භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Tuesday, September 21, 2021

7 - මාර ප්‍රතිපදාව

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිවන් මග වඩන්නා මධ්‍යම ප්‍රතිපදාව තුල හික්මිය යුතුයැයි අවධාරණය කළහ. තුන් සිවුරත් පාත්‍රයත් පමණක් දරමින් රුක්ඛමූල, ශුනයාගාර, ආරණ්‍යගතව සසර දුකින් එතෙරවීමට අතීතයේ භික්ෂුන් කැපවිය. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ලෙස සසරින් එතෙරවීමට  වෙරවඩන භික්ෂුවට දැක්වුයේ ඔය සීමාවය. කැමති කෙනෙකුට තම තමන්ගේ කෙලෙස් වල දිග පළල අනුව මධ්‍යම ප්‍රතිපදාව අර්ථ දැක්විය හැකිය. ශාසනය තුල ඊට අවශ්‍ය නිදහස ඕනෑ තරම් ඇත. විවේචනය කිරීමේ නිදහසද ඇත. එහි කිසිදු වරදක් නොමැත. එහෙත් සසර දුකින් එතෙරවීමේ ප්‍රතිඵල අපේක්ෂිත පරිදි නොවනු ඇත. පාත්‍රය දරන පිණ්ඩපාතික භික්ෂුවට අවශ්‍ය රේසරය, සබන් කැටය පවා ගිහි දායකයාගෙන් විනයානුකූලව ලබා ගත හැකි ක්‍රමය පැහැදිලිවම ප්‍රතිපදාවේ සඳහන්ව ඇත. බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වන ලද ප්‍රතිඵල ලැබිය හැකි මධ්‍යම ප්‍රතිපදාව ඇත්තේ එතනය. භික්ෂුව පිණ්ඩපාතයෙන් ලද දෙයින් සතුටුවීම, යැපීම මධ්‍යම ප්‍රතිපදාවයි.

කප්පිය කුටියේ වියලි ආහාර තබාගෙන තිබෙන ස්ථානයක දානයට මිරිසට, තෙලට බැදුමට මොකුත් නැතිනම් හදාගැනීම මධ්‍යම ප්‍රතිපදාවට අදාළ නොවේ. නමුත් විනයෙන් ඊට පූර්ණ නිදහසක් ඇත. ඒම නිදහස උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීම වරදක්ද නොමැත.

මම නැවත කියමි. විනය ඇත්තේ අදක්ෂයාටය. දක්ෂයා ලද දෙයින් සතුටු වෙයි. නිවන් මග වැඩීමට බලාපොරොත්තු වන භික්ෂුව ගොඩ ගසන්නෙක් හෝ රැස් කරන්නෙක් නොව කුසගිනි සෑහීමට පත් වූ කල ඉතිරි අතහරින්නෙකි. හෙට දවසක් ඔහුට නැත. ඔහු ජීවත් වන්නේ වර්තමානයේය. වර්තමානයේ මේ අර්ථය හාස්‍යයක්  වීමටද පුළුවනි. විවේචනය කිරීමටද පුළුවන. වර්තමානයේ පමණක් නොව, බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීද මෙම අර්ථයට විවේචන එල්ල විය. ඉතින් අද ගැන කුමන කථාද? එහෙත් මේ මොහොතේදී ඉහත මග වඩන බුදු පුතුන්, මේ මග වැඩීමට උත්සහගන්නා, වීර්යවඩන, සරණක් මගක් සොයන බුදු පුතුන් විශාල පිරිසක් මේ දෙරණ මත වැඩ සිටින බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. උන්වහන්සේලා තමන් වැඩ සිටින්නෙ කැලයේ. යැපෙන්නේ පාන්ශකූල සිවුරෙන්, පිණ්ඩපාතයෙන් යයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් යන මාධ්‍යකරුවන් නොවේ. උන්වහන්සේලා ඉහත අවමයද පරිහරණය කරනුයේ බදා ගැනීමට නොව අතහැරීමට නොහැකි නිසාය. තම  නිවන් අරමුණ ජයගන්නා තුරු කය ආරක්ෂා කරගත යුතුය. භික්ෂුව ප්‍රත්‍යවේක්ෂාවෙන් වැළඳිය යුත්තේ දායකයා පුජාකරන ආහාරයයි. එම රස ගුණ මදැයි සිතා, රස තෘෂ්ණාවෙන් තමන් හෝ කැපකරු ලවා, කටට රසට හදවාගත් දෙය ප්‍රත්‍යවේක්ෂා කොට වැළඳීම මධ්‍යම ප්‍රතිපදාව නොවේ. එහෙත් එය විනයට එකඟව කල හැකි බව මමද පිළිගනිමි. යමෙක් එසේ කරනවානම් එය විවේචනයද නොකරමි. මේවා ලෝකයේ පවතින ස්වභාවයන්ය. එහෙයින් අප නොගැටිය යුතුය.

නිවන උදෙසාම කැපවන්නා කප්පිය කුටිය, ගෑස්ලිප, උණුවතුර බෝතලය වැනි සංඥාවලින් මිදිය යුතුය. මේවා ඔබේ රස තෘෂ්ණාව අවදි කරන මාරයෝය. මධ්‍යම ප්‍රතිපදාවත්, කාමසුකල්‍යකානු මගත් අතරමැද ද අන්තයක් ඇත. එය මධ්‍යම ප්‍රතිපදාව හෝ කාමසුකල්‍යකානු මග නොවේ. මධ්‍යම හා කාමසුකල්‍යකානු දෙකේම එකතුවකි. දෙකේම මුසුවකි. එය හරියට ඇලීමත් ගැටීමත් මැද තිබෙන උපේක්ෂාව මෙනි. උපේක්ෂාව තුල ඇලීමත් ගැටීමත් දෙකම තිබේ. ඉහත අවස්තාවේදී මාධ්‍යම ප්‍රතිපදාව ඉක්මවා ගිය තත්වයකුත්, කාමසුඛලයකානු මග ස්පර්ශ කරන ස්වභාවයක්ද ඇත. අපි මෙයට මාර ප්‍රතිපදාව යයි කියමු. මධ්‍යම ප්‍රතිපදාව යැයි දකිමින් මාර ප්‍රතිපදාවක හික්මෙමින් අපි නිවන් මග සොයන්නෙමු. එළදෙන පැටවා සමග සිටියත් ඔබ කිරි දොවන්නේ පැටවාගෙන් නම් ඔබට කිරි නොලැබෙනු ඇත. එය එළදෙන හෝ පැටවාගේ වරද නොවේ. ඔබගේ වරදය. එහෙත් ඔබ ඉදිරියේ එළදෙනත් තන බුරුලත් දෙකම ඇත. විනය නමැති කඹයෙන් ඔබ එළදෙන දිගේලි කරමින් සිටියාට ඵලක් නොමැත. එළදෙනගේ ගොම, මුත්‍රා, එකතු කරාටද වැඩක් නොමැත. ඔබ එළදෙනගෙන් පස්ගෝරස ලබාගැනීමට දක්ෂ විය යුතුය. ඔබ දක්ෂයෙක් වන්නේ එය අවබෝධ කරා ගැනීමෙන්ය. ඊට මග සැබෑ මධ්‍යම ප්‍රතිපදාවයි.

තුන් සිවුරත් පාත්‍රයක් දරමින් ආරණ්‍ය, ශුන්‍යාගාර, රුක්ඛමූලගතව තම ප්‍රතිපදාව වැඩීමට ඔබ කැපවුවහොත්, අර්ථවත් මධ්‍යම ප්‍රතිපදාවක් ඇත්තේ එතනය. හොඳට හිතන්න. දිව බොරු කීවද, ඔබේ හදවත බොරු නොකියනු ඇත. එය ඔබට දැකිය හැක්කේ ප්‍රඥාවෙන් පමණි. ලෝකයේ බරින් නිදහස් වීමට ප්‍රථම, ඔබ ඔබේ බරින් නිදහස් වන්න. ඔබේ බරින් ඔබ නිදහස් වූ විට, ඔබ මෙතෙක් දරා සිටියේ ලෝකයේම බර බව ඔබට තෙරුම් යනවා ඇත. තමාට අයිති නොමැති ලෝකයේ බර, අවිද්‍යාව නිසා දරාගෙන සිටින පෘථග්ජන සත්වයාගේ මෝහයේ දිග පළල ඔබට අවබෝධ වනුයේ ඔබ ලෝකයෙන් නිදහස් වූ විටදීය. ඔබ සැබෑ ලෙසම මධ්‍යම ප්‍රතිපදාවේ හික්මෙනින් නිවන් මග තරණය කළහොත් මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතට ගත හැකිය. එවිට ඔබට මෙහෙම දැනේවි. ‘මා ලෝකයෙන් ජයගත්තා’ කියලා. ලෝකයෙන් ජයගැනීමේ ශක්තිය ඔබ සැමගේ අධ්‍යාත්මය තුල සැඟවී ඇත. ඔබ කලයුත්තේ එය මතුකර ගැනීම පමණක්ය. මෙම ජීවිතයේදී ඔබ එය මතුකර ගැනීමට උකටලී වුවහොත් තව කල්ප ගණනාවක් ඔබට දුක් විඳීමට සිදුවනු ඇත.