මා කලක් තිස්සේ දැන සිටි එක් බුද්ධිමත් භික්ෂුවක්, මිතුරකු සමග ඕස්ට්‍රේලියාවේ වනගත
පෙදෙසක සංචාරයක යෙදී සිටියේ ය. එක් උෂ්ණාධික සවස් කාලයක, හුදකලා වූ කදිම වෙරළ
තීරයකට ඔවූහු ලඟා වූහ. විනෝදය සඳහා පිහිනීම, භික්ෂු විනයට
පටහැණි වුවත්, නිල්වන් මුහුද ආකර්ශණීය වූ අතර, දීර්ඝ සක්මනකින් පසු, ඇඟ නිවා ගැනීමට ද ඔහුට
අවශ්‍ය විය. ඔහු ඇඳුම් උනා තබා දියට බැස්සේ ය.
ඔහු තරුණ ගිහියකු වශයෙන් සිටි කාලයේ පිහිනුම් ශූරයකු
වුවත්, දිගු කලක් භික්ෂු ජීවිතයක් ගත කළ
බැවින්, ඔහු අවසන් වරට පිහිනීමෙහි යෙදුණේ, වසර කීපයකට පෙර
ය. දියට බස මිනිත්තු දෙකකට පමණ පසු, ප්‍රබල දිය වැලකට හසු
වී, ඔහු දියඹ දෙසට ගසාගෙන යන්නට විය. එය දරුණු දියවැල්
සහිත ඉතා අනතුරුදායක වෙරළ තීරයක් බව, ඔහුට පසුව දැන ගන්නට
ලැබිණි.
මුල දී, දියවැලට ප්‍රතිවිරුද්ධ දිසාවට පිහිනීමට ඔහු තැත් කළත්, එහි වේගවත් බව, ඔරොත්තු නො දෙන තරම් අධික වූ බව ඔහුට වැටහිණි. පිහිනීම
පිළිබඳව ඔහු ලබා තිබුණු පුහුණව මෙහි දී ඔහුට පිහිට විය. කලබල නො වූ ඔහු, දියවැල සමග ඈතට ඇදී ගියේ ය.
එබඳු අවස්ථාවක සන්සුන්ව සිටීම ඉතා නිර්භීත ක්‍රියාවක්
විය. වෙරළ තීරය ඔහුගෙන් ක්‍රමයෙන් දුරස් වන සැටි ඔහුට පෙනිණි.
දියවැලෙහි වේගවත් බව අඩු වූයේ ඔහු ගොඩබිමින් මීටර්
සිය ගණනක් දුරස් ව සිටිය දී ය. ගොඩබිම දෙසට පිහිනීම ඔහු ආරම්භ කළේ එවිට ය.
වෙරළ තීරයකට පැමිණෙන විට, ඔහු අතිශයින් හෙම්බත්ව සිටියේ ය.
දියවැලට ප්‍රතිවිරුද්ධ පිහිනීමට තැත් කළේ නම්, ඔහු ඒ
සටනින් පරදින බව නිශ්චිත වශයෙන් දැන සිටියේ ය. එසේ උත්සහ කළත්, ඈත මුහුදට ඇදී යාම
එසේ ම සිදුවන අතර, ශක්තිය හීන වීම නිසා, ආපසු ගොඩබිමට
පිහිනා ඒමට නොහැකි වනු ඇත. දියවැල සමග ඇදී යාමට ඉඩ නො දී කලබල වූවා නම් ඔහුගේ දියේ
ගිලී මිය යනු නියත ය.
0 comments:
Post a Comment