භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Friday, December 24, 2021

අපි කවුරුත් වැරදිකාරයෝ වෙමු

 


සුපිරි වෙළඳසලකට ගිය දරුවෙක්

 

අපරාධයක් සිදු කළ අයකු වශයෙන් මිස අපරාධකරුවෙකු වශයෙන් කිසි විටෙක තමන් ගැන නො සිතන ලෙස මගේ බන්ධනාගාර මිතුරන්ට මම උපදෙස් දෙමි. ඔවුන් අපරාධකරුවන් බව පැවසුවොත් අපරාධකරුවන් වශයෙන් සැලකුවොත් තමන් අපරාධකරුවන් බව ඔවුන්ම කල්පනා කරතොත් ඔවුන් සැබවින්ම අපරාධකරුවන් බවට පත් වනු ඇත. එය ක්‍රියාත්මක වන්නේ එලෙසය.

සුපිරි වෙළඳසලක දී කුඩා පිරිමි දරුවෙකු අතින් කිරි පැකට්ටුවක් බිම වැටි පැලී හැමතැනම  කිරි ඉහිරිණි. “මෝඩ ළමයෙක්..!” ඔහුගේ මව දොස් කීවාය.

තවත් පිරිමි දරුවෙකු අතින් මී පැණි පැකට්ටුවක් බිම වැටි පැලී මී පැණි පොළොව මත විසිරිණි. “ඔයා කළේ මෝඩ වැඩක්.” ඔහුගේ මව දොස් නැගුවාය.

ප්‍රථම දරුවා සදහටම මෝඩයෙකු වශයෙන් හංවඩු ගසන ලද අතර දෙවැනි දරුවාගේ වරද පෙන්වා දුන් විට මෝඩකම් නතර කිරීමට ඔහු ඉගෙන ගනු ඇත.

තමන් අපරාධය කළ දින කරන ලද වෙනත් කාර්යන් පිළිබඳව මගේ බන්ධනාගාර මිතුරන්ගෙන් අසමි. එමෙන්ම ඒ වර්ෂයේ වෙනත් දිනවල දී වෙනත් වර්ෂවල දී ඔවුන් කළ වෙනත් කාර්යයන් ගැන විමසමි. ඉන් පසු මගේ ගඩොල් බිත්තිය පිළිබඳ කතන්දර ඔවුනට නැවත පවසමි. එහි වැරදි ලෙස තැන්පත් කරන ලද ගඩොල් හැර අනෙක් ගඩොල්වලින් අපරාධවලින් තොර අපේ ජීවිතය නියෝජනය වන බව ඔවුන්ට පෙන්වා දෙමි. ඇත්ත වශයෙන් අයහපත් ක්‍රියාවලට වඩා යහපත් ක්‍රියා බෙහෙවින් වැඩිය. ඔබ දැන් කඩා දැමිය යුතු අක්‍රමවත් බිත්තියක්ද..? එසේ නැතිනම් අප මෙන් අක්‍රමවත් ගඩොල් දෙකක් සහිත ක්‍රමවත් බිත්තියක්ද..? යනුවෙන් සිතා බැලිය යුතුය.

මට විහාරාධිපති තනතුර ලැබී බන්ධනාගාරයට යෑම නතර කර මාස කිහිපයකට පසු බන්ධනාගාර නිලධාරියෙකුගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණි. ඔහු මට කළ ප්‍රශංසාව සැමදා අගේ කොට සලකමි. මගේ බන්ධනාගාර ශිෂ්‍යයින් සිර දඬුවම අවසන් වී පිටව ගිය පසු, යලිත් කිසි දිනක එහි නො පැමිණි බව නිලධාර්යා පැවසීය.

 

 

අපි කවුරුත් වැරදිකාරයෝ වෙමු

 

මීට ඉහත කතන්දරයේ දී බන්ධනාගාරයේ දී මා කටයුතු කළ අය පිළිබඳව මා කතා කළ නමුත් සාපරාධි හැඟීම නමැති සිරගෙදර සිරබත් කන කාහට වුවද ඒ උපදෙස් අදාළ වේ. අපේ හිත දොස් කියන ඒ ‘අපරාධයට’ අමතරව එදින තුළ ඒ දින තුළ, ඒ වර්ෂය තුළ, මේ ජීවිතය තුළ අප කළ වෙනත් කටයතු කවරේද..? බිත්තියේ ඇති අනෙක් ක්‍රමවත් ගඩොල් අපට පෙනේද..? අපේ වරදට හේතු වූ ඒ මෝඩ ක්‍රියාවෙන් ඔබ්බට අපට පෙනේද..? B පන්තිය පිළිබඳව අප පමණට වැඩි කාලයක් අවධානය යොමු කළොත් අප නියත වශයෙන්ම B පන්තියේ පුද්ගලයින් බවට පත්වනු ඇත. අප අපේ වරද නැවත කරමින් වැරදි හැඟීම් එක රැස් කරන්නේ ඒ නිසාය. එහෙත් අපේ ජීවිතවල සෙසු අංශ දකින විට තාත්වික අවබෝධයක් ලැබෙන විට හදවතෙහි විකසිත වන පුෂ්පයක් මෙන් විස්මිත බුද්ධියක් විවර වේ.

Monday, December 20, 2021

සාපරාධි හැඟීම් හා B පන්තියේ ළමයි



සාපරාධි හැඟීම්

 

ගෞරවනීය එහෙත් ඉතා දුෂ්කර වූ විහාරාධිපති තනතුර මා වෙත පැටවීමට පෙර පර්ත් නුවර බන්ධනාගාරවල අනුශාසනා සඳහා යෑමට මම පුරුදුව සිටියෙමි. යම් දිනෙක මට සිර දඬුවමක් ලැබුණොත්, චරිත සහතිකයක් වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා ඒ අනුශාසනා වෙනුවෙන් ගත වූ කාලය පිළිබඳ වාර්තාවක් ළඟ තබා ගතිමි.

පර්ත් නුවර විශාල බන්ධනාගාරයකට මා ගිය මුල් අවස්ථාවේ දී භාවනාව පිළිබඳ මගේ උපදෙස්වලට සවන් දීම සඳහා රැස්ව සිටි සිරකරුවන් සංඛ්‍යාව දැක පුදුමයට පත්වීමි. ශාලාව අතුරු සිදුරු නැතුව පිරී තිබිණි. සිරකරුවන්ගෙන් සියයට අනුපහක් පමණ පැමිණ සිටි බව පසුව දැන ගතිමි. එහෙත් මගේ අනුශාසනය දීර්ඝ වන තරමට සිරකරුවෝ නොසන්සුන් වූහ. මිනිත්තු දහයකට පමණ පසු එක් භයානක සිරකරුවෙකු අත ඔසවා මට බාධා කළේ ප්‍රශ්නයක් ඇසීමටය.

“භාවනාව මගින් අහසින් යන හැටි ඉගෙන ගන්න පුළුවන් කියන්නේ ඇත්තද..?”

සිරකරුවන් එතරම් විශාල සංඛ්‍යාවක් මගේ අනුශාසනයට සවන් දීමට පැමිණීමට හේතුව මට සැණෙකින් වැටහිණි. බන්ධනාගාර ප්‍රාකාරයට ඉහළින් ගමන් කළ හැකි පරිදි භාවනාව ඉගෙනීම ඔවුන්ගේ සැලැස්ම විය. වසර ගණනක් පුහුණුව ලැබූ සුවිශේෂී භාවනායෝගීන්ට පමණක් අහසින් යා හැකි බව මම පැවසුවෙමි. අනුශාසනාවක් සඳහා මා ඒ බන්ධනාගාරයට ගිය ඊළඟ අවස්ථාවේ දී ඊට සවන් දීමට පැමිණ සිටියේ සිරකරුවන් සිවුදෙනෙකු පමණි.

මා බන්ධනාගාර තුළ අනුශාසනා පැවැත්වූ දීර්ඝ කාලය තුළ අපරාධකරුවන් කීප දෙනෙකු මැනවින් අධ්‍යනය කිරීමට මට හැකි විය. මට අවබෝධ වූ එක් කරුණක් නම් තමන් අපරාධයක් කළ බවට හැඟීමක් දිවා රෑ ඔවුන්ගේ හදවත් තුළ කකාරුණු බව ය. ඔවුන් ඒ බව පවසන්නේ සමීප මිතුරන්ට පමණි. එහෙත් ඔවුන්ගේ විශ්වාසය දිනා ගත් විට ඔබ ඔවුන්ගේ ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයා වශයෙන් පිළිගන්න අතර තමන් කළ වේදනාත්මක අපරාධය පිළිබඳ තොරතුරු ඔවුහු හෙළි කරති.



 

B පන්තියේ ළමයි

 

එංගලන්තයේ පාසලක අධ්‍යාපනය පිලිබඳ රහස් පරීක්ෂණයක් පවත්වන ලදී. ඒ පාසලේ එක ම වයසේ ළමයින් සඳහා පන්ති දෙකක් වූ අතර ඊළඟ වර්ෂය සඳහා පන්ති දෙකට ළමයින් තේරීමට වර්ෂාවසාන පරීක්ෂණයක් පැවැත්වුවත් ලකුණු කිසි විටක හෙළි කළේ නැත. ඒ රහස දැන සිටියේ විදුහල්පතිතුමාත්, මනෝවිද්‍යාඥයින් කීප දෙනෙකුත් පමණි. ඒ ලකුණු අනුව පළමුවැනියා වූ ළමයා අටවැනි, නවවැනි, දොළොස්වැනි, දහතුන්වැනි ආදී වශයෙන් ලකුණු ලබා ගත් ළමයින් සමග එක පන්තියකටද දෙවැනි තෙවැනි තැන් ලබා ගත් ළමයි සත්වැනි, දසවැනි, එකොළොස්වැනි වශයෙන් ලකුණු ලබා ගත ළමයින් සමග තවත් පන්තියකට ද බෙදනු ලැබූහ. ඒ අනුව පරීක්ෂණයේ දී දැක්වූ දස්කම් අනුව ඉහළ ලකුණු ලබාගත් ළමයින් සහ පහළ ලකුණු ලබා ගත් ළමයි සමසේ පන්ති දෙකට බෙදනු ලැබූහ. පන්ති දෙක සඳහා එක සමාන දස්කම් හා අත්දැකීම් ඇති ගුරුවරු තෝරා ගනු ලැබූහ. පන්ති දෙකෙහි ම පහසුකම් එක සමාන විය. වෙනසක් වශයෙන් දක්නට ලැබුණේ, එක් පන්තියක් A පන්තිය වශයෙන්ද, අනෙක් පන්තිය B පන්තිය වශයෙන්ද නම් කිරීමය.

එසේ වුවත් හැම දෙනාගේ ම අදහස වුයේ A පන්තියේ ළමයින් B පන්තියේ ළමයින්ට වඩා දක්ෂ බවය. A පන්තියේ ඇතැම් ළමයින්ගේ දෙමාපියන් සිය දරුවන්ගේ දස්කම් පිළිබඳව මවිතයට පත්ව තෑගි බෝග ද පිරිනැමූ අතර B පන්තියේ ළමයින්ගේ දෙමාපියෝ ඉගෙනීම සඳහා ප්‍රමාණවත් උනන්දුවක් නොදක්වතැයි බැණ වැදුණාහ. B පන්තියේ ගුරුවරුන් පවා ඉගැන්වීම් කටයුතු කළේ වෙනස් ආකාරයකටය. මේ මුලාව වර්ෂය පුරාම පැවතිණි.

ඒ වර්ෂය අවසානයේ පැවති පරීක්ෂණයේ ප්‍රතිඵල කාගේත් චකිතයකට හේතු විය. A පන්තියේ ළමයින්ගේ දස්කම් B පන්තියේ ළමයින්ට වඩා ඉතා උසස් විය. ඇත්ත වශයෙන්ම ඒ ප්‍රතිඵලවලින් පැහැදිලි වූයේ, ඊට පෙර වර්ෂයේ සිටි ළමයින් අතරින් දක්ෂතම කොටස A පන්තියට තෝරා ගෙන ඇති බව වුවත්, ළමයින් බෙදීමේ දී එබඳු වෙනසක් සිදු නොවීය. කෙසේ වෙතත් ඒ ළමයි A පන්තියේ ළමයින් බවට පත්ව සිටියහ. අනෙක් කොටස B ළමයින් බවට පත්ව සිටියහ. ගුරුදෙගුරුන් වර්ෂය පුරා ඔවුන්ට පැවසුවේ එයයි. ඔවුන්ට සැලකුවේ අදක්ෂ ළමයින් වශයෙනි. ඒ නිසාම ඔවුහු අදක්ෂ තත්වයකට පත්ව සිටියහ.

Thursday, December 16, 2021

වරද සහ සමාව


කලකට පෙර ඕස්ට්‍රේලියානු තරුණියක් මා හමුවීමට පර්ත් නුවර පිහිටි මගේ විහාරස්ථානයට පැමිණියාය. බොහෝ විට පෞද්ගලික ගැටලු පිළිබඳව උපදෙස් ලබා ගැනීමට භික්ෂූන්ගේ පිහිට අපේක්ෂා කෙරේ. ඊට හේතුව ඇතැම් විට අප කිසි විට ඒ සඳහා මුදල් අය නොකිරීම විය හැකිය.

තමන් අතින් සිදුවුණු වරදක් පිළිබඳව ඇය බලවත් සිත් වේදනාවකින් පීඩා විඳිමින් සිටියාය. ඊට මාස හයකට පෙර බටහිර ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු ආකාරයක ඇය සේවය කර තිබිණි. එහි වැඩ කටයුතු දුෂ්කර වුවත් උසස් වැටුපක් ලැබිණි.

එක් ඉරිදා සවසක වනගත පෙදෙසක විනෝද චාරිකාවක යෙදීමට සිය හොඳම මිතුරියටත් අගේ පෙම්වතාටත් ඇය යෝජනා කළාය. ඔවුන් දෙදෙනාම ඊට අකමැති වූ විට පෙරැත්ත කරමින්, තර්ක කරමින් කැමති කරවා ගැනීමට තරුණිය සමත් වුවාය.

ඔවුන් ගමන් කළ රථය අනතුරකට භාජනය විය. එය බොරළු පාරක ගමන් කරන විට පෙරලී යෑමෙන් මිතුරිය ජීවිතක්ෂයට පත්වූ අතර ඇගේ පෙම්වතා ආබාධිත තත්වයට පත්විය. ගමන පිළිබඳව යෝජනාව තරුණියගේ වුවත් ඇයට අනතුරක් සිදු නො වීය.

“මේ ගමන යෑමට මා ඔවුන්ට බල කළේ නැත්නම් ඇය තවමත් ජීවත් වෙනවා. ඔහුට තවමත් පාද දෙකක් තිබෙනවා. මගේ සිත වේදනා විඳිනවා. මගේ අතින් බරපතළ වරදක් සිදු වූ බව මට හැඟෙනවා.” ඇය පැවසුවේ කඳුළු සලමිනි.

මගේ සිතට ආ මුල්ම අදහස වූයේ එය අගේ වරදකින් සිදු වුවක් නො වන බව පවසා ඇය සැනසීමටය. අනතුර සැලසුම් කළේ ඇය නොවූ අතර සිය මිතුරු මිතුරියන්ට පීඩා කිරීමේ අදහසක් අයට නොතිබිණි.

“මේ වගේ දේවල් සිදු වෙනවා. එක සිතින් ඉවත් කරන්න. වරදක් කළා කියලා සිතන්න එපා.” යනුවෙන් උපදෙසක් දීමට මා කල්පනා කලත් එබඳු උපදෙසක් ඇය සිය වරක් අසන්නට ඇති බවත් ඒවා සාර්ථක නොවූ බවත් මට වැටහිණි.

“ඔබේ අතින් වරදක් සිදු වී යයි කල්පනා කිරීම බොහොම හොඳයි.” මදක් කල්පනා කිරීමෙන් පසු මම පැවසීමි.

තරුණියගේ මුහුණ ශෝකී බවින් පුදුමයටත් ඒ පුදුමය සැනසිලිදායක බවටත් පරිවර්තනය විය. වරදක් සුදු වූ බවට උපදෙසක් ඇය ඉන් පෙර අසා නොතිබිණි. මා අනුමාන කළ සැටි නිවැරදිය. තමන් අතින් වරදක් සිදු වූ බවට ඇය පසු වූයේ ලජ්ජාවෙනි. එසේ නො සිතන ලෙස හැම දෙනාම පැවසීම අගේ සිතට පීඩාවක් විය. අපගේ ව්‍යාකූල සිත් ක්‍රියාත්මක වන්නේ එලෙසය.

වරදක් සිදු වී යයි සිතීම නිවැරදි බව තහවුරු කළ පසු විසඳුම පිළිබඳ ඊළඟ පියවරට අපට ගමන් කළ හැකිය.

‘අඳුර ගැන මැසිවිලි නගනු වෙනුවට ඉටිපන්දමක් දැල්වීම වඩා සුදුසුය.’ යනුවෙන් බෞද්ධ ආප්තෝපදේශයක් තිබේ. හැමවිටම කනස්සලු වීම වෙනුවට කළ හැකි යම් දෙයක් තිබේ. වරදක් සුදු වූ බවට ඇතිවන හැඟීම, පසුතැවීමට වඩා හාත්පසින් වෙනස් ය. අපේ සංස්කෘතිය අනුව ‘වැරදිකරු’ යනු උසාවියකදී දෙනු ලබන තීන්දුවකි. අන් කිසිවෙකු අපට දඬුවම් නුදුන්නොත් අපට ම දඬුවම් කර ගැනීමට අපේක්ෂා කරමු.

මෙසේ සිය වරදින් සිත නිදහස් කර ගැනීම සඳහා තරුණියට යම්, දඬුවමක් අවශ්‍ය විය. එය අමතක කර දමන ලෙස උපදෙස් දීම නිෂ්ඵලය. ප්‍රාදේශීය රෝහලේ හදිසි අනතුරු අංශයේ තුවාලකරුවන්ට කරන ප්‍රතිකාරවලට ස්වේච්චාවෙන් සහාය වන ලෙස මම ඇයට යෝජනා කළෙමි.


Tuesday, December 14, 2021

මෙතෙක් කළ දේ හා සැනසීම ලබාගැනීම


 

මෙතෙක් කළ දේ අවසන්ය

 

තායිලන්තයේ මෝසම් වැසි සමය ජූලි සිට ඔක්තෝම්බර් දක්වා පවතී. ඒ කාලය තුළ භික්ෂූහු සියලු ගමන් බිමන් නතර කර, ධර්මය හැදෑරීමෙහිත්, භාවනාවෙහිත් නිරත වෙති. මේ වස්සාන කාලයයි.වසර කීපයකට පෙර දකුණු තායිලන්තයේ සුප්‍රකට විහාරාධිපති තෙරුන් වහන්සේ නමක් සිය වනගත ආශ්‍රමයේ, ධර්ම ශාලාවක් ඉදිකරමින් සිටියේය. වස්සාන කාලය උදා වූ විට උන්වහන්සේ එහි සියලු වැඩ කටයුතු නතර කළේය. එය ආශ්‍රමය තුළ පූර්ණ නිශ්ශබ්දතාව පවත්වා ගතයුතු කාලයයි.

දින කීපයකට පසු එහි පැමණි අමුත්තෙක්, අර්ධ වශයෙන් ඉදිකරන ලද ධර්ම ශාලාව දැක ඒ කටයුතු කෙදිනක අවසන් වේ දැයි උන්වහන්සේගෙන් ඇසීය.

“ශාලාවේ වැඩ අවසන්”. කිසි පැකිලීමකින් තොරව උන්වහන්සේ පැවසූහ.

“වැඩ අවසන්..? මොනවද ඔබ වහන්සේ පවසන්නේ..? මේකට වහලක් නැහැ. දොර ජනෙල් නැහැ. ලී කැබලි, හිස් සිමෙන්ති බෑග් හැම තැනම. ඔබවහන්සේට පිස්සුද..?”

“මෙතෙක් කළ වැඩ කටයුතු අවසන්.” සිනාමුසුව පැවසූ උන්වහන්සේ, භාවනා කිරීම සඳහා ඉවත්ව ගියහ.

වස්සාන කාලය සන්සුන්ව ගත කිරීමටත්, විවේකයක් ගැනීමටත් සුදුසු එකම ක්‍රමය මෙයයි. එසේ නැත්තම් අපේ වැඩ කටයුතු කිසි දිනක අවසන් නොවනු ඇත.

 

කෙබඳු ගැටළු ඇතත් සැනසීම ලබාගත හැකිය

 

පර්ත් නගරයේ දී එක් සිකුරාදාවක විශාල පිරිසකට මා මීට පෙර සඳහන් කළ කතන්දරය පැවසීමි. ඊට පසු එළඹුණු ඉරිදා, කෝපාවිෂ්ට තාත්තා කෙනෙක් මා හමුවට පැමිණ මට දොස් පැවරීය. ඔහු ගැටවර වියේ පුතා සමග එදා මගේ අනුශාසනාව සවන් ඩීමට පැමිණ තිබිණි.

“පුතා, ගෙදර වැඩ අවසද..? කියල මම පුතාගෙන් ඇසුවා. දන්නවා ද එයා දුන් පිළිතුර..?

“ඩඩි, අචාන් බ්‍රක්ම හිමියන් ඊයේ රෑ පන්සලේදී අපට කිව්වෙ මෙතෙක් කළ වැඩ අවසන් කියල නේ. මම යනව සෙල්ලම් කරන්න.”

ඔස්ට්‍රේලියාවේ බොහෝ අයට ගෙවත්තක් තිබුනත් ඉන් සිතට ශාන්තියක් ලබා ගන්නා සැටි දන්නේ ටික දෙනෙකු පමණය. වැඩි දෙනෙකුට ගෙවත්ත යනු තවත් කාර්ය බහුල ස්ථානයකි. එබැවින් මැද වෙලාවක් වැඩ කර එහි සුන්දරත්වය පෝෂණය කරන ලෙසත්, වැඩි වෙලාවක් එහි සන්සුන්ව හිඳගෙන, ස්වාභාවික සුන්දරත්වය අත්විඳිමින්, සිය හදවත් පෝෂණය කර ගන්නා ලෙසත්, ගෙවත්තක් ඇති අය දිරිමත් කරවමි.

එය කදිම අදහසක් යි සිතන ගෙහිමියෙක්, පළමුව සුළු වැඩ පසෙකට දමා ගෙවත්තට වී මද වෙලාවක් සන්සුන්ව සිටි. ඒ කුමක් වුවත් එහි තණකොළ කැපිය යුතුව තිබේ. මල් පඳුරු කප්පාදු කළ යුතුය. පරඬල් අතුගා දැමිය යුතුය. ඇත්ත වශයෙන්ම ඒ සුළු වැඩ සඳහා ඔවුන්ගේ විවේක කාලය මුළුමනින්ම ගතවේ. ඒ වැඩ කිසි විටෙක අවසන් නොවන බැවින් මිනිත්තු කීපයක්වත් සැනසීමක් නැත. (අපේ සංස්කෘතිය අනුව, ‘සමාදානයේ සැතපෙන’ එකම පුද්ගලයා සිටින්නේ කනත්තේය.)

තවත් ගෙහිමියෙක් රේක්ක, වතුර බාල්දි ආදිය ඉවත දමා ගෙවත්තට වී සඟරාවක් කියවමින් සිටි. එහෙත් ඔහු කරන්නේ සඟරාව රස විඳීම මිස ඔහුගේ ගෙවත්තේ ඇති ශාන්ත බව රස විඳීම නොවේ.

තෙවැනි ගෙහිමියා, ගෙවතු වගාවට යොදා ගන්නා සියලු උපකරණ ද, සඟරා, පුවත්පත් ගුවන්විදුලි යන්ත්‍ර ආදිය ද ඉවත දමා ගෙවත්තට වී සුළු වෙලාවක් සන්සුන්ව සිටි. එවිට තමන් කළ යුතු නොයෙක් වැඩ ඔහුට සිහිපත් වේ.

“අර පිට්ටනියේ තණකොළ කැපීම කළ යුතුයි. අර පඳුරු ඉක්මනට කප්පාදු කළ යුතුයි, මල් ගස්වලට වතුර වත් නොකළොත් ඒවා දවස් දෙක තුනකින් මැරිලා යාවි, වත්තේ අර මුල්ලට ගාර්ඩ්නියා පඳුරක් හොඳට ගලපෙනවා.”

එබඳු සිතුවිලි වලින් ආස්වාදයක් ලැබුණත්, ඔහුගේ සිතට ශාන්තිය ඇත නොවේ.

සිව්වැනි ගෙහිමියා බුද්දිමත් ය. ඔහු මෙසේ කල්පනා කරයි.

මම දැන් වැඩ කළා හොඳටම ඇති. මගේ මහන්සියේ ප්‍රතිඵල මා අත්විඳිය යුතුයි. ගෙවත්තේ වැඩ කොපමණ තිබුනත් මා විවේක ගත යුතුයි.”

එසේ ගෙවත්ත සර්ව සම්පුර්ණ නොවුනත් එහි සුන්දරත්වය අත්විඳීමට අවශ්‍ය බුද්ධිය ඔහුට තිබේ.

ඇත්ත වශයෙන් ඉතිරි වී ඇති වැඩ ගැන නොව මෙතෙක් කරන ලද වැඩ ගැන අවධානය යොමු කළොත් ඒවා අවසන් බව අපට වැටහෙනු ඇත. එහෙත් ඒ වැඩවල දෝෂ ගැනත් කළ යුතු වැඩ ගැනත් සම්පූර්ණ අවධානය යොමු කලොත් අපට කිසි විටෙක සැනසීමක් ඇත නොවේ.

බුද්ධිමත් ගෙහිමියා ගෙවත්තේ අඩුපාඩු රැසක් ඇතත් මද වේලාවක ශාන්තියක් අත්විඳි. ඔහු කල්පනා කිරීමෙන් සැලසුම් කිරීමෙන් සහ තමන් අතින් වරදක් සිදු වී ඇතැයි පසුතැවිලි වීමකින් තොරව ඒ කාලය සුවසේ ගෙවයි. අප කාටත් එබඳු ශාන්තියක් අවශ්‍යය. දිවි රැක දෙන ඒ වැදගත් ව්වේකයෙන් පසු අපට යලිත් ගෙවත්තේ වැඩ කටයුතුවල නිරත විය හැකිය.

අපේ ගෙවත්ත තුළ දී ශාන්තිය ලබා ගන්නා සැටි දැන ගත විට කුමන තැනක දී කුමන අවස්ථාවක දී වුවත් අපට ශාන්තිය ලබා ගත හැකය. විශේෂයෙන් අපේ සිත නමැති ගෙවත්ත කෙතරම් ව්‍යාකූල වුවත් කළ යුතු තවත් බොහෝ දේ ඇතත්, ශාන්තිය ලබා ගන්නා සැටි අපට අවබෝධ වනු ඇත.

Tuesday, November 30, 2021

පන්සල් වත්ත

 දෙවන කොටස.....

පන්සල් වත්ත

 

ජපානයේ බෞද්ධ විහාරස්ථාන, සුන්දර ගෙවතු පිළිබඳව ප්‍රකටය. වසර කීපයකට පෙර, අන් හැමටම වඩා සුන්දර ගෙවත්තක් සහිත විහාරස්ථානයක් විය. එහි සුවිශේෂී ක්‍රමානුකුල බවත් සරල බවත් නැරඹීම සඳහා රටේ හැම පෙදෙසකින්ම සංචාරකයෝ පැමිණියහ.

වරක් වයස්ගත භික්ෂුවක් එය නැරඹීමට පැමිණියේය. ඔහු පැමිණියේ හිරු උදා වී මැද වෙලාවකට පසුවය. ඒ පන්සල් වත්ත එතරම් ආකර්ෂණීය යයි ප්‍රකට වීමට හේතුව සොයා ගැනීමට ඔහුට අවශ්‍ය විය. එබැවින් මුළු ගෙවත්තම පෙනෙන පරිදි ඔහු විශාල පඳුරකට මුවා විය. වේවැල් කූඩ දෙකක් අතැතිව ළාබාල භික්ෂුවක, විහාරස්ථානයෙන් පිටතට පැමිණ සැටි ඔහු බලා සිටියේය.

ඒ ළාබාල භික්ෂුව, ගෙවත්ත මැද පිහිටි පලම් ගසකින් වැටුණු හැම කොළයක් ම , රිකිල්ලක්ම අහුලා ගත්තේය. ඔහු ඒව ඒ මේ ඇත හරවා පරික්ෂා කර සිතට ප්‍රිය කොළ හා රිකිළි එක් කූඩයක පරිස්සමෙන් තැන්පත් කළ අතර ප්‍රයෝජනවත් නැතැයි සිතුණු ඒවා අනෙක් කූඩයට එනම් කුණු කූඩයට දැමීය. පසුව කුණු කූඩය පන්සල් වත්ත පහළ කුණු ගොඩට හිස් කළේය. මේ කටයුතු සඳහා ඔහුට තුන් පැයක් පමණ ගත විය. ඉන් පසු ඊළඟ වැදගත් අවස්ථාව සඳහා ඔහුගේ සිත තැන්පත් කර ගැනීමටත් තේ පානය සඳහාත්, ඔහු මදක් විවේක ගත්තේය.

ළාබාල භික්ෂුව අනතුරුව, ඒ හැම කොළයක් සහ රිකිල්ලක් සිහිනුවණින් යුතුව පරිස්සමෙන්, දක්ෂ ලෙස ගෙවත්තේ පෙර තිබුණු ස්ථානයේ ම තැන්පත් කළේය. එහි දී ඔහු කොළවල වර්ණ හා හැඩය පිළිබඳව සැලකිලිමත් වන බව පෙනිණ. ඔහු සුළු කරුණු ගැන දැක්වූ අවධානයක්, වර්ණය හා හැඩය පිළිබඳ නිපුනත්වයත්, ස්වභාව සෞන්දර්ය පිළිබඳ අවබෝධයත් විශිෂ්ට විය.

ඒ අවස්ථාවේදී වයස්ගත භික්ෂුව, සැඟවී සිටි ස්ථානයෙන් පිටතට පැමිණියේය. ඔහු කතා කළේ මැද සිනහවකින් යුතුවය.

“හිමියනි, ඔබේ කටයුතු අනර්ඝයි..! මම උදේ සිටම ඔබේ දක්ෂකම් බලා ගෙන සිටිය.  ඔබේ උද්යෝගයත් , සුපරික්ෂාකාරි බවත් ප්‍රශංසා ලණිය යුතුයි. ඔබේ ගෙවත්ත බොහෝ දුරට සර්ව සම්පූර්ණයි..!

ළාබාල භික්ෂුවගේ මුහුණ සුදුමැලි විය. ගොනුස්සකු දෂ්ට කළාක් මෙන් ඔහුගේ සිරුරු දරන්දඬු විය. ජපානයේදී වයස්ගත භික්ෂුවගේ මද සිනාව, කිසි විටක තේරුම් ගත නොහැකි විය.

“ස්වාමීනි, බොහෝ දුරට යනුවෙන් ඔබ වහන්සේ අදහස් කරන්නේ කුමක්ද..? අනේ ස්වාමීනි මට අනුකම්පා කරන්න. මගේ ගෙවත්ත සර්ව සම්පූර්ණ කරන සැටි මට පෙන්වන්න.”

“පෙන්වන්න අවශ්‍යමද..?”

ඔව් ස්වාමීනි, කරුණාකර මට පෙන්වන්න.”

වයස්ගත භික්ෂුව ගෙවත්ත මැදට ගමන් කර සිය ශක්තිමත් අත් වලින් පලම් ගස තදින් සොලවන්නට විය. ඔහු නතර වූයේ ගසේ සියලු ම කොළ සහ රිකිලි බිම වැටුණු විටය.

ළාබාල භික්ෂුව භීතියට පත් විය. උදය කාලය පුරාම කළ කටයුතු අපතේ ගිය බව පෙනිණ. ඔහුගේ සිත වයස්ගත භික්ෂුව කෙරෙහි කෝපයෙන් දැවෙන්නට විය. එහෙත් කෝපය සමනය වන කාරුණික හිනාවකින් යුතුව වයස්ගත භික්ෂුව මෙසේ පැවසීය.

“ඔබේ ගෙවත්ත, දැන් සැබවින්ම සර්ව සම්පුර්ණයයි..!”

Thursday, November 25, 2021

අක්‍රමවත් බිත්තියක්...

 

 

පරම්පරා දායාදයක් සේ අපට ලැබී ඇති බුදු දහම, අප සලකන්නේ ආගමක් ලෙසයි. ලොවේ ඇති ආගම් අතර තවත් එකක් ලෙසයි. දෙමාපියන්, වැඩිහිටියන්, පාසලේ පවා උගන්වන්නේ ඒ ආකාරයටයි. ඒ අනුව යමින් අප උප්පැන්න සහතිකයේ, ජාතික හැඳුනුම් පතේ වැනි තැන්වල ආගම යන හිඩැසට ඉදිරියෙන් බෞද්ධ ලෙස යොදයි. නමුත් අප සියලු දෙනාම බුදු දහම වනාහි ලෝක ස්වභාවය, ලෝක යතාර්ථය මිස අන් දෙයක් නොවන වග මොහොතකඳු සිතුවාද...? බුදුරජාණන් වහන්සේ පරිපූරණයෙන්ම ලොවේ ඇති සැටි ඇති විදිහටම අවබෝධ කොට ගෙන, අපට පරම අනුකම්පාවෙන් වදාළ දහම, එකම සත්‍ය, ඒකායන ඇත්ත බව තේරම් ගත්තාද...? සිතන්නට හෝ තේරුම් ගන්නට වෙර දැරුවාද..?. නැත. සමාජ පිළිවෙතට යමින් පන්සල් යෑම, වැඳුම් පිදුම් කිරීම, බණ ඇසීම කළා මිසක බුද්ධිය, ප්‍රඥාව, සිහිණුවන මෙහෙයවා බුදු දහම නම් කිමැයි.. බුදුරජාණන් වහන්සේ දේශනා කල දහම තවත් එක් ආගමක් දැයි කියා විමසුම් ඇස යොමු කළේද?. නැත.

නමුත් ආසියාවේ අති බහුතරය ලෙස ආගම හුදු ඇදහිල්ලක් නොකරගත් බටහිර ඇතුළු සමහර විද්වත් සමාජයන් බුදු දහමේ ඇති සර්වකාලීන බව, සත්‍යට එහි ඇති ඉඩකට පිලිබඳ හොඳ හැටි තේරුම් ගත්හ. එසේ තේරුම් ගෙන තම රට, පවුල, ධනය යන සියල්ල හැරදා බුදු දහම වෙත, කසාවත වෙත පැමිණියහ. එසේ පැමිණියවුන් අතර අජාන් බ්‍රක්මවන්සෝ හා අජාන් සුමේධ හිමි බොහෝ ප්‍රසිද්ධ වූවන්ය. මේ භික්ෂූන් දෙනම අතරින් බ්‍රක්මවන්සෝ හිමි ලන්ඩනයේ හැදී වැඩී සිට බුදු දහමේ හරය වටහා ගෙන, වෙනත් ආගම් තුල නොදකින තම අභ්‍යන්තර ශාන්තිය ළඟා කර ගැනීමට, ලෝක සත්‍යට බුදු දහම දක්වන ඇල්ම කෙරේ බැඳුණි. ඒ නිසා ඔහු බුදු දහමේ ශක්තිය ලොවට බෙදා දීමේ තවත් මහා මෙහෙයක් තම දිවි පැවැත්ම තුලින්ම ඔප්පු කොට පෙන්වා ලූ මහා යතිවරයෙකු වූ අචාන් චා හිමියන් ළඟ මහන විය. උන්වහන්සේගෙන් ඉගෙනගත් බුදු දහමේ හරය ලොව පුරා තම හැකි පමණින් නිර්ව්‍යාජ ව, අජාන් බ්‍රක්මවන්සෝ හිමියන් ඉටු කළහ. ඒ කළ සත්‍යවාදී දේශනා... තම අවබෝධයෙන්, ලොවේ තමාට හමු වූ ගැටලු වලින් හෙම්බත් වූ පුද්ගලයන්ට හට ලබා දුන් දාර්ශනික වූත්, සත්‍යවාදී සටහන් රැගත් පොත කොටස් වශයෙන් මෙලෙස ඔබ වෙත දිග හැරේ...

මේ එහි පළමු කොටසයි.

 

 

1 - අක්‍රමවත් බිත්තියක්

 

1983 දී, අපේ ආශ්‍රමය තැනීම සඳහා ඉඩමක් මිලට ගත් පසු, අප සිටියේ බංකොලොත් තත්ත්වයකය. අපි ණය බරින් ද මිරිකී සිටියෙමු. ඒ ඉඩමෙහි මඩුවක් වත් නොවිය. මුල් සති කීපය අප නිදා ගත්තේ ඇඳන්වල නොව, අඩු මුදලට මිලට ගත පැරණි දොරවල්  මතය. පොළොවෙන් මදක් ඔසවා තැබීම සඳහා අප ඒ දොරවල් ගඩොල් මත තැබුවෙමු. අපට මෙට්ට නොතිබුණු බව කිවයුතු නොවේ. අපි ආරණ්‍ය වාසී භික්ෂූහු වීමු.

වඩාත් සුවපහසු දොර, නායක හිමියන්ට පිලිගැන්වීමු. මට ලැබුණු දොරෙහි එක් තැනක, තරමක සිදුරක් විය. ඒ දොර අගුල සවි කර තිබුණු සිදුරය. එවැනි සිදුරක් තිබුණු නිසා, රෑ කාලයේ වැසිකිළි යාම සඳහා ඇඳෙන් නැගිටීමට මට සිදු නොවනු ඇතැයි විහිළු කලෙමි. අමිහිරි සත්‍ය වූයේ, ඒ සිදුර තුලින් සීතල සුළඟ හමා ආ බැවින් මගේ නින්දට බාධා සිදු වීමය.

අප දිළිඳු භික්ෂූන් පිරිසක් වූ අතර, ජීවත් වීම සඳහා කිසි යම් නිවහනක් අවශ්‍යව තිබිණි. ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අධික වූ අතර ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු යෙදවීමට තරම් වත්කමක් අපට නො තිබිණි. අත්තිවාරම් දැමීම, බිත්ති බැඳීම, කොන්ක්‍රීට් දැමීම, වහල සෑදීම ආදී කාර්යන් ඉගෙනීමට මට සිදු විය. භෞතික විද්‍යාඥයෙකු වූ මම, ගිහි ජීවිතයේ දී උසස් පාසලක ගුරුවරයෙකු වශයෙන් කටයුතු කලෙමි. එබැවින් කය වෙහෙසා වැඩ කිරීමේ පළපුරුද්දක් මට නො තිබිණි. කල් යාමේදී ගොඩනැගිලි පිලිබඳ ඉතා දක්ෂයෙක් වීමි. මගේ පිරිස මගේ පිරිස මා හැඳින්වීමට යොදා ගත්තේ BBC (Buddhist Building Company) යන නමය. එහෙත් ඒ කටයුතු ඉතා දුෂ්කර බව වැටහිණි.

බිත්තියක් තැනීම සඳහා ගඩොලක් තැන්පත් කිරීම පහසු යයි පෙනෙනු ඇත. බදාම තට්ටුවක් මත ගඩොල් තබා, මට්ටම් ලෑල්ලටත් ලඹයටත් ගැලපෙන සේ මදක් තට්ටු කළ යුතුය. මා එක් කෙළවරකට තට්ටු කළ විට අනෙක් කෙලවර උසට එසවේ. ඒ කෙලවරට තට්ටු කළ විට මේ කෙළවර ඇද වේ.



භික්ෂුවක් වශයෙන් ඉවසීමත්, අවශ්‍ය තරම් කාලයත් මට තිබුණු බැවින් හැම ගඩොලක්ම ඉතා නිවැරදි ලෙස තැබීම ගැන සුපරික්ෂාකාරී වීමි. අන්තිමේදී බිත්තිය බැඳ නිම කළ මම තරමක් ඈතට වී ඒ දෙස ආශාවෙන් බලා සිටියෙමි. මා ගඩොල් දෙකක් ඇදේට තබා ඇති බව මට පෙනුණේ එවිටය. ඒ නිසා මුළු බිත්තියම නාස්ති වී ඇතැයි පසුතැවිලි වීමි.

ඒ වන විට සිමෙන්ති බදාම හොඳින් වේලි තිබුණු බැවින් ඒ ගඩොල් දෙක ඉවත් කළ නොහැකි විය. සම්පුර්ණ බිත්තිය ම කඩා දමා නැවත බැඳීමට සිතුනත්, නායක හිමියන්ගෙන් ඊට අනුමැතිය නො ලැබිණ. මගේ අතින් සිදු වූ වරද ගැන බෙහෙවින් වික්ෂිප්ත වීමි.

යන්තම් ඉදිවෙමින් පැවති අපේ ආශ්‍රමයේ විස්තර අමුත්තන්ට පෙන්වන විට, මගේ දෝෂ සහිත බිත්තිය මග හැර යෑමට මම හැම විටම තැත් කලෙමි. ඊට තෙමසකට පමණ පසු දිනක අමුත්තකු සමග මා ආශ්‍රම භූමියේ ගමන් කරන විට, ඔහු බිත්තිය දුටුවේය.

“අර බිත්තිය හරි ලස්සනයි..!” ඔහු පැවසීය.

“සර්, ඔබතුමාගේ කණ්ණාඩිය කාර් එක ඇතුළ තියල ද ආවෙ..? නැත්තම් ඇස් පේන්නෙ නැද්ද..?” මම ඇසීමි.

ඔහු ඊළඟට පැවසූ අදහස, ඒ බිත්තිය ගැන මගේ නිගමනය පමණක් නොව, ජීවිතයේ බොහෝ අවස්ථා පිළිබඳ දර්ශනය ද වෙනස් කිරීමට හේතු විය.

“ඔව්. ඒ ගඩොල් දෙක මට පේනවා. එසේම හොඳට බැඳ තිබෙන ගඩොල් 998ක් මට පේනවා.

මම මවිතයට පත් වීමි. තෙමසක් තුළ මුල් වරට, දෝෂ සහිත ගඩොල් දෙකට අමතරව අනෙක් ගඩොල් ද මට පෙනිණි. ඊට පෙර මගේ දෙනෙත් සම්පූර්ණයෙන්ම යොමු වූයේ, දෝෂ සහිත ගඩොල් දෙක කෙරෙහි පමණක්ය. අවුරුදු විස්සකට පසුව අදත් ඒ බිත්තිය එසේම තිබේ. ඒ ගඩොල් දෙක තිබූ තැනවත් දැන් මට මතක නැත.

සිය සහකරුගේ සුළු වැරදි පමණක් දකින නිසා, කොපමණ සබඳතා බිඳ වැටි ඇද්ද..? දික්කසාද කොපමණ සිදු වී ඇද්ද..? අපේම වැරදි පමණක් දකින නිසා ජීවිතය ගැන කලකිරීමට පත්වන, දිවි නසා ගැනීමට පවා සිතන අය කොපමණ සිටිත් ද..? ඒ සුළු වැරදි අවට යහපත් ගුණාංග කොපමණ ඇතත්, අපේ අවධානය මුළුමනින්ම යොමු වන්නේ, ඒ සුළු වැරදි වෙත පමණි. ඇතැම් විට ඉතා ‘ලස්සන බිත්තියක් වුවද කඩා බිඳ දැමීම, කනගාටුවට කරුණකි.

වැරදිවලට වඩා විශාල ප්‍රමාණයක් යහපත් ගුණාංග අප කා ලඟත් තිබේ. ඒ බව තේරුම් ගත විට අප සමග ම සැනසීමෙන් කල් ගත කිරීමට අපට හැකි වන අතර, අපේ සහකරුවන් සමග ද සතුටින් ජීවත් විය හැකිය. මෙය දික්කසාද නඩුවලට පෙනී සිටිනා නීතිඥයින්ට අසුබ ආරංචියක් වුවත්, ඔබට සුබ ආරංචියකි.

මේ විස්තරය, මා මීට පෙර කීප වතාවක් පවසා තිබේ. එබඳු එක් අවස්ථාවක, ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු මා හමුවීමට පැමිණ වෘත්තීය රහසක් පැවසීය.

“ස්වාමීනි, අපි ගෙවල් සාදන කොට නිතරම වැරදි සිදු වෙනවා. නමුත් එය අසල කිසිම නිවසක නැති අලුත්ම අංගයක් කියල අපි කියනවා. ඒ විතරක් නෙවෙයි, ඒ සඳහා අමතර මුදලකුත් අය කරනවා.”

ඔබේ නිවසෙහි ඇති ‘සුවිශේෂී අංග ලක්ෂණ සමහර විට යම් වරකද ප්‍රතිඵලයක් විය හැකියි. එසේම ඔබෙත්, ඔබේ සහකරුගේත් සාමාන්‍ය ජීවිතයේ වැරදි වශයෙන් ඔබට පෙනෙන දේ, පසුව සුවිශේෂී ලක්ෂණ බවට පත් වනු ඇත.


Thursday, October 7, 2021

දස බිම්බර මාරයෝ හා දස මහා නරක

 දස බිම්බර මාර සේනාව - 




 මාර සේනාව පැමිණ බුදුවෙන්නට යන සිද්ධාර්ථයන් වහන්සේට බාධා පැමිණවීම


දේවතා බිම්බර, මාර්ග බිම්බර, යක්ෂ බිම්බර, රාක්ෂ බිම්බර, ගරුඬ බිම්බර, සර්ප බිම්බර, චතුප්පාද බිම්බර, භූත බිම්බර, නර බිම්බර හා අසුර බිම්බර


දස මහ නරක (මහා නිරයන් දහය) - 



අබ්බුද නරකය, නිරබ්බුද නරකය, අබබ නරකය, අටට නරකය, අහහ නරකය, කුමුද නරකය, සොගන්ධික නරකය, උප්පල නරකය, පදුම නරකය හා පුණ්ඩරීක නරකය

Sunday, September 26, 2021

මෛත්‍රී භාවනාව


සසරේ සැරිසරන සියලු ලෝ වැසියාගේ සිත් තුළ ක්‍රෝධය, වෛරය ආදී පහත් තමාටම අවැඩ පිණිස හේතුවන කෙලෙස් මානසිකත්වයෝ ඇත. ඒ සිත මැඩලමින් සිතේ සුවය ඇතිකරන්නාවූ අනෙකාටත්, තමාටත් සැපය පිණිසම හේතුවන සිතක් ඇතිකර ගැනීම මෛත්‍රීයයි. එය කමටහනක් කොටගෙන භාවනා කිරීම මෛත්‍රී භාවනාවයි. මෙම භාවනාව වඩන තැනැත්තා වෛරය, තරහව ආදී සිතුවිලි වලින් ඇතිවන හානිය ගැනත් මෛත්‍රීය තුලින් ඇතිවන ශාන්තිය ගැනත් යම් අවබෝධයක් ඇත්නම් භාවනාව හොඳින් වැඩීමට උපකාරවේ. අනුන් කෙරේ ඇතිවන වෛරී සිත් ඇති කෙනෙක් හරියට, අන් පුද්ගලයා නැසීමට තමන් අත ගිනි පුපුරක් තබාගෙන සිටිනවා වාගේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඉන් තමාත්, අනෙකාත් නැසේ. පළමුව තමාම නැසේ. තථාගතයන් වහන්සේ වෛරය ගින්නකට උපමා කළේ ඒ නිසාය. මෙයට හොඳම නිදසුන නම් මාගන්දියයි. මාගන්දිය, සාමාවතිය ඇතුළු පන්සීයක් පිරිස සිටි ශාලාව වසා ගින්නෙන් පිලිස්සුහ. නමුත් ඥානවන්ත සාමාවතිය සියලු පිරිසට කියා සිටියේ ද්වේශය ඇති නොකරගෙන මෛත්‍රී සිතින්ම සිටිනා ලෙසයි. මරණයෙන් පසු සියලුදෙනා දෙව්ලොව ඉපදුණ අතර ගිනිතැබූ මාගන්දිය අදත් නිරයේ ඒ ගින්නෙන්ම දැවී දැවී සිටියි. මේ ආකාරයට ද්වේශය වැපිරූ කෝකාලික, චිංචිමානවිකාව, සුප්‍රබුද්ධ රජු... ආදී චරිත දෙස බැලීමේදී පෙනී යන්නේ කිසිවෙකුට එයින් සැනසීමක් ලැබී නැති බවයි. බොහෝ දෙනා ඉඩකඩන්, මිල මුදල්, බලය වැනි අනිත්‍ය වන දේවලට ආසාකර, වෛර උපදවා ගනී. කෙනෙක් කියූ වචනයකටත් වෛර බැඳගන්නා අය අද සමාජයේ නැතුවා නොවේ. මේ ලෙස වචනයකට, රැවීමකට, එරවීමකට තරහ, වෛර ඇති කරගන්නා අය බොහෝයි. මේ ක්‍රෝධය, වෛරය නිසා තමාගේ සතුට අහිමි කරගෙන, මානසික පීඩා ඇති කරගෙන, රුධිරය අපිරිසිදු කරගෙන, ජීවිතයම නුරුස්සනා ස්වභාවයෙන් ගත කරනවාද නැත්නම් මෙත් සිතින් අපටත්, අනෙකාටත් යහපතක් කරගෙන සන්සුන් ඉඳුරන්, නිදහස් මනසක් ඇති ප්‍රියමනාප කෙනෙක් වනවාද කියා තීරණය ගත යුත්තේ අපමය.

එම නිසා තමාටත්, හැමදෙනාටමත් හිත සුව පිණිස හේතුවන මෛත්‍රීය වැඩීම හැමදෙනාගේ දෙලොව යහපත්ටම හේතුවේ. ඒ වගේම කෙනෙක් මේ මෙත් සිත හරියාකාරව වඩා සිතේ මුදුන්පමුණුවා ගන්නවා නම්, මෛත්‍රී විහරණයෙන්ම ජීවත් වනවා නම්, මෛත්‍රී ධ්‍යාන උපදවා ගන්නවා නම්  එය ඔහු තමාටත්, තමාගේ පවුලේ උදවියට ඇතුළු අනෙක් සියල්ලන්ටම අත් කරදෙන මහා යහපතකි. මෙහි ප්‍රතිලාභ ඔබට භාණ්ඩයක් කඩෙන් මිලදී ගත් සේ නොපෙනේ. එක්වර නොදැනේ. මෙත් සිත ඇත්තා සමග කතා කරන වෛරී පුද්ගලයාටත් ඔහුගෙ ඒ හැසිරීම නිසා, ඔහුගෙ ඒ නොගැටෙන වචන, හැසිරීම් නිසා අනෙකාට ද්වේශය පවත්වා ගැනීමට බාධක ඇතිවේ. මෛත්‍රී ධාන උපදවාගෙන සිටි විශාඛ රහතන් වහන්සේ සිතුල්පව්වට වැඩ කැලයක සතර මාසක් සිටීම නිසා එහි දෙවිදේවතාවුන්ගේ ගැටීම්, අමිත්‍රකම්පවා දුරු වූ බව දහමේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ ආදේශනා ප්‍රාතිහාර්ය සිදු වන්නේ පිළිවෙලක් අනුවය. එහි යමක් වඩන්න, ක්‍රියාත්මක කරන්න තිබෙනවා නම් එය කිරීමෙන් ලැබෙන ඵල, ආනිසංස පළමුවෙන්ම පෙන්වා දීම බුදුරජාණන් වහන්සේගේ පිළිවෙලය. ඒ මගින් ශ්‍රාවකයාට වීර්යෙන්, උනන්දුවෙන් ඒ කර්තව්‍ය කිරීමට පෙලඹවීමක්, කැමැත්තක් ඇති වෙනවා. මෙත් වැඩිමේ දේශනාව කිරීමට පෙරද භාග්‍යවතුන් වහන්සේ එයින් ලැබෙන ආනිශංස 11ක් ශ්‍රාවකයන් හට පෙන්වා දුන් සේක. ඒ ආනිසංස දැන ගැනීම අපටද මෙත් වැඩීමට උනන්දුවෙන් කරගෙන යාමට ඉවහල් වේ. ඒ ආනිසංස 11 නම් -

1- සුවසේ නිදයි. 2- සුවසේ අවදිවෙයි. 3- නපුරු සිහින නොපෙනෙයි. 4- මිනිසුන්ට ප්‍රිය වේ. 5- අමනුශ්‍යන්ට ප්‍රිය වේ. 6- දෙවියෝ රකියි. 7- ගින්නෙන්, ආයුධයෙන් ආරක්ෂාවේ. 8- මුහුණ ප්‍රභාස්වරවේ. 9- වහා සිත සන්සුන්වේ. 10- සිහියෙන් මරණයට පත්වේ. 11 - නිවන සාක්ෂාත් නොකළේ නම් මරණින් මතු බඹලොව උපදී.

(ආනිසංස විස්තරාත්මකව දැන ගැනීමට මෙතනින්)

මේ තරම් සියලු දෙනාටම සෙත සලසන මෛත්‍රීය කිරීමට සුදානම් වන පුද්ගලයා ඇතිකරගත යුතු යහපත් චරිත ලක්ෂණ 15ක්, වනයේ සිටි භික්ෂූන් වහන්සේලා පිරිසකට ඇතිවූ වෘක්ෂදේවතා, අමානුෂ උවදුරු ආදියෙන් මිදීම අරඹයා බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේදී වදාළ සේක. (සූත්‍රය මෙතැනින්). එහි පෙන්වා තිබෙන සියලු කාරණා වල පොදු ලක්ෂණය නම් දක්ෂ, අනලස්, සැහැල්ලු, ප්‍රඥාවන්ත බවින් යුතු වීමයි.

භාවනාව ආරම්භය - භාවනාව කරණා මුල් කාලයේ පලඟක් බැඳගෙන, සුපුරුදු භාවනා ඉරියව්වෙන්ම පටන් ගැන්ම හොඳය. නැතිනම් කුමන ඉරියව්වක් වුවද ගැටළුවක් නොමැත. අවශ්‍ය වන්නේ ශබ්ද අඩු, සිත නොවිසිරෙන ස්ථානයක් භාවනාවට යොදා ගැනීමය. භාවනාව වැඩෙන කුමන ආකාරයකට, කුමන ස්ථානයක වුව කළ හැක. සියලු සත්වයෝම කැමති තමා සුවෙන්, සැපවත්ව සිටින්නටයි. එතරම් භවයට සත්වයා ඇලී ඇත. එම නිසා පළමුව අප අපටම මෙත් වඩා ගෙන පසුව අන් සියලු දෙනාටම එය වැඩිය යුතුය. නමුත් මුල් කාලයේදී එදිරි පිරිසට මෙත් වැඩීමට නොහැකිවේ. නමුත් අප කෙමෙන් කෙමෙන් එයට හුරු විය යුතු වේ. ඒ වාගේම භාවනාව හැකි සෑම මොහොතක වැඩිය හැක. සෑම මොහොතකම මෙත් වඩන සිතක් කෙතරම් නම් සුවයක්, සැනසීමක් ලබයිද..

පවත්වනවා නම් කෙතරම් මානසික සුවයක් ඒ තැනැත්තාට ලැබේද..

මෙසේ පළමුව තමාටද, දෙවනුව තම දෙමාපියන්ටද පසුව සහෝදර, ගුරුවර, නෑදෑ පිරිසට, අසල්වැසි අයට... මෙසේ කෙමෙන් කෙමෙන් සියලු ලෝ සත්වයාටම මෙත් වැඩිය යුතුයි. එහිදී සියලු මනුෂ්‍ය සත්වයාට මෙන්ම තිරිසන්, නිර, දේව- බ්‍රක්ම ඇතුළු සියලුම ලෝ සත්වයන්ට මෙත් සිත පැතිරිය යුතුයි.

        මම නිදුක් වේවා !   මම නීරෝගී වේවා !   මම සුවපත් වේවා !   මම දුකින් මිදේවා !   මම වෛර නැත්තෙක් වෙම්වා !   නිවන් ලබම් වා !

මා මෙන්ම මාගේ දෙමව්පියෝද 

නිදුක් වේවා !   නීරෝගී වේවා !   සුවපත් වේවා !   දුකින් මිදේවා !   වෛර නැත්තෙක් වෙම්වා !   නිවන් ලබම් වා !

· මේ ලෙස තමාගෙන් පසු දෙමාපියන්ට, තම සහෝදර සහෝදරියන්ට, ගුරුවරුන්ට, අසල්වැසියන්ට, අහිතවත් හා මැදහත් සිත් ඇත්තන්ට ඇතුළු සියලු මනුෂ්‍ය සත්වයෝද,

· දිව්‍ය ලෝකවල වාසය කරනා අල්පේශාක්‍ය සිට මහේශාක්‍ය දක්වා සියලු සදිව්‍ය ලෝකවාසී සම්‍යදෘෂ්ටික හා මිත්‍යාදෘෂ්ටික දෙවියෝද,

· සියලු බ්‍රක්ම ලෝකවල වාසය කරනා රූපී, අරුපී සියලු බ්‍රක්මයෝද,

· සතර මහා නිරයන්වලින් එකක් වන තිරිසන් ගත සත්ව ලෝකයේ ඇසට නොපෙනෙන්නාගේ සිට විශාලම සත්වයා දක්වා වෙසෙන අපා, දෙපා, සිව්පා, බහුපා ආදී තිරිසන් ලොව සිටිනා සත්වයෝද,

· සතර මහා නිරයන්වලින් එකක් වන ප්‍රේත ලෝකයේ ඒ සියලු දුක් විඳිනා සත්වයෝද ,

· සතර මහා නිරයන්වලින් එකක් වන ඇසුර නිරයේ ඒ සියලු සත්වයෝද,

· සතර මහා නිරයන්වලින් අවසන් එක වන අපායේ සිටින අට මහා නිරයන්වල ඇතුළු සියලු ඔසුපත් නිරයන් වල නිරි සත්වයාද, අනු කුඩා නිරයන්වල ඇතුළු ලෝකාන්තරික නිරයන්වල සිටින්නා වූ ඒ සියලූම සත්වයෝද,

ලෙස එකින් එක ගෙන සියලු සත්වයාටම

        නිදුක් වේවා !   නීරෝගී වේවා !   සුවපත් වේවා !   දුකින් මිදේවා !   වෛර නැත්තෙක් වෙම්වා !   නිවන් ලබම් වා !

මෙත් වැඩීමෙන් ලැබෙන ආනිසංස 11

  සුඛං සුපති - සුවසේ නිදයි..

සුවෙන්, නිදහසේ නින්දක් ලබන්නට හැකි කීයෙන් කී දෙනෙක් හට අද දවසේ හැකිද. නොහැකි පිරිසම වැඩිය. ලෙඩ රෝග නිසා, වැඩරාජකාරි අධික වීම නිසා, මානසික අසහනය.. වැනි කාරනා නිසා ඒ බොහෝ දෙනා අහිමි කරගන්නා නින්ද මෙත් වැඩීමේ ඵලයක්, ආනිසංසයක් ලෙස ලැබේ. සමහරෙක් නින්ද ළඟා කරගැනීමට වෛද්‍ය පිහිට, නිදි පෙතිවල පිහිට පතයි. නමුත් එයින් ඔබට ජීවත් වන මුළු කාලය පුරා උදව් ලබා ගත හැකිද. බැරිය. වෛද්‍යවරු පවා දීර්ඝ කාලයක් නිදි පෙති භාවිත කිරීම අනුමත නොකරන දෙයකි. මෙත් වඩන්නාගේ සිත කල්යත්ම ඇතිවන සංසින්දීම නින්දට පමණක් නොව නොනිදා සිටින මොහොතේ පවා සුවයෙන් තබයි. සතර මහා ධාතුවලට අයත් මේ සිරුර තුල ශාන්ත පැවැත්මත් ඇතිවේ. ඒ පහසුව ඔබව සුවයෙන් තබයි. ඒ සුවපත් ශරීරය හා මනසට අවශ්‍ය විවේක මොහොතට ලඟා වූ විට ඇඳේ පැය ගණන් නිදි නොමත්ව සිටීමට සිදු නොවේ. මහන්සියක් නොමැතිවම සෞම්‍ය නින්දකට පත්වේ.

  සුඛං පටිබුජ්ජති - සුවෙන් අවදි වේ..

ඒ ශාන්ත වූ නින්දට පත් පුද්ගලයාට ඇහැරෙන්නට අවශ්‍ය මොහොතේ සුවසේ නැගිට දවස ආරම්භ කරන්නට හැකි වේ. සමහර පුද්ගලයන්ට නින්ද යෑම ගැටළුවක් නොමැතිව සිදුවුණද අතරමගදී ඇහැරේ. නැතිනම් ඇඳේ දඟලමින්, කෙඳිරි ගාමින් නින්දේ පසුවේ. ඒ නින්ද නිසා උදෑසන අවදි වන්නේද මහා අමාරුවකිනි. ඒ නැගිට්ට මොහොතේ අත්වල හීරි ඇති, තුවාල වී ඇති තැන් දැක ගැනීමට හැකිවේ. ඒ නින්දෙදි සිදුවූ දේවල්ය. නමුත් මෙත් සිතින් නින්දට යන්නා සුව නින්දකට පත් වෙන්නා සේම නින්දද සුවසේ ලබා, අවදි වීමද සුව සේ සිදු කරයි. නින්දෙන් නැගිටීමට ඔහුට වෙහෙසක් දැරීමට සිදු නොවේ.

  නපාපකං සුපිනං පස්සති - නපුරු සිහින නොපෙනෙයි..

මෙහි නපුරු සිහින නොපෙනවා යැයි කීවේ සිහිනෙන් භයානක, අසුභ සිහින නොපෙනෙනවා විතරක් නොව. අඩ නින්දක්, ඇඳේ එහෙ මෙහේ දිග ඇදෙමින් හෝ කෙඳිරිගාන යන කිසිඳු අපහසු දෙයක්වත් නින්දේදි සිදු නොවන බවයි. සමහරුන් මහ රාත්‍රියේ භයානක සිහින දකිමින් ඇහැරෙන්නේ ගෙවල් දෙකතුනට ඇහෙන්නද හඬනගා ගෙනය.

  මනුස්සානං පියෝහෝති - මිනිසුන්ට ප්‍රිය වේ..

මෛත්‍රිය වඩන්නා එක් පැත්තකින් අන් අයට ද්වේශයකින් කතාවක් නැත්තේය. ඒ නිසාද ඔහුව අනෙක් පුද්ගලයන්ට ප්‍රියවේ. ඒ වාගේම ඔහුගේ සිතේ ශක්තිය වැඩි නිසා හතුරාද යම් දමනයට පත්වේ. (මෙත් වඩන්නාගේ ශක්තිය අනුව). ඔහු බාල, මහලු හෝ රූපයෙන් මොන විදිහේ කෙනෙක් වුවත් අනෙක් අය ඔහුගේ ඇසුරට ප්‍රියවේ. ඔහුගෙ මෙත් සිත පෙරදැරි වචන අනෙකාගේ කන්ට සුවය ගෙන්දේ.

  අමනුස්සානං පියෝ හෝති - අමනුශ්‍යන්ට ප්‍රිය වේ..

අමනුෂ්‍ය - මනුෂ නොවන අයට පවා ඔබේ ශක්තිය දැනේ. විශේෂයෙන්ම ඔබෙන් නිකුත්වන ඒ මෙත් සිතේ ශක්තිය දෙවියන්, අසුර, යක්ෂ... ආදීනට හොඳින් තේරේ. ඒ වගේම තිරිසන් සතුන්ට පවා ඔබේ ශක්තිය ප්‍රබල වෙන තරමට දැනේ. දෙවියන්, සතුන් ඔබට ප්‍රිය වේ. සතුන් ප්‍රිය වීම් යනු මෙත් කරන කෙනාට වදයක් වෙමින් පස්සේ එන බව නොවේ. ඔබ යන මාවතේ විස සහිත සතෙක් සිටියහොත් ඌ ඔබට කරදරක් නොකරයි. නැතිනම් එතනින් ඉවත් වේ. කරදරයදී දෙවියන් ඔබට උදව් දීමට පෙළඹේ ඒ ඔබ මෙත් සිත පෙරදැරි නම් පමණි. මේ දේව හා සත්ව ප්‍රිය භාවයට හොඳම උදාහරණය නම් අශෝක රජු දවස දඹදිව වැඩ සිටි අස්සගුත්ත මහා රහතන් වහන්සේය. උන්වහන්සේ මෛත්‍රී ධ්‍යාන උපදවාගෙන වැඩසිටියේ කැලයකය. ඒ කැලයේ කොටි, වලසුන්, මුවෝ ආදී සියලුම සතුන් අනෙක් සත්වයෙක්ටද, උන්වහන්සේට හිංසාවක් නොමැතිව සිටියහ.

  දේවතා රක්ඛන්ති - දෙවියන් රකී..

කලින් පෙන්වා දුන් ලෙස මෙත් වඩන්නාගේ ශක්තිය විශේෂයෙන් දෙවියන්ට දැනේ. දෙවිවරු පවා ඒ මෛත්‍රී ශක්තියට ඉතා කැමතිය. මෙත් සිතේ ආනුභාවය නිසා ඔහුව නිරතුරුවම දෙවිවරුන්ගේ අවධානයට, උපකාරයට ලක්වේ. ඒ ලෙසින්ම අමනුෂ්‍ය දෝෂයක් ඇත්නම් වහා එය දුරුවේ මේ මෙත් බලයේ අනුහසින්. ඒ නිසා උවදුරු, අපල.. වැනි දෑ ඇත්තන් මෛත්‍රියෙන් වාසය කරනවා නම් එය ඉතා යහපත සාදන දෙයකි. ඒ වාගේම මෙතරම් බලයකින් යුත් මෙත් භාවනාව වැඩු යමෙක් එක ප්‍රදේශයක, එක රටක වාසය කරනවානම් ඒ භූමියේ පිරිස පවා කෙතරම් වාසනාවන්තද.

  නාස්ස අග්ගීවා විසංවා සත්වා කැමති - ගින්නෙන්, විෂ හා ආයුදයෙන් හානි නොවේ..

මෙත් සිත පෙරදැරි මොහොතක විසක් සරීරගත වූ විටදී පවා එයින් හානිය නොවේ. ප්‍රසන්න සතර මහා ධාතුවේ ශක්තියෙන් ඔහුගේ විෂ බසී. මෛත්‍රී ධ්‍යාන උපදවා ගෙන සිටින්නෙක් ආයුධයෙන් නැසීම පවා කලා නොහැකි දෙයකි. බුදුන් දවස සිටි උත්තරා උපාසිකාව භාග්‍යවතුන් ප්‍රමුඛ සඟයාට දානය සකසමින් සිටියදී සිරිමා ඇයගේ ඇඟට ගිනි රත් වූ තෙල් හැලීය. නමුත් තෙරුවන් සරණ ගොස් සිටි උත්තරා වහා මෙත් සිත දරාගෙන සිටියාය. ඒ නිසා ඇයට කිසි හානියක් එයින් සිදු නොවිණි.

  මුඛවණ්ණෝ විප්පසීදති  - මුහුණ ප්‍රභාස්වරවේ...

මෙත් වඩන්නා මෙලොවදී ලබන ඊළඟ ආනිසංසය, ඵලය වන්නේ මුහුණ පැහැපත් වීමයි. මෙයින් අදහස් වන්නේ සුදුවීමම නොවේ. කාන්තිය, දැකුම්කළු භාවය ඒ මෛත්‍රිය වඩන්නා තුලින් මතුවීමයි. සතර මහ ධාතුව ප්‍රසන්නවීම මත මේදේ සිදුවේ. එයින් ඔහුගේ තරුණ පෙනුම ආරක්ෂාවෙ. සමේ රැලි වැටීම, දුර්වර්ණ වීම බොහෝ අඩුවේ. ආලෝකමත් වන සතරමහා ධාතුවෙන් වන මේ සිරුර- මුහුණ ප්‍රසන්න, ප්‍රභාෂ්වර වීම කිසිඳු රූපලාවන්‍යශාලාවකින්, වෛද්‍යප්‍රතිකාරයකින් කරගත නොහැක. නොමිලේ මෙය ලැබෙන්නේ මෙත් වඩන්නාටය.

  තුවටං චිත්තං සමාධියති - වහා සිත සමාධිමත්, සන්සුන් බවට පත්වේ..

සිතේ එකඟනැති බවද අද දවසේ පුද්ගලයන්ගේ දකින්නට හැකි ප්‍රධාන ලක්ෂණයකි. විසිරුණු සිතක් නිසා කෙනෙක් කෙතරම් අමාරුවට වටේද. රැකියාවේ, පවුලේ, සමාජයේ ඔහු අසමත් චරිතයකි. මෙත් වැඩීමෙන් ලැබෙන මේ ආනිසංසය නිසා ඔබේ සිත සතියට, සමාධියට ඉඩ දෙන තැනක් බවට නිතැතින්ම පත්වේ. බොහෝ දෙනාට භාවනා කිරීමට පවා නොහැකි මේ අසමාහිත සිත නිසායි. ඔහුටද මෙත් සිතින් සිටිය හැකි නම් බොහෝ ප්‍රයෝජන ලැබේ. මේ සිතේ තැන්පත් වීම ලෞකික ජීවිතයේ මෙන්ම ලෝකෝත්තර ජීවිතයේ දියුණුවටද එකලෙස අත්‍යවශ්‍ය වේ.

  අසම්මුල්හෝ කාලංකරෝති - අසිහියෙන් නොමරේ..

බුදු දහම අදහන, පිළිපදින අප පරලොවක් තිබෙන බව දනී. ඒ වාගේම මරණින් මතු පහත ජීවිතයක්ද අපි අපේක්ෂා නොකරමු. අසිහිය, අසමාහිත සිත පරදන මෙත් භාවනාව මේ ජීවිතයේ අවසන් මොහොතද ඔහු හට සිහියෙන්, සමාධියෙන් ගත කිරීමට ඉඩ සලසා දේ. කෙතරම් පිරිසක් අවසන් මොහොතේ අසිහියෙන්, අසහනයෙන් මරණයට මුහුණ දෙනවාද. කියව කියවා, කෑමොර දී, ඉන්නා තැනක් හෝ කරනා දෙයක් හෝ නොදැන ඒ සමුගන්නා සියලු දෙනා කොහේ උපතකට පෑහේද. නමත් මෙත් සිතින් ජීවත් වන්නා තම අවසන් මොහොතද සමාහිත සිතින් වාසය කරයි.

  මරණින් මතු බඹ ලොව උපදී...

මෙත් ආනිසංසය 11න් පරලොවදී ලබන එකම ඵලය මෙයයි. අන් සෑම කරුණක්ම දක්වා ඇත්තේ මේ භවයේම අත දකින්නට හැකි ඒවාය. බලන්න බුදු දහම මරණින් මතු සිතන වෙනත් ආගම්, මාර්ග ලෙස නොව මේ ජීවිතයේම වඩා ඵල ලබා ගන්නා අපූරු දහමකි. මේ අයුරින් කරුණු දැන මෙත් වඩන්නා නිවන් සාක්ෂාත් කර නොසිටි හා මෛත්‍රියෙන් අවසාන මොහොත දක්වා සිටිනා කෙනා ගැනයි. ඔහු සිහියෙන්ම මැරී බඹ ලොව පහලවේ. කෙනෙක් හට ධ්‍යාන තත්වයක් දක්වා මෛත්‍රිය දියුණු කරගත නොහැකි වුවත් හැකි අයුරින් මෙත් සිතින් ජීවත් වූවා නම් බඹ ලොව නැතත් ඔහුට සුගති සම්පත අනිවාර්යයෙන් උරුම වේ. ඒ වාගේම සසරේ බොහෝ කල් නොයවා උතුම් අරිහත් භාවයද ඔහු සාක්ෂාත් කර ගනී.

මෛත්‍රී භාවනාව කිරීම ගැන දැක්වෙන විස්තර කියවීමට මෙතනින් Ø


කරණීයමෙත්ත සුත්‍රය

කරණීයමත්ථ කුසලේන  -  මෙත් සිත පැතිරවීමට (ශාන්ත වූ නිවනට) කැමති

යංතං සංතං පදං අභිසමෙච්ච  -  තමාගේ දියුණුව සලසා ගැනීමට කැමති

සක්කෝ උජූ ච සූචූ ච  -  දෙයක් කිරීමේ ශක්තියෙන් යුත්, අවංක හා සෘජු ගති ඇති

සුවචෝ චස්ස මුදු අනතිමානී  -  පහසුවෙන් වැටහෙන, රළු හැසිරීම් නැති හා කිසිඳු මානයක් නැති

සන්තුස්සකෝ ච සුභාරෝ ච  -  ලද දෙයින් සතුටුවන හා පහසුවෙන් පෝෂණය කළ හැකි

අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති  -  කාර්ය බහුල නොවී හා සරල ගතිපැවතුම් ඇති

සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච  -  සන්සුන් ඉඳුරන් ඇති හා නුවණින් යුක්ත

අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ඩධෝ  -  දැඩි අදහස් නැති හා තම පිරිස කෙරේ පමණක් දැඩිව නොඇලුණු

නච ඛුද්දං සමාචරේ කිඤ්චි යේන විඤ්ඤූ පරේ උපවදෙයුං  -  නුවණැත්තන්ගේ දොසට හේතු වන වැරදි නොකරන

සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු  -  සැක, බිය නැති දිවියක් පතන

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා  -  සියලු සත්වයා හට සැප, සතුට පතන

යේ කේචි පාණභූතත්ථි  -  බියටපත් හා තැතිගත් සතුන්ටද

තසා වා ථාවරා වා අනවසේසා  -  කෙළෙසුන් දුරු කළ මහා උතුමන්ටද

දීඝා වා යේ මහන්තා වා  -  දිගු හා මහා සිරුරු ඇති සත්වයෝද

මජ්ඣිමා රස්සකාණුකථූලා  -  මධ්‍යම හා කුඩා සිරුරු ඇති සත්වයෝද

දිට්ඨා වා යේව අද්දිට්ඨා  -  ඇසට පෙනෙන හා ඇසට නොපෙනෙන සත්වයෝද

යේ ච දූරේ වසන්ති අවිදූරේ  -  දුර වෙසෙන හා ළඟ වෙසෙන සත්වයෝද

භූතා වා සම්භවේසී වා  -  ඉපදී ඇති හා ඉපදීමට සිටිනා සත්වයෝද

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා  -  සියලු සත්වයෝ හට සැප හා සතුට පතන්නෙක් ලෙස

නා පරෝ පරං නිකූබ්බේථ  -  කිසිවිටෙකවත් කිසිවෙකුට වංචා නොකර

නාතිමඤ්ඤෙථ කත්ථචි නං කඤ්චි  -  කිසිවිටෙකවත් කිසිවෙකුට අවමන් නොකර

ඛ්‍යාරෝසනා පටිඝ සඤ්ඤා  -  නපුරු වූ දරුණු වූ බස් නොපවසා

නාඤ්ඤ්මඤ්ඤස්ස දුක්ඛමිච්ජේය  -  කිසිවිටෙකත් අන් අයගේ දුකට කැමති නොවේ

මාතා යතා නියං පුත්තං  -  මවක් තම එකම පුතු

ආයුසා ඒකපුත්තමනුරක්ඛේ  -  තම ජීවිතය පුදා හෝ රකින්නේ යම් සේද

ඒවම්පි සබ්බභූතේසු  -  එසේම ලොව සියලු සත්වයන් කෙරෙහි

මානසං භාවයේ අපරිමාණං  -  අප්‍රමාණව මෙත් සිත වඩන්නේ ය

මෙත්තං ච සබ්බලෝකස්මින්  -  ලොව සියලු දෙනා හට

මානසං භාවයේ අපරිමාණං  -  අප්‍රමාණව මෙත් සිත වඩන්නේ ය

උද්ධං අධෝ ච තිරියඤ්ච  -  උඩ යට හරහට යන සෑම දිසාවකටම

අසම්බාධං අවේරං අසපත්තං  -  බාදාවකින් තොරව අවෛරීව මෙත් සිත වඩන්නේ ය

තිට්ඨං චරං නිසින්නෝ වා  -  සිටගෙන සිටිනා විටද ඇවිදින හා හිඳගෙන සිටිනා විටද

සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ  -  නින්දට ගිය විටදී ද, නින්ද යනතුරු ද

එතං සතිං අධිට්ඨෙයය  -  සතියෙන්, සිහියෙන් ජීවත්වේ

බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු  -  භ්‍රහ්ම විහරණයෙන් පසුවේ

දිට්ඨීඤ්ච අනුපගම්ම සීලවා  -  නිවැරදි දැකීමෙන් යුතුව, සීලවන්තව

දස්සනේන සම්පන්නෝ  -  සෝතාපන්න මාර්ගය දක්නා නුවණින් යුතුව

කාමේසු විනෙයය ගෙධං  -  කම්සැපට නොඇලෙන්නාවූ හෙතෙම

නහි ජාතු ගබ්බසෙයන් පුනරේතී’තී  -  ඒකාන්තයෙන්ම නැවත මව් කුසකට නොපැමිණේ

ඒතෙන සච්චේන සුවත්ති හොතු  -  මේ සත්‍යානුභාවයෙන් සෙතක්ම වේවා !

මෛත්‍රී භාවනාව කිරීම ගැන දැක්වෙන විස්තර කියවීමට මෙතනින් Ø