භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Friday, December 24, 2021

අපි කවුරුත් වැරදිකාරයෝ වෙමු

 


සුපිරි වෙළඳසලකට ගිය දරුවෙක්

 

අපරාධයක් සිදු කළ අයකු වශයෙන් මිස අපරාධකරුවෙකු වශයෙන් කිසි විටෙක තමන් ගැන නො සිතන ලෙස මගේ බන්ධනාගාර මිතුරන්ට මම උපදෙස් දෙමි. ඔවුන් අපරාධකරුවන් බව පැවසුවොත් අපරාධකරුවන් වශයෙන් සැලකුවොත් තමන් අපරාධකරුවන් බව ඔවුන්ම කල්පනා කරතොත් ඔවුන් සැබවින්ම අපරාධකරුවන් බවට පත් වනු ඇත. එය ක්‍රියාත්මක වන්නේ එලෙසය.

සුපිරි වෙළඳසලක දී කුඩා පිරිමි දරුවෙකු අතින් කිරි පැකට්ටුවක් බිම වැටි පැලී හැමතැනම  කිරි ඉහිරිණි. “මෝඩ ළමයෙක්..!” ඔහුගේ මව දොස් කීවාය.

තවත් පිරිමි දරුවෙකු අතින් මී පැණි පැකට්ටුවක් බිම වැටි පැලී මී පැණි පොළොව මත විසිරිණි. “ඔයා කළේ මෝඩ වැඩක්.” ඔහුගේ මව දොස් නැගුවාය.

ප්‍රථම දරුවා සදහටම මෝඩයෙකු වශයෙන් හංවඩු ගසන ලද අතර දෙවැනි දරුවාගේ වරද පෙන්වා දුන් විට මෝඩකම් නතර කිරීමට ඔහු ඉගෙන ගනු ඇත.

තමන් අපරාධය කළ දින කරන ලද වෙනත් කාර්යන් පිළිබඳව මගේ බන්ධනාගාර මිතුරන්ගෙන් අසමි. එමෙන්ම ඒ වර්ෂයේ වෙනත් දිනවල දී වෙනත් වර්ෂවල දී ඔවුන් කළ වෙනත් කාර්යයන් ගැන විමසමි. ඉන් පසු මගේ ගඩොල් බිත්තිය පිළිබඳ කතන්දර ඔවුනට නැවත පවසමි. එහි වැරදි ලෙස තැන්පත් කරන ලද ගඩොල් හැර අනෙක් ගඩොල්වලින් අපරාධවලින් තොර අපේ ජීවිතය නියෝජනය වන බව ඔවුන්ට පෙන්වා දෙමි. ඇත්ත වශයෙන් අයහපත් ක්‍රියාවලට වඩා යහපත් ක්‍රියා බෙහෙවින් වැඩිය. ඔබ දැන් කඩා දැමිය යුතු අක්‍රමවත් බිත්තියක්ද..? එසේ නැතිනම් අප මෙන් අක්‍රමවත් ගඩොල් දෙකක් සහිත ක්‍රමවත් බිත්තියක්ද..? යනුවෙන් සිතා බැලිය යුතුය.

මට විහාරාධිපති තනතුර ලැබී බන්ධනාගාරයට යෑම නතර කර මාස කිහිපයකට පසු බන්ධනාගාර නිලධාරියෙකුගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණි. ඔහු මට කළ ප්‍රශංසාව සැමදා අගේ කොට සලකමි. මගේ බන්ධනාගාර ශිෂ්‍යයින් සිර දඬුවම අවසන් වී පිටව ගිය පසු, යලිත් කිසි දිනක එහි නො පැමිණි බව නිලධාර්යා පැවසීය.

 

 

අපි කවුරුත් වැරදිකාරයෝ වෙමු

 

මීට ඉහත කතන්දරයේ දී බන්ධනාගාරයේ දී මා කටයුතු කළ අය පිළිබඳව මා කතා කළ නමුත් සාපරාධි හැඟීම නමැති සිරගෙදර සිරබත් කන කාහට වුවද ඒ උපදෙස් අදාළ වේ. අපේ හිත දොස් කියන ඒ ‘අපරාධයට’ අමතරව එදින තුළ ඒ දින තුළ, ඒ වර්ෂය තුළ, මේ ජීවිතය තුළ අප කළ වෙනත් කටයතු කවරේද..? බිත්තියේ ඇති අනෙක් ක්‍රමවත් ගඩොල් අපට පෙනේද..? අපේ වරදට හේතු වූ ඒ මෝඩ ක්‍රියාවෙන් ඔබ්බට අපට පෙනේද..? B පන්තිය පිළිබඳව අප පමණට වැඩි කාලයක් අවධානය යොමු කළොත් අප නියත වශයෙන්ම B පන්තියේ පුද්ගලයින් බවට පත්වනු ඇත. අප අපේ වරද නැවත කරමින් වැරදි හැඟීම් එක රැස් කරන්නේ ඒ නිසාය. එහෙත් අපේ ජීවිතවල සෙසු අංශ දකින විට තාත්වික අවබෝධයක් ලැබෙන විට හදවතෙහි විකසිත වන පුෂ්පයක් මෙන් විස්මිත බුද්ධියක් විවර වේ.

Monday, December 20, 2021

සාපරාධි හැඟීම් හා B පන්තියේ ළමයි



සාපරාධි හැඟීම්

 

ගෞරවනීය එහෙත් ඉතා දුෂ්කර වූ විහාරාධිපති තනතුර මා වෙත පැටවීමට පෙර පර්ත් නුවර බන්ධනාගාරවල අනුශාසනා සඳහා යෑමට මම පුරුදුව සිටියෙමි. යම් දිනෙක මට සිර දඬුවමක් ලැබුණොත්, චරිත සහතිකයක් වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා ඒ අනුශාසනා වෙනුවෙන් ගත වූ කාලය පිළිබඳ වාර්තාවක් ළඟ තබා ගතිමි.

පර්ත් නුවර විශාල බන්ධනාගාරයකට මා ගිය මුල් අවස්ථාවේ දී භාවනාව පිළිබඳ මගේ උපදෙස්වලට සවන් දීම සඳහා රැස්ව සිටි සිරකරුවන් සංඛ්‍යාව දැක පුදුමයට පත්වීමි. ශාලාව අතුරු සිදුරු නැතුව පිරී තිබිණි. සිරකරුවන්ගෙන් සියයට අනුපහක් පමණ පැමිණ සිටි බව පසුව දැන ගතිමි. එහෙත් මගේ අනුශාසනය දීර්ඝ වන තරමට සිරකරුවෝ නොසන්සුන් වූහ. මිනිත්තු දහයකට පමණ පසු එක් භයානක සිරකරුවෙකු අත ඔසවා මට බාධා කළේ ප්‍රශ්නයක් ඇසීමටය.

“භාවනාව මගින් අහසින් යන හැටි ඉගෙන ගන්න පුළුවන් කියන්නේ ඇත්තද..?”

සිරකරුවන් එතරම් විශාල සංඛ්‍යාවක් මගේ අනුශාසනයට සවන් දීමට පැමිණීමට හේතුව මට සැණෙකින් වැටහිණි. බන්ධනාගාර ප්‍රාකාරයට ඉහළින් ගමන් කළ හැකි පරිදි භාවනාව ඉගෙනීම ඔවුන්ගේ සැලැස්ම විය. වසර ගණනක් පුහුණුව ලැබූ සුවිශේෂී භාවනායෝගීන්ට පමණක් අහසින් යා හැකි බව මම පැවසුවෙමි. අනුශාසනාවක් සඳහා මා ඒ බන්ධනාගාරයට ගිය ඊළඟ අවස්ථාවේ දී ඊට සවන් දීමට පැමිණ සිටියේ සිරකරුවන් සිවුදෙනෙකු පමණි.

මා බන්ධනාගාර තුළ අනුශාසනා පැවැත්වූ දීර්ඝ කාලය තුළ අපරාධකරුවන් කීප දෙනෙකු මැනවින් අධ්‍යනය කිරීමට මට හැකි විය. මට අවබෝධ වූ එක් කරුණක් නම් තමන් අපරාධයක් කළ බවට හැඟීමක් දිවා රෑ ඔවුන්ගේ හදවත් තුළ කකාරුණු බව ය. ඔවුන් ඒ බව පවසන්නේ සමීප මිතුරන්ට පමණි. එහෙත් ඔවුන්ගේ විශ්වාසය දිනා ගත් විට ඔබ ඔවුන්ගේ ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයා වශයෙන් පිළිගන්න අතර තමන් කළ වේදනාත්මක අපරාධය පිළිබඳ තොරතුරු ඔවුහු හෙළි කරති.



 

B පන්තියේ ළමයි

 

එංගලන්තයේ පාසලක අධ්‍යාපනය පිලිබඳ රහස් පරීක්ෂණයක් පවත්වන ලදී. ඒ පාසලේ එක ම වයසේ ළමයින් සඳහා පන්ති දෙකක් වූ අතර ඊළඟ වර්ෂය සඳහා පන්ති දෙකට ළමයින් තේරීමට වර්ෂාවසාන පරීක්ෂණයක් පැවැත්වුවත් ලකුණු කිසි විටක හෙළි කළේ නැත. ඒ රහස දැන සිටියේ විදුහල්පතිතුමාත්, මනෝවිද්‍යාඥයින් කීප දෙනෙකුත් පමණි. ඒ ලකුණු අනුව පළමුවැනියා වූ ළමයා අටවැනි, නවවැනි, දොළොස්වැනි, දහතුන්වැනි ආදී වශයෙන් ලකුණු ලබා ගත් ළමයින් සමග එක පන්තියකටද දෙවැනි තෙවැනි තැන් ලබා ගත් ළමයි සත්වැනි, දසවැනි, එකොළොස්වැනි වශයෙන් ලකුණු ලබා ගත ළමයින් සමග තවත් පන්තියකට ද බෙදනු ලැබූහ. ඒ අනුව පරීක්ෂණයේ දී දැක්වූ දස්කම් අනුව ඉහළ ලකුණු ලබාගත් ළමයින් සහ පහළ ලකුණු ලබා ගත් ළමයි සමසේ පන්ති දෙකට බෙදනු ලැබූහ. පන්ති දෙක සඳහා එක සමාන දස්කම් හා අත්දැකීම් ඇති ගුරුවරු තෝරා ගනු ලැබූහ. පන්ති දෙකෙහි ම පහසුකම් එක සමාන විය. වෙනසක් වශයෙන් දක්නට ලැබුණේ, එක් පන්තියක් A පන්තිය වශයෙන්ද, අනෙක් පන්තිය B පන්තිය වශයෙන්ද නම් කිරීමය.

එසේ වුවත් හැම දෙනාගේ ම අදහස වුයේ A පන්තියේ ළමයින් B පන්තියේ ළමයින්ට වඩා දක්ෂ බවය. A පන්තියේ ඇතැම් ළමයින්ගේ දෙමාපියන් සිය දරුවන්ගේ දස්කම් පිළිබඳව මවිතයට පත්ව තෑගි බෝග ද පිරිනැමූ අතර B පන්තියේ ළමයින්ගේ දෙමාපියෝ ඉගෙනීම සඳහා ප්‍රමාණවත් උනන්දුවක් නොදක්වතැයි බැණ වැදුණාහ. B පන්තියේ ගුරුවරුන් පවා ඉගැන්වීම් කටයුතු කළේ වෙනස් ආකාරයකටය. මේ මුලාව වර්ෂය පුරාම පැවතිණි.

ඒ වර්ෂය අවසානයේ පැවති පරීක්ෂණයේ ප්‍රතිඵල කාගේත් චකිතයකට හේතු විය. A පන්තියේ ළමයින්ගේ දස්කම් B පන්තියේ ළමයින්ට වඩා ඉතා උසස් විය. ඇත්ත වශයෙන්ම ඒ ප්‍රතිඵලවලින් පැහැදිලි වූයේ, ඊට පෙර වර්ෂයේ සිටි ළමයින් අතරින් දක්ෂතම කොටස A පන්තියට තෝරා ගෙන ඇති බව වුවත්, ළමයින් බෙදීමේ දී එබඳු වෙනසක් සිදු නොවීය. කෙසේ වෙතත් ඒ ළමයි A පන්තියේ ළමයින් බවට පත්ව සිටියහ. අනෙක් කොටස B ළමයින් බවට පත්ව සිටියහ. ගුරුදෙගුරුන් වර්ෂය පුරා ඔවුන්ට පැවසුවේ එයයි. ඔවුන්ට සැලකුවේ අදක්ෂ ළමයින් වශයෙනි. ඒ නිසාම ඔවුහු අදක්ෂ තත්වයකට පත්ව සිටියහ.

Thursday, December 16, 2021

වරද සහ සමාව


කලකට පෙර ඕස්ට්‍රේලියානු තරුණියක් මා හමුවීමට පර්ත් නුවර පිහිටි මගේ විහාරස්ථානයට පැමිණියාය. බොහෝ විට පෞද්ගලික ගැටලු පිළිබඳව උපදෙස් ලබා ගැනීමට භික්ෂූන්ගේ පිහිට අපේක්ෂා කෙරේ. ඊට හේතුව ඇතැම් විට අප කිසි විට ඒ සඳහා මුදල් අය නොකිරීම විය හැකිය.

තමන් අතින් සිදුවුණු වරදක් පිළිබඳව ඇය බලවත් සිත් වේදනාවකින් පීඩා විඳිමින් සිටියාය. ඊට මාස හයකට පෙර බටහිර ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු ආකාරයක ඇය සේවය කර තිබිණි. එහි වැඩ කටයුතු දුෂ්කර වුවත් උසස් වැටුපක් ලැබිණි.

එක් ඉරිදා සවසක වනගත පෙදෙසක විනෝද චාරිකාවක යෙදීමට සිය හොඳම මිතුරියටත් අගේ පෙම්වතාටත් ඇය යෝජනා කළාය. ඔවුන් දෙදෙනාම ඊට අකමැති වූ විට පෙරැත්ත කරමින්, තර්ක කරමින් කැමති කරවා ගැනීමට තරුණිය සමත් වුවාය.

ඔවුන් ගමන් කළ රථය අනතුරකට භාජනය විය. එය බොරළු පාරක ගමන් කරන විට පෙරලී යෑමෙන් මිතුරිය ජීවිතක්ෂයට පත්වූ අතර ඇගේ පෙම්වතා ආබාධිත තත්වයට පත්විය. ගමන පිළිබඳව යෝජනාව තරුණියගේ වුවත් ඇයට අනතුරක් සිදු නො වීය.

“මේ ගමන යෑමට මා ඔවුන්ට බල කළේ නැත්නම් ඇය තවමත් ජීවත් වෙනවා. ඔහුට තවමත් පාද දෙකක් තිබෙනවා. මගේ සිත වේදනා විඳිනවා. මගේ අතින් බරපතළ වරදක් සිදු වූ බව මට හැඟෙනවා.” ඇය පැවසුවේ කඳුළු සලමිනි.

මගේ සිතට ආ මුල්ම අදහස වූයේ එය අගේ වරදකින් සිදු වුවක් නො වන බව පවසා ඇය සැනසීමටය. අනතුර සැලසුම් කළේ ඇය නොවූ අතර සිය මිතුරු මිතුරියන්ට පීඩා කිරීමේ අදහසක් අයට නොතිබිණි.

“මේ වගේ දේවල් සිදු වෙනවා. එක සිතින් ඉවත් කරන්න. වරදක් කළා කියලා සිතන්න එපා.” යනුවෙන් උපදෙසක් දීමට මා කල්පනා කලත් එබඳු උපදෙසක් ඇය සිය වරක් අසන්නට ඇති බවත් ඒවා සාර්ථක නොවූ බවත් මට වැටහිණි.

“ඔබේ අතින් වරදක් සිදු වී යයි කල්පනා කිරීම බොහොම හොඳයි.” මදක් කල්පනා කිරීමෙන් පසු මම පැවසීමි.

තරුණියගේ මුහුණ ශෝකී බවින් පුදුමයටත් ඒ පුදුමය සැනසිලිදායක බවටත් පරිවර්තනය විය. වරදක් සුදු වූ බවට උපදෙසක් ඇය ඉන් පෙර අසා නොතිබිණි. මා අනුමාන කළ සැටි නිවැරදිය. තමන් අතින් වරදක් සිදු වූ බවට ඇය පසු වූයේ ලජ්ජාවෙනි. එසේ නො සිතන ලෙස හැම දෙනාම පැවසීම අගේ සිතට පීඩාවක් විය. අපගේ ව්‍යාකූල සිත් ක්‍රියාත්මක වන්නේ එලෙසය.

වරදක් සිදු වී යයි සිතීම නිවැරදි බව තහවුරු කළ පසු විසඳුම පිළිබඳ ඊළඟ පියවරට අපට ගමන් කළ හැකිය.

‘අඳුර ගැන මැසිවිලි නගනු වෙනුවට ඉටිපන්දමක් දැල්වීම වඩා සුදුසුය.’ යනුවෙන් බෞද්ධ ආප්තෝපදේශයක් තිබේ. හැමවිටම කනස්සලු වීම වෙනුවට කළ හැකි යම් දෙයක් තිබේ. වරදක් සුදු වූ බවට ඇතිවන හැඟීම, පසුතැවීමට වඩා හාත්පසින් වෙනස් ය. අපේ සංස්කෘතිය අනුව ‘වැරදිකරු’ යනු උසාවියකදී දෙනු ලබන තීන්දුවකි. අන් කිසිවෙකු අපට දඬුවම් නුදුන්නොත් අපට ම දඬුවම් කර ගැනීමට අපේක්ෂා කරමු.

මෙසේ සිය වරදින් සිත නිදහස් කර ගැනීම සඳහා තරුණියට යම්, දඬුවමක් අවශ්‍ය විය. එය අමතක කර දමන ලෙස උපදෙස් දීම නිෂ්ඵලය. ප්‍රාදේශීය රෝහලේ හදිසි අනතුරු අංශයේ තුවාලකරුවන්ට කරන ප්‍රතිකාරවලට ස්වේච්චාවෙන් සහාය වන ලෙස මම ඇයට යෝජනා කළෙමි.


Tuesday, December 14, 2021

මෙතෙක් කළ දේ හා සැනසීම ලබාගැනීම


 

මෙතෙක් කළ දේ අවසන්ය

 

තායිලන්තයේ මෝසම් වැසි සමය ජූලි සිට ඔක්තෝම්බර් දක්වා පවතී. ඒ කාලය තුළ භික්ෂූහු සියලු ගමන් බිමන් නතර කර, ධර්මය හැදෑරීමෙහිත්, භාවනාවෙහිත් නිරත වෙති. මේ වස්සාන කාලයයි.වසර කීපයකට පෙර දකුණු තායිලන්තයේ සුප්‍රකට විහාරාධිපති තෙරුන් වහන්සේ නමක් සිය වනගත ආශ්‍රමයේ, ධර්ම ශාලාවක් ඉදිකරමින් සිටියේය. වස්සාන කාලය උදා වූ විට උන්වහන්සේ එහි සියලු වැඩ කටයුතු නතර කළේය. එය ආශ්‍රමය තුළ පූර්ණ නිශ්ශබ්දතාව පවත්වා ගතයුතු කාලයයි.

දින කීපයකට පසු එහි පැමණි අමුත්තෙක්, අර්ධ වශයෙන් ඉදිකරන ලද ධර්ම ශාලාව දැක ඒ කටයුතු කෙදිනක අවසන් වේ දැයි උන්වහන්සේගෙන් ඇසීය.

“ශාලාවේ වැඩ අවසන්”. කිසි පැකිලීමකින් තොරව උන්වහන්සේ පැවසූහ.

“වැඩ අවසන්..? මොනවද ඔබ වහන්සේ පවසන්නේ..? මේකට වහලක් නැහැ. දොර ජනෙල් නැහැ. ලී කැබලි, හිස් සිමෙන්ති බෑග් හැම තැනම. ඔබවහන්සේට පිස්සුද..?”

“මෙතෙක් කළ වැඩ කටයුතු අවසන්.” සිනාමුසුව පැවසූ උන්වහන්සේ, භාවනා කිරීම සඳහා ඉවත්ව ගියහ.

වස්සාන කාලය සන්සුන්ව ගත කිරීමටත්, විවේකයක් ගැනීමටත් සුදුසු එකම ක්‍රමය මෙයයි. එසේ නැත්තම් අපේ වැඩ කටයුතු කිසි දිනක අවසන් නොවනු ඇත.

 

කෙබඳු ගැටළු ඇතත් සැනසීම ලබාගත හැකිය

 

පර්ත් නගරයේ දී එක් සිකුරාදාවක විශාල පිරිසකට මා මීට පෙර සඳහන් කළ කතන්දරය පැවසීමි. ඊට පසු එළඹුණු ඉරිදා, කෝපාවිෂ්ට තාත්තා කෙනෙක් මා හමුවට පැමිණ මට දොස් පැවරීය. ඔහු ගැටවර වියේ පුතා සමග එදා මගේ අනුශාසනාව සවන් ඩීමට පැමිණ තිබිණි.

“පුතා, ගෙදර වැඩ අවසද..? කියල මම පුතාගෙන් ඇසුවා. දන්නවා ද එයා දුන් පිළිතුර..?

“ඩඩි, අචාන් බ්‍රක්ම හිමියන් ඊයේ රෑ පන්සලේදී අපට කිව්වෙ මෙතෙක් කළ වැඩ අවසන් කියල නේ. මම යනව සෙල්ලම් කරන්න.”

ඔස්ට්‍රේලියාවේ බොහෝ අයට ගෙවත්තක් තිබුනත් ඉන් සිතට ශාන්තියක් ලබා ගන්නා සැටි දන්නේ ටික දෙනෙකු පමණය. වැඩි දෙනෙකුට ගෙවත්ත යනු තවත් කාර්ය බහුල ස්ථානයකි. එබැවින් මැද වෙලාවක් වැඩ කර එහි සුන්දරත්වය පෝෂණය කරන ලෙසත්, වැඩි වෙලාවක් එහි සන්සුන්ව හිඳගෙන, ස්වාභාවික සුන්දරත්වය අත්විඳිමින්, සිය හදවත් පෝෂණය කර ගන්නා ලෙසත්, ගෙවත්තක් ඇති අය දිරිමත් කරවමි.

එය කදිම අදහසක් යි සිතන ගෙහිමියෙක්, පළමුව සුළු වැඩ පසෙකට දමා ගෙවත්තට වී මද වෙලාවක් සන්සුන්ව සිටි. ඒ කුමක් වුවත් එහි තණකොළ කැපිය යුතුව තිබේ. මල් පඳුරු කප්පාදු කළ යුතුය. පරඬල් අතුගා දැමිය යුතුය. ඇත්ත වශයෙන්ම ඒ සුළු වැඩ සඳහා ඔවුන්ගේ විවේක කාලය මුළුමනින්ම ගතවේ. ඒ වැඩ කිසි විටෙක අවසන් නොවන බැවින් මිනිත්තු කීපයක්වත් සැනසීමක් නැත. (අපේ සංස්කෘතිය අනුව, ‘සමාදානයේ සැතපෙන’ එකම පුද්ගලයා සිටින්නේ කනත්තේය.)

තවත් ගෙහිමියෙක් රේක්ක, වතුර බාල්දි ආදිය ඉවත දමා ගෙවත්තට වී සඟරාවක් කියවමින් සිටි. එහෙත් ඔහු කරන්නේ සඟරාව රස විඳීම මිස ඔහුගේ ගෙවත්තේ ඇති ශාන්ත බව රස විඳීම නොවේ.

තෙවැනි ගෙහිමියා, ගෙවතු වගාවට යොදා ගන්නා සියලු උපකරණ ද, සඟරා, පුවත්පත් ගුවන්විදුලි යන්ත්‍ර ආදිය ද ඉවත දමා ගෙවත්තට වී සුළු වෙලාවක් සන්සුන්ව සිටි. එවිට තමන් කළ යුතු නොයෙක් වැඩ ඔහුට සිහිපත් වේ.

“අර පිට්ටනියේ තණකොළ කැපීම කළ යුතුයි. අර පඳුරු ඉක්මනට කප්පාදු කළ යුතුයි, මල් ගස්වලට වතුර වත් නොකළොත් ඒවා දවස් දෙක තුනකින් මැරිලා යාවි, වත්තේ අර මුල්ලට ගාර්ඩ්නියා පඳුරක් හොඳට ගලපෙනවා.”

එබඳු සිතුවිලි වලින් ආස්වාදයක් ලැබුණත්, ඔහුගේ සිතට ශාන්තිය ඇත නොවේ.

සිව්වැනි ගෙහිමියා බුද්දිමත් ය. ඔහු මෙසේ කල්පනා කරයි.

මම දැන් වැඩ කළා හොඳටම ඇති. මගේ මහන්සියේ ප්‍රතිඵල මා අත්විඳිය යුතුයි. ගෙවත්තේ වැඩ කොපමණ තිබුනත් මා විවේක ගත යුතුයි.”

එසේ ගෙවත්ත සර්ව සම්පුර්ණ නොවුනත් එහි සුන්දරත්වය අත්විඳීමට අවශ්‍ය බුද්ධිය ඔහුට තිබේ.

ඇත්ත වශයෙන් ඉතිරි වී ඇති වැඩ ගැන නොව මෙතෙක් කරන ලද වැඩ ගැන අවධානය යොමු කළොත් ඒවා අවසන් බව අපට වැටහෙනු ඇත. එහෙත් ඒ වැඩවල දෝෂ ගැනත් කළ යුතු වැඩ ගැනත් සම්පූර්ණ අවධානය යොමු කලොත් අපට කිසි විටෙක සැනසීමක් ඇත නොවේ.

බුද්ධිමත් ගෙහිමියා ගෙවත්තේ අඩුපාඩු රැසක් ඇතත් මද වේලාවක ශාන්තියක් අත්විඳි. ඔහු කල්පනා කිරීමෙන් සැලසුම් කිරීමෙන් සහ තමන් අතින් වරදක් සිදු වී ඇතැයි පසුතැවිලි වීමකින් තොරව ඒ කාලය සුවසේ ගෙවයි. අප කාටත් එබඳු ශාන්තියක් අවශ්‍යය. දිවි රැක දෙන ඒ වැදගත් ව්වේකයෙන් පසු අපට යලිත් ගෙවත්තේ වැඩ කටයුතුවල නිරත විය හැකිය.

අපේ ගෙවත්ත තුළ දී ශාන්තිය ලබා ගන්නා සැටි දැන ගත විට කුමන තැනක දී කුමන අවස්ථාවක දී වුවත් අපට ශාන්තිය ලබා ගත හැකය. විශේෂයෙන් අපේ සිත නමැති ගෙවත්ත කෙතරම් ව්‍යාකූල වුවත් කළ යුතු තවත් බොහෝ දේ ඇතත්, ශාන්තිය ලබා ගන්නා සැටි අපට අවබෝධ වනු ඇත.