වාචාලකම පිළිබඳව අපේ දේශපාලනඥයින්
ඉතා ප්‍රකට ය. ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවති සම්ප්‍රදාය එය බව, පහත
දැක්වෙන බෞද්ධ ජාතක කතාවෙන් තහවුරු වේ.
බොහෝ කාලයකට පෙර, එක් රජකෙනෙක්, සිය
ඇමතිවරයකුගේ ක්‍රියා කලාපය නිසා හෙම්බත් වී සිටියේ ය. රාජ සභාවේ දී, සාකච්ඡා කිරීම සඳහා කිසියම් ගැටලුවක් පැන නැගුනු හැම විටක ම, මේ ඇමතිවරයා තනිව ම කරගෙන යන කතාව පැය ගණනක් පැවතිණි. කිසිවකුට, රජ තුමාට පවා වචනයක් කථා කිරීමට ඉඩක් නො ලැබිණි. එපමණක් නොව එය ඉතා
නීරස විය.
එබඳු නිරර්ථක සභා වාරයකට පසු
රජතුමා යම් සැනසීමක් අත් කර ගැනීම සඳහා, රාජකීය උද්‍යානයේ සක්මන් කරන්නට විය. එහි
මහජනයාට විවෘතව පැවති කොටසක, බිම හිඳ ගෙන සිටි,
මැදිවියේ ආබාධිත මිනිසකු වටකර ගෙන සිනාසෙමින් විනෝද වන ළමා පිරිසක්, එතුමාට දක්නට ලැබිණි. ළමයි, ඔහුට කාසි කීපයක්
දී, කොළ වලින් ගැවසුණු කුඩා ගසක් පෙන්වා කුකුළකු නිර්මාණය
කරන ලෙස ඉල්ලා සිටියහ. ඒ මිනිසා බොරලු මල්ලක් සහ ඒවා විදින කුඩා නළයක් අතර ගෙන, ඒ ගස දෙසට බොරලු විදින්නට පටන් ගත්තේ ය. එහි කොළ එකිනෙක ගැල වී, ඇදහිය නොහැකි තරම් කෙටි කාලයකින් ඉතා නිවැරදි ලෙස කුකුළකුගේ රූපය
නිර්මාණය විය. ඉන් විනෝදයට පත් ළමයි ඔහුට තවත් මුදලක් දී අලියකුගේ රූපය නිර්මාණය
කරන ලෙස පැවසූහ. ආබාධිත කුරුමානම්කාරයා, පඳුරකින්
අලියෙකුගේ රූපයක් නිර්මාණය කර පෙන්වී ය. සියලු ම ළමයි අත්පොළසන් දුන්හ. එය දුටු රජතුමාට
කදිම අදහසක් පහළ විය.
ආබාධිත පුද්ගලයා වෙත ගිය
රජතුමා, පීඩාකාරී
ගැටලුවක් විසඳීමට උදව් කළොත්, විශාල මුදලක් පරිත්‍යාග කරන
බව පැවසී ය. එතුමා ඔහුගේ කනට ළං වී රහසක් මිමිනූ විට, ඔහු
හිස සලා ඊට එකඟ විය. සති ගණනකට පසු එතුමාගේ මුවඟට මද සිනාවක් නැගුණි.
පසුදා උදේ, රාජසභාව
සුපුරුදු පරිදි ආරම්භ විය. එක් බිත්තියක් අයිනෙහි වූ අලුත් තිරය, කිසිවකුගේ අවධානයට යොමු නොවී ය. එදින සාකච්ඡා කිරීමට නියමිත වූයේ, බඳු තවත් වැඩි කිරීම පිළිබඳව ය. රජතුමා ඒ බව නිවේදනය කළ විගස ගනී සිටි
වාචාල ඇමතිවරයා, සිය ‘දෙසාබෑම’
පටන් ගත්තේ ය. ඔහු මුව විවර කළ විට ම, යම් කුඩා දෙයක්
උගුරෙහි වැදී, ආමාංශය තුළට ඇඳි යන බව ඔහුට දැනිණි. එහෙත් ඔහු නොනවත්වා ම කථා කළේ
ය. තත්ත්පර කීපයකට පසු, යම් දෙයක් යළිත් මුව තුළට වැටුණු විට එය ගිල දැමූ ඇමතිවරයා
දිගට ම කථා කළේ ය. මෙසේ, තත්පර කීපයක් පාසා, මුව තුළට යමක් වැටුණත්, සිය කතාව නතර කිරීමට ඔහු කැමති නොවී ය.
පැය භාගයක දෙසාබෑමෙන් පසු, බඩ දඟලන
බවක් දැනුනත්, ඉතා මුරණ්ඩු කෙනකු වූ ඔහු කතාව නතර කළේ
නැත. තවත් මිනිත්තු කීපයකට පසු, ඔහුගේ මුහුණෙහි දක්නට ලැබුණේ රෝගී පෙනුමකි. ඔක්කාර
ගතියක් දැනුණු නිසා, අන්තිමේ දී කතාව නතර කිරීමට ඔහුට සිදු
විය. එක් අතකින් උදරය අල්ලා ගෙන, අනෙක් අතින් කර තද කරගෙන, ළඟ ම තිබූ වැසිකිළිය වෙත ඔහු දිව ගියේ ය.
ප්‍රීතියට පත් රජතුමා අලුත්
තිරය වෙත ගොස් එය විවෘත කළේ ය. එවිට, ‘වෙඩි උණ්ඩ’ මල්ලක්
ද, ඒවා විඳීමට භාවිත කළ සිහින් බටයක් ද සමග එහි සැඟවී
සිටි ආබාධිත කුරුමානම්කාරයා කාටත් දැක ගත හැකි විය. රජතුමාට සිනාව නතර කර ගත
නොහැකි විය. වෙඩි උණ්ඩ මල්ල මුළුමනින් වාගේ හිස්ව තිබිණි. ඇමතිවරයාගේ මුව තුළට
ඉතාමත් නිවැරදි ලෙස විදීමට වැඩි උණ්ඩ වශයෙන් යොදා ගෙන තිබුණේ, කුකුල් බෙටිය. ඇමතිවරයා සති කීපයක් ගත වන තුරු, රාජ සභාවට පැමිණියේ
නැත. ඔහු නොමති විට, වැදගත් කටයුතු රැසක් අවසන් කර ගත හැකි විය. ඔහු ආපසු පැමිණි
විට වචනයක් වත් කථා කළේ කලාතුරකිනි. එසේ යමක් කථා කළ හැම විට ම ඔහු දකුණතින් මුව
ආවරණය කර ගත්තේ ය.
ඇතැම් විට, අද කාලයේ
පාර්ලිමේන්තුවලත්, එබඳු කුරුමානම්කාරයකු සිටී නම්, දැනට වඩා වැඩ කටයුතු රැසක් අවසන් කිරීමට හැකි වනු ඇත.
0 comments:
Post a Comment