භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Friday, March 3, 2023

කම්ම නියාම

 

බටහිර රටවල බොහෝ අය, කම්ම නියාමය හෙවත් කර්ම ශක්තිය ක්‍රියාත්මක වන අන්දම වරදවා තේරුම් ගනිති. එය ඉරණම් වාදය හෙවත් දෛව වාදය නොවේ.

කාන්තාවන් දෙදෙනෙක් වෙන වෙන ම කේක් සෑදීමට පටන් ගත්හ.

පළමුවැනි කාන්තාව ළඟ තිබුණේ, බාල තත්ත්වයේ ද්‍රව්‍යයන් ය. කල් ඉකුත් වූ පාන් පිටිවල, පුස් බැඳුණු කොටස් ඉවත් කළ යුතු විය. බටර්, මුදු වීමට ආසන්නව තිබිණි. කිසිවකු තෙත හැන්දක් සීනි බඳුන තුළට දැමීම නිසා, එහි තත්ත්වය සතුටුදායක නො වීය. පලතුරු වශයෙන් තිබුණේ කල් ගත වීම නිසා ගල් ගැසුණු වියළි මිදි පමණකි. එපමණක් නොව, ඇයට තිබුණේ ඉතා පැරණි තාලයේ මුළුතැන් ගෙයකි.

දෙවැනි කාන්තාවට තිබුණු ද්‍රව්‍ය, අනර්ඝ තත්ත්වයේ පැවතිණි. ඇය භාවිත කළේ, ගෙවත්තෙන් ලබා ගත් රසවත් පලතුරු ය. ඇගේ මුළුතැන්ගෙය, සියලු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත විය.

වඩාත් රසවත් කේක් ගෙඩිය සෑදුවේ කුමන කාන්තාව ද?

බොහෝ විට, එසේ කරන්නේ, ඉහලම ද්‍රව්‍ය සහ පහසුකම් ඇති පුද්ගලයා නොවේ. ඇතැම් විට, අඩු පහසුකම් ඇති පුද්ගලයා, සිය කාර්යය සාර්ථක කර ගැනීමට වැඩි උත්සහයක් දරයි.

මගේ ඇතැම් මිතුරන්, ජීවිතයේ මුහුණ පා දුක් කරදර අපමණ ය. ඔවුන් උපත ලැබුවේ දුප්පතුන් වශයෙනි. ඇතැම් විට ළමා වියේ දී අපයෝජනයට ලක් වන්නට ඇති. එමෙන් ම, ඉගෙනීම හෝ ක්‍රීඩාවට දක්ෂ නොවන අය වුවත්, අද ඔවුන් ලබා ඇති සාර්ථකත්වය, මම බෙහෙවින් අගය කරමි.

මගේ සමහර මිතුරන් උපතින් ම ධනවත් අය වූ අතර, ඉගෙනීමට ද, ක්‍රීඩාවට ද ඔවුහූ දක්ෂයෝ වූහ. රූමත් වුවත්, ජනප්‍රිය වුවත්, මත් ද්‍රව්‍යවලින් සහ මත්පැන් වලින් ඔවුහූ සිය තරුණ ජීවිත විනාශ කර ගත්හ.

කර්ම ශක්තියෙන් අඩක්, වැඩ කිරීම සඳහා අපට ලැබී ඇති පහසුකම් ය. ඉතා වදගත් වූ අනෙක් කොටස නම්, ඒ පහසුකම් අනුව ජීවිතය සකසා ගැනීම ය.