භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Wednesday, May 5, 2021

මුගලන් මහරහතන් වහන්සේ

      කෝලිත නම් බමුණු ගමේ ප්‍රධානියා වන මොග්ගල්ලාන බමුණාටත්, මොග්ගලී බැමිණියටත් පින්වත් පුත් කුමාරයෙක් උපත ලැබීය. කුමරාට කෝලිත නමින් නම් තැබිණි. කම්සැපය ගැන වැඩි උනන්දුවක් නැති මේ තරුණ කුමරුවා හා සම අදහස් ඇති උපතිස්ස නම් අතිජාත සමවයස් මිත්‍රයෙක්ද විය.

 මේ දෙදෙනාටම තරුණ පිරිස පන්සීයක්ද සිටියහ. යහපත් පැවතුම් ඇති මේ පින්වත් කුමාරවරු පිරිස දිනක් උත්සව භූමියකට ඇතුල් විය. විවිධ නෘත්‍ය, සාදා ආදී කම්සැප දනවන සිත් වශීකරන දෑ මේ භුමියේ සිදු වූවත් වෙනදා තරම්වත් මේ සිත් බඳවන දේවල් කෙරේ නොඇලී ‘ගිරග්ග සමජ්ජ’ නාට්‍ය නරඹන අතරතුර මේ අර්ථධර්ම විරහිත, නොගැඹුරු දේ තුළ තවත් බැසගෙන සිටීම නොවටිනා බව සිතා දෙමිත්‍රයන්ම අර්ථයක්, ධර්මයක් විමසා, සොයා යෑමට අනෙත් පිරිසේද කැමැත්ත ඇතිව ගිහිගෙයින් නික්ම ගියහ. එහිදී විවිධ ශාස්තෲන් හමුවූහ. නමුත් දෙමිත්‍රයෝ තමන් සොයා ආ මග මෙය නොවන බව වහාම පසක් කරගතහ. මේ නිසා පිරිස එකම මග මෙලෙස ගමන් කිරීම ආ කාරණය පමා කරනා නිසා එක මග ගමන් නොකිරීමටද, සොයනා යම් ධර්මයක් හමුවූවකු අන් පිරිසටද දන්වන ලෙස කතිකා කරගෙන වෙන් වෙන් මාර්ගයන් කර යොමුවිය. මෙසේ යන ගමනේ උපතිස්ස කුමාරයාට ශාන්ත ඉඳුරන් ඇතිව මග වඩිනා අස්සජී මහරහත් තෙරුන් හමුවී උන්වහන්සේගෙන් කෙටි ධර්ම කරුණක් අසා උතුම් සෝවාන් ඵලයට පත්විය. වහාම අන් පිරිසත් තම කලන මිතුරාත් හමුව ගිහිගෙයින් එකට නික්මුනා සේම බුදුරජාණන් වහන්සේගේ පිහිට පතාගෙන උන්වහන්සේ බැහැදැකීමට එකටම ගමන් ඇරඹීය. එසේ එන පිරිසට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තය දිගු කරමින් “අර පිරිසේ මුලින්ම පැමිණෙන්නේ මගේ සාසනයේ අග්‍රශ්‍රාවක යුගලය යැයි” පෙන්වාලූ සේක. එසේ පැමිණි සියලු දෙනාම ඒහිභික්ෂු භාවයෙන් පැවිදි විය. මේ කුමරුවා මොග්ගල දෙමාපියන්ගේ පුත් යන අදහස ඇති මොග්ගල්ලාන නැතිනම් මුගලන් යන නමින් සාසනයේ ප්‍රකට විය.

මහමෙව්නා වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි


මුගලන් හිමියන් බුදු සසුනේ පැවිදිව කල්ලවාල මුත්ත වනයේ වෙසෙමින් බණ භාවනාවේ යෙදෙද්දී ථීන මිද්දයෙන් පෙලෙන බව බුදුරජාණන් වහන්සේ දැන ගත් සේක. දැන සෘධියෙන් බුදු රුවක් මවා මේ නිදිමත, අලස ගතිය නිසා පිඩා විඳිමෙන් මිදීමට ධර්ම පරියායක් වදාරා සිටි සේක. එය දියුණු කිරීමෙන් උන්වහන්සේ උතුම් අරිහත්වයට පත්විය. උන්වහන්සේගේ සෘධිපෑමේ ශක්තිය අතිශය විශ්මය ජනකය, අපරිමාණය. උන්වහන්සේගේ හැකියාව දෙවැනි වූයේ භාග්‍යවතුන් වහන්සේට පමණි. දිනක් උන්වහන්සේ දෙව් ලොවට වැඩම කර සක්‍රදෙවියන්ව ධර්මයේ පිහිටුවීමට සුවිසල් වෛජයන්ති ප්‍රාසාදය පයේ මහපට ඇඟිල්ලෙන් ස්පර්ශ කර සෙලවීය. තවත් දිනෙක  බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු පිරිස දිව්‍ය ලොව වෙත වඩිනා මග අසුරා සිටි සුනන්ද නම් දිව්‍ය නා රජුව දමනය කිරීමට උන්වහන්සේට පැවරුනි. එවිට හිමාලය තරම් විශාල සිරුරක් මවා සිටි නාගයාව ඊටත් වඩා විසාල සිරුරකින් වෙලා ගෙන තද කරමින්ද, එම නාගයා විස දුම පිටකරනා විට උන්වහන්සේත් ඊට වැඩි විස දුම් පිටකරමින්ද, නා රජු ගින්දර සිරුරින් පිටකරනා විට උන්වහන්සේත් ඊට වැඩි දුමක් පිටකරමින්ද භයටත්, තැතිගන්මටත් පත්කරමින් නා රජුව දමනය කර තෙරුවනේ පිහිටුවා ලීය. එක් වස් සමයක මාරයාගේ බලපෑම නිසා භාග්‍යවතුන් වහන්සේට සහ ශ්‍රාවක සඟ රත්නයට යව හාලෙන් යැපීමට සිදුවුණු. එහිදී මුගලන් මහ රහතන්වහන්සේ බුදුහිමියන් වෙත පැමිණ “හිමියනි, මේ ආහාර අපහසු සමයේ, මේ පෘතුවි මධ්‍යයේ ඇති රස ධාතුව මතුපිටටත්, මතුපිට ඇතුල් පිටටත් පෙරළන්න දැයි ”ඇසීය. එහිදී බුදුහිමියන් අසා සිටියේ “මේ නිසා මේ පසේ වෙසෙනා කුඩා සතුන් අපහසුවට පත්වේ යැයි ” යනුවෙනි. එවිට උන්වහන්සේ පැවසුවේ “හිමියනි, මා මේ පොළොව වැනි මතුපිටක් තනා ඒ සත්වයා එහි තබා පොළොව පෙරළා දමන්නම් ” යැයි ය. ඒ සඳහා උන්වහන්සේට අවසර නොලැබුණි. නමුත් මෙතරම් දෙයක් කිරීමට තරම් උන්වහන්සේට ඇති මහා සෘධි බලය අතිශයින් විශ්මිතය. මෙතරම් සෘධි බලයක් තිබූ නිසාම උන්වහන්සේ මේ බුදු සසුනේ සෘධිමත් භික්ෂුන් අතරින් අගතනතුර දැරූහ. ඒ වාගේම උන්වහන්සේ මේ බුදු සසුනේ දෙවන අග්‍රශාවක පදවියද දැරූහ. දිනක් උන්වහන්සේ වනයක භාවනා සුවයෙන් වැඩ සිටියදී නගර සෝභිනියක් වූ විමලා, ඒ සංවර ඉඳුරන්ගෙන් යුත් ශක්තිමත් හා මනා රූපකායට වශීව “ශ්‍රමනය, මේ තරුණ වයසේ කුමන බඹසර රැකීමක් ද, මා හා ගිහිගේ වෙසෙමින් කම්සැපයේ ජීවත්ව මහලුවූ කල දෙදෙනාම එක්ව මේ ශ්‍රමන ධර්මය රකිමු ” යැයි තම රූසිරි විදහා පෙන්වමින් කියා සිටියාය. එවිට උන්වහන්සේ “ඔබ අහසේ සිතුවම් අඳින්නට සරසේනවාද....” ආදී කරුණු කියමින් දැඩි ලෙස අවවාද කර මේ කයේ යතා ස්වභාවය කියාදී භික්ෂුනී සසුනේ පිළිසරණ ලබා ගැනීමට උපකාර කළාය.

උන්වහන්සේ මේ ශාසනයේ දෙවන ශ්‍රාවකත්වයට පත්වීමට විවරණ ලබා ගත්තේ මීට කල්ප ලක්ෂයකට පෙර දවස වැඩ සිටි අනෝමදස්සී සම්බුදු හිමියන්ගෙනි. එදවස උන්වහන්සේ සිරිවඩ්ඩ තවුසා ලෙස සිටි අතර සැරියුත් හිමියෝ සාරද තවුසා ලෙස කල් ගෙවීය. දිනක් මේ සාරද තවුසා බුදුරජාණන් ප්‍රමුඛ සංඟ රත්නය කෙරේ දානමානාදිය කර සඟ පිරිසෙන් අග්‍රස්ථානයට පත් රහතන් වහන්සේ කෙරේ පහන් සිත් උපදවා බුදුරජාණන් වහන්සේ හමුවේ වැඳනමස්කාර කර යමතු බුද්ධ සාසනයක පළමු ශ්‍රාවකත්වයට පැමිණීමට ප්‍රාර්ථනා කළ බව තම මිතුරා වූ සිරිවඩ්ඩ තවුසාට දැන්වූහ. දන්වා ඔබට ඒ සසුනෙම දෙවන ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරන්න යැයි පවසා සිටියේය. කල්‍යාණ මිත්‍රයාගේ ඇරයුමෙන් ඔහුද බුදුපාමොක් මහ සඟනට දානමානාදිය පුදා ඒ පැතුම බුදුන් වහන්සේ හමුවේ සැල කර සිටියහ. එවිට සාරද තවුසාට මෙන් “ඔබ ප්‍රාර්ථනා කරන බෝධිය ගෞතම බුදු සසුනේ සමෘද්ධි වනවායි” පවසමින් බුදුහිමියන් විවරණ ලබා දුන් සේක. එතැන් පටන් සසරේ සැරියුත් බෝසතුන් මෙන්ම, මහා බෝධිසත්වයෝද ඇතුළු අසූ මහා ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරන බෝසතුන්වද යම් යම් භව වල හමුවෙමින් පාරමී පුරණය කළහ. ඒ බව ජාතක කතා අධ්‍යනය කිරීමේදී පැහැදිලිවේ. ඒ ආ භව ගමනේ උන්වහන්සේ එක් භවයක දුසී මාරදිව්‍ය පුත්‍රයා ලෙස කකුසඳ බුදුන් දවස ඉපදී සිටියහ. ඒ සමයේ පාප ක්‍රියාවන් වල යෙදී උන්වහන්සේ නිරයට ගිය බවද, එදා දුසී මාරයාව සිටියදී උන්වහන්සේගේ සහෝදරියක් වන කාලි හට වර්තමාන මාරයා වන වසවර්තී දිව්‍යපුත්‍රයා උපත ලද බවද ධර්මයේ සඳහන් වේ. අප ගෞතම බුදුහිමියන් හට බාදා කරේ ඒ වසවර්තී මාරයාය. දිනක් එලෙසම මුගලන් මහරහතන් වහන්සේටද පීඩා කිරීමට උන්වහන්සේගේ කුටියට වැද කුස තුලට පිවිසියහ. මේ පීඩාව නිසා මහා සෘධිඇති මුගලන් හිමියෝ කුස දෙස බලා මාරයාට පිටතට පැමිණෙන ලෙස අණ කරමින් පෙර භව සඹඳතාවයද දක්වා ආර්ය උතුමන් හට බාදා නොකරන්නැයි තර්ජනය කර සිටියහ. එවිට පැරදුණු මාරයා පලා ගියේය. මේ කල්පයේම කකුසඳ බුදුහිමි දවස දුසී මාරයා වුනු උන්වහන්සේ මේ කල්පයේම හතරවනුවට පහළවූ ගෞතම බුදු සසුනේ දෙවන අග්‍රශ්‍රාවක රත්නය විය. මෙය උන්වහන්සේගේ භව මග දෙස බැලීමේදී දැකිය හැකි සුවිශේෂී වූ සිදුවීමකි.

ඒ වාගේම උන්වහන්සේ සසරේ තවත් භවයක පංචානන්තරිය පාපයක් වන දෙමාපියන් ඝාතන කිරීමට යෙදුණේ දුස්සීල භාර්යාවක් ලද නිසාය. මහලු දෙමාපියන් නිවසේ සිටීම මහත් වදයක්, සාත්තු කිරීම, පිරිසිඳු කිරීම වදයක් කොටගෙන ඈ සැමියාට බොරු ගොතා කියා කීවාය. ඉවසාගත නොහැකි තැන සැමියා තම මව හා පියා කැලයට ගෙන ගොස් දෑස් වසා තම අතින්ම ඝාතනය කළේය. තමා හදාවඩා ගත්, උස්මහත් කළ, ආහාර සපයාදුන්, ලේ කිරිකර දුන්..... දෙමාපියන් පාපී ස්ත්‍රියකගේ බහට මැරූහ. නිරයට වැටුනහ. ඒ නිසි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මේ සසර ගමනේ මහා භයානක, දුක් සහිත බව මෙයින් තේරුම් ගත හැක. ඒ බව මුගලන් වහන්සේගේ චරිතයෙන්ම විදහා දැක්වේ.

ඒ වාගේම උන්වහන්සේ නිතරම දෙව්ලොව වඩිමින් දෙවි, දේවතාවුන්ගෙන් සැප දුක් විමසා, එහි ඉපදීමට හේතුවූ කරුණු අසා ගෙන, මිනිසුන්ට ඒ විස්තර පවසා පින්, ගුණ ධර්ම දියුණු කිරීමට උද්යෝගිමත් කළහ. ඒ ලෙසම අපායේ තතුද ගෙනහැර දක්වමින් සසරට බිය ඇති කරවමින් සත්වයා දහමෙහි, සීලයෙහි හික්මවා ලීය. උන්වහන්සේ අපායටද වැඩම කර එහි ගිනිදළු නිවා ඒ සත්වයාටද ධර්මය දේශණා කළහ. එතරම් සත්වයා ගැන කරුණාවෙන් කටයුතු කළ උන්වහන්සේට නිතැතින්ම බුදුහිමියන්ගෙන් පැසසුම් ලැබුනා වාගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ මව් ලෙසත් මුගලන් මහරහතන් වහන්සේ සුළුමව් ලෙසත් ශාසනයේ කටයුතු කරන බව පවසා සිටි සේක. මෙසේ සත්වයාට කිරි මව් කෙනෙකු සේ කරුණාවෙන් උන්වහන්සේ දෙව්, අපා ලෝක විවරණය කරමින් දේශණා පවත්වන නිසා බොහෝ පිරිස සසරේ ගැඹුර දැන තිසරණ සරණ ගොස් බුදු දහමේ නිත්‍ය ශ්‍රාවකත්වයට පත්වීම මත අන්‍ය තීර්තකයන්ට තම ශ්‍රාවක පිරිස විශාල ලෙස අඩු විය. ඒ නිසා ලාබ සත්කාරද, පුදපූජා අඩු විය. මෙයින් කෝපයට පත්ව ඝාතක කණ්ඩායමක් යොදා උන්වහන්සේගේ දිවි තොර කිරීමට සැලසුම් කළහ. නමුත් පළමුවරත්, දෙවනුවරත් උන්වහන්සේ සෘධි පාමින් කුටියේ යතුර සිදුරෙන් පිටතට වැඩියහ. වැඩ මෙසේ වන්නේ මන්දැයි බැලීය. එවිට මෙය සසරේ දෙමාපිය ඝාතක කර්මයේ ශේෂ විපාක් බව දැන, තෙවනවර ඒ මැර කණ්ඩායමට කුටියට ඒමට ඉඩ සලසා කුටියේම සිටියහ. එවිට කුටියට පැමිණි පිරිස උන්වහන්සේගේ සිරුරේ ඇට කුඩා කොටස් වෙනතෙක් පහර එල්ලකරමින් මැරුණා යයි සිතා පිටව ගියහ. මෙනිසා මුගලන් හිමියෝ බුදුරජාණන් වහන්සේගේද අවසරය ඇතිව පරිනිර්වාණය කළහ.