භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Friday, February 24, 2023

කුණු කූඩය

 

මිනිසුන්ගේ ගැටලුවලට සවන් දීම, භික්ෂුවක වශයෙන් මා සතු එක් වගකීමකි. බොහෝ විට, ඇතැම් අය පැටලී සිටින සංකීර්ණ අවුල් ජාලය ගැන ඇසෙන විට, ඔවුන් කෙරෙහි ඇති වන අනුකම්පාව නිසා මගේ සිත ද දොම්නස් තත්ත්වයකට පත් වේ. ඇතැම් විට, යම් කෙනෙකු වලකින් ගොඩ ගැනීම සඳහා ඒ වළට බැසීමට මට ද සිදු වේ. එහෙත් ඉණිමගක් ගෙන ඒමට හැම විට ම මතක තබා ගනිමි. ඒ කාර්යයෙන් පසු මම සුපුරුදු පරිදි ඒ ගැන සතුටු වෙමි.

භික්ෂූන්, කුණු කූඩ මෙන් විය යුතු යයි, අචාන් චා හිමියන් පවසා තිබේ. ජ්‍යෙෂ්ඨ භික්ෂූන් විශේෂයෙන්, ආශ්‍රමය තුළ හිඳ ගෙන මිනිසුන්ගේ ගැටලුවලට සවන් දී, ඒ සියලු කුණු ගොඩ පිළිගත යුතු ය. විවාහ ජීවිතයේ ආරවුල්, ගැටවර දරුවන්ගේ ප්‍රශ්න, නෑදෑයින් සමග ගැටුම්, මුදල් ප්‍රශ්න ආදී විවිධ ගැටලුවලට සවන් දීමට අපට සිදු වේ. විවාහ ජීවිතයේ ගැටලු පිළිබඳව, බ්‍රහ්මචාරී භික්ෂූන් දන්නේ මොනවා ද? අප ගිහි ජීවිතය අත් හළේ, ඒ කුණු ගොඩින් ඉවත් වීමට ය. එහෙත් දයානුකම්පාවෙන් යුතුව, අපි ඔවුන්ට සවන් දී අපි සියලු කුණු ගොඩ පිළිගනිමු.

අචාන් චා හිමියන් අපට දුන් අත්‍යවශ්‍ය උපදෙසක් මෙසේ ය. පතුලේ සිදුරක් සහිත කුණු කූඩයක් වන ලෙස එතුමාට අපට පැවසී ය. අප සියලු කුණු ගොඩ පිළිගත යුතු අතර, ඒ කිසිවක් ළඟ තබා ගත යුතු නො වේ.

ඒම නිසා සාර්ථක උපදේශකවරයකු, සිදුරක් සහිත කුණු කූඩයකට සමාන වන අතර තවත් කෙනෙකුගේ ගැටලුවලට සවන් දිය නොහැකි තරමට එය කිසි විටක පිරී නැත.



Thursday, February 23, 2023

වේදනාව මුර සෙබළෙකි

 

වේදනාව නොමැති ලොවක්

ගැන පැතීම බොළඳ වැඩක්

කොපමණ එය අරුචි වුවත්

වේදනාව අප මිතුරෙකි

සිරුර රකින මුර සෙබළෙකි

කිසිවෙකු එය ප්‍රිය නොකළත්

වටිනා සම්පතකි සැමට

 

ගින්නෙන් ඇත ඉවත ගන්න

පිහිතලයෙන් බේරෙන්නට

කටු මග හැර ඇවිදින්නට

 

වේදනාව නොමැති විටක

කෙලෙස ද අප දැන ගන්නේ

වේදනාව වෙත සැම විට

කාලගුණ සැලකිය යුතු වේ

 

කල් පවතින වේදනාව

කිසි විට සුව කළ නොහැකි ය

එබඳු දරුණු වේදනාව

මුර සෙබලෙක් නො වේ අපට

අපේ සහජ හැකියාවත්

අපේ සිතේ ශාන්තියත්

වනසා ලන පරසතුරෙකි

කිසි ම දිනක නතර නො වන

ජීවිතයට හිරිහැරයකි

 

මෙබඳු දරුණු වේදනාව

පමා නො වී ජය ගන්නට

දිගටම වැර දැරිය යුතු ය

ඒ සටනින් ජය ගැනීම

සලසයි අප සිතට සහන

 

වේදනාව දරුණු වුවත්

එය එසැණින් පිළිගත් විට

පිළිගෙන එය ඉවසන විට

සිත වැඩියෙන් බලගතු වේ

- ජොනතන් විල්සන් ෆුලර්

කතුවරයාගේ කාරුණික අවසරය ඇතිව මේ පද්‍යය මෙහි ඇතුළත් කලේ, එය රචනා කරන විට, ඔහුගේ වයස අවුරුදු නවයක් පමණක් වූ නිසා ය.



බාධකවලට මුහුණ දීම


පන්තියේ අන්තිමයා වීම වැනි අප්‍රසන්න අවස්ථාවලට මුහුණ පෑමට අප හැම දෙනාට ම සිදු වේ. සතුටින් පසු වන පුද්ගලයාත් දොම්නසට පත්වන පුද්ගලයාත් අතර එක ම වෙනස, ඔවුන් ආපදාවලට ප්‍රතිචාර දක්වන ආකාරයයි.

ඔබ මිතුරකු සමග මුහුදු වෙරළේ ප්‍රීතිමත් සවස් කාලයක් ගත කරමින් සිටින බව සිතන්න. ඔබ ආපසු නිවසට පැමිණි විට ඔබේ දොරටුව ඉදිරිපිට විශාල ගොම ගොඩක් දක්නට ලැබේ. ඒ පිළිබඳව ඔබට වැදගත් වන කරුණු තුනක් තිබේ.

01.ගොම ගොඩක් ගෙනෙන ලෙස ඔබ ඇණවුම් කලේ නැත. එය ඔබේ වරදක් නොවේ.

 

02.එය ඉවත් කිරීම ඉතා දුෂ්කර ය. ඒ ගොම ගොඩ එහි ගෙනැවිත් දමන කිසිවෙකු දැක නැති බැවින් එය ආපසු රැගෙන යන ලෙස කිසිවෙකුට අණ කළ නොහැකි ය.

 

03.එය අපවිත්‍ර ය. එහි දුගඳ දරා ගත නොහැකි ය.

 

මේ නිදසුනෙහි, ඔබේ නිවස ඉදිරිපිට ඇති ගොම ගොඩ යනු ජීවිතය තුළ අප මත පටවනු ලබන ඉතා අප්‍රසන්න අත්දැකීම් ය.

ගොම ගොඩ පිළිබඳව මෙන්, ජීවිතයේ ඛේදවාචක පිලිබදව ද වැදගත් කරුණු තුනක් තිබේ.

01.ඒ දුක් කරදර ඇණවුම් කළේ අප නොවේ. එය අපේ වරදක් නොවේ.

02. අපට ඒවා ඉවත්කර ගත නො හැකි ය. අපට ඉතා ආදරය කරන අයට පවා ඒවා ඉවත් කළ නො හැකිය.

03. ඒවා ඉතා අප්‍රසන්නය, අපේ සතුට විනාශ කර දමයි. එහි වේදනාව අපේ මුළු ජීවිතය පුරා පවතී. එය දරා ගත නො හැකිය.

ගොම ගොඩක් ඉවත් කිරීම පිළිබඳව ප්‍රතිචාර දැක්විය හැකි ක්‍රම දෙකක් තිබේ. ඉන් පළමුවැන්න, ඉන් අප යන යන තැන ගොම ගොඩ රැගෙන යාම ය. සාක්කුවල, ගමන් මලුවල ගොම පුරවා ගෙන යන විට අපට බොහෝ මිතුරන් අහිමි වේ. හොඳම මිතුරන් ද අපෙන් දුරස් වනු නියත ය.

‘ගොම ගොඩ රැගෙන යාම යන නිදසුනෙන් අදහස් වන්නේ දොම්නස, උදාසීන බව හෝ කෝපය යන අප්‍රසන්න හැඟීම් ඒක රාශී වීම ය. ඒවා අසීරු අවස්ථාවන්ට දක්වන ස්වාභාවික ප්‍රතිචාර ය. එහෙත්, අප එබඳු අප්‍රසන්න තත්වයකට පත් වූ විට අප ඇසුරු කිරීමට අපේ මිතුරන් කැමති නැත. එය ද ස්වාභාවික ප්‍රතිචාරයකි. එපමණක් නොව ගොම ගොඩ කුඩා නො වන අතර දුගඳ ද තවත් උග්‍ර වේ.

වාසනාවකට මෙන් දෙවැනි ක්‍රමයක් ද තිබේ. අපේ දොරකඩ ඉදිරිපිට ගොම ගොඩ ගසා ඇති විට, සුසුමක් හෙලන අපි වැඩ ආරම්භ කරන්නෙමු. අත් කරත්තය, මුල්ලුව සහ ඉස්කෝප්පය යොදා ගෙන ගොම කොටස් අත් කරත්තයට පටවා ගන්නා අපි ඒවා  පසුපස ගෙවත්තට රැගෙන ගොස් එහි තැන තැන වළ දමන්නෙමු. එය ඉතා වෙහෙසකර වුවත්, අපට වෙනත් විකල්පයක් නැත.

ඇතැම් විට, දිනකට අපට ඉවත් කළ හැකි වන්නේ සුළු කොටසක් වුවත්, මැසිවිලි නගනු වෙනුවට ගැට‍ළුව විසඳීමට අප අතින් යම් කොටසක් ඉටු වේ. දිනෙන් දින ගොම ගොඩ කුඩා වනු ඇත. කොපමණ කලක් ගත වුවත් අපේ දොරකඩ ඉදිරිපිට ඇති සම්පූර්ණ ගොම ගොඩ ම එතැනින් ඉවත් වුනු දිනක් උදා වනු ඇත. එපමණක් නොව අපේ ගෙවත්තෙහි ඒ කොටසෙහි ප්‍රාතිහාර්යයක් සිදු වී තිබේ. ගෙවත්ත පුරා විවිධ වර්ණයෙන් යුත් මල් විකසිත වී තිබේ. එහි සුවඳ, වීදිය දිගේ විහිදී යැයි. ගෙවත්තේ කොනක පිහිටි පලතුරු ගස අතු කඩා වැටෙන තරමට පලබර වී තිබේ. එමෙන්ම අන් කිසි දිනක නො දැනුණු තරම් ප්‍රනීත රසයකින් ඒවා පිරී පවතී. අසල්වැසියන් සමග ද පාරේ යන ඇය සමග ද බෙදා හදා ගැනීමට තරම් සරු පලතුරු අස්වැන්නක් දැන් අපට තිබේ.

දුක් කරදර, අපේ ජීවිතයට ලැබෙන පොහොර වැනිය. ඒ පොහොර නිසි පරිදි භාවිත කිරීම අප ම කර ගත යුතු ය. අන් කිසිවකුට උදව් කළ නොහැකි ය. අපේ හදවත නමැති ගෙවත්තට දිනපතා පොහොර යෙදීමෙන් වේදනාව නැමති ‘ගොම ගොඩ අඩු වේ.

ඒ සඳහා කොපමණ කලක් ගත වුවත්, පේ ජීවිතය තුළත්, හදවත තුළත්, තවදුරටත් වේදනාව නැති දිනක් උදා වනු ඇත. ප්‍රාතිහාර්යයක් සිදු වී තිබේ. හැම තැන ම කරුණාව නැමති මල් විකසිත වෙමින් තිබේ. එහි සුවඳ, වීදිය පුරා විහිදී යයි. අසල්වැසියන්ට පමණක් නොව නෑදෑයින්ට ද, මහ මග යන එන අයටද ඒ සුවඳ දැනේ. අපේ බුද්ධිය නමැති පලතුරු ගස, ජීවිතයේ ස්වභාවය පිළිබඳ අවබෝධය නමැති ප්‍රණීත පලතුරුවලින් බාර වී තිබේ. අපි ඒවා හැම දෙනා සමග බෙදා හදා ගන්නෙමු.

දුක් වේදනා හඳුනා ගෙන ඉන් පාඩමක් ඉගෙන, අපේ හදවත නමැති ගෙවත්ත වගා කළ විට, උග්‍ර වේදනා විඳින තවත් කෙනෙකුගේ කර වටා අත් යවා, අපේ කනගාටුව පැවසිය හැකි ය. ඒ දයානුකම්පාවේ ආරම්භයයි.

භාවනාවට දක්ෂ, සන්සුන්, ශාන්ත භික්ෂූන් බොහෝ දෙනකු ගැන මම දනිමි. එහෙත් දක්ෂ ගුරුවරුන් බවට පත්ව සිටින්නේ, බොහෝ දුක් කරදරවලට මුහුණ පා ඇති භික්ෂූන් ය. සියලු ම ගුරුවරුන් අතර ශ්‍රේෂ්ඨතම වූ, මගේ ම ගුරුවරයා වූ, අචාන් චා හිමියන්, ජීවිතයේ මුල් කාලයේ අනේක විධ දුක් කරදර විඳින්නට ඇතැයි සිතේ.

මේ කතන්දරයෙන් උගත හැකි පාඩමක් තිබේ. සමාජයට සේවයක් කිරීමට ඔබට අවශ්‍ය නම්, කරුණාව නමැති මාවත අනුගමනය කිරීමට ඔබ කැමති නම්, ඔබට ඛේදවාචකයක් සිදු වන ඊළඟ අවස්ථාවේ දී එය. ‘මගේ හදවත නමැති ගෙවත්තට තවත් පොහොර තොගයක් යනුවෙන් මෙනෙහි කරන්න.


Wednesday, February 22, 2023

වික්‍රමාන්විත පරිත්‍යාගය

 මා පාසල් ගුරුවරයකු වශයෙන් සේවය කළ කාලයේ, වර්ෂාවසාන පරීක්ෂණයේ දී තිස් දෙනෙකුගෙන් සමන්විත පන්තියේ, අඩු ම ලකුණු ලබා ගත් ශිෂ්‍යයා වෙත මගේ අවධානය යොමු විය. ඔහු දුකින් සිටින බව පෙනුණු බැවින් මම ඔහු පසෙකට කැඳවීමි.

“ළමයින් තිස් දෙනෙක් සිටින පන්තියක, කවුරුන් හරි තිස්වෙනියා විය යුතුයි නේද? මේ අවුරුද්දේ ඒ වික්‍රමාන්විත පරිත්‍යාගය කළේ ඔබයි. එතකොට ඔබේ මිතුරන් කිසි කෙනෙකුට ඒ අවමානය විඳින්න සිදු වන්නේ නැහැ නෙ. ඔබ කලේ ඉතා කාරුණික ක්‍රියාවක්. ඔබ පදක්කමක් ලැබීමට සුදුසුයි”

මා කලේ සරදමක් බව අප දෙදෙනා ම දැන සිටියත් ඔහු සිනාසුණේ ය. පන්තියේ අන්තිමයා වීම එතරම් බරපතළ දෙයක් ලෙස ඔහු තවදුරටත් නො සිතී ය.

ඊළඟ වර්ෂයේ දී ඔහු ඉගෙනීමේ කටයුතු වඩා උනන්දුවෙන් කලේ ය. ඒ වික්‍රමාන්විත පරිත්‍යාගය සදහා වෙනත් ශිෂ්‍යයෙකුට අවස්ථාව ලැබුණි.



Sunday, February 19, 2023

මෙයද අවසන් වේවි

දොම්නස් සහගත බැවින් මිදීමට ආධාර වන එක් උපදෙසක්, මිල කළ නො හැකියි මෙන්ම ඉතා සරල ද වේ. එහෙත් සරල බව පෙනෙන උපදෙස් වරදවා තේරුම් ගැනීම පහසු ය. අපට සැබෑ අවබෝධයක් ලැබෙන්නේ දොම්නස් සහගත බවින් මිදුණු විට පමණක් බව පහත දැක්වෙන කතන්දරයෙන් තහවුරු වේ.

නව සිරකරු බියෙන් ද දැඩි ශෝකයෙන් ද පෙළෙන බව පෙනිණි. සිට කුටියේ කළුගල් බිත්තිවලට උණුසුම උරා ගෙන තිබිණි. ශක්තිමත් වානේ පොලු වල කිසි ම දයාවක් නො වීය. සිරකුටියේ යකඩ දොර වැසී යාමත් සමග සියලු බලාපොරොත්තු බිඳ වැටිණි. ඔහුගේ කුඩා ඇඳ අද්දර ගල් බිත්තියෙහි පහත සඳහන් වචන කුරුටු ගා තිබිණි. ‘මෙය ද අවසන් වේවි’. ඔහුට පෙර ඒ සිරකුටියේ සිටි සිරකරුට මෙන් ඔහුට ද ඒ වචන අස්වැසිල්ලක් විය. සර දඬුවම කොතෙක් කටුක වුවත් ඔහු ඒ වචන මතක් තබා ගත්තේ ය. ඔහු නිදහස ලැබූ දින ඒ වචනවල අර්ථය, ඔහුට වැටහිණි. ඔහුගේ දඬුවම් කාලය අවසන් වී තිබිණි.

සුපුරුදු ජීවිතය යළිත් ආරම්භ කළ විට ඒ වචන කොළ කැබලිවල ලියා ඇඳ ළඟ ද, වාහනය තුල ද, සේවා ස්ථානයේ ද තබා ගෙන එහි අර්ථය ගැන ඔහු නිතර මෙනෙහි කලේ ය. කරදර අධික කාලයක දී වුව ද ඔහු කිසි විටක දොම්නසට පත් නො වීය. ඒ වචන මතක තබා ගෙන, අවස්ථාවට මුහුණ දුන්නේ ය. ‘නරක කාලය දිගුකල් පවතින බව නො පෙනිණි. ‘ හොඳ කාලය’ පැමිණි විට ඔහු ඉන් ආස්වාදයක් ලැබූ අතර කිසි විටක නොසැලකිලිමත් ලෙස විනෝද නො වීය. “ඒ හොඳ කාලය” ද අවසන් වන බව ඔහු දැන සිටියේ ය.

ඔහුට පිළිකා රෝගය වැළඳුණු විටද ‘එය ද අවසන් වෙතැයි’ යන අදහස ඔහු තුළ බලාපොරොත්තු ඇති කළේ ය. එපමණක් නොව රෝගය යටපත් කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ද ධනාත්මක ආකල්පය ද ඔහුට ලැබිණි. දිනක් “පිළිකාව අවසන් වී ඇතැයි” ඔහුගේ විශේෂඥ වෛද්‍යවරයා පැවසී ය.

පසු කලක මරණාසන්න අවස්ථාවේ දී ඔහු ඒ වචන අඹු දරුවන්ට පැවසී ය. අනතුරුව සන්සුන් ලෙස අවසන් හුස්ම හෙළී ය. ඔහුගෙන් නෑ මිතුරන්ට ලැබුණු අවසන් තිළිණය වූයේ ඒ වචන ය. එමගින් තමන්ගේ වියෝ දුක ද වසන් වන බව ඔවුහු තේරුම් ගත්හ.



Saturday, February 11, 2023

මිල කළ නොහැකි උපදෙස්

 

භික්ෂූන් වශයෙන් අප අනුගමනය කරන ඉතා සරල ජීවිත සම්ප්‍රදාය තුළ මුදල් ළඟ තබා ගැනීමට අපට අවසර නැත. අප කරන අනුශාසනවලට හෝ උපදේශන කටයුතු සඳහා හෝ අප කිසි විටක මුදල් අය කරන්නේ නැත.

සුප්‍රකට භාවනා ගුරුවරයකු වූ අප හිතවත් භික්ෂුවකට කාන්තාවකගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි, භාවනාව ඉගෙන ගැනීමට ඇයට අවශ්‍යව තිබිණි.

“ඔබ භාවනා කරන සැටි උගන්වන බව මට ආරංචි වුණා”

“ඔව් නෝනා, මම ඒ වැඩ කරනවා”

“කොපමණ මුදලක් අය කරනවා ද...?”

“මොකුත් අය කරන්නෙ නැහැ.”

“එහෙම නම් ඔබ හොඳ ගුරුවරයෙක් වෙන්න බැහැ”

ඕස්ට්‍රේලියානු කාන්තාවකගෙන් මට ද එබඳු දුරකථන ඇමතුමක් ලැබිණි.

“අද සවස ඔබේ බෞද්ධ මධ්‍යස්ථානයේ දේශනයක් පැවැත්වෙනවා ද..?”

“ඔව් නෝනා, ඒක ආරම්භ වන්නෙ පස්වරු 8.00ට”

“කොපමණ මුදලක් ගෙවිය යුතු ද ?”

“මොකුත් නෑ නෝනා. මුදල් ගෙවීමක් නැහැ.”

“මම අහන දේ ඔබට තේරුණේ නෑ. ඔබේ දේශනයට සවන් දීම සඳහා මා කොපමණ මුදලක් ගෙවිය යුතු ද?”

“නෝනා, ඔබ කිසිම මුදලක් ගෙවිය යුතු නැහැ. ශාලාව ඇතුළට ඇවිත්, පසු පෙළක හිඳ ගෙන, කැමති වෙලාවක පිට වී යා හැකියි. ඔබේ නම හෝ ලිපිනය ගැන කිසිවක් අහන්නෙ නැහැ. මොකුත් මුදල් පරිත්‍යාග ඉල්ලන්නෙත් නැහැ. ඒක සම්පූර්ණයෙන් ම නොමිලේ”

“හොඳයි..! මේ දේශනවලින් ඔබට ලැබෙන වාසිය කුමක්ද..?”

“සතුට විතරයි”

“මේ දිනවල දේශනවලට ඇය කරන මුදල ගැන කිසිවකු විමසූ විට, මුදල් අය නො කරන බව කිසි විටක නො කියමි”

ඒවා මිල කළ නොහැකි බව ඔවුන්ට පවසමි.



Tuesday, February 7, 2023

කෘත්‍රිම සිනාව

 

ප්‍රශංසාව අපේ මුදල් ඉතිරි කරයි. අපේ සබඳතා වඩා ශක්තිමත් කරයි. සතුට නිර්මාණය කරයි. එබැවින් එය වඩාත් පැතිරවිය යුතු ය.

කුමන ප්‍රශංසාවක් වුව ද ප්‍රදානය කිරීම වඩාත් අපහසු තමන්ටම ය. මා මෙතෙක් විශ්වාස කළේ තමන්ට ම ප්‍රශංසා කර ගන්නා අය උඩඟු වන බව ය. එය එසේ නොවේ. ඔවුහූ කාරුණික අය බවට පත් වෙති. අපේ යහපත් ගුණාංග වලට ප්‍රශංසා කිරීමෙන් ඒවා ධනාත්මක ලෙස වර්ධනය වේ.

මා සාමණේර භික්ෂුවක වශයෙන් ගත කළ කාලයේ මගේ භාවනා ආචාර්යවරයා මට ප්‍රායෝගික උපදෙසක් දුන්නේ ය.

“උදේ පිබිදුණු විට, ඔබ මුලින් ම කරන්නෙ කුමක් ද..” එතුමා මගෙන් ඇසී ය.

“නාන කාමරයට යනවා”

“එහි කන්නාඩියක් තිබේ ද..? ”

“ඔව්”

“හොඳයි, හැමදාම උදේ දත් මැදීමට පවා පෙර ඒ කණ්ණාඩිය දිහා බලාගෙන තමන් සමග ම සිනාසෙන්න.”

“ස්වාමීනි, මම සමහර විට නින්දට යන්නෙ හුඟක් පමා වෙලා. උදේ නැගිටින කොට මට තෙහෙට්ටු බවක් දැනෙනවා. සමහර දවස්වල උදේට සිනාසීම කෙසේ වෙතත් මගේ බලන්නවත් බය හිතෙනවා”

එතුමා මා දෙස බලා සිනාසුණේ ය.

“ස්වාභාවික විදිහට සිනාසෙන්න ඔබට බැරි නම් අත් දෙකේ දබරැඟිලි දෙක කටේ දෙකෙලවරට තබා මෙන්න මේ වගේ තද කරන්න”

එසේ කළ විට එතුමාගේ මුහුණෙහි ඇති වුණු විකට පෙනුම දුටු මම සිනාසුනෙමි. එය අත්හදා බලන ලෙස එතුමා මට නියෝග කලේය. නාන කාමරයට ගොස් කණ්ණාඩිය දිහා බලා ගෙන මා එසේ කළ විට ඇති වූ මෝඩ සිනාව, මගේ විනෝදයට හේතු විය. එය සැනෙකින් ස්වාභාවික සිනාවකට පරිවර්තනය විය. කණ්ණාඩිය තුළ සිටි සාමණේර භික්ෂුව මා දෙස බලා සිනාසෙන විට මම ද ඉහු සමග සිනාසුණෙමි.

දෙවසරක් තිස්සේ හැම උදෑසනක ම මම ඒ සිනාව පුරුදු වීමි. සාමාන්‍යයෙන් මා සිනාව ආරම්භ කළේ දබරැඟිලි දෙකේ ආධාරයෙනි. මා මේ දිනවල නිතර සිනාසෙන බව මිනිස්සු පවසති. ඇතැම් විට මගේ මුව දෙපස මාංශ පේශී සිනාවට ම හැඩ ගැසෙන්නට ඇත.

දවසේ කුමන වෙලාවක වුවද ඇඟිලි දෙකේ ක්‍රමය අත්හදා බැලිය හැකිය. එය විශේෂයෙන් ප්‍රයෝජනවත් වන්නේ රෝගී බවක් උදාසීන බවක් හෝ දොම්නසක් දැනුණු විටය. සිනාව මගින් අපේ ප්‍රතිශක්ති පද්ධතිය වඩා ශක්තිමත් වී සිත සතුටු කරන බව විද්‍යානුකූලව තහවුරු වී තිබේ. අප තුළ පවතින අයහපත් ගුණාංග පමණක් නොව යහපත් ගුණාංග ද අවබෝධ කර ගැනීමට සිනාව අපට ආධාර කරයි. එපමණක් නොව සිනාව අපට රූමත් පෙනුමක් ලබා දේ.

පර්ත් නුවර පිහිටි අපගේ බෞද්ධ විහාරස්ථානය “අචාන් බ්‍රහ්ම හිමියන්ගේ රූප ලාවන්‍යාගාරය” වශයෙන් මා හඳුන්වන්නේ එබැවිනි.