Sunday, March 5, 2023

ගැලවෙන්නට මගක් නැති විට, තේ පානය කිරීම

 

හැම විට ම, අපට ඇති පහසුකම්වලින් කුමක් හෝ කළ හැකි ය. පහත සඳහන් කතන්දරය මට පැවසුවේ, මගේ පැරණි මිතුරෙකි. ඔහු මා සමග ගුරුවරයෙකු වශයෙන් සේවය කළ අතර, ඊට පෙර දෙවැනි ලෝක යුද්ධයේ දී, බ්‍රිතාන්‍ය හමුදාවේ සෙබළෙකු ලෙස සේවය කර තිබිණි.

මගේ මිත්‍ර තරුණ සෙබළා බුරුමයේ (මියන්මාරය) වනාන්තරයක මුර සංචාරයේ යෙදී සිටියේ ය. මව් රටින් දුර බැහැර රටක සිටි මේ තරුණයා පසු වූයේ දැඩි බියෙනි. ඒ අතර මුර සංචාරයක පිරිසේ සිටි ඔත්තු බැලූ සෙබළා කපිතාන්ට පැවසුවේ භයානක ආරංචියකි. ඒ කුඩා පිරිස අසල, සතුරු ජපන් සෙබළුන් විශාල පිරිසක් සිටිනු දකින්නට ලැබිණි. තරුණ සෙබළා මරණයට සූදානම් විය. සටන් කිරීම සඳහා කපිතාන්ගෙන් අණ ලැබෙන තුරු ඔහු බලා සිටියේ ය. සටනින් ජය ගත නොහැකි වුවත්, සතුරන් කීප දෙනකු හෝ මරා ගෙන මිය යාම, හමුදාවේ පිළිවෙත ය.

එසේ වුවත්, නොසෙල් වී සිටින ලෙස, කපිතාන් සිය සෙබළුන්ට අණ කළේ ය. එපමණක් නොව, බිම හිඳ ගෙන, තේ කෝප්පයක් පානය කිරීමට ද අණ ලැබිණි.

කපිතාන් උමතු වී ඇතැයි, තරුණ සෙබළා සිතී ය. බලගතු සතුරු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වීමට ආසන්නව සිටිය දී, තේ කෝප්පයක් ගැන සිතීමට වත් පුළුවන් ද?

හමුදා නීතිය අනුව, අණ පිළිපැදිය යුතු බැවින්, තමන්ගේ අන්තිම තේ කෝප්පය පානය කිරීමට සෙබළු සූදානම් වූහ. ඒ අතර ඔත්තු බලන සෙබළා, කපිතාන්ට යම් ආරංචියක් දැන්වී ය. කපිතාන් සෙබළ පිරිස ඇමතී ය.

“සතුරා, ඈතට ගිහින්. දැන් අපට තියෙනවා ගැලවෙන්නට මගක්. ඉක්මනට සුදානම් වෙන්න. හරි...! දැන් මෙතනින් අප යමු.”

ඔවුහූ කවුරුත්, සුරක්ෂිත ව, එතැනින් පැන ගත්හ. ඒ විස්තරය මට පැවසීමට ඔහුට හැකි වූයේ එබැවිනි. කපිතාන්ගේ බුද්ධි මහිමය නිසා පණ බේරා ගත් බව ඔහු පැවසී ය. එපමණක් නොව එදා උගත් ‘පාඩම, ජීවිතයේ බොහෝ අවස්ථාවල දී පිහිට වූ බවත්, ‘සතුරාගෙන් පණ බේරා ගැනීමට එය ආදර්ශයක් වූ බවත් ඔහු විස්තර කලේ ය. ‘සතුරා’ යනුවෙන් ඔහු අදහස් කළේ, දරුණු රෝගාබාධ, බිහිසුණු ආපදා සහ ඛේදවාචක ය.

බුරුමයේ දී ලද එබඳු අත්දැකීමක් නොමැති වී නම්, ඒ ‘සතුරන්’ගෙන් බේරීමට තැත් කිරීමේ දී ඒ ගැටලු වඩාත් උග්‍ර විය හැකිව තිබිණි. එහෙත්, ඒ වෙනුවට, මරණය හෝ මාරක උවදුරු ඉතා ආසන්න බව පෙනුණත්, ඔහු කළේ හිඳ ගෙන තේ කෝප්පයක් පානය කිරීම හෙවත් ඉතා සන්සුන්ව ඒ අවස්ථාවලට මුහුණ දීම ය.

ලෝකය හැම විට ම වෙනස් වෙමින් පවතී. ජීවිතය අනිත්‍ය ය. ඔහු සන්සුන්ව, තම ශක්තිය රැක ගෙන සුදුසු අවස්ථාව එන තුරු බලා, සුරක්ෂිත ව ඉන් බේරීම සඳහා සාර්ථක ක්‍රමයක් අනුගමනය කලේ ය.

සන්සුන් ව සිටීමට අකමැති අය, මේ කියමන මතක තබා ගත යුතු ය.

“කළ හැකි කිසිවක් නැති විට, කිසිවක් නො කළ යුතු ය.” එය සුලබ අදහසක් බව පෙනුණත්, එමගින් ඔබේ පණ රැකෙනු ඇත.

0 comments:

Post a Comment