භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Tuesday, May 4, 2021

ලාෆින් බූදා

         ලාෆින් බුද්ධ ගැන දැනගැනීමට ප්‍රථමව මේ පිළිම, රූප, සංකේත එන ෆෙන්ශුඉ ගැන විමසා බැලීම වටී. ෆෙන්ශුඉ වලට අනුව ෆෙන්ශුඉ යනු මෙම ලෝකයේ පවතින සුභ ශක්තිය පවත්වා ගැනීම හා අසුභ ශක්තිය බැහැරවන පරිදි පුළුවන් වන පරිදි අප අවට ඇති ද්‍රව්‍ය හසුරුවා ගැනීම ලෙස විග්‍රහ කළ හැක. මෙම ශක්තිය වන්නේ හිරුගේ ශක්තිය, පිරිසිඳු වාතය, ගස්වැල් වල ශක්තිය වැනි විශ්වයේ ස්වභාවික සම්පත්වල ඇති ශක්තියයි. පොදුවේ සියලු කරුණු සලකා බැලීමේදී ෆෙන්ශුඉ වල හරය ලෙස වටහාගත හැක්කේ සොබාදහම කුමක්ද යන්න දැනගෙන, සොබාදහමේ ශක්තිය වටහාගනිමින් එම ශක්තිය මතුකර ගනිමින්, පිළිවෙල හා පිරිසිඳුව අප අවට සහ ගේ දොරේ පවත්වාගනිමින්, පරිසරයේ කොටසක් ලෙස ජීවත්වීමයි. එයින් මානසික සුවය හා සතුට දනවන නිදහස් වටපිටාවක්, හිතකර පරිසරයක් හිමිකර ගැනීමයි. මෙය අද නවීන වාස්තු විද්‍යාවද පිළිගන්නා කරුණකි. නමුත් මේ කාසි, පින්තූර, බඳුන්, ගල්, සංකේත, සීනු, සත්ව රූප... ආදිය ළඟ තබාගැන්මෙන් සැලසෙනවා යැයි කියනා වාසනාව හෝ දියුණුව මෙම වාස්තු විද්‍යාවටද හසුකරගැනීමට නොහැක. මේවා ලංකාව තුළ හඳුන්වාදුන් පුද්ගලයෙකුටද සාක්ෂි සහිතව ඔප්පුකර පෙන්වීමට නොහැක. මේ ෆෙන්ශුඉ කරන, කේන්දර බලන, ගුරුකම් කරන, හක්ගෙඩි විකුණන කඩකාරයින් මෙතරම් විස්තර කරමින්, උනන්දු කරවමින්, දිවා රෑ දෙකේ ජනතාවගේ දියුණුව අපේක්ෂා කරන්නේ, රූපවාහිනී වැඩසටහන් පවා පවත්වන්නේ කුමක් නිසාදැයි සිතාගැනීමට පවා නොහැකිය. මෙතරම් කරුණාවක් තම මවගෙන්වත් ලැබෙන්නේ නැත. මේවායින් හරියන්නේ කෙසේදැයි මේවා මිලදී ගන්නා අය හෝ මේ වැඩසටහන් වලට සහභාගීවන අය හෝ ප්‍රශ්න නොකරයි. යම් කෙනෙක් ඇසුවද ලිස්සලා යන පිළිතුරක් ඔවුන් ගාව ඇත. සමහර පුද්ගලයින් මෙවැනි ෆෙන්ශුඉ වැඩසටහන්වලට දිගටම සහභාගීවේ. ඒ කෙසේ හෝ ගොඩ යෑමටය. දේශන පවත්වන මේ කඩකාරයින්ද ඔවුන්ට අහස් මාලිගා පෙන්වා අතේ ඇති තුට්ටු දෙකත් උදුරා ගනී. ෆෙන්ශුඉ මධ්‍යස්ථාන වලට ගොඩවන පිරිමි පාර්ශවයද එතන සිටිනා ගෑනු ළමයෙකුගේ සිනාවකට, කතාවකට හිත ඇදී යමක් මිලදී ගනී. භාණ්ඩ විකිණෙන තරමටය ඇයගේ පඩියද සකස් වන්නේ. ඒ නිසා සේවිකාවන්ටද වෙන කරන්න දෙයක් නොමැති තැන තම ජීවිකාව පවත්වා ගැනීමට මෙසේ හැසිරේ.

නමුත් මේවායේ අයිතිකාරයන් රසබර සුරංඟනා කතා කියමින් මේ භාණ්ඩ විකුණයි. වැඩසටහන්, දේශන පවත්වයි.

ඇත්ත කතාව නම් ෆෙන්ශුඉ භාවිතාකර දියුණුවූ පුද්ගලයෙක් අප සැබෑවටම දැක නැත. නමුත් වෙළඳ දැන්වීම්වල හෝ පුවත්පත්වල පෙන්වන ‘ෆෙන්ශුඉ භාවිතා කර වාසනාව උදාවූ පුද්ගලයින්ගේ’ කතාද විශ්වාස කළ නොහැක. ‘මම පොතේ තිබ්බ දේ කරා දවස් දෙකින් හරිගියා’ ‘මගේ පසුම්බියේ ෆෙන්ශුඉ කාසියක් දැම්ම නොහිතපු විදිහට සල්ලි ලැබුන’ ‘අපේ ව්‍යාපාරෙටත් ෆෙන්ශුඉ භාවිතා කලා දැන් ගොඩක් සරු උනා’... මේ ආදී කතා විශ්වාස කරනවා තබා හිතාගන්නවත් බැරිය. මෙහෙම දෙයක් උනායැයි ඔප්පු කර පෙන්වීමටද නොහැකිය. අනෙක් අතට ලෝකයේ ඕනෑම දැන්වීමක ඉන්නා අය යම් ගෙවීමක් මත පෙනී සිටින බව සියලුදෙනා දන්නා කරුණකි. නළුනිළියන් සහ ක්‍රීඩකයින් ඉන් ප්‍රධානය. උදාහරණයකට රුපවාහිනියේ පෙන්වන ඕනෑම වෙළඳ දැන්වීමක් ගත හැක.

මේ කියන විදිහට ඉක්මන් දියුණුවක් කෙනෙකුට ලැබිය හැක්කේ ලොකු හොරකමක් කිරීමෙන් පමණි. නැතිනම් ලොතරැයියක පළමු දිනුම්ක් ඇදුනොත් පමණක්ය. ඒ නොමැතිව මේ මේ කියන ඒවා භාවිතා කර ඉක්මන් දියුණුවක් ලැබූ ෆෙන්ශුඉ උපන් රට වන චීනයෙවත් නොමැත. එහෙත් ෆෙන්ශුඉ භාවිතා කර ලංකාවේ දියුණුවූ පුද්ගලයන් ඇත. ඒ අපට ෆෙන්ශුඉ හඳුන්වාදුන් අයයි. ඔවුන් අපට පොත් විකිණීමෙන්, වැඩසටහන්, දේශණ පැවැත්වීමෙන්, භාණ්ඩ විකිණීමෙන් හොඳට හරිහම්බ කරගෙන ඇත. ලංකාවේ තට්ටය ඇති කෙනාටද පනාවක් විකුණන ක්‍රමය අද කඩකාරයින් හොඳින් දැනසිටී. ඒ මන්දමානසික ජනතාවක් රට තුල සිටිනා නිසාය. පිටරට දේ ලොකු කරගෙන මොලය උදුම්මවා ගත පිරිසක් ඇති නිසාය. එයිනුත් වැඩිම කොටසක් සිටින්නේ බෞද්ධ යැයි පවසන අය අතරය. මේ අයට අවශ්‍ය වැඩි වෙහෙස මහන්සියකින් තොරව ඔහේ බලාගෙන සිටියදී ලැබෙන දියුණුවක්, වාසනාවක් පෑදෙනකම් ය. ඒ සඳහා දිවා රෑ උනත් දේවාල ගානේ යෑමට කැමතිය. කේන්දර බැලීමට, සාත්තර ඇසීමට කැමතිය. මේ තැන්වලට කකුල් ගෙවෙනතුරු හෝ ඇවිදී. එක තැනකින් හරි නොගියහොත් තව තැනකටද, එතනින් තව තැනකටද මැරෙනතුරු යයි. නමුත් මේ දේවල් කිරීමෙන් ලැබෙන දියුණුවක් නැති බව ඔවුන් තේරුම් නොගනී. තේරුම් ගැනීමට උත්සාහ නොකරයි. නමුත් මොවුන් මේ යොදන වෙහෙස රැකියා ස්ථානයේ ඉහලට යෑමට, තම ව්‍යාපාරය දියුණු කරගනීමට, අමතර ආදායමක් සොයා ගැනීමට යෙදුවා නම් මීට වඩා සාර්ථක ප්‍රතිඵල ඇති කරගැනීමට හැකිවන බව අවබෝධකර ගන්නේ නැත... මොවුන් තම දරුවන්ටාද ඒ දායාදයම ලබා දේ නැතිනම් වැඩිහිටියන් කරනදේ බලාගෙන ඒ අයද වැඩිවියට පත්වී ඒ දේම කරයි. මන්ද මේක තමා විදිය, මේක තමා ක්‍රමය යැයි කුඩා දරුවන් වැඩිහිටියන් දෙස බලා ඉගෙන ගනී.

අද වනවිට මේ ෆෙන්ශුඉ සමග ඉන්දියානු ජෝතිෂ්‍යද ඈඳා ගෙන ඇත. ෆෙන්ශුඉ චීන රටේ නම් හින්දු ස්ත්‍රෝත කීම, දේව බැල්ම ලබා ගැනීම... වැනි දේවල් තිබිය නොහැකිය. දෙකම එකට ගැටගසාගෙන ඇත්තේ යහමින් මුදල් ගැරීමට විනා අන් දෙයකට නොවේය.

මේ කඩකාරයින්ට තමන් කියනා දෙය මෙතරම් විශ්වාස නම් අංගවිකල පුද්ගලයෙකු සිටිනා අසරණ, දුප්පත් පවුලක් යොදාගනිමින් මාධ්‍යය මගින් ප්‍රසිද්ධියේ ඔවුන්ව පොහොසතුන්, වාසනාවන්තයින් කර නොපෙන්වන්නේ මන්ද. එසේ පෙන්වූවා නම් ආයේ වෙන වෙළඳ ප්‍රචාරයක් උවමනාවන්නේද නැත. ඒ වාගේම මේවාට යොමුවන ජනතාවටද මේවා ගැන විශ්වාසයක් ඇති කිරීමකි. නමුත් එහෙම දෙයක් කිසිදාක සිදුවන්නේ නැත. අභියෝගයක් කළද භාරගන්නට කෙනෙක් නැත.

මේ තිබෙන්නේ බූදා ළමුන් සමග සතුටින් සිටින ඡායාරූපයි. අතේ කාසි මල්ලක්ද ඇත. මේවැනි    ඡායාරූප ඕනෑතරම් අන්තර්ජාලයේ ඇත.

ලාෆින් බුද්ධ - අප පළමුවෙන්ම දැනගතයුතු කරුණ නම් මේ රූප, පිළිම සම්බන්දව මෙයින් පිළිබිඹු වන්නේ බූදා නමැති මිනිසාය. නැතිනම් බාදා හෝ වෙනයම් චීන නමකි. බොහෝ විට එය බූදා වන්නටම ඇත. මේ නම බුද්ධ ලෙස වෙනස්වන්නට ඇත්තේ එක්කෝ ඉංග්‍රීසි ක්‍රමයට බූදා ලියූ විට එය බුද්ධා ලෙසද පෙනෙන්නට තිබෙන නිසාය (buddha). ඒ නිසා උච්චාරණයද වෙනස් වන්නට ඇත. නැතිනම් චරිත දෙකම එකයි කියා වරදවා වටහා ගන්නට ඇත. ඒ කෙසේ උනත් ලංකාවේ මේ පිලිබඳ කිසිම සෙවිල්ලක් නැතිවම ඔහේ එම නමම භාවිත කරයි. නමුත් මේ කුමක් සිදුවුණද අවසානයේදී වූයේ අපගේ තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්සේට, උන්වහන්සේගේ අපමණ ගුණ සමුදායට, උන්වහන්සේගේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ සහිත ඒ අසමසම රූපකායට නින්දා කිරීමකි. අපහාස කිරීමකි. මෙය බරපතලම වරදකි. මහත් අකුසලයකි. අනෙක් අතට බලවත්ම ආර්ය උපවාදයකි. අදද මේ බඩ මහතා චීනාට බුද්ධ නම භාවිත කරමින් වෙළඳපොළේ විකිණීමට ඇත. සුළු හෝ මොළයක් සහිත කෙනෙක් මේ බෞද්ධ රට කරවන තැන සිටිනවානම් මේ බරපතල වරද දැන් වූවද නතර කිරීමට හැක. බෝසතාණන් වහන්සේ නමක් පෙරුම් පුරනා සමයේ වුවද අවලස්සනවී, විකාරරූපී වී උපදින්නේ නැති තරම්ය. අදද ලස්සන ධනවත් පුද්ගලයෙක් දුටුවහොත් අප කියන්නේ ‘ඕව ලබන්න ඉතින් පින තියෙන්න ඕන’ කියාය. (සමහරෙක් භවවල පමණක් බෝසතාණෝ අවලස්සනව උපත ලද අතර එය පාරමී පිරීමටද උපකාරයක් වී ඇත/ මෙය කර්ම විෂය සම්බන්ද දෙයක් නිසා තේරුම් ගැනීම අපහසු කරුණකි). එසේ තිබියදී බෝසතාණන් සතුව ඇති මහා පින් බලයක් නිසා කෙසේනම් රූප සොබාව තිබෙන්නට ඔනෑද. දිනක් මහමග ගමන් කරන සිදුහත් කුමාරයා දුටු රට වැසියන් සඳහන් කර සිටියේ ‘සඳ අහසින් පොළොවට කඩන් වැටී මහමග වඩිනවා වගෙයි ’ කියාය. ඒ නිසා අපට ඒ දෙතිස්මහා රූපය සිතින් මවාගැනීමට පවා අපහසුය....

මේ බූදා නමැති මිනිසා අතීතයේ එක්තරා චීන ගමක වාසය කළ ධනවත්, ප්‍රියමනාප පුද්ගලයෙකි. මහතා දෙහෙත සිරුරක් තිබූ මොහු බොහෝ විට උඩුකය නිරුවත්ව හෝ සළුවක් පමණක් දවටා ගනිමින් සිටීමට පුරුදු වී සිටියහ. මේ ධනවත් බූදා මහමග ගමන් කරන විට මගදී හමුවන ළමුන් හට කාසි කීපයක් දී සතුටු වන අතර ඒ සඳහා කාසි මල්ලක්ද ගෙන යෑමට අමතක නොකරයි. පසුව මෙයට හුරුවූ ළමුන්ගෙන් තම මහත ඇඟත් කසා ගෙන, පොඩි සම්බාහනයක් කරගෙන සතුටු මුහුණින් කල්ගත කිරීමට පුරුදුවුනි. ළමුන් දැන් කාසිවලට කැමැත්තටත්, බූදා සතුටු කිරීමටත් මහමග දී ඔහු පසුපස්සෙන් යෑමට පුරුදුවුනි. මෙය දන්නා ගමේ දුප්පත් දෙමාපියන්ද බූදා පාරේ යනවා දුටුවිට තම ළමුන් යවා ඔහුව සතුටු කර කාසි කිහිපයක් එකතුකරගෙන ඒමට පෙළඹුණි. මේ සියලුදේ නිසා බූදාගේ හොඳ හිතත්, සිනාමුසු මුහුණත් කා අතරත් ප්‍රසිද්ධ විය. ඒ වාගේම ළමුන් පිරිවරාගෙන සතුටින් සිටින මේ ධනවතා දැක ගැමියන්ද සතුටු වූහ. ඔහුට ගෞරව කළහ. මෙසේ කලක් යද්දී ඔහු මරණයට පත්විය. නමුත් කෘතගුණ පිරි චීන ගැමියා ඔහුගේ ගුණවත්කමත්, සිනාමුසු මුහුණත් කිසිදා අමතක නොකළහ. පසුකාලයේදී ඔහු සිහි වීමට ස්මාරකද සාදා ඇත. ඒ වාගේම සතුටේ හා ධනයේ සංකේතයක් ලෙස ගැමි ජනයා ඔහුවත්, ඒ පිළිරූත් පිළිගත්හ.


        පසුකාලයේ මෙය චීන සමාජයේ ප්‍රචලිත වන්නට ඇත. මේ පිළිමද සතුටේ හා ධනයේ සංකේත නිසා පසුකාලීනව ෆෙන්ශුඉ සමග එකතු කරගන්නට ඇත. මේ කිසිවක් නොදන්නා ෆෙන්ශුඉ ලංකාවට හඳුන්වාදුන් කඩකාරයින්ද තම වාසියට බුද්ධාම යැයි කියමින් මේ පිළිම, රූප විකුණයි. මෙම පුද්ගලයා ළමුන් සමග සිටින්නේ මන්දැයි අසුවොතින් ඔවුන්ටද හරිහමන් උත්තරයක් නැත. ඇත්තටම මේ රටේ කිසිවෙකුටද මමේ විදිහට බුදු කෙනෙකු ඉන්නේ මන්දැයි දැනගැනීමට උවමනා නැත. අවශ්‍ය එකම දේ යහමින් මුදල් අතපත ගෑමටය. බල්ලෝ මරා හෝ සල්ලි හම්බ කිරීමටය. අනෙත් දෙය නම් සංකේතයක් අප භාවිතා කරන්නේ අපට යමක් එමගින් සිහිපත් කරගැනීමට හෝ  ඒ සංකේතයයේ සිටින්නේ පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාට ගෞරව දැක්වීමක් වශයෙනි. ඒ හැර සංකේතයකින් වෙන යම් ඵලය නැත.

සමහර වෙළඳසැල් වල මේ බඩ මහතා පිළිම කාසි දමා තබාගෙන දුම් අල්ලමින් වාසනාව, දියුණුව ප්‍රාර්ථනා කරයි. එහෙත් අතීතයයේ චීනයේ විසූ ඒ පුද්ගලයාගේ මුහුණේ ඇඳී තිබූ අව්‍යාජ සිනා රැල්ල හෝ ඔහුගේ කරුණාවන්තකම පිළිම විකුණන අයගෙ තබා මිලදී ළඟ තබා ගන්නා කිසිවෙකුගේවත් දක්නට නොහැක. එසේ නොමැතිව ඇතිවන වාසනාව මුස්පේන්තු කමදැයි තේරුම් ගැනීමට නොහැක.