භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Sunday, May 21, 2023

රජතුමාගේ ප්‍රශ්න තුන

 පර්ත් නුවර පැවති අධ්‍යාපන සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා මට ආරාධනයක් ලැබී තිබිණි. මා ඒ ස්ථානයට ලඟා විට, කාන්තාවක් පෙරට අවුත්, මා පිළිගත්තා ය. සම්මන්ත්‍රණයේ සංවිධායිකාව ඇය බව, පැළඳ සිටි ලාංඡනයකින් දැක්විණි.

“ඔබ වහන්සේට මා මතක ද...?” ඇය මගෙන් ඇසුවා ය.

එය පිළිතුරු දීමට අපහසු, ඉතා අනතුරුදායක ප්‍රශ්නයකි.

“නැහැ” මම සෘජු පිළිතුරක් දුන්නෙමි.

සත් වසරකට පෙර, ඇය විදුහල්පති තනතුරු දැරූ පාසලේ දී මා පැවැත් වූ දේශනයක ඇතුළත් වූ කතන්දරයක්, ඇඟේ ජීවිතයේ ගමන් මග වෙනස් කිරීමට හේතු වූ අයුතු ඇය සිහිපත් කළා ය. විදුහල්පති තනතුරින් ඉල්ලා අස් වූ අයුරු ඇය සිහිපත් කළා ය. විදුහල්පති තනතුරින් ඉල්ලා අස් වූ ඇය, පාසල් හැර ගොස්, වීදි දරුවන්, ළාබාල ගණිකාවන් සහ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බවට පත්ව සිටි ළමයින් නිසි මගට යොමු කිරීම සඳහා වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමෙහි නිරත ව සිටියා ය. තමන්ගෙ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමෙහි නිරතව සිටියා ය. තමන්ගෙ වැඩ සටහනට රුකුලක් වූයේ, මා පැවසු කතාන්දරය බව ඇය පැවසුවා ය. මා ඒ කතාන්දරය උපුටා ගත්තේ, ලියෝ ටෝල්ස්ටෝයිගේ කෙටි කතා පොතකිනි. ඈත අතීතයේ දී, එක් රජ කෙනෙක් ජීවිතය පිළිබඳ දර්ශනයක් සෙවීමෙහි උත්සුක විය. සිය රාජ්‍ය පාලනයකට මග පෙන්වීම සඳහා ඔහුට බුද්ධිය අවශ්‍ය විය. එකල පැවති ආගම් හා දර්ශන පිළිබඳව එතුමා තෘප්තිමත් නො වීය. එබැවින්, එතුමා ජීවිත අත්දැකීම් මගින්, සිය දර්ශනය පිළිබඳව සොයා බැලී ය.

මූලික ප්‍රශ්න තුනකට පමණක් පිළිතුරු ලබා ගත යුතු බව, අන්තිමේ දී එතුමාට වැටහිණි. ඒ පිළිතුරු ඇසුරින්, තමන්ට අවශ්‍ය බුද්ධිමත් මාර්ගෝපදේශකත්වය ලබා ගත හැකි බව එතුමා කල්පනා කළේ ය.

ඒ ප්‍රශ්න තුන මෙසේ ය.

01. ඉතා ම වැදගත් වෙලාව කුමක් ද..?

02. ඉතා ම වැදගත් පුද්ගලයා කවුද..?

03. කළ යුතු ඉතා ම වැදගත් කාර්යය කුමක් ද..?

දීර්ඝ කාලයක් සොයා බැලීමෙන් පසු තාපසයකු හමු වී, පිළිතුරු තුන සොයා ගැනීමට රජතුමාට හැකි විය. ඒ පිළිතුරු මොනවා දැයි ඔබට සිතා ගත හැකි ද? කරුණාකර ඒ ප්‍රශ්න දෙස යළිත් අවධානය යොමු කරන්න.

පළමුවැනි ප්‍රශ්නයට පිළිතුර, අප කවුරුත් දැන සිටියත්, බොහෝ විට එය අමතක වේ. ඉතා ම වැදගත් වේලාව, මේ මොහොත ය. අපට හැම විට ම ඇත්තේ, මේ මොහොත පමණකි. ඔබේ මවට හෝ පියාට, ඔබ කොපමණ ආදරේ දැයි, කොපමණ කෘතවේදී දැයි පැවසීමට ඔබට අවශ්‍ය නම්, එය මේ මොහොතෙහි ම කරන්න. හෙට නො වේ, තවත් මිනිත්තු කීපයකින් නොවේ. මිනිත්තු කීපයකින්, ඔබ පමා වුණා විය හැකි ය. ඔබ පසුතැවිලි වන බව, ඔබේ සහකරුට/ සහකාරියට පැවසීමට ඔබට අවශ්‍ය නම්, එසේ නොකිරීමට හේතු සොයමින් නො සිට, මේ මොහොතෙහි ම එසේ කරන්න. ඒ අවස්ථාව යළිත් කිසි විටක් උදා නොවනු ඇත. මේ මොහොතෙහි ම එසේ කරන්න. ඒ අවස්ථාව යළිත් කිසි විටක උදා නොවනු ඇත. මේ මොහොත ඩැහැගන්න.

දෙවැනි ප්‍රශ්ණයට පිළිතුර ඉතා ගැඹුරු ය. නිවැරදි පිළිතුර අනුමාන කරන්නේ ටික දෙනෙකි. ශිෂ්‍යකු වශයෙන්, මම ඒ පිළිතුර ගැන දින ගණනක් කල්පනා කළෙමි. ඉතා ම වැදගත් පුද්ගලයා මේ මොහොතෙහි ඔබ, ඉදිරිපිට සිටින තැනැත්තා ය. විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වෙත මා ඇතැම් ප්‍රශ්න යොමු කළ විට, ඔවුන් ඒ ගැන උනන්දුවක් නො දැක්වූ සැටි මට සිහිපත් වේ.  මා ධෛර්යය උපදවා ගෙන සුප්‍රකට කථිකාචාර්යවරයකු වෙත ලං වූ විට, එතුමා සිය පූර්ණ අවධානය මා වෙත යොමු කළේ ය. එවකට, දිග කෙස් වැටියක් සහිත සාමාන්‍ය ශිෂ්‍යයකු වූ මා තුළ යම් වැදගත්කමක් ඇති බව සිතා ගැනීමට එතුමා මට පිහිට විය. මහාචාර්යවරුන්ගේ සහ කථිකාචාර්යවරයාගේ ප්‍රතිචාර අතර වෙනස ඉතා විශාල විය.

අදහස් සහ ආදරය බෙදා හදා ගත හැකි වන්නේ, ඔබ ඉදිරිපිට සිටින තැනැත්තා කවුරුන් වුවත්, ඒ අවස්ථාවේ, මුළු ලොව ම සිටින වඩාත් ම වැදගත් පුද්ගලයා ඔහු බව හැඟෙන පරිදි කටයුතු කිරීමෙනි. තම සහකරු/ සහකාරිය, උවමනාවෙන් තමන්ට සවන් නො දෙන බවට විවාහක අය බොහෝ විට මැසිවිලි නගති. එහි අදහස, ඔහු /ඇය තවදුරටත් තමන් වැදගත් යයි හැඟෙන පරිදි කටයුතු නොකිරීම ය. රජතුමාගේ දෙවැනි ප්‍රශ්නයට පිළිතුර, මේ සඳහා කදිම විසඳුමකි. අප කෙතරම් කාර්ය බහුල වුවත්, වෙහෙස වී සිටියත්, අපේ සහකරු /සහකාරිය සමග සිටින විට, ඔහු /ඇය මෙලොව සිටින වඩාත් ම වැදගත් පුද්ගලයා බව හැඟෙන පරිදි, ඒ දෙවැනි පිළිතුර ක්‍රියාත්මක කළ යුතු ය.

වෙළඳ ව්‍යාපාරයක දී, අපේ ගනුදෙනුකරුවකු අපට සිටින වඩාත් ම වැදගත් පුද්ගලයා බව හැඟෙන පරිදි කටයුතු කළ විට, භාණ්ඩ අලෙවිය පමණක් නොව, එහි සේවය කරන අපේ වැටුප ද ඉහළ නගිනු ඇත. තමන්ගේ ගැටලු පිළිබඳව පැවසීමට මගෙ මිතුරන් මා වෙත පැමිණෙන විට, ඔවුන් ඉතා වැදගත් සේ සලකා සාකච්ඡා කරමි.

අධ්‍යාපන සම්මන්ත්‍රණයේ සංවිධායක කාන්තාව, ඒ වීදි දරුවන් සමග පැවති ප්‍රථම සම්මුඛ පරීක්ෂණයේ දී ‘වඩාත් ම වැදගත් පුද්ගලයා තමන් ඉදිරිපිට සිටින තැනැත්තා ය යන සංකල්පය ක්‍රියාත්මක කළා ය. ඒ දරුවන්ගේ ජීවිතයේ මුල් වරට, තමන් වැදගත් යයි හැඟෙන පරිදි කටයුතු කළේ, බලගතු කාන්තාවකි. එපමණක් නොව, ඔවුන් වැදගත් බව ඒත්තු ගැන්වීමෙන්, ඇය කළේ ඔවුන් ගැන තීරණ ගැනීම නොව ඔවුන්ගේ දුක්ගැනවිලි වලට සවන් දීම ය. තමන්ට ගරු කරන බව ඒ දරුවන්ට හැඟිණි. ඒ කෙසේ වෙතත්, ඒ අවස්ථාවේ දී, වඩා වැදගත් වූයේ මගේ දේශනය නො වේ. මගේ දේශනයට පසු එක් දරුවෙක් ද දේශනයක් පැවත්වී ය. පවුලේ අඬදබර, මත්ද්‍රව්‍ය, අපරාධ ආදිය පිළිබඳවත් ඒ කාන්තාවගේ වැඩසටහන් මගින්, ජීවිතය පිළිබඳ බලාපොරොත්තු යළිත් ඇති වී, ඉක්මනින් විශ්ව විද්‍යාලයට ඇතුල් වන බවත්, ඔහු සඳහන් කළේ ය. එදා ප්‍රධාන දේශනය වූයේ එයයි.

ජීවිතයේ වැඩි කාලයක් ඔබ ගත කරන්නේ තනිවම ය. ඒ නිසා, ඔබ ඉදිරිපිට සිටින වඩාත් ම වැදගත් පුද්ගලයා, ඔබම ය. ඔබ සඳහා වැදගත්කමක් ලබා දීමට, කාලය ඕනෑ තරම් තිබේ. ඔබ උදේ පිබිදෙන විට, මුලින් ම දකින්නට ලැබෙන, ඔබ දන්නා හඳුනන පුද්ගලයා කවුද? ඔබම ය. ‘සුබ උදෑසනක් යනුවෙන් ඔබ ඔබට සුබ පතනවා ද? මම නම් එසේ කරමි. ඔබ නිදන්නට සැරසෙන විට අවසන් වරට දකින්නට ලැබෙන පුද්ගලයා කවුද..? නැවතත්, ඔබම ය. ‘සුබ රැයක්’ යනුවෙන් මම මට ම සුබ පතමි. දවස තුළ, බොහෝ පෞද්ගලික අවස්ථාවල, මා වැදගත් බවට මට හැඟෙන පරිදි කටයුතු කරමි. එය බොහෝ පලදායි වේ.

රජතුමාගේ තෙවැනි ප්‍රශ්නයට (කළ උය්හ්ටු ඉතාම වැදගත් කාර්යය කුමක් ද?? පිළිතුර, කරුණාව දැක්වීම ය.

‘කරුණාව දැක්වීම යන්නෙහි අදහස පැහැදිලි කිරීම සඳහා පහත දැක්වෙන කතන්දර ඉදිරිපත් කරමි.