භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Friday, December 24, 2021

අපි කවුරුත් වැරදිකාරයෝ වෙමු

 


සුපිරි වෙළඳසලකට ගිය දරුවෙක්

 

අපරාධයක් සිදු කළ අයකු වශයෙන් මිස අපරාධකරුවෙකු වශයෙන් කිසි විටෙක තමන් ගැන නො සිතන ලෙස මගේ බන්ධනාගාර මිතුරන්ට මම උපදෙස් දෙමි. ඔවුන් අපරාධකරුවන් බව පැවසුවොත් අපරාධකරුවන් වශයෙන් සැලකුවොත් තමන් අපරාධකරුවන් බව ඔවුන්ම කල්පනා කරතොත් ඔවුන් සැබවින්ම අපරාධකරුවන් බවට පත් වනු ඇත. එය ක්‍රියාත්මක වන්නේ එලෙසය.

සුපිරි වෙළඳසලක දී කුඩා පිරිමි දරුවෙකු අතින් කිරි පැකට්ටුවක් බිම වැටි පැලී හැමතැනම  කිරි ඉහිරිණි. “මෝඩ ළමයෙක්..!” ඔහුගේ මව දොස් කීවාය.

තවත් පිරිමි දරුවෙකු අතින් මී පැණි පැකට්ටුවක් බිම වැටි පැලී මී පැණි පොළොව මත විසිරිණි. “ඔයා කළේ මෝඩ වැඩක්.” ඔහුගේ මව දොස් නැගුවාය.

ප්‍රථම දරුවා සදහටම මෝඩයෙකු වශයෙන් හංවඩු ගසන ලද අතර දෙවැනි දරුවාගේ වරද පෙන්වා දුන් විට මෝඩකම් නතර කිරීමට ඔහු ඉගෙන ගනු ඇත.

තමන් අපරාධය කළ දින කරන ලද වෙනත් කාර්යන් පිළිබඳව මගේ බන්ධනාගාර මිතුරන්ගෙන් අසමි. එමෙන්ම ඒ වර්ෂයේ වෙනත් දිනවල දී වෙනත් වර්ෂවල දී ඔවුන් කළ වෙනත් කාර්යයන් ගැන විමසමි. ඉන් පසු මගේ ගඩොල් බිත්තිය පිළිබඳ කතන්දර ඔවුනට නැවත පවසමි. එහි වැරදි ලෙස තැන්පත් කරන ලද ගඩොල් හැර අනෙක් ගඩොල්වලින් අපරාධවලින් තොර අපේ ජීවිතය නියෝජනය වන බව ඔවුන්ට පෙන්වා දෙමි. ඇත්ත වශයෙන් අයහපත් ක්‍රියාවලට වඩා යහපත් ක්‍රියා බෙහෙවින් වැඩිය. ඔබ දැන් කඩා දැමිය යුතු අක්‍රමවත් බිත්තියක්ද..? එසේ නැතිනම් අප මෙන් අක්‍රමවත් ගඩොල් දෙකක් සහිත ක්‍රමවත් බිත්තියක්ද..? යනුවෙන් සිතා බැලිය යුතුය.

මට විහාරාධිපති තනතුර ලැබී බන්ධනාගාරයට යෑම නතර කර මාස කිහිපයකට පසු බන්ධනාගාර නිලධාරියෙකුගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණි. ඔහු මට කළ ප්‍රශංසාව සැමදා අගේ කොට සලකමි. මගේ බන්ධනාගාර ශිෂ්‍යයින් සිර දඬුවම අවසන් වී පිටව ගිය පසු, යලිත් කිසි දිනක එහි නො පැමිණි බව නිලධාර්යා පැවසීය.

 

 

අපි කවුරුත් වැරදිකාරයෝ වෙමු

 

මීට ඉහත කතන්දරයේ දී බන්ධනාගාරයේ දී මා කටයුතු කළ අය පිළිබඳව මා කතා කළ නමුත් සාපරාධි හැඟීම නමැති සිරගෙදර සිරබත් කන කාහට වුවද ඒ උපදෙස් අදාළ වේ. අපේ හිත දොස් කියන ඒ ‘අපරාධයට’ අමතරව එදින තුළ ඒ දින තුළ, ඒ වර්ෂය තුළ, මේ ජීවිතය තුළ අප කළ වෙනත් කටයතු කවරේද..? බිත්තියේ ඇති අනෙක් ක්‍රමවත් ගඩොල් අපට පෙනේද..? අපේ වරදට හේතු වූ ඒ මෝඩ ක්‍රියාවෙන් ඔබ්බට අපට පෙනේද..? B පන්තිය පිළිබඳව අප පමණට වැඩි කාලයක් අවධානය යොමු කළොත් අප නියත වශයෙන්ම B පන්තියේ පුද්ගලයින් බවට පත්වනු ඇත. අප අපේ වරද නැවත කරමින් වැරදි හැඟීම් එක රැස් කරන්නේ ඒ නිසාය. එහෙත් අපේ ජීවිතවල සෙසු අංශ දකින විට තාත්වික අවබෝධයක් ලැබෙන විට හදවතෙහි විකසිත වන පුෂ්පයක් මෙන් විස්මිත බුද්ධියක් විවර වේ.