භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Saturday, May 15, 2021

අංගුලිමාල මහරහතන් වහන්සේ

 

අංගුලිමාල මහරහතන් වහන්සේ යනු වලාකුළින් මිදුන සඳක් සේ මේ බුද්ධ සාසනය තුළ බබළමින් වරදින් මිදී, වරද පිටු දැක සසර කතරින් එතෙර වූ මහා අරිහත් හිමි නමකි. උන්වහන්සේ සසර පුරා පින් ඇති උතුමෙකි. ඒ පාරමී පුරණ සසර පුරා උන්වහන්සේ සත්‍යයට, ධර්මයට හිස නැමූහ. ගුරුවරයාට ගෞරවය කළහ. ඒ නිසාම සසරේ වරදින් මිදී යහපතට පැමිණියහ. (නමුත් අංගුලිමාල වීමට පමණක් නරක ගුරු උපදේශ හේතු විය). එසේ ආ සසරේ එම බොහෝ අවස්ථාවල උන්වහන්සේව වරදින් මුදවා ධර්මය, යහපත පෙන්වා දමනය කළේ අප සියලු ලෝ සත්වයාගේම මහා වීරයාණන් වහන්සේ වන ගෞතම බෝසතාණන් වහන්සේය. නමුත් ඒ කිසිඳු ආත්මභාවයකදී අප බෝ සතුන්ට හැර උන්වහන්සේව වෙන රටවැසියෙකුට, රජෙකුට තියා දෙවියෙකුවත් දමනය කළ නොහැකි විය. ඒ උන්වහන්සේගේ තේජස් ආනුභාවයයි. සසරේ මහා පුණ්‍ය ආනුභාවයයි. ඒ බව පඤ්චායුධ ජාතකය, මහා සුතසෝම ජාතකය, ජයද්දීස ජාතකය යන ජාතක කතා වලින් පෙනී යයි.

උන්වහන්සේ කොසොල් රජුගේ අග්‍ර පුරෝහිත ගග්ග බමුණාටත්, මන්තානි බැමිණියටත් දාව ඉපදුණු ඒ දවසේ රජුගේ ආයුධ ගබඩාවේ ඇතුළු මුලු නුවර පවා සියලු අවිආයුධ දිලිසිණි. නමුත් අහිංසක, කීකරු කුමරෙකු වූයෙන් අහිංසක යයි නම් තැබීය. නිසි වයසේදී තක්ෂිලාව වෙත ශිල්ප ලැබීමට යැවූ කුමරුවා ගුරුවරයාගේද සිත දිනාගත්, කියන දෙය එකෙනෙහිම වටහාගන්නා ශක්තියෙන් යුත් නිසා අන් සිසුන්ගේ ඊරිසියාවට ලක්විය. මේ නිසා සිසුන් ගුරුවරයා හා බිඳවීමට විටින් විට බොරු කියා කෙටවූහ. මේ නිසා කරුණු නොදැන කිපුණු ගුරුවරයා අහිංසකට දඬුවමක් වශයෙන් ගුරුපඬුරු ලෙස ඇඟිලි දහසක් වුවමනා යැයි පැවසීය. ඒ අහිංසක මහා ශක්තිවන්ත පුරුෂයෙක් නිසා උපක්‍රමයක් යොදා නැසීමේ අදහස ඇතිවය. පළමුව විරුද්ධ වූවත් ගුරු ගෞරවය නිසා එයට අවනත වූහ. මුලින්ම වනයට වැදී, එහි පැමිණෙන අය දඩයමට පෙළඹිණි. එකතු කරන ඇඟිලි සතුන් ගොදුරු කරගන්නා නිසාත්, කල් යද්දී නරක්වන නිසාත් කපාගත් ඇඟිලි මාලයක් කර කරේ දමා ගත්හ. මේ නිසා මරු බියෙන් කැලයට එන පිරිස නතර වූ නිසා ගම් වැදී එහිදී හසුවන ඕනෑම පුද්ගලයකුගේ ඇඟිලි කපා ගැනීමට පුරුදු විය. සමහරු අංගුලිමාල දකිද්දී භයටම මැරී වැටුණි. මේ අපරාධය නැවත්වීමට අවසානයේ මහා සේනාවක් රැගෙන අංගුලිමාල ඇල්ලීමට කොසොල් රජු තීරණය කළහ. මෙය ඇසූ මන්තානි මවද අංගුලිමාලව බේරා ගැනීමට කැලයට පිවිසුණි. නමුත් මහා කරුණා ඇති බුදුහිමි අංගුලිමාල මාතෘ ඝාතනයෙන් ගලවා ගැනීමත් සසරින් ගලව ගැනීමත් සියලුදෙනා එපා කියද්දී ද උන්වහන්සේ කැලයට වැඩම කර අංගුලිමාලව දමනය කළහ. එසේ අංගුලිමාලයෝ බුදු සසුනට ඇතුලත් විය. අංගුලිමාල ස්වාමීන්වහන්සේව කොසොල් රජතුමා පළමුවරට දකිද්දී වෙව්ලා ගියේය. බුදුරජාණන් වහන්සේ එතැන නොසිටියානම් රජු සිහිනැතිවීමට පවා ඉඩ තිබිණි. එතරම් උන්වහන්සේ තේජස් සහිත, කිසිවෙකුට මැඩලීමට නොහැකි කෙනෙක් විය. නමුත් තුන් ලොවටම පුරිසදම්මසාරී වන බුදුරජාණන් වහන්සේගේ එක වචනයකට අංගුලිමාලයෝ නතර වුනි, පැවිදි වුනි. එසේනම් තථාගතයන් වහන්සේ සතුව කෙතරම් බල පරාක්‍රමයක් තිබෙන්නට ඇත්ද, කෙතරම් තේජසක්, ශක්තියක්, බලයක් තිබෙන්නට ඇත්ද. එම නිසායි බුදුරජාණන් වහන්සේ අනන්ත බල ඇත්තා වන්නේ.

මහමෙව්නා වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.

දිනක් ගැබිනි මවක් ප්‍රසූත වේදනාවෙන් හඬ නගනවා ඇසී ඇයට පිහිට වීමට සිතීය. එදා ඇඟිල්ලක් උවමනාවෙන් මිනී මැරූ දාමරිකයා දැන් බුදුසසුනේ පිහිට ලැබ කෙනෙකුගේ වේදනාවට පිහිටක් වීමට සිතක් ඇතිකරගෙන ඇත. ඒ සිතින් බුදුරජාණන් වහන්සේ වෙත ගො මේ බව කියා සිටියහ. එවිට “අංගුලිමාල, ඔබ පරපණ නොනැසීමේ සත්‍ය මෙනෙහි කර ඒ මවට සෙත් පතන්න” යැයි බුදුහිමියන් වදාළ සේක. අංගුලිමාලයන් වහන්සේ බුදුහිමියන්ගෙන් අසා සිටියේ “මා බොහෝ ඝාතන මේ දෑතින් කර තිබෙනවා, එසේ තිබියදී කොහොමද ස්වාමීනි මෙවන් සත්‍යක්‍රියාවක් කරන්නේ ” යනුවෙනි. “අංගුලිමාල ඔබ ආර්ය ජාතියේ උපන්දා පටන් කිසිඳු හිංසාවක් කර නැහැ, ඒ බව මෙනෙහි කර සත්‍යක්‍රියාව කරන්න” යයි නැවත බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඒ ආකාරයටම අංගුලිමාල තෙරුන් එම මවට වේදනාව සමනය කර ගැනීමටත්, දරුවා සුවසේ බිහිකිරීමටත් සත්‍යක්‍රියා කොට සෙත් සැලසුහ. පිඬුසිඟා වඩින විට ගල්, කෝටු ඇඟේ වැදී ලේ පෙරේද්දී ඒ වෙනුවෙන් කිසිඳු පිහිටක් බුදු හිමියන්ගෙන් නොඉල්ලූ මුත් මවකගේ වේදනාවට පමණක් උන්වහන්සේ, බුදුහිමියන්ගෙන් පිහිට පැතූහ. තමාගේ දුක විඳගනිමින් අනුන්ගේ දුකට පිහිටවූහ. අදටත් ගැබිනි මව්වරුන් තම වේදනාව දුරුකර ගැනීමට, ආශීර්වාද ලබාගැනීමට එම ස්ථානයට යයි. ඒ ආශිර්වාදය, පිහිට කල්පයක් පුරා බුද්ධ අධිෂ්ඨානයෙන් නොනැසී පවතී.

මෙසේ තේජස්ව ඉපදීමට හේතු කාරණා වුයේ එක ආත්මභාවයක උන්වහන්සේ ශීත සෘතුවකදී, එම පීඩාවන්ගෙන් මිදීමට පසේ බුදුරජාණන් වහන්සේ නමකට ගිනි තපින, ගිනි කබලක් සැදැහැ සිතින් පූජා කිරීමත්, තවත් භවයක ගිලන් භික්ෂුන්ට ඉක්මන් සුවය පතා සැර බෙහෙත් පූජාවාකුත් කළ නිසාය. මෙසේ මහත් ආනිශංස ඇති පූජාවන් කොට පාරමී පුරණ සමයේ පටන් කිසිවෙකුට මෙල්ල කළ නොහැකි තේජසකින් උන්වහන්සේ උපත ලැබීය. එක් භවයක වෘක්ෂාධිපති යක්ෂයෙක් ලෙස ඉපදිණි. ඒ රටේ රජතුමා දිනක් මුව දඩයමේ ගොස් ගමන් මහන්සියට මේ යක්ෂයාගේ භවන වන ගස යට හිඳගත්තේය. දැන් මේ මඛාදේව රජතුමාව මරාගෙන කෑමට රාක්ෂයා පැමිණි මොහොතේ මරණ බයෙන් අභයදානය ඉල්ලා රජතුමා අපූරු යෝජනාවක් ගෙනාවේය. ඒ, රටේ වැසියා දිනයක් පාසා බිල්ලට ලබා දෙන්නම් කියාය. මෙයට කැමතිවූ යක්ෂයාට පළමුවෙන්ම සිරගෙදර සිටින පිරිස යැවූහ. සියලුම පිරිස අවසන්වූ පසු බලෙන් රටවැසියා බිල්ලට යවන්න නොහැකි නිසා, මෙයට ඉදිරිපත් වන්නෙකුට කහවණු පොදියක් දෙන බව අඬබෙරයක් යවා රටවැසියාට දැන්විය. කිසිවෙකු ඉදිරිපත් නොවන තැන සුතනු නම් මානවකයා ලෙස ඉපදී සිටි අප මහබෝසතුන් තම දුප්පත් මවට උපකාරයක්  පිණිස ඉදිරිපත්විය. මේ පණ්ඩිත සුතනු තරුණයා දෙවියෙකුටවත්, රජෙකුටවත් හිස නොනැමූ මේ යක්ෂයාව උපායෙන් දමනය කර ධර්මය පෙන්වා වරදින් මුදවා කුසලයෙහි පිහිටුවීය. එදා මඛාදේව රජ, ආනන්ද මහරහතන් වහන්සේත්, රාක්ෂයා අංගුලිමාල බවත් සුතනු මානවකයා මා බවත්, බුදුරජාණන් වහන්සේ පෙර හා පසු ජාති ගළපමින් වදාළ සේක. (සුතනු ජාතකය)

කේලාම් ඇසූ ආචාර්යවරයා නිසා අහිංසක තරුණයා, අංගුලිමාල බවට පත්විය. නමුත් කැලයේ තනියම විසූ විටදීවත්, ගමේ ගෙදරකට කඩාවැදුන විටදීවත් කාන්තාවකට කාම සිතින් අත නොතැබූහ. ඇඟිල්ලක උවමනාව පමණක් තිබුණේ. ශක්තිමත් පුරුෂයෙක් බැවින් කැලයේදී සතෙක් පවා මේ තරුණයාට අනතුරක් කිරීම තියා අසළ ගැවසීමටවත් නොආහ. පිනටම උන්වහන්සේ බුදු කරුණාවේ පිහිට ලබා පැවිදිව, පිරිසෙන් වෙන්වී, නිහඬවම වීර්ය වඩමින් නොබෝ කලකින් උතුම් අරිහත්වයට පත්විය. උන්වහන්සේ පරිනිර්වාණය දක්වාම මේ නිහඬ ජීවිතය ගතකළහ. බුදු සසුනේ වෘක්ෂ දුතාංග ආරක්ෂා කරමින් ගතකළහ. දිනක් කොසොල් රජු බුදුපාමොක් මහ සඟනට අසදෘශ දානයක් පිළියෙළ කළහ. එහිදී සියලු හිමිවරුන්ට සේසත් දරන්න තබා තිබ්බේ ඇත්තුන්ය. අංගුලිමාල මහරහතන් වහන්සේට සේසත් දැරීමට යෙදුනේ ඉතා චණ්ඩ, පරුෂ ඇතෙක්ය. නමුත් මහා අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජානු භාවය නිසාම මේ ඇතා, හීලෑ මුව පැටවෙකු මෙන් නොසෙල්වී සේසත් දරා කිසිඳු චණ්ඩ භාවයක් නොපෙන්වමින් සිටියහ. තවත් දිනෙක වෙනදා මෙන් අසංවර ගති නැති කැලෑ සත්වයා, හඬක් නොනැගෙන කැලය දැක පුදුමයෙන් බලමින් සිටි දිව්‍ය රාජයෙකුට අංඟුලිමාල තෙරුන්ගේ ආනුභාවය බව දැන උන්වහන්සේට වැඳ නමස්කාර කර සිටියහ. එවිට දෙව් හිමියාගේ නළලේ උන්වහන්සේගේ පාදය ගෑවිණි. ඒ නිසාම ඒ දිව්‍ය රාජයාගේ නළලෙන් මහා පර්වතයක් වුවද බිම දැමිය හැකි බලයක් ලැබිණි. මෙතරම් තේජස් ඇති මහා අංඟුලිමාලයන් වහන්සේ තමාද මේ ධර්මයෙන් සැනසුණා සේ සියලු සත්වයාගේම යහපත උදෙසා ඒ සියලු සත්වයෝම මේ තෙරුවනේ සරණ යනවා නම් මැනවයි යනුවෙන් පැවසූ උදාන, තෙර ගාථාවල සඳහන් වේ. ඒවායින් සමහරක් මෙසේය.

“යමෙක් පළමුව පමා වී පසුව පමා නොවේ නම් ඔහු වලාකුළින් මිදුණ පුරසඳක් සේ මුළු ලෝකයේම බබලන්නේය”              

“මාගේ සතුරෝ බුදු බණ අසත්වා ! මාගේ සතුරෝ බුදු සසුනෙහි දෙත්වා !”                                                   

“තවදුරටත් ප්‍රමාදයෙහි නොයෙදෙව්. කාමරති ආශ්වාදය නොලබව්. අප්‍රමාදීව ධර්ම මග වඩා උතුම් වූ නිවන් සුවයම             ලබව් !”