භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Sunday, April 30, 2023

තීරණ ගැනීම

 

විසඳුමක් සහිත ගැටලුවක් සඳහා තීරණයක් අවශ්‍ය වේ. එහෙත් අප අපේ ජීවිතයේ වැදගත් තීරණ ගන්නේ කෙසේ ද?

සාමාන්‍යයෙන්, අප වෙනුවෙන් අසීරු තීරණ ගැනීම වෙනත් කෙනෙකුට පැවරීමට අපි තැත් කරන්නෙමු. එවිට, ඒ තීරණය වැරදුණොත් එහි වරද ඔහු පිට පැටවිය හැකි ය. මගේ ඇතැම් මිතුරන්, ඔවුන් සඳහා තීරණ ගැනීම මට පැවරීමට තැත් කළත් මම ඊට නො රැවටෙමි. මා කරන්නේ, තමන් ම බුද්ධිමත් තීරණ ගන්නා අයුරු ඔවුන්ට පෙන්වා දීම ය.

අප සතර මංසන්ධියකට පැමිණි, කුමන දිසාවකට යා යුතු දැයි නිශ්චිතව නො දත් විට, කළ යුත්තේ, පසෙක හිඳ ගෙන, බසයක් පැමිණෙන තුරු බලා සිටීම ය. සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු නො වූ තරම් ඉක්මනින් බසයක් පැමිණෙනු ඇත. ගමනාන්තය සඳහන් නාම පුවරුවක් හැම පොදු ප්‍රවාහන බසයක ම තිබේ. ඒ පට අවශ්‍ය ගමනාන්තය නම් ඒ බසයට ගොඩ විය යුතු ය. එසේ නො වේ නම්, මැදක් රැඳී සිටින විට, තවත් බසයක් පැමිණෙනු ඇත.

තීරණයක් ගැනීමට අපට සිදු වූ විට, ඒ තීරණය කුමක් විය යුතු දැයි, නිශ්චිත අවබෝධයක් නැත්නම්, මදක් විවේක ගෙන බලා සිටිය යුතු ය. සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු නො වූ තරම් ඉක්මනින්, විසඳුමක් ලැබෙනු ඇත. තමන්ගේ ම ගමනාන්තයක්, හැම විසඳුමකට ම තිබේ. ඒ ගමනාන්තය අපට ගැලපේ නම්, අප ඒ විසඳුම භාර ගත යුතු ය. එසේ නො වේ නම්, මදක් රැඳී සිටින විට, තවත් විසඳුමක් ලැබෙනු ඇත. මා, මගේ තීරණ ගන්නේ, ඒ ක්‍රමයට ඇය. සියලු ම තොරතුරු රැස් කර ගෙන, විසඳුමක් ලැබෙන තුරු බලා සිටිමි. මා ඉවසීමෙන් බලා සිටින හැම විටක ම, යහපත් විසඳුමක් ලැබේ. බොහෝ විට එය ලැබෙන්නේ අනපේක්ෂිත ලෙස ය.

Thursday, April 20, 2023

ඔබේ උපන් ශක්තිය යොදන්න

 

දාහත්වැනි සියවසේ විසූ, ප්‍රංශ දාර්ශනික හා ගණිතඥ බ්ලේසි පැස්කෝල් වරක් මෙසේ පැවසී ය.

“මිනිසාගේ සියලු ගැටලු උද්ගත වන්නේ, නිශ්චලව හිඳ ගෙන සිටින සැටි ඔහු නො දත් නිසා ය.”

‘නිශ්චලව හිඳ ගෙන සිටිය යුත්තේ කුමන අවස්ථාවල දී දැයි නො දත් නිසා ය’ යනුවෙන්, ඊට යමක් එකතු කිරීමට මම කැමැත්තෙමි.

1967 වර්ෂයේ දී, ජෝර්දානය, ඊජිප්තුව සහ සිරියාව සමග, ඊශ්‍රායලය යුද වැඩී සිටියේ ය. ඒ යුද්ධය අතරමැද දී, පුවත්පත් වාර්තාකරුවෙක් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති හැරල්ඩ් මැක්මිලන් මහතා හමු වී, මැද පෙරදිග අර්බුදය පිළිබඳව එතුමාගේ අදහස් විමසී ය.

“මැද පෙරදිග අර්බුදයක් නැහැ”යනුවෙන් මේ පරිණත දේශපාලඥයා, පැකිළීමකින් තොරව පැවසී ය.

වාර්තාකරු මවිතයට පත් විය.

“මැද පෙරදිග අර්බුදයක් නැතැ යි යනුවෙන් ඔබතුමා අදහස් කරන්නෙ කුමක් ද? එහි දරුණු යුද්ධයක් පවතින බව ඔබතුමා දන්නේ නැද්ද? අප මේ කථා කරන අතරේ, බෝම්බ හෙළන බව, යුධ ටැංකි, ඔවුනොවුන් විනාශ කරන බව, සෙබළුන් සිය ගණනින් මියයන බව, ඔබතුමාට වැටහෙන්නේ නැද්ද? ඉතින් කොහොමද කියන්නෙ, මැද පෙරදිග අර්බුදයක් නැහැ කියලා ?”

පරිණත දේශපාලනඥයා, සන්සුන්ව මෙසේ පැවසී ය.

“අර්බුදයක් නම්, ගැට‍ළුවක් නම්, ඊට විසඳුමක් තිබෙනවා, මැද පෙරදිග ප්‍රශ්නයට විසඳුමක් නැහැ. ඒ නිසා ඒක ගැට‍ළුවක් නො වේ.”

විසඳුමක් නැති ගැටලු පිළිබඳව කනස්සලු වීමට, අපේ ජීවිතය කොපමණ කාලයක් අපතේ යවා ඇද්ද?

Thursday, April 13, 2023

මරණ තුනක් දැකි මිනිහෙක් පැණි කෑ ය

 මීට පෙර සඳහන් කළ කතාන්දරයේ දී මෙන්, භයානක ආපදාවක දී අප ප්‍රතිචාර දක්වන ආකාරය විස්තර කෙරෙන තවත් පැරණි බෞද්ධ කතන්දරයක් තිබේ.

වනාන්තරයේ දී, කොටියෙක් මිනිසකු ලුහුබැඳී ය. කොටියකුට මිනිසකුට වඩා වේගයෙන් දුවන්නට හැකි වන අතර, උන් මිනී මස් කන බව ද ප්‍රකට ය.

කොටියා ඔහුට පහර දීමට සැරසෙන විට ම බිරාන්ත වූ ඔහු ඇසල වූ පාළු ලිඳක් තුලට පැන්නේ ය. තමන් කලේ බරපතළ බව, පනින විට ම ඔහුට වැටහිණි. ලිඳෙහි ජලය සිඳී තිබුණු අතර විශාල සර්පයෙකු ලිං පතුලේ දරණ ගසා ගෙන සිටින බව පෙනිණි.

ඉවෙන් මෙන්, ලිඳේ පසෙක වූ ගසක මුලක් ඔහු ඩැහැ ගත්තේ ය. ඒ නිසා ලිං පතුලට නො වැටී බේරීමට ඔහුට හැකි විය. පියවි සිහිය ලැබී පහත බැලූ ඔහුට දකින්නට ලැබුණේ, සර්පයා හිස ඔසවා ඔහුගේ දෙපාවලට දෂ්ඨ කිරීමට තැත් කරන බව ය. එහෙත්, ඔහුගේ දෙපා පිහිටියේ ඊට වඩා ඇබිත්තක් ඉහළිනි. උඩ බැලූ විට, කොටියා ලිඳ තුළට නැඹුරු වී ඔහුගේ දෑත් පහුරු ගෑමට තැත් කරන බව පෙනුණි. එහෙත් ගසේ මුල අල්ලා ගෙන සිටි ඔහුගේ දෑත පිහිටියේ, ඊට වැඩ ඇබිත්තක් පහලිනි. තමන් මුහුණ පා සිටි භයානක ආපදාව ගැන ඔහු කල්පනා කරන විට, මීයන් දෙදෙනකු, ගසේ මුල සපා කෑමට පටන් ගත් බව පෙනුණි.

කොටියා, මිනිසාගේ දෑත් පහුරු ගෑමට තැත් කරද්දී, උගේ පස්සා ගාත් කුඩා ගසක ඇතිල්ලීමෙන් එය සෙලවෙන්නට විය. එහි ලිඳ පැත්තට නැමුණු අත්තක බැඳ තිබුණු මීවදයකින්, ලිඳ තුළට මී පැණි බිංදු වැටෙන්නට විය. ඔහු දිව දික්කර, මී පැණි බිංදු කීපයක් අල්ලා ගෙන රස බලන්නට විය.

සම්ප්‍රදායික වශයෙන්, මේ කතාන්දරය එතැනින් අවසන් වේ. එය ජීවිතයේ සැබෑ ස්වරූපය පෙන්වා දෙන්නේ ඒ නිසා ය. එය, ජීවිතයේ සැබෑ ස්වරූපය පෙන්වා දෙන්නේ ඒ නිසා ය. දීර්ඝ ටෙලි නාට්‍යවල මෙන්, ජීවිතයට ද ක්‍රමවත් අවසානයක් නැත. ජීවිතය සදහට ම සම්පූර්ණත්වය පිලිබඳ ක්‍රියාවලියක යෙදී සිටී.

ඊට අමතරව, අපේ ජීවිතය බොහෝ විට කුඩා ගින්නෙන් පෙළෙන කොටියෙකුට හා විෂඝෝර සර්පයකුට මැදි වූවා මෙනි. එබඳු භයානක අවස්ථාවල දී පවා, හැම විටම, කොතනකින් හෝ ‘මී පැණි බිංදු අපට ලැබේ. අප බුද්ධිමත් නම් එහි රස විඳීමට අපට පුළුවන. කළ හැකි කිසිවක් නැති විට, කිසිවක් නො කර, ජීවිතයේ රසවත් බව අත්විඳින්න.

මා මුලින් සඳහන් කළ පරිදි මේ කතාන්දරය, සාම්ප්‍රදායික වශයෙන්, එතැනින් අවසන් වුවත්, මම සාමාන්‍යයෙන් එහි සැබෑ අවසානයේ ශ්‍රාවක පිරිසට පවසමි.

මිනිසා මී පැණිවල රස බලද්දී, මීයන් ගසේ මුල සපා කද්දී, සර්පයාගේ හිස ඔහුගේ දෙපා වලට තවත් ලං වෙද්දී, කොටියාගේ ඉදිරි ගාත් ඔහුගේ අත පහුරු ගෑමට සරදෙද්දී, පමණට වඩා ලිඳ තුළට නැඹුරු වූ කොටියා එහි පතුලෙහි සිටි සර්පයා මතට ඇද වැටී ඌ සුණු විසුණු වූ අතර, කොටියා ද මළේ ය.

එවැනි දේ සිදුවිය හැකි ය. සාමාන්‍යයෙන්, අනපේක්ෂිත දේ සිදු වීම අපේ ජීවිතයේ ස්වභාවයයි. එබැවින්, ඉතා දරුණු ගැටලුවල දී පවා, යම් රස විඳීමකට ලැබෙන අවස්ථාව, අපතේ හරින්නේ මන්ද? අනාගතය අවිනිශ්චිත ය.

Monday, April 10, 2023

කලබල නොවීමෙන් දිවි රැක ගත හැකි ය

 
 මා කලක් තිස්සේ දැන සිටි එක් බුද්ධිමත් භික්ෂුවක්, මිතුරකු සමග ඕස්ට්‍රේලියාවේ වනගත පෙදෙසක සංචාරයක යෙදී සිටියේ ය. එක් උෂ්ණාධික සවස් කාලයක, හුදකලා වූ කදිම වෙරළ තීරයකට ඔවූහු ලඟා වූහ. විනෝදය සඳහා පිහිනීම, භික්ෂු විනයට පටහැණි වුවත්, නිල්වන් මුහුද ආකර්ශණීය වූ අතර, දීර්ඝ සක්මනකින් පසු, ඇඟ නිවා ගැනීමට ද ඔහුට අවශ්‍ය විය. ඔහු ඇඳුම් උනා තබා දියට බැස්සේ ය.

ඔහු තරුණ ගිහියකු වශයෙන් සිටි කාලයේ පිහිනුම් ශූරයකු වුවත්, දිගු කලක් භික්ෂු ජීවිතයක් ගත කළ බැවින්, ඔහු අවසන් වරට පිහිනීමෙහි යෙදුණේ, වසර කීපයකට පෙර ය. දියට බස මිනිත්තු දෙකකට පමණ පසු, ප්‍රබල දිය වැලකට හසු වී, ඔහු දියඹ දෙසට ගසාගෙන යන්නට විය. එය දරුණු දියවැල් සහිත ඉතා අනතුරුදායක වෙරළ තීරයක් බව, ඔහුට පසුව දැන ගන්නට ලැබිණි.

මුල දී, දියවැලට ප්‍රතිවිරුද්ධ දිසාවට පිහිනීමට ඔහු තැත් කළත්, එහි වේගවත් බව, ඔරොත්තු නො දෙන තරම් අධික වූ බව ඔහුට වැටහිණි. පිහිනීම පිළිබඳව ඔහු ලබා තිබුණු පුහුණව මෙහි දී ඔහුට පිහිට විය. කලබල නො වූ ඔහු, දියවැල සමග ඈතට ඇදී ගියේ ය.

එබඳු අවස්ථාවක සන්සුන්ව සිටීම ඉතා නිර්භීත ක්‍රියාවක් විය. වෙරළ තීරය ඔහුගෙන් ක්‍රමයෙන් දුරස් වන සැටි ඔහුට පෙනිණි.

දියවැලෙහි වේගවත් බව අඩු වූයේ ඔහු ගොඩබිමින් මීටර් සිය ගණනක් දුරස් ව සිටිය දී ය. ගොඩබිම දෙසට පිහිනීම ඔහු ආරම්භ කළේ එවිට ය.

වෙරළ තීරයකට පැමිණෙන විට, ඔහු අතිශයින් හෙම්බත්ව සිටියේ ය. දියවැලට ප්‍රතිවිරුද්ධ පිහිනීමට තැත් කළේ නම්, ඔහු ඒ සටනින් පරදින බව නිශ්චිත වශයෙන් දැන සිටියේ ය. එසේ උත්සහ කළත්, ඈත මුහුදට ඇදී යාම එසේ ම සිදුවන අතර, ශක්තිය හීන වීම නිසා, ආපසු ගොඩබිමට පිහිනා ඒමට නොහැකි වනු ඇත. දියවැල සමග ඇදී යාමට ඉඩ නො දී කලබල වූවා නම් ඔහුගේ දියේ ගිලී මිය යනු නියත ය.

‘කළ හැකි කිසිවක් නැති විට, කිසිවක් නො කරනු යන ආප්තෝපදේශය, හුදු කල්පනා මාත්‍රයක් නො වන බව, එබඳු කතාන්දරවලින් තහවුරු වේ. එය දිවි රැක දෙන බුද්ධිමත් ආකල්පයක් වීමට ඉඩ තිබේ. දියවැල ඉතා ප්‍රබල වන හැම විටක ම, හෙවත් බාධක ඉතා බරපතළ වන විට, කලබල නො විය යුතු ය.