භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Sunday, May 16, 2021

නන්ද මහරහතන් වහන්සේ

කල්ප ලක්ෂයකට පෙර තිලෝගුරු පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දවස හංසවතී නුවර පින්වත් කුල පුත්‍රයෙක් ලෙස නන්ද තෙරුන් වහන්සේ උපත ලැබීය. සත්ධර්මය අසනු රිසි මේ තරුණයා ආරාමයේ සිටියදී දිනක් භාග්‍යවතුන් වහන්සේ එක් භික්ෂු නමක් දක්වමින් උන්වහන්සේට ඉන්ද්‍රීය සංවර භික්ෂුන් අතරින් අග්‍රස්ථානය ලබාදුන් සේක. මෙය දුටු තරුණ කුමරුවාගේ සිතේ තව තවත් ශ්‍රද්ධාව මතුවී “මටත් මෙසේ යම්  බුද්ධ සාසනයක ඉන්ද්‍රීය සංවර භික්ෂුන් අතරින් අගතනතුර දරන්නට ඇත්නම් ” යයි සිතක් ඇතිකරගෙන බුදුපාමොක් මහ සඟන කෙරේ මහා දන් පැන් පුජා පවත්වා බුදුහිමියන්ගේ ශ්‍රී පාද වැඳ නමස්කාර කර “ස්වාමීනි, මා මේ පුණ්‍ය සංස්කාර මහිමයෙන් කිසිඳු ලෞකික දෙව්, මිනිස් සැපතක් ප්‍රාර්ථනා නොකරමි...  ” පවසා තම සිතැඟි උන්වහන්සේ ඉදිරියේ දක්වා සිටියේය. මේ පින්වත් කුමරුවාගේ පැතුම ගෞතම බුදුසසුනේදී මුදුන්පත්වන බව දැකගත් භාග්‍යවතුන් වහන්සේ ඔහුට විවරණ ලබාදෙමින් ආශිර්වාද කළ සේක. මෙසේ අග්‍රශාවක පදවියක් පෙරදැරි කරන් උන්වහන්සේ සසරේ බොහෝ කුසල් දහම් වැඩුහ. මෙසේ පැමිණි අවසාන ආත්මභවයේ සිද්ධාර්ථ කුමරුන්ගේ බාල සහෝදරයා ලෙසත්, සුන්දරී නන්දා කුමරියගේ (ජනපද කල්‍යාණි) සොයුරිය ලෙසත් මහාප්‍රජාපතී ගෝතමියට හා සුදොවුන් මහරජතුමා දෙමාපියන් කරගනිමින් උපත ලැබූ හ. පින්වත් උපතක් නිසාත් සෑම දෙනාගේම සිතේ සතුටක් ඇති කළ නිසාත් මේ කුමරුවාට නන්ද යයි නම් තැබීය. සියලු රාජ සැප සම්පත් මධ්‍යයේ හැදී වැදුණු මේ කුමරුවාගේ නිසි වයස් පුරනය වෙද්දී අභිෂේක මංගල්‍යයත්, ගෙට ගෙවදීමේ මංගල්‍යයත් හා විවාහ මංගල්‍යයත් යන තුන් මංගල්‍යයන්ම එකම දිනයකදී යොදාගෙන තිබුණි. මේ කාමෝඝයෙන්, නන්ද කුමරුවා බේරාගෙන තමන් ලද නිවන් සුවයේම පිහිටුවීමට  මහා කාරුණිකයන් වහන්ස වහාම විසිදහසක මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මාලිගයට වැඩම කළ සේක. වැඩමවා දන් වළඳා කෙටි දහමක් වදාරා සිටිමින් ශ්‍රී පාත්‍රා ධාතුව නන්ද කුමරුවන් අත තබා විහාරයට වැඩි සේක. තම වැඩිමල් සොහොයුරුට මහත් ස්නේහයෙන් පාත්‍රය පිළිගෙන උන්වහන්සේගේ පසුපසින් පසුගමන් කළහ. එවිට මාලිගයේ උඩුමහන්තලයට පැමිණි නන්දා කුමරිය “කුමරුවනි ගිය සැනින් යලි එන්නැයි” පවසමින් මාර්ගය දෙස බලා සිටියාය. නන්ද කුමරුවා මග ගමන් කරමින් බුදුහිමියන් දැන් පාත්‍රය ගනීවි, දැන් ගනීවි යයි සිතා මැලිවූ මුහුණින් සිටියහ. තථාගතයන් වහන්සේ විහාරය වෙතම වැඩම කර නන්දයන් දෙසට හැරී “චක්‍රවර්තී සිහසුනත් හැරදමා මා පැමිණ මහණ වූ කල්හි ඔබ කිමට ගිහිගේ වසනවාද. මහන වන්නට කැමැති දැයි ඇසූ සේක. තම සහෝදර ගෞරවය නිසාම කැලඹුණු සිතින් යුතුව “කැමතියි ස්වාමීණි ” යනුවෙන් පැවසූහ. එසේ නන්ද කුමරුවා පැවිදි බිමට ඇතුළත් විය. මේ නිසා සුදොවුන් රජතුමා හට තම පුත්‍රසමාගමෙන් දෙදෙනාම දුරස් විය. රට භාරගැනීමට අනාගත රාජ කුමාරයෙක් අහිමිවිය. සොවින් යුත් සිතින් තම ගිහි කළ වැඩිමහල් පුතු වන ගෞතම මුනීනද්‍රයන් වහන්සේ වෙත අවුදින් “හිමියනි, පුත්‍ර ස්නේහය ඇති පියෙකුට දරුවකු දුරස්වීම දරාගත නොහැක, එසේ තිබියදී මා නන්ද කුමරුවාගෙන් ඔබ නැති අඩුවද පුරවාගෙන සැනසුනෙමි. එයත් නැතිවූ කළ කෙසේ නම් ඉවසම්ද..?” යනුවෙන් අසා සිටියහ. මේ නිසා මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ “දෙමාපිය සෙවනේ දරුවෙකු, ඒ අයගෙ අවසරය නොමැතිව මහණ කිරීමට නොහැකි” යනුවෙන් වාරණයක් පැනවූ සේක.

මහමෙව්නා වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි


නන්ද තෙරණුවෝ පැවිදි බිමට පැමිණි නමුත් විසිරුණු සිතින්, ගිහි ගේ සිත් ඇතිව, ජනපද කල්‍යාණි ගැන අදහසින් මහණ දහමෙහි උකටලීව වාසය කළේය. ඉතින් සිවුරු හරිමි යයි අදහස් ඇතිව අන් භික්ෂූන්ටද පවසා සිටියහ. මෙය බුදුරජාණන් වහන්සේටද සැලවී “නන්දයන්ට මා වෙත එන්න” යැයි වදාළ සේක. නන්ද හිමියන් පැමිණ කළ භාග්‍යවතින් වහන්සේ “නන්ද, මහණකමෙහි උකටලීව වෙසෙනවාද... සිවුරු හැර ගිහිවෙස් ගැනීමට අදහස් කරන්නෙහිද? ” යනුවෙන් විමසා සිටි සේක. බැගෑපත් සිතින් නන්ද හිමියෝ “හිමියනි, මා හට නිතරම ගිහිගේ ගැන සිත යයි, ජනපද කල්‍යාණියව සිහිවේ... මෙනිසා මහණකම වඩන්නේ කෙලෙසකින්ද..” යනුවෙන් පැවසීය. එවිට බුදුහිමියන් “නන්ද, සුන්දරී නන්දා එතරම් අභිරූපී ද?.. ඈ කොයි වාගේද..” යැයි පිළිවදන් ඇසූ සේක. නන්ද හිමියන් අගේ රූපය සිතින් විමසා, මේ ලෙස ඈ සුන්දරයි, මේ ලෙස ලස්සනයි කියමින් අගේ රූපයේ ගුණ කීහ. එකල්හි “නන්දයෙනි, ඔබ ඇයට වඩා රූපවත් ස්ත්‍රීන් නොදැක්කේද?.. වඩා රුසිරු ලඳුන් දැකීමට රුචි වන්නේද..” ලෙස බුදුරදුන් විමසා සිටි විට කැමතියි කියා සිටියහ. එහෙනම් යමු යැයි පවසා සිටි බුදුහිමියන් වහන්සේ, නන්ද තෙරුන්ගේ අත අල්වාගෙන අහසට පැන බුද්ධ සෘධියෙන් තාවතින්සයට වැඩීමට ගමන් ඇරඹි සේක. මෙසේ ගමන අරඹා දෙව්ලොව රූපශ්‍රීයෙන් අනූන දිව්‍ය අප්සරාවන් පිරිසක්ද පෙන්වා සිටිමින් සුන්දරී නන්දාගේ හා දිව්‍ය අප්සරාවන්ගේ වෙනස දැක බල ගැනුමට සලස්වමින් “නන්දයෙනි, ඔබ දෙවඟනන් ලැබ ගැනුමට කැමතී දැයි ” ඇසූ සේක. අප්සරවන්ගෙන් සිත කුල්මත් වූ නන්ද හිමියෝ එහෙමයි ස්වාමීණි යනුවෙන් පැවසීය. එලෙස අප්සරාවන් ලබා දීමට පොරොන්දු කරවා, සසුනේ සිත අලවා මහණදම් පූරණය කරන්නට නන්ද හිමියෝව, බුදුරජාණන් වහන්සේ එකඟ කරවා ගත සේක.

මෙසේ මහණදමෙහි වාසයෙන් යුතුව සිටි නන්ද තෙරණුවෝ දිනක් බුදුරජාණන් වහන්සේ දරනා සුගත් සිවුරක් ලෙස වූ සිවුරක් දරමින් සිටියේය. මෙය දැක අනෙක් භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වෙත මෙය සැල කර සිටියහ. එකල්හි ගෞතමයන් වහන්සේ නන්ද හිමියෝ අමතා සිදුකළ ක්‍රියාව දෝසයට ලක්කර, ධර්මාවවාද කර සුගත් සිවුරු අරඹයා විනය සික පදයක් පැනවූ සේක. තවත් දිනෙක මේ විලසින්ම මටසිලුටු වටිනා සිවුරක් හැඳ, කයේ සුවඳ තවරා, කැටයමින් යුත් වටිනා පත්‍රයක්ද ඇතිව සිටින නන්ද හිමියෝ අප භාග්‍යවතුන් වහන්සේට හමුවිය. එවිටද භාග්‍යවතුන් වහන්සේ මේ ක්‍රියාවේ දෝස පෙන්වමින් “ගිහිගෙයින් නික්ම මාගේ සසුනේ පැවිදිවූ ඔබට මෙය නොකැපයි. පිණ්ඩපාතයෙන් යැපෙන අපට වටිනා පාත්‍ර නොඅවැසි. පාංශුකූලික භික්ෂූන් වසන සසුනේ වටිනා සිවුරු නොඅවැසි. කයේ යතා ස්වභාවය දකිනා භික්ෂුන් වසන මෙම සසුනේ කයේ පහස පතා සුවඳ, තෙල් තැවරීම නොඅවැසි...” යනුවෙන් අවවාද කර “අරණක වෙසෙන, පිණ්ඩපාතයෙන් පමනක් යැපෙන, කාමයෙන් වෙන්වුණු සිතින් වාසය කරන නන්දන් කෙනෙක් මා කවදා නම් දකින්න දැයි ” පවසා සිටි සේක. මෙයින් සිතේ වීර්ය උපදවා ගත නන්ද තෙරණුවෝ මහණදමෙහි ඇලී නිවනට යොමුවුණු සිතින් වාසය කළේය. දහමේ ඇලී වාසය කරන නන්දයන් වහන්සේ දුටු අනෙත් තෙරණුවෝ “මේ දිව්‍ය අප්සරාවන් ලබාගැනීමට අවැසිව වෙන්නට ඇතැයි ” කතා වුනහ. මෙය කන වැකුණු නන්ද හිමියන් තවතවත් දහමේ ඇලී පිරිසෙන් වෙන්ව උපදවාගත් වීර්යෙන් යුතුව කල් නොයවා අරිහත් භුමිය ස්පර්ශ කලහ. මේ භව දුටු දිව්‍ය පුත්‍රයෙක් භාග්‍යවතු වහන්සේ වෙත එළඹ “ස්වාමීණි, ඔබ වහන්සේගේ සුළු මව්ගේ පුත්, නන්ද වන දෙටු සොයුරා අරිහත්වයට අද සපැමිණියේය” යනුවෙන් ආ කාරණාව සිහි කරමින් වැඳනමස්කාර කර පිටත්ව ගියේය.

ධර්මාවබෝධය කළ නන්ද රහතන් වහන්සේ බුදුරදුන් වෙත වැඩම කර තමා වෙත වූ පොරොන්දුවෙන් උන්වහන්සේ මිදුණු බව මතක් කර සිටියහ. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ “ඔබ යම් මොහොතක ධර්ම මාර්ගයේ අග්‍ර ඵලය ලැබ ගත්තේද ඒ මොහොතේම පොරොන්දුව බිඳී ගියේය” යි වදාළ සේක. මේ අතර එක දිනක් පිරිසෙන් සැකයක් නන්ද රහතන් වහන්සේ කෙරේ ඇතිවිය. ඒ උන්වහන්සේ තවමත් අප්සරාවන් වෙත කැමති සිතින් වාසය කරනවාද.. සිවුරු හැරීමට අදහසින්ද.. යනුවෙනි. මෙවිට උන්වහන්සේ තමාට දැන් එවැනි සිත් නූපදින බව පවසා සිටියහ. මෙය සැකයට ගත් භික්ෂු පිරිස බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ හිමියනි, පෙරදා සිවුරු හැරීමේ සිතින්, අප්සරාවන් ලබා ගැනීමේ සිතින් වාසය කළ නන්ද හිමියෝ අද එසේ නොවන බවට මුසා බස් පවසයි. කිමෙක්ද මෙහි සත්‍යය යනුවෙන් විමසීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “හොඳින් සෙවිලි නොකළ ගෙය වර්ෂාවට තෙමී යන්නේය.. හොඳින් සෙවිලි කළ ගෙය නොතෙමෙන්නේය එලෙසම හොඳින් වැඩු සිත රාගෙන් නොතෙමෙන්නේය. එලෙසින්ම රාගය ප්‍රහීන කළ නන්ද හිමියෝ කිසිඳු ඇලීමකින් හෝ ගැටීමකින් වාසය නොකරන්නේය” යැයි වදාළ සේක. තවත් දිනෙක් භික්ෂු පිරිස “මේ නන්ද හිමියන්ව බුදුරජාණන් වහන්සේ දහමට ගත සැටි පුදුම සහගතයි. අත්භූතයි. දිව්‍යාංගනාවන් දෙන පොරොන්දුවෙන් ශාසනයෙහි හික්මවූවා කදිමයි” යනුවෙන් කතාවෙහි යෙදෙද්දී ධර්ම මණ්ඩපයට සපැමිණි බුදුරජාණෝ කිමෙක්ද මේ ධර්ම කතාව යැයි අසා “මහණෙනි, අද පමණක් නොවේ මම පෙරද මේ නන්දයන් හරි මගෙහි හික්මවූහ” යනුවෙන් වදාරමින් අතීත කතාව සැල කර සිටි සේක.

ඒ පෙර භවයේ භාග්‍යවතුන් වහන්සේ කප්පට වෙළෙන්දා ලෙසිනුත්, නන්ද හිමියන් ශක්තිමත් කොටළුවා ලෙසිනුත් උපත ලැබ සිටියහ. මේ වෙළෙන්ඳා දිනක් මේ මහා බර ගෙනියන කොටලුවාද සමග වෙනදා මෙන් වෙළඳාමෙහි යෙදීමට නගරයට පැමිණීය. පැමිණ විඩා නිවා ගැනීමට වෙළෙන්දා කොටළුවා ලිහා දැමූ විට එහෙ මෙහේ සැරිසරමින් සිටි මේ සත්වයා නාඹර කොටලු දෙනක් දැක ඉපදුණු රාග සිතින් කොටලු දෙනා හා යහළු විය. වෙළඳාම අවසානයේ තම ස්වාමියා පැමිණ යෑමට අඬගැසුවත් කොටළුවා නොකැමතිව, නොදන්නා නගරයේ උවදුරක් ගැනවත් නොසලකා එහිම විසීමට තීරණය කරේය. නමුත් ඥානයෙන් හෙබි අප මහා බෝසතාණෝ වෙනත් ශක්තිමත් හා රුවකින් යුත් බැටළු දෙනක් දෙන්නම්ය කියා නැවත කොටලුවාවත් රැගෙන ගමට ගියේය. එදා නන්දයෝ ශක්තිමත් කොටළුවා බවද, නගරයේ සිටි කොටලු දෙන ජනපද කල්‍යාණි බවද, කප්පට නමැති ඥානවත් වෙළෙන්දා තමා බවද පෙර අපර භව ගලපමින් අතීත කතාව වදාළ සේක.

මෙසේ භව කතරේ පාරමී පුරණය කරමින් නන්ද මහරහතන් වහන්සේ ප්‍රාර්ථනා කරන් ආ ලෙසම දිනක් සංඟයා මධ්‍යයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු දෙනා අමතා “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ඉන්ද්‍රියේසු ගුත්තද්වාරානං යදිදං නන්දෝ ” ය යනුවෙන් මහරහත් උන්වහන්සේට ඉන්ද්‍රිය සංවර භික්ෂුන් අතරින් අග්‍රතනතුර පිදූ සේක.