුණුවක් ලබා තිබෙනවා. මේ භාවනාව තවත් දෙසතියක් දීර්ඝ කරන ලෙස ඔවුන් මට යෝජනා කළා. මෙය විශිෂ්ට අදහසක් බව මම හිතනවා. ඒ අනුව භාවනාව දීර්ඝ කළා. දැන් යළිත් හිඳ ගන්න”

සියලුම භික්ෂූහු එරමිණිය ගොතා ගෙන හිඳ ගත්හ. තමන්ට තවදුරටත් වේදනා නො දැනුණු බව බටහිර භික්ෂුව පැවසීය. ඒ යෝජනාව කළ භික්ෂූන් කවුරුන් දැයි සිතා ගැනීමට ඔහු වෑයම් කළේ ය. හටගත් දැඩි කෝපය නිසා ඔවුන්ගෙන් පලි ගැනීමට ඔහු සිතූ උපක්‍රම, භික්ෂුවකට කිසි සේත් යෝග්‍ය නොවීය.

කෝපය මගින් සියලු වේදනා මකා දමන ලදී. ඊට ඔඑර කිසි විටක එතරම් දරුණු ලෙස ඔහු කෝප නො තිබිණි. ඒ අවස්ථාවේ සීනුව යළිත් නාද විය. නායක භික්ෂුව පිරිස ඇමතීය.

“භාවනාව අවසානයි. දාන ශාලාවේ ඔබ සඳහා කෑම බීම සූදානම්ව තිබෙනවා දැන් කතා බස් කළාට කමක් නැහැ”.

බටහිර භික්ෂුව මහත් අවුලකට පත් විය.

“මම හිතුවෙ, තවත් දෙසතියක් අපි භාවනා කරනවා කියලා. ඇයි ඒක නතර කළේ ? ”

ඉංග්‍රීසි භාෂාව කථා කළ ජ්‍යෙෂ්ඨ භික්ෂුවක් ඔහු අමතා මෙසේ පැවසී ය.

“දුක් වෙන්න එපා. අපේ නායකතුමා හැම අවුරුද්දෙ ම මේ වැඩේ කරනවා”.




නඩු විභාගය


ඔබේ කෝපය ප්‍රකාශ කිරීමට පෙර, එහි නිදොස් බව සහ යෝග්‍ය බව ඔබට ම ඒත්තු ගැන්විය යුතුය. එය කෝපය පිළිබඳ නඩු විභාගයක් ඔබේ සිත තුළ පැවැත්වීමට සමාන ය.

ඔබේ සිත නමැති උසාවිය තුල කෝපය නමැති චූදිතයා, නඩුව විභාග වන තරු බලා සිටී. පැමිණිලිකරු ඔබය. චූදිතයා වැරදිකරු බව ඔබ දන්නා නමුත්, සාධාරණය ඉටු කිරීම සඳහා ඔබේ හෘදය සාක්ෂිය නමැති විනිශ්චයකරු ඉදිරියේ ඒ බව ඔප්පු කළ යුතුය. චූදිතයා ඔබට සිදු කළ ‘අපරාධ’ පිළිබඳව සියලු අතීත තොරතුරු ඔබ රැස් කර ගනී.

සැබෑ උසාවියක චූදිතයා වෙනුවෙන් නීතිඥයකු පෙනී සිටියත් මේ මානසික නඩු විභාගයේ දී ඔබ කරන්නේ ඔබේ කෝපය නිර්දෝෂී බව ඒත්තු ගැන්වීමට හේතු දැක්වීම ය.  නඩුකාරයා වශයෙන් ඔබගේ හෘදය සාක්ෂිය සමාව ඉල්ලා ඉදිරිපත් කරන කන්නලව් ද, ඇදහිය නොහැකි හේතු ද බැහැර කරයි. අනතුරුව චූදිතයා වැරදිකරු බව තීන්දු කරයි.

කලකට පෙර මා කෝප වූ හැම විටක ම, මගේ සිත තුළ සිදු වූයේ මේ ක්‍රියාවලියයි. එය ඉතා අසාධාරණ බව පෙනිණි. එබැවින් කිසිවකු සමග කෝප වීමට මට අවශ්‍ය වූ ඊලඟ අවස්ථාවේ දී නිදහසට කරුණු දැක්වීම සඳහා ‘විත්තියේ නීතිඥයාට’ ඉඩ දුනිමි. මගේ හෘදය සාක්ෂිය නමැති විනිසුරුවරයා, කෝපය වැරදිකරු බවට තවදුරටත් තීන්දු නොකරන බව පෙනිණි.




Sunday, August 7, 2022

කෝපය

 


කෝපය යනු බුද්ධිමත් ප්‍රතිචාරයක් නොවේ. බුද්ධියෙන් ජීවත් වන අය වන අතර, ප්‍රීතිමත් අය කෝප නොවෙති. කෝපය අහේතුක බව ප්‍රථමයෙන් ම කිව යුතුය.

දිනක් අප ගමන් කළ වාහනය, රතු සංඥා එළියක් දැක නතර කරන ලදී. අප පසෙකින් නතර කරන ලද තවත් වාහනයක රියදුරා සංඥා එළිය කෙරෙහි කෝපයෙන් පසු වනු පෙනිණි.

“මට වැදගත් වැඩක් තිබෙන බව ඔබ දන්නේ නැද්ද? මා දැන් හොඳටම පරක්කු වෙලා. මට ඉදිරියෙන් පැමිණි වාහනයට ඔබ ඉඩ දුන්නා නේද? මට මේ විදිහට කරදර කල මුල් වතාව මෙය නොවෙයි” යනුවෙන් ඔහු සිතින් දොස් නගන්නට ඇත.

ඔහු මාර්ග සංඥා එළිවලට දොස් නැගුවේ , ඒවා සිතාමතා ඔහුට කරදර කල මෙනි. ඒවා දුෂ්ට බව සිතුවත්, හුදෙක් සංඥා එළි වශයෙන් ක්‍රියාත්මක වීම පමණකි සිදු වන්නේ.

ඔහු පමා වී නිවසට ලඟා වු විට බිරිඳ මෙසේ බැණ වදින්නට ඇත.

“අපට වැදගත් ගමනක් තිබෙන බව ඔයා දන්නවා. පමා නොවිය යුතු බවත් දන්නවා. ඔයා වෙන වැඩ කරන්න ඇති. ඔයා මේ වගේ පමා වුණු මුල් වතාව මෙය නොවෙයි. ඔයා හිතාමතාම තමයි මගේ සිත රිදවන්නේ”.

ඔහු දුෂ්ට බව ඇය සිතුවත් එය සාධාරණ නොවේ.




Saturday, August 6, 2022

අනියත බිය

 


අප තුළ ඇති ‘පාලකයා අත් හැරීමත්, මේ මොහොත ගැන මෙනෙහි කිරීමත් මගින්, බිය නැමැති සිරගෙයින් අපට නිදහස් විය හැකි ය. එමෙන් ම අපේ ම බුද්ධියෙන් ජීවිතයේ අභියෝග වලට ප්‍රතිචාර දැක්වීමටත්, බොහෝ අසීරු අවස්ථාවලින් බේරීමටත් අපට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවේ අතිසාර්ථක චාරිකාවකින් පසු ආපසු පැමිණි මම පර්ත් ගුවන් තොටුපළේ, ආගමන පරීක්ෂණ කවුන්ටරයේ පෝලිමක රැඳී සිටියෙමි. සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වුණු බැවින්, පෝලිම ඉදිරියට ඇදුණේ සෙමිනි. මත් කුඩු පිළිබඳව සෝදිසි කිරීම සඳහා, රෙගු නිලධාරියෙක් ඒ සඳහා පුහුණු කරන ලද කුඩා සුනඛයෙකු සමග එහි පැමිණියේ ය. ඔහු ඒ සුනඛයා පෝලිමේ මුල සිට අගට රැගෙන යන විට, උගේ ඉව කිරීම කාටත් අපහසුවක් වූ බව පෙනිණි.

සුනඛයා මා ලඟට පැමිණ ඉව කර, නතර විය. සිය කුඩා හොම්බෙන් මගේ සිවුර ස්පර්ශ කරමින්, ඌ වේගයෙන් වලිගය වනන්නට විය. ඌ ඉවතට ඇද ගැනීමට නිලධාරියාට සිදු විය. පෝලිමේ මගේ ඉදිරියෙන් සහ පිටි පසින් සිටි මගීහු දෙදෙනෙක්, මගෙන් මදක් ඈත් වූහ.

මිනිත්තු පහකට පසු මා කවුන්ටරයට වඩාත් සමීපව සිටින විට සුනඛයා යළිත් එහි ගෙනෙන ලදී. හැම මගියෙකු ම ඉව කරමින් පැමිණි ඌ මා ළඟ නතර විය. ඌ යළිත් ඉවතට ඇද ගැනීමට නිලධාරියාට සිදු විය. එහි සිටි කාගෙත් අවධානය මා වෙත යොමු වූ බව පෙනිණි. මෙවැනි අවස්ථාවල දී බොහෝ අය කලබල වුවත්, මම මුළුමනින් ම සන්සුන්ව සිටියෙමි. යම් හෙයකින් සිරගත වීමට මට සිදු වුව හොත් එහි බොහෝ මිතුරන් සිටි බැවින්, ඔවුන් මට ආදරයෙන් සලකන බව මම දැන සිටියෙමි.

මා කවුන්ටරයට ළඟාවූ විට සම්පූර්ණ පරීක්ෂණයක් කරන ලදී. මා ළඟ මත්කුඩු නො තිබුණි. මා කිසි බියත් නො පෙන්වූ බැවින් දෝ, මා නිරුවත් කර සෝදිසි නො කරන ලදී. ඔවුන් කලේ සුනඛයා මා ළඟ නතර වීමට හේතුව මගෙන් විමසීම පමණකි. භික්ෂූන්ගේ සිත තුළ සතුන් කෙරෙහි ඉමහත් කරුණාවක් ඇති බවත් ඉව කරන විට ඒ බව ඌට දැනෙන්නට ඇති බවත් මම පැහැදිලි කළෙමි. කවුන්ටරයෙන් පිටතට පැමිණීමට මට ඉඩ ලැබිණි.

තවත් අවස්ථාවක බීමත්ව සිටි දැවැන්ත ඕස්ට්‍රේලියානු ජාතිකයකුගෙන් මා ගුටි නොකා බේරුණේ යන්තමිනි. පරත් නගරය අසල වූ අපේ නව විහාරස්ථානයේ පදිංචියට අප පැමිණියේ ඒ දිනවල ය. ඒ වෙනුවෙන් පැවැත්වීමට නියමිත වූ වුවෘත කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස බටහිර ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් ගෝර්ඩන් රීඩ් මැතිතුමාට සහ එම මැතිනියට අප කළ ආරාධනය පිළිගෙන තිබීම, අපගේ බලවත් සතුටට හේතු විය. අමුත්තන්ට සහ විශේෂ ආරාධිතයින් සඳහා කූඩාරමක් ඉදි කිරීම සංවිධානය කිරීමටත්, අසුන් පැනවීමත් පිලිබඳ වගකීම මා වෙත පැවරිණි. ඒ සඳහා උසස් ම දේවල් ලබා ගන්නා ලෙස අපේ භාණ්ඩාගාරික තුමා මට පැවසීය.

එබඳු බඩු බාහිරාදිය බද්දට දෙන ප්‍රකට සමාගමක් වෙත ගිය මම, අවශ්‍ය දේ ඇනවුම් කළෙමි.

සිකුරාදා සවස කූඩාරම සහ පුටු සහිත ට්‍රක් රථය විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ, මා සිටියේ අපේ නව විහාරස්ථානයේ පිටිපස තවත් කෙනෙකුගේ කාර්යයකට සහාය වෙමිනි. ඒ බඩුබාහිරාදිය පරික්ෂා කිරීම සඳහා මා එහි පැමිණෙන විට, ට්‍රක් රථය ද, සේවකයින් ද ආපසු ගොස් තිබිණි. කූඩාරමේ තත්වය, ඇදහිය නොහැකි තරම් අශෝභන විය. එය දුහුවිලි වලින් වැසී තිබිණි. අපි හෝස් පයිප්පයකින් කූඩාරම් රෙද්ද සේදීම ආරම්භ කළෙමු. අමුත්තන් සඳහා වූ පුටු ද, ඒ තරමට ම අපවිත්‍ර බව පෙනිණි. මගේ සේවක පිරිස, ඒ හැම පුටුවක් ම පිස දමා පිරිසිඳු කළහ. අවසන් වශයෙන්, විශේෂ ආරාධිතයින් සඳහා වූ පුටු පරික්ෂා කළෙමි. ඒ පුටුවල විශේෂත්වයක් නොතිබුණි. එක ම පුටුවකවත් කකුල් සතර එක උස නො වීය. ඒවා ඒ මේ අතට පැද්දෙන බව පෙනිණි.

තවදුරටත් දරාගත නොහැකි වු විට, මම දුරකථනය වෙත දිව ගොස් මගේ ඇණවුම භාරගත් කාන්තාවට කථා කර තත්වය පැහැදිලි කලෙමි. පැද්දෙන පුටුව පෙරළී, ආණ්ඩුකාරතුමා බිම ඇද වැටුණොත් උද්ගත වන බැරෑරුම් තත්වය තේරුම් ගත් ඇය, සමාව අයැද පැයක් ඇතුළත වෙනත් පුටු ගෙනැවිත් දෙන බවට සහතික වුවාය.

එවර ට්‍රක් රථය පැමිණෙන තුරු මම එහි ම රැඳී සිටියෙමි. එය පන්සල් වත්තට පිවිස නතර කිරීමටත් පෙර බිමට පැනගත් මිනිසෙක් ඇස් දල්වා ගෙන මිට මොලවා ගෙන අප සිටි තැනට පැමිණියේය.

“කවුද මේ වැඩ බාරව ඉන්නෙ? මට එයා හමු වෙන්න ඕන” අපේ මුල් බඩු තොගය ගෙනැවිත් දීම, සේවකයින්ට ඒ සතියට නියමිත අවසන් රාජකාරිය වූ බවත්, ඉන් පසු සති අන්ත විනෝදයක් සඳහා ඔවුන් තැබෑරුමකට ගොස් සිටි බවත් පසුව දැන ගන්නට ලැබිණි. ආයතනයේ කළමනාකරු එහි ගොස් දෙවැනි බඩු තොගයක් අපට ගෙනැවිත් දෙන ලෙස නියෝග කරන විට, ඔවුන් පදමට බීමත්ව සිටින්නට ඇත.

ඒ සේවකයා වෙත ගිය මම සන්සුන්ව කථා කළෙමි.

“මම තමයි, ඒ වැඩ භාරව ඉන්නෙ. මොනවද මගෙන් කෙරෙන්න ඕන” මිට මොලවා ගත් අත, මගේ නාසයේ ගෑවෙන තරමට ඔහු මට ලං විය. ඔහුගේ දෑස කෝපයෙන් දැල්විණි. ඔහුගේ මුවින් උග්‍ර බීර ගඳක් නිකුත් විය. කිසි බියක් මට නො දැනිණි.

මගේ මිතුරන් වැඩ නතර කර බලා සිටි අතර, එක් අයකු වත් මට පිහිට වීමට පැමිණියේ නැත. මම ඒ ගැන ඔවුන්ට ස්තූති කරමි.

කෝපාවිෂ්ට සේවකයා මිනිත්තු දෙකක් පමණ මට රවා ගෙන සිටි අතර, මගේ සන්සුන් ප්‍රතිචාරයෙන් ඔහු ගල් ගැසුණු බව පෙනිණි. ඔහු පුරුදුව සිටියේ ප්‍රතිවාදියා බියෙන් ගැහෙනු දැකීමට ය. එසේ නැතිනම් ගුටි ඇන ගැනීමට ය. මිට මොලවා ගත් අත නාසයටම ලං කල විට සන්සුන්ව සිටින කෙනෙකුට දැක්විය යුතු ප්‍රතිචාරය ගැන ඔහුට අවබෝධයක් නො තිබිණි. මට පහර දීමට හෝ මගෙන් ඉවත් වීමට හෝ ඔහුට නො හැකි වූ බව මම තේරුම් ගතිමි. මගේ එඩිතර බව නිසා ඔහු වික්ෂිප්ත වූ බව පෙනිණි.

ඒ අතර, සේවක පිරිසේ ප්‍රධානියා රථයෙන් බැස අප වෙත පැමිණියේ ය.

“එන්න. අපි අර පුටු බිමට බාමු.” කෝපාවිෂ්ට සේවකයාගේ උරහිස මත අත තබමින් ප්‍රධානියා පැවසීය. එමගින් අවුල විසඳිනි.

“මමත් උදව් කරන්නම්” මම ඉදිරිපත් වීමි. අපි එකමුතුව පුටු බිමට බෑවෙමු.




Saturday, July 30, 2022

වේදනාව නොදැනීම


 

අපේ ආශ්‍රමයේ එක් භික්ෂුවකගේ හැම දතක්ම වාගේ නරක වී ඇත. ඔහුගේ දත් කීපයක් ම ගලවා දමා ඇතත් ඔහු කිසි විටෙක නිර්වින්දන භාවිතා කිරීමට ඉඩ දී නැත. එසේ කිරීමට කැමති දන්ත වෛද්‍යවරයෙකු ඔහුට සොයා ගත හැකි විය.

නිර්වින්දන භාවිතයෙන් තොරව දත් ගැලවීම අද්භූත දෙයක් බව පෙනුණත්, මේ භික්ෂුව ඊටත් වඩා අද්භූත ක්‍රියාවක නිරත විය. ඔහු තමන්ගේ දතක් ගලවා දැමීය.

ඔහු ලේ තැවරුණු දතක් ආණ්ඩුවකින් අල්ලා ගෙන, ආශ්‍රමයේ කම්හලෙන් පිටතට එනු අපි දුටුවෙමු. එබඳු අසීරු ක්‍රියාවක් කලේ කෙසේ දැයි මම ඔහුගෙන් විමසුවෙමි. බිය, වේදනාවෙහි වැදගත් අංගයක් වීමට හේතුව, ඔහුගේ ප්‍රකාශයෙන් සනාථ වේ.

“මගේ ම දත ගලවා දැමීමට මා තීරණය කළ විට වේදනාවක් නො දැනිණි. මා කම්හලට යන විටත්, අඬුව අතට ගත් විටත්, වේදනාවක් නො දැනිණි. දත ගලවන විට වේදනාවක් දැනුණත්, ඒ තත්පර කීපයකට පමණි.”




Sunday, July 3, 2022

වේදනාව අත් හැරීම

 


මීට ඉහත කතන්දරයෙහි මට අත් හැරීමට සිදු වුණේ දත් දැක්කුමේ වේදනාව පිළිබද බියයි.

තියුණු වේදනාව විඳිමින් සිටි මගේ මිතුරන් බොහෝ දෙනකු මේ ක්‍රමය අත්හදා බැලුවත් සාර්ථක නොවීය. ඔවුන්ගේ වේදනාව හා සසඳන විට මගෙ වේදනාව ඉතා සුළු යයි ඔවුහු මැසිවිලි නැගූහ. එය සත්‍ය නොවේ. වේදනාව පෞද්ගලික වන අතර එය මැනිය නොහැකි ය. ඔවුන්ගේ අත්හැරීම සාර්ථක නොවීමට හේතුව මගෙ ශිෂ්‍යයින් තිදෙනකු පිළිබඳ මේ කතන්දරයෙන් ඔවුන්ට පැහැදිලි කළෙමි.

දැඩි වේදනාවෙන් පෙළෙන පළමුවැනි ශිෂ්‍යයා, වේදනාව අත් හැරීමට තැත් කරයි. කිසිවක් වෙනස් නො වන විට ඔවුහු ‘අත් හරින්න යයි යළිත් පවසති.

මෙය හාස්‍යජනක වුවත් අප කවුරුත් බොහෝ විට කරන්නේ එයයි. අප අත් හරින්නේ වැරදි දෙයකි. අප අත් හළ යුත්තේ අප තුළ සිටින පාලකයා ය.

දැඩි වේදනාවෙන් පෙළෙමින් සිටි දෙවැනි ශිෂ්‍යයා, මේ අවවාදය මතක තබා ගෙන, පාලකයා අත හරියි. මිනිත්තු දහයකට පසුත් වේදනාවේ වෙනසක් නැති හෙයින්, අත් හැරීම සාර්ථක නැතැයි ඔවුහු චෝදනා කරති. අත් හැරීම, වේදනාවෙන් මිදීමේ ක්‍රමයක් නොවන බවත් එය වේදනාව සමග සමාදාන වීමේ ක්‍රමයක් බවත් මම ඔවුනට පහදා දෙමි.

“වේදනාව ඔබ මට කුමක් කළත්, මගේ හදවත ඔබට විවෘතයි ඇතුළට එන්න” යනුවෙන් තෙවැනි ශිෂ්‍යයා පවසයි.

වේදනාවට නිදහස දෙන ඔවුහු, එය පාලනය කිරීමට දරන උත්සාහය අත් හැර දමති. වේදනාව අතුරුදහන් වන්නේ එසේ කළ විට පමණ ය.




Sunday, June 19, 2022

වේදනාව පිලිබඳ බිය


 

බිය, වේදනාවෙහි අඩංගු වැදගත් අංගයකි. වේදනාව පීඩාකාරී වන්නේ බිය නිසාය. බිය ඉවත් කළ විට ඉතිරි වන්නේ වේදනාත්මක හැඟීම පමණි.

1970 දශකයේ මැද භාගයේ දී මම ඊසාන දිග තායිලන්තයේ දුරබැහැර ආරණ්‍ය සේනාසනයක දරුණු දත් කැක්කුමකින් පීඩා වින්දෙමි. දන්ත වෛද්‍යවරයකු හෝ දුරකතනයක් හෝ විදුලි බලය හෝ එහි නොවීය. අපේ ඖෂධ මංජුසාවේ, ඇස්ප්‍රින් පෙත්තක් වත් නො තිබිණි. ආරණ්‍යවාසී භික්ෂූන්, වේදනා විඳ දරා ගත යුතු විය.

රෑ බෝ වන විට දත් කැක්කුම තවත් දරුණු වන බව දැනිණි. මා සාමාන්‍යයෙන් ශක්තිමත් කෙනෙකු වුවත් දත් කැක්කුම මගේ ශක්තිය උරගා බලන්නට විය. ආනාපානාසති භාවනාවෙහි යෙදී වේදනාවෙන් මිදීමට තැත් කළෙමි. ඒ භාවනාව මගින් මගින් මදුරුවන් දෂ්ට කිරීමෙන් ඇති වන වේදනාව සමනය කරන සැටි මා දැන සිටියෙමි. එහෙත් දත් කැක්කුම ඊට වඩා සුවිශේෂී විය. මිනිත්තු දෙකක් පමණ භාවනා කරන විට මා දොර වසා තිබුණු සිතට පා පහරක් දී වේදනාව දොර බිඳ ගෙන වඩා දරුණු ලෙස යළිත් පැමිණියේය.

මම නැගිට එළිමහනට ගොස් සක්මන් භාවනාව අත්හදා බැලුවෙමි. එය ‘සක්මන් භාවනාවක්’ නොව ‘දුවන් භාවනාවක්’ බවට පත් වූ බැවින් එය ද අත් හළෙමි.

ආපසු කුටිය තුලට ගිය මම හිඳ ගෙන පිරිත් සජ්ජායනා කිරීමට පටන් ගතිමි. මා ඒ වචන බෙරිහන් දෙමින් පැවසූ බව වැටහුණු විට ඒ ක්‍රමය ද නතර කළෙමි. රෑ බෝ වී තිබුණු අතර මගේ කෑගැසීම සෙසු භික්ෂූන්ගේ නින්දට බාධාවක් වෙතැයි බිය වීමි.

මා සිටියේ, මගෙ මව් රටෙන් සැතපුම් දහස් ගණනක් ඈත පහසුකම් වලින් තොර වනාන්තරයක ය. වේදනාව දරා ගත නොහැකි විය. මා දන්නා හැම ක්‍රමයක් ම අත්හදා බැලුවත් පලක් නොවී ය. එබඳු අවස්ථාවල දී කිසි විටක දකින්නට නොලැබෙන ප්‍රඥාවේ දොරටු විවෘත වේ.

‘අත් හරින්න යන කෙටි වචන දෙක මට සිහිපත් විය. ඒ වචන මා ඊට පෙර බොහෝ වරක් අසා තිබිණි. මගේ මිතුරන්ට ඒ ගැන විස්තර කළෙමි. එබැවින් සියයට සීයක්ම වේදනාව අත් හැරීමට තැත් කළෙමි. ඊළඟට සිදු වූ දේ මගේ විමතියට හේතු විය. ඒ දරුණු වේදනාව සැනෙකින් අතුරුදහන් විය. ඒ වෙනුවට පැමිණියේ ඉතා ආනන්ද ජනක ප්‍රමෝදයකි. මගේ සිත මුළුමනින් සන්සුන් විය. ඉන් පසු නිරායාසයෙන් භාවනා කළෙමි. එදා රෑ මම සුව නින්දක් ලැබීමි. පසුදා ආශ්‍රමික වැඩ කටයුතු සඳහා වේලාසනින් මා පිබිදුණු විට දත් කැක්කුමක් තිබුනත් ඊට පෙර පැවති දත් කැක්කුම හා සසඳන විට එය සුළු වේදනාවක් විය.



Thursday, May 26, 2022

ප්‍රසිද්ධ දේශනා පැවැත්වීමට ඇති බිය

 


විශාල පිරිසක් ඉදිරියේ කතා කිරීමට සිදු වීම ඉතා උග්‍ර බියක් බව මා අසා තිබේ. විහාරස්ථාන වල දී, සම්මන්ත්‍රණ වල දී,  මංගල හා අවමංගල උත්සව වල දී, පිරිසක් ඉදිරියේ කතා කිරීමට මට නිතර සිදු වේ.

එක් අවස්ථාවක ප්‍රසිද්ධ දේශනයකට මිනිත්තු පහකට පෙර, මම බියෙන් මුසපත් වීමි. ඒ සඳහා මා කිසි ම සුදානමක් වී නො තිබිණි. තුන්සීයක පමණ පිරිසක් ශාලාවේ අසුන් ගෙන සිටියහ. මගේ දේශනයට සවන් දීම සඳහා ඒ සන්ධ්‍යාවට නියමිත කටයුතු ඔවුන් අතපසු කර තිබිණි.

“කුමක් කිව යුතු දැයි මට සිතා ගන්නට බැරි වුණොත් ? මා වැරදි අදහසක් පැවසුවොත්...” ආදී වශයෙන් තනිව ම කල්පනා කළෙමි.

සියලු ම බිය ආරම්භ වන්නේ, ඉදිරියට කුමන විනාශයක් සිදු වේ දැයි කල්පනා කරන විට ය. මා අනාගතය ගැන සිතුවේ සෘණ ආකල්පයකින් යුතුව ය. මා ආඥාදායකයෙකු බව වැටහිණි. මා සියලු ම සිද්ධාන්ත දැන සිටියත් පලක් නොවීය. බිය අඛණ්ඩව මා වටා කැරකිණි. ඒ සන්ධ්‍යාවේ මම එක්තරා උපක්‍රමයක් අනුගමනය කළෙමි. එමගින් මාගේ බිය තුරන් විය. විහිළු කතා පැවසීමට මම තීරණය කළෙමි.

දැන් මා දේශනයක් පවත්වන හැම විට ම විහිළු කතා කියමින්, මම ද ආස්වාදයක් ලබමි. පිරිස සමග මම ද සිනාසෙමි.

වරක් සිංගප්පූරුවේ දී මා පැවැත්වූ ගුවන් විදුලි දේශනයකට, අනාගත මුදල් භාවිතය පිළිබඳව අචාන් චා හිමියන්ගේ අනාවැකියක් ද ඇතුළත් කළෙමි.

“යම් දිනක, මුදල් නෝට්ටු තැනීමට අවශ්‍ය ලොව ඇති සියලු කඩදාසි ද, කාසි තැනීමට අවශ්‍ය ලෝහ වර්ග ද අවසන් වනු ඇත. ඒ නිසා එදිනෙදා ගනුදෙනු සඳහා වෙනත් ආදේශකයක් සොයා ගැනීමට මිනිසුන්ට සිදු වනු ඇත. මුදල් වශයෙන් ඔවුන්, කුකුල් බෙටිවලින් සෑදු ගුලි භාවිත කරනු ඇත. එවිට මිනිසුන් ගමන් බිමන් යන්නේ සාක්කු, කුකුල් බෙටිවලින් පුරවා ගෙනය. බැංකු කුකුල් බෙටිවලින් පිරී යන අතර ඒවා සොරා ගැනීමට කොල්ලකරුවෝ තැත් කරති. තමන් සතු කුකුල් බෙටි ප්‍රමාණය ගැන ධනවත්තු උඩඟු වෙති. ලොතරැයියකින් කුකුල් බෙටි විශාල ප්‍රමාණයක් දිනා ගැනීමට දුප්පත්තු සිහින මවති. රට තුළ කුකුල් බෙටි තත්වය පිළිබඳව රජය දැඩි අවධානය යොමු කරයි. ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය තරම් කුකුල් බෙටි ප්‍රමාණයක් රජය සතුව ඇති විට පමණක්, පාරිසරික හා සාමාජික ප්‍රශ්න ගැන සලකා බැලිය හැකි ය.”

මුදල් නෝට්ටු, කාසි සහ කුකුල් බෙටි අතර කිසි වෙනසක් නැත. ඒ කතන්දරය පැවසීමෙන් මෙම ආස්වාදය ලදිමි. එය අපේ වත්මන් සංස්කෘතිය පිළිබඳව වැදගත් ප්‍රකාශයක් විය. සිංගප්පූරු වැසියෝ ආශාවෙන් ඊට සවන් දුන්හ.

ප්‍රසිද්ධ දේශනයක් පවත්වන විට ලැබීමටත් ඔබ තීරණය කළොත්, සැහැල්ලුවෙන් ඒ කාර්යය කළ හැකිය. එක වර බිය වීමත්, විනෝද වීමත් මනෝවිද්‍යාත්මක වශයෙන් අපහසු ය. මා සැහැල්ලුවෙන් සිටින විට, දේශනය අතරතුර මගෙ සිතට අදහස් නිදහසේ ගලා එන අතර ඒවා චතුර ලෙස මගේ මුවින් පිට වේ. එපමණක් නොව, විනෝදයක් ඇති විට දේශනය නීරස නොවේ.

දේශනයක් අතරතුර සභාව සිනා ගැන්වීමේ ඇති වැදගත්කම, ටිබෙට් ජාතික භික්ෂුවක් මෙසේ විස්තර කරයි.

“සිනාසීමට මුව විවර කළ විට, ප්‍රඥාව නැමැති බෙහෙත් පෙත්ත එතුළට විසි කළ හැකිය.”

මම කිසි විටක මගේ දේශනවලට කලින් සුදානම් නො වෙමි. ඒ වෙනුවෙන් මා කරන්නේ, මගේ හදවත සහ සිත සුදානම් කර ගැනීමය. දේශනයක් සඳහා කිසි විටක සුදානම් නොවන ලෙස තායිලන්තයේ භික්ෂූහු පුහුණු කරනු ලබති. ඔවුන් පුහුණු වන්නේ කලින් දැන්වීමකින් තොරව ඕනෑම වෙලාවක දේශනයක් පැවැත්වීමට සුදානම්ව සිටීමටය.

ඊසාන දිග තායිලන්තයේ දෙවනුව වඩාත් වැදගත් බෞද්ධ ආගමික උත්සවය නම් නවම් පූජාව ය. මා ඒ දිනවල සිටියේ අචාන් චා හිමියන්ගේ වට් පා පොන් නැමැති ආශ්‍රමයේ ය. භික්ෂූහු දෙසීයක් පමණ ද ගිහි පිරිස දහස් ගණනක් ද එහි වූහ. ඒ මාගේ පැවිදි ජීවිතයේ පස්වැනි වර්ෂය විය.

සංධා වන්දනාමාන වලින් පසු ප්‍රධාන අනුශාසනාව සඳහා අවස්ථාව උදාවිය. එබඳු ප්‍රධාන අවස්ථාවක දී අනුශාසනාව පවත්වන්නේ, සාමාන්‍යයෙන් අචාන් චා හිමියන් වුවත්, ඒ හැම විට ම නොවේ. ඇතැම් විට එතුමා භික්ෂූන් පේළිය දෙස විමසිල්ලෙන් බලා ගෙන යයි. එතුමාගේ බැල්ම ඔබ වෙත නතර වුණොත්. ඒ කාර්යය ඔබ මත පැටවේ. එහි සිටි සෙසු භික්ෂූන් හා සසඳ විට මා ළාබාල භික්ෂුවක වුවත්, එතුමා කුමක් කරාවි දැයි කිසි විටක නිශ්චිතව කිව නොහැකි විය.

එතුමා භික්ෂූන් පේළිය විමසන විට ඒ බැල්ම මා පසුකර ගිය විට සැනසුම් සුසුමක් හෙළීමි. එතුමා යළිත් ඒ පේළිය විමසන විට බැල්ම නතර වූයේ මා ළඟය.

“බ්‍රහ්ම, අනුශාසනාව පවත්වන්න” එතුමා අණ කළේය. කිසි ම සුදානමකින් තොරව ඒ විශාල පිරිස ඉදිරියේ, තායි බසින් අනුශාසනාවක් පැවැත්වීමට මට සිදු විය. වඩා වැදගත් වූයේ අනුශාසනාව සාර්ථක හෝ අසාර්ථක වීම නොව මා කෙසේ හෝ එය පැවැත්වීම ය.

මගේ අනුශාසනාව යහපත් හෝ අයහපත් වීම පිළිබඳව එතුමා කිසි විටක සඳහන් කලේ නැත. වරක් ආගමික පුද පූජා සඳහා ආශ්‍රමයට රැස්ව සිටි ගිහි පිරිසට තායි බසින් ධර්මානුශාසනාවක් පවත්වන ලෙස, දක්ෂ බටහිර භික්ෂුවකට එතුමා පැවසීය. පැයකට පසු එය අවසන් කිරීමට භික්ෂුව සැරසුණු විට තවත් පැයකින් එය දීර්ඝ කරන ලෙස එතුමා අණ කළේය. එය අසීරු කාර්යයක් වුවත්, භික්ෂුව ඊට එකඟ විය. දෙවැනි පැයෙන් පසුව පසුවද තවත් පැයක් දීර්ඝ කිරීමට අණ ලැබිණි. බටහිර භික්ෂුවගේ තායි භාෂා දැනුම සීමිත ය. ගිහි පිරිසට එය නීරස වුවත් කළ හැකි අන් කිසිවක් නොවීය.

තෙවැනි පැයෙන් පසුව ද එබඳු ම අණක් ලැබිණි. පැය සතරකින් පසු ධර්මානුශාසනාව අවසන් විය. එබඳු අත්දැකීමකින් සභාවේ ප්‍රතිචාරයේ ගැඹුරට ම කිමිදුණු විට, පිරිසක් ඉදිරියේ කතා කිරීමට තව දුරටත් බියක් නො දැනෙන බව ඒ භික්ෂුව පැවසීය.

අචාන් චා හිමියන් විසින් අප පුහුණු කරන ලද්දේ එලෙස ය.