Thursday, March 18, 2021

1 - ඔබත් සොබාදහමත් අතර පරතරයක් නොතබන්න

 මහ රහතුන් වැඩි මග ඔස්සේ - අතහැරීම පොත 1

    මේ මුළු ලෝක ධාතුව තුළම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතනද කියා ඇසුවොත් දෙවරක් නොසිතාම එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදුම සුදු පිරුවටයක් සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිලුටක් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී යයි. රහතන් වහන්සේ අඳින චිත්‍ර රැස් කරන්නේවත්, ගොඩගසන්නේවත් නොමැත. රහතන් වහන්සේ ඒ වර්තමානය තුළ අඳින චිත්‍ර සඳහා පාවිච්චි කරන්නේ නිකෙළෙස් තීන්තය. එහි ඝන බවක්, ගොරෝසු බවක්, ඇලීමක්, ගැටීමක්, උපේක්ෂාවක් නොමැත. ඒවා නිවුණු තීන්තය. එහෙයින් උන්වහන්සේගේ ඇතිවෙමින් නැතිවන සිත නමැති පිරුවටය සෑමවිටම නොකිලිටිය. කොතනකවත් සත්වයෙක් පුද්ගලයෙක් නොදකින ඒ හිත නිරතුරුවම අනිත්‍ය දැක මැකී යන රූපම අඳී. එහෙයින් උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලුය. සරලය. පැහැදිලිය. විවෘතය. එය නිදහසේ ප්‍රතිබිම්බයයි.

ගිහි පැවිදි නිවන් මග වඩන ඔබද, මමද සොයා යන්නේ ඔන්න ඔය ස්වභාවයේ නිදහසයි. ජීවිතයෙන් සියළු බැඳීම් හිස්කල තැන... එතන ඇත්තේ නිදහසයි. පැවිදිවීම  සඳහා ගිහි ගෙදරින් ඔබ ඉවත්ව එන්නේ එතෙක් තමා රැස් කළ, අයිති කරගත් සියලු ලෞකික සම්පත් අයින් කර දමාය. ඔබ එසේ සියල්ල අයින්කර දමා එන්නේ ඇයි? අයින්කර දමා පැමිණි සියල්ල අතහැරීමටයි (ගතින් අයින් කළ දෙය සිතින් අයින් කිරීම). හොඳින් සිතන්න අයින් කිරීමත්, අත්හැරීමත් අහස පොළොව වගේ පරතරය ඇති දෙකකි. පැවිදි වීමෙන් පසුව කළ යුත්තේ අයින් කළ දේවල් අත්හැරීමට පුරුදු වීමටය. පුරුදු කිරීමටය. මොනවද ඔබ අයින් කළ දේවල්... දෙමාපියන්, නෑදැයින්, රැකියාව, ඉඩ කඩම් හා සමාජ තත්වය... කොටින්ම ඔබ මෙම ඉන්ද්‍රියන් හයට ඇලෙන දේවල් අයින් කොටදමා පැමිණ ඇත්තේ ඒ සියල්ල අතහැරීම සඳහාය. දැන් අරමුණ පැහැදිලිය. එසේ නම් ඔබ සොයා යායුත්තේ, අත්හැරීමට පුහුනුවීමට සුදුසු, රැස්කිරීම් නොකරන තැනකි. මොනවා රැස් නොකරන තැනක්ද...   කෙලෙස් රැස් නොකරන තැනකි...   සුවසේ සිත වැඩෙන තැනකි.

එවැනි ආරණ්‍යයක්, ශුන්‍යාගාරයක් නොමැතිනම් නිවන් මග වඩන ගුරුවරයකුගේ ඇසුර ලබාගනිමින් හුදෙකලා කුටියකට ඔබ යා යුතුය. ආරණ්‍ය තෘෂ්ණාව ගෝල තෘෂ්ණාව, විනය තෘෂ්ණාව, දිව්‍ය බ්‍රක්ම ලෝක තෘෂ්ණාවන්ට කොටුවුණ ස්ථාන මග හරින්න. ඉහත ස්වභාවයන් ඔබ ස්පර්ශ කිරීමෙන් නිවන් මග බව මගක් බවට පත් වීමට පුළුවන. අරමුණ ශක්තිමත්වුව ඔබ තවම පැවිද්දට නවකයෙක් වීමට පුළුවන. රැල්ල හමන දිශාවට ගසාගෙන යෑම තවමත් ඔබගේ ස්වභාවය වීමට පුළුවන. ඔබ ගිහි ගෙදර හැර ආවේ ජනප්‍රිය රැල්ල සමග යාමට නොව උඩුගංබලා යෑමටය. ඔබ අදක්ෂ වුවහොත් සශ්‍රීක සිව්පසය, දෙස් විදෙස් ගිහි පැවිදි සම්බන්ධතා, ගුරු ගෝල බැඳීම්වල අත්අඩංගුවට පත්වීමට සිදුවනු ඇත. ඔබ කිසිවක් අල්ලා නොගන්න. අල්ලා ගෙන ඇති සියලු දේ ක්‍රමානුකූලව අත්හරින්නට පුරදු කරන්න. ඔබ වයසින්, ජීවිතාවබෝධයෙන් පරිපූර්ණ පුද්ගලයකු ලෙස අරමුණක් ඇතිව ශාසනයට පැමිණි කෙනෙකු බව සිතන්න. එහෙත් තමා ගැන අධිතක්සේරුවකට නොඑන්න වගබලා ගන්න. සාමනේර ශීලය, උපසම්පදා සීලය ඉක්මවා ගිය සීලයක් මේ ශාසනය තුළ තිබෙන බව දකින්න. ඒ සීලය තවෙකුගෙන් ලැබිය හැකි දෙයක් නොව තමා විසින්ම ධර්ම විනය දෙක වැඩීමෙන්, තමා තමාවම පිහිටකර ගැනීමෙන් ලබාගත යුත්තක් බව සිහි තබා ගන්න. විනය යනු සුවසේ නිවන් මග තරණය කිරීමට ඇති මෙවලමක් මිස තමන්ගේ දෑත් දෙපා ස්වකැමැත්තෙන් බැඳගන්නා වරපටක් හෝ තමන්ගේ නිදහස මරාගන්නා පෝරකයක් නොවේ. ඉහළ අහසට ගුවන් යානයකින් යන ගුවන් භටයෙක් නිරුපද්‍රිතව බිමට පතිත වීමට පැරෂුටයක් උපයෝගී කරගන්නා සේ විනය ඔබ සුවසේ නිවන් මග තරණය කිරීමට යොදාගන්න. ගුවන් භටයා තම දෙපා පොළොවේ ස්පර්ශවන සැනින් පැරෂුටය අතහැර දමනු ඇත. විනය යනු අවබෝධය ලබමින් නිවැරදිවෙමින් අතහරින දෙයක් මිස බදාගන්නා දෙයක් නොව. වැරදි අතහැරීම පිණිස විනය බදාගැනීම තුළ රැස්වන්නේ තණ්හාවයි. තණ්හාව ඔබව රැගෙන යන්නේ නිවීම දෙසට නොව භාවය කරාය. විනය තුළ මා ඇතැයිද, ම තුළ විනය ඇතැයිද කියා ග්‍රහණය කර නොගැනීමට අප වග බලාගත යුතුය. විනය යනු සතිය හා සමාධියයි. ධර්මය යනු ස්වභාව ධර්මයයි. ධර්මයේ ස්වභාවය අනිත්‍යයි. අනිත්‍යය දෙස සතියෙන් බැලීම ධර්මය, විනය දෙක තුළ ජීවත් වීමයි. විනය අත්‍යාවශ්‍යය. ඒ නැවත නැවතත් වැරදි කිරීමට නොවේ. වැරදි කිරීමෙන් යුත් පෘථග්ජන සිත අවබෝධයෙන් හඳුනාගෙන වැරදි අතහැරීමටය. විනය සමග ගැටෙමින් නොසිට ඔබේ දුර්වලකම් සිහිය හා සමාධියෙන් යුතුව මගහරවා ගන්න. නිතරම “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන බුදු බණ පදය මතක තබා ගන්න.

නමුත් ඔබට ඔබව විශ්වාස නැතිනම්, ඔබ අදක්ෂ නම්, මාන්නය උද්දච්ච බව හා මාර්ග ඵල උන්මාදයෙන් පෙළෙන්නේ නම් ගුරුවරයා හා විනය අත්‍යාවශ්‍ය බව සිතන්න. එසේ නොවුන හොත් ඔබ මංමුලා වනු ඇත. ඔබේ හැකියාවන් ගැන අධිතක්සේරුවකට නොඑන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් වන්න. මන්දගාමී නොවන්න. සීග්‍රගාමීද නොවන්න. කාලසටහන්, පෙරසුදානම්, සැලසුම්වලින් හිස්වන්න. අමුතු ආයාසයක් නොදරන්න. ඉර, හඳ, මහපොළොව, සාගරය ආයාසයකින් තොරව ඒවායේ ස්වභාවයෙන් හැසිරෙන්නා සේ ඔබ ඔබේ ස්වභාවය තුළම නිවන් මග වඩන්න. ස්වභාව ධර්මයේ කොටසක් වන්න. ස්වභාව ධර්මයත්, ඔබත් අතර පරතරයක් නොතබන්න. බැස යන සඳත්, නැග එන ඉරත් ඔබ ඔබේ සිතිවිලි සමග සසඳන්න. නිදහස සොයා උඩුගං බලා යන සෙබලෙක් වන්න. විනයෙහි ඇලීම, බුදු දහම සජ්ජායනා කිරීම මදකට නවතා ඔබ පැවිදි වුයේ ඇයිද යන්න නිරතුවම මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරනා වාරයක් පාසාම ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේම බව අත්දැකීමෙන් දකින්න. නිහතමානීකම යනු හීනමානය නොවේ. භික්ෂුව යනු මේ ලොව සිටිනා ජවසම්පන්නම ඉලක්කය හඹායන්නා විය යුතුය. ඔහුව ඉක්මවීමට සමතෙක් මේ තුන් ලෝකයෙවත් නොමැත. මහ වනයේ තනිවම සරනා ඇතකුසේ ඔබ සොයන නිදහස ඔබ විසින්ම සොයා යායුතුය. ඔබ යන මේ ගමනේදී දහවල, රැය, වැස්ස, සීත නොදැනෙනු ඇත. මේ කිසිවකට ඔබව පාලනය කළ නොහැක. මෙලොව සිටිනා ජවසම්පන්නම පුද්ගලයා ලෙස ඔබ කෙලෙස් මාරයා හඹා යනු ඇත. ඔබ සොයා යන නිදහස සාක්ෂාත් කරගත යුතුව ඇත්තේ ඔබ විසින්මය. එය දෙවියෙකුට හෝ බ්‍රක්මයකුට කළ නොහැක්කකි. ඔවුනට කළ හැක්කේ ඔබට සාදු කාර දීමටය. ඔබ ඉදිරියේ ඔවුන් දෙවැනියාය. මේ මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතට ගෙන ඔබ මේ ලෝකයෙන් එතෙරවූ මුනිවරයෙක් වන්න. ඔබට එය කළ හැකි වන්නේ ‘එක්කෝ මරණය... එක්කෝ නිවීම...’ යන බරපතලම තීරණය ගැනීමට දක්ෂ වුවහොත් පමණකි. එවිට ඔබ සොයන නිදහස අර්ථවත් කරගත හැකිය.

0 comments:

Post a Comment