භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Friday, June 9, 2023

බුද්ධිමත් ආහාර අනුභවය

 

නිවසින් බැහැර ගොස්, අවන්හලකින් රාත්‍රී ආහාරය අනුභව කිරීමට, මගේ ඇතැම් යහළුවෝ ප්‍රිය කරති. විශේෂයෙන් ප්‍රනීත ආහාර සඳහා අධික මුදලක් වැය කිරීමට ඔවුන් සූදානම් ය. කෙසේ වෙතත්, ආහාරවල රසවත් බව ගැන නො තකා, සිය සගයා සමග යෙදෙන සාකච්ඡාවක් කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමෙන් ඔවුහූ ඒ අවස්ථාව අපතේ යවති. දක්ෂ වාදක මණ්ඩලයක් මගින් පවත්වනු ලබන සංගීත ප්‍රසංගයක් අතර තුර, කතාබස් කරන්නෙ කවුරුන් ද? එවිට, ඔබේ ආස්වාදයට බාධා වීම පමණක් නොව, ඔබ ශාලාවෙන් නෙරපා හැරීමට ද ඉඩ තිබේ. උසස් චිත්‍රපටයක් නරඹමින් සිටින විට, යාබද ආසනවල සිටින ප්‍රේක්ෂකයින්ගේ කතාබහෙන් බාධා සිදු වීම අපි පිළිකුල් කරමු. එසේ නම්, අවන්හලකට ගොස් ආහාර අනුභව කරද්දී, පිළිසඳර කතාවෙහි යෙදෙන්නේ මන්ද? එය, නීරස ආහාර ඇති සාමාන්‍ය අවන්හලක් නම්, අවධානය අන් අතකට යොමු කිරීම සඳහා කතාබස් කිරීමේ වරදක් නැත. එහෙත් ආහාර සැබවින් ම ප්‍රනීත නම්, මිල අධික නම් ඒ මුදලට සරිලන සේ ආහාර අනුභව කිරීමට ඉඩ දී නිහඬව සිටින ලෙස ඔබේ සගයාට පැවසීම, බුද්ධිමත් ආහාර අනුභාවයක් සේ සැලකිය හැකි ය.

අප නිහඬව ආහාර අනුභව කරන විට පවා එහි උපරිම ආස්වාදය විඳීමට අපට නොහැකි වේ. ඒ වෙනුවට එක් ආහාර කැබැල්ලක් සපන අතර, අපේ අවධානය යොමු වන්නේ, ගෑරුප්පුවේ අමුණා ඇති ඊළඟ කැබැල්ල කෙරෙහි ය.

ජීවිතය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලැබීමට, අප නිහඬව, වරකට එක් මොහොතක් බැගින් රස විඳිය යුතු ය. එවිට ජීවිතය නමැති තරුපහේ හෝටලයට අප ගෙවන මුදලෙහි සම්පූර්ණ වටිනාකම අපට ලැබෙනු ඇත.