භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Wednesday, April 22, 2020

භාවනාව හැඳින්වීම

භාවනාව ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වන දාන, සීල, භාවනා යන අතුරෙන් තුන්වැන්නේ පෙන්වාදී ඇත. දානයෙන් හා සීලයෙන් හික්මුණු තැනැත්තා හට භාවනාවට අවැසි මූලික වටපිටාවක් සකස්කරදේ. නමුත් එසේ එදිනෙදා ජීවිතයෙදී දෙන්නා වූ දානයන්ගෙන් සිතේ පිරිසිඳු බවක් ඇති කරගන්නට සමත් වුවද, සීලයෙන් අකුසලයෝ යටපත් කර දැමීමට හැකි වුනද සිතේ මෝහාන්දකාරයෙන් බලවත් අකුසල මූලයන් වනසා දැමීමට දානයෙන් හෝ සීලයෙන් පමණක් නොහැකිය.  ඒ සඳහා භාවනාව අවශ්‍ය වේ. භාවනාව යන පාලි වචනයේ තේරුම දක්වා ඇත්තේ දියුණු කිරීම, වැඩීම යන අරුතයි. වඩන්නේ කුමක්ද ? නොදැමුණු සිතයි. එසේනම් භාවනාවේදී අප සිදු කරන්නේ මේ කෙලෙස් වලින් නොදැමුණු, විසිරුණු සිත පිරිසිඳුකර ගැනීමයි, දමනය කර දියුණු කරගැනීමයි. එවන් දැමුණු සිතක් ඇත්තෙක් හට සුවය ගෙනදෙනා බව ‘චිත්තංදත්තං සුඛාවහං’ හා ‘චිත්තං ගුත්තං සුඛාවහං’ යන පාලි පාඨයන්ගෙන් දත හැකිය. තවත් තැනෙක් බුදුරජාණන් වහන්සේ “යේ චිත්තං සඤ්ඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා” යනුවෙන් පෙන්වා දුන්නේ සිත හික්මවා ගන්නා තැනැත්තා මාර බැමි වලින් මිදී උතුම් නිවනට පැමිණෙන භවයි. මෙසේ සැනසීම, නිවීම නිවන ලබාගැනීම සඳහා සිත පිළිවෙත් දෙඅයුරකින් දියුණු කළ යුතු බව ධර්මයේ සඳහන් වේ. ඒ සමථ හා විපසස්නා යන භාවනා පිලිවෙත් දෙකයි.

සමථ භාවනා - සමථ නම් වචනයේ අර්ථයෙන්ම සිත සමථ, එකඟ කර ගැනීමයි. විවිධ අරමුණු වලින් ගහන සිත හික්මවීම, එකඟ කර ගැනීම සමථ භාවනාවයි. මෙසේ සිත හික්මවීම, එකඟ කරගැනීම බුදු දහමෙන් පිට ආගම්වලත් දැක ගත හැක. නමුත් බුදු දහමේ පමණක් හුදෙක් හික්මවීමකට එහා ගිය හොඳ, කුසල අරමුණක සිත එකඟ කිරීමක් පෙන්වා දේ. එයින් අකුසල් මැඩලීමට පිටුවහලක් වනවා සේම සිතේ සමාධියටද උපකාරයක් වේ. එසේ සමාධිමත් සිත රූප ධ්‍යාන තල හතරක දක්වාම දියුණු කළ හැක. ඊටත් එහා අරුප ධ්‍යාන සතර දක්වා වුවද සිත මෙහෙය විය හැක. නමුත් නිවන් යෑමට මේ ධ්‍යාන ලැබීමට අවශ්‍ය නොවේ. මේ ධ්‍යාන අවස්තාවේදී වන්නේ සම්පූර්ණයෙන්ම භාහිර වෙනයම් අරමුණු ගැනීමකින් තොරව, සිත සැහැල්ලු තත්වයක පවත්නා උසස් අවස්ථාවකි.

විපස්සනා (විදර්ශනා) භාවනා - විපස්සනා යනු ‘සුවිශේෂී දැකගැනීම’යි. මේ සුවිශේෂී දැකගැනීම යනු යතාභූත ඥානය (ඇත්ත ඇති සැටියෙන් දැකීම) නිවැරදි ආකාරයෙන් මෙහෙය වීමයි. අපගේ මෝහය නිසා මෙම ඇත්ත ඇති සැටියෙන් නොපෙනේ. ඒ නිසා අප බොරුව ඇත්ත යයි සිතා ගෙන මෝහයෙන්ම ජීවත්වේ. මේ මෝහය දුරු කර උපාදානය කරගත් පංචස්කන්ධය, අනාත්ම ස්වභාවය, හේතුඵල දහම... යන ධර්මතා අවබෝධකරගැනීම මේ විදර්ශනාවේ අවසානයි. එනම් අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමයි.


මෙසේ පැහැදිලි කරගැනීමට වෙන්කර දක්වා ඇත්තේ තේරුම් ගැනීමේ පහසුව සඳහාය. ධර්මය ගැඹුරට අධ්‍යනය කිරීමේදී ඔබට පෙනී යයි මෙම දෙ ක්‍රමයම එකට යා වී ඇති අයුරු පැහැදිලි කර ඇති බව.