භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Sunday, March 5, 2023

ගැලවෙන්නට මගක් නැති විට, තේ පානය කිරීම

 

හැම විට ම, අපට ඇති පහසුකම්වලින් කුමක් හෝ කළ හැකි ය. පහත සඳහන් කතන්දරය මට පැවසුවේ, මගේ පැරණි මිතුරෙකි. ඔහු මා සමග ගුරුවරයෙකු වශයෙන් සේවය කළ අතර, ඊට පෙර දෙවැනි ලෝක යුද්ධයේ දී, බ්‍රිතාන්‍ය හමුදාවේ සෙබළෙකු ලෙස සේවය කර තිබිණි.

මගේ මිත්‍ර තරුණ සෙබළා බුරුමයේ (මියන්මාරය) වනාන්තරයක මුර සංචාරයේ යෙදී සිටියේ ය. මව් රටින් දුර බැහැර රටක සිටි මේ තරුණයා පසු වූයේ දැඩි බියෙනි. ඒ අතර මුර සංචාරයක පිරිසේ සිටි ඔත්තු බැලූ සෙබළා කපිතාන්ට පැවසුවේ භයානක ආරංචියකි. ඒ කුඩා පිරිස අසල, සතුරු ජපන් සෙබළුන් විශාල පිරිසක් සිටිනු දකින්නට ලැබිණි. තරුණ සෙබළා මරණයට සූදානම් විය. සටන් කිරීම සඳහා කපිතාන්ගෙන් අණ ලැබෙන තුරු ඔහු බලා සිටියේ ය. සටනින් ජය ගත නොහැකි වුවත්, සතුරන් කීප දෙනකු හෝ මරා ගෙන මිය යාම, හමුදාවේ පිළිවෙත ය.

එසේ වුවත්, නොසෙල් වී සිටින ලෙස, කපිතාන් සිය සෙබළුන්ට අණ කළේ ය. එපමණක් නොව, බිම හිඳ ගෙන, තේ කෝප්පයක් පානය කිරීමට ද අණ ලැබිණි.

කපිතාන් උමතු වී ඇතැයි, තරුණ සෙබළා සිතී ය. බලගතු සතුරු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වීමට ආසන්නව සිටිය දී, තේ කෝප්පයක් ගැන සිතීමට වත් පුළුවන් ද?

හමුදා නීතිය අනුව, අණ පිළිපැදිය යුතු බැවින්, තමන්ගේ අන්තිම තේ කෝප්පය පානය කිරීමට සෙබළු සූදානම් වූහ. ඒ අතර ඔත්තු බලන සෙබළා, කපිතාන්ට යම් ආරංචියක් දැන්වී ය. කපිතාන් සෙබළ පිරිස ඇමතී ය.

“සතුරා, ඈතට ගිහින්. දැන් අපට තියෙනවා ගැලවෙන්නට මගක්. ඉක්මනට සුදානම් වෙන්න. හරි...! දැන් මෙතනින් අප යමු.”

ඔවුහූ කවුරුත්, සුරක්ෂිත ව, එතැනින් පැන ගත්හ. ඒ විස්තරය මට පැවසීමට ඔහුට හැකි වූයේ එබැවිනි. කපිතාන්ගේ බුද්ධි මහිමය නිසා පණ බේරා ගත් බව ඔහු පැවසී ය. එපමණක් නොව එදා උගත් ‘පාඩම, ජීවිතයේ බොහෝ අවස්ථාවල දී පිහිට වූ බවත්, ‘සතුරාගෙන් පණ බේරා ගැනීමට එය ආදර්ශයක් වූ බවත් ඔහු විස්තර කලේ ය. ‘සතුරා’ යනුවෙන් ඔහු අදහස් කළේ, දරුණු රෝගාබාධ, බිහිසුණු ආපදා සහ ඛේදවාචක ය.

බුරුමයේ දී ලද එබඳු අත්දැකීමක් නොමැති වී නම්, ඒ ‘සතුරන්’ගෙන් බේරීමට තැත් කිරීමේ දී ඒ ගැටලු වඩාත් උග්‍ර විය හැකිව තිබිණි. එහෙත්, ඒ වෙනුවට, මරණය හෝ මාරක උවදුරු ඉතා ආසන්න බව පෙනුණත්, ඔහු කළේ හිඳ ගෙන තේ කෝප්පයක් පානය කිරීම හෙවත් ඉතා සන්සුන්ව ඒ අවස්ථාවලට මුහුණ දීම ය.

ලෝකය හැම විට ම වෙනස් වෙමින් පවතී. ජීවිතය අනිත්‍ය ය. ඔහු සන්සුන්ව, තම ශක්තිය රැක ගෙන සුදුසු අවස්ථාව එන තුරු බලා, සුරක්ෂිත ව ඉන් බේරීම සඳහා සාර්ථක ක්‍රමයක් අනුගමනය කලේ ය.

සන්සුන් ව සිටීමට අකමැති අය, මේ කියමන මතක තබා ගත යුතු ය.

“කළ හැකි කිසිවක් නැති විට, කිසිවක් නො කළ යුතු ය.” එය සුලබ අදහසක් බව පෙනුණත්, එමගින් ඔබේ පණ රැකෙනු ඇත.

Friday, March 3, 2023

කම්ම නියාම

 

බටහිර රටවල බොහෝ අය, කම්ම නියාමය හෙවත් කර්ම ශක්තිය ක්‍රියාත්මක වන අන්දම වරදවා තේරුම් ගනිති. එය ඉරණම් වාදය හෙවත් දෛව වාදය නොවේ.

කාන්තාවන් දෙදෙනෙක් වෙන වෙන ම කේක් සෑදීමට පටන් ගත්හ.

පළමුවැනි කාන්තාව ළඟ තිබුණේ, බාල තත්ත්වයේ ද්‍රව්‍යයන් ය. කල් ඉකුත් වූ පාන් පිටිවල, පුස් බැඳුණු කොටස් ඉවත් කළ යුතු විය. බටර්, මුදු වීමට ආසන්නව තිබිණි. කිසිවකු තෙත හැන්දක් සීනි බඳුන තුළට දැමීම නිසා, එහි තත්ත්වය සතුටුදායක නො වීය. පලතුරු වශයෙන් තිබුණේ කල් ගත වීම නිසා ගල් ගැසුණු වියළි මිදි පමණකි. එපමණක් නොව, ඇයට තිබුණේ ඉතා පැරණි තාලයේ මුළුතැන් ගෙයකි.

දෙවැනි කාන්තාවට තිබුණු ද්‍රව්‍ය, අනර්ඝ තත්ත්වයේ පැවතිණි. ඇය භාවිත කළේ, ගෙවත්තෙන් ලබා ගත් රසවත් පලතුරු ය. ඇගේ මුළුතැන්ගෙය, සියලු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත විය.

වඩාත් රසවත් කේක් ගෙඩිය සෑදුවේ කුමන කාන්තාව ද?

බොහෝ විට, එසේ කරන්නේ, ඉහලම ද්‍රව්‍ය සහ පහසුකම් ඇති පුද්ගලයා නොවේ. ඇතැම් විට, අඩු පහසුකම් ඇති පුද්ගලයා, සිය කාර්යය සාර්ථක කර ගැනීමට වැඩි උත්සහයක් දරයි.

මගේ ඇතැම් මිතුරන්, ජීවිතයේ මුහුණ පා දුක් කරදර අපමණ ය. ඔවුන් උපත ලැබුවේ දුප්පතුන් වශයෙනි. ඇතැම් විට ළමා වියේ දී අපයෝජනයට ලක් වන්නට ඇති. එමෙන් ම, ඉගෙනීම හෝ ක්‍රීඩාවට දක්ෂ නොවන අය වුවත්, අද ඔවුන් ලබා ඇති සාර්ථකත්වය, මම බෙහෙවින් අගය කරමි.

මගේ සමහර මිතුරන් උපතින් ම ධනවත් අය වූ අතර, ඉගෙනීමට ද, ක්‍රීඩාවට ද ඔවුහූ දක්ෂයෝ වූහ. රූමත් වුවත්, ජනප්‍රිය වුවත්, මත් ද්‍රව්‍යවලින් සහ මත්පැන් වලින් ඔවුහූ සිය තරුණ ජීවිත විනාශ කර ගත්හ.

කර්ම ශක්තියෙන් අඩක්, වැඩ කිරීම සඳහා අපට ලැබී ඇති පහසුකම් ය. ඉතා වදගත් වූ අනෙක් කොටස නම්, ඒ පහසුකම් අනුව ජීවිතය සකසා ගැනීම ය.

Thursday, March 2, 2023

එය සාධාරණ විය හැකිය

 

කිසි යම් දොම්නසක් ඇති වූ විට, අප නිතර සිතන්නේ එය අසාධාරණ බව ය. ඇයි මට මෙලෙස සිදු වන්නෙ’ යනුවෙන් කම්පා වීමට අපි පුරුදු වී සිටිමු. ජීවිතය මීට වඩා සාධාරණ වූවා නම් සුළු හෝ සහනයක් අත් වන බව අපේ අදහස ය.

බන්ධනාගාරයේ පැවති මගේ භාවනා පන්තියට පැමිණි මැදිවියේ සිරකරුවෙක්, පන්තියෙන් පසු මා හමු වීමට අවසර ඉල්ලී ය. මාස කීපයක් ඒ පන්තියට සහභාගී වූ බැවින්, මම ඔහු මැනවින් දැන හැඳින සිටියෙමි.

“හිමියනි, මා මේ සිර කූඩුවක දමා තිබුනත්, ඒ අපරාධය මා කළේ නැහැ. මම අහිංසකයි. හුඟක් අපරාධකාරයින් කතා කරන්නෙ, මේ විදිහට තමයි. ඒ අය කවුරුත් කියන්නෙ බොරු. මම ඔබතුමාට කියන්නෙ ඇත්ත. ඔබතුමාට බොරු කියන්න මට බැහැ.”

ඒ අවස්ථාවත්, කතා කළ විලාසයත් අනුව ඔහු පැවසුවේ සත්‍යයක් බව මට ඒත්තු ගියේ ය.

නොකළ වරදකට සිර දඬුවම් විඳීම, කෙතරම් අසාධාරණ දැයි මම කල්පනා කලෙමි. එහෙත් ඔහු මගේ කල්පනාවට බාධා කලේ ය.

“හිමියනි, මා වෙනත් අපරාධ හුඟක් කළා. ඒ මොකුත් අහුවුණේ නෑ. ඒ නිසා, මගේ සිර දඬුවම සාධාරණයි”

ඒ කපටි පුද්ගලයා, කර්ම විපාක ගැන දැන සිටි බව පෙනිණි. අප කළ පීඩාකාරී, පිළිකුල් සහගත ‘අපරාධ වලට විපාල නො ලැබුණු අවස්ථා කොපමණ ඇද්ද? ‘එය අසාධාරණයි. මා අසු නො වූයේ මන්ද?’ යනුවෙන් අප කිසි විටක පවසා ඇද්ද?

එසේ වුවත්, පැහැදිලි හේතුවකින් තොරව, පීඩා විඳීම අපට සිදු වූ විට, ‘එය සාධාරණ නැතැ’යි අපි දුක් වෙමු. ඇතැම් විට එය සාධාරණ විය හැකි ය. මගේ කතන්දරයෙහි සිරකරු මෙන් අප අසු නො වූ බොහෝ ‘අපරාධ තිබේ. කෙසේ වුවත්, ජීවිතය සාධාරණය.