භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Saturday, September 25, 2021

බක්කුල මහරහතන් වහන්සේ

ගෞතම බුදු සසුනේ ආශ්චර්යමත් මහරහත් ජීවිත කතා අතරින් බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතයද සුවිශේෂී එකකි. උන්වහන්සේ කිසි දිනෙක ආහාරපාන හැරුණු කොට ඖෂධ යයි කියනා කිසිවක් ලබාගෙන නොමැත. ඒ පමණක් නොව උන්වහන්සේ කිසිකලෙක ලෙඩවීද නොමැත. පුරා අවුරුදු එකසිය හැටක් ආයු වැළඳූ උන්වහන්සේ එක දිනකවත් හෙම්බිරිස්සාවකින් හෝ පීඩා විඳ නොමැත.

අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට සමයේ බක්කුල හිමියෝ බ්‍රාහ්මණයෙක්ව උපත ලබා සිටියේය. බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා පැවිදි වූ මේ  බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ හට බෙහෙත් පූජාවක් කරගැනීමටද අවස්තාව ලැබිණි. මෙසේ අනෝමදස්සී බුදුන් දවස මහා පුන්‍යකර්ම සිදුකර සුගති සම්පත් ලබා පදුමුත්තර බුදුන් දවසද මනුලොව ඉපදී ඒ ලෙසම කුසල් මාර්ගයේ ගියේය. විපස්සී බුදුහිමියන් දවසද මනුලොව ඉපද ගිහි ජීවිතයෙන් බැහැර වී හිමාල අඩවියේ තපස් රකිමින් කාලයක් ජීවත් විය. ඒ සමයේද භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සඟ පිරිසකට බෙහෙත් ආදිය පූජා කරමින් උතුම් පිංකම් කරගත්තේය. එලෙසම කාශ්‍යප බුද්ධ සාසනය පහළ වූ කළද යහමගෙහි යෙදුනි. ඒ ලැබූ සියලු කුසලානුභාව බලයද එකතුවෙන් ගෞතම බුදුන් පහළ වන සමයේ දඹදිව එක් දන්වත් සිටුකුලයක උපත ලැබීය.

මේ කුමාරයා උපත ලැබූ දින සිට නිවසට බොහෝ ලාබ සම්පත් ලැබෙන්නට විය. ඒ නිසා දෙමව්පියන් මේ පින්වත් දරුවා දීර්ඝායුෂ ලැබීම සඳහා එම කාලයේ කළ පිළිවෙතක් අනුගමනය කිරීමට සැරසිණි. එය නම් යමුනා නදියේ ජලයෙන් දරුවා නෑවීමයි. නාවන මොහොතේ අත් වැරදීමකින් දරුවා වතුරට වැටී විශාල මාළුවෙකුට ගොදුරු විය. නමුත් දරුවාගේ පුණ්‍ය තේජස නිසා ඒ මාළුවා වෙන ගම් පිරිසකගේ මාළු දැලකට හසුවිණි. මේ විසාල මාළුවා මිලදී ගත් ගම් සිටුවරයෙක් එය ගෙනත් බිරිඳට දුන්නේය. ඇය මාළුවා කපා සුද්ද කිරීමට සැරසෙද්දී නිරුපද්‍රිත දරුවා හමුවිණි. භාරකාරයෙක් නොමැති නිසා රජු හමුවට දරුවා ගෙන ගිය දෙදෙනාට දරුවා ඇති දැඩි කරන්නට රජතුමා අවසර දුනි. සිටුපවුලට දරවන්ද නොමැති නිසා දෙදෙනා එයට කැමති විය. මෙසේ කාලයක් ගිය පසු දරුවා බිහිකළ දෙමව්පියන් හට මේ ආරංචිය දැනගන්නට ලැබී ඔවුන් පැමිණ දරුවා ඉල්ලා සිටියහ. ඇතිදැඩි කළ සිටුපවුල මෙයට අකමැති විය. ඒ නිසා මේ ගැටළුව විසඳා ගැනීමට දෙපිරිසම රටේ රජු හමුවට ගියහ. රජුගේ තීරණය මත දරුවා බිහි කළ දෙමව්පියන්ටත්, දරුවා ඇතිදැඩි කළ දෙමව්පියන්ටත් සමසමව අයිතිය තීන්දු විනි. තීන්දුවට අනුව කලක් දරුවා බිහිකළ ගෙදරත්, තවත් කලක් දරුවා බේරාගත් ගෙදරත් යන දෙතැනම සුවසේ ඇතිදැඩි වන්නට විය. ඒ නිසා දරුවාට කුල දෙකකින් යුත් යන අර්ථය ඇති බක්කුල යන නම භාවිතා විය. මහත් සැප සම්පත් විඳිමින් සිටි මොහුට අසූවයස් එළඹී කළ බුදුරජාණන් වහන්සේ දේශණා කළ ශ්‍රී සත් ධර්මය ශ්‍රවණය කරන්නට ලැබිනි. සාසනයට ඇලුණු සිතින් යුතුව මේ පින්වත් පුද්ගලයා සියලු සැප සම්පත් හැර දමා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් අති උතුම් පැවිද්ද ලබා ගත්තේය. උන්වහන්සේ පැවිදි කර අවසන් වීමටත් ප්‍රථම පළමු ධ්‍යානය උපදවාගෙන් වාසය කළහ. ඒ එලෙස පැවිදිව සත් දිනක් පමණක් ගොස් උතුම් අරහත් භාවය ලබා ගැනීමට තරම්ද උන්වහන්සේ පින්වන්ත විය.

දිනක් උන්වහන්සේගේ ගිහිකල හිතවතෙක් වූ අචේල කස්සප නම් නිරුවත් තවුසා පැමිණ සැපදුක් විමසා සිටියේය. මේ කාලය වන විට උන්වහන්සේ ගිහිකල අවුරුදු අසූවකුත්, පැවිදි වී අවුරුදු අසූවකුත් ගත කළ සිටියේය. එනම් උන්වහන්සේ ගතකල සම්පූරණ වර්ෂ ප්‍රමාණය අවුරුදු එකසීය හැටකි. ඒ උන්වහන්සේ පිරිණිවන් පෑමට ආසන්න කාලය විය. කස්සප තවුසා කතාබස් කරමින් සිටියදී “ඔබ මේ අසූ වයස් පැවිදි ජීවිතයේ කාමහි කී වතාවක් යෙදී තිබෙනවාද? ” යැයි උන්වහන්සේගෙන් විමසා සිටියේය. එවිට උන්වහන්සේ “ඔබ අසූ ප්‍රශ්නය වැරදි... ඇසීය යුත්තේ කී වතාවක් මා හට කාම සංඥාව ඇතිවී ඇත්තයි ලෙසයි” යැයි කියමින් එයට පිළිතුරු ලෙස “මා හට ශ්‍රමණ දිවියේ එකඳු කාම සංඥාවක්වත් ඇතිවී නැතැයි” කියා සිටියේය. ඒ වාගේම කස්සප බමුණා උන්වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්න පෙලක් අසද්දී තම දිවියේ සුවිශේෂී අද්භූත ලක්ෂණ බොහෝ ගණනක් දක්වමින් ඒවාට පිළිතුරු ලෙස ලබා දුන්හ. එයින් කීපයකි මේ -

මගේ පැවිදි අසූ වයස තුළ ගිහියෙක් දුන් කිසිඳු සිවුරක් පිළිගත් බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ ඉඳිකටුවකින් සිවුරක් මැසූ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ සිවුර පඬුවලින් පඬු පෙවූ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ ආරාධනා කළ දානයක් භාරගෙන නොමැත.

මගේ පැවිදි අසූ වයස තුළ ගෙයක් ඇතුළකට ගිය බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ කාන්තාවකට සතර පද ගාථාවකින් හෝ දහම් දෙසූ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ සාමනේර හිමියෙකුට ලවා හෝ උපස්ථානය කරගත් බවක් මතක නැත.

මගේ මුළු ජීවිතය තුළම සුළු මොහොතක් හෝ අසනීප වූ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ කිසිවෙක් පවිදිකළ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ ඇඳක පිට හාන්සිකර බවක් හෝ නිදාගත් බවක් මතක නැත.

මේ ආදී වශයෙන් උන්වහන්සේගේ දිවියේ සියලු සුවිශේෂී අද්භූත කාරණා විස්තර කරගෙන යද්දී සියල්ල අසාගෙන සිටි අචේල කස්සප තව්සා ඒවා අනුමෝදන් විය. ඒ වාගේම ඔහු දහම කෙරේ පැහැදී උන්වහන්සේගෙන් තමාද මහණ කරන ලෙස ඉල්ලා සිටියේය. නමුත් උන්වහන්සේ කස්සපව පැවිදි නොකළහ. ඒ උන්වහන්සේ සතු අද්භූත ලක්ෂණ හේතුවෙනි. ඔහු බුදුහිමියන් සමීපයට ගොස් මහණ වීර්ය වඩා නොබෝ කලකින්ම බක්කුල මහරහතන් වහන්සේ සේ ඒ උතුම් නිවණ සාක්ෂාත් කළේය. එසේ උතුම් හුදකලාවේ වාසය කළ බක්කුල හිමියෝ දිනක් තම ආයුෂය අවසන් බව දැන සියලු සඟ පිරිස අමතා තමා පිරිනිවන් පාන බව උන්වහන්සේලාට පවසා සිටියහ. එසේ පවසා තමා ගිහි කලාවත්, පැවිදි කලාවත් කිසිවෙකුට භාදාවක්, හිරිහැරයක් නොවූ බව පවසා තම පිරිනිවීමද එසේ ම සිදුවීමට අදිටන් කර ගනිමින් අහසට නැග ඵලක් බැඳ තේජෝ කසිනයට වැදී පිරිනිවීය. ඒ මොහොතේ උන්වහන්සේගේ අධිෂ්ඨානය පරිදි සිරුරින් ගිණි ජාලාවක් පැන නැගී දැවී ගොස් පහනක් නිවී යන පරිද්දෙන් භික්ෂු සඟයා මධ්‍යයේ නිවී ගියේය. නමුත් සත්වයාට හට කරුණාවෙන් උන්වහන්සේ ධාතු පමණක් ඉතිරි කර අපට වන්දනාමාන කරගෙන පින් රැස් කරගැනීමට ඉඩ සලසා දුන්හ.

අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ

 

උන්වහන්සේ  මහා පිනැති භික්ෂුවක් විය. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා මිහිපිට ධර්මාවබෝධය කළ ප්‍රථම මහරහතන් උතුමා උන්වහන්සේය. ඒ නිසා උන්වහන්සේව චිරරාතඤ්ඥ වශයෙන් හැඳින්වූහ. ඒ සඳහා උන්වහන්සේ කල්ප ගණනක සිට පාරමී පිරීය. පදුමුත්තර බුදුන් දවස ගොවි කුලයක උන්වහන්සේ උපත ලැබීය. දිනක් සඟපාමොක් ඇතුළු පිරිස ඉදිරියේ පදුමුත්තර බුදුහිමියන් එක් භික්ෂුවක් අරඹයා පළමුවෙන් ධර්මය අවබෝධ කළ භික්ෂූන් අතරින් අග්‍රස්ථාන ලබනවා යැයි කියා සිටි සේක. එවිට මටත් මෙවන් පදවියක් මතු සසරේ පහළවන සාසනයක ලබන්නට ඇත්නම් යයි සිතමින් මේ තරුණයා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා භික්ෂු පිරිසට සතියක් දානමානාදි පුදසත්කාර කර සිටියහ. දින සත අවසානයේ බුදුහිමිගේ දෙපා වන්දනා කරමින් තම සිත්හි ඇති පැතුම බුදුහිමියන් වෙත සැල කර සිටියේය. එවිට පදුමුත්තර හිමියන් මතු අනාගතය බලා එය ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුනේ සඵල වන බව වදාරමින් විවරණ ලබා දුන් සේක. එතැන් පටන් බොහෝ පිංකම් සිදුකරමින් පදුමුත්තර බුදුහිමියන් පිරිනිවී වදාළ තැන උන්වහන්සේගේ ඒක ඝනවූ උතුම් ධාතූන්ටද විවිධ පුද සත්කාර කර මහා පින් රැස් කරගත්තේය. විපස්සී බුදුන් දවස උන්වහන්සේ ඇතුළු සඟ පිරිසටද දින ගණනාවක් ඉතා උසස් අයුරින් දන් පැන් පූජා කර මහත් පුණ්‍යස්කන්ධයක් රැස් කරගෙන දෙව් මිනිස් සැප බොහෝ ලබමින්  පැමිණ අවසාන ආත්මභාවයේ කොණ්ඩඤ්ඤ යන නමින් බමුණු ගමක උපත ලැබීය. තරුණ වයසින්ම ත්‍රිවේද සම්පූර්ණ කර බොහෝ දෙනාගේ පැසසුමට ලක්වන බමුණෙක් බවට පත් වුහ. මෙසේ කලක් යෑමේදී සුද්දෝධන රාජ මාලිගයේ පින්වත් කුමරෙක්ගේ ඉපදීම නිසා ඒ කුමරාගේ නම් තැබීමේ උත්සවයට බමුණන් එකසීය අටකට ආරාධනා යවා තිබිණි. ඒ අතරට  කොණ්ඩඤ්ඤ බමුණාද විය. එයින් බමුණන් සත් දෙනෙක් මේ කුමරා සක්විති පදවිය ලබනවා හෝ බුදුබව ලබනවා හෝ යන කාරණා දෙකකින් එකක් නියත වශයෙන්ම සිදුවනවා යැයි ඇඟිලි දෙකක් ඔසවමින් ප්‍රකාශ කර සිටියහ. නමුත් මහා පින්වත් මේ කුමාරයාගේ දෙබැම මැද ඇති ඌර්ණ රෝම ධාතුව මානව දැකගත්  කොණ්ඩඤ්ඤ බමුණා පමණක් එක් ඇඟිල්ලක් ඔසවමින් නියතයෙන්ම මේ කුමරුවා මතු බුදුවනවා යැයි ප්‍රකාශ කර සිටියේය.

සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්ම බුදුබව ලබාගැනීම උදෙසා අත්තකිලමතානුයෝගී එනම් දැඩිව සිරුරට දුක් දෙමින් සිටි කාලයේ උන්වහන්සේට උපස්ථාන කළේ ද මේ කොණ්ඩඤ්ඤ තව්සා ප්‍රධාන පස් පිරිසය. ඒ පිරිසේ අනෙක් සතර දෙනා නම් එදා සිද්ධාර්ථ කුමරුගේ නම් තැබීමේ උත්සව දවසේ ඇඟිලි දෙකක් එසවූ බමුණු සත් දෙනාගෙන් සතර දෙනෙකුගේ දරුවන්ය. ඒ බමුණු සතර දෙනාගේ දරුවන් නමින් වප්ප, බද්ද්දිය, මහානාම හා අස්සජි ය. සිද්ධාර්ථයන් වහන්සේ දැඩිව සිරුරට දුක් දෙන ප්‍රතිපදාවෙන් බැහැරවූ කළ මේ පස් පිරිස ඒ උපස්ථාන ආදියෙන් බැහැර වූහ. මන්ද එදා සාමාජයේ මතයක් ව පැවතියේ නිවනක්, නිෂ්ඨාවක් දකින්නට නම් සිරුරට දුක් දිය යුතු බවය. දුක් විඳ එය ලබාගත යුතු බවය. නමුත් වෙසක් දින පස් මාරයන් පරදා මැදුම් පිළිවෙත ලොවට හෙළි කරමින් බුදුවූ ගෞතමයන් වහන්සේගේ ප්‍රථම දහම් සක ප්‍රවර්තනය අසා සිටීමට තරම් මේ පිරිස මහා පිංවන්තයින් වූහ. එයිනුත් පළමුවෙන්ම මාර්ගඵලයන් ලබා ගැනීමට තරම්, දහම වටහාගැනීමට තරම් කොණ්ඩඤ්ඤයන් වහන්සේ අතිශය පින්වත් වූහ. පාරමී පූරණය කර සිටියහ.

කල්යත්ම සාසනය පුළුල් වී අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, අසූමහ ශ්‍රාවකයන් වහන්සේලා පහළ විය. ඒ අනුව දානයක්, බණක් වැනි අවස්ථාවක බුදුහිමියන් පසුප දෙපසට වෙන්නට පිළිවෙල අනුව අග්‍රශ්‍රාවකයන් දෙනමට සිටින්නට සිදුවේ. එවිට සැරියුත් හිමියන් හා මුගලන් හිමියන් දෙනම තමන් පිටුපසින් කොණ්ඩඤ්ඤයන් වහන්සේ සිටීම ගැන යම් අසතුටක්, පැකිළීමක් දැකවූහ. ඒ උන්වහන්සේට ඇති මහත් ගෞරවය නිසාය. සියලු රහතන් වහන්සේලා ඇතුළු භික්ෂු පිරිසද කොණ්ඩඤ්ඤයන් වහන්සේ හට මහත් ගෞරවයෙන් කටයුතු කළහ. ඒ උන්වහන්සේ දහම අවබෝධ කරගත්, දහම හද මඩලේ තැන්පත් කරගත් ප්‍රථම උත්තමයා වූ නිසාය. කොණ්ඩඤ්ඤ හිමිද අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමගේ මේ කාරණය දැන ගෙන සිටි නිසාත්, සමාපත්තීන්ට සමවැදී කඟවේනෙක් මෙන් පිරිසෙන් වෙන්ව, විවේකීව සිටීමට තමා තුල ඇති කැමැත්ත නිසාද උන්වහන්සේ බුදුහිමියන්ගෙන් අවසර ගෙන හිමාල වනය ආසන්නයේ ඇති මිනිසුන්ගේ ගැවසීමෙන් තොර, පාරිශුද්ධ භූමියක් වූ, පෙර පසේ බුදුවරුන් පමණක් ජීවත් වූ ඒ සද්දන්ත වනයට වැඩම කළහ. වැඩම කර එහි වාසය කරමින් වනයේ සෘධිමත් හස්තීන්ගේ උවැටන්, පුදසත්කාර මනාව ලැබූවේය. වැඩ වාසය කරන කුටිය අවට පිරිසිඳු කරමින්, පලතුරු වැළඳීමට ලබා දෙමින්, සක්මන් මලු සකසා දෙමින් ආදී විවිධ කරමින් මේ හස්තීන් උන්වහන්සේව බලා කියා ගත්හ. ඒ වාගේම වනයට අධිගෘහිත නාගදන්ත දේවතාවාගෙන්ද අපමණ සත්කාර කොණ්ඩඤ්ඤයන් වහන්සේ ලැබුවේය. එසේ ලබමින් උන්වහන්සේ නිහඬ උත්තමයකුගේ ජීවිතයක් ගත කළේය.

උන්වහන්සේ තම පිරිනිවීමට කාලය එළඹ ඇති බව දැනගත් මොහොතේ එය බුදු හිමියන් හට පවසා අවසර ලබා ගෙනා ඒමට සද්දන්ත වනයෙන් බුදුහිමියන් වෙත වැඩම කළේය. වැඩම කර බුදු හිමියන්ගේ දෙපා නමස්කාර කරමින් “බුදු හිමියනි, මම කොණ්ඩඤ්ඤයන් වෙමි..” යනුවෙන් සඳහන් කරමින් පැමිණ සිටි කාරණය කියා සිටියේය. කොණ්ඩඤ්ඤයන් වහන්සේ මේ ලෙස බුදුහිමියන් සමීපයට පැමිණියේ අවුරුදු දොලොසකට පසුවය. බුදුහිමියන් උන්වහන්සේ හට ඒ සඳහා අවසර ලබා දෙමින් කොහි පිරිනිවන් පාන්නේ දැයි අසා සිටි සේක. එවිට උන්වහන්සේ “හිමියනි, අවුරුදු දොළොසක් තිස්සේ මා හට උපස්ථාන කළ හස්තීන්ට අනුග්‍රහ පිණිස සද්දන්ත වනයේම” යැයි කියා සිටියහ. ඉන්පසු යලි වනයට වැඩි උන්වහන්සේ තම කුටියට සැපත්ව එහි පිරිනිවන් පෑහ.

කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ මේ පිරිනිවීම නොදත් හස්තීන් උදෑසන කුටිය අසලට වී උන්වහන්සේ එලියට වඩිනතුරු බලා සිටියහ. නමුත් එක් සත්වයෙක් උන්වහන්සේ නොවඩිනා නිසා කුටිය විපරම් කළේය. දේහය නිසලව තිබෙනවා දැක, හොඬවැලද සිරිරට තබා බලා උන්වහන්සේ කය අතහැර ඇති බව තේරුම් ගෙන සියලු සත්වයන් සමග සෝක වෙමින් අවසන් පුදසත්කාර කරන්නට යෙදුනි. මේ බව දැනගත් දෙවිවරුන්ද පැමිණීම අවසන් ගෞරව කර සිටියහ. ඒ වාගේම පැමිණි දෙවිවරුන් හා සෘධිමත් හස්තීන් දෙපිරිසගේ එකතුවෙන් උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරුණි. ඒ මොහොතට අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලාද වැඩම කළහ. දෙවිවරුන් සෑදු උන්වහන්සේගේ සඳුන් චිතකය දැවී ගිය පසු ඉතිරි වූ ධාතුන්ද රැගත් රහතන් වහන්සේලා පිරිස භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කර ඒ ධාතු භාග්‍යවතුන් වහන්සේ හට ලබා දුන්හ. එවිට කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ගුණ පෙන්වා දෙමින් බුදුහිමියන් ශ්‍රී හස්තය දිගු කර සෘධියෙන් ධාතු ගැබ් කර සෑයක් කළ සේක. එසේ අප ශාස්තෘන්ගේ සාසනයේ පළමු සඟරත්නය, පළමු රහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් පිරිනිවී වදාළහ.