භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Wednesday, June 30, 2021

චතුරාර්ය සත්‍ය හැඳින්වීමක්

පුජ්‍ය ආනන්දසිරි හිමියන්ගේ දේශණයක් ඇසුරින් මේ ලිපිය සකස් කොට ඇත.


දුක ආර්ය/ පරම සත්‍ය - දුක්ඛ ආර්ය සත්‍යය

  ලෝකයේ කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි, බිඳිය නොහැකි හා වෙනස්කර නොහැකි, හේතු සහිතව නැතැ යයි ඔප්පු කර දැක්විය නොහැකි, තවදුරටත් බෙදා වෙන් කර දැක්විය නොහැකි ධර්මතා සඳහා “ආර්ය සත්‍ය” (ආර්ය න්‍යාය) යන වචනය බුදු දහමේ භාවිතා කරයි.  බුදුරජාණන් වහන්සේ බුදුවී ප්‍රථමයෙන් දේශනා කළ සුත්‍රය වන ධම්මචක්කප්පවත්තන සුත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය හතරක් පෙන්වා ඇති අතර එහි පළමු ආර්ය සත්‍ය නම් දුක්ඛ ආර්ය සත්‍යයි. (දුක්ඛ පරම සත්‍ය).

දුක්ඛ ආර්ය සත්‍ය (දුක්ඛ පරම සත්‍ය). ලෝකයේ ජීවත්වන සෑම සත්වයෙක්ම (රහතන් වහන්සේලා හැර) මෙම දුක නමැති ආර්ය සත්‍යයේ ගිලී ජීවත්වේ. එසේ ජීවත් වෙමින් එය හරිහැටි තේරුම් නොගනී. එනමුත් සත්වයා ඒ දුකෙහිම කිමිදෙමින් දුකට පිළිතුරක්, සැනසීමක් සොයයි. ඉපදුන මොහොතේ පටන් මරණය දක්වා ක්‍රියාවලියේ කිසිඳු සැපයක්, සැනසීමක් තිබේද..? එහෙත් අප දුක මගහැර සිටීමට පිළියම් සොයයි. පිළිතුර නැවතත් දුකමය. අවසානයක් නොපෙනෙන දුක් ගොඩකි. බඩගින්න, ලෙඩ වීම, ජරාවට පත්වීම, වයසට යෑම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කායික පීඩා, මානසික පීඩා... මේ ආදී දුක් කන්දකට අප ඉහළ අධ්‍යාපන, නවීණ ඇඳුම්, සුඛෝපභෝගී බඩුභාණ්ඩ, සුවපහසු ආසන, නම්බුනාම, ආවාහ විවාහ.. ආදී විවිධ දේ තුලින් පිළිතුරු සොයයි. පෙර සඳහන්කර ලෙස නැවතත් ප්‍රතිඵලය දුකමය. ආචාර්ය, මහාචාර්ය, පරිවේනාධිපති ආදී තනතුරු වලින් මේ දුකෙහි අඩුවක්නම් වී නොමැත.

ඉපදුන මොහොතේ හුස්ම ගැනීමට අපහසුවෙන්, කුඩාවියේ ඇවිදීමට කතා කිරීමට නොහැකිව, ළමා කාලයේ අධ්‍යාපන ඉලක්ක සපුරාලීම, තරුණවියේ මුදල් ඉපයීම හා විවාහ විම, මහලු වියේ ශාරීරික අපහසුතා වලින්ද, අවසානයේ මරණය ඉදිරියේ දී ද අප අපමණ දුකක් හිමිකර ගන්නෙමු. තිරිසන් සත්වයාද ආහාර, වාසස්ථාන, ආරක්ෂාව හා ලිංගික වුවමනා යන මුලික අවශ්‍යතා නිසා අපමණ වූ දුකකට පත්වේ. එලෙසම තවත් සත්වයෙකුගේ ගොදුරක් වේදැයි බයෙන් නිරතුරවම කල් ගෙවයි. මරණ බයෙන් නිතරම දිවි ගෙවයි.

දුක ගැන අප කතා නොකොට, මෙනෙහි නොකොට සිටිය යුතුයි දුකට ස්ථිරසාර විසඳුමක්, පිළිතුරක් නොමැතිනම් නමුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ මේ දුක නමැති ආර්ය සත්‍ය ලෝක සත්වයාට පෙන්වා දි එයින් එතෙරවීමේ මාර්ගයට එනම් නිර්වාණ මාර්ගයට යොමුකිරීමටය. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් හමුවුනද උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළද අවබෝධකර නොගැනීම සහ අවබෝධ කරගැනීමට උත්සහ නොගැනීම මහත් අවාසනාවකි. නමුත් බෞද්ධ යැයි කියාගන්නා අපද බුදුරජාණන් වහන්සේ ඒ කියාදුන් උතුම් මාර්ගය අතහැර ලෝකයා සමග දුකේ වෙලී ගමන් කරයි. දුකෙහි අයිතිකරුවෝ මෙන්....

සුනඛයා තමා ගැටගසා ඇති ගස වටා පමණක් හැසිරෙමින් ජීවත්වනුයේ ඉන් පිටත ඇති නිදහසේ සිමා මායිමක්වත් නොදැනයි. එලෙස අපද දුක තුළ ජීවත්වනුයේ ඉන් පිටත තිබෙනා නිදහසේ සේයාවක්වත් නොදැනයි. එමනිසා නියම බෞද්ධයා මේ බව ප්‍රඥාවෙන් අවබෝධ කොට ඉන් මිදීමට ශ්‍රද්ධාවෙන්ම තුනුරුවන් සරණ යයි. යා යුතුය.

 

දුකට හේතුවන පරම සත්‍ය - දුක්ඛ සමුදය ආර්ය සත්‍යය

 

දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. චතුරාර්ය සතයේ දෙවැනි ආර්ය සත්‍යයි. දුක්ඛ ආර්ය සත්‍ය ඇතිවීමට හා හටගැනීමට හේතුවන, මූලිකවන ආර්ය සත්‍ය දූක්ඛ සමුදය ආර්ය සත්‍යයි. එනම් දුක ඇතිවීමට හේතුව තණ්හාවයි. සියලු සත්වයාට (නිර්වාණාවබෝධය කළ උතුමන්ට දුකෙන් එතෙව ඇත) දුක හටගැනීමට හේතුවනුයේ තණ්හාවයි.

වෙනත් ජාතිකයෙකු වුවද තම දරුවාහට ඇලී කොපමණ දුකක් ලඟාකර ගන්නවාද කියා ඔබ දැක ඇත. දරුවා ගෙදර ඒමට පමා වුවහොත්, ලෙඩවුනහොත්, මියගියහොත්... නමුත් වෙන දරුවෙකු නිසා එම දුක හටනොගනී. ජාති, ආගම්, කුල භේදයකින් තොරව මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රක්ම, නිර, තිරිසන් ආදී සියලු ලෝක සත්වයාද මෙම තණ්හාව නමැති කඹයෙන් වෙලී ජීවත් වෙයි. එම නිසා බුදුරජාණන් වහන්සේ “තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං..” (තණ්හාව ඇති කළ භය ශෝක උපදී තණ්හාව නැති කළ භය ශෝක නූපදී) යන ගාථාවෙන් දේශනා කළේ මේ හේතුඵල දහමයි. එනම් දුක සහ බය ඇතිවීමට හේතු වනුයේ තෘෂ්ණාවයි. විශ්වයේ සෑම සියලු දෙයක්ම සිදුවනුයේ හේතුඵල දහම මතයි. එසේනම් යමෙක් තෘෂ්ණාව දුරුකළේ ද  ඔහු දුක සහ බය නිතැතින්ම දුරුකලා වෙයි. (හේතු නැති කිරීමෙන් ඵලයද නැතිවේ).

ඔබ සතු තෘෂ්ණාවේ ප්‍රමාණය මත දුකේ ප්‍රමාණයද තීරණයවේ. සදාකාලික දුකින් මිදීමට යමෙකුට අවශ්‍ය නම් ඔහු කළ යුත්තේ සම්පුර්ණ ඇලීමෙන් (තෘෂ්ණාවෙන්) මිදීමයි. ඔබ සතුව ඇති ඇලීම බිංදුවයි නම් දුක හා බයද බිංදුවකි. එනම් ඔබ සිටිනුයේ, අත්විඳිනුයේ පරිපූරණවූ සැනසීමක, සහනයක, නිවනකය.

නිවන් මග වඩනා ශ්‍රාවකයාට “ඔබ ධර්මයද අත්හළ යුතුයැයි” යනුවෙන් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ ධර්මයට තිබෙන බැඳීම ඇලීමද නිවනට බාධාවක් නිසාවෙනි. මක්නිසාදයත් ස්වල්පවූද බැඳීමක් හෝ ඇලීමක් ඇති තැනෙක නිර්වාණය පැවතිය නොහැකි නිසාය.

මේ සියලු දේ අල්ලාගෙන සිටීමට, ආශා කිරීමට, වෙනස් නොවෙනවා යයි හඳුනා ගැනීමට තණ්හාව (ඇලීම) ඇතිකිරීමට මුල්වනුයේ කුමක්ද සත්වයා තුළ ඇති සත්‍ය වටහාගැනීමට නොහැකිවන ස්වභාවයයි. එනම් මෝහයයි (මුලාවයි).

 

නිවන - දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය

 

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. තෙවන ආර්ය න්‍යාය. දුක්ඛ නිරෝධය යනු දුක නැති කර දැමීමයි. දුකේ සදාකාලික අවසානයි. එනම් සත්වයා දුකට පත්කරවන තණ්හාව සහමුලින්ම දුරුකර දැමීමයි. ස්වල්පවූද  තණ්හාවක් නැතිතැනක් වේද එතැන ඇත්තේ සැනසීමකි, සුවයකි. මෙය අප එදිනෙදා ජීවිතයේදී ඇතිවන සුළු සහනය හෝ සැනසීම නොවේ. එය පරිපූරණ වූ නිෂ්ඨාවකි. පරම සැපයකි. එලෙස ලොව පැවතිය හැකි පරම හා එකම සැනසීම, සැපය නිර්වාණයයි. මෙම ආර්ය සත්‍ය විශ්වයේ සෑම මොහොතකම, සෑම තැනකම පවතී. නමුත් තෘෂ්ණාව තුලින් එය වසාගෙන ඇත.

සියල්ල බැඳී, එක්ව පවතීද එතන නැත්තේ නිවනයි. සියලු දේ අත්හළ, දුරුකළ තැන ඇත්තේ නිවනයි. එසේනම් අප නිවීම අතහැර තෘෂ්ණාවේ වෙලෙමින් අනවශ්‍ය දුකක් උරුම කරගෙන ඇත. නමුත් තෘෂ්ණාවෙන් වෙලී අල්ලාගත් දේ සෑම මොහොතකම එකසේ පවතීද..? නැත. නිරතුරුවම අනිත්‍ය, දුක්ඛ, අනාත්මවන දෙයකි. මෙය අවබෝධ කරගන්නා තැනැත්තා තණ්හා කෙලෙස් නසා උතුම් නිර්වාණාවබෝධය කරයි.

 

 

නිවන් මග - දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය. හතරවන ආර්ය සත්‍ය. දුක නිරෝධ කිරීමේ මාර්ග සත්‍යයයි. දුකට හේතුවන, තෘෂ්ණාව නැති කිරීමෙන් ඵලය වන දුක නිමා කොට දැමීමයි. උදාහරණයක් ලෙස ගන්නේ නම් ගසක් වර්ධනයට අවශ්‍ය දේ ලබා  නොදී නැවත නොවැඩෙන ලෙස සම්පුර්ණයෙන්ම ගස විනාශකර දැමීමයි.

ලෝකයේ ආගම් දහසක් වුව තිබිය හැක. නමුත් පැවතිය හැක්කේ එකම හා පරම සත්‍යයි. නිෂ්ඨාවකි. එයනම් නිවනයි. එලෙසම ඒ නිවනට පැමිණීමට, අවබෝධ කරගැනීමට ඇත්තේද එකම මගක් වේ. (දුක නැතිකර දැමීම සඳහා පිළිපැදිය යුතු එකම මාවත) සිදුහත් බෝධිසත්වයෝ සම්බුද්ධත්වයෙන් අනතුරුව සම්පූර්ණ කාලයම කැපකලේ ඒ දහම් මාවත ලෝවැසි සත්වයා හට දේශනා කිරීමටය.

Thursday, June 24, 2021

සීවලී මහරහතන් වහන්සේ

              උන්වහන්සේගේ පාත්‍රය අතින් ගත් රූපයක් සෑම බොදු ගෙදරකම, බුදුමැදුරක් තිබෙන්නා සේම ඇත. එතරම් උන්වහන්සේ බෞද්ධ අපට සමීපය. අප ගෞතම බුදු සසුනේ ප්‍රත්‍යලාභි භික්ෂූන් අතරින් අග්‍ර වන්නට තරම් පාරමී බලයෙන් හා පිනෙන් බලවත් වූ උන්වහන්සේ සීවලී නමින් මහාලී රාජ කුමාරයා හා සුප්පවාසා කුමරිය දෙමව්පියන් කරගනිමින් අන්තිම ආත්ම භාවය ලැබීය. නමුත් කර්ම බලවේගයක් නිසාවෙන් අවුරුදු හතකුත් මාස හතක් ඒ පින්වත් කුමාරයාට මව් කුසේ ඉන්නට සිදුවූවා සේම, දරු ගැබ දරාගෙන එතරම් කාලයක් ඉන්නට සුප්පවාසා මව්තුමියටද සිදුවිය. අවසන් දවස් හත තුළ මහත් ප්‍රසූත වේදනාව ඇතිවූ නිසා තම ජීවිතය අහිමිවේ යැයි සිතූ ඇය ජීවමතක දානයක් බුදුපාමොක් මහ සඟනට දෙන්නට අදහස් කරගෙන, අවසර ඉල්ලාගෙන එන්න යැයි කියා තම ස්වාමියා බුදුරජාණන් වහන්සේ වෙත යැවීය. (ජීවමතක දානයක් යනු මැරෙන්නට පෙර මරණය සලකා දෙන දානයයි). බුදුරජාණන් වහන්සේ දෙපලටම ආශීර්වාද කර සීවලී කුමරුවා හා සුප්පවාසා මවට සෙත සැලසූ සේක. ඒ බුද්ධ අනුහසින් පැන් කෙන්ඩියකින් පැන් නිකුත් වන්නා සේ පින්වත් සීවලී කුමරුවාගේ උපත වූවා සේම මවට කිසිඳු උපද්‍රවයක්ද නොවීය. ඒ හේතුවෙන් ජීවමතක දානයක් අවශ්‍ය නොවූ නිසා දින හතක මහා දානයක් බුද්ධ ප්‍රමුඛ මහ සංඝයාට දීමට ඇය බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගත්තාය. එහිදී සත් අවුරුදු වයසැති එදා උපන් කුමාරයාගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ “සැපසේ වෙසෙනවාදැයි ” අසා සිටියදී “මොන හොඳක්ද හිමියනි, කලයක් ඇතුළෙ සිරවී සිටි විට ඇති සැපයක් නැතැයි”  පිළිතුරු දුන්නේය. (සීවලී කුමරු ඒ පිළිතුර ලබා දුන්නේ අවබෝධයෙන්මය). මේ පිළිසඳර කතාවක යෙදෙනවා දුරතියා බලා සිටි මව්තුමිය තම දරුවාට මහත් දාරක ස්නේහයෙන් ඇලලී යන බව දැනගත් බුදුරජාණන් වහන්සේ ඇයගගේ සිහිය උපදවනු කැමැත්තෙන් “දියණිය මෙවැනි තවත් දරුවන්ට කැමතියි දැයි ” අසා සිටි සේක. (ලිච්චවී කුමරු හා සුප්පියා කුමරිය විවාහයටත් ප්‍රථම සෝතාපන්න වී සිටියහ). එවිට “එහෙමයි, බුදුපියානණි එක් දරුවෙක් නොවේ දරුවන් සත් දෙනෙකුට වුවත් කැමති ” යැයි ඇය කියා සිටියාය. එහිදී බුදුරජාණන් වහන්සේ ඇයට මේ දහම් පදයක් දේශණා කළ සේක.

අසාතං සාත රූපෙන - පිය රූපෙන අප්පියං     දුක්ඛං සුඛස්ස රූපෙන - පමත්ත මතිවච්චති

අසාර දේවල් සරු විදිහටත්, අප්‍රිය දේවල් ප්‍රිය විදිහටත්, දුක සැපයක් විදිහටත් පැමිණ ප්‍රමාද වුන පුද්ගලයාව සසරට ඇදදමයි.

එවිට තමා සත් අවුරුද්දක් දරු ගැබ දරන් විඳි දුකත්, සත් දිනක් විඳි ප්‍රසූත දුකත් වහා සිහියට නගා ගත් ඇය නැවතත් බුදුරජාණන් වහන්සේ හට “ආයෙත් සසරේ මෙවන් දුකක් නම් එපා බුදුපියානණි ” යයි කියා සිහි උපද්දවාගත්තාය. මෙසේ දුක් විඳින්නට සිදුවූයේ ඇය හා සීවලී කුමරුත් සසර කළ කර්මයක් නිසාය. එක් භවයක සීවලී කුමාරයා තරුණ රජෙක්ව සිටියදී ප්‍රත්‍යන්ත රාජ්‍යයක පිරිසක් මව් තුමියගේ අනුදැනුම පරිදි දින හතක් භාහිරි පරිසරයෙන් වෙන්කර, කොටුකර තැබූහ. ඒ සිදුකරගත් අකුසල කර්මයේ විපාක විඳ, අවශේෂ කර්ම විපාක මෙලෙස ගෞතම බුදුසමයේ දෙදෙනාට එකටම විඳින්නට සිදුවිය. නමුත් ධර්මයට පැමිණීමට තරම් දෙදෙනාම මහා කුසල කර්මයෝද සසර ගමනේදී සිදුකරගෙන තිබිණි. ඒ නිසාවෙන් දරුගැබ මෝරා ආ දා පටන් ඇය අතගසන, සොයාබලන සෑම කටයුත්තක්ම සාර්ථක විය. මෙය ගමපුරා ප්‍රචලිත වීමෙන් ගම්මුන්ගේ තමුන්ගේ අටුකොටු, වෙලහෙලඳාම් වලට ආශිර්වාද ලබාගන්නට, ඇයගේ අතින් ආරම්භය කරගන්නට පෙළඹුණි. ඒ වාගේම ලැබෙන මහත් ලාභයෙන් කොටසක් ඇයගේ ගෙදරට යවන්නටද ගම්මුන් කටයුතු කළහ. ඒ සියල්ල සමෘද්ධ වූයේ සීවලී කුමාරයාගේ මහත් පුණ්‍ය තේජස, ලැබීමේ භාග්‍ය නිසාය.

මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහලවූ පියමතුරා බුදුරජාණන් දවස සීවලී කුමරු, ජයන්ත නමින් රජ කෙනෙකුව ඉපදී සිටියහ. දිනක් පියමතුරා බුදුරජාණන් වහන්සේ තම සාසනයේ ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අගතනතුර යම් රහතන් වහන්සේ නමක් ලබනවා යයි වදාළා සිටි මොහොතේ මටත් එවැනි පදවියක් මතු බුද්ධ සාසනයක දරන්නට ඇත්නම් යයි ජයන්ත රජු සිතිය. මේ සිතුවිල්ල බලවත්ව සිතේ දරාගෙන සත් දිනක් බුදුපාමොක් මහ සඟනට දානාදි පිංකම් සිදුකර අවසානයේ පියමතුරා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ වැඳ වැටි රජතුමා තම ප්‍රාර්ථනාව සැළකර සිටියහ. එහිදී බුදුහිමියන් මේ පැතුම මතු ගෞතම බුදුසසුනේ සඵල වනවා දැක විවරණ ලබා දුන් සේක. එතැන් පටන් වඩවඩාත් දාන මානාදිය සිදුකරමින් මීට කල්ප අනූ එකකට පෙර විපස්සි බුදු සමයේ බන්දුම රාජ්‍යයේ, නගර වැසියෙක්ව උපන්නේය. (බන්දුම රජුගේ පුත්‍රයා වූයේ ගිහිකල විපස්සී බුදුහිමියන්ය). වැසියනුත්, රජතුමාත් තරඟයට මෙන් බුදුහිමියන් හට දාන පුදසත්කාර කරමින් සිටියදී දිනක් රටවැසියන් හට කිරි සහ පැණි වල අඩුවක් ඇතිබව දැනුණි. වහාම එය සොයා යද්දී මේ පින්වත් නගර වැසියාව හමුවිය. ඔහු ළඟ තිබූ කිරි හා පැණි කහවණුවකට, දෙකකට, සීයකට, දහසකට මිල නියමකර ගන්නට සැදුවත් කාරණය විමසා දැනගෙන, මේ මහා දානයට මුදල් නොගෙනම තමා සතු කිරි හා පැණි පරිත්‍යාග කළේය. ඒ තමාටත් දන් පිදීමට අවස්ථාවක්ද සලසා ගනිමින්ය. එහිදීද මේ පින්වත් තරුණයා තම සසර පැතුම මතුකරමින් විපස්සි බුදුහිමියන් පාමුල වැඳවැටි උන්වහන්සේගෙන්ද විවරණ ලබාගත්හ. මේ අකාරයෙන් බුදු පසේබුදු, සඟ රත්නයන් හට දානමානාදිය පූජා කරමින් හා සියලු සත්වයාට සෙත සලසමින් මහත් පින් රැස්කොට ගනිමින්ම පාරමී පූරණය කරගත්හ.

උපන්දිනය නිමිති කරගෙන කළ සත් දින පින්කම් මොහොතේ සීවලී කුමරුවා සමග පිළිසඳර කතාවේ යෙදි සිටි සාරිපුත්ත මහරහතන් වහන්සේ සැපදුක් විමසා අවසන්ව මහන වීමට කැමැත්තක් නැතිදැයි විමසා සිටියහ. මව්පියන්ගේ අකමැත්තක් නැතිනම් තමාද එයට ඉතා කැමති බව සීවලී කුමරු එවිට කීවේය. තුනුරුවන් සරණ ගිය මාර්ගඵලලාභී දෙමාපියන්ටද තම පින්වත් දරුවා සාසනයට ලබාදීමට එකහෙලා කැමති විය. බුදුරජාණන් වහන්සේගේ අනුදැනුමින් සැරියුත් හිමියන්ටම සීවලී කුමරුවාව පැවිදි කිරීමට පැවරිණි. එහිදී හිස භා අවසන් වීමටත් ප්‍රථම මහරහත් භාවයට පත්වීමට තරම් සීවලී කුමාරයාට හැකිවූයේ සසරේ දහම ප්‍රගුණ කළ බලයෙන් හා මහත් පුණ්‍ය තෙජසේ බලයෙන්ය.

දිනක් උන්වහන්සේට තම ලැබීම් ශක්තියේ සත්‍යතාව තහවුරු කරගැනීමේ අදහසින් චාරිකාවක් වැඩීමට සිත්විය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන තවත් මහරහතන් වහන්සේලා පන්සීයනමකුත් සමග පළමු සතිය හිමාල වනයෙන් ගොස් එහි කඳු පාමුලට වන්නට ඇති නුග ගසක් අසලද, දෙවන සතිය පාණ්ඩව පර්වතයේද, තුන්වන සතියේ අචිරවතී ගඟ අසබඩද, හතරවන සතිය සයුර මතද, පස්වන සතිය හිමාල කඳු මස්තකයේද, හයවන සතිය සද්දන්ත විල් තීරය අසලද, හත්වන සතිය ගංඳමාදන පර්වතයේද වැඩ සිටියහ. මෙලෙස වැඩසිටි සති හත පුරා දෙවි දේවතාවුන්ගෙන් හා සද්දන්ත විල අසළ පුණ්‍ය හස්තීන්ගෙන්ද විවිධවූ මහත් පුද සත්කාර, සැලකිලි, සංග්‍රහයන් ලබා ආශ්චර්යවත් ගමන නිමා කරමින් නැවතත් ආරාමයට වැඩියහ. මේ කාලය වන විට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බාල සොයුරු වන රේවත කුමාරයා ගිහිගේ හැරදමා කදිරවනයට වෙත පැමිණ මහනවී සිටියේය. උන්වහන්සේ බැලීමට යන දුෂ්කර ගමනට සීවලී මහරහතන් වහන්සේ එක්වනවා නේදැයි බුදුරජාණන් වහන්සේ අසා සිටියේ මේ අවස්ථාවේදීය. එසේ ගමනට එක්වූ සීවලී මහරහතන් වහන්සේ නිසා සඟ පිරිසට වනදුර්ඝය තුලදී වුවද දෙවිදේවතාවුන්ගෙන් කලින් ලෙසම දානමානාදිය හා සිව්පසයෙන් සංග්‍රහ ලැබුණි. චාරිකාව අවසානයේ භාග්‍යවතුන් වහන්සේ සියලු භික්ෂු සඟයා මැද “මාගේ සාසනයේ ප්‍රතයලාභී භික්ෂූන් අතරින් සීවලී මහරහතන් වහන්සේගේ අග්‍ර යැයි වදාරමින් උන්වහන්සේට එම අග්‍රස්ථානය ලබා දුන් සේක.

ත්‍රිවිද්‍යා උපදවාගත්, සිව්පිලිසිඹියාලත්, අසූමහ ශ්‍රාවක රත්නයන් අතර වැඩ වාසය කළ ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර වූ ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේට නමස්කාර වේවා !!!