භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Wednesday, June 30, 2021

චතුරාර්ය සත්‍ය හැඳින්වීමක්

පුජ්‍ය ආනන්දසිරි හිමියන්ගේ දේශණයක් ඇසුරින් මේ ලිපිය සකස් කොට ඇත.


දුක ආර්ය/ පරම සත්‍ය - දුක්ඛ ආර්ය සත්‍යය

  ලෝකයේ කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි, බිඳිය නොහැකි හා වෙනස්කර නොහැකි, හේතු සහිතව නැතැ යයි ඔප්පු කර දැක්විය නොහැකි, තවදුරටත් බෙදා වෙන් කර දැක්විය නොහැකි ධර්මතා සඳහා “ආර්ය සත්‍ය” (ආර්ය න්‍යාය) යන වචනය බුදු දහමේ භාවිතා කරයි.  බුදුරජාණන් වහන්සේ බුදුවී ප්‍රථමයෙන් දේශනා කළ සුත්‍රය වන ධම්මචක්කප්පවත්තන සුත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය හතරක් පෙන්වා ඇති අතර එහි පළමු ආර්ය සත්‍ය නම් දුක්ඛ ආර්ය සත්‍යයි. (දුක්ඛ පරම සත්‍ය).

දුක්ඛ ආර්ය සත්‍ය (දුක්ඛ පරම සත්‍ය). ලෝකයේ ජීවත්වන සෑම සත්වයෙක්ම (රහතන් වහන්සේලා හැර) මෙම දුක නමැති ආර්ය සත්‍යයේ ගිලී ජීවත්වේ. එසේ ජීවත් වෙමින් එය හරිහැටි තේරුම් නොගනී. එනමුත් සත්වයා ඒ දුකෙහිම කිමිදෙමින් දුකට පිළිතුරක්, සැනසීමක් සොයයි. ඉපදුන මොහොතේ පටන් මරණය දක්වා ක්‍රියාවලියේ කිසිඳු සැපයක්, සැනසීමක් තිබේද..? එහෙත් අප දුක මගහැර සිටීමට පිළියම් සොයයි. පිළිතුර නැවතත් දුකමය. අවසානයක් නොපෙනෙන දුක් ගොඩකි. බඩගින්න, ලෙඩ වීම, ජරාවට පත්වීම, වයසට යෑම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කායික පීඩා, මානසික පීඩා... මේ ආදී දුක් කන්දකට අප ඉහළ අධ්‍යාපන, නවීණ ඇඳුම්, සුඛෝපභෝගී බඩුභාණ්ඩ, සුවපහසු ආසන, නම්බුනාම, ආවාහ විවාහ.. ආදී විවිධ දේ තුලින් පිළිතුරු සොයයි. පෙර සඳහන්කර ලෙස නැවතත් ප්‍රතිඵලය දුකමය. ආචාර්ය, මහාචාර්ය, පරිවේනාධිපති ආදී තනතුරු වලින් මේ දුකෙහි අඩුවක්නම් වී නොමැත.

ඉපදුන මොහොතේ හුස්ම ගැනීමට අපහසුවෙන්, කුඩාවියේ ඇවිදීමට කතා කිරීමට නොහැකිව, ළමා කාලයේ අධ්‍යාපන ඉලක්ක සපුරාලීම, තරුණවියේ මුදල් ඉපයීම හා විවාහ විම, මහලු වියේ ශාරීරික අපහසුතා වලින්ද, අවසානයේ මරණය ඉදිරියේ දී ද අප අපමණ දුකක් හිමිකර ගන්නෙමු. තිරිසන් සත්වයාද ආහාර, වාසස්ථාන, ආරක්ෂාව හා ලිංගික වුවමනා යන මුලික අවශ්‍යතා නිසා අපමණ වූ දුකකට පත්වේ. එලෙසම තවත් සත්වයෙකුගේ ගොදුරක් වේදැයි බයෙන් නිරතුරවම කල් ගෙවයි. මරණ බයෙන් නිතරම දිවි ගෙවයි.

දුක ගැන අප කතා නොකොට, මෙනෙහි නොකොට සිටිය යුතුයි දුකට ස්ථිරසාර විසඳුමක්, පිළිතුරක් නොමැතිනම් නමුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ මේ දුක නමැති ආර්ය සත්‍ය ලෝක සත්වයාට පෙන්වා දි එයින් එතෙරවීමේ මාර්ගයට එනම් නිර්වාණ මාර්ගයට යොමුකිරීමටය. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් හමුවුනද උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළද අවබෝධකර නොගැනීම සහ අවබෝධ කරගැනීමට උත්සහ නොගැනීම මහත් අවාසනාවකි. නමුත් බෞද්ධ යැයි කියාගන්නා අපද බුදුරජාණන් වහන්සේ ඒ කියාදුන් උතුම් මාර්ගය අතහැර ලෝකයා සමග දුකේ වෙලී ගමන් කරයි. දුකෙහි අයිතිකරුවෝ මෙන්....

සුනඛයා තමා ගැටගසා ඇති ගස වටා පමණක් හැසිරෙමින් ජීවත්වනුයේ ඉන් පිටත ඇති නිදහසේ සිමා මායිමක්වත් නොදැනයි. එලෙස අපද දුක තුළ ජීවත්වනුයේ ඉන් පිටත තිබෙනා නිදහසේ සේයාවක්වත් නොදැනයි. එමනිසා නියම බෞද්ධයා මේ බව ප්‍රඥාවෙන් අවබෝධ කොට ඉන් මිදීමට ශ්‍රද්ධාවෙන්ම තුනුරුවන් සරණ යයි. යා යුතුය.

 

දුකට හේතුවන පරම සත්‍ය - දුක්ඛ සමුදය ආර්ය සත්‍යය

 

දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. චතුරාර්ය සතයේ දෙවැනි ආර්ය සත්‍යයි. දුක්ඛ ආර්ය සත්‍ය ඇතිවීමට හා හටගැනීමට හේතුවන, මූලිකවන ආර්ය සත්‍ය දූක්ඛ සමුදය ආර්ය සත්‍යයි. එනම් දුක ඇතිවීමට හේතුව තණ්හාවයි. සියලු සත්වයාට (නිර්වාණාවබෝධය කළ උතුමන්ට දුකෙන් එතෙව ඇත) දුක හටගැනීමට හේතුවනුයේ තණ්හාවයි.

වෙනත් ජාතිකයෙකු වුවද තම දරුවාහට ඇලී කොපමණ දුකක් ලඟාකර ගන්නවාද කියා ඔබ දැක ඇත. දරුවා ගෙදර ඒමට පමා වුවහොත්, ලෙඩවුනහොත්, මියගියහොත්... නමුත් වෙන දරුවෙකු නිසා එම දුක හටනොගනී. ජාති, ආගම්, කුල භේදයකින් තොරව මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රක්ම, නිර, තිරිසන් ආදී සියලු ලෝක සත්වයාද මෙම තණ්හාව නමැති කඹයෙන් වෙලී ජීවත් වෙයි. එම නිසා බුදුරජාණන් වහන්සේ “තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං..” (තණ්හාව ඇති කළ භය ශෝක උපදී තණ්හාව නැති කළ භය ශෝක නූපදී) යන ගාථාවෙන් දේශනා කළේ මේ හේතුඵල දහමයි. එනම් දුක සහ බය ඇතිවීමට හේතු වනුයේ තෘෂ්ණාවයි. විශ්වයේ සෑම සියලු දෙයක්ම සිදුවනුයේ හේතුඵල දහම මතයි. එසේනම් යමෙක් තෘෂ්ණාව දුරුකළේ ද  ඔහු දුක සහ බය නිතැතින්ම දුරුකලා වෙයි. (හේතු නැති කිරීමෙන් ඵලයද නැතිවේ).

ඔබ සතු තෘෂ්ණාවේ ප්‍රමාණය මත දුකේ ප්‍රමාණයද තීරණයවේ. සදාකාලික දුකින් මිදීමට යමෙකුට අවශ්‍ය නම් ඔහු කළ යුත්තේ සම්පුර්ණ ඇලීමෙන් (තෘෂ්ණාවෙන්) මිදීමයි. ඔබ සතුව ඇති ඇලීම බිංදුවයි නම් දුක හා බයද බිංදුවකි. එනම් ඔබ සිටිනුයේ, අත්විඳිනුයේ පරිපූරණවූ සැනසීමක, සහනයක, නිවනකය.

නිවන් මග වඩනා ශ්‍රාවකයාට “ඔබ ධර්මයද අත්හළ යුතුයැයි” යනුවෙන් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ ධර්මයට තිබෙන බැඳීම ඇලීමද නිවනට බාධාවක් නිසාවෙනි. මක්නිසාදයත් ස්වල්පවූද බැඳීමක් හෝ ඇලීමක් ඇති තැනෙක නිර්වාණය පැවතිය නොහැකි නිසාය.

මේ සියලු දේ අල්ලාගෙන සිටීමට, ආශා කිරීමට, වෙනස් නොවෙනවා යයි හඳුනා ගැනීමට තණ්හාව (ඇලීම) ඇතිකිරීමට මුල්වනුයේ කුමක්ද සත්වයා තුළ ඇති සත්‍ය වටහාගැනීමට නොහැකිවන ස්වභාවයයි. එනම් මෝහයයි (මුලාවයි).

 

නිවන - දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය

 

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. තෙවන ආර්ය න්‍යාය. දුක්ඛ නිරෝධය යනු දුක නැති කර දැමීමයි. දුකේ සදාකාලික අවසානයි. එනම් සත්වයා දුකට පත්කරවන තණ්හාව සහමුලින්ම දුරුකර දැමීමයි. ස්වල්පවූද  තණ්හාවක් නැතිතැනක් වේද එතැන ඇත්තේ සැනසීමකි, සුවයකි. මෙය අප එදිනෙදා ජීවිතයේදී ඇතිවන සුළු සහනය හෝ සැනසීම නොවේ. එය පරිපූරණ වූ නිෂ්ඨාවකි. පරම සැපයකි. එලෙස ලොව පැවතිය හැකි පරම හා එකම සැනසීම, සැපය නිර්වාණයයි. මෙම ආර්ය සත්‍ය විශ්වයේ සෑම මොහොතකම, සෑම තැනකම පවතී. නමුත් තෘෂ්ණාව තුලින් එය වසාගෙන ඇත.

සියල්ල බැඳී, එක්ව පවතීද එතන නැත්තේ නිවනයි. සියලු දේ අත්හළ, දුරුකළ තැන ඇත්තේ නිවනයි. එසේනම් අප නිවීම අතහැර තෘෂ්ණාවේ වෙලෙමින් අනවශ්‍ය දුකක් උරුම කරගෙන ඇත. නමුත් තෘෂ්ණාවෙන් වෙලී අල්ලාගත් දේ සෑම මොහොතකම එකසේ පවතීද..? නැත. නිරතුරුවම අනිත්‍ය, දුක්ඛ, අනාත්මවන දෙයකි. මෙය අවබෝධ කරගන්නා තැනැත්තා තණ්හා කෙලෙස් නසා උතුම් නිර්වාණාවබෝධය කරයි.

 

 

නිවන් මග - දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය. හතරවන ආර්ය සත්‍ය. දුක නිරෝධ කිරීමේ මාර්ග සත්‍යයයි. දුකට හේතුවන, තෘෂ්ණාව නැති කිරීමෙන් ඵලය වන දුක නිමා කොට දැමීමයි. උදාහරණයක් ලෙස ගන්නේ නම් ගසක් වර්ධනයට අවශ්‍ය දේ ලබා  නොදී නැවත නොවැඩෙන ලෙස සම්පුර්ණයෙන්ම ගස විනාශකර දැමීමයි.

ලෝකයේ ආගම් දහසක් වුව තිබිය හැක. නමුත් පැවතිය හැක්කේ එකම හා පරම සත්‍යයි. නිෂ්ඨාවකි. එයනම් නිවනයි. එලෙසම ඒ නිවනට පැමිණීමට, අවබෝධ කරගැනීමට ඇත්තේද එකම මගක් වේ. (දුක නැතිකර දැමීම සඳහා පිළිපැදිය යුතු එකම මාවත) සිදුහත් බෝධිසත්වයෝ සම්බුද්ධත්වයෙන් අනතුරුව සම්පූර්ණ කාලයම කැපකලේ ඒ දහම් මාවත ලෝවැසි සත්වයා හට දේශනා කිරීමටය.