භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Tuesday, March 29, 2022

බියෙන් නිදහස් වීම

  

අතීතයේ දී අප අතින් සිදු වූ වැරදි ගැන පමණක් අවධානය යොමු කළොත් බිය, අනාගතයේ දී අප අතින් සිදු විය හැකි වැරදි දෙස පමණක්, ඇස් දල්වා බලා සිටී. බියෙන් අන්ධ වූ විට යහපත් ගුණාංග අපට නො පෙනේ. බිය යටපත් වන්නේ වැරදි ගැන පමණක් නොව, සමස්තයක් වශයෙන් ජීවිතය දෙස බැලීමෙනි. දේශන මාලාවක් සඳහා මා සිංගප්පූරුවේ කළ සංචාරයක් පිළිබඳ පහත දැක්වෙන කතාන්දරය නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය.

ඒ දේශන සඳහා කටයුතු සුදානම් කර තිබුණේ මාස කිහිපයකට පෙර ය. ආසන 2500 ක් සහිත මිල අධික ශ්‍රවනාගාරයක් ඒ සඳහා වෙන් කර ගෙන තිබිණි. බස් නැවතුම් වල පෝස්ටර් ප්‍රදර්ශනය කරන ලදී. ඒ අතර SARS නමැති කුරුලු උණ වසංගතය එහි පැතිරෙන්නට විය. මා සිංගප්පූරුවට ළඟා වූ විට සියලු පාසල් වසා දමා, මහල් නිවාස සෙසු අයගෙන් වෙන් කර තිබිණි. මහජන රැස්වීම් වලට සහභාගී නො වන ලෙස, රජය මගින් ජනතාවට උපදෙස් ලබා දෙනු දක්නට ලැබිණි. ඒ දිනවල පැතිර ගියේ දැඩි බියකි. දේශන අවලංගු කළ යුතු දැයි මගෙන් විමසන ලදී.

සිංගප්පූරු වසින්ය අනූනව දෙනෙකුට කුරුලු උණ වැළඳ ඇති බව එදා උදේ දිනපතා පුවත් පතක ලොකු අකුරු වලින් පළ වී තිබිණි.

“සිංගප්පූරුවේ වර්තමාන ජනගහනය කොපමණ ද? ” මම ප්‍රශ්න කළෙමි.

“මිලියන සතරක් පමණ ඇති”

“ඉතින් සිංගප්පූරු වැසියන් 3,999,901 දෙනෙකුට ඒ රෝගය වැළඳී නැහැ නේද? අපි දේශන පවත්වමු”

“නමුත් කාට හරි ඒ රෝගය වැළඳුනොත්..?” නිය ඇසී ය.

“නමුත් කාට වත් නො වැළඳුනොත්.” බුද්ධිය පැවසීය.

ඒ අනුව මා ඒ දේශන පැවැත්වූ අතර, ප්‍රථම සන්ධ්‍යාවේ දී 1500 දෙනෙකුන් ඊට සහභාගී වූහ. අවසන් දේශනය වන විට ශාලාව පිරී යන තරම් පිරිසක් පැමිණියහ. අවිචාරවත් බියට එරෙහිව කටයුතු කිරීමට ඔවුහු ඉගෙන ගත්හ. එමගින් ඉදිරියේ දී ඔවුන්ගේ ධෛර්යය වඩාත් ශක්තිමත් වනු ඇත. ඒ දේශනා වලින් ඔවුන් ආස්වාදයක් ලැබූ අතර ඉන් අදහස් වූයේ, ඔවුන්ගේ විෂ බීජ සමග සටන් වදින ප්‍රතිශක්ති පද්ධතිය වඩා ශක්තිමත් වූ බව ය. මාගේ විහිළු අසා ඔවුහු සිනාසුණහ.  එමගින් ඔවුන්ගේ ශ්වසන පද්ධතිය ද වඩා ශක්තිමත් විය. ඇත්ත වශයෙන් එහි පැමිණි පිරිස අතරින් කිසිවෙකුට ඒ රෝගය නොවැලඳිණි.

අනාගතය පිළිබඳ සම්භාව්‍යතා අසීමිත ය. අවාසනාවන්ත සම්භාව්‍යතාකෙරෙහි අවධානය යොමු කිරීම, බිය යනුවෙන් හැඳින්වේ. සෙසු සම්භාව්‍යතා සිහිපත් වන විට, එය හැඳින්වෙන්නේ බියෙන් නිදහස් වීම යනුවෙනි.


Monday, March 28, 2022

සත්‍යය ප්‍රේමය

 


ප්‍රේම බන්ධන පිළිබඳ ගැටලුව නම්, සිතේ මවා ගත් චිත්‍රය මැකී ගිය විට සිදු වන කලකිරීම ඉතා පීඩාකාරී වීම ය. සත්‍ය ප්‍රේමයේ දී මෙන් නොව හැඟීම් බර ප්‍රේම බන්ධනවල දී සහකරු හෝ සහකාරිය කෙරෙහි අප තුළ ඇත්තේ, සැබෑ ආදරයක් නො වේ. අප ඔවුන්ට ප්‍රේම කරන්නේ ඔහුන් අපේ හැඟීම් පුබුදු වන ආකාරය අනුව ය.

සත්‍යය ප්‍රේමය පරාර්ථකාමී ප්‍රේමයයි. අප සැලකිලිමත් වන්නේ, අනෙක් පුද්ගලයාගේ සතුට කෙරෙහි පමණ ය. ‘ඔබ කුමක් කළත් මගේ හදවත හැමදාම ඔබට විවෘතයි’ යනුවෙන් අප පවසන්නේ අවංක සිතිණි. සත්‍ය ප්‍රේමය දුර්ලභය.

ඔබේ ප්‍රේමය කෙබඳු දැයි සොයා ගත හැකි පරීක්ෂණයක් පහත දැක්වේ.

ඔබේ සහකරු / සහකාරිය ගැන මෙනෙහි කර, ඒ රූපය සිතේ මවා ගන්න. ඔබ දෙදෙනා මුළින් ම හමු වූ දිනයත්, එතැන් පටන් ගත කාල ප්‍රීතිමත් අවස්තාවනුත් සිති කරන්න. ඔහුගෙන් / ඇයගෙන් ඔබට ලිපියක් ලැබෙන හැටි සිතේ මවා ගන්න. ඇය / ඔහු ඔබේ හොඳම මිතුරා / මිතුරිය සමග පෙමින් බැඳී ඇති බවත්, දෙදෙනා හොරෙන් පැන ගොස් ඇති බවත් එහි සඳහන් වේ. ඔබට ඇති වන්නේ කෙබඳු හැඟීමක් ද?

ඔබ තුළ පවතින්නේ සත්‍ය ප්‍රේමයක් නම්, ඔබේ පෙම්වතා / පෙම්වතිය, ඔබට වඩාත් හොඳ කෙනෙකු සොයා ගැනීම ගැන ඔබ වඩාත් සතුටු විය යුතු ය. ඔබේ පෙම්වතාගේ / පෙම්වතියගේ සතුට ඔබේ සත්‍ය ප්‍රේමයේ ඉතාමත් වැදගත් අරමුණක් නොවේ ද?

එක්තරා රජබිසවක්, නගරයේ පිඬු සිඟා වදින බුදුන් වහන්සේ දෙස කවුළුව තුළින් බලා සිටියා ය. උන් වහන්සේ කෙරෙහි ඇය තුළ පැවති භක්තිය, රජතුමාගේ ඊර්ෂ්‍යාවට හේතු විය. ඇය වඩාත් ආදරය කලේ බුදුන් වහන්සේට ද, එසේ නැතිනම් අගේ ස්වාමි පුරුෂයා වූ තමන්ට දැයි ඔහු අයගෙන් විමසී ය. ඇය බුදුන් වහන්සේගේ භක්තිමත් අනුගාමිකයෙකු වුවත්, ස්වාමි පුරුෂයා රටේ රජතුමා බැවින් ඉතා පරෙස්සම් වීම අවශ්‍ය විය. කලබල වුව හොත් හිස ගසා දමනු ඇතැයි ඇය බිය වුවා ය. ඇය රජතුමාගේ ප්‍රශ්නයට අවංක පිළිතුරක් දුන්නා ය.

“බුදුන් වහන්සේටත්, ඔබතුමාටත් වඩා මම මට ම ආදරය කරමි.”



Friday, March 25, 2022

කෘතගුණ සැලකීම, ප්‍රේම බන්ධන


කෘතගුණ සැලකීම

 

වසර කීපයකට පෙර, සිංගප්පුරුවේ පැවති මංගල උත්සවයකින් පසු මනාලියගේ පියා බෑණා පසෙකට කැඳවා, විවාහය දිගු කලක් සතුටින් ගත කරන ආකාරය පිළිබඳව උපදෙසක් දුන්නේය.

“ඔබ සමහර විට මගේ දුවට හුඟාක් ආදරය කරනවා ඇති කියලා මට හිතෙනවා”

“ඔව් ඇත්තටම” තරුණයා සුසුමක් හෙළීය.

“ඔබ සමහර විට සිතනවා ඇති ඇය, මේ ලෝකයේ සිටින වඩාත් ම ප්‍රියමනාප තරුණිය කියල.”

“එයා හැම අතින්ම සර්ව සම්පූරණයි.” තරුණයා මිමිණීය.

“විවාහ වෙන කොට එහෙම තමයි. නමුත් අවුරුදු කීපයකට පසු මගේ දුවගේ අඩුපාඩු වැරදි ඔයාට පේන්න පටන් ගන්නවා. ඔබ මේක මතක තියා ගත යුතුයි. එයාගෙ අඩුපාඩු නො තිබුනා නම් එයා කසාද බඳින්නේ ඔබට වඩා හුඟක් හොඳ කෙනෙක්.”

ඒ නිසා, අපේ සහකරුගේ හෝ සහකාරියගේ අඩුපාඩු හා වැරදි පිලිබදව අප හැම විටම කෘතඥ විය යුතු ය. මුල සිට ම එබඳු අඩුපාඩු නොතිබුණා නම් අපට වඩා උසස් කෙනෙකු සමග විවාහ වීමට ඔහුට හෝ ඇයට හැකි වනු ඇත.

 

ප්‍රේම බන්ධන

අප ප්‍රේමයෙන් බැඳී සිටින විට, අපට පෙනෙන්නේ සහකරුගේ, සහකාරියගේ යහපත් ගුණාංග පමණි. අප දකින්නට කැමති එපමණකි. පසුව, දික්කසාද නඩුවක් ගොනු කිරීම සඳහා නීතීඥයකු වෙත යන විට අපට පෙනෙන්නේ, සහකරුගේ / සහකාරියගේ අඩුපාඩු පැමිණි. යහපත් ගුණාංග අපට නො පෙනේ. ඒවා දැකීමට අප අකමැති ය.

මන්දාලෝකය ඇති සමාජ ශාලාවක දී හෝ සඳ පහන් රැයක දී හෝ පෙම් සබඳතා ආරම්භ වන්නේ මන්ද? ඇගේ මුහුණේ කුරුලෑ ද, ඔහුගේ බොරු දත්ද ඔවුනොවුන්ට නො පෙනෙන බැවිනි. ඒ වාගේම මන්දාලෝකක් ඇති විට, ඉදිරියෙහි හින්දා ගෙන සිටින තරුණිය සුරූපී නිරූපිකාවක් වශයෙන් ද තරුණයා සිනමා නළුවෙකුට සමාන යයි ද සිතේ මවා ගැනීමට නිදහස තිබේ. එසේ සිතේ මවා ගැනීමට අප ආශා කරන අතර අප මවා ගන්නේ ප්‍රේමයයි.

ඊසාන දිග තායිලන්තයේ භික්ෂුවක වශයෙන් මා ගත කළ ප්‍රථම වර්ෂයේ දී මම කාරයකින් ගමන් කරමින් සිටියෙමි. තවත් බටහිට භික්ෂුන් දෙදෙනෙකු සමග මා පසුපස අසුනේ හිඳ ගෙන සිටි අතර ඉදිරි අසුනෙහි වූයේ අචාන් චා හිමියන් ය. හදිසියේ ම පසුපස අසුනට නෙත් යොමු කළ එතුමා මා අසළ සිටි ඇමෙරිකානු භික්ෂුව දෙස බලා තායි බසින් යමක් පවසීය. තායි බස මැනෙවින් දැන සිටි අනෙක් භික්ෂුව ඒ ප්‍රකාශය ඉංග්‍රීසි බසට පරිවර්තනය කළේය.

“ඔබ ලොස් ඇන්ජලිස් නුවර සිටින, ඔබේ පෙම්වතිය ගැන කල්පනා කරන බව එතුමා පවසනවා”

සාමණේර භික්ෂුව මවිතයට පත් විය. එතුමා නිවැරදි ලෙස ඔහුගේ සිතුවිලි තේරුම් ගෙන තිබිණි.

“දුක් වෙන්න  එපා. අපි ඒ ගැන පිළිවෙලක් යොදමු. ඔබේ ඊළඟ ලිපියේ දී එයාට දන්වා යවන්න, එයා ගැන මතක් වෙන්න මොනවා හරි පෞද්ගලික දෙයක් එවන්න කියල”

“ස්වාමීනි, එහෙම කරන්න භික්ෂූන්ට අවසර ලැබෙනවා ද?”

“සත්තකින්ම”

අචාන් චා හිමියන් ඊළඟට පැවසූ වචන පරිවර්තනය කිරීමට මද වෙලාවක් ගත වූයේ පරිවර්තක භික්ෂුවට සිනාව නතර කර ගත නොහැකි වූ නිසා ය.

“එතුමා කියනවා, අසූචි බෝතලයක් එවන ලෙස, ඒ පෙම්වතියට දන්වා යවන්න ලූ. එතකොට එයා මතක් වේවි ලූ.