භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Friday, September 10, 2021

කායගතාසති භාවනාව

          කායගතා සතිය යනු අප සාමාන්‍ය ජීවිතයේදී අපේ කය පිළිබඳව ඇති සැලකිල්ල, සොයාබැලීම හෝ රූපය ගැන සිහියෙන් සිටීම නොව ඊට වඩා ප්‍රඥාවෙන්, මනා සතියකින් මේ කයේ  ස්වභාවය විමසා බැලීමයි. නැතිනම් භාවනා අරමුණ ලෙස ගැනීමයි. අප සාමාන්‍යයෙන් මේ ශරීරය දුඟඳ, දහදිය ඇතිවන විට නිතරම පිරිසිදු කරයි. ඇඳුම් මාරු කරයි. සුවඳ විලවුන් ගල්වයි. අසනීප වූ විට වහාම බේත් හේත් කරයි. වයසට යෑම වලකන විධික්‍රම භාවිත කරයි. වෙලාවට ආහාර පානාදිය ලබාදේ. රැක බලා ගනී... නමුත් මේ කිසිවකින්වත් කයේ යතා ස්වභාවය වන වෙනස්වීම, ජරාවට පැමිණීම, ලෙඩවීම වලකාලිය හැකිද.. නැත. නමුත් ඉහත දැක්වූ සාත්තු සප්පායම් අප මේ ශරීරයට කළ යුතුව ඇත. මන්ද පෙර කර්මයෙන්ගේ විපාකයක් නිසා, විඥානය සිඳලූ නොමැති නිසා, උපදින්නට භාවයක් උරුම කරගත් නිසා. උපාදානය කරගත් සියල්ල අතහැර නොමැති නිසා. භවමග නොනැවැත්වූ නිසා ලැබුණු කර්මජ කය නිවන් ලැබ පරිනිර්වාණය දක්වාම හැරදා යා නොහැකි නිසාය. නමුත් එසේ වූවා කියා සත්‍ය පසෙකලා මේ කය වඩන මාවතක ගමන් කිරීමවත්, කය නිසි පරිදි පවත්වා නොගෙන වද දී සිටින ඡෛනයන් සේද සිටිය යුතු නැත. එනම් අන්තයන් දෙකෙන්ම බැහැරව සිටීමයි. බැහැරව, කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මධ්‍යම ප්‍රතිපධාව අනුගමනය කරමින් මේ සිරුර නියමාකාරයෙන් පවතින තත්වය යතා අයුරින්ම සිහියේ තබා ගෙන රැකබලා ගැනීමයි.

 

මේ කයේ යතා ස්වභාවය කෙනෙක් හට පහසුවෙන්ම සිහියට ගැනීමට නොහැක. මන්ද එයට යම් හුරුවක් නොතිබීම හා වෙනස්වීම, ලෙඩවීම, ජරාවීම පිලිබඳ සත්වයාගේ ඇති අකමැත්තයි. මේ නිසා අප සෙමෙන් සෙමෙන් මේ කයේ යතා ස්වභාවය මෙනෙහි කිරීමට යත්න දැරිය යුතුය. පළමුවෙන් වෙන අයෙක්ගේ අතීත කය ස්වභාවය මනසින් මෙනෙහි කර ඔහුගේ දැන් තත්ත්වය හා සසඳා බලා වෙනස්වීම, ලෙඩවීම තේරුම් ගත යුතුය. කෙනෙක් කකුලේ දදයකින් දුක් විඳිද්දී තවෙකෙක් ඇස් ලෙඩින්, සන්ධි වේදනාවෙන්, අංශභාගයෙන්, වකුගඩු අමාරුවෙන්... ආදී ලෙඩවලින් දුකට, ජරාවට පත්වන ආකාරය, කයේ අසාරත්වය, වෙනස්වන ස්වභාවය, පිළිකුල ඇතිකරන බව සිහි කරන්න. කෙමෙන් මෙය තම කය සමගද සසඳා බලන්න. කිසි වෙනසක් නොමැත. මන්ද ලෝක ස්වභාවය සියල්ලන්ටම පොදු, සර්ව සාධාරණ නිසාය. මෙය සමග ගැටෙන්නේ, දුකට පත්වන්නේ සත්‍ය මග හැර මෝහයෙන් අන්ධව කාමාස්වාදයේ සැප දැකීම නිසාය. දැන් ඔබ භාවනාවේදී තම ශරීරයම කමටහනට ගැනීමට හැකියාව ඇතිකරගත යුතුය.

 

        හිස් කබලේ සිට කෙමෙන් කෙමෙන් පතුල දක්වා ද පතුලේ සිට නැවතත් හිස් කබල දක්වාද සිතින් අනුලෝම, පටිලෝම ආකාරයට මෙනෙහි කරන්න. හිසකේ සුදුවනවා, ගැලවී යනවා, ඇස් පෙනීම දුර්වල වෙනවා, දත් යම් දවසක හැලී යනවා ඒ සේම කුඩා කළ තිබූ කිරි දත් දැන් නැත, පොඩි වයසේ සිටියදී තිබූ අතපය, ශක්තිය දැන් වෙනස්වී, හැඩය, බර වෙනස් වී........ කලින් තිබූ ලෙඩ දැන් සුව වී, කලින් නොතිබූ ලෙඩ දැන් ඇතිවී...... මුත්‍රා, අසූචි, කෙල, සැරව, සොටු, කබ, කලාඳුරු... ආදී පිළිකුල් සහගත, දුගඳ හමන දේවල් මේ කයින්ම ජනිත කරනවා... නැවත නැවත ජනිත වෙනවා. ශරීරය වයසට යාමේදී දුර්වර්ණ, රැළිවැටෙන, ශක්තිය ගිලිහුණු තත්වයකට පත්වෙනවා දකින්න.... ඒ වාගේම සිතින්ම මේ ශරීරයේ සම නමැති කවරය ලිහා බල ඇතුලෙ ඇති දෑ මනසිකාරය කරන්න... පිත, වාතය, කුණු ලේ, පිළිකුල් සහගත බඩවැල්, අසූචි, පණුවන්, අස්ථි.... මේවා සත්‍ය වශයෙන්ම ශරීර අභ්‍යන්තරයේ තිබෙන ඒවා නොවේද...? මෙසේ භාහිරිනුත්, අභ්‍යන්තරයෙනුත් නැවත මෙනෙහි කරමින් නැවත භාවනාව, සතිය දියුණු කරන්න. ඒ වාගේම ධර්මයේ පෙන්වාදුන් ශරීර දෙතිස් කුණප කොටස් ලෙසද සිහි කිරීම මැනවි. සතර සතිපට්ඨානයේ දක්වා ඇති මේ කායගතාසතිය වැඩීමෙන් සියලු දෙනාටම උතුම් නිර්වාණාවබෝධය කරගැනීමට හැකිවේවා !

 

        අත්ථි ඉමස්මිං කයේ - සිරුරේ ඇති සියලු කෙස් පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        ලෝමා - සිරුරේ ඇති සියලු රෝම කූපයෝ පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        නඛා - ඇඟිලි අග පිහිටි නියපොතු පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        දන්තා - කටෙහි ඇති දත් පෙළ පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        තචෝ - සිරුර පුරා වැසී ඇති වැස්ම වන සම පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        මංසං - ඇටකටු පුරා වසා ඇති මස්පිඬු පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        නහාරූ - සිරුර පුරා ඇති නහරවැල් පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        අට්ඨී - ශරීරය දරා සිටින ඇටකටු පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        අට්ඨීමිඤ්ජා - ඇට තුළ පිහිටා ඇති ඇටමිදුලු පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        වක්කං - මුත්‍රා පෙරන වකුගඩු පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        හදයං - ලේ පිරී තිබෙන හෘදමාංශය පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        යකනං - අක්මාව පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        කිලෝමකං - හෘදය වකුගඩුව වසා ඇති දළඹුව පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        පිහකං - බඩදිව පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        පප්ඵාසං - පපුමස පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        අන්තං - මහා බඩවැල පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        අන්තගුණං - එයටම බැඳී කුඩා බඩවැල පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        උදරියං - මල්ලක ඇතුලත බඳු වමනය වැනි දිරූ ආහාර හා පණුවන් පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        කරිසං - විවිධ පණුවන් හා දිරවූ ආහාර පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        මත්තලුන්ගං - හිස්කබලේ ලොඳයක් බඳු මොළය පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        පිත්තං - අක්මාව ඇසුරේ ඇති මී තෙල් බඳු වූ පිත පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        සෙම්භං - උගුර පපුව ඇසුරේ ඇති සේම පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        පුබ්බෝ - ලේ පැසවා ඇතිවන්නාවූ සැරව පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        ලෝහිතං - ශරීරය පුරා ගමන් කරන රත් පැහැති ලේ පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        සෙදෝ - තලතෙල් බඳු වූ දහදිය පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        මේදෝ - කහපැහයෙන් යුත් මේදය පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        අස්සු - ඇසින් පිටව ගලයන්නා වූ කඳුළු පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        වසා - සම මත්තේ උණුසුම් කළ ඇතිවන්නාවූ වුරුණු තෙල් පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        ඛේලෝ - මුඛයේ රැඳී තිබෙන කෙල පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        සිංඝානිකා - නාසය ඇසුරේ ඇත්තා වූ සොටු පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        ලසිකා - සන්ධි අතර රැඳී ඇති සඳමිදුලු පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

        මුත්තං - නොයෙක් දෙයින් පෙරී අපද්‍රව්‍යක් වූ මුත්‍රා පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.

 

මෙසේ ඇති දෙතිස්මහා කුණපයන්ගෙන් එකතු වූ සිරුරු පිළිකුලයි, දුගඳයි, අසුභයි. අසාරයි.....