සාපරාධි හැඟීම්
ගෞරවනීය එහෙත් ඉතා දුෂ්කර වූ විහාරාධිපති තනතුර මා
වෙත පැටවීමට පෙර පර්ත් නුවර බන්ධනාගාරවල අනුශාසනා සඳහා යෑමට මම පුරුදුව සිටියෙමි.
යම් දිනෙක මට සිර දඬුවමක් ලැබුණොත්, චරිත සහතිකයක් වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා ඒ
අනුශාසනා වෙනුවෙන් ගත වූ කාලය පිළිබඳ වාර්තාවක් ළඟ තබා ගතිමි.
පර්ත් නුවර විශාල බන්ධනාගාරයකට මා ගිය මුල් අවස්ථාවේ
දී භාවනාව පිළිබඳ මගේ උපදෙස්වලට සවන් දීම සඳහා රැස්ව සිටි සිරකරුවන් සංඛ්‍යාව දැක
පුදුමයට පත්වීමි. ශාලාව අතුරු සිදුරු නැතුව පිරී තිබිණි. සිරකරුවන්ගෙන් සියයට
අනුපහක් පමණ පැමිණ සිටි බව පසුව දැන ගතිමි. එහෙත් මගේ අනුශාසනය දීර්ඝ වන තරමට
සිරකරුවෝ නොසන්සුන් වූහ. මිනිත්තු දහයකට පමණ පසු එක් භයානක සිරකරුවෙකු අත ඔසවා මට
බාධා කළේ ප්‍රශ්නයක් ඇසීමටය.
“භාවනාව මගින් අහසින් යන හැටි ඉගෙන ගන්න පුළුවන්
කියන්නේ ඇත්තද..?”
සිරකරුවන් එතරම් විශාල සංඛ්‍යාවක් මගේ අනුශාසනයට
සවන් දීමට පැමිණීමට හේතුව මට සැණෙකින් වැටහිණි. බන්ධනාගාර ප්‍රාකාරයට ඉහළින් ගමන්
කළ හැකි පරිදි භාවනාව ඉගෙනීම ඔවුන්ගේ සැලැස්ම විය. වසර ගණනක් පුහුණුව ලැබූ
සුවිශේෂී භාවනායෝගීන්ට පමණක් අහසින් යා හැකි බව මම පැවසුවෙමි. අනුශාසනාවක් සඳහා මා
ඒ බන්ධනාගාරයට ගිය ඊළඟ අවස්ථාවේ දී ඊට සවන් දීමට පැමිණ සිටියේ සිරකරුවන්
සිවුදෙනෙකු පමණි.
මා බන්ධනාගාර තුළ අනුශාසනා පැවැත්වූ දීර්ඝ කාලය තුළ
අපරාධකරුවන් කීප දෙනෙකු මැනවින් අධ්‍යනය කිරීමට මට හැකි විය. මට අවබෝධ වූ එක්
කරුණක් නම් තමන් අපරාධයක් කළ බවට හැඟීමක් දිවා රෑ ඔවුන්ගේ හදවත් තුළ කකාරුණු බව ය.
ඔවුන් ඒ බව පවසන්නේ සමීප මිතුරන්ට පමණි. එහෙත් ඔවුන්ගේ විශ්වාසය දිනා ගත් විට ඔබ
ඔවුන්ගේ ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයා වශයෙන් පිළිගන්න අතර තමන් කළ වේදනාත්මක අපරාධය
පිළිබඳ තොරතුරු ඔවුහු හෙළි කරති.
B පන්තියේ
ළමයි
එංගලන්තයේ පාසලක අධ්‍යාපනය පිලිබඳ රහස් පරීක්ෂණයක්
පවත්වන ලදී. ඒ පාසලේ එක ම වයසේ ළමයින් සඳහා පන්ති දෙකක් වූ අතර ඊළඟ වර්ෂය සඳහා
පන්ති දෙකට ළමයින් තේරීමට වර්ෂාවසාන පරීක්ෂණයක් පැවැත්වුවත් ලකුණු කිසි විටක හෙළි
කළේ නැත. ඒ රහස දැන සිටියේ විදුහල්පතිතුමාත්, මනෝවිද්‍යාඥයින් කීප දෙනෙකුත් පමණි.
ඒ ලකුණු අනුව පළමුවැනියා වූ ළමයා අටවැනි, නවවැනි, දොළොස්වැනි, දහතුන්වැනි ආදී
වශයෙන් ලකුණු ලබා ගත් ළමයින් සමග එක පන්තියකටද දෙවැනි තෙවැනි තැන් ලබා ගත් ළමයි
සත්වැනි, දසවැනි, එකොළොස්වැනි වශයෙන් ලකුණු ලබා ගත ළමයින් සමග තවත් පන්තියකට ද
බෙදනු ලැබූහ. ඒ අනුව පරීක්ෂණයේ දී දැක්වූ දස්කම් අනුව ඉහළ ලකුණු ලබාගත් ළමයින් සහ
පහළ ලකුණු ලබා ගත් ළමයි සමසේ පන්ති දෙකට බෙදනු ලැබූහ. පන්ති දෙක සඳහා එක සමාන
දස්කම් හා අත්දැකීම් ඇති ගුරුවරු තෝරා ගනු ලැබූහ. පන්ති දෙකෙහි ම පහසුකම් එක සමාන
විය. වෙනසක් වශයෙන් දක්නට ලැබුණේ, එක් පන්තියක් A පන්තිය වශයෙන්ද, අනෙක් පන්තිය
B පන්තිය වශයෙන්ද නම් කිරීමය.
එසේ වුවත් හැම දෙනාගේ ම අදහස වුයේ A පන්තියේ ළමයින් B පන්තියේ ළමයින්ට වඩා දක්ෂ බවය. A පන්තියේ
ඇතැම් ළමයින්ගේ දෙමාපියන් සිය දරුවන්ගේ දස්කම් පිළිබඳව මවිතයට පත්ව තෑගි බෝග ද
පිරිනැමූ අතර B පන්තියේ ළමයින්ගේ දෙමාපියෝ ඉගෙනීම සඳහා ප්‍රමාණවත්
උනන්දුවක් නොදක්වතැයි බැණ වැදුණාහ. B පන්තියේ ගුරුවරුන්
පවා ඉගැන්වීම් කටයුතු කළේ වෙනස් ආකාරයකටය. මේ මුලාව වර්ෂය පුරාම පැවතිණි.
ඒ වර්ෂය අවසානයේ පැවති පරීක්ෂණයේ ප්‍රතිඵල කාගේත්
චකිතයකට හේතු විය. A පන්තියේ ළමයින්ගේ දස්කම් B පන්තියේ ළමයින්ට
වඩා ඉතා උසස් විය. ඇත්ත වශයෙන්ම ඒ ප්‍රතිඵලවලින් පැහැදිලි වූයේ, ඊට පෙර වර්ෂයේ
සිටි ළමයින් අතරින් දක්ෂතම කොටස A පන්තියට තෝරා ගෙන ඇති
බව වුවත්, ළමයින් බෙදීමේ දී එබඳු වෙනසක් සිදු නොවීය. කෙසේ වෙතත් ඒ ළමයි A පන්තියේ ළමයින් බවට පත්ව සිටියහ. අනෙක් කොටස B ළමයින් බවට පත්ව සිටියහ. ගුරුදෙගුරුන් වර්ෂය පුරා ඔවුන්ට පැවසුවේ
එයයි. ඔවුන්ට සැලකුවේ අදක්ෂ ළමයින් වශයෙනි. ඒ නිසාම ඔවුහු අදක්ෂ තත්වයකට පත්ව සිටියහ.
0 comments:
Post a Comment