Friday, September 24, 2021

පිදිය යුත්තන් පිදීම - 1

 


    පින්වතුනි, ධර්මශ්‍රවණය කිරීම මේ සාසනයේ උගන්වා වදාළ මහා බලගතුම පින්කමක්. සසරෙන් එතෙර යන්න කෙනෙක් බලාපොරොත්තු වෙනව නම් ඒ අය ධර්මශ්‍රවණය කළ යුතුමයි. ඒ බව අනුග්ගහිත සුත්‍ර දේශණාව, සෝථානුදත සුත්‍ර දේශනාව ආදී දේශනාවලින් බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කළා. අනුග්ගහිත සූත්‍රයේ සඳහන් කරනව මේ සංසාරයෙන් එතෙර යන්න බලාපොරොත්තුවෙන කෙනෙකුට ධර්ම ශ්‍රවනය කිරීම කොහොමද ගැලපෙන්නෙ කියන කාරණාව. මෙතන සඳහන් කරනව යම් පැලයක් හිටවල හොඳට වැඩෙන්න නම්, නිරෝගී වෙන්න නම් එකට හොඳට ජලය අවශ්‍ය වෙනව. ඒ වාගේ තමයි සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ධර්මශ්‍රවණය ගහකට වතුර ලැබීම හා සමානයි කියල. ඒ හින්ද සත්ධර්ම ශ්‍රවණය කිරීම අවශ්‍යමයි. එහෙම සසරින් මිදීම උදෙසා මනාව ධර්මශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන අයට ශ්‍රවනය කරන්න පුළුවන් වෙන විදිහට මේ උතුම් ධර්මය දානය කරනව නම්, ධර්ම පිපාසාවෙන් ඉන්න පිරිසකට ධර්මය ලබල දෙනවනම් ඒක කොයිතරම් මහත්ඵලද. යම් කෙනෙක් ආන් ඒ උදෙසා මේ විදිහට සත්ධර්මය දේශනාවල් සිදුකරවන්නේ නම් ඒ කාරණය හඳුන්වන්නෙත් සත්ධර්ම දානමය පිංකම හැටියටම තමයි. එයින් ලැබෙන කුසලය මෙච්චරයි මෙපමණයි කියල දක්වන්න බැරි බව අපේ භාග්‍යවතුන් වහන්සෙ වරක් සක්‍රදේවේන්ද්‍රයාට පැහැදිලි කරා. “මහරජ එහි ආනිශංස අසීමාන්තිකයි. සියලුම දානයන් අභිභවනය කරන යම් පූජාවක් යම් දානයක් වෙත්නම් ඒ මේ තථාගත ශ්‍රී සත්ධර්ම දානයමයි.” එහෙනම් අද ධර්ම දේශනාවේ දායකත්වය දරණ සත්පුරුෂ දෙමව්පියන් මේ සිදුකරනු ලබන්නේ මේ ලෝක ධාතුවේ සිදුකරන්න තියෙන මහානීය වූත්, ශ්‍රේෂ්ඨතම වූත් එකම දානයම පිංකම. මීට වඩා උසස් වූ දානමය පින්කමක් මේ ලෝකයේ වෙන නෑ. ඒ පිංකම සිදුකරන්නයි මේ සුදානම් වෙන්නෙ. ඒ මහා පිංකම කරන්න සුදානම් වෙන සත්පුරුෂ පින්වතුන්ට ඒ කාරණාව සම්පූර්ණ කරගැනීම උදෙසා අද ධර්ම දෙශාණාව සිදු කරන්න මාතෘකා කරගත්ත ගාථා රත්නයයි මම මුලින් සිහිපත්කරන්න යෙදුනෙ. “අසේවනාච බාලානං පන්ඩිතානංච සේවනා පුජාච පූජනීයානං ඒතංන් මංගල මුත්තමං”. මේ ගාථාවේ අන්තර්ගත වෙන්නෙ මාහාමංගල සූත්‍රයේ. මේ ගාථා රත්නය තුළ මංගල කාරණා කීපයක් පැහැදිලි කරනව. එයින් තුන්වෙනි කාරණාව පූජාච පූජනීයං - පිදිය යුත්තන් පිදීම.  එහෙනම් අද ධර්ම දේශණාවෙදී මෙන්න මේ පිදිය යුත්තන් පිදීම, කියන කාරණාව ටිකක් සාකච්ඡා කරන්නයි කල්පනා කළේ. පිදිය යුත්තෝ කියන කාරණාව මුලින්ම විස්තර කර ගමු. ඔතන මුලින්ම ඉන්නව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේලා. නිර්මල වූ නෛර්යානික ධර්ම රත්නය. ඊට අමතරව ශාක්‍ය පුත්‍රවූ කල්‍යාණ පෘථග්ජන වූ භික්ෂූන් වහන්සේලා. ඒ වගේම අෂ්ඨ ආර්ය පුද්ගල මහා සඟ රත්නය. ගුරුවරු, මව්පියෝ, තවත් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන උත්තම පුද්ගලයන් මේ ලෝකයේ පිදිය යුත්තන් ඝනයට අයත් වෙනව. බුදුරජාණන් වහන්සේ ජීවමාන කයින් අද පෙන්න නැති නිසා චෛත්‍ය,  බෝධිය, පිළිම වහන්සේ අපිට වන්දනා කරන්න භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වැඩ ඉන්නව. ඒ උදෙසා යම් පූජාවක් කරනවද ඒක ජීවමාන භාග්‍යවතුන් වහන්සේට කරන පූජාවක්. ඒ කාරණාවට කරුණු ත්‍රිපිටකය පුරාම තියෙනව. ඊළඟට සඳහන් කරනව මේ පිදිය යුත්තන් අතරේ බුද්ධාදී උත්තමයන් වහන්සේලාට කරන පූජාවම අතිශයින් මහත්ඵලයි. මහානිසංස දායකයි. සිත පහදවා ගෙන ආදර ගෞරවයෙන් යුක්තව බුදුන් උදෙසා කරන්නේ නම් යම් පූජාවක්ද, ඒ පූජාවන්ගේ මහත්ඵල භාවයම අසීමාන්තිකයි. ඒකට එක කාරණාවක් විදිහට අපේ සාසනයේ හිටපූ බුදුන් පිදූ උත්තර කියන මහරහතන් වහන්සෙ සිහිපත් කරන්න පුළුවන්.

උන්වහන්සේ සුමේධ කියන බුදුරජාණන් වහන්සෙගෙ කාලෙ විද්‍යාධාරක් හැටියටයි හිටියෙ. ඒ කියන්නෙ අහසින් යන විද්‍යාධාර කියල කොටසක් ඉන්නව. ඒ ධ්‍යාන තියෙන හින්ද නෙමෙයි. ඒ ඉගෙනගත්ත යම් අධ්‍යාපනයක ප්‍රතිඵලයක්. අහසින් යනකොට මේ විද්‍යාධරය දකිනව බුදුරජාණන් වහන්සේ ගිනි කඳක් වගේ බැබලි පර්වත මුදුනක වැඩ ඉන්නව. ඒ වෙලාවේ ඇති උනේ පුදුමාකාර ශ්‍රද්ධාවක්. ආන් ඒ ශාද්ධාව නිසාම රන් වන පාට වූ කිනිහිරි මල් තුනක් නෙලාගෙන ඇවිත් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ආන් ඒ මල් තුන පූජා කරපු පිනෙන් ඔහු බලාගෙන ඉන්න මොහොතේම ඒ මල් බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් වියනක් වාගේ පිහිටිය. ඒ මොහොතෙ මොහුට ඇතිවුනේ පුදුමාකාර සතුටක්. ඒ සතුට ජීවිතේ පුරාම භුක්ති වින්ඳ. මරුනයින් පස්සෙ ඔහු ගිහින් දෙව්ලොව උප්පත්තිය ලැබුවා. තව්තිසා භවනෙ මේ විද්‍යාධරය වෙනුවෙන් පහළවුණු දිව්‍ය විමානය හඳුන්වන්නෙ මනිකාර විමානය කියල. මේ විමානය ඝන රත්තරන් පාටයි.  යොදුන් හැටදාහක් උසයි. යොදුන් තිස්දාහක් දිගයි. යොදුන් තිස්දාහක් පළලයි. මේ දිව්‍ය පුත්‍රයා විමනෙන් පිටත්වෙලා තමන්ගේ පිරිසත් එක්ක යන හැම තැනකම කිනිහිරිය මල්. උඩ, බිම හැමතැනම කිනිහිරිමල් වලින් සුවඳින් අලංකාරවත් වෙලා යොදුනක් සීයක් පමණ දුරට. ඊළඟට සඳහන් කරනව හැටදහසක් දිව්‍යමය වූ නොයෙකුත් තූර්ය වාදකයෝ, දිව්‍යමය වූ ගීත ගායනා ඔහුට නිරන්තරයෙන්ම ඇහෙනව කියල. මෙහෙම බොහෝ සැප සම්පත් වින්ඳ කියල උත්තර මහා රහතන් වහන්සේගෙ අපධානයෙ, අපධාන පාලියේ සඳහන් වෙනවා. “මම මල් පූජා කළා වූ පිනෙන් පන්සීය වාරක් දිව්‍ය ලෝකේ ඉපදුනා. දිව්‍ය ලෝකේ ඉපදුණේ නිකම්ම පරිවාර දෙවියෙක් හැටියට හිටිය නෙමෙයි දිව්‍ය රාජයෙක් හැටියට. තුන්සිය වරක් මුළු පොළොවටම අධිපති චක්‍රවර්ති රාජ්‍යය හෙබෙව්ව. ඒ විතරක් නෙමෙයි මහත් වූ ප්‍රදේශයන්හි නොයෙක් වාර වල ප්‍රදේශ රාජ සම්පතිතිය ලද වාර ප්‍රමාණයේ සීමාවක් නෑ. තවද සඳහන් කරනවා සුමේධ බුදුන් දවස පටන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වාම කල්ප තිස්දාහක් මුළුල්ලෙහි දිව්‍ය, මනුෂ ලෝක දෙකෙහි සැරිසරා සැප වින්ඳ මිසක් සතර අපායකට ගියේම නෑ කියල. ඊළඟට සඳහන් කරනවා ශරීරය සීතලෙන් උෂ්ණයෙන් මේ ඉපදිච්ච කිසිම කාලෙක මට පීඩාවක් උනේ නැහැ කියල. ශරීරයේ දාහයක් හෝ සිත් තැවිල්ලක් ඇති උනෙත් නැහැ කියල. ඒ තරං මහා පුණ්‍යස්කන්ධයක් අත්පත් කරගන්න බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්නා වූ යම් එක පූජාවකට හැකියාව තිබෙන බව එයින් පැහැදිලි වෙනව. අන් ඒ නිසයි සඳහන් කරන්නෙ බුදුරජාණන් වහන්සේ නම් මොනතරම් ගුණ කඳක්. කොයි තරම් නම් පුණ්‍ය සම්පතක්ද කියල. උන්වහන්සේ උදෙසා යම් එක පූජාවක්ද යමෙක් හරියට ශ්‍රද්ධාවෙන් සිදු කරන්නෙ.. එය සසර සැපය පිනිසම හේතු වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නය, සඟ රත්නය උදෙසා යම් පූජාවක් කරන්න පුළුවන් වෙන කාලෙක මනුස්ස සම්පත්තිය ලබා ගෙන උපදිනවා කියන එක ශ්‍රේෂ්ඨත්වය කොතරම් ද කියල පැහැදිලි කරන්න බැරි මෙවන් වාසනාවන්ත අවස්ථාවන් උදාපත් කරගන්න හැකියාවන් තියෙන නිසා. ඒකයි බුද්ධාන්තරයක ඉපදීමේ තියෙන වටිනාකම. ඒ නිසයි එවන් පූජා හරියටම කරන්නෙ කොහොමද කියන කාරණාව දැනගෙනම කරන්න ඕන.

 එහෙනම් ඔබ මම බුද්ධාන්තරයකම ලබා ගත් උතුම් වූ මේ මනුස්ස ජීවිතයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පූජාවක් කරන්න බැරි කමක් ඇත්තේම නැහැ. නිර්මල ධර්ම රත්නය ලෝක සත්වයා එතෙර කරව කරවා වැඩ ඉන්නවා. ආර්ය සග රත්නය ඕන තරම් වැඩ ඉන්නවා. මාර්ග ඵලලාභී උතුමන් වහන්සේලා ද නැහැ කියල සඳහන් කරන්න බැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කලේ රහතුන් වහන්සේලාගෙන් ලෝකය හිස් වෙන්නෙ නැහැ කියල. මේ ගතවෙන්නෙ භාග්‍යවතුන් වහන්සේගේ තුන්වෙනි දාහ (අවුරුදු). බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා මේ කාලයෙත් වැඩි අනාගාමීන් වහන්සේලා කියල. රහතන් වහන්සේලා නැතුව නෙමේ.. වැඩි අනාගාමින් කියල. ආන් ඒ කාරණාව නිසා කල්‍යාන පෘථග්ජනයන් හිඟත් නැහැ, ආර්ය සඟයා හොයා ගන්න බැරි කමකුත් ඇත්තේම නැහැ.

සමහර කෙනෙක් මේ වැඳීම- පිදීම මෝඩකම්, අඥානකම් කියල සඳහන් කරනවා. මැටි රූපවලට වඳිනව, පුදනවා කියල. මේකට උත්තරයක් අතීත කාලෙන්ම සපයන්නත් පුළුවන්.. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල ධාතු කොටසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තියාගෙන අවුරුදු 7ක් පුද සත්කාර පැවැත්තුව. 7වෙනි අවුරුද්දේ සක්‍රදේවේන්ද්‍රයා උන්වහන්සෙ ලඟට ඇවිත් ධාතු නිදන් කරමුද ඇහුව. ඒ සත් අවුරුද්දක් තිස්සේ ධාතු වලට පුද සත්කාර කරනවට බැනපු මිත්‍යාදෘෂ්ටිකයො හිටිය. බුද්ධ පූජාවට බණින ඔවුන් මැරිලා ගියේ අවීචියටමයි. වෙන නිරයන් තියෙද්දී ගියේ අවීචියටමයි.

0 comments:

Post a Comment