මෙතෙක් කළ දේ අවසන්ය
තායිලන්තයේ මෝසම් වැසි සමය ජූලි සිට ඔක්තෝම්බර්
දක්වා පවතී. ඒ කාලය තුළ භික්ෂූහු සියලු ගමන් බිමන් නතර කර, ධර්මය හැදෑරීමෙහිත්,
භාවනාවෙහිත් නිරත වෙති. මේ වස්සාන කාලයයි.වසර කීපයකට පෙර දකුණු තායිලන්තයේ සුප්‍රකට
විහාරාධිපති තෙරුන් වහන්සේ නමක් සිය වනගත ආශ්‍රමයේ, ධර්ම ශාලාවක් ඉදිකරමින්
සිටියේය. වස්සාන කාලය උදා වූ විට උන්වහන්සේ එහි සියලු වැඩ කටයුතු නතර කළේය. එය ආශ්‍රමය
තුළ පූර්ණ නිශ්ශබ්දතාව පවත්වා ගතයුතු කාලයයි.
දින කීපයකට පසු එහි පැමණි අමුත්තෙක්, අර්ධ වශයෙන්
ඉදිකරන ලද ධර්ම ශාලාව දැක ඒ කටයුතු කෙදිනක අවසන් වේ දැයි උන්වහන්සේගෙන් ඇසීය.
“ශාලාවේ වැඩ අවසන්”. කිසි පැකිලීමකින් තොරව
උන්වහන්සේ පැවසූහ.
“වැඩ අවසන්..? මොනවද ඔබ වහන්සේ පවසන්නේ..? මේකට
වහලක් නැහැ. දොර ජනෙල් නැහැ. ලී කැබලි, හිස් සිමෙන්ති බෑග් හැම තැනම. ඔබවහන්සේට
පිස්සුද..?”
“මෙතෙක් කළ වැඩ කටයුතු අවසන්.” සිනාමුසුව පැවසූ
උන්වහන්සේ, භාවනා කිරීම සඳහා ඉවත්ව ගියහ.
වස්සාන කාලය සන්සුන්ව ගත කිරීමටත්, විවේකයක්
ගැනීමටත් සුදුසු එකම ක්‍රමය මෙයයි. එසේ නැත්තම් අපේ වැඩ කටයුතු කිසි දිනක අවසන්
නොවනු ඇත.
කෙබඳු ගැටළු ඇතත් සැනසීම ලබාගත
හැකිය
පර්ත් නගරයේ දී එක් සිකුරාදාවක විශාල පිරිසකට මා මීට
පෙර සඳහන් කළ කතන්දරය පැවසීමි. ඊට පසු එළඹුණු ඉරිදා, කෝපාවිෂ්ට තාත්තා කෙනෙක් මා
හමුවට පැමිණ මට දොස් පැවරීය. ඔහු ගැටවර වියේ පුතා සමග එදා මගේ අනුශාසනාව සවන් ඩීමට
පැමිණ තිබිණි.
“පුතා, ගෙදර වැඩ අවසද..? කියල මම පුතාගෙන් ඇසුවා. දන්නවා ද එයා දුන්
පිළිතුර..?
“ඩඩි, අචාන් බ්‍රක්ම හිමියන් ඊයේ රෑ පන්සලේදී අපට
කිව්වෙ මෙතෙක් කළ වැඩ අවසන් කියල නේ. මම යනව සෙල්ලම් කරන්න.”
ඔස්ට්‍රේලියාවේ බොහෝ අයට ගෙවත්තක් තිබුනත් ඉන් සිතට
ශාන්තියක් ලබා ගන්නා සැටි දන්නේ ටික දෙනෙකු පමණය. වැඩි දෙනෙකුට ගෙවත්ත යනු තවත්
කාර්ය බහුල ස්ථානයකි. එබැවින් මැද වෙලාවක් වැඩ කර එහි සුන්දරත්වය පෝෂණය කරන ලෙසත්,
වැඩි වෙලාවක් එහි සන්සුන්ව හිඳගෙන, ස්වාභාවික සුන්දරත්වය අත්විඳිමින්, සිය හදවත් පෝෂණය
කර ගන්නා ලෙසත්, ගෙවත්තක් ඇති අය දිරිමත් කරවමි.
එය කදිම අදහසක් යි සිතන ගෙහිමියෙක්, පළමුව සුළු වැඩ
පසෙකට දමා ගෙවත්තට වී මද වෙලාවක් සන්සුන්ව සිටි. ඒ කුමක් වුවත් එහි තණකොළ කැපිය
යුතුව තිබේ. මල් පඳුරු කප්පාදු කළ යුතුය. පරඬල් අතුගා දැමිය යුතුය. ඇත්ත වශයෙන්ම ඒ
සුළු වැඩ සඳහා ඔවුන්ගේ විවේක කාලය මුළුමනින්ම ගතවේ. ඒ වැඩ කිසි විටෙක අවසන් නොවන
බැවින් මිනිත්තු කීපයක්වත් සැනසීමක් නැත. (අපේ සංස්කෘතිය අනුව, ‘සමාදානයේ සැතපෙන’
එකම පුද්ගලයා සිටින්නේ කනත්තේය.)
තවත් ගෙහිමියෙක් රේක්ක, වතුර බාල්දි ආදිය ඉවත දමා
ගෙවත්තට වී සඟරාවක් කියවමින් සිටි. එහෙත් ඔහු කරන්නේ සඟරාව රස විඳීම මිස ඔහුගේ
ගෙවත්තේ ඇති ශාන්ත බව රස විඳීම නොවේ.
තෙවැනි ගෙහිමියා, ගෙවතු වගාවට යොදා ගන්නා සියලු
උපකරණ ද, සඟරා, පුවත්පත් ගුවන්විදුලි යන්ත්‍ර ආදිය ද ඉවත දමා ගෙවත්තට වී සුළු
වෙලාවක් සන්සුන්ව සිටි. එවිට තමන් කළ යුතු නොයෙක් වැඩ ඔහුට සිහිපත් වේ.
“අර පිට්ටනියේ තණකොළ කැපීම කළ යුතුයි. අර පඳුරු
ඉක්මනට කප්පාදු කළ යුතුයි, මල් ගස්වලට වතුර වත් නොකළොත් ඒවා දවස් දෙක තුනකින් මැරිලා යාවි, වත්තේ
අර මුල්ලට ගාර්ඩ්නියා පඳුරක් හොඳට ගලපෙනවා.”
එබඳු සිතුවිලි වලින් ආස්වාදයක් ලැබුණත්, ඔහුගේ සිතට
ශාන්තිය ඇත නොවේ.
සිව්වැනි ගෙහිමියා බුද්දිමත් ය. ඔහු මෙසේ කල්පනා
කරයි.
මම දැන් වැඩ කළා හොඳටම ඇති. මගේ මහන්සියේ ප්‍රතිඵල
මා අත්විඳිය යුතුයි. ගෙවත්තේ වැඩ කොපමණ තිබුනත් මා විවේක ගත යුතුයි.”
එසේ ගෙවත්ත සර්ව සම්පුර්ණ නොවුනත් එහි සුන්දරත්වය
අත්විඳීමට අවශ්‍ය බුද්ධිය ඔහුට තිබේ.
ඇත්ත වශයෙන් ඉතිරි වී ඇති වැඩ ගැන නොව මෙතෙක් කරන ලද
වැඩ ගැන අවධානය යොමු කළොත් ඒවා අවසන් බව අපට වැටහෙනු ඇත. එහෙත් ඒ වැඩවල දෝෂ ගැනත්
කළ යුතු වැඩ ගැනත් සම්පූර්ණ අවධානය යොමු කලොත් අපට කිසි විටෙක සැනසීමක් ඇත නොවේ.
බුද්ධිමත් ගෙහිමියා ගෙවත්තේ අඩුපාඩු රැසක් ඇතත් මද
වේලාවක ශාන්තියක් අත්විඳි. ඔහු කල්පනා කිරීමෙන් සැලසුම් කිරීමෙන් සහ තමන් අතින්
වරදක් සිදු වී ඇතැයි පසුතැවිලි වීමකින් තොරව ඒ කාලය සුවසේ ගෙවයි. අප කාටත් එබඳු
ශාන්තියක් අවශ්‍යය. දිවි රැක දෙන ඒ වැදගත් ව්වේකයෙන් පසු අපට යලිත් ගෙවත්තේ වැඩ
කටයුතුවල නිරත විය හැකිය.
අපේ ගෙවත්ත තුළ දී ශාන්තිය ලබා ගන්නා සැටි දැන ගත
විට කුමන තැනක දී කුමන අවස්ථාවක දී වුවත් අපට ශාන්තිය ලබා ගත හැකය. විශේෂයෙන් අපේ
සිත නමැති ගෙවත්ත කෙතරම් ව්‍යාකූල වුවත් කළ යුතු තවත් බොහෝ දේ ඇතත්, ශාන්තිය ලබා ගන්නා
සැටි අපට අවබෝධ වනු ඇත.
හොඳ ලිපියක්
ReplyDeleteස්තූතියි. තෙරුවන් සරණයි!
Delete