භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Sunday, September 26, 2021

මෛත්‍රී භාවනාව


සසරේ සැරිසරන සියලු ලෝ වැසියාගේ සිත් තුළ ක්‍රෝධය, වෛරය ආදී පහත් තමාටම අවැඩ පිණිස හේතුවන කෙලෙස් මානසිකත්වයෝ ඇත. ඒ සිත මැඩලමින් සිතේ සුවය ඇතිකරන්නාවූ අනෙකාටත්, තමාටත් සැපය පිණිසම හේතුවන සිතක් ඇතිකර ගැනීම මෛත්‍රීයයි. එය කමටහනක් කොටගෙන භාවනා කිරීම මෛත්‍රී භාවනාවයි. මෙම භාවනාව වඩන තැනැත්තා වෛරය, තරහව ආදී සිතුවිලි වලින් ඇතිවන හානිය ගැනත් මෛත්‍රීය තුලින් ඇතිවන ශාන්තිය ගැනත් යම් අවබෝධයක් ඇත්නම් භාවනාව හොඳින් වැඩීමට උපකාරවේ. අනුන් කෙරේ ඇතිවන වෛරී සිත් ඇති කෙනෙක් හරියට, අන් පුද්ගලයා නැසීමට තමන් අත ගිනි පුපුරක් තබාගෙන සිටිනවා වාගේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඉන් තමාත්, අනෙකාත් නැසේ. පළමුව තමාම නැසේ. තථාගතයන් වහන්සේ වෛරය ගින්නකට උපමා කළේ ඒ නිසාය. මෙයට හොඳම නිදසුන නම් මාගන්දියයි. මාගන්දිය, සාමාවතිය ඇතුළු පන්සීයක් පිරිස සිටි ශාලාව වසා ගින්නෙන් පිලිස්සුහ. නමුත් ඥානවන්ත සාමාවතිය සියලු පිරිසට කියා සිටියේ ද්වේශය ඇති නොකරගෙන මෛත්‍රී සිතින්ම සිටිනා ලෙසයි. මරණයෙන් පසු සියලුදෙනා දෙව්ලොව ඉපදුණ අතර ගිනිතැබූ මාගන්දිය අදත් නිරයේ ඒ ගින්නෙන්ම දැවී දැවී සිටියි. මේ ආකාරයට ද්වේශය වැපිරූ කෝකාලික, චිංචිමානවිකාව, සුප්‍රබුද්ධ රජු... ආදී චරිත දෙස බැලීමේදී පෙනී යන්නේ කිසිවෙකුට එයින් සැනසීමක් ලැබී නැති බවයි. බොහෝ දෙනා ඉඩකඩන්, මිල මුදල්, බලය වැනි අනිත්‍ය වන දේවලට ආසාකර, වෛර උපදවා ගනී. කෙනෙක් කියූ වචනයකටත් වෛර බැඳගන්නා අය අද සමාජයේ නැතුවා නොවේ. මේ ලෙස වචනයකට, රැවීමකට, එරවීමකට තරහ, වෛර ඇති කරගන්නා අය බොහෝයි. මේ ක්‍රෝධය, වෛරය නිසා තමාගේ සතුට අහිමි කරගෙන, මානසික පීඩා ඇති කරගෙන, රුධිරය අපිරිසිදු කරගෙන, ජීවිතයම නුරුස්සනා ස්වභාවයෙන් ගත කරනවාද නැත්නම් මෙත් සිතින් අපටත්, අනෙකාටත් යහපතක් කරගෙන සන්සුන් ඉඳුරන්, නිදහස් මනසක් ඇති ප්‍රියමනාප කෙනෙක් වනවාද කියා තීරණය ගත යුත්තේ අපමය.

එම නිසා තමාටත්, හැමදෙනාටමත් හිත සුව පිණිස හේතුවන මෛත්‍රීය වැඩීම හැමදෙනාගේ දෙලොව යහපත්ටම හේතුවේ. ඒ වගේම කෙනෙක් මේ මෙත් සිත හරියාකාරව වඩා සිතේ මුදුන්පමුණුවා ගන්නවා නම්, මෛත්‍රී විහරණයෙන්ම ජීවත් වනවා නම්, මෛත්‍රී ධ්‍යාන උපදවා ගන්නවා නම්  එය ඔහු තමාටත්, තමාගේ පවුලේ උදවියට ඇතුළු අනෙක් සියල්ලන්ටම අත් කරදෙන මහා යහපතකි. මෙහි ප්‍රතිලාභ ඔබට භාණ්ඩයක් කඩෙන් මිලදී ගත් සේ නොපෙනේ. එක්වර නොදැනේ. මෙත් සිත ඇත්තා සමග කතා කරන වෛරී පුද්ගලයාටත් ඔහුගෙ ඒ හැසිරීම නිසා, ඔහුගෙ ඒ නොගැටෙන වචන, හැසිරීම් නිසා අනෙකාට ද්වේශය පවත්වා ගැනීමට බාධක ඇතිවේ. මෛත්‍රී ධාන උපදවාගෙන සිටි විශාඛ රහතන් වහන්සේ සිතුල්පව්වට වැඩ කැලයක සතර මාසක් සිටීම නිසා එහි දෙවිදේවතාවුන්ගේ ගැටීම්, අමිත්‍රකම්පවා දුරු වූ බව දහමේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ ආදේශනා ප්‍රාතිහාර්ය සිදු වන්නේ පිළිවෙලක් අනුවය. එහි යමක් වඩන්න, ක්‍රියාත්මක කරන්න තිබෙනවා නම් එය කිරීමෙන් ලැබෙන ඵල, ආනිසංස පළමුවෙන්ම පෙන්වා දීම බුදුරජාණන් වහන්සේගේ පිළිවෙලය. ඒ මගින් ශ්‍රාවකයාට වීර්යෙන්, උනන්දුවෙන් ඒ කර්තව්‍ය කිරීමට පෙලඹවීමක්, කැමැත්තක් ඇති වෙනවා. මෙත් වැඩිමේ දේශනාව කිරීමට පෙරද භාග්‍යවතුන් වහන්සේ එයින් ලැබෙන ආනිශංස 11ක් ශ්‍රාවකයන් හට පෙන්වා දුන් සේක. ඒ ආනිසංස දැන ගැනීම අපටද මෙත් වැඩීමට උනන්දුවෙන් කරගෙන යාමට ඉවහල් වේ. ඒ ආනිසංස 11 නම් -

1- සුවසේ නිදයි. 2- සුවසේ අවදිවෙයි. 3- නපුරු සිහින නොපෙනෙයි. 4- මිනිසුන්ට ප්‍රිය වේ. 5- අමනුශ්‍යන්ට ප්‍රිය වේ. 6- දෙවියෝ රකියි. 7- ගින්නෙන්, ආයුධයෙන් ආරක්ෂාවේ. 8- මුහුණ ප්‍රභාස්වරවේ. 9- වහා සිත සන්සුන්වේ. 10- සිහියෙන් මරණයට පත්වේ. 11 - නිවන සාක්ෂාත් නොකළේ නම් මරණින් මතු බඹලොව උපදී.

(ආනිසංස විස්තරාත්මකව දැන ගැනීමට මෙතනින්)

මේ තරම් සියලු දෙනාටම සෙත සලසන මෛත්‍රීය කිරීමට සුදානම් වන පුද්ගලයා ඇතිකරගත යුතු යහපත් චරිත ලක්ෂණ 15ක්, වනයේ සිටි භික්ෂූන් වහන්සේලා පිරිසකට ඇතිවූ වෘක්ෂදේවතා, අමානුෂ උවදුරු ආදියෙන් මිදීම අරඹයා බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේදී වදාළ සේක. (සූත්‍රය මෙතැනින්). එහි පෙන්වා තිබෙන සියලු කාරණා වල පොදු ලක්ෂණය නම් දක්ෂ, අනලස්, සැහැල්ලු, ප්‍රඥාවන්ත බවින් යුතු වීමයි.

භාවනාව ආරම්භය - භාවනාව කරණා මුල් කාලයේ පලඟක් බැඳගෙන, සුපුරුදු භාවනා ඉරියව්වෙන්ම පටන් ගැන්ම හොඳය. නැතිනම් කුමන ඉරියව්වක් වුවද ගැටළුවක් නොමැත. අවශ්‍ය වන්නේ ශබ්ද අඩු, සිත නොවිසිරෙන ස්ථානයක් භාවනාවට යොදා ගැනීමය. භාවනාව වැඩෙන කුමන ආකාරයකට, කුමන ස්ථානයක වුව කළ හැක. සියලු සත්වයෝම කැමති තමා සුවෙන්, සැපවත්ව සිටින්නටයි. එතරම් භවයට සත්වයා ඇලී ඇත. එම නිසා පළමුව අප අපටම මෙත් වඩා ගෙන පසුව අන් සියලු දෙනාටම එය වැඩිය යුතුය. නමුත් මුල් කාලයේදී එදිරි පිරිසට මෙත් වැඩීමට නොහැකිවේ. නමුත් අප කෙමෙන් කෙමෙන් එයට හුරු විය යුතු වේ. ඒ වාගේම භාවනාව හැකි සෑම මොහොතක වැඩිය හැක. සෑම මොහොතකම මෙත් වඩන සිතක් කෙතරම් නම් සුවයක්, සැනසීමක් ලබයිද..

පවත්වනවා නම් කෙතරම් මානසික සුවයක් ඒ තැනැත්තාට ලැබේද..

මෙසේ පළමුව තමාටද, දෙවනුව තම දෙමාපියන්ටද පසුව සහෝදර, ගුරුවර, නෑදෑ පිරිසට, අසල්වැසි අයට... මෙසේ කෙමෙන් කෙමෙන් සියලු ලෝ සත්වයාටම මෙත් වැඩිය යුතුයි. එහිදී සියලු මනුෂ්‍ය සත්වයාට මෙන්ම තිරිසන්, නිර, දේව- බ්‍රක්ම ඇතුළු සියලුම ලෝ සත්වයන්ට මෙත් සිත පැතිරිය යුතුයි.

        මම නිදුක් වේවා !   මම නීරෝගී වේවා !   මම සුවපත් වේවා !   මම දුකින් මිදේවා !   මම වෛර නැත්තෙක් වෙම්වා !   නිවන් ලබම් වා !

මා මෙන්ම මාගේ දෙමව්පියෝද 

නිදුක් වේවා !   නීරෝගී වේවා !   සුවපත් වේවා !   දුකින් මිදේවා !   වෛර නැත්තෙක් වෙම්වා !   නිවන් ලබම් වා !

· මේ ලෙස තමාගෙන් පසු දෙමාපියන්ට, තම සහෝදර සහෝදරියන්ට, ගුරුවරුන්ට, අසල්වැසියන්ට, අහිතවත් හා මැදහත් සිත් ඇත්තන්ට ඇතුළු සියලු මනුෂ්‍ය සත්වයෝද,

· දිව්‍ය ලෝකවල වාසය කරනා අල්පේශාක්‍ය සිට මහේශාක්‍ය දක්වා සියලු සදිව්‍ය ලෝකවාසී සම්‍යදෘෂ්ටික හා මිත්‍යාදෘෂ්ටික දෙවියෝද,

· සියලු බ්‍රක්ම ලෝකවල වාසය කරනා රූපී, අරුපී සියලු බ්‍රක්මයෝද,

· සතර මහා නිරයන්වලින් එකක් වන තිරිසන් ගත සත්ව ලෝකයේ ඇසට නොපෙනෙන්නාගේ සිට විශාලම සත්වයා දක්වා වෙසෙන අපා, දෙපා, සිව්පා, බහුපා ආදී තිරිසන් ලොව සිටිනා සත්වයෝද,

· සතර මහා නිරයන්වලින් එකක් වන ප්‍රේත ලෝකයේ ඒ සියලු දුක් විඳිනා සත්වයෝද ,

· සතර මහා නිරයන්වලින් එකක් වන ඇසුර නිරයේ ඒ සියලු සත්වයෝද,

· සතර මහා නිරයන්වලින් අවසන් එක වන අපායේ සිටින අට මහා නිරයන්වල ඇතුළු සියලු ඔසුපත් නිරයන් වල නිරි සත්වයාද, අනු කුඩා නිරයන්වල ඇතුළු ලෝකාන්තරික නිරයන්වල සිටින්නා වූ ඒ සියලූම සත්වයෝද,

ලෙස එකින් එක ගෙන සියලු සත්වයාටම

        නිදුක් වේවා !   නීරෝගී වේවා !   සුවපත් වේවා !   දුකින් මිදේවා !   වෛර නැත්තෙක් වෙම්වා !   නිවන් ලබම් වා !

මෙත් වැඩීමෙන් ලැබෙන ආනිසංස 11

  සුඛං සුපති - සුවසේ නිදයි..

සුවෙන්, නිදහසේ නින්දක් ලබන්නට හැකි කීයෙන් කී දෙනෙක් හට අද දවසේ හැකිද. නොහැකි පිරිසම වැඩිය. ලෙඩ රෝග නිසා, වැඩරාජකාරි අධික වීම නිසා, මානසික අසහනය.. වැනි කාරනා නිසා ඒ බොහෝ දෙනා අහිමි කරගන්නා නින්ද මෙත් වැඩීමේ ඵලයක්, ආනිසංසයක් ලෙස ලැබේ. සමහරෙක් නින්ද ළඟා කරගැනීමට වෛද්‍ය පිහිට, නිදි පෙතිවල පිහිට පතයි. නමුත් එයින් ඔබට ජීවත් වන මුළු කාලය පුරා උදව් ලබා ගත හැකිද. බැරිය. වෛද්‍යවරු පවා දීර්ඝ කාලයක් නිදි පෙති භාවිත කිරීම අනුමත නොකරන දෙයකි. මෙත් වඩන්නාගේ සිත කල්යත්ම ඇතිවන සංසින්දීම නින්දට පමණක් නොව නොනිදා සිටින මොහොතේ පවා සුවයෙන් තබයි. සතර මහා ධාතුවලට අයත් මේ සිරුර තුල ශාන්ත පැවැත්මත් ඇතිවේ. ඒ පහසුව ඔබව සුවයෙන් තබයි. ඒ සුවපත් ශරීරය හා මනසට අවශ්‍ය විවේක මොහොතට ලඟා වූ විට ඇඳේ පැය ගණන් නිදි නොමත්ව සිටීමට සිදු නොවේ. මහන්සියක් නොමැතිවම සෞම්‍ය නින්දකට පත්වේ.

  සුඛං පටිබුජ්ජති - සුවෙන් අවදි වේ..

ඒ ශාන්ත වූ නින්දට පත් පුද්ගලයාට ඇහැරෙන්නට අවශ්‍ය මොහොතේ සුවසේ නැගිට දවස ආරම්භ කරන්නට හැකි වේ. සමහර පුද්ගලයන්ට නින්ද යෑම ගැටළුවක් නොමැතිව සිදුවුණද අතරමගදී ඇහැරේ. නැතිනම් ඇඳේ දඟලමින්, කෙඳිරි ගාමින් නින්දේ පසුවේ. ඒ නින්ද නිසා උදෑසන අවදි වන්නේද මහා අමාරුවකිනි. ඒ නැගිට්ට මොහොතේ අත්වල හීරි ඇති, තුවාල වී ඇති තැන් දැක ගැනීමට හැකිවේ. ඒ නින්දෙදි සිදුවූ දේවල්ය. නමුත් මෙත් සිතින් නින්දට යන්නා සුව නින්දකට පත් වෙන්නා සේම නින්දද සුවසේ ලබා, අවදි වීමද සුව සේ සිදු කරයි. නින්දෙන් නැගිටීමට ඔහුට වෙහෙසක් දැරීමට සිදු නොවේ.

  නපාපකං සුපිනං පස්සති - නපුරු සිහින නොපෙනෙයි..

මෙහි නපුරු සිහින නොපෙනවා යැයි කීවේ සිහිනෙන් භයානක, අසුභ සිහින නොපෙනෙනවා විතරක් නොව. අඩ නින්දක්, ඇඳේ එහෙ මෙහේ දිග ඇදෙමින් හෝ කෙඳිරිගාන යන කිසිඳු අපහසු දෙයක්වත් නින්දේදි සිදු නොවන බවයි. සමහරුන් මහ රාත්‍රියේ භයානක සිහින දකිමින් ඇහැරෙන්නේ ගෙවල් දෙකතුනට ඇහෙන්නද හඬනගා ගෙනය.

  මනුස්සානං පියෝහෝති - මිනිසුන්ට ප්‍රිය වේ..

මෛත්‍රිය වඩන්නා එක් පැත්තකින් අන් අයට ද්වේශයකින් කතාවක් නැත්තේය. ඒ නිසාද ඔහුව අනෙක් පුද්ගලයන්ට ප්‍රියවේ. ඒ වාගේම ඔහුගේ සිතේ ශක්තිය වැඩි නිසා හතුරාද යම් දමනයට පත්වේ. (මෙත් වඩන්නාගේ ශක්තිය අනුව). ඔහු බාල, මහලු හෝ රූපයෙන් මොන විදිහේ කෙනෙක් වුවත් අනෙක් අය ඔහුගේ ඇසුරට ප්‍රියවේ. ඔහුගෙ මෙත් සිත පෙරදැරි වචන අනෙකාගේ කන්ට සුවය ගෙන්දේ.

  අමනුස්සානං පියෝ හෝති - අමනුශ්‍යන්ට ප්‍රිය වේ..

අමනුෂ්‍ය - මනුෂ නොවන අයට පවා ඔබේ ශක්තිය දැනේ. විශේෂයෙන්ම ඔබෙන් නිකුත්වන ඒ මෙත් සිතේ ශක්තිය දෙවියන්, අසුර, යක්ෂ... ආදීනට හොඳින් තේරේ. ඒ වගේම තිරිසන් සතුන්ට පවා ඔබේ ශක්තිය ප්‍රබල වෙන තරමට දැනේ. දෙවියන්, සතුන් ඔබට ප්‍රිය වේ. සතුන් ප්‍රිය වීම් යනු මෙත් කරන කෙනාට වදයක් වෙමින් පස්සේ එන බව නොවේ. ඔබ යන මාවතේ විස සහිත සතෙක් සිටියහොත් ඌ ඔබට කරදරක් නොකරයි. නැතිනම් එතනින් ඉවත් වේ. කරදරයදී දෙවියන් ඔබට උදව් දීමට පෙළඹේ ඒ ඔබ මෙත් සිත පෙරදැරි නම් පමණි. මේ දේව හා සත්ව ප්‍රිය භාවයට හොඳම උදාහරණය නම් අශෝක රජු දවස දඹදිව වැඩ සිටි අස්සගුත්ත මහා රහතන් වහන්සේය. උන්වහන්සේ මෛත්‍රී ධ්‍යාන උපදවාගෙන වැඩසිටියේ කැලයකය. ඒ කැලයේ කොටි, වලසුන්, මුවෝ ආදී සියලුම සතුන් අනෙක් සත්වයෙක්ටද, උන්වහන්සේට හිංසාවක් නොමැතිව සිටියහ.

  දේවතා රක්ඛන්ති - දෙවියන් රකී..

කලින් පෙන්වා දුන් ලෙස මෙත් වඩන්නාගේ ශක්තිය විශේෂයෙන් දෙවියන්ට දැනේ. දෙවිවරු පවා ඒ මෛත්‍රී ශක්තියට ඉතා කැමතිය. මෙත් සිතේ ආනුභාවය නිසා ඔහුව නිරතුරුවම දෙවිවරුන්ගේ අවධානයට, උපකාරයට ලක්වේ. ඒ ලෙසින්ම අමනුෂ්‍ය දෝෂයක් ඇත්නම් වහා එය දුරුවේ මේ මෙත් බලයේ අනුහසින්. ඒ නිසා උවදුරු, අපල.. වැනි දෑ ඇත්තන් මෛත්‍රියෙන් වාසය කරනවා නම් එය ඉතා යහපත සාදන දෙයකි. ඒ වාගේම මෙතරම් බලයකින් යුත් මෙත් භාවනාව වැඩු යමෙක් එක ප්‍රදේශයක, එක රටක වාසය කරනවානම් ඒ භූමියේ පිරිස පවා කෙතරම් වාසනාවන්තද.

  නාස්ස අග්ගීවා විසංවා සත්වා කැමති - ගින්නෙන්, විෂ හා ආයුදයෙන් හානි නොවේ..

මෙත් සිත පෙරදැරි මොහොතක විසක් සරීරගත වූ විටදී පවා එයින් හානිය නොවේ. ප්‍රසන්න සතර මහා ධාතුවේ ශක්තියෙන් ඔහුගේ විෂ බසී. මෛත්‍රී ධ්‍යාන උපදවා ගෙන සිටින්නෙක් ආයුධයෙන් නැසීම පවා කලා නොහැකි දෙයකි. බුදුන් දවස සිටි උත්තරා උපාසිකාව භාග්‍යවතුන් ප්‍රමුඛ සඟයාට දානය සකසමින් සිටියදී සිරිමා ඇයගේ ඇඟට ගිනි රත් වූ තෙල් හැලීය. නමුත් තෙරුවන් සරණ ගොස් සිටි උත්තරා වහා මෙත් සිත දරාගෙන සිටියාය. ඒ නිසා ඇයට කිසි හානියක් එයින් සිදු නොවිණි.

  මුඛවණ්ණෝ විප්පසීදති  - මුහුණ ප්‍රභාස්වරවේ...

මෙත් වඩන්නා මෙලොවදී ලබන ඊළඟ ආනිසංසය, ඵලය වන්නේ මුහුණ පැහැපත් වීමයි. මෙයින් අදහස් වන්නේ සුදුවීමම නොවේ. කාන්තිය, දැකුම්කළු භාවය ඒ මෛත්‍රිය වඩන්නා තුලින් මතුවීමයි. සතර මහ ධාතුව ප්‍රසන්නවීම මත මේදේ සිදුවේ. එයින් ඔහුගේ තරුණ පෙනුම ආරක්ෂාවෙ. සමේ රැලි වැටීම, දුර්වර්ණ වීම බොහෝ අඩුවේ. ආලෝකමත් වන සතරමහා ධාතුවෙන් වන මේ සිරුර- මුහුණ ප්‍රසන්න, ප්‍රභාෂ්වර වීම කිසිඳු රූපලාවන්‍යශාලාවකින්, වෛද්‍යප්‍රතිකාරයකින් කරගත නොහැක. නොමිලේ මෙය ලැබෙන්නේ මෙත් වඩන්නාටය.

  තුවටං චිත්තං සමාධියති - වහා සිත සමාධිමත්, සන්සුන් බවට පත්වේ..

සිතේ එකඟනැති බවද අද දවසේ පුද්ගලයන්ගේ දකින්නට හැකි ප්‍රධාන ලක්ෂණයකි. විසිරුණු සිතක් නිසා කෙනෙක් කෙතරම් අමාරුවට වටේද. රැකියාවේ, පවුලේ, සමාජයේ ඔහු අසමත් චරිතයකි. මෙත් වැඩීමෙන් ලැබෙන මේ ආනිසංසය නිසා ඔබේ සිත සතියට, සමාධියට ඉඩ දෙන තැනක් බවට නිතැතින්ම පත්වේ. බොහෝ දෙනාට භාවනා කිරීමට පවා නොහැකි මේ අසමාහිත සිත නිසායි. ඔහුටද මෙත් සිතින් සිටිය හැකි නම් බොහෝ ප්‍රයෝජන ලැබේ. මේ සිතේ තැන්පත් වීම ලෞකික ජීවිතයේ මෙන්ම ලෝකෝත්තර ජීවිතයේ දියුණුවටද එකලෙස අත්‍යවශ්‍ය වේ.

  අසම්මුල්හෝ කාලංකරෝති - අසිහියෙන් නොමරේ..

බුදු දහම අදහන, පිළිපදින අප පරලොවක් තිබෙන බව දනී. ඒ වාගේම මරණින් මතු පහත ජීවිතයක්ද අපි අපේක්ෂා නොකරමු. අසිහිය, අසමාහිත සිත පරදන මෙත් භාවනාව මේ ජීවිතයේ අවසන් මොහොතද ඔහු හට සිහියෙන්, සමාධියෙන් ගත කිරීමට ඉඩ සලසා දේ. කෙතරම් පිරිසක් අවසන් මොහොතේ අසිහියෙන්, අසහනයෙන් මරණයට මුහුණ දෙනවාද. කියව කියවා, කෑමොර දී, ඉන්නා තැනක් හෝ කරනා දෙයක් හෝ නොදැන ඒ සමුගන්නා සියලු දෙනා කොහේ උපතකට පෑහේද. නමත් මෙත් සිතින් ජීවත් වන්නා තම අවසන් මොහොතද සමාහිත සිතින් වාසය කරයි.

  මරණින් මතු බඹ ලොව උපදී...

මෙත් ආනිසංසය 11න් පරලොවදී ලබන එකම ඵලය මෙයයි. අන් සෑම කරුණක්ම දක්වා ඇත්තේ මේ භවයේම අත දකින්නට හැකි ඒවාය. බලන්න බුදු දහම මරණින් මතු සිතන වෙනත් ආගම්, මාර්ග ලෙස නොව මේ ජීවිතයේම වඩා ඵල ලබා ගන්නා අපූරු දහමකි. මේ අයුරින් කරුණු දැන මෙත් වඩන්නා නිවන් සාක්ෂාත් කර නොසිටි හා මෛත්‍රියෙන් අවසාන මොහොත දක්වා සිටිනා කෙනා ගැනයි. ඔහු සිහියෙන්ම මැරී බඹ ලොව පහලවේ. කෙනෙක් හට ධ්‍යාන තත්වයක් දක්වා මෛත්‍රිය දියුණු කරගත නොහැකි වුවත් හැකි අයුරින් මෙත් සිතින් ජීවත් වූවා නම් බඹ ලොව නැතත් ඔහුට සුගති සම්පත අනිවාර්යයෙන් උරුම වේ. ඒ වාගේම සසරේ බොහෝ කල් නොයවා උතුම් අරිහත් භාවයද ඔහු සාක්ෂාත් කර ගනී.

මෛත්‍රී භාවනාව කිරීම ගැන දැක්වෙන විස්තර කියවීමට මෙතනින් Ø


කරණීයමෙත්ත සුත්‍රය

කරණීයමත්ථ කුසලේන  -  මෙත් සිත පැතිරවීමට (ශාන්ත වූ නිවනට) කැමති

යංතං සංතං පදං අභිසමෙච්ච  -  තමාගේ දියුණුව සලසා ගැනීමට කැමති

සක්කෝ උජූ ච සූචූ ච  -  දෙයක් කිරීමේ ශක්තියෙන් යුත්, අවංක හා සෘජු ගති ඇති

සුවචෝ චස්ස මුදු අනතිමානී  -  පහසුවෙන් වැටහෙන, රළු හැසිරීම් නැති හා කිසිඳු මානයක් නැති

සන්තුස්සකෝ ච සුභාරෝ ච  -  ලද දෙයින් සතුටුවන හා පහසුවෙන් පෝෂණය කළ හැකි

අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති  -  කාර්ය බහුල නොවී හා සරල ගතිපැවතුම් ඇති

සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච  -  සන්සුන් ඉඳුරන් ඇති හා නුවණින් යුක්ත

අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ඩධෝ  -  දැඩි අදහස් නැති හා තම පිරිස කෙරේ පමණක් දැඩිව නොඇලුණු

නච ඛුද්දං සමාචරේ කිඤ්චි යේන විඤ්ඤූ පරේ උපවදෙයුං  -  නුවණැත්තන්ගේ දොසට හේතු වන වැරදි නොකරන

සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු  -  සැක, බිය නැති දිවියක් පතන

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා  -  සියලු සත්වයා හට සැප, සතුට පතන

යේ කේචි පාණභූතත්ථි  -  බියටපත් හා තැතිගත් සතුන්ටද

තසා වා ථාවරා වා අනවසේසා  -  කෙළෙසුන් දුරු කළ මහා උතුමන්ටද

දීඝා වා යේ මහන්තා වා  -  දිගු හා මහා සිරුරු ඇති සත්වයෝද

මජ්ඣිමා රස්සකාණුකථූලා  -  මධ්‍යම හා කුඩා සිරුරු ඇති සත්වයෝද

දිට්ඨා වා යේව අද්දිට්ඨා  -  ඇසට පෙනෙන හා ඇසට නොපෙනෙන සත්වයෝද

යේ ච දූරේ වසන්ති අවිදූරේ  -  දුර වෙසෙන හා ළඟ වෙසෙන සත්වයෝද

භූතා වා සම්භවේසී වා  -  ඉපදී ඇති හා ඉපදීමට සිටිනා සත්වයෝද

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා  -  සියලු සත්වයෝ හට සැප හා සතුට පතන්නෙක් ලෙස

නා පරෝ පරං නිකූබ්බේථ  -  කිසිවිටෙකවත් කිසිවෙකුට වංචා නොකර

නාතිමඤ්ඤෙථ කත්ථචි නං කඤ්චි  -  කිසිවිටෙකවත් කිසිවෙකුට අවමන් නොකර

ඛ්‍යාරෝසනා පටිඝ සඤ්ඤා  -  නපුරු වූ දරුණු වූ බස් නොපවසා

නාඤ්ඤ්මඤ්ඤස්ස දුක්ඛමිච්ජේය  -  කිසිවිටෙකත් අන් අයගේ දුකට කැමති නොවේ

මාතා යතා නියං පුත්තං  -  මවක් තම එකම පුතු

ආයුසා ඒකපුත්තමනුරක්ඛේ  -  තම ජීවිතය පුදා හෝ රකින්නේ යම් සේද

ඒවම්පි සබ්බභූතේසු  -  එසේම ලොව සියලු සත්වයන් කෙරෙහි

මානසං භාවයේ අපරිමාණං  -  අප්‍රමාණව මෙත් සිත වඩන්නේ ය

මෙත්තං ච සබ්බලෝකස්මින්  -  ලොව සියලු දෙනා හට

මානසං භාවයේ අපරිමාණං  -  අප්‍රමාණව මෙත් සිත වඩන්නේ ය

උද්ධං අධෝ ච තිරියඤ්ච  -  උඩ යට හරහට යන සෑම දිසාවකටම

අසම්බාධං අවේරං අසපත්තං  -  බාදාවකින් තොරව අවෛරීව මෙත් සිත වඩන්නේ ය

තිට්ඨං චරං නිසින්නෝ වා  -  සිටගෙන සිටිනා විටද ඇවිදින හා හිඳගෙන සිටිනා විටද

සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ  -  නින්දට ගිය විටදී ද, නින්ද යනතුරු ද

එතං සතිං අධිට්ඨෙයය  -  සතියෙන්, සිහියෙන් ජීවත්වේ

බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු  -  භ්‍රහ්ම විහරණයෙන් පසුවේ

දිට්ඨීඤ්ච අනුපගම්ම සීලවා  -  නිවැරදි දැකීමෙන් යුතුව, සීලවන්තව

දස්සනේන සම්පන්නෝ  -  සෝතාපන්න මාර්ගය දක්නා නුවණින් යුතුව

කාමේසු විනෙයය ගෙධං  -  කම්සැපට නොඇලෙන්නාවූ හෙතෙම

නහි ජාතු ගබ්බසෙයන් පුනරේතී’තී  -  ඒකාන්තයෙන්ම නැවත මව් කුසකට නොපැමිණේ

ඒතෙන සච්චේන සුවත්ති හොතු  -  මේ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා !

මෛත්‍රී භාවනාව කිරීම ගැන දැක්වෙන විස්තර කියවීමට මෙතනින් Ø


Saturday, September 25, 2021

බක්කුල මහරහතන් වහන්සේ

ගෞතම බුදු සසුනේ ආශ්චර්යමත් මහරහත් ජීවිත කතා අතරින් බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතයද සුවිශේෂී එකකි. උන්වහන්සේ කිසි දිනෙක ආහාරපාන හැරුණු කොට ඖෂධ යයි කියනා කිසිවක් ලබාගෙන නොමැත. ඒ පමණක් නොව උන්වහන්සේ කිසිකලෙක ලෙඩවීද නොමැත. පුරා අවුරුදු එකසිය හැටක් ආයු වැළඳූ උන්වහන්සේ එක දිනකවත් හෙම්බිරිස්සාවකින් හෝ පීඩා විඳ නොමැත.

අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට සමයේ බක්කුල හිමියෝ බ්‍රාහ්මණයෙක්ව උපත ලබා සිටියේය. බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා පැවිදි වූ මේ  බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ හට බෙහෙත් පූජාවක් කරගැනීමටද අවස්තාව ලැබිණි. මෙසේ අනෝමදස්සී බුදුන් දවස මහා පුන්‍යකර්ම සිදුකර සුගති සම්පත් ලබා පදුමුත්තර බුදුන් දවසද මනුලොව ඉපදී ඒ ලෙසම කුසල් මාර්ගයේ ගියේය. විපස්සී බුදුහිමියන් දවසද මනුලොව ඉපද ගිහි ජීවිතයෙන් බැහැර වී හිමාල අඩවියේ තපස් රකිමින් කාලයක් ජීවත් විය. ඒ සමයේද භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සඟ පිරිසකට බෙහෙත් ආදිය පූජා කරමින් උතුම් පිංකම් කරගත්තේය. එලෙසම කාශ්‍යප බුද්ධ සාසනය පහළ වූ කළද යහමගෙහි යෙදුනි. ඒ ලැබූ සියලු කුසලානුභාව බලයද එකතුවෙන් ගෞතම බුදුන් පහළ වන සමයේ දඹදිව එක් දන්වත් සිටුකුලයක උපත ලැබීය.

මේ කුමාරයා උපත ලැබූ දින සිට නිවසට බොහෝ ලාබ සම්පත් ලැබෙන්නට විය. ඒ නිසා දෙමව්පියන් මේ පින්වත් දරුවා දීර්ඝායුෂ ලැබීම සඳහා එම කාලයේ කළ පිළිවෙතක් අනුගමනය කිරීමට සැරසිණි. එය නම් යමුනා නදියේ ජලයෙන් දරුවා නෑවීමයි. නාවන මොහොතේ අත් වැරදීමකින් දරුවා වතුරට වැටී විශාල මාළුවෙකුට ගොදුරු විය. නමුත් දරුවාගේ පුණ්‍ය තේජස නිසා ඒ මාළුවා වෙන ගම් පිරිසකගේ මාළු දැලකට හසුවිණි. මේ විසාල මාළුවා මිලදී ගත් ගම් සිටුවරයෙක් එය ගෙනත් බිරිඳට දුන්නේය. ඇය මාළුවා කපා සුද්ද කිරීමට සැරසෙද්දී නිරුපද්‍රිත දරුවා හමුවිණි. භාරකාරයෙක් නොමැති නිසා රජු හමුවට දරුවා ගෙන ගිය දෙදෙනාට දරුවා ඇති දැඩි කරන්නට රජතුමා අවසර දුනි. සිටුපවුලට දරවන්ද නොමැති නිසා දෙදෙනා එයට කැමති විය. මෙසේ කාලයක් ගිය පසු දරුවා බිහිකළ දෙමව්පියන් හට මේ ආරංචිය දැනගන්නට ලැබී ඔවුන් පැමිණ දරුවා ඉල්ලා සිටියහ. ඇතිදැඩි කළ සිටුපවුල මෙයට අකමැති විය. ඒ නිසා මේ ගැටළුව විසඳා ගැනීමට දෙපිරිසම රටේ රජු හමුවට ගියහ. රජුගේ තීරණය මත දරුවා බිහි කළ දෙමව්පියන්ටත්, දරුවා ඇතිදැඩි කළ දෙමව්පියන්ටත් සමසමව අයිතිය තීන්දු විනි. තීන්දුවට අනුව කලක් දරුවා බිහිකළ ගෙදරත්, තවත් කලක් දරුවා බේරාගත් ගෙදරත් යන දෙතැනම සුවසේ ඇතිදැඩි වන්නට විය. ඒ නිසා දරුවාට කුල දෙකකින් යුත් යන අර්ථය ඇති බක්කුල යන නම භාවිතා විය. මහත් සැප සම්පත් විඳිමින් සිටි මොහුට අසූවයස් එළඹී කළ බුදුරජාණන් වහන්සේ දේශණා කළ ශ්‍රී සත් ධර්මය ශ්‍රවණය කරන්නට ලැබිනි. සාසනයට ඇලුණු සිතින් යුතුව මේ පින්වත් පුද්ගලයා සියලු සැප සම්පත් හැර දමා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් අති උතුම් පැවිද්ද ලබා ගත්තේය. උන්වහන්සේ පැවිදි කර අවසන් වීමටත් ප්‍රථම පළමු ධ්‍යානය උපදවාගෙන් වාසය කළහ. ඒ එලෙස පැවිදිව සත් දිනක් පමණක් ගොස් උතුම් අරහත් භාවය ලබා ගැනීමට තරම්ද උන්වහන්සේ පින්වන්ත විය.

දිනක් උන්වහන්සේගේ ගිහිකල හිතවතෙක් වූ අචේල කස්සප නම් නිරුවත් තවුසා පැමිණ සැපදුක් විමසා සිටියේය. මේ කාලය වන විට උන්වහන්සේ ගිහිකල අවුරුදු අසූවකුත්, පැවිදි වී අවුරුදු අසූවකුත් ගත කළ සිටියේය. එනම් උන්වහන්සේ ගතකල සම්පූරණ වර්ෂ ප්‍රමාණය අවුරුදු එකසීය හැටකි. ඒ උන්වහන්සේ පිරිණිවන් පෑමට ආසන්න කාලය විය. කස්සප තවුසා කතාබස් කරමින් සිටියදී “ඔබ මේ අසූ වයස් පැවිදි ජීවිතයේ කාමහි කී වතාවක් යෙදී තිබෙනවාද? ” යැයි උන්වහන්සේගෙන් විමසා සිටියේය. එවිට උන්වහන්සේ “ඔබ අසූ ප්‍රශ්නය වැරදි... ඇසීය යුත්තේ කී වතාවක් මා හට කාම සංඥාව ඇතිවී ඇත්තයි ලෙසයි” යැයි කියමින් එයට පිළිතුරු ලෙස “මා හට ශ්‍රමණ දිවියේ එකඳු කාම සංඥාවක්වත් ඇතිවී නැතැයි” කියා සිටියේය. ඒ වාගේම කස්සප බමුණා උන්වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්න පෙලක් අසද්දී තම දිවියේ සුවිශේෂී අද්භූත ලක්ෂණ බොහෝ ගණනක් දක්වමින් ඒවාට පිළිතුරු ලෙස ලබා දුන්හ. එයින් කීපයකි මේ -

මගේ පැවිදි අසූ වයස තුළ ගිහියෙක් දුන් කිසිඳු සිවුරක් පිළිගත් බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ ඉඳිකටුවකින් සිවුරක් මැසූ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ සිවුර පඬුවලින් පඬු පෙවූ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ ආරාධනා කළ දානයක් භාරගෙන නොමැත.

මගේ පැවිදි අසූ වයස තුළ ගෙයක් ඇතුළකට ගිය බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ කාන්තාවකට සතර පද ගාථාවකින් හෝ දහම් දෙසූ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ සාමනේර හිමියෙකුට ලවා හෝ උපස්ථානය කරගත් බවක් මතක නැත.

මගේ මුළු ජීවිතය තුළම සුළු මොහොතක් හෝ අසනීප වූ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ කිසිවෙක් පවිදිකළ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ ඇඳක පිට හාන්සිකර බවක් හෝ නිදාගත් බවක් මතක නැත.

මේ ආදී වශයෙන් උන්වහන්සේගේ දිවියේ සියලු සුවිශේෂී අද්භූත කාරණා විස්තර කරගෙන යද්දී සියල්ල අසාගෙන සිටි අචේල කස්සප තව්සා ඒවා අනුමෝදන් විය. ඒ වාගේම ඔහු දහම කෙරේ පැහැදී උන්වහන්සේගෙන් තමාද මහණ කරන ලෙස ඉල්ලා සිටියේය. නමුත් උන්වහන්සේ කස්සපව පැවිදි නොකළහ. ඒ උන්වහන්සේ සතු අද්භූත ලක්ෂණ හේතුවෙනි. ඔහු බුදුහිමියන් සමීපයට ගොස් මහණ වීර්ය වඩා නොබෝ කලකින්ම බක්කුල මහරහතන් වහන්සේ සේ ඒ උතුම් නිවණ සාක්ෂාත් කළේය. එසේ උතුම් හුදකලාවේ වාසය කළ බක්කුල හිමියෝ දිනක් තම ආයුෂය අවසන් බව දැන සියලු සඟ පිරිස අමතා තමා පිරිනිවන් පාන බව උන්වහන්සේලාට පවසා සිටියහ. එසේ පවසා තමා ගිහි කලාවත්, පැවිදි කලාවත් කිසිවෙකුට භාදාවක්, හිරිහැරයක් නොවූ බව පවසා තම පිරිනිවීමද එසේ ම සිදුවීමට අදිටන් කර ගනිමින් අහසට නැග ඵලක් බැඳ තේජෝ කසිනයට වැදී පිරිනිවීය. ඒ මොහොතේ උන්වහන්සේගේ අධිෂ්ඨානය පරිදි සිරුරින් ගිණි ජාලාවක් පැන නැගී දැවී ගොස් පහනක් නිවී යන පරිද්දෙන් භික්ෂු සඟයා මධ්‍යයේ නිවී ගියේය. නමුත් සත්වයාට හට කරුණාවෙන් උන්වහන්සේ ධාතු පමණක් ඉතිරි කර අපට වන්දනාමාන කරගෙන පින් රැස් කරගැනීමට ඉඩ සලසා දුන්හ.

අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ

 

උන්වහන්සේ  මහා පිනැති භික්ෂුවක් විය. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා මිහිපිට ධර්මාවබෝධය කළ ප්‍රථම මහරහතන් උතුමා උන්වහන්සේය. ඒ නිසා උන්වහන්සේව චිරරාතඤ්ඥ වශයෙන් හැඳින්වූහ. ඒ සඳහා උන්වහන්සේ කල්ප ගණනක සිට පාරමී පිරීය. පදුමුත්තර බුදුන් දවස ගොවි කුලයක උන්වහන්සේ උපත ලැබීය. දිනක් සඟපාමොක් ඇතුළු පිරිස ඉදිරියේ පදුමුත්තර බුදුහිමියන් එක් භික්ෂුවක් අරඹයා පළමුවෙන් ධර්මය අවබෝධ කළ භික්ෂූන් අතරින් අග්‍රස්ථාන ලබනවා යැයි කියා සිටි සේක. එවිට මටත් මෙවන් පදවියක් මතු සසරේ පහළවන සාසනයක ලබන්නට ඇත්නම් යයි සිතමින් මේ තරුණයා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා භික්ෂු පිරිසට සතියක් දානමානාදි පුදසත්කාර කර සිටියහ. දින සත අවසානයේ බුදුහිමිගේ දෙපා වන්දනා කරමින් තම සිත්හි ඇති පැතුම බුදුහිමියන් වෙත සැල කර සිටියේය. එවිට පදුමුත්තර හිමියන් මතු අනාගතය බලා එය ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුනේ සඵල වන බව වදාරමින් විවරණ ලබා දුන් සේක. එතැන් පටන් බොහෝ පිංකම් සිදුකරමින් පදුමුත්තර බුදුහිමියන් පිරිනිවී වදාළ තැන උන්වහන්සේගේ ඒක ඝනවූ උතුම් ධාතූන්ටද විවිධ පුද සත්කාර කර මහා පින් රැස් කරගත්තේය. විපස්සී බුදුන් දවස උන්වහන්සේ ඇතුළු සඟ පිරිසටද දින ගණනාවක් ඉතා උසස් අයුරින් දන් පැන් පූජා කර මහත් පුණ්‍යස්කන්ධයක් රැස් කරගෙන දෙව් මිනිස් සැප බොහෝ ලබමින්  පැමිණ අවසාන ආත්මභාවයේ කොණ්ඩඤ්ඤ යන නමින් බමුණු ගමක උපත ලැබීය. තරුණ වයසින්ම ත්‍රිවේද සම්පූර්ණ කර බොහෝ දෙනාගේ පැසසුමට ලක්වන බමුණෙක් බවට පත් වුහ. මෙසේ කලක් යෑමේදී සුද්දෝධන රාජ මාලිගයේ පින්වත් කුමරෙක්ගේ ඉපදීම නිසා ඒ කුමරාගේ නම් තැබීමේ උත්සවයට බමුණන් එකසීය අටකට ආරාධනා යවා තිබිණි. ඒ අතරට  කොණ්ඩඤ්ඤ බමුණාද විය. එයින් බමුණන් සත් දෙනෙක් මේ කුමරා සක්විති පදවිය ලබනවා හෝ බුදුබව ලබනවා හෝ යන කාරණා දෙකකින් එකක් නියත වශයෙන්ම සිදුවනවා යැයි ඇඟිලි දෙකක් ඔසවමින් ප්‍රකාශ කර සිටියහ. නමුත් මහා පින්වත් මේ කුමාරයාගේ දෙබැම මැද ඇති ඌර්ණ රෝම ධාතුව මානව දැකගත්  කොණ්ඩඤ්ඤ බමුණා පමණක් එක් ඇඟිල්ලක් ඔසවමින් නියතයෙන්ම මේ කුමරුවා මතු බුදුවනවා යැයි ප්‍රකාශ කර සිටියේය.

සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්ම බුදුබව ලබාගැනීම උදෙසා අත්තකිලමතානුයෝගී එනම් දැඩිව සිරුරට දුක් දෙමින් සිටි කාලයේ උන්වහන්සේට උපස්ථාන කළේ ද මේ කොණ්ඩඤ්ඤ තව්සා ප්‍රධාන පස් පිරිසය. ඒ පිරිසේ අනෙක් සතර දෙනා නම් එදා සිද්ධාර්ථ කුමරුගේ නම් තැබීමේ උත්සව දවසේ ඇඟිලි දෙකක් එසවූ බමුණු සත් දෙනාගෙන් සතර දෙනෙකුගේ දරුවන්ය. ඒ බමුණු සතර දෙනාගේ දරුවන් නමින් වප්ප, බද්ද්දිය, මහානාම හා අස්සජි ය. සිද්ධාර්ථයන් වහන්සේ දැඩිව සිරුරට දුක් දෙන ප්‍රතිපදාවෙන් බැහැරවූ කළ මේ පස් පිරිස ඒ උපස්ථාන ආදියෙන් බැහැර වූහ. මන්ද එදා සාමාජයේ මතයක් ව පැවතියේ නිවනක්, නිෂ්ඨාවක් දකින්නට නම් සිරුරට දුක් දිය යුතු බවය. දුක් විඳ එය ලබාගත යුතු බවය. නමුත් වෙසක් දින පස් මාරයන් පරදා මැදුම් පිළිවෙත ලොවට හෙළි කරමින් බුදුවූ ගෞතමයන් වහන්සේගේ ප්‍රථම දහම් සක ප්‍රවර්තනය අසා සිටීමට තරම් මේ පිරිස මහා පිංවන්තයින් වූහ. එයිනුත් පළමුවෙන්ම මාර්ගඵලයන් ලබා ගැනීමට තරම්, දහම වටහාගැනීමට තරම් කොණ්ඩඤ්ඤයන් වහන්සේ අතිශය පින්වත් වූහ. පාරමී පූරණය කර සිටියහ.

කල්යත්ම සාසනය පුළුල් වී අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, අසූමහ ශ්‍රාවකයන් වහන්සේලා පහළ විය. ඒ අනුව දානයක්, බණක් වැනි අවස්ථාවක බුදුහිමියන් පසුප දෙපසට වෙන්නට පිළිවෙල අනුව අග්‍රශ්‍රාවකයන් දෙනමට සිටින්නට සිදුවේ. එවිට සැරියුත් හිමියන් හා මුගලන් හිමියන් දෙනම තමන් පිටුපසින් කොණ්ඩඤ්ඤයන් වහන්සේ සිටීම ගැන යම් අසතුටක්, පැකිළීමක් දැකවූහ. ඒ උන්වහන්සේට ඇති මහත් ගෞරවය නිසාය. සියලු රහතන් වහන්සේලා ඇතුළු භික්ෂු පිරිසද කොණ්ඩඤ්ඤයන් වහන්සේ හට මහත් ගෞරවයෙන් කටයුතු කළහ. ඒ උන්වහන්සේ දහම අවබෝධ කරගත්, දහම හද මඩලේ තැන්පත් කරගත් ප්‍රථම උත්තමයා වූ නිසාය. කොණ්ඩඤ්ඤ හිමිද අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමගේ මේ කාරණය දැන ගෙන සිටි නිසාත්, සමාපත්තීන්ට සමවැදී කඟවේනෙක් මෙන් පිරිසෙන් වෙන්ව, විවේකීව සිටීමට තමා තුල ඇති කැමැත්ත නිසාද උන්වහන්සේ බුදුහිමියන්ගෙන් අවසර ගෙන හිමාල වනය ආසන්නයේ ඇති මිනිසුන්ගේ ගැවසීමෙන් තොර, පාරිශුද්ධ භූමියක් වූ, පෙර පසේ බුදුවරුන් පමණක් ජීවත් වූ ඒ සද්දන්ත වනයට වැඩම කළහ. වැඩම කර එහි වාසය කරමින් වනයේ සෘධිමත් හස්තීන්ගේ උවැටන්, පුදසත්කාර මනාව ලැබූවේය. වැඩ වාසය කරන කුටිය අවට පිරිසිඳු කරමින්, පලතුරු වැළඳීමට ලබා දෙමින්, සක්මන් මලු සකසා දෙමින් ආදී විවිධ කරමින් මේ හස්තීන් උන්වහන්සේව බලා කියා ගත්හ. ඒ වාගේම වනයට අධිගෘහිත නාගදන්ත දේවතාවාගෙන්ද අපමණ සත්කාර කොණ්ඩඤ්ඤයන් වහන්සේ ලැබුවේය. එසේ ලබමින් උන්වහන්සේ නිහඬ උත්තමයකුගේ ජීවිතයක් ගත කළේය.

උන්වහන්සේ තම පිරිනිවීමට කාලය එළඹ ඇති බව දැනගත් මොහොතේ එය බුදු හිමියන් හට පවසා අවසර ලබා ගෙනා ඒමට සද්දන්ත වනයෙන් බුදුහිමියන් වෙත වැඩම කළේය. වැඩම කර බුදු හිමියන්ගේ දෙපා නමස්කාර කරමින් “බුදු හිමියනි, මම කොණ්ඩඤ්ඤයන් වෙමි..” යනුවෙන් සඳහන් කරමින් පැමිණ සිටි කාරණය කියා සිටියේය. කොණ්ඩඤ්ඤයන් වහන්සේ මේ ලෙස බුදුහිමියන් සමීපයට පැමිණියේ අවුරුදු දොලොසකට පසුවය. බුදුහිමියන් උන්වහන්සේ හට ඒ සඳහා අවසර ලබා දෙමින් කොහි පිරිනිවන් පාන්නේ දැයි අසා සිටි සේක. එවිට උන්වහන්සේ “හිමියනි, අවුරුදු දොළොසක් තිස්සේ මා හට උපස්ථාන කළ හස්තීන්ට අනුග්‍රහ පිණිස සද්දන්ත වනයේම” යැයි කියා සිටියහ. ඉන්පසු යලි වනයට වැඩි උන්වහන්සේ තම කුටියට සැපත්ව එහි පිරිනිවන් පෑහ.

කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ මේ පිරිනිවීම නොදත් හස්තීන් උදෑසන කුටිය අසලට වී උන්වහන්සේ එලියට වඩිනතුරු බලා සිටියහ. නමුත් එක් සත්වයෙක් උන්වහන්සේ නොවඩිනා නිසා කුටිය විපරම් කළේය. දේහය නිසලව තිබෙනවා දැක, හොඬවැලද සිරිරට තබා බලා උන්වහන්සේ කය අතහැර ඇති බව තේරුම් ගෙන සියලු සත්වයන් සමග සෝක වෙමින් අවසන් පුදසත්කාර කරන්නට යෙදුනි. මේ බව දැනගත් දෙවිවරුන්ද පැමිණීම අවසන් ගෞරව කර සිටියහ. ඒ වාගේම පැමිණි දෙවිවරුන් හා සෘධිමත් හස්තීන් දෙපිරිසගේ එකතුවෙන් උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරුණි. ඒ මොහොතට අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලාද වැඩම කළහ. දෙවිවරුන් සෑදු උන්වහන්සේගේ සඳුන් චිතකය දැවී ගිය පසු ඉතිරි වූ ධාතුන්ද රැගත් රහතන් වහන්සේලා පිරිස භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කර ඒ ධාතු භාග්‍යවතුන් වහන්සේ හට ලබා දුන්හ. එවිට කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ගුණ පෙන්වා දෙමින් බුදුහිමියන් ශ්‍රී හස්තය දිගු කර සෘධියෙන් ධාතු ගැබ් කර සෑයක් කළ සේක. එසේ අප ශාස්තෘන්ගේ සාසනයේ පළමු සඟරත්නය, පළමු රහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් පිරිනිවී වදාළහ.


Friday, September 24, 2021

බුදු පියාණනේ..

බුදු පියාණනේ

ඔබේ පාද කරනෙමි පිනිපා

 

පියෙන් පියට මිහිකත සනහා

බැලූ බැලූ නෙත් සිත් බඳවා

දහම් අමාවෙන් තිලොව තෙමූ

 

බුදු පියාණනේ

ඔබේ පාද කරනෙමි පිනිපා...//

 

සසර සයුරකට නෞකාවයි

නිමල අමිල නෙත් සිලිලාරයි

ලොවේ අනගි ගුණදම් මුහුදයි

 

බුදු පියාණනේ

ඔබේ පාද කරනෙමි පිනිපා...//

 

හිමියනි ඔබෙ මොක් මග හමුවේ

හැදෙමි බැඳෙමි නැහැවෙමි නිබඳේ

තිලෝ තිලක සම්බුදු සමිඳේ

 

බුදු පියාණනේ

ඔබේ පාද කරනෙමි පිනිපා

 

පද වැල් - විජේතිලක රත්නායක

සංගීතය - සෝමතිලක ජයමහ

ගායනය - සෝමතිලක ජයමහ

ළා දළු බෝපත්

 

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ

යසෝදරා දේවි..

වාවනු බැරි තැන රහසේ හැඬුවා

පෙර සංසාරේ ඇසුර මතක් වී

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ

 

ලේන කුලේ සිට ආගිය මග තොට

සිටියා නොසැලෙන පහන් ටැඹක් වී

නිවන් දකින තුරු මේ සංසාරේ

පසු පස ආවා සෙවණැල්ලක් සේ

 

ළා දළු බෝපත්...

 

තැලී සෙනේ සිත සැලී හඬන විට

වැටී දෙපා ළඟ යසෝදරාවෝ

පිපී නිවන් මල් සාධුකාර දී

නිවී පහන් විය උදෑසනක් සේ

 

ළා දළු බෝපත්...

 

පද වැල් - රඹුකකන සිද්ධාර්ථ හිමි

සංගීතය - H. M. ජයවර්ධන

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ