භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Thursday, April 7, 2022

බිය යනු කුමක් ද?


 බිය යනු අනාගතයට දෝෂාරෝපණය කිරීම ය. අපේ අනාගතය කෙතරම් අවිනිශ්චිත දැයි සිහි තබා ගත හැකි නම් අප කිසි විටක වැරදි අනාවැකි පැවසීමට තැත් නොකරනු ඇත. එවිට බිය මේ මොහොතෙහි ම අවසන් වනු ඇත.

මගෙ ළමා වියේ දී දන්ත වෛද්‍යවරයෙකු වෙත යාම මගෙ භීතියට හේතු විය. වරක් කලින් යොදා ගත් වෙලාවක් අනුව මා එහි ගියේ, බලවත් අකමැත්තෙනි. මගේ බිය, මෝඩකමක් බව පෙනිණි. මට ප්‍රතිකාර කිරීමට යොදා ගත් පිළිවෙල අවලංගු කර ඇති බව මට දන්වන ලදී. බිය යනු වටිනා කාලය කොතරම් නාස්ති කිරීමක් දැයි මට එදා වැටහිණි.

අනාගතය පිළිබඳ අවිනිශ්චිත බව තුළ බිය දිය වී ගියත්, අප අපේ බුද්ධිය භාවිත නොකළොත් අප දිය කර හැරීමට බිය සමත් වනු ඇත. කුන්ෆු නැමැති පැරණි රූපවාහිනී නාට්‍ය මාලාවේ චරිතයක් වූ සාමනේර භික්ෂුව එය දියකර හැරීමට ගොදුරු නොවුයේ යන්තමිනි. මා පැවිදි වීමට පෙර, ගුරුවරයෙකු වශයෙන් සේවය කළ කාලයේ දී ඒ නාට්‍ය මාලාව නැරඹීමට පුරුදු වී සිටියෙමි.

එක් කතාංගයක අන්ධ නායක භික්ෂුව ආශ්‍රමය පිටුපස පිහිටි කාමරය වෙත සාමණේරයන් කැඳවා ගෙන ගියේ ය. ඒ කාමරය තුළ මීටර් හයක් පමණ පළල තටාකයක් විය. ඒ හරහා ගමන් කිරීමට පාලමක් වශයෙන් පටු ලෑල්ලක් යොදා තිබිණි. ඒ තටාකයේ තිබුණේ ජලය නොව දරුණු ඇසිඩ් වර්ගයක් බැවින් ඒ අසලට වත් නො යන ලෙස නායක භික්ෂුව සාමණේරයන්ට අනතුරු ඇඟවිය.

“දිනක් සතකින් ඔබ ගැන පරීක්ෂණයක් සිදු වේවි. ලෑල්ල මත සමබරව ඇසිඩ් තටාකය හරහා ඔබ ගමන් කළ යුතුයි. නමුත් පරෙස්සම් වෙන්න. ඔබට පෙන්වා ද තටාකය පතුලේ තිබෙන මිනිස් ඇටකටු?”

සාමණේර භික්ෂුව පරෙස්සමෙන් එබී බැලු විට ඇටකටු රැසක් දකින්නට ලැබුණි.

“ඒවා අයිතිව තිබුණේ ඔබ වගේ ළාබාල සාමණේරයින්ට”

ඒ බිහිසුණු කාමරයෙන් පිටත වූ හිරැ රැසින් නැහැවුණු පන්සල් වත්ත වෙත සාමණේර භික්ෂුව කැඳවා ගෙන යන ලදී. එහි ඇසිඩ් තටාකය මත වූ ලෑල්ලේ ප්‍රමාණයට ම සරිලන ලෑල්ලක් ගඩොල් දෙකක් මත රඳවා තිබුණි. ඉදිරි සත් දවස තුළ ලෑල්ල මත ඇවිදීම පුහුණු වීම හැර අන් කිසිම රාජකාරියක් සාමණේර භික්ෂුවට නොවී ය.

එය ඉතා පහසු විය. දින කීපයකින් ලෑල්ල මත ඇස් බැඳගෙන පවා සමබරව ඇවිදීමට ඔහු සමත් විය.

පරීක්ෂණය පැවැත්වෙන දිනය උදා විය.

නායක භික්ෂුව විසින් ඇසිඩ් තටාකය සහිත කාමරයට ඔහු කැඳවා ගෙන යන ලදී. එහි වැටී ජීවිතක්ෂයට පත් වූ සාමණේරවරුන්ගේ ඇටකටු පතුලේ දිලිසෙමින් තිබිණි. ලෑල්ලේ කෙළවර මත සිටගත් සාමණේර භික්ෂුව නායක භික්ෂුව දෙස බැලී ය.

“හරි දැන් ඇවිදින්න”

පන්සල් වත්තේ තිබුණු ප්‍රමාණයේ ලෑල්ලට වඩා ඇසිඩ් තටාකය මටත් වූ ලෑල්ල පටු බව සාමණේර භික්ෂුවට දැනිණි.

ඔහු ඇවිදීමට පටන් ගත විට, පියවර ස්ථාවර නො වීය. ඔහු දෙපැත්තට පැද්දෙන්නට විය. ඒ වන විට ඔහු තටාකය හරහා අඩක් වත් ගමන් කර නො තිබිණි. ඔහු ඇසිඩ් තටාකය තුළට අද වැටෙන්නට යන බව පෙනිණි. මෙහි දී වෙළඳ දැන්වීම් සඳහා රූපවාහිනී නාට්‍යය මදක් නතර කරන ලදී.

අහිංසක සාමණේර භික්ෂුවට සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකිව මෝඩ වෙළඳ දැන්වීම් විඳ දරා ගැනීමට මට සිදු විය. වෙළඳ දැන්වීම් අසන විය. නාට්‍යය නැවත ඇරඹිණි. සාමණේර භික්ෂුවගේ ආත්ම විශ්වාසය බිඳ වැටුණු අතර දෙපැත්තට පැද්දුණු ඔහු තටාකය තකට අඩ වැටුණේ ය.

ඒ ශබ්දය අසා නායක භික්ෂුව සිනාසෙන්නට විය. තටාකය තුල වූයේ ඇසිඩ් නොව ජලයයි. පැරණි මිනිස් ඇටකටු කීපයක් එහි දමා තිබුණේ සාමණේර භික්ෂුව රැවටීමට ය.

“ඔබ ඇද වැටීමට හේතුව කුමක් ද?” නායක භික්ෂුව ඇසී ය. ඊට හේතුව බිය යි. පුංචි සාමණේරයෝ බිය විතරමයි.”



Wednesday, April 6, 2022

සූදුව

 


        පළමු කතාව -

මුදල් රැස් කිරීම දුෂ්කර වුවත් නැති කර ගැනීම පහසු වන අතර එසේ නැති කර ගැනීමේ හොඳම ක්‍රමය සූදුවයි. අන්තිමේ දී සියලු සූදු කාරයෝ පරාජිතයෝ ය. එහෙත් සූදුව මගින් විශාල මුදලක් රැස් කර ගත හැකි වේ යයි, මිනිසුන් තවමත් සිතති. අනාවැකි පැවසීම කෙතරම් අනතුරුදායක දැයි තහවුරු කිරීමට, පහත සඳහන් කතාන්දර දෙක පවසමි.

මගේ මිතුරෙකු එක් උදෑසනක පිබිදුණේ, පැහැදිලි සත්‍ය බව වැටහුණු සිහිනයක් දැකීමෙන් අනතුරුව ය.

සුරාංගනාවෝ පස් දෙනෙක්, රත්රන් පිරුණු භාජන පහක් ඔහුට ගෙනැවිත් දුන්හ. ඔහු දෙනෙත් විවර කර බැලූ විට, සුරාංගනාවන් ද රන් භාජන ද නිදන කාමරය තුළ නො වූවත් එය ඉතා අමුතු සිහියක් විය.

ඔහු මුළුතැන්ගෙයට ගිය විට, ඔහුගෙ උදෑසන ආහාරය වශයෙන් තැම්බූ බිත්තර පහක් ද, කර කරන ලද පාන් පෙති පහක් ද, බිරිඳ විසින් සුදානම් කර තිබිණි. එදා පුවත්පතේ සඳහන්ව තිබුණු පරිදි එය පස්වැනි (මැයි) මාසයේ පස්වැනි දා විය. අංක 5 පිළිබඳ ව කිසි යම් අමුත්තක් සිදු වන බව ඔහුට හැඟිණි. ඔහු අනතුරුව තුරඟ තරඟ විස්තර සඳහන් පිටුව හැරවී ය. තුරඟ පිටියේ නම Ascot වූ අතර අකුරු පහකි. පස්වැනි තරඟයේ පස්වැනි අශ්වයා ඔහුගේ අවධානයට ලක්විය.

සවස් වරුව නිවාඩු ලබා ගත් ඔහු, බැංකු ගිණුමෙන් ඩොලර් පන්දහසක් ලබා ගෙන, පස්වැනි අයකැමි වෙත ගොස්, පස්වැනි තරඟයේ, පස්වැනි අශ්වයා වෙනුවෙන් ඩොලර් පන්දහස ඔට්ටු ඇල්ලීය. වාසනාවන්ත අංක වූ 5ට වැරදුණේ නැත. ඔහුගේ අශ්වයා තරඟයේ පස්වැනියා විය.

 

        දෙවන කතාව -

 

දෙවැනි කතාන්දරය කලකට පෙර සිදු වූයේ සිංගප්පූරුවේ දී ය. ඕස්ට්‍රේලියානු තරුණයෙක්, රූමත් චීන තරුණියක සමග විවාහ විය. ඔවුන් වරක් නෑදැයින් බැහැ දැකීමට සිංගප්පූරුවට ගිය විට, එදා සවස තුරඟ තරඟ පිටියට යාමට සැරසී සිටි ඇගේ සහෝදරයෝ, තමන් සමග යාමට ඔහුට ද ආරාධනා කළහ. ඔහු ඊට එකඟ විය. එහි යාමට පෙර, සුප්‍රකට බෞද්ධ විහාරස්ථානයකට ගොස්, හඳුන්කූරු දල්වා වාසනාව පිළිබඳව ප්‍රාර්ථනා කිරීමට ඔවුන්ට උදක්ම අවශ්‍ය විය. ඔවුන් ඒ විහාරස්ථානයට ගිය විට එය අපවිත්‍ර බව දැක කොසු, ඉදල් ආදිය යොදා ගෙන මුළුමනින් පවිත්‍ර කළහ. ඉන් පසු හඳුන්කූරු දල්වා ප්‍රාර්ථනා කර තුරඟ තරඟ පිටියට ගියහ. ඔවුන් අධික මුදල් යොදා ඇල්ලූ සියලු ඔට්ටු පරාජය විය.





Friday, April 1, 2022

අනාවැකි පැවසීම

 


තමන්ගේ අනාගතය කෙබඳු වේ දැයි දැන ගැනීමට බොහෝ දෙනා ආශා කරති. අනාගතය උදා වන තුරු ඇතැම් අයට ඉවසීමක් නැත. ඒ නිසා ඔවුහු පේන කියන අයගෙත්, සාත්තර කාරයින්ගේත් පිහිට සොයති. මම ඔබට අනතුරු ඇඟවීමක් කරමි. කිසි විටක දුප්පත් සාත්තර කාරයෙකු ගැන විශ්වාස නො තබන්න.

දිනක් දිගු කලක් තිස්සේ ආවතේව කරන ගිහි දායකයෙක් තමන්ගේ අනාගතය පවසන ලෙස අචාන් චා හිමියන්ට ආයාචනය කළේ ය. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. සිල්වත් භික්ෂුහු අනාවැකි නො පවසති. එහෙත් දායකයා තුළ පැවතියේ ඒ පිළිබඳ දැඩි අධිෂ්ඨානයකි.

“මා කී වරක් ඔබ වහන්සේට දානය පිරිනමා ඇද්ද ? ආශ්‍රමය සඳහා කොපමණ මුදලක් පරිත්‍යාග කර ඇද්ද ? මගේත්, පවුලේත් වැඩ පසෙකට දමා, මගේ වාහනයෙන්, මගේ වියදමෙන් ඔබ වහන්සේ සමග ගමන් බිමන් ගිය හැටි මට මතක් වෙනවා.”

දායකයා, සිය අනාගතය දැන ගැනීමට දැඩි අධිෂ්ඨානයෙන් සිටි බව වැටහුණු එතුමා. ඔහු වෙනුවෙන් අනාවැකි නොපැවසීමේ නීතියට විශේෂයක් කරන බව පැවසී ය.

“ඔබේ අල්ල මට පෙන්වන්න”

දායකයා ඉමහත් ප්‍රීතියට පත් විය. එතුමා කිසිවකුට අනාවැකි පවසා නො තිබිණි. එපමණක් නොව, සෘද්ධි බල සහිත ඉසිවරයකු වශයෙන් ද එතුමා පිළිගැනිණි. එතුමා පවසන කුමන අනාවැකියක් වුව ද, නියත වශයෙන් සිදු වනු ඇත. එතුමා ඔහුගේ අල්ලේ රේඛා එකිනෙක විමසා බැලී ය. අන්තිමේ දී එතුමා ඔහුගේ අත අත්හැර මෙසේ පැවසී ය.

“දායකය, ඔබේ අනාගතය මෙසේ වේවි. මා පැවසූ දෙයක් කිසි විටෙක වැරදී නැත. ඔබේ අනාගතය අවිනිශ්චිතයි.” එය නිවැරදි ප්‍රකාශයක් විය.