උන්වහන්සේ මහා පිනැති භික්ෂුවක් විය. ගෞතම බුදුරජාණන්
වහන්සේගෙන් දහම් අසා මිහිපිට ධර්මාවබෝධය කළ ප්‍රථම මහරහතන් උතුමා උන්වහන්සේය. ඒ
නිසා උන්වහන්සේව චිරරාතඤ්ඥ වශයෙන් හැඳින්වූහ. ඒ සඳහා උන්වහන්සේ කල්ප ගණනක සිට
පාරමී පිරීය. පදුමුත්තර බුදුන් දවස ගොවි කුලයක උන්වහන්සේ උපත ලැබීය. දිනක්
සඟපාමොක් ඇතුළු පිරිස ඉදිරියේ පදුමුත්තර බුදුහිමියන් එක් භික්ෂුවක් අරඹයා පළමුවෙන්
ධර්මය අවබෝධ කළ භික්ෂූන් අතරින් අග්‍රස්ථාන ලබනවා යැයි කියා සිටි සේක. එවිට මටත්
මෙවන් පදවියක් මතු සසරේ පහළවන සාසනයක ලබන්නට ඇත්නම් යයි සිතමින් මේ තරුණයා
බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා භික්ෂු පිරිසට සතියක් දානමානාදි පුදසත්කාර කර සිටියහ.
දින සත අවසානයේ බුදුහිමිගේ දෙපා වන්දනා කරමින් තම සිත්හි ඇති පැතුම බුදුහිමියන්
වෙත සැල කර සිටියේය. එවිට පදුමුත්තර හිමියන් මතු අනාගතය බලා එය ගෞතම සම්මා
සම්බුදුරජාණන් වහන්සේගේ සසුනේ සඵල වන බව වදාරමින් විවරණ ලබා දුන් සේක. එතැන් පටන්
බොහෝ පිංකම් සිදුකරමින් පදුමුත්තර බුදුහිමියන් පිරිනිවී වදාළ තැන උන්වහන්සේගේ ඒක
ඝනවූ උතුම් ධාතූන්ටද විවිධ පුද සත්කාර කර මහා පින් රැස් කරගත්තේය. විපස්සී බුදුන්
දවස උන්වහන්සේ ඇතුළු සඟ පිරිසටද දින ගණනාවක් ඉතා උසස් අයුරින් දන් පැන් පූජා කර
මහත් පුණ්‍යස්කන්ධයක් රැස් කරගෙන දෙව් මිනිස් සැප බොහෝ ලබමින් පැමිණ අවසාන ආත්මභාවයේ කොණ්ඩඤ්ඤ යන නමින් බමුණු
ගමක උපත ලැබීය. තරුණ වයසින්ම ත්‍රිවේද සම්පූර්ණ කර බොහෝ දෙනාගේ පැසසුමට ලක්වන
බමුණෙක් බවට පත් වුහ. මෙසේ කලක් යෑමේදී සුද්දෝධන රාජ මාලිගයේ පින්වත් කුමරෙක්ගේ
ඉපදීම නිසා ඒ කුමරාගේ නම් තැබීමේ උත්සවයට බමුණන් එකසීය අටකට ආරාධනා යවා තිබිණි. ඒ
අතරට කොණ්ඩඤ්ඤ බමුණාද විය. එයින් බමුණන්
සත් දෙනෙක් මේ කුමරා සක්විති පදවිය ලබනවා හෝ බුදුබව ලබනවා හෝ යන කාරණා දෙකකින්
එකක් නියත වශයෙන්ම සිදුවනවා යැයි ඇඟිලි දෙකක් ඔසවමින් ප්‍රකාශ කර සිටියහ. නමුත්
මහා පින්වත් මේ කුමාරයාගේ දෙබැම මැද ඇති ඌර්ණ රෝම ධාතුව මානව දැකගත් කොණ්ඩඤ්ඤ බමුණා පමණක් එක් ඇඟිල්ලක් ඔසවමින්
නියතයෙන්ම මේ කුමරුවා මතු බුදුවනවා යැයි ප්‍රකාශ කර සිටියේය.
සිද්ධාර්ථ කුමාරයා
ගිහිගෙයින් නික්ම බුදුබව ලබාගැනීම උදෙසා අත්තකිලමතානුයෝගී එනම් දැඩිව සිරුරට දුක්
දෙමින් සිටි කාලයේ උන්වහන්සේට උපස්ථාන කළේ ද මේ කොණ්ඩඤ්ඤ තව්සා ප්‍රධාන පස් පිරිසය. ඒ පිරිසේ
අනෙක් සතර දෙනා නම් එදා සිද්ධාර්ථ කුමරුගේ නම් තැබීමේ උත්සව දවසේ ඇඟිලි දෙකක් එසවූ
බමුණු සත් දෙනාගෙන් සතර දෙනෙකුගේ දරුවන්ය. ඒ බමුණු සතර දෙනාගේ දරුවන් නමින් වප්ප,
බද්ද්දිය, මහානාම හා අස්සජි ය. සිද්ධාර්ථයන් වහන්සේ දැඩිව
සිරුරට දුක් දෙන ප්‍රතිපදාවෙන් බැහැරවූ කළ මේ පස් පිරිස ඒ උපස්ථාන ආදියෙන් බැහැර වූහ.
මන්ද එදා සාමාජයේ මතයක් ව පැවතියේ නිවනක්, නිෂ්ඨාවක් දකින්නට නම් සිරුරට දුක් දිය
යුතු බවය. දුක් විඳ එය ලබාගත යුතු බවය. නමුත් වෙසක් දින පස් මාරයන් පරදා මැදුම්
පිළිවෙත ලොවට හෙළි කරමින් බුදුවූ ගෞතමයන් වහන්සේගේ ප්‍රථම දහම් සක ප්‍රවර්තනය අසා
සිටීමට තරම් මේ පිරිස මහා පිංවන්තයින් වූහ. එයිනුත් පළමුවෙන්ම මාර්ගඵලයන් ලබා
ගැනීමට තරම්, දහම වටහාගැනීමට තරම් කොණ්ඩඤ්ඤයන් වහන්සේ අතිශය පින්වත් වූහ. පාරමී
පූරණය කර සිටියහ.
කල්යත්ම සාසනය පුළුල් වී අග්‍රශ්‍රාවකයන්
වහන්සේලා, අසූමහ ශ්‍රාවකයන් වහන්සේලා පහළ විය. ඒ අනුව දානයක්, බණක් වැනි අවස්ථාවක
බුදුහිමියන් පසුප දෙපසට වෙන්නට පිළිවෙල අනුව අග්‍රශ්‍රාවකයන් දෙනමට සිටින්නට සිදුවේ.
එවිට සැරියුත් හිමියන් හා මුගලන් හිමියන් දෙනම තමන් පිටුපසින් කොණ්ඩඤ්ඤයන් වහන්සේ
සිටීම ගැන යම් අසතුටක්, පැකිළීමක් දැකවූහ. ඒ උන්වහන්සේට ඇති මහත් ගෞරවය නිසාය. සියලු
රහතන් වහන්සේලා ඇතුළු භික්ෂු පිරිසද කොණ්ඩඤ්ඤයන් වහන්සේ හට මහත් ගෞරවයෙන් කටයුතු
කළහ. ඒ උන්වහන්සේ දහම අවබෝධ කරගත්, දහම හද මඩලේ තැන්පත් කරගත් ප්‍රථම උත්තමයා වූ
නිසාය. කොණ්ඩඤ්ඤ හිමිද අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමගේ මේ කාරණය දැන ගෙන සිටි
නිසාත්, සමාපත්තීන්ට සමවැදී කඟවේනෙක් මෙන් පිරිසෙන් වෙන්ව, විවේකීව සිටීමට තමා තුල
ඇති කැමැත්ත නිසාද උන්වහන්සේ බුදුහිමියන්ගෙන් අවසර ගෙන හිමාල වනය ආසන්නයේ ඇති මිනිසුන්ගේ
ගැවසීමෙන් තොර, පාරිශුද්ධ භූමියක් වූ, පෙර පසේ බුදුවරුන් පමණක් ජීවත් වූ ඒ සද්දන්ත
වනයට වැඩම කළහ. වැඩම කර එහි වාසය කරමින් වනයේ සෘධිමත් හස්තීන්ගේ උවැටන්, පුදසත්කාර
මනාව ලැබූවේය. වැඩ වාසය කරන කුටිය අවට පිරිසිඳු කරමින්, පලතුරු වැළඳීමට ලබා දෙමින්,
සක්මන් මලු සකසා දෙමින් ආදී විවිධ කරමින් මේ හස්තීන් උන්වහන්සේව බලා කියා ගත්හ. ඒ වාගේම
වනයට අධිගෘහිත නාගදන්ත දේවතාවාගෙන්ද අපමණ සත්කාර කොණ්ඩඤ්ඤයන් වහන්සේ ලැබුවේය. එසේ
ලබමින් උන්වහන්සේ නිහඬ උත්තමයකුගේ ජීවිතයක් ගත කළේය.
උන්වහන්සේ තම පිරිනිවීමට කාලය එළඹ ඇති බව දැනගත්
මොහොතේ එය බුදු හිමියන් හට පවසා අවසර ලබා ගෙනා ඒමට සද්දන්ත වනයෙන් බුදුහිමියන් වෙත
වැඩම කළේය. වැඩම කර බුදු හිමියන්ගේ දෙපා නමස්කාර කරමින් “බුදු හිමියනි, මම කොණ්ඩඤ්ඤයන්
වෙමි..” යනුවෙන් සඳහන් කරමින් පැමිණ සිටි කාරණය කියා සිටියේය. කොණ්ඩඤ්ඤයන් වහන්සේ
මේ ලෙස බුදුහිමියන් සමීපයට පැමිණියේ අවුරුදු දොලොසකට පසුවය. බුදුහිමියන් උන්වහන්සේ
හට ඒ සඳහා අවසර ලබා දෙමින් කොහි පිරිනිවන් පාන්නේ දැයි අසා සිටි සේක. එවිට
උන්වහන්සේ “හිමියනි, අවුරුදු දොළොසක් තිස්සේ මා හට උපස්ථාන කළ හස්තීන්ට අනුග්‍රහ
පිණිස සද්දන්ත වනයේම” යැයි කියා සිටියහ. ඉන්පසු යලි වනයට වැඩි උන්වහන්සේ තම
කුටියට සැපත්ව එහි පිරිනිවන් පෑහ.
කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ මේ පිරිනිවීම නොදත්
හස්තීන් උදෑසන කුටිය අසලට වී උන්වහන්සේ එලියට වඩිනතුරු බලා සිටියහ. නමුත් එක්
සත්වයෙක් උන්වහන්සේ නොවඩිනා නිසා කුටිය විපරම් කළේය. දේහය නිසලව තිබෙනවා දැක, හොඬවැලද
සිරිරට තබා බලා උන්වහන්සේ කය අතහැර ඇති බව තේරුම් ගෙන සියලු සත්වයන් සමග සෝක
වෙමින් අවසන් පුදසත්කාර කරන්නට යෙදුනි. මේ බව දැනගත් දෙවිවරුන්ද පැමිණීම අවසන්
ගෞරව කර සිටියහ. ඒ වාගේම පැමිණි දෙවිවරුන් හා සෘධිමත් හස්තීන් දෙපිරිසගේ එකතුවෙන්
උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරුණි. ඒ මොහොතට අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඇතුළු 500ක්
රහතන් වහන්සේලාද වැඩම කළහ. දෙවිවරුන් සෑදු උන්වහන්සේගේ සඳුන් චිතකය දැවී ගිය පසු ඉතිරි
වූ ධාතුන්ද රැගත් රහතන් වහන්සේලා පිරිස භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කර ඒ ධාතු
භාග්‍යවතුන් වහන්සේ හට ලබා දුන්හ. එවිට කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ගුණ පෙන්වා දෙමින් බුදුහිමියන්
ශ්‍රී හස්තය දිගු කර සෘධියෙන් ධාතු ගැබ් කර සෑයක් කළ සේක. එසේ අප ශාස්තෘන්ගේ
සාසනයේ පළමු සඟරත්නය, පළමු රහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් පිරිනිවී වදාළහ.
0 comments:
Post a Comment