Wednesday, March 17, 2021

දානය

දානය - වචනයේ ශබ්ධාර්තයෙන්ම දීම දානය වේ.  දීමට ප්‍රතිවිරුද්ද පක්ෂය ලෝභයයි. ඇලීම අතහැර දීම, අලෝභ කුසල චේතනාව සහිතව සිදුකිරීමකි. දන් දීම වනාහි කවර ආගමක වුවද පෙන්වාදී ඇත්තේ හොඳ ක්‍රියාවක් ලෙසය. නමුත් අන්‍යාගමිකයකුට නිවැරදිව සිත සකසාගෙන දීමක් හෝ ආනිශංස පිලිබඳ අවබෝධයක්, දැනීමක් නැත. ඒ ආගම් වලින් පෙන්වාදීමක්ද සිදුකර නොමැත. ඒ මුත් බෞද්ධයකු වුවද දන් දෙනවා විනා මනා වැටහීමක් මේ දානය ගැන නැත. එම නිසා සියල්ලම පරතෙරටම අවබෝධකළ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් හැර වෙන යමෙකු නොදන්නා මේ මහත් ආනිශංස සහිත නිවන් මග දක්වාම වැටී ඇති පාරමිතාවක් ලෙස සියලුදෙනාම දියුණු කරයුතු දානය ගැන දහමේ සඳහන් වන කරුණු ගැන කෙටියෙන් මෙම ලිපියෙන් විමසා බලමු.

දන් දීම තුලින් නිරායාසයෙන්ම ආයුෂ, සැප, බල, ප්‍රඥා යන ආනිසංස පහ ලැබේ. එසේ වුවත් මෙම ආනිශංස බලාපොරොතුවෙන්ම දන් දීම එතරම් හොඳ නැත. නමුත් ආනිසංස දැන ගැනීම දන් දීමට හිත යොමුකරන්නකි. මසුරු බව දුරු කරන්නකි. දෙව්, බඹ සැපයට මං පාදන්නකි. කාමච්චන්ද නීවරණය යටපත් කර මගඵල ලැබීමටද උපකාරීවන ලෙස සිත සකසා දෙන නිසා “චිත්තපරිෂ්කාර” යනුවෙන් ධර්මයේ සඳහන් වේ. මේ සා සත්වයා උසස් බවට පත්කරන දානයට බොහෝ අවස්ථාවල දහමේ මුල්තැනක් ලබාදී තිබේ. ඒ අතුරින් දස පාරමිතා, දස රාජ ධර්ම, සතර සංග්‍රහ වස්තුවල මෙන්ම ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලද දානය මුලට පැමිණ ඇත. දානය තෙවදෑරුම් වේ.

ආමිසදාන - ආහාර, වස්ත්‍ර ආදී පසිඳුරන්ට ගෝචර වන දෑ

අභයදාන  - සතුන් මැරීමෙන් වැළකී මරණින් මුදවා ගැනීම හා සියලු සත්වයාට මෙත් සිතින් වාසය කිරීම

ධර්මදාන  - සත් ධර්මය ඉගැන්වීම, පෙන්වාදීම, දහම් පොත්පත බෙදා දීම හා මුද්‍රණය කරදීම වැනි දෑ

මෙයින් ආමිස දානය පුරණය වීමට දීමට දායකයෙක්, ලැබීමට ප්‍රතිග්‍රහකයෙක් හා දීමට වස්තුවක් යන කාරණා තුන තිබිය යුතුය. දානය දෙන්නාගේ ස්වභාවය අනුව දායකයෝ තුන්දෙනෙකි. ඒ දානදාස, දානසහාය හා දානපති යන තිදෙනාය. දානදාස යනු තමා සන්තකයේ ඇති වටිනා දේ තබා ගනිමින්ම නොවටිනාදේ දෙන පුද්ගලයායි. දානසහාය යනු තිබෙනා දෙයක් විශේෂයකින් තොරව, තමා ළඟ තිබෙනා අන්දමින්ම නොසකසා දෙන කෙනාය. දානපති යනු දෙන දෙය ප්‍රනීත ලෙස සකස් කොට විශේෂකර දෙන පුද්ගලයාය. මෙයින් දානපතිම උසස් වේ. ඒ වාගේම දෙන දානය මහත්ඵල මහානිසංස වන්නේ දෙන්නාගේ හා ප්‍රතිග්‍රාහකයාගේ (ලබන්නාගේ) සීලය, ගුණවත්කම, ප්‍රඥාව වැඩිවන තරමටය. ඒ ගැන දහමේ සඳහන් වන හොඳ තැනක් නම් වෙළුකණ්ටකී නන්ද මාතාව සැරියුත්, මුගලන් යන් මහරහතන් වහන්සේලා ප්‍රධාන මහ සංඟ රත්නයට දුන් දානයයි. මෙය දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ “මහණෙනි නන්ද උපාසිකාව අංඟ හයකින් සුසැදි මහත්ඵල මහානිසංසවූ අපරිමේය ‘ඡළඞ්ගසමන්නාගත දක්ඛිණාවක් සිදුකරයි ” යනුවෙන් වදාළහ. ඒ අංඟ හය නම්

දායක පක්ෂය සතු අංඟ තුන -  

දන් දීමට පෙර ඒ පිලිබඳ පැහැදීමෙන්, යහපත් සිතින් යුතුවෙයි. දන් දෙන මොහොතේ  පිලිබඳ පැහැදීමෙන්, යහපත් සිතින් යුතුවෙයි. දන් දීමෙන් පසුව ඒ පිලිබඳ පැහැදීමෙන්, යහපත් සිතින් යුතුවෙයි.

ප්‍රතිග්‍රාහක පක්ෂයේ සතු අංඟ තුන - 

රාගය දුරු කළ හෝ දුරු කිරීමේ මගට පිළිපන්උ තුමන්,  ද්වේශය දුරු කළ දුරු කිරීමේ මගට පිළිපන්උතුමන්,  මෝහය දුරු කළ හෝ දුරු කිරීමේ මගට පිළිපන් උතුමන්

ඒ වාගේම කුමක් දුන්නත් තුන්සිත පහදවා දෙන්නට ඕනෑය කියා කියමනක් ඇත. එහි තේරුම නම් මේ දායක පක්ෂය මෙන් දීමට පෙර පැහැදුණු සිතින් යුතුවද, දෙන මොහොතේ පැහැදුණු සිතින් යුතුවද, දීමට පසුද පැහැදුණු සිතින් යුතු වීමයි.

බුදුරජාණන් වහන්සේ තවත් තැනෙක මේ ප්‍රතිග්‍රාහකයා මත සසරේ ලැබෙන සැප විපාක වෙනස්වන බව වදාළහ. ඒ “යමෙක් දාන චේතනාවෙන් තිරිසන් සතෙකුට දන් දීමෙන් ජාති සියක්ට අනුසස්ද, පෘතග්ජන දුසිල්වතෙකුට දීමෙන් ජාති දහසක්ද, පෘතග්ජන සිල්වතෙකුට දීමෙන් ජාති ලක්ෂයක්ද, කාම ආදී කෙලෙස් යටපත් කළ බුදු සසුනෙන් තොර තාපසවරයෙකුට දීමෙන් ජාති කෝටි ලක්ෂයක්ද, ආර්ය මාර්ගයට පිළිපන් උතුමෙකුට දන් දීමෙන් අසංඛ්‍යවූ අප්‍රමේය ආනිසංසද, ඊට අමතරව ආර්ය අෂ්ඨ උතුමන්ගෙන් සුසැදි රහතන් වහන්සේලා සහිත සංඟ රත්නයට, පසේ බුදුවරයෙකුට හෝ සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් උදෙසා දෙන දානයෙන් සසරේ ලැබෙන ඵලවිපාකයන්ගෙන් නිමක් නොමැතිය යනුවෙනි”.

තවත් අවස්තාවක සීහ සෙන්පතියාහට සැදැහැ සිතින් දන් දෙන්නාට මෙලොවදීම ලබන්න හැකි ආනිසංස පහක් බුදුරජාණන් වහන්සේ වදාළහ. ඒවානම් 1 බොහෝ දෙනා හට ප්‍රියවේ. 2 සත්පුරුෂ ඇසුර ලබයි. 3 කීර්තිය සැමතැන පතළ වේ. 4 බියකින් තොරව රජ, කුලවතුන් පිරිස හට මුහුණදිය හැකිවේ. 5 මරණින් මතු දෙව් සැප ලබයි. (මේ නිසා මරණ මොහොතේ පරලොව ගැන අනියත බියක් ඇති නොවේ). ඒ වාගේම දානපත්යෙක් ලෙස දන් දෙන්නා  හට රහතන් වහන්සේලා අනෙක් අයට පෙර අනුකම්පා කරයි. ඔවුන් වෙත පලමුවෙන්ම ධර්මය කියාදේ. ඔවුන්ගේ දානයම පළමුවෙන් පිළිගනී යනුවෙන්ද වදාළහ.

මේ දෙස බැලීමේදී පෙනී යන්නේ දානය දෙන්නන් වාලේ දීම නොහොඹිනා බවත් අර්ථ සහිතවම තෙරුවන් කෙරේ උපන් ශ්‍රද්ධාවෙන්ම බුදු, පසේබුදු හා සංඟ යන ආර්ය උතුමන්ටම දානය පිරිනැමීම දෙලොව සුබ සිද්දිය පිණිස හේතුවන බවය. එම නිසා අප භික්ෂුන් වහන්සේලා පිරිසකට හෝ එක භික්ෂුවකට දන් පිරිනැමුවත් එදා පැවිදිබිමට ඇතුල්වූ සාමණේර නමකට පිරිනැමුවත් මෙය සංඟ රත්නය උදෙසා පූජා කරනවා යන අදහසින් සිත එකඟ කරගෙන ගෞරවයෙන් හා සැදැහැ සිතින්ම දීම උතුම් වේ. මහත්ඵල මනානිශංසවේ. නිවනටම හේතුවේ. (මතු අනාගතයේ පහළවන කහ නූලක් අත බැඳී කාසාවකන්ථකට සිත පහදා ගෙන සාංඟික කොට යමෙක් පුදන දානයක් වේද එයද අරහා සමානවම මහත්ඵල මනානිශංසවේ. නිවනටම හේතුවේ). සමහරෙක් මේ කිසිවක් නොදැන, නොසිතා ගැරහුම් ලැබෙතැයි සිතා දෙයි, පරපුරෙන් හෝ උරුමයෙන් ආ දෙයක් නිසා දෙයි, දීම යහපතක්ය සිතා දෙයි, පරලොව සැප කැමැත්තෙන් දෙයි... මෙසේ දෙන දානයෝ කෙලෙස් දුරුවීමට සහ නිවණ පිණිසම දෙන දානයෝ තරම් උසස්, මහත්ඵල නොවෙයි. ඒ වාගේම බුදුරජාණන් වෙත පැමිණි වස්සගොත්ත පරිබ්‍රාජකයාට උන්වහන්සේ වදාළේ දෙන්නා කවරෙකුට වුවද සිත් ඇතිව දේද එය වැලැක්වීම නොහොඳ බවයි. එයින් දානය දෙන්නාගේ පිනටද, දීමේ ගුණයද, ලබන්නාගේ ලැබීමටද හානි පමුණුවන නිසාවෙනි. මේ කරුණ දෙස බැලීමේදී ඇති හෝ නැති පුද්ගලයෙකුට වේවා, මුලාකරන්නෙකුට වේවා, යමෙක් දෙයිද එය වැලැක්වීම දෙදෙනාටම කරන අකටයුත්තකි. නමුත් දීම නිසා දෙන්නාට යම් විපතක්, අවැඩක් සිදුවේද, දිවි රැකීම උදෙසාද, ඒ දෙන දෙය වැලැක්වීම අකටයුත්තක් නොවේ.

දානය ප්‍රතිග්‍රාහක (ලබන) පක්ෂය  අනුව ධර්මයේ කොටස් දෙකකට බෙදා පෙන්වා ඇත. ඒ අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය හා පුජා බුද්ධියෙන් දෙන දානය වේ. අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය නම් දුගී, මගී, යාචකාදීනට නැතිබැරිකම නිසා හා අනුකම්පාව නිසා අනුග්‍රහය පිණිස දෙන දානයයි. එනමුත් ලැබීමට සුදුසුකමක් වන්නේ නැතිබැරිකම නොවේ. ගුණවත්, සිල්වත් පුද්ගලයනුයි පුජාවට සුදුසුම අය වන්නේ. මේ අය කෙරේ දෙන දානය පුජා බුද්ධියෙන් දෙන දානය වේ. මේ ලෙස පුජාවට සුදුසු යම් සමූහයක්, පිරිසක් ඇත්නම් ඒ සඟ රත්නය හැර වෙන සමූහයක් නොව. එවැනි පින් කෙතක් වෙන නැත.

ඒවාගේම ‘කාලදාන’ ලෙස විවිද දන් දීමට සුදුසු අවස්ථා පහක් පිලිබඳ පංචක නිපාතයේ සඳහන්ව ඇත. ඒවා නම්,

1 ආගන්තුකයාට දන් දීම (ආගන්තුක දාන)   2 චාරිකාවේ යෙදෙන්නආට දන් දීම (ගමික දාන)   3 ගිලනුන්ට දන් දීම (ගිලන් දාන)    4 නැතිබැරි කළ දන් දීම (දුර්භීක්‍ෂ දාන)   5 අස්වැන්නේ, ආහාරයේ මුල් කොටස සිල්වතුන්ට දන් දීම (අග්ගිස්ස දාන)

බුද්ධත්වය ලැබූ මහ බෝසතාණන් වහන්සේලා ඇතුළු අසූ මහා ශ්‍රාවක බෝසත්වරුද පාරමී පුරාණයට විවරණ ලැබ තිබෙන්නේ තුනුරුවනට මහා දානමානාදිය පුදාය. වස් පිංකම් සිදුකොටය. එසේ සියලු බෝසතාණන් වහන්සේලාට සම්බෝධියට පිටිවහලක් වූ දානය නමැති පළමු පාරමී ධර්මය ලෞකික, ලෝකෝත්තර සැප කැමති සියලු දෙනාගේ පාදම, අත්තිවාරම වේ. දානයෙන් තොර සැපයක්ද, සුවයක්ද නැත. එසේ අග්‍ර වන දානය කර්මඵල දැන තුනුරුවනට සැදැහැතිව සිදුකළ කිසිවෙකුත් සසරේ දුකට පත්වී නොමැත. සුවයෙන් සුවයට පැමිණ අවසන උතුම් නිවනද අවබෝධ කර ගන්නේය.

0 comments:

Post a Comment