Thursday, April 7, 2022

බිය යනු කුමක් ද?


 බිය යනු අනාගතයට දෝෂාරෝපණය කිරීම ය. අපේ අනාගතය කෙතරම් අවිනිශ්චිත දැයි සිහි තබා ගත හැකි නම් අප කිසි විටක වැරදි අනාවැකි පැවසීමට තැත් නොකරනු ඇත. එවිට බිය මේ මොහොතෙහි ම අවසන් වනු ඇත.

මගෙ ළමා වියේ දී දන්ත වෛද්‍යවරයෙකු වෙත යාම මගෙ භීතියට හේතු විය. වරක් කලින් යොදා ගත් වෙලාවක් අනුව මා එහි ගියේ, බලවත් අකමැත්තෙනි. මගේ බිය, මෝඩකමක් බව පෙනිණි. මට ප්‍රතිකාර කිරීමට යොදා ගත් පිළිවෙල අවලංගු කර ඇති බව මට දන්වන ලදී. බිය යනු වටිනා කාලය කොතරම් නාස්ති කිරීමක් දැයි මට එදා වැටහිණි.

අනාගතය පිළිබඳ අවිනිශ්චිත බව තුළ බිය දිය වී ගියත්, අප අපේ බුද්ධිය භාවිත නොකළොත් අප දිය කර හැරීමට බිය සමත් වනු ඇත. කුන්ෆු නැමැති පැරණි රූපවාහිනී නාට්‍ය මාලාවේ චරිතයක් වූ සාමනේර භික්ෂුව එය දියකර හැරීමට ගොදුරු නොවුයේ යන්තමිනි. මා පැවිදි වීමට පෙර, ගුරුවරයෙකු වශයෙන් සේවය කළ කාලයේ දී ඒ නාට්‍ය මාලාව නැරඹීමට පුරුදු වී සිටියෙමි.

එක් කතාංගයක අන්ධ නායක භික්ෂුව ආශ්‍රමය පිටුපස පිහිටි කාමරය වෙත සාමණේරයන් කැඳවා ගෙන ගියේ ය. ඒ කාමරය තුළ මීටර් හයක් පමණ පළල තටාකයක් විය. ඒ හරහා ගමන් කිරීමට පාලමක් වශයෙන් පටු ලෑල්ලක් යොදා තිබිණි. ඒ තටාකයේ තිබුණේ ජලය නොව දරුණු ඇසිඩ් වර්ගයක් බැවින් ඒ අසලට වත් නො යන ලෙස නායක භික්ෂුව සාමණේරයන්ට අනතුරු ඇඟවිය.

“දිනක් සතකින් ඔබ ගැන පරීක්ෂණයක් සිදු වේවි. ලෑල්ල මත සමබරව ඇසිඩ් තටාකය හරහා ඔබ ගමන් කළ යුතුයි. නමුත් පරෙස්සම් වෙන්න. ඔබට පෙන්වා ද තටාකය පතුලේ තිබෙන මිනිස් ඇටකටු?”

සාමණේර භික්ෂුව පරෙස්සමෙන් එබී බැලු විට ඇටකටු රැසක් දකින්නට ලැබුණි.

“ඒවා අයිතිව තිබුණේ ඔබ වගේ ළාබාල සාමණේරයින්ට”

ඒ බිහිසුණු කාමරයෙන් පිටත වූ හිරැ රැසින් නැහැවුණු පන්සල් වත්ත වෙත සාමණේර භික්ෂුව කැඳවා ගෙන යන ලදී. එහි ඇසිඩ් තටාකය මත වූ ලෑල්ලේ ප්‍රමාණයට ම සරිලන ලෑල්ලක් ගඩොල් දෙකක් මත රඳවා තිබුණි. ඉදිරි සත් දවස තුළ ලෑල්ල මත ඇවිදීම පුහුණු වීම හැර අන් කිසිම රාජකාරියක් සාමණේර භික්ෂුවට නොවී ය.

එය ඉතා පහසු විය. දින කීපයකින් ලෑල්ල මත ඇස් බැඳගෙන පවා සමබරව ඇවිදීමට ඔහු සමත් විය.

පරීක්ෂණය පැවැත්වෙන දිනය උදා විය.

නායක භික්ෂුව විසින් ඇසිඩ් තටාකය සහිත කාමරයට ඔහු කැඳවා ගෙන යන ලදී. එහි වැටී ජීවිතක්ෂයට පත් වූ සාමණේරවරුන්ගේ ඇටකටු පතුලේ දිලිසෙමින් තිබිණි. ලෑල්ලේ කෙළවර මත සිටගත් සාමණේර භික්ෂුව නායක භික්ෂුව දෙස බැලී ය.

“හරි දැන් ඇවිදින්න”

පන්සල් වත්තේ තිබුණු ප්‍රමාණයේ ලෑල්ලට වඩා ඇසිඩ් තටාකය මටත් වූ ලෑල්ල පටු බව සාමණේර භික්ෂුවට දැනිණි.

ඔහු ඇවිදීමට පටන් ගත විට, පියවර ස්ථාවර නො වීය. ඔහු දෙපැත්තට පැද්දෙන්නට විය. ඒ වන විට ඔහු තටාකය හරහා අඩක් වත් ගමන් කර නො තිබිණි. ඔහු ඇසිඩ් තටාකය තුළට අද වැටෙන්නට යන බව පෙනිණි. මෙහි දී වෙළඳ දැන්වීම් සඳහා රූපවාහිනී නාට්‍යය මදක් නතර කරන ලදී.

අහිංසක සාමණේර භික්ෂුවට සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකිව මෝඩ වෙළඳ දැන්වීම් විඳ දරා ගැනීමට මට සිදු විය. වෙළඳ දැන්වීම් අසන විය. නාට්‍යය නැවත ඇරඹිණි. සාමණේර භික්ෂුවගේ ආත්ම විශ්වාසය බිඳ වැටුණු අතර දෙපැත්තට පැද්දුණු ඔහු තටාකය තකට අඩ වැටුණේ ය.

ඒ ශබ්දය අසා නායක භික්ෂුව සිනාසෙන්නට විය. තටාකය තුල වූයේ ඇසිඩ් නොව ජලයයි. පැරණි මිනිස් ඇටකටු කීපයක් එහි දමා තිබුණේ සාමණේර භික්ෂුව රැවටීමට ය.

“ඔබ ඇද වැටීමට හේතුව කුමක් ද?” නායක භික්ෂුව ඇසී ය. ඊට හේතුව බිය යි. පුංචි සාමණේරයෝ බිය විතරමයි.”



0 comments:

Post a Comment