භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Friday, April 1, 2022

අනාවැකි පැවසීම

 


තමන්ගේ අනාගතය කෙබඳු වේ දැයි දැන ගැනීමට බොහෝ දෙනා ආශා කරති. අනාගතය උදා වන තුරු ඇතැම් අයට ඉවසීමක් නැත. ඒ නිසා ඔවුහු පේන කියන අයගෙත්, සාත්තර කාරයින්ගේත් පිහිට සොයති. මම ඔබට අනතුරු ඇඟවීමක් කරමි. කිසි විටක දුප්පත් සාත්තර කාරයෙකු ගැන විශ්වාස නො තබන්න.

දිනක් දිගු කලක් තිස්සේ ආවතේව කරන ගිහි දායකයෙක් තමන්ගේ අනාගතය පවසන ලෙස අචාන් චා හිමියන්ට ආයාචනය කළේ ය. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. සිල්වත් භික්ෂුහු අනාවැකි නො පවසති. එහෙත් දායකයා තුළ පැවතියේ ඒ පිළිබඳ දැඩි අධිෂ්ඨානයකි.

“මා කී වරක් ඔබ වහන්සේට දානය පිරිනමා ඇද්ද ? ආශ්‍රමය සඳහා කොපමණ මුදලක් පරිත්‍යාග කර ඇද්ද ? මගේත්, පවුලේත් වැඩ පසෙකට දමා, මගේ වාහනයෙන්, මගේ වියදමෙන් ඔබ වහන්සේ සමග ගමන් බිමන් ගිය හැටි මට මතක් වෙනවා.”

දායකයා, සිය අනාගතය දැන ගැනීමට දැඩි අධිෂ්ඨානයෙන් සිටි බව වැටහුණු එතුමා. ඔහු වෙනුවෙන් අනාවැකි නොපැවසීමේ නීතියට විශේෂයක් කරන බව පැවසී ය.

“ඔබේ අල්ල මට පෙන්වන්න”

දායකයා ඉමහත් ප්‍රීතියට පත් විය. එතුමා කිසිවකුට අනාවැකි පවසා නො තිබිණි. එපමණක් නොව, සෘද්ධි බල සහිත ඉසිවරයකු වශයෙන් ද එතුමා පිළිගැනිණි. එතුමා පවසන කුමන අනාවැකියක් වුව ද, නියත වශයෙන් සිදු වනු ඇත. එතුමා ඔහුගේ අල්ලේ රේඛා එකිනෙක විමසා බැලී ය. අන්තිමේ දී එතුමා ඔහුගේ අත අත්හැර මෙසේ පැවසී ය.

“දායකය, ඔබේ අනාගතය මෙසේ වේවි. මා පැවසූ දෙයක් කිසි විටෙක වැරදී නැත. ඔබේ අනාගතය අවිනිශ්චිතයි.” එය නිවැරදි ප්‍රකාශයක් විය.