භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Saturday, September 12, 2026

නැසෙන්න එපා. තරුණයන්ට දහම් පදයක්

 

පින්වත් දරුවනි, කුසල් නැහෙණවා කියල එකක් තියෙනවා. තරුණ කාලයේ උපද්දවන්න පුළුවන් කුසල් වයසට ගියාට පස්සේ උපද්දවන්න බැහැ. කවුරු වුනත් මෙතන බණ ඇහුවත් නැතත් අවසානයට ඔය කවුරු කවුරුත් ගන්න තීරණයක් තියෙනවා. පරලොවටත් මොකක් හරි එපෑයැ බන් කියලා කවුරුත් වයසට සුදුරෙද්ද පොරවාගෙන පන්සලේ බෝ ගහ යට ඉඳගන්නවා. වයසට පලච්චි කවුරුත් ඉඳගන්නවා. එදාට පින්වත් දරුවනි නැහුණ පිරිසක් විදියට ඉඳගන්න එපා. කුසල් වලින් නැහෙන්න එපා. 

ඔබට මහණ වෙන්නත් බැරි වෙන්න පුළුවන්, හැමදාම දහම් වැඩසටහන් වලට සහභාගී වෙන්නත් බැරි වෙන්න පුළුවන්, ඔය රූපවාහිනියෙන් පෙන්නපු තරුණ වැඩසටහන් වලට ඔබට එන්නත් බැරි වෙන්න පුළුවන්. දරුවනි කොහේ හරි මුල්ලකට හරි වෙලා නැහෙන්නැතුව ඉන්න. තරුණ ජීවිත නැහෙන්න එපා කියලයි මේ උත්සාහය. එච්චරයි. තරුණ කොල්ලෝ ටික මහණ කරගන්න උවමනාවක් නැහැ, අලුත් සමාජ දර්ශන හදන්න අපිට උවමනාවක් නැහැ. තරුණ ජීවිත නැහෙන්න එපා, නැහුණේ නැති කෙනාට ධර්මය තියෙනවා, තථාගත ශ්‍රී සද්ධර්මය. අපි කවුරුත් ඇස් දෙක පියාගන්න දවසක් එනවා. එක් තැන් වෙන දවසක් එනවා. එදාට මේවා පිටිපස්සෙන් එනවා දරුවනි. අපි ගමනක් යද්දී අපේ ඉස්සරහින් ඉර පායලා තියෙනකොට අපේ හෙවනැල්ල වැටෙන්නේ පිටිපස්සට, අපිට පේන්නේ නැහැ. ඔය ඉර බැහැගෙන යනකොට අර හෙවනැල්ල ඉස්සරහට එනවා. යම් දවසක එක්තැන් වෙනකොට කරපු ටික ඔක්කොම ඉස්සරහට එනවා. 

මං උදාහරණයක් කියන්නම්. මෙච්චර බණ කියනකොට තමන්ගෙන් වෙච්ච වැරදිම හිතට දැන් එනවා. චෛත්‍ය වැඳපු ඒවයි, බෝධි වැඳපු ඒවයි, දාන දුන්න ටික දැන් මතක් වෙන්නේ නැහැ. මේ බණ අහද්දී වැරදිම හිතට මතක් වෙනවා. මගේ අතින් මෙහෙම වුණා, අම්මට මෙහෙම කිව්වා, මං මගේ කෙල්ලට මෙහෙම කළා කියලා ඔක්කොම හිතට එනවා. රුවන්වැලි සෑය වැන්දා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැන්දා, දාහක් වැඩ තියෙන අතරේ බණ අහන්න ආවා. මේ පින් ටික මතක් වුණේ නැහැ. මෙච්චර හොඳට වායු සමීකරණය කරපු හෝල් එකක ඉද්දී මෙහෙම වෙනවා නම් ලෙඩ ඇඳේ පන අදිද්දී කුමක් සිදුවෙයිද? 

පින්වත් දරුවනි, කන් හැන්දක් තරම්වත් මොළයක් ඇති කියලා හිතලා මේ කියන්නේ. නුවණින් විමසන්න. කවුරුහරි බේරිලා ඉන්න.