භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Wednesday, April 28, 2021

දේව පිහිට

    අද සමාජයේ බොහෝ පිරිස දේව වන්දනාවට, දෙවියන්ගෙන් පිහිටක් පැතීමට හුරුවී සිටී. කරදරයකදී, අසරණවීමකදී, නඩුවකදී, විභාගයකදී... වැනි අවස්ථාවලදීය. ඒ නොමැතිව දෙවියන්ට ඇති අමුතු කරුණාවකට නොවේ. මේ ලෙස පිහිටක් බලාපොරොත්තුවෙන් දේවාල වැඳීම, පලතුරු වට්ටි පූජාව, භාර හාර වීම හා ගාථා ස්තෝත්‍ර කීම වැනි දෑ සිදු කරති. මෙය කාලයක් පුරාවට අප අතර පැවත එන්නකි. නමුත් මෙම සියලු වතාවත් හා විධික්‍රම ලක්දිව මුල් බැස තිබූ ඒවාද... නැත. දකුණු ඉන්දියාවේ පැලපදියම්ව තිබූ දේවල්ය. අද ඒ සමහරෙක්වා පන්සල් භූමියද ආක්‍රමණය කර ඇත. නොමැතිව බුදුරජාණන් වහන්සේවත්, අනුබුදු මිහිඳු මාහිමියන්වත් හඳුන්වා දුන් ඒවා නොව... ධර්ම දායාද නොව. පසු කාලවලදී ඇතිවූ සොළී ආක්‍රමණ, ඉන්දීය කුමාරිකාවන් ගෙන්වාගෙන සරණපාවා ගැනීම්, හින්දු දහම අදහන ද්‍රවිඩ ජනතාව ව්‍යාප්ත වීම... වැනි කරුණු නිසා ඇතිවූ ඒවාය. ඒ කෙසේ උනද වර්තමානයේ ඒ දේවල් මෙහේ මුල් බැසගෙන ඇත. දේව වන්දනා, ඇදහිලි, පොල් ගැසීම් වල ඇති සත්‍ය අසත්‍යතාව ධර්මයට අනුකූලව සොයා බැලීම, විමසීම වටී. ඊට පෙර මේ සියලු දේවල් කා අරමුණු කරගෙන කරන දේවල්ද, කාගේ පිහිටක් පතා කරනා දේවල්ද... දෙවියන් උදෙසායි. එසේනම් පළමුවම ඒ දෙවියන් කොහොම අයදැයි විමසා බැලීම වටී.

    දෙවියන් ලෙස අප හඳුන්වනු ලබන්නේ පින් බලය නිසාම, ඒ පින භුක්ති විඳීමට විපාක භූමියක් ලෙස ඇති දෙව් තලයේ උපත ලැබූ අයටය. හරියට අප අපගේ පින් බලමහිමය මත මිනිස් ලොව උපත ලැබීම වාගේය. වෙනස ඇත්තේ අපට වඩා දෙවියන් සතු පින්බලය වැඩිකම මත ඔවුනට විශේෂ හැකියාවන්ද, ඉහළ සැපසම්පත්ද ලැබී තිබීමය. නමුත් කාලය ආ විට අපට මරණය උරුමයි වාගේ ඔවුනටද දෙව්ලොවින් චුතවීමට සිදුවේ. ඒ කාලය තුළ ඔවුන් ඒ ලැබූ දෙව් සැප විඳිමින් රිසිසේ කාලය ගතකරයි. නොමැතිව නිතර දෙවේලේ මිනිසුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට, පිහිටවීමට බලා සිටින පිරිසක් නොව. නමුත් සමහර අවස්ථාවල මනුලොව සත්වයින්ට උපකාර කළ තැන් නැතිවාද නොවේ... ඒ මනුසත්වයින් තුළ ඇති ගුණධර්ම, සීලය වැනි කාරණා දැකය (මෙත් වැඩීමේ ආනිශංසයක් ලෙස දේව රැකවරණය ලැබෙන බවද ධර්මයේ සඳහන්වේ). එවැනි බොහෝ අවස්ථා බුදු දහමේ සඳහන්වේ. අප මහා බෝසතානන් සහ උන්වහන්සේගේ ශ්‍රාවක සංඟ රත්නයේ උතුමන් පාරමී පුරන සමයේදීද දෙවිවරු උදව්කල බොහෝ අවස්ථා ඇත. නැතිනම් කෙනෙකුට උපකාරයක් කිරීමට ඉදිරිපත්වන එකම හේතුව පෙර භවයක ඇති ඥාති සඹඳතාවක්  මතය.

    සුනීත, සෝපාකට, ඇඟිලි කැපූ අංගුලිමාලට හෝ ඇඟිලි අහිමිකරගත් කිසිවෙකුට දේව පිහිටක් නොලැබිණි. නමුත් මහා කාරුණිකයන් වහන්සේ ඒ හැමදෙනාටම එකහා සමානව පිහිට වූහ. මේ සියලු දෙනාම ඒ පිහිටෙන් උතුම් වූ සැනසීමට, නිවනට පත්වුහ. දිනක් ගිහිකල මිනීමරු අංගුලිමාල රහතන්වහන්සේ මග වඩිමින් සිටින විට අමාරුවෙන් සිටින ගැබිණි මවකට ප්‍රසූත වේදනාව සමනය කරගෙන, දරුවා බිහි කිරීමට බුදු හිමියන්ගේ අනුදැනුම මත සත්‍යක්‍රියාවක් කොට සෙත සැලසූහ. සමහර විට ඒ මව එම මොහොතේද දෙවියන්ගෙන් පිහිටක් යදිමින් සිටින්නට ඇත. නමුත් ඒ අසරණ මවට දෙවියන්, බඹුන් සහිත ලෝකයේ පිහිටක් ලැබුණේ බුද්ධ පුත්‍රයෙක්ගෙනි. අංගුලිමාල රහතන්වහන්සේ සත්‍යක්‍රියාව කළ තැනට සෙත සලසා ගැනීමට ගර්භණී මව්වරුන් අදටද පැමිණේ. ඒ පිහිට ලබාගත් මවට පිහිටවූ අංගුලිමාලට පිහිටක්, සරණක් ලැබුණේ කාගෙන්ද...? බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේ අවබෝධ කළ ශ්‍රී සත් ධර්මයයි... මිනීමරුවෙකු අපායෙන් මිදවූයේ, සැනහුවේ බුදුහිමියන් හා ධර්මයයි.

    නමුත් අප පිහිට පතාගෙන යන ඒ දෙවියන්... ඔවුන්ද අසරණය. ගැටළු, උවදුරු ඇති දෙවිවරු බුදුසමිදාණන් වැඩසිටි සමයේ උන්වහන්සේ හමුවීමට පැමිණියහ. එම නිසාම බුදුරජාණන් වහන්සේ ‘මැදියම් කිස’ යනුවෙන් රාත්‍රියේ වෙනම වෙලාවක් දෙව් බඹ පිරිසට වෙන්කරදී තිබූ සේක. හොඳම නිදසුන නම් ‘මංගල කරුණු’ පිළිබඳ ඇතිවූ ගැට‍ළුව විසඳා ගැනීමට සියලු දේව සමූහයාත් සමග සක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු පිරිසට බුදුරදුන්  වෙත පැමිණීමය. තවත් අවස්ථාවක දෙදෙව් ලොවට අදිපති සක්‍ර දේවේන්ද්‍රයා තම දේව පිරිසට “යම් බියක්, තැතිගැන්මක් ඇතිවූ විට තමාව හෝ තම ධජය හෝ පාලක දේව පුත්‍රයන් හෝ සිහිකරන මෙන්ද පවසා සිටියත් සෑම විටම ඒ මගින් යහපතක් නොවන්නේ ඔවුන් වීතරාගී, විතදොසී, වීතමෝහී නොවන නිසාත් එවැනි අවස්ථාවක බුද්ධ රත්නය, ධර්ම රත්නය හෝ සංඟ රත්නය සිහි කරන මෙන් බුදුහිමියන් වහන්සේ තම ශ්‍රාවක පිරිසට වදාළේ තුනුරුවණ වීතරාගී, විතදොසී, වීතමෝහී වන නිසා බවත් ධජග්ග සූත්‍රයෙන් පෙන්වා දුන් සේක. තවත් වරෙක රාහු අසුරින්ද්‍රයාගේ ග්‍රහණයෙන් මිදීමට චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාද පිහිට පතා පැමිණියේ බුදු හිමියන් වෙතය. බුදුන්ගේ බුදු බලය හමුවේ පලාගිය රාහු අසුරයා පවසා සිටියේ උන්වහන්සේගේ කීමට පිටින් ගියානම් තම හිස හත්කඩකට පැලීයන බවය. එලෙසම රාහු අසුරයාගෙන් බේරීමට සුර්ය දිව්‍ය පුත්‍රයාද පිහිට පැතුවේ දස දහසක් සක්වලට ආඤ්ඥා  චක්‍රය පතුරවා සිටි බුදුහිමියන්ගෙනි. එසේ තිබියදී අප රාහු අපලයට භාරහාර වේ. පිළිසරණ තිබෙන තැන අතහැර අප වෙන වෙන පිළියම් සොයයි. හරියට හිරු තිබියදී කණාමැදිරි එලිය පසුපස යෑමක් වැනිය. මෙසේ අසිහියෙන් කරනා ක්‍රියා නිසා දේව පිහිට කෙසේ වෙතත් මිත්‍යාදෘෂ්ටිකත්වයට වැටීමනම් ඒකාන්තය. මිත්‍යාදෘෂ්ටිකයකුට කල්ප ගණනක් නිවන තියා සුගති භූමියක් දැකගැනීමටවත් නොහැකි වේ. එසේ නම් සිතිය යුත්තේ කුඩා අස්වැසිල්ලකට සල්ලි වියහියදම් කර සුර දමාගෙන, පුජාවට්ටි කරගසා සතර අපායට එකතුවෙනවාද නැතිනම් දෙලොවම මහා සැප දෙන බුදු දහම මත පිහිටා නියම පිහිට ලබා ගන්නවාද කියාය. බොහෝ දෙනාට සේසතම විකුණා හෝ දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන් වන්නේ සීලය පිහිටා සිට, ධාර්මිකව සිට ස්වඋත්සාහයෙන් නැගී සිටීමට නොහැකි, ශක්තියක් නැති දීන පුද්ගලයන් නිසාය. ඒ නිසා අරක කරදෙන්න, මේක කරදෙන්න කියා දේවාල ගානේ, සාත්තරකාරයන් ගාව වැඳ වැටේ.

    බුදු දහමට අනුකූලව කිසියම් පින් කටයුත්තක යෙදී සම්‍යදෘෂ්ටික ඇතුළු සියලු දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් කරීම ඵල සහිත ක්‍රියාවක්ය. එහි වරදක් නොමැත. ධර්මයක පිහිටා රැකවරණයක් පැතීම කම්නැත. එය සපුරාම බුදු දහමට එකඟය. සතරවරම් දෙවිවරුන්ද බුදුහිමියන් හමුවේ කියා සිටියේ සත්පුරුෂ, ධාර්මිකයාට වන අමනුෂ්‍ය හෝ වෙනයම් උවදුරකදී පිහිටවීමට ඉදිරිපත්වන බවයි. සක්‍රදෙවියන්ද සත්පුරුෂයාට නමස්කාර කරන බව පවසා ඇත. එසේ තිබියදී බොරු කියමින්, වැරදි දේ කරමින්, පන්සිල් කමින්, අධාර්මිකව සිටින කෙනා හට දෙවියන් පිහිටක් වීමට ඉදිරිපත් වන්නේ කුමන කරුණක් නිසාදැයි සිතා බැලීම වටී. මන්ද ඉහළ සැපසම්පත් විඳින පිරිසක් වන දෙවියන් පලතුරකට, පූජාවකට උදව් කරනවා කියා සිතීමට නොහැක. ඒ කලින් සඳහන් කලා මෙන් ඔවුනට අපට වඩා සැපසම්පත් වලින් යුතුව ඇති නිසාය. දිව්‍ය භෝජන ඇති ඔවුන්ට අපගේ වසවිස කැවූ පලතුරු වට්ට්ටි, වැඳීම් පිදීම් අවශ්‍ය නොවේ.  එසේනම් පැහැදිලි වන එකම කරුණ නම් දේව අනුග්‍රහයක්, කරුණාවක් සත්‍ය වශයෙන්ම ලබාගැනීමට නම් යමෙක්ට උවමනාවේ නම් සත්පුරුෂ ධර්මයේ ඔහු හැසිරිය යුතුවේ. ධර්මයේ හැසිරෙන්නට නම් සත් ධර්මය කුමක්ද කියා දැනගත යුතුවේ. ධර්මය දැනගැනීමට නම් සත් ධර්මය කුමක්දැයි විමසා බැලිය යුතුවේ. ධර්මය කුමක්දැයි විමසීමට නම් දහම කෙරෙහි කැමැත්තක්, ශ්‍රද්ධාවක් ඇතිවිය යුතුවේ. ශ්‍රද්ධාව තිබේ නම් ඒ කෙනා පළමුවෙන්ම මුළාවෙන් කරනා වැඳුම් පිදුම්, යාතිකා සාස්තර ඇසීම් නතර කළ යුතුවේ.

Tuesday, April 27, 2021

ශ්‍රද්ධාව

    පැහැදීම, විශ්වාසය හා ගෞරවය ශ්‍රද්ධාව ලෙස සරලව විග්‍රහ කළ හැක. මෙය කා කෙරේ, කුමක් කෙරේ ඇතිවීමද ? පළමුව තුන්ලෝකාග්‍ර බුදුහිමියන් වහන්සේ කෙරෙත් උන්වහන්සේගේ මහා ගුණ ඇතුළු ශාස්තෘ ඥානය කෙරෙත්, උන්වහන්සේ අතැඹුලක් සේ අවබෝධ කොට වදාළ ශ්‍රී සත් ධර්මය කෙරෙත් හා ඒ ශාස්තෘ සරණ සහ ධර්මය සරණ ගිය සඟ රත්නය කෙරෙත්ය. බෞද්ධයන් ලෙස අප ශ්‍රද්ධාවන්ත විය යුත්තේ මේ බුද්ධ, ධම්ම හා සඟ යන උතුම් තුණුරුවන කෙරේය. නැතිනම් දෙවියන් කෙරේවත්, දේවාල කෙරේවත්, කේන්දර හෝ යාගහෝම කෙරේවත් නොවේ.

    පිළිවෙලින් මේ ශ්‍රද්ධාව ආරම්භ වන්නේ අමුලිකා (මුල නැති) ශ්‍රද්ධාවේ සිටය. මන්ද අප උපතින් බෞද්ධයන් වුවාට හරිහැටි දැනීමකින් තිසරණ සරණ ගොස් නැත. ඒ නිසා හරිහැටි ශ්‍රද්ධාවක්ද නැත. මව්පිය පෙළඹවීමෙන්, ගුරුවර වැඩිහිටි මගපෙන්වීමෙන් හා පරම්පරාවෙන් ලබාගත් බෞද්ධකම හුදු අනුකාරකයක්, සිරිතක් පමණි. එසේ නොවී හරි හැටි බුදුරජාණන් වහන්සේගේ බලමහිමය, අනන්ත ඥානය ඇතුළු ශක්තිය දැන කෙමෙන් කෙමෙන් පැහැදීම ඇතිවී ඒ හරහා ධර්මය හා සඟ රතන්යන් දෙක ගැනද පැහැදී තමාගේ දුරවබෝධය දුරුකර ගැනුමෙනි නියම ශ්‍රද්ධාවට පැමිණෙන්නේ. මෙසේ වීමට නම් ඒ පුද්ගලයා සත්ධර්ම ශ්‍රවණයට, දහම කියවීමට අවකාශය සලසා ගත යුතුය. බුදුරජාණන් දවස අහම්බෙන් දහම අසන්නට මග පෑදුනු අයද තුනුරුවණේ සරණ ගියේය. එම නිසා අපද අහම්බෙන් හෝ ඇසෙන්නට සැලසෙන ධර්මයක් නුවණ මෙහෙයවමින් ඇසීම අපටම වන මහත් ලාබයකි. මෙසේ අසන හෝ ඇසෙන ධර්මය කෙරේ නුවණ ඇත්තාට තේරුම් යාමෙන් පැහැදීම, විශ්වාසය ඇතිවේ. මේ කෙමෙන් ඇතිවන පැහැදීම, විශ්වාසය වැඩිවී ඔහු ඒ දහම අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ කෙරේද එලෙසම පැහැදේ. ගෞරවය ඇතිවේ. එලෙසම උන්වහන්සේ මේ දහම අවබෝධ කරගැනීමට සසරේ විඳි අනෙක දුක්, ගත් වීර්ය ගැන කුකුස දුරුවේ. උන්වහන්සේගේ අවබෝධ ඥානය ගැන වැටහේ. ධර්මය නෛර්යාණික බව (නිවනට පමුණුවන බව) වැටහේ. ඒ මගේ ගමන් කරන සඟ පිරිස නිවැරදි ප්‍රතිපදාවේ බව වැටහේ. මෙසේ නුවණින් වටහා ගැනීමෙන්, පැහැදීමෙන් ඇතිවන ශ්‍රද්ධාව, ආකාරවතී ශාද්ධාව (කරුණු දනීමෙන්ම ඇතිවන) වේ. මෙසේ ඇතිවන ප්‍රසාදයයෙන් දහමේ යෙදෙන්නා අනිත්‍ය, දුක්ක, අනාත්ම ලෝකය නිසරු බවත්, අනන්ත බුදුගුණ හා උන්වහන්සේගේ අසිරිමත් කාය බල, ඥාන බල ගැන අවිශ්වාස නොකරයි. උදාහරණයක් වශයෙන් උන්වහන්සේගේ පින්වත් උපත සිදුවන විට ලෝකයේම මල් පිපී සැණකෙළි ස්වරුපයක් ගන්නා බව, උන්වහන්සේ උපතෙදී පළමුව සුරතට ගත්තේ නිවන් ලැබූ බ්‍රක්ම රාජයන්.... වැනි සිදුවීම් පුහු මිත්‍යා, අතිශෝක්ති ලෙස නොදකී. එය උන්වහන්සේගේ අපරිමිත පුණ්‍ය ස්වභාවයට සිදුවූ දේවල් බව තේරුම් ගනී. නැතිව විද්‍යාව සමග සසඳා බැලීමක් නැත. මේ තත්වයට පත්වන් කෙනා තුළ අචල ශ්‍රද්ධාවක් ඇත. ඔහුට තුනුරුවන කෙරේ කිසිඳු සැකයක් නොමැත. ඒ වාගේම ඔහු මහා දාන, පූජා අනවශ්‍යයි, දන් නොදී භාවනාවෙන්ම පමණක් නිවන් ලණිය හැකිය යන් මතයන්ද බොරු බව ප්‍රඥාවෙන් දකිමින් ඒවායින්ද බැහැරවේ. දැන්පැන් පූජාව, තුනුරුවන් වැඳීම, වැනි කටයුතුද හුදු ආගමික ක්‍රියාවකට ඒහා ගිය ප්‍රඥාවන්ත කමකින් කරයි. සමහරුන් ගෙදර දොරේ වැඩද දමා දුරගමන් වන්දනා වල යයි. වන්දනා කරන්න ගියේ මොකක්ද කියාවත් නොදැන. මෙසේ බුද්ධියකින් තොරව කටයුතු කරන බොහෝ වයසක පිරිස් සිටි. තවත් සමහරෙක් සෝවාන් වීමට පන්ති යයි. මේ කිසිවක් අචල ශ්‍රද්ධාවන්තයාට නැත. මන්ද ඔහු නිතැතින්ම සෘතවත් ආර්ය ශ්‍රාවකයෙකි. ඔහු නිතරම ධර්මයේ ගලපමින් හැම ක්‍රියාවක්ම කරයි.