භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Tuesday, January 24, 2023

වැදගත් පුද්ගලයෙකු වන හැටි


 මා අපගේ ආශ්‍රමයේ ගත කළ ප්‍රථම වර්ෂයේ දී ගෙවල් තැනීම පිළිබඳව ඉගෙනීමට මට සිදු විය. මට පැවරුණු ප්‍රථම කාර්යය වූයේ, වැසිකිළි හයකින් සහ නාන කාමර හයකින් සමන්විත ගොඩනැගිල්ලකි. එබැවින් ජල නළ වෙළඳ සමාගමකට එහි සැලැස්ම ඉදිරිපත් කලෙමි.

එය තරමක ලොකු ගනුදෙනුවක් විය. අවශ්‍ය ජල නළ කොටස් සහ ඒවා සවි කළ යුතු අන්දම පිළිබඳව එහි සිටි වෙළඳ සේවක ෆ්‍රෙඩි විසින් සවිස්තර පැහැදිළි කිරීමක් කරන ලදී. අන්තිමේ දී ඔහුගේ උපදෙස් අනුව නව ගොඩනැගිල්ලේ ජල නළ සවි කිරීම සාර්ථකව අවසන් කර ගත හැකි විය. ඒ කටයුතු නිවැරදි බව ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරයා විසින් සහතික කරන ලදි.

දින කීපයකට පසු ගනුදෙනුව සඳහා වූ බිල වෙළඳ සමාගමෙන් අප වෙත එවන ලදි. ඒ සඳහා චෙක්පතක් සමග අපට උදව් කිරීම පිළිබඳව වෙළඳ සමාගමට විශේෂයෙන් ෆ්‍රෙඩිට ස්තුති කර ලිපියක් ද යැවීමි.

එය අංශ කීපයකින් සමන්විත විශාල වෙළඳ සමාගමක් විය. මා යැවූ ලිපිය ගිණුම් අංශයට යොමු කරන ලද බවත් එය කියවා බැලූ ලිපිකරු විස්මයටත් ප්‍රීතියටත් පත්ව වහාම ගිණුම් කළමනාකරු වෙත එය රැගෙන ගිය බවත් පසුව දැන ගතිමි. සාමාන්‍යයෙන් චෙක්පතක් සමග ලැබෙන ලිපියක සඳහන් වන්නේ කුමක් හෝ චෝදනාවකි. මාගේ ප්‍රශංසාත්මක ලිපිය දැක පුදුමයට පත් කළමනාකරු එය වෙළද සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක වෙත ඉදිරිපත් කලේ ය. ඒ ගැන බලවත් සතුටට පත් අධ්‍යක්ෂකවරයා දුරකතනයෙන් වෙළඳ සේවක ෆ්‍රෙඩිට ඒ ලිපිය ගැන දැන්වී ය.

“ෆ්‍රෙඩ් අපේ කොම්පැණියට අවශ්‍ය හරියටම මේ වගේ සේවකයෙක්, ඒ කියන්නෙ යහපත් පාරිභෝගික සබඳතා”

“ඔව් සර්”

“ඔයා කර තිබෙන්නෙ විශිෂ්ට සේවයක්”

“ඔව් සර්”

“ඔයා වගේ තවත් සේවකයින් අපට අවශ්‍යයි.”

“ඔයාට දැන් ලැබෙන වැටුප කීය ද...? අපට පුළුවන් ඒක වැඩි කරන්න”

“ඔව් සර්”

“ෆ්‍රෙඩ්, ඔයා කළේ බොහොම හොඳ වැඩක්.”

“තෑන්ක් යූ සර්”

ඊට පසු දිනක වෙනත් අවස්ථාවක් සඳහා මම ඒ වෙළඳ සමාගමට ගියෙමි. ඕස්ට්‍රේලියානු ජල නල කාර්මිකයින් දෙදෙනකු මට පෙර එහි ගොස් සිටි බැවින් මගේ වාරය එන තුරු පසෙකට වී සිටියෙමි. ෆ්‍රෙඩ් ඒ දෙදෙනාට පෙර මා ගැන සැලකිලිමත් විය. වැදගත් පුද්ගලයකු වශයෙන් මට විශේෂ සැලකිල්ලක් දක්වන ලදි.

එදා මා එහි ගියේ වෙනත් කාර්යයක් සඳහා මිලට ගෙන තිබුණු ජල නළ කොටසක් මාරු කර ගැනීමටය. මාරු කරන ලද කොටසෙහි මිල පෙරට වැඩි වූවත් අමතර මුදල මගෙන් අය නො කරන ලදි.

ප්‍රශංසාවෙහි මූල්‍යමය වටිනාකමක් ද ඇති බව ඉන් පැහැදිලි වේ.