Saturday, August 6, 2022

අනියත බිය

 


අප තුළ ඇති ‘පාලකයා අත් හැරීමත්, මේ මොහොත ගැන මෙනෙහි කිරීමත් මගින්, බිය නැමැති සිරගෙයින් අපට නිදහස් විය හැකි ය. එමෙන් ම අපේ ම බුද්ධියෙන් ජීවිතයේ අභියෝග වලට ප්‍රතිචාර දැක්වීමටත්, බොහෝ අසීරු අවස්ථාවලින් බේරීමටත් අපට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවේ අතිසාර්ථක චාරිකාවකින් පසු ආපසු පැමිණි මම පර්ත් ගුවන් තොටුපළේ, ආගමන පරීක්ෂණ කවුන්ටරයේ පෝලිමක රැඳී සිටියෙමි. සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වුණු බැවින්, පෝලිම ඉදිරියට ඇදුණේ සෙමිනි. මත් කුඩු පිළිබඳව සෝදිසි කිරීම සඳහා, රෙගු නිලධාරියෙක් ඒ සඳහා පුහුණු කරන ලද කුඩා සුනඛයෙකු සමග එහි පැමිණියේ ය. ඔහු ඒ සුනඛයා පෝලිමේ මුල සිට අගට රැගෙන යන විට, උගේ ඉව කිරීම කාටත් අපහසුවක් වූ බව පෙනිණි.

සුනඛයා මා ලඟට පැමිණ ඉව කර, නතර විය. සිය කුඩා හොම්බෙන් මගේ සිවුර ස්පර්ශ කරමින්, ඌ වේගයෙන් වලිගය වනන්නට විය. ඌ ඉවතට ඇද ගැනීමට නිලධාරියාට සිදු විය. පෝලිමේ මගේ ඉදිරියෙන් සහ පිටි පසින් සිටි මගීහු දෙදෙනෙක්, මගෙන් මදක් ඈත් වූහ.

මිනිත්තු පහකට පසු මා කවුන්ටරයට වඩාත් සමීපව සිටින විට සුනඛයා යළිත් එහි ගෙනෙන ලදී. හැම මගියෙකු ම ඉව කරමින් පැමිණි ඌ මා ළඟ නතර විය. ඌ යළිත් ඉවතට ඇද ගැනීමට නිලධාරියාට සිදු විය. එහි සිටි කාගෙත් අවධානය මා වෙත යොමු වූ බව පෙනිණි. මෙවැනි අවස්ථාවල දී බොහෝ අය කලබල වුවත්, මම මුළුමනින් ම සන්සුන්ව සිටියෙමි. යම් හෙයකින් සිරගත වීමට මට සිදු වුව හොත් එහි බොහෝ මිතුරන් සිටි බැවින්, ඔවුන් මට ආදරයෙන් සලකන බව මම දැන සිටියෙමි.

මා කවුන්ටරයට ළඟාවූ විට සම්පූර්ණ පරීක්ෂණයක් කරන ලදී. මා ළඟ මත්කුඩු නො තිබුණි. මා කිසි බියත් නො පෙන්වූ බැවින් දෝ, මා නිරුවත් කර සෝදිසි නො කරන ලදී. ඔවුන් කලේ සුනඛයා මා ළඟ නතර වීමට හේතුව මගෙන් විමසීම පමණකි. භික්ෂූන්ගේ සිත තුළ සතුන් කෙරෙහි ඉමහත් කරුණාවක් ඇති බවත් ඉව කරන විට ඒ බව ඌට දැනෙන්නට ඇති බවත් මම පැහැදිලි කළෙමි. කවුන්ටරයෙන් පිටතට පැමිණීමට මට ඉඩ ලැබිණි.

තවත් අවස්ථාවක බීමත්ව සිටි දැවැන්ත ඕස්ට්‍රේලියානු ජාතිකයකුගෙන් මා ගුටි නොකා බේරුණේ යන්තමිනි. පරත් නගරය අසල වූ අපේ නව විහාරස්ථානයේ පදිංචියට අප පැමිණියේ ඒ දිනවල ය. ඒ වෙනුවෙන් පැවැත්වීමට නියමිත වූ වුවෘත කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස බටහිර ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් ගෝර්ඩන් රීඩ් මැතිතුමාට සහ එම මැතිනියට අප කළ ආරාධනය පිළිගෙන තිබීම, අපගේ බලවත් සතුටට හේතු විය. අමුත්තන්ට සහ විශේෂ ආරාධිතයින් සඳහා කූඩාරමක් ඉදි කිරීම සංවිධානය කිරීමටත්, අසුන් පැනවීමත් පිලිබඳ වගකීම මා වෙත පැවරිණි. ඒ සඳහා උසස් ම දේවල් ලබා ගන්නා ලෙස අපේ භාණ්ඩාගාරික තුමා මට පැවසීය.

එබඳු බඩු බාහිරාදිය බද්දට දෙන ප්‍රකට සමාගමක් වෙත ගිය මම, අවශ්‍ය දේ ඇනවුම් කළෙමි.

සිකුරාදා සවස කූඩාරම සහ පුටු සහිත ට්‍රක් රථය විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ, මා සිටියේ අපේ නව විහාරස්ථානයේ පිටිපස තවත් කෙනෙකුගේ කාර්යයකට සහාය වෙමිනි. ඒ බඩුබාහිරාදිය පරික්ෂා කිරීම සඳහා මා එහි පැමිණෙන විට, ට්‍රක් රථය ද, සේවකයින් ද ආපසු ගොස් තිබිණි. කූඩාරමේ තත්වය, ඇදහිය නොහැකි තරම් අශෝභන විය. එය දුහුවිලි වලින් වැසී තිබිණි. අපි හෝස් පයිප්පයකින් කූඩාරම් රෙද්ද සේදීම ආරම්භ කළෙමු. අමුත්තන් සඳහා වූ පුටු ද, ඒ තරමට ම අපවිත්‍ර බව පෙනිණි. මගේ සේවක පිරිස, ඒ හැම පුටුවක් ම පිස දමා පිරිසිඳු කළහ. අවසන් වශයෙන්, විශේෂ ආරාධිතයින් සඳහා වූ පුටු පරික්ෂා කළෙමි. ඒ පුටුවල විශේෂත්වයක් නොතිබුණි. එක ම පුටුවකවත් කකුල් සතර එක උස නො වීය. ඒවා ඒ මේ අතට පැද්දෙන බව පෙනිණි.

තවදුරටත් දරාගත නොහැකි වු විට, මම දුරකථනය වෙත දිව ගොස් මගේ ඇණවුම භාරගත් කාන්තාවට කථා කර තත්වය පැහැදිලි කලෙමි. පැද්දෙන පුටුව පෙරළී, ආණ්ඩුකාරතුමා බිම ඇද වැටුණොත් උද්ගත වන බැරෑරුම් තත්වය තේරුම් ගත් ඇය, සමාව අයැද පැයක් ඇතුළත වෙනත් පුටු ගෙනැවිත් දෙන බවට සහතික වුවාය.

එවර ට්‍රක් රථය පැමිණෙන තුරු මම එහි ම රැඳී සිටියෙමි. එය පන්සල් වත්තට පිවිස නතර කිරීමටත් පෙර බිමට පැනගත් මිනිසෙක් ඇස් දල්වා ගෙන මිට මොලවා ගෙන අප සිටි තැනට පැමිණියේය.

“කවුද මේ වැඩ බාරව ඉන්නෙ? මට එයා හමු වෙන්න ඕන” අපේ මුල් බඩු තොගය ගෙනැවිත් දීම, සේවකයින්ට ඒ සතියට නියමිත අවසන් රාජකාරිය වූ බවත්, ඉන් පසු සති අන්ත විනෝදයක් සඳහා ඔවුන් තැබෑරුමකට ගොස් සිටි බවත් පසුව දැන ගන්නට ලැබිණි. ආයතනයේ කළමනාකරු එහි ගොස් දෙවැනි බඩු තොගයක් අපට ගෙනැවිත් දෙන ලෙස නියෝග කරන විට, ඔවුන් පදමට බීමත්ව සිටින්නට ඇත.

ඒ සේවකයා වෙත ගිය මම සන්සුන්ව කථා කළෙමි.

“මම තමයි, ඒ වැඩ භාරව ඉන්නෙ. මොනවද මගෙන් කෙරෙන්න ඕන” මිට මොලවා ගත් අත, මගේ නාසයේ ගෑවෙන තරමට ඔහු මට ලං විය. ඔහුගේ දෑස කෝපයෙන් දැල්විණි. ඔහුගේ මුවින් උග්‍ර බීර ගඳක් නිකුත් විය. කිසි බියක් මට නො දැනිණි.

මගේ මිතුරන් වැඩ නතර කර බලා සිටි අතර, එක් අයකු වත් මට පිහිට වීමට පැමිණියේ නැත. මම ඒ ගැන ඔවුන්ට ස්තූති කරමි.

කෝපාවිෂ්ට සේවකයා මිනිත්තු දෙකක් පමණ මට රවා ගෙන සිටි අතර, මගේ සන්සුන් ප්‍රතිචාරයෙන් ඔහු ගල් ගැසුණු බව පෙනිණි. ඔහු පුරුදුව සිටියේ ප්‍රතිවාදියා බියෙන් ගැහෙනු දැකීමට ය. එසේ නැතිනම් ගුටි ඇන ගැනීමට ය. මිට මොලවා ගත් අත නාසයටම ලං කල විට සන්සුන්ව සිටින කෙනෙකුට දැක්විය යුතු ප්‍රතිචාරය ගැන ඔහුට අවබෝධයක් නො තිබිණි. මට පහර දීමට හෝ මගෙන් ඉවත් වීමට හෝ ඔහුට නො හැකි වූ බව මම තේරුම් ගතිමි. මගේ එඩිතර බව නිසා ඔහු වික්ෂිප්ත වූ බව පෙනිණි.

ඒ අතර, සේවක පිරිසේ ප්‍රධානියා රථයෙන් බැස අප වෙත පැමිණියේ ය.

“එන්න. අපි අර පුටු බිමට බාමු.” කෝපාවිෂ්ට සේවකයාගේ උරහිස මත අත තබමින් ප්‍රධානියා පැවසීය. එමගින් අවුල විසඳිනි.

“මමත් උදව් කරන්නම්” මම ඉදිරිපත් වීමි. අපි එකමුතුව පුටු බිමට බෑවෙමු.




0 comments:

Post a Comment