භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Friday, July 21, 2023

අසහාය ශ්‍රේෂ්ඨතම සමාජ සේවකයාණන් වහන්සේ


 අසහාය ශ්‍රේෂ්ඨතම සමාජ සේවකයාණන් වහන්සේ - අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ

සිංහල බෞද්ධයා 1968.05.10 ප්‍රඥාප්‍රභා 6

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

 

ලෝකයෙහි විසූ ශ්‍රේෂ්ඨතම අසහාය සමාජ සේවකයාණෝ බුදුරජාණන් වහන්සේ යයි කිව යුතු ය. උන්වහන්සේ බුදු වී සත්සති ගෙවා බරණැස ඉසිපතන්හි දම්සක් පවත්වා පස්වග මහණුන් නිවන් දැක් වූ තැන් පටන් අවුරුද්දකට නව මසක් හෝ අට මසක් හෝ සත් මසක් හෝ ගමින් ගමට ඇවිදිමින් ගිය ගිය තැන සුළු වේලාවකට වඩා විවේක නොගෙන තමන් සුව නො තකා අනුන් සුව සඳහා වැඩ කළ සේක. ආගම්, රාෂ්ට්‍ර, ජාති, කුල ආදී කිසිදු භේදයක් නොසැලකූ බුදුරජාණන් වහන්සේ හැම දන හට එක සේ මෙත් සිතින් සෙත් කළහ.

මෙසේ අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ ස්වල්ප වූ ද ලාභයක් පුද සත්කාරයක් කීර්ති ප්‍රශංසාදියක් නො තකා, ''මේ සත්ත්‍වයන් දුකන් මුදවන්නෙමි, සුඛිත මුදිත කරවන්නෙමි" යි යන කරුණා මෛත්‍රී පෙරදැරි සිතින් ආදර්ශයත් සමඟ කළ අනුශාසනා වලින් ජන සමාජයට සිදු වූ සේවය, සැලැසුණු ශාන්තිය අතිවිශාලය.

බුදුරජාණන් වහන්සේ අනුශාසනා වලින් රට වැසියා සසර දුකින් මිදුණා පමණක් නො ව එසේම අගුණ දුර්වලකම් අඩු කැරැ ගනිමින් ගුණ නුවණ දියුණු කැරැ ගත්තා පමණක් නො වැ නොයෙක් ලෙසින් සමාජයට සෙත සැලැසිණ. මිනීමරුවෝ සාහසික ක්‍රියා අත් හළහ. නොයෙක් ලෙසින් නොයෙක් වෙසින් වූ අපරාධකරුවෝ අපරාධ හළහ.

එසේ ම ඒ අනුශාසනා වලින් ගිහියෝ ගිහිකම්හි ද පැවිද්දෝ පැවිදිකම්හි ද හොඳින් යෙදුණහ. රජවරු රාජසභා දියුණු කැරැ ගත්හ. මැති ඇමතිවරු නමින් නො වැ ක්‍රියාවෙන් ම ගුණයෙන්ම ජනනායකයෝ වූහ. ගම් වඩන්නෝ ගම්සභා දියුණු කැරැ ගත්හ. මවුපියවරු දරුවන් ලැබීම මාත්‍රයෙන් නො වැ නියම ගුණයෙන්ම මවුපියෝ වූහ. ස්වාමි පුරුෂවරු ද භාර්යාවෝ ද ඉන්ද්‍රියයන් පිණවන අදහසින් නොවැ රටට ජාතියට භාෂාවට හා ආගමට වැඩ ඇති දරුවන් ලැබීමේ පරමාධ්‍යාශයෙන්ම ස්වාමි පුරුෂයෝ භාර්යාවෝ වූහ.

ඥාති මිත්‍රයෝ කතාවෙන් හිනාවෙන් ගනුදෙනුවෙන් පමණක් නොවැනියම ඥාති ධර්මයෙහිම පිහිටිය හ. සමාජ සේවකයෝ වේදිකාවන්හි බෙරිහන් දීමෙන් පමණක් නො නැවතී ලොකුකම ලොකු නම් ලොකු තනතුරු ගැන නොබලා කීර්ති ප්‍රශංසාදියට වහල් නොවී රට වැසියා සුඛිත මුදිත කිරීමේ අදහසින් ම ක්‍රියා කළහ. ජනතාව ලොවි ලොවුතුරා දියුණුවේ මඟ පමණක් නො වැකන - බොන - යන - එන - කතා කරන - හිනා හෙන සැටි පවා ඉගෙන ගත්හ.

බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ආදර්ශයත් සමඟ වූ අනුශාසනාවෙන් ම ජන සමාජයට සිදු කළ සේවය ස්වල්පද? මෙතරම් සේවයක් මේ ලොවැ වෙන කවුරුන් හෝ කැරැ තිබෙනුවා දැයි සලකා බලන්න. එසේම උන් වහන්සේ සේවය කළ විශේෂාකාරය ගැන ද සිතා බැලිය යුතු වේ.

දිනක් ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා, " ඔබ වහන්සේ කවරෙක් දැයි බුදුරජාණන් වහන්සේගෙන් ඇසී ය. " බ්‍රාහ්මණය, උපුලක් හෝ පියුමක් හෝ පුණ්ඩරීකයක් හෝ ජලයෙහි හට ගත්තේ ජලයෙහි වැඩුණේ ජලයෙන් උඩට නැගි ජලය හා නො ගැටී වාසය කරමි. මම බුදුවෙමි යි වදාළහ. බුදුරජාණන් වහන්සේ සමාජයට සේවය කළේ සමාජය හා ඇලී ගැලී ගැටී නොවන බව මෙයින් මැනවින් පැහැදිලි වේ.

ලොවැ ශ්‍රේෂ්ඨතම සමාජ සේවකයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අප ගිහි පැවිදි බෞද්ධයන් විසින් සමාජ සේවය කළ යුතු ම යි. ගිහි පක්‍ෂයට සමාජ සේවය කළ හැකි නොයෙක් ආකාර ඇත ද භික්ෂූන් වන අප එය කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ කළ ආකාරයට ආදර්ශයත් සමඟ වූ අනුශාසනාවෙනි.

ඈත අතීතයේ පටන් ජන සමාජය පිරිහීම් මුඛයෙන් මුදා නිවැරදි දියුණුවෙහි යෙදීමේ මූලික වැ අනුශාසනා කළාහු භික්ෂූන් වහන්සේ මය. මුළු භික්ෂු ජීවිතය ම සමාජ සේවයට කැප වූවෙකි. ගිහි භවතුන් සමාජ සේවය කරන්නේ එක්තරා කාල පරිච්ඡේදයක් ඇතුළත පමණ ය. භික්‍ෂූන් වහන්සේ පැවිදි වූදා පටන් අපවත් වන දා දක්වා මත් සමාජයට සේවය කරන්නෝ ය. පැවිදි වු දාමත් දායක වරුන්ගේ දානයට වඩිති. එතැන් පටන් සැමදා මත් කරන්නේ මහජනයාගේ කටයුතු මයි. බලවත් රෝගයක් නැත්නම් අපවත් වන දාත් එය එසේ ම ය. එය එසේ වුවද බොහෝ භික්ෂූන් වහන්සේ ඉගෙනීම ලබන්නෙත් මහත් කරදරයෙනි, ජීවත් වන්නෙත් මහත් පීඩා සහිතවය. මුළු ජීවිතය පුදා කරන හොඳ වැඩ සඳහා ලැබෙන ප්‍රශංසාදියට වඩා එක දවසකදී සිදු වූ ප්‍රමාද දෝෂයට සමාජයෙන් නින්දා චෝදනා ලැබෙයි. එය ස්වභාවික සිද්ධියෙකි. බුදුරජාණන් වහන්සේටත් එය එසේ ම ය. භික්‍ෂූන් වන අප හට ඒවාට නො කළකිරී සමාජ සේවය කළ යුතු ම ය. එහෙත් කවර තරමේ සමාජ සේවයක් වුව ද කළ යුත්තේ තමාගේ මහණ කමත් රැක ගෙනමය. සියලු දුකින් මිදී නිවන් සුව පසක් කරනු සඳහා ය යන පැවිද්දේ පරමධ්‍යාශයට බාධාවක් නොවන පරිදි ම ය.

ධර්මය ඉගැන්වීම භික්ෂූන් වහන්සේගෙන් සිදුවිය යුතු උසස් ම සේවයකි. සෑම පාසලකම ධර්මය ඉගැන්වීමට ආගමික අංශය භාර වැ කටයුතු කිරීමට භික්ෂූන් වහන්සේ නමක් පත් වී සිටිනුවා නම් එයින් ඉතා උසස් ප්‍රතිඵල ලබා ගත හැකි වනුවා ඇත. එහෙත් එය කළ යුත්තේ රජයේ සේවකයකු වශයෙන් නොවැ අනුශාසකයකු වශයෙනි. ගුරු කම්, වෙද කම්, නැකැත් කම්, දේශපාලන කම් කිරීමට ලක්ෂ ගණන් ජනයා සිටිති. මහණ කම් කරන්නට සිටින්නෝ පහළොස් දහසක් තරම වන අපි ටික දෙනා පමණය. මේ මහණ කම අප නො කළොත් කරන්නට වෙන කෙනෙකුත් නැත. භික්ෂූන් නැති වූවෝත් ශාසනයක් නැත. මේ කරුණ හොදින් නුවණින් සලකා බලා භික්‍ෂූන් වන අප බුදුරජාණන් වහන්සේ අනුගමනය කෙරෙමින් සමාජ සේවය කරන්නටත් ගිහි පින්වතුන් එයට සියලු පහසුකම් සලසා දෙන්නටත් තරයේ ම ඉටා ගන්නේ මැනවි. ගිහි භවතුනට සමාජ සේවය කළ හැකි ක්‍රම බොහෝ ය.

සමාජ සේවය තුන් ආකාරයකට බෙදිය හැකි ය.

1. සමාජයට අපකාර නොකිරීම,

2. උපකාර කිරීම,

3. තමන් යහපත් වීම.

සමාජයට අපකාර - කරදර නොකිරීම උසස් සේවයකි. බෝධිසත්ත්ව ගුණයෙකි. අන්‍යයනට කරදර නොවන පරිදි කතා කිරීම, ක්‍රියා කිරීම, ජීවිතය පැවැත්වීම උසස් සමාජ සේවයකි. අන්‍යයනට කරදර නොවන පරිදි ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියා කරවීම, පාරේ ගමන් කිරීම, රිය පැදවීම, පාඩම් කිරීම, සෙල්ලම් කිරීම උසස් සමාජ සේවයකි. වැදගත් මහත්මයකු සේ අන්‍යයනට කරදර නොවන පරිදි කෙළ ගැසීම පවා බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ සැටි සිහියේ තබා ගත යුතුවේ. මහජනයාට උපකාර කිරීම මුදල් වියදමෙනුත් කළ හැකි වෙයි. මුදල් නැති වත් කළ හැකි වෙයි. මහජනයා යන එන රැස්වෙන තැන්වල වැටී තිබෙන කටු අතු, වීදුරු කටු, ගල් මුල්, අඹ ලෙලි, කෙහෙල් ලෙලි ආදිය බැහැරට දැමීම දුප්පත් පොහොසත් ලොකු කුඩා කාටත් කළ හැකි සමාජ සේවා ය. පාර වැරදී සිටින්නෙකුට පාර කියා දීම, ගිලන් හල, බෙහෙත් හල, දුම්රිය පළ, පොලිසිය ආදිය සොයන කෙනෙකුට එය කියා දීම, දුප්පත් අසරණයනට උපකාර කිරීම උසස් සමාජ සේවාය.

පාරවල් තැනීම, ඒ දඬු දැමීම, ගිලන් හල් තැනීම්, බෙහෙත් වැවීම, සෙවණ පිණිස ගස් සිට වීම, පින් පැන්තාලි තැබීම, නවාතැන් හල් තැනීම, මහජනයාගේ සුව පහසුව සඳහා මල් පළතුරු උයන් වැවීම ඉතා උසස් සමාජ සේවා ය. මෙකල ප්‍රසිද්ධ ව තිබෙන විවිධ ශ්‍රමදාන කටයුතු ද මීට ඇතුළත් වේ. තමන් ගුණවත් වීම ද, යහපත් වීම ද උසස් සමාජ සේවයකි. සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු කේළාම් හිස් වචන පරුෂ වචන නො කීම, මත් පැන් නො බීම, සුදුවෙහි නො යෙදීම, ක්‍රෝධ නො කිරීම, ඊර්ෂ්‍යා නො කිරීම ද උසස් සමාජ සේවා ය.

ආගම හොඳින් ඇදහීම, සිල් රැකීම, භාවනා කිරීම, දෙමාපියන් වැදීම පිදීම, ගුරුවරුන් වැඩිහිටියන් හට සැලකීම, සහෝදර සහෝදරියන් හට ප්‍රිය මනාප වැ සිටීම, නෑදෑ හිත මිතුරන් සමඟ සමගියෙන් විසීම, සියලු දෙනාට ම මෛත්‍රී කිරීම ද ඉතා උසස් සමාජ සේවාය.

ශ්‍රේෂ්ඨතම සමාජ සේවක බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වන අප බෞද්ධයන් සමාජ සේවයෙහි තව තවත් යෙදිය යුතු වේ.

Tuesday, July 18, 2023

කථා කිරීමේ නිදහස

නූතන වෙළඳපොල ආර්ථිකය තුළ කථා කිරීම සඳහා මුදල් අය නොකිරීම ගැන මම පුදුම වෙමි. මුදල් හිඟයකින් පෙළෙන කිසියම් රජයක්, වචන තවත් වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා ඒ සඳහා බද්දක් අය කිරීම යම් දිනක් සිදුවනු ඇත.

කල්පනා කර බලන විටා, එය බොළඳ අදහසක් නො වන බව පෙනේ. එවිට නිහඬ බවෙහි වටිනාකම ඉතා ඉහල යයි. ගැටවරයින්ගේ දීර්ඝ දුරකථන සංවාද නිසා, දුරකථන මාර්ග තව දුරටත් අවහිර නොවනු ඇත. තරුණ විවාහකයින්ට තර්කයක වියදම දරාගත නොහැකි බැවින්, ඒ විවාහ දිගු කලක් පවතිනු ඇත. කාලයක සිට දීර්ඝ පිළිසඳර වලට සවන් දීමෙන් බිහිරි තත්වයට පත් අයට නොමිලේ ශ්‍රවණාධාර ලබා දීමට හැකි වන පරිදි රජයේ ආදායම වැඩි කිරීමට ඔබේ මිතුරන් බඩු ගෙවීමෙන් දායක වීම සහනයක් වනු ඇත. කථා කිරීම සඳහා වූ බඩු ක්‍රමයට උපරිම දායකත්වය, දේශපාලනඥයින්ගෙන් ලැබෙනු ඇත. ඔවුන් පාර්ලිමේන්තුවේ දී වැඩි වැඩියෙන් තර්ක කරන විට, රෝහල් සහ පාසල් සංවර්ධනය සඳහා වැඩි ආදායමක් බඩු වශයෙන් ලැබේ.

අවසන් වශයෙන් එබඳු බදු ක්‍රමයක් ප්‍රායෝගික නො වේ යයි සිතා, ඊට එරෙහිව තර්ක කිරීම සඳහා බදු ගෙවීමට ඉදිරිපත් වන්නේ කවුද..? 

Saturday, July 15, 2023

වාචාල ඉදිබුවා

නිහඬව සිටීමේ වැදගත්කම ළමා වියේ දී ම ඉගෙන ගත් විට, පසු කලක ඇති වන බොහෝ කරදර වළක්වා ගැනීමට හැකි වනු ඇත. අපේ බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණෙන ළමයින්ට, පහත දැක්වෙන කතාන්දරය පවසමි.

එකමත් එක කාලයක, කඳුකර ප්‍රදේශ විලක විලක, වාචාල ඉඳිබුවෙකු වාසය කළේ ය. විල අද්දර පිහිටි උගේ නිවස අසලට සතුන් හැම විටක ම නැවතීමක් නැතිව, දිගින් දිගටම උන් සමග කතා කිරීම පුරුද්දක් විය. ඒ සතුන්ට ඉමහත් හිරිහැරයක් වූ අතර සමහර සත්තු අමනාප වූහ, හුස්ම නො ගෙන එතරම් වේලාවක් ඌට කථා කළ හැකි වූයේ, ඌ ආශ්වාස කළේ කන් වලින් නිසා යයි සතුන් සිතූහ. ඇරත්, ඌ අන් අය පවසන දේට සවන් දීමට, තමන්ගෙ කන් භාවිත කළේ නැත. වාචාල ඉඳිබුවාගේ කරදරයෙන් බේරීම සඳහා, හාවෝ සිය බෙන තුළට රිංග ගත්හ. කුරුල්ලෝ ගස් මුදුන්වලට පියඹා ගියහ. මාළුවෝ දිය යට ගල්පර අතර සැඟවුනහ. ඌ කථා කිරීමට පටන් ගත්තොත්, පැය ගණනක් සවන් දීමට සිදු වන බව සත්තු දැන සිටියහ. මේ නිසා, වචාල ඉඳිබුවාට සිදු වූයේ, පාළු ජීවිතයක් ගත කිරීමට ය. හැම වර්ෂයක ම ගිම්හාන සමයේ දී, සුදු හංස යුවළක් නිවාඩුව ගත කිරීම සඳහා ඒ විලට පැමිණියහ. කාරුණික වූ ඔවුහූ, කැමති තරම් වෙලාවක් තමන් සමග කථා කිරීමට ඉඳිබුවාට ඉඩ දුන්හ. ඉඳිබුවා ද උන්ගේ ඇසුර ප්‍රිය කළේ ය.

ගිම්හාන සමය අවසන් වෙමින්, කාලගුණය සීතල වීමට පටන් ගත් විට, ආපසු සිය නිවෙස් බලා යාමට හංස යුවළ සූදානම් වූහ. ඒ දුටු ඉඳිබුවා හඬන්නට පටන් ගත්තේ ය. සීතල පමණක් නොව, මිතුරන්ගෙන් වියෝවීම ද ඌට වේදනාවක් විය.

“මට පුළුවන් ද, ඔබ සමග යන්න...?” සමහර විට, කඳු බෑවුම ද, මගේ විල ද හිමෙන් වැසී යනවා. සීතල දරා ගන්න බැහැ. ඒ වගේම, මට හරි පාළුයි. ඉඳිබුවන්ට පියාඹන්න බැරි නිසා, සුළු දුරක් යන්නත් විශාල කාලයක් ගත වෙනවා.

කාරුණික හංසයින් තුළ ඉඳිබුවා කෙරෙහි අනුකම්පාවක් ඇති විය.

“හොඳයි ආදරණීය ඉඳිබුවවෝ, අඬන්න එපා. අපට පුළුවන් ඔබ අරගෙන යන්න. හැබැයි, එක පොරොන්දුවක් වෙන්න කැමති නම් විතරයි, අපට උදව් කරන්න පුළුවන්.”

“ඔව්. මම පොරොන්දු වෙනවා” ඉඳිබුවා පැවසුවේ පොරොන්දුව කුමක්දැයි නො දැන ය. “ඉඳිබුවන් හැම විට ම පොරොන්දු රකිනවා නේ. දවස් කීපයකට පෙර, ඉබිකටු වර්ග ගැන හාවාට විස්තර කළා. ඒ වෙලාවෙ මම පොරොන්දු වුණා, නිශ්ශබ්දව ඉන්න උත්සහ කරන්නම් කියලා. ඉතින්...”

පයකට පසු ඉඳිබුවා කථා කිරීම නතර කළ විට, හංස යුවළ මෙසේ පැවසූහ.

“ඉඳිබුවෝ, කට පියාගෙන ඉන්න, ඔබ අපට පොරොන්දු විය යුතුයි.”

“සුළු දෙයක්, ඇත්ත වශයෙන් අපට කට පියාගෙන ඉන්න පුළුවන් බව කවුරුත් දන්නවා. ඊයේ හවස මාළුවට ඒ බව විස්තර කළා...”

තවත් පැයකට පසු, ඉඳිබුවා කථා කිරීම නතර කළ විට, දිග කෝටුවක මැද තදින් සපා ගෙන, කට පියා ගෙන සිටිය යුතු බව හංස යුවල පැවසූහ.

හංසයා කෝටුවේ එක් කෙළවරක් හොටෙන් අල්ලා ගත් විට, හංස ධේනුව අනෙක් කෙළවර අල්ලා ගත්තා ය. උන් දෙන්නා අත්තටු ගසා පියාසර කිරීමට තැත් කළත්, එය අසාර්ථක විය. වාචාල ඉඳිබුවාගේ බාර අධික විය. වාචාල අය ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කරන බැවින්, ඉතා තරබාරු ය. සිය කටුව තුළට රිංගා යාමට නො හැකි තරමට ඉඳිබුවා තරබාරු විය.

හංස යුවල, වඩා සැහැල්ලු කොටුවක් තෝරා ගත්හ. ඉඳිබුවා එහි මැද සපා ගත් විට, හංස යුවළ එහි දෙකෙළවර හොටෙන් අල්ලා ගෙන ඉහළට පියාසර කළහ.

ලෝක ඉතිහාසයේ, ඉඳිබුවකු අහසේ පියාසර කළ ප්‍රථම අවස්ථාව එය විය.

වාචාල ඉඳිබුවා වාසය කළ විල, ක්‍රමයෙන් කුඩා වන බව පෙනිණි. අතිවිශාල කඳු, අහසට දිස්වූයේ සිඟිති පස් ගොඩවල් මෙනි. එබඳු විස්මිත දර්ශන අන් කිසි ම ඉඳිබුවකු දැක නො තිබුණු අතර, ආපසු ඔවුන් හමු වූ විට පැවසීම සඳහා, ඌ ඒ සියලු විස්තර මතක තබා ගත්තේ ය.

පාසකලට ඉහළින් පියාසර කරන තුරු සියල්ල යහතින් සිදු විය. එවිට වේලාව පස්වරු 3.00 පමණ වූ අතර පාසල අරී ළමයි පිටතට පැමිණෙමින් සිටියහ, උඩ බැලූ කුඩා පිරිමි ළමයෙක් අහසින් යන ඉඳිබුවා දැක කෑගැසී ය.

“ඒයි අර බලන්න. මෝඩ ඉබ්බෙක් පියාඹනව.”

ඉඳිබුවාට කෝපය දරාගත නිකි විය.

“කාටද මෝඩ...”

කට විවර කළ විගස ඉඳිබුවා බිම ඇද වැටී සුණු විසුණු විය. වාචාල ඉඳිබුවා මියගියේ, ඉතාම වැදගත් අවස්ථාවක, කට පියා ගෙන සිටීමට නොහැකි වි නිසා ය. නිසි වෙලාවට කට පියා ගෙන සිටීමට ඉගෙන නොගත්තොත්, ඉතාම වැදගත් අවස්ථාවක නිහඬව සිටීමට ඔබට නොහැකි වන අතර, වචාල ඉඳිබුවා මෙන් ඔබ ද විනාශ වනු ඇත.

Monday, June 26, 2023

වාචාලකම අනතුරුදායක ය


 

වාචාලකම පිළිබඳව අපේ දේශපාලනඥයින් ඉතා ප්‍රකට ය. ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවති සම්ප්‍රදාය එය බව, පහත දැක්වෙන බෞද්ධ ජාතක කතාවෙන් තහවුරු වේ.

බොහෝ කාලයකට පෙර, එක් රජකෙනෙක්, සිය ඇමතිවරයකුගේ ක්‍රියා කලාපය නිසා හෙම්බත් වී සිටියේ ය. රාජ සභාවේ දී, සාකච්ඡා කිරීම සඳහා කිසියම් ගැටලුවක් පැන නැගුනු හැම විටක ම, මේ ඇමතිවරයා තනිව ම කරගෙන යන කතාව පැය ගණනක් පැවතිණි. කිසිවකුට, රජ තුමාට පවා වචනයක් කථා කිරීමට ඉඩක් නො ලැබිණි. එපමණක් නොව එය ඉතා නීරස විය.

එබඳු නිරර්ථක සභා වාරයකට පසු රජතුමා යම් සැනසීමක් අත් කර ගැනීම සඳහා, රාජකීය උද්‍යානයේ සක්මන් කරන්නට විය. එහි මහජනයාට විවෘතව පැවති කොටසක, බිම හිඳ ගෙන සිටි, මැදිවියේ ආබාධිත මිනිසකු වටකර ගෙන සිනාසෙමින් විනෝද වන ළමා පිරිසක්, එතුමාට දක්නට ලැබිණි. ළමයි, ඔහුට කාසි කීපයක් දී, කොළ වලින් ගැවසුණු කුඩා ගසක් පෙන්වා කුකුළකු නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටියහ. ඒ මිනිසා බොරලු මල්ලක් සහ ඒවා විදින කුඩා නළයක් අතර ගෙන, ඒ ගස දෙසට බොරලු විදින්නට පටන් ගත්තේ ය. එහි කොළ එකිනෙක ගැල වී, ඇදහිය නොහැකි තරම් කෙටි කාලයකින් ඉතා නිවැරදි ලෙස කුකුළකුගේ රූපය නිර්මාණය විය. ඉන් විනෝදයට පත් ළමයි ඔහුට තවත් මුදලක් දී අලියකුගේ රූපය නිර්මාණය කරන ලෙස පැවසූහ. ආබාධිත කුරුමානම්කාරයා, පඳුරකින් අලියෙකුගේ රූපයක් නිර්මාණය කර පෙන්වී ය. සියලු ම ළමයි අත්පොළසන් දුන්හ. එය දුටු රජතුමාට කදිම අදහසක් පහළ විය.

ආබාධිත පුද්ගලයා වෙත ගිය රජතුමා, පීඩාකාරී ගැටලුවක් විසඳීමට උදව් කළොත්, විශාල මුදලක් පරිත්‍යාග කරන බව පැවසී ය. එතුමා ඔහුගේ කනට ළං වී රහසක් මිමිනූ විට, ඔහු හිස සලා ඊට එකඟ විය. සති ගණනකට පසු එතුමාගේ මුවඟට මද සිනාවක් නැගුණි.

පසුදා උදේ, රාජසභාව සුපුරුදු පරිදි ආරම්භ විය. එක් බිත්තියක් අයිනෙහි වූ අලුත් තිරය, කිසිවකුගේ අවධානයට යොමු නොවී ය. එදින සාකච්ඡා කිරීමට නියමිත වූයේ, බඳු තවත් වැඩි කිරීම පිළිබඳව ය. රජතුමා ඒ බව නිවේදනය කළ විගස ගනී සිටි වාචාල ඇමතිවරයා, සිය ‘දෙසාබෑම පටන් ගත්තේ ය. ඔහු මුව විවර කළ විට ම, යම් කුඩා දෙයක් උගුරෙහි වැදී, ආමාංශය තුළට ඇඳි යන බව ඔහුට දැනිණි. එහෙත් ඔහු නොනවත්වා ම කථා කළේ ය. තත්ත්පර කීපයකට පසු, යම් දෙයක් යළිත් මුව තුළට වැටුණු විට එය ගිල දැමූ ඇමතිවරයා දිගට ම කථා කළේ ය. මෙසේ, තත්පර කීපයක් පාසා, මුව තුළට යමක් වැටුණත්, සිය කතාව නතර කිරීමට ඔහු කැමති නොවී ය.

පැය භාගයක දෙසාබෑමෙන් පසු, බඩ දඟලන බවක් දැනුනත්, ඉතා මුරණ්ඩු කෙනකු වූ ඔහු කතාව නතර කළේ නැත. තවත් මිනිත්තු කීපයකට පසු, ඔහුගේ මුහුණෙහි දක්නට ලැබුණේ රෝගී පෙනුමකි. ඔක්කාර ගතියක් දැනුණු නිසා, අන්තිමේ දී කතාව නතර කිරීමට ඔහුට සිදු විය. එක් අතකින් උදරය අල්ලා ගෙන, අනෙක් අතින් කර තද කරගෙන, ළඟ ම තිබූ වැසිකිළිය වෙත ඔහු දිව ගියේ ය.

ප්‍රීතියට පත් රජතුමා අලුත් තිරය වෙත ගොස් එය විවෘත කළේ ය. එවිට, ‘වෙඩි උණ්ඩ මල්ලක් ද, ඒවා විඳීමට භාවිත කළ සිහින් බටයක් ද සමග එහි සැඟවී සිටි ආබාධිත කුරුමානම්කාරයා කාටත් දැක ගත හැකි විය. රජතුමාට සිනාව නතර කර ගත නොහැකි විය. වෙඩි උණ්ඩ මල්ල මුළුමනින් වාගේ හිස්ව තිබිණි. ඇමතිවරයාගේ මුව තුළට ඉතාමත් නිවැරදි ලෙස විදීමට වැඩි උණ්ඩ වශයෙන් යොදා ගෙන තිබුණේ, කුකුල් බෙටිය. ඇමතිවරයා සති කීපයක් ගත වන තුරු, රාජ සභාවට පැමිණියේ නැත. ඔහු නොමති විට, වැදගත් කටයුතු රැසක් අවසන් කර ගත හැකි විය. ඔහු ආපසු පැමිණි විට වචනයක් වත් කථා කළේ කලාතුරකිනි. එසේ යමක් කථා කළ හැම විට ම ඔහු දකුණතින් මුව ආවරණය කර ගත්තේ ය.

ඇතැම් විට, අද කාලයේ පාර්ලිමේන්තුවලත්, එබඳු කුරුමානම්කාරයකු සිටී නම්, දැනට වඩා වැඩ කටයුතු රැසක් අවසන් කිරීමට හැකි වනු ඇත.

Tuesday, June 20, 2023

අඥාන නිගමන

 

වර්ෂ කීපයකට පෙර, තායිලන්ත භික්ෂූන් පිළිබඳව ඔපාදූපැ රැසක්, අන්තර්ජාතික පුවත්පත්වල පළ විය. නියත වශයෙන් බඹසැර රැකීමට, භික්ෂූහු විනය නීති මගින් බැඳී සිටිති. ප්‍රචාරය වූ ඕපාදූප වලට අනුව, ඇතැම් භික්ෂූන් ඒ විනය නීති කඩකර තිබිණි. පාඨකයින් උනන්දුවක් දැක්වුයේ සිල්වත් භික්ෂූන් පිළිබඳ තොරතුරු කෙරෙහි නොව, විනය නීති කඩ කරන භික්ෂූන් පිළිබඳ ඕපාදූප වලට බව, පුවත්පත් දැන සිටියේ ය.

මේ තොරතුරු පළ වූ දිනවල, මා පිළිබඳ පාපොච්චාරණයක් කිරීම යෝග්‍ය බව කල්පනා කලෙමි. එක් සිකුරාදාවක සන්ධ්‍යා කාලයේ දී, පර්ත් නුවර අපෙගේ විහාරස්ථානයේ දී, තුන්සීයක් පමණ පිරිසක් ඉදිරිපිට, මම ධෛර්ය උපදවා ගෙන සත්‍යය පැවසීමි.

“මා පාපොච්චාරණයක් කළ යුතුව තිබෙනවා. මේක පහසු වැඩක් නොවෙයි... අවුරුදු කීපයකට පෙර...” දෙගිඩියාවෙන් මම මදක් නිහඬ වීමි.

“අවුරුදු කීපයකට පෙර, මගේ ජීවිතයේ ඉතාමත් ප්‍රීතිමත් යුගයක් මම ගත කළා. වෙනත් මිනිසකුගේ බිරිඳක් තුරුල්ලේ.”

යළිත් මද වෙලාවක් නිහඬව සිටියෙමි.

“අපි ඔවුනොවුන් වැලඳ ගත්තා, සිප ගත්තා, සුරතල් වුණා”

හිස බිමට නමා ගෙන, පලස දෙස බලා සිටියෙමි.

මා පැවසූ දේ අසා කම්පාවට පත් පිරිස නැගූ සිහින් හඬ මට ඇසිණි.

“වෙන්න බැහැ, අචාන් බ්‍රහ්මවංසෝ හිමියන් ඒ වගේ වැරදි වැඩක් කරාවි ද?” සමහර අය මිමිනූහ.

ඉතා පැරණි දායකයින්, යළිත් කිසි විටක ආපසු නො එන්නට මෙන්, දොර දෙසට පිය නගනු දුටුවෙමි.

ගිහි බෞද්ධයින් වුව ද, සෙසු පිරිමින්ගේ භාර්යාවන් සමග සබඳකම් පැවැත්වූයේ නැත. එය පරදාර සේවනය නම් වූ පාප කර්මයකි. මම හිස ඔසවා, පිරිස දෙස ආත්ම විශ්වාසයෙන් බලා මද සිනා පහළ කලෙමි.

“ඒ කාන්තාව, වෙන කවුරුත් නෙවෙයි. මගේ මව...මා ළදරුවෙකු සිටි කාළයේ...”

පිරිස කඳුළු පිසිමින් හඬ නගා සිනාසෙන්නට වූහ.

“ඒක ඇත්ත කතාවක්, අය තවමත් පිරිමියෙකුගේ බිරිඳක්. ඒ පිරිමියා තමයි, මගේ පියා. අපි ඔවුනොවුන් වැළඳ ගත්ත, සුරතල් වුණා, සිප ගත්තා”

මගේ ශ්‍රාවක පිරිසගේ සිනාව නතර වූ විට, ඔවුන් කවුරුත් වාගේ, මා වරදවා නිගමනය කළ බව පෙන්වා දුනිමි.

“ජීවිතයේ කොපමණ වාර ගණනක්, සැබෑ තොරතුරු නො විමසා හදිසි තීරණවලට අප එළඹී ඇද්ද?” යනුවෙන් මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි.

“මෙය නිවැරදි ය, අන් සියල්ල ම වැරදි ය යනුවෙන් තීරණ ගැනීම ප්‍රඥාව නොවේ.”

Friday, June 16, 2023

අනුවණ සවන් දීම

 

එක් සන්ධ්‍යාවක, අපගේ බෞද්ධ මධ්‍යස්ථානයේ දුරකථනය නාද විය.

“අචාන් බ්‍රහ්ම හිමියන් ඉන්නවා ද?” කෝපාවිෂ්ට පුද්ගලයෙක් ඇසී ය.

“සමාවෙන්න” ඒ අවස්ථාවේ රිසිවරය අතට ගත්, ඉතා භක්තිමත් ආසියානු කාන්තාව පිළිතුරු දුන්නා ය.

“එතුමා, කාමරය තුළ විවේක ගන්නවා. කරුණාකර, මිනිත්තු තිහකින් නැවත කතා කරන්න”

“මිනිත්තු තිහකින් එයා මැරෙනවා” ගර්ජනා කළ පුද්ගලයා රිසිවරය තැබී ය.

මිනිත්තු විස්සකට පසු, මා කාමරයෙන් පිටතට පැමිණි විට ඉතා වයස්ගත කාන්තාව සුදුමැලි වී, වෙව්ලමින් සිටිනු දුටුවෙමි. සිදු වූයේ කුමක්දැයි දැන ගැනීම සඳහා අනෙක් අය එහි රැස්වී සිටියත්, කතා කර ගත නොහැකි තරමට ඇය කම්පාවට පත්ව සිටියා ය. මා ඇය සැනසූ විට, වචන කීපයක් ඇගේ මුවින් පිට විය.

“කවුද එනවා, ඔබ වහන්සේ මරන්න”

ඕස්ට්‍රේලියානු තරුණයකුට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව අනාවරණය වූ දා පටන්, ඔහුට අනුශාසනා කිරීමෙහි නිරතව සිටියෙමි. ඒ තත්ත්වයට මුහුණ දීමට හැකි වන පරිදි, ඔහුට භාවනා ක්‍රම ද ඉගැන්වීමි. ඒ වන විට, ඔහු මරණයට ළං වෙමින් සිටියේ ය. ඊට පෙර දින මා ඔහු හමු වීමට ගිය විට, ඔහු සිටියේ, කුමන මොහොතක හෝ සිය සහකාරියගෙන් දුරකථන ඇමතුමක් ලැබෙතැයි අපේක්ෂාවෙනි. එබැවින්, මට ලැබුණු දුරකථන ඇමතුමෙන් අදහස් වූයේ කුමක්දැයි, මට සැනෙකින් අවබෝධ විය. මිනිත්තු තිහකින් මියයන බව නිශ්චිත වූයේ, මා නොව ඒඩ්ස් රෝගයෙන් පෙළුණු ඒ තරුණයා ය.

ඒ තරුණයා මියයාමට පෙර, ඉක්මනින් ඔහුගේ නිවසට ගොස්, හමු වී සැනසිලි වදන් පැවසීමි. වයස්ගත කාන්තාව කම්පනයෙන් මිය යාමට පෙර, ඇයට ද, වැරදි අවබෝධය පිළිබඳව කරුණු පහදා දීමට මට හැකි විය.

බොහෝ විට, යම් කෙනෙකු පවසන දේත්, අපට ඇසෙන දේත් එක ම නොවේ.



Tuesday, June 13, 2023

ගැටලු විසඳීම


 සජීවී ගුවන් විදුලි වැඩ සටහන්වලට සහභාගී වන ලෙස, බෞද්ධ භික්ෂුවක වශයෙන්, මට නිතරම ආරාධනා ලැබේ. එබඳු එක් ආරාධනයක් පිළිගැනීම පිළිබඳව, මා ඊට වඩා සුපරීක්ෂාකාරී විය යුතුව තිබිණි. එදා පැවති වැඩ සටහන් වැඩිහිටි තේමාවන්පිළිබඳව බව මට පවසන ලද්දේ, මා ගුවන් විදුලි මැදිරියට පිවිසි විට පමණකි. සුප්‍රකට ලිංගික විද්‍යාඥයකු සමග ශ්‍රාවකයින්ගේ සජීවී ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට මට පැවරිණි.

බ්‍රහ්මචාරී භික්ෂුවක වශයෙන්, ‘පෞද්ගලික සම්බඳතා’ පිළිබඳව මගේ දැනුම ඉතා අල්ප වුවත්, ශ්‍රාවකයින් ඉදිරිපත් කළ ගටපු, පහසුවෙන් හඳුනාගත හැකි විය. ඉක්මනින් ම, සියලු ම දුරකථන ඇමතුම් මා වෙත යොමු කරන ලද අතර, ඒ වැඩ සටහන සඳහා වූ චෙක් පත ලැබුණේ ලිංගික විද්‍යාඥයාටය.  මුදල් භාර ගැනීමට අවසර නැති භික්ෂුවක වශයෙන් මට ලැබුණේ, චොකලට් පෙත්තක් පමණි.

තවත් අවස්ථාවක, පිරිමියකු විසින් පහත සඳහන් ප්‍රශ්නය මා වෙත යොමු කරන ලදී.

“මා විවාහක කෙනෙක්, තවත් කාන්තාවක් සමග මගේ සම්බන්ධයක් තියෙනවා. මගේ බිරිඳ ඒ බව දන්නේ නෑ. එහි වරදක් නැහැ නේද?”

“එහි වරදක් නැත්නම්, ඔබ ඒ ගැන මගෙන් අහන්නෙ නැහැ නේද?”

බොහෝ අය එබඳු ප්‍රශ්න අසන්නේ, තමන් වැරදි බව දැන දැන ය. එහෙත් කිසියම් ‘විශේෂඥයකු ඔවුන් නිවැරදි බව කියති ඔවුහූ අපේක්ෂා කරති. හරි දේ කුමක් ද? වැරදි දේ කුමක් ද? යන වග බොහෝ අයගේ ඇතුල් සිත දනී.

Friday, June 9, 2023

බුද්ධිමත් ආහාර අනුභවය

 

නිවසින් බැහැර ගොස්, අවන්හලකින් රාත්‍රී ආහාරය අනුභව කිරීමට, මගේ ඇතැම් යහළුවෝ ප්‍රිය කරති. විශේෂයෙන් ප්‍රනීත ආහාර සඳහා අධික මුදලක් වැය කිරීමට ඔවුන් සූදානම් ය. කෙසේ වෙතත්, ආහාරවල රසවත් බව ගැන නො තකා, සිය සගයා සමග යෙදෙන සාකච්ඡාවක් කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමෙන් ඔවුහූ ඒ අවස්ථාව අපතේ යවති. දක්ෂ වාදක මණ්ඩලයක් මගින් පවත්වනු ලබන සංගීත ප්‍රසංගයක් අතර තුර, කතාබස් කරන්නෙ කවුරුන් ද? එවිට, ඔබේ ආස්වාදයට බාධා වීම පමණක් නොව, ඔබ ශාලාවෙන් නෙරපා හැරීමට ද ඉඩ තිබේ. උසස් චිත්‍රපටයක් නරඹමින් සිටින විට, යාබද ආසනවල සිටින ප්‍රේක්ෂකයින්ගේ කතාබහෙන් බාධා සිදු වීම අපි පිළිකුල් කරමු. එසේ නම්, අවන්හලකට ගොස් ආහාර අනුභව කරද්දී, පිළිසඳර කතාවෙහි යෙදෙන්නේ මන්ද? එය, නීරස ආහාර ඇති සාමාන්‍ය අවන්හලක් නම්, අවධානය අන් අතකට යොමු කිරීම සඳහා කතාබස් කිරීමේ වරදක් නැත. එහෙත් ආහාර සැබවින් ම ප්‍රනීත නම්, මිල අධික නම් ඒ මුදලට සරිලන සේ ආහාර අනුභව කිරීමට ඉඩ දී නිහඬව සිටින ලෙස ඔබේ සගයාට පැවසීම, බුද්ධිමත් ආහාර අනුභාවයක් සේ සැලකිය හැකි ය.

අප නිහඬව ආහාර අනුභව කරන විට පවා එහි උපරිම ආස්වාදය විඳීමට අපට නොහැකි වේ. ඒ වෙනුවට එක් ආහාර කැබැල්ලක් සපන අතර, අපේ අවධානය යොමු වන්නේ, ගෑරුප්පුවේ අමුණා ඇති ඊළඟ කැබැල්ල කෙරෙහි ය.

ජීවිතය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලැබීමට, අප නිහඬව, වරකට එක් මොහොතක් බැගින් රස විඳිය යුතු ය. එවිට ජීවිතය නමැති තරුපහේ හෝටලයට අප ගෙවන මුදලෙහි සම්පූර්ණ වටිනාකම අපට ලැබෙනු ඇත.

Wednesday, June 7, 2023

ප්‍රඥාව යනු කුමක් ද

 

මා ශිෂ්‍යයකු වශයෙන් සිටිය දී, මගේ ගිම්හාන නිවාඩුවෙන් වැඩි කාලයක් ගත කළේ, ස්කොට්ලන්තයේ කඳුකර ප්‍රදේශවල ය. එහි පැවති හුදකලා බැවින්, සුන්දරත්වයෙන් හා නිසල බවින්, ඉමහත් ආස්වාදයක් අත් වින්ඳෙමි.

එක් සිහිකටයුතු සවස් කාලයක, උස් තුඩු හා කලපු අතරින් වැටී තිබුණු මුහුදු බඩ පටු මාවතක මම සක්මන් කරමින් සිටියෙමි. උණුසුම්, දීප්තිමත් සූර්යයා, මා අවට පැවති සුවිශේෂ සුන්දරත්වය විදහා දක්වන, විදුලි ආලෝක ධාරාවක් වැනි විය. කඳුගැට අතර ඔවිටියාය, වසන්ත සමයේ නැවුම් හරිත වර්ණයෙන් යුත් විල්ලුද වැනි තැන පඳුරු සහිත අනන්ත භූමි දර්ශනයක් සිරි ඉසිලී ය. රැලි නගන සයුරට ඉහළින් වූ ගිරි ශිඛර දිස්වූයේ මූර්තිමත් කරන ලද ‘දෙව්මැදුරු මෙන්. නිල්වන් සාගර ජලය මත සන්ධ්‍යා හිරු කිරණ දිදුලනු පෙනිණි. කාන්තිමත් වටපිටාවෙන් ප්‍රමෝදයට පත් වැහිලිහිණියෝ අහසෙහි සැරිසරන්නට වූහ. සොබා දහම, සිය උපරිම සෞන්දර්යය ප්‍රදර්ශනය කළා මෙනි.

ඉමහත් ප්‍රබෝධයෙන් යුතුව සක්මන් කරමින් සිටි මම, කඳුගැටය පාමුල පාර අයිනේ නතර කර තිබුණු කුඩා කාරයක් දුටුවෙමි. එදින පැවති සුන්දරත්වයෙන් වශී වූ එහි රියැදුරා, කාරය නතර කර එහි රස විඳිමින් සිටිනු ඇතැයි සිතුවෙමි. ඊහෙත් එතනට ළඟා වූ විට දකින්නට ලැබුණේ, ඉදිරි අසුනෙහි හිඳ ගත් මැදිවියේ පුද්ගලයෙකු පුවත්පතක් කියවමින් සිටින බවය.

පුවත් පත ඉතා විශාල වූ බැවින්, අවට දර්ශනය ඉන් ආවරණය විය. සාගරය, කඳුගැට, ඕවිටි ආදය වෙනුවට ඔහුගේ අවධානය යොමුව පැවතියේ, යුද්ධය, දේශපාලනය සහ ඕපාදූප කෙරෙහි ය. පුවත්පතට වැසුණු සෞන්දර්යය ඔහුට පෙනෙන පරිදි, මගේ ගමන් මල්ලෙන් කතුරක් ගෙන, එහි සිදුරක් කැපීමට මට සිතුණන්, ඔහු දැවැන්ත මිනිසකු වූ අතර, ම මගේ කුස පිරෙන්නට ආහාර නො ලැබුණු, කෙට්ටු ශිෂ්‍යයකු වූ බැවින් පුවත් පත කියවීමට ඔහුට ඉඩ දී මම ඉදිරියට ගමන් කළෙමි.

අපේ සිත් බොහෝ විට පිරී පවතින්නේ, යුධ ගැටුම්, සේවා ස්ථාන වන ආරවුල් ලොව ප්‍රකට පුද්ගලයින් පිලිබඳ ඔපාදූප ආදී, පුවත්පත් පුරවා ඇති අප්‍රසන්න ආරංචිවලිනි. අපේ සිත් තුළ ඇති ‘පුවත් පත’ වරින් වර හෝ බැහැර කිරීමට අප නො දන්නෙ නම්, අප ඊට වශී වී ඇත්නම්, අපට කිසි විටක, ස්වාභාවික සෞන්දර්ය ය පිළිබඳ නිර්මල ප්‍රමෝදය අත්විඳීමට නොහැකි වනු ඇත. ප්‍රඥාව කිසි විටක පහළ නො වනු ඇත.


Sunday, June 4, 2023

දරු සෙනෙහස

 

තම දරුවාගේ අවශ්‍යතා ගැන වඩාත් හොඳින් දන්නේ තමන් යයි දෙමාපියන් නිගමනය කිරීම, ගැටලුවක් බවට පත්ව තිබේ. බොහෝ විට ඒ නිගමන වැරදි වන අතර, නිවැරදි වන අවස්ථා ද තිබෙන බව, වසර දහසකට පමණ පෙර, චීන කවියකු වූ, සූ ටුං පෝ විසින් රචිත පහත දැක්වෙන පද්‍යයෙන් පැහැදිලි වේ.

මගේ පුතා උපන් විට

දරුවකු මේ ලොව උපත ලැබූ විට

ඔහු මහා නුවණැති දරුවකු වේ නම්

සතුටට පත් වෙති පවුලේ කවුරුත්

මගේ මුළු දිවිය ම නාස්ති වූයේ,

මහ නුවණැත්තකු වීම නිසයි

චූටි පුතා නූගතකු වුණොත්

ඒ වගේ ම අමනයකු වුණොත්

ශාන්ත වනු ඇත මුළු ජීවිතය ම

මතු දවසක වී ඇමති කෙනෙක්