Thursday, May 26, 2022

ප්‍රසිද්ධ දේශනා පැවැත්වීමට ඇති බිය

 


විශාල පිරිසක් ඉදිරියේ කතා කිරීමට සිදු වීම ඉතා උග්‍ර බියක් බව මා අසා තිබේ. විහාරස්ථාන වල දී, සම්මන්ත්‍රණ වල දී,  මංගල හා අවමංගල උත්සව වල දී, පිරිසක් ඉදිරියේ කතා කිරීමට මට නිතර සිදු වේ.

එක් අවස්ථාවක ප්‍රසිද්ධ දේශනයකට මිනිත්තු පහකට පෙර, මම බියෙන් මුසපත් වීමි. ඒ සඳහා මා කිසි ම සුදානමක් වී නො තිබිණි. තුන්සීයක පමණ පිරිසක් ශාලාවේ අසුන් ගෙන සිටියහ. මගේ දේශනයට සවන් දීම සඳහා ඒ සන්ධ්‍යාවට නියමිත කටයුතු ඔවුන් අතපසු කර තිබිණි.

“කුමක් කිව යුතු දැයි මට සිතා ගන්නට බැරි වුණොත් ? මා වැරදි අදහසක් පැවසුවොත්...” ආදී වශයෙන් තනිව ම කල්පනා කළෙමි.

සියලු ම බිය ආරම්භ වන්නේ, ඉදිරියට කුමන විනාශයක් සිදු වේ දැයි කල්පනා කරන විට ය. මා අනාගතය ගැන සිතුවේ සෘණ ආකල්පයකින් යුතුව ය. මා ආඥාදායකයෙකු බව වැටහිණි. මා සියලු ම සිද්ධාන්ත දැන සිටියත් පලක් නොවීය. බිය අඛණ්ඩව මා වටා කැරකිණි. ඒ සන්ධ්‍යාවේ මම එක්තරා උපක්‍රමයක් අනුගමනය කළෙමි. එමගින් මාගේ බිය තුරන් විය. විහිළු කතා පැවසීමට මම තීරණය කළෙමි.

දැන් මා දේශනයක් පවත්වන හැම විට ම විහිළු කතා කියමින්, මම ද ආස්වාදයක් ලබමි. පිරිස සමග මම ද සිනාසෙමි.

වරක් සිංගප්පූරුවේ දී මා පැවැත්වූ ගුවන් විදුලි දේශනයකට, අනාගත මුදල් භාවිතය පිළිබඳව අචාන් චා හිමියන්ගේ අනාවැකියක් ද ඇතුළත් කළෙමි.

“යම් දිනක, මුදල් නෝට්ටු තැනීමට අවශ්‍ය ලොව ඇති සියලු කඩදාසි ද, කාසි තැනීමට අවශ්‍ය ලෝහ වර්ග ද අවසන් වනු ඇත. ඒ නිසා එදිනෙදා ගනුදෙනු සඳහා වෙනත් ආදේශකයක් සොයා ගැනීමට මිනිසුන්ට සිදු වනු ඇත. මුදල් වශයෙන් ඔවුන්, කුකුල් බෙටිවලින් සෑදු ගුලි භාවිත කරනු ඇත. එවිට මිනිසුන් ගමන් බිමන් යන්නේ සාක්කු, කුකුල් බෙටිවලින් පුරවා ගෙනය. බැංකු කුකුල් බෙටිවලින් පිරී යන අතර ඒවා සොරා ගැනීමට කොල්ලකරුවෝ තැත් කරති. තමන් සතු කුකුල් බෙටි ප්‍රමාණය ගැන ධනවත්තු උඩඟු වෙති. ලොතරැයියකින් කුකුල් බෙටි විශාල ප්‍රමාණයක් දිනා ගැනීමට දුප්පත්තු සිහින මවති. රට තුළ කුකුල් බෙටි තත්වය පිළිබඳව රජය දැඩි අවධානය යොමු කරයි. ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය තරම් කුකුල් බෙටි ප්‍රමාණයක් රජය සතුව ඇති විට පමණක්, පාරිසරික හා සාමාජික ප්‍රශ්න ගැන සලකා බැලිය හැකි ය.”

මුදල් නෝට්ටු, කාසි සහ කුකුල් බෙටි අතර කිසි වෙනසක් නැත. ඒ කතන්දරය පැවසීමෙන් මෙම ආස්වාදය ලදිමි. එය අපේ වත්මන් සංස්කෘතිය පිළිබඳව වැදගත් ප්‍රකාශයක් විය. සිංගප්පූරු වැසියෝ ආශාවෙන් ඊට සවන් දුන්හ.

ප්‍රසිද්ධ දේශනයක් පවත්වන විට ලැබීමටත් ඔබ තීරණය කළොත්, සැහැල්ලුවෙන් ඒ කාර්යය කළ හැකිය. එක වර බිය වීමත්, විනෝද වීමත් මනෝවිද්‍යාත්මක වශයෙන් අපහසු ය. මා සැහැල්ලුවෙන් සිටින විට, දේශනය අතරතුර මගෙ සිතට අදහස් නිදහසේ ගලා එන අතර ඒවා චතුර ලෙස මගේ මුවින් පිට වේ. එපමණක් නොව, විනෝදයක් ඇති විට දේශනය නීරස නොවේ.

දේශනයක් අතරතුර සභාව සිනා ගැන්වීමේ ඇති වැදගත්කම, ටිබෙට් ජාතික භික්ෂුවක් මෙසේ විස්තර කරයි.

“සිනාසීමට මුව විවර කළ විට, ප්‍රඥාව නැමැති බෙහෙත් පෙත්ත එතුළට විසි කළ හැකිය.”

මම කිසි විටක මගේ දේශනවලට කලින් සුදානම් නො වෙමි. ඒ වෙනුවෙන් මා කරන්නේ, මගේ හදවත සහ සිත සුදානම් කර ගැනීමය. දේශනයක් සඳහා කිසි විටක සුදානම් නොවන ලෙස තායිලන්තයේ භික්ෂූහු පුහුණු කරනු ලබති. ඔවුන් පුහුණු වන්නේ කලින් දැන්වීමකින් තොරව ඕනෑම වෙලාවක දේශනයක් පැවැත්වීමට සුදානම්ව සිටීමටය.

ඊසාන දිග තායිලන්තයේ දෙවනුව වඩාත් වැදගත් බෞද්ධ ආගමික උත්සවය නම් නවම් පූජාව ය. මා ඒ දිනවල සිටියේ අචාන් චා හිමියන්ගේ වට් පා පොන් නැමැති ආශ්‍රමයේ ය. භික්ෂූහු දෙසීයක් පමණ ද ගිහි පිරිස දහස් ගණනක් ද එහි වූහ. ඒ මාගේ පැවිදි ජීවිතයේ පස්වැනි වර්ෂය විය.

සංධා වන්දනාමාන වලින් පසු ප්‍රධාන අනුශාසනාව සඳහා අවස්ථාව උදාවිය. එබඳු ප්‍රධාන අවස්ථාවක දී අනුශාසනාව පවත්වන්නේ, සාමාන්‍යයෙන් අචාන් චා හිමියන් වුවත්, ඒ හැම විට ම නොවේ. ඇතැම් විට එතුමා භික්ෂූන් පේළිය දෙස විමසිල්ලෙන් බලා ගෙන යයි. එතුමාගේ බැල්ම ඔබ වෙත නතර වුණොත්. ඒ කාර්යය ඔබ මත පැටවේ. එහි සිටි සෙසු භික්ෂූන් හා සසඳ විට මා ළාබාල භික්ෂුවක වුවත්, එතුමා කුමක් කරාවි දැයි කිසි විටක නිශ්චිතව කිව නොහැකි විය.

එතුමා භික්ෂූන් පේළිය විමසන විට ඒ බැල්ම මා පසුකර ගිය විට සැනසුම් සුසුමක් හෙළීමි. එතුමා යළිත් ඒ පේළිය විමසන විට බැල්ම නතර වූයේ මා ළඟය.

“බ්‍රහ්ම, අනුශාසනාව පවත්වන්න” එතුමා අණ කළේය. කිසි ම සුදානමකින් තොරව ඒ විශාල පිරිස ඉදිරියේ, තායි බසින් අනුශාසනාවක් පැවැත්වීමට මට සිදු විය. වඩා වැදගත් වූයේ අනුශාසනාව සාර්ථක හෝ අසාර්ථක වීම නොව මා කෙසේ හෝ එය පැවැත්වීම ය.

මගේ අනුශාසනාව යහපත් හෝ අයහපත් වීම පිළිබඳව එතුමා කිසි විටක සඳහන් කලේ නැත. වරක් ආගමික පුද පූජා සඳහා ආශ්‍රමයට රැස්ව සිටි ගිහි පිරිසට තායි බසින් ධර්මානුශාසනාවක් පවත්වන ලෙස, දක්ෂ බටහිර භික්ෂුවකට එතුමා පැවසීය. පැයකට පසු එය අවසන් කිරීමට භික්ෂුව සැරසුණු විට තවත් පැයකින් එය දීර්ඝ කරන ලෙස එතුමා අණ කළේය. එය අසීරු කාර්යයක් වුවත්, භික්ෂුව ඊට එකඟ විය. දෙවැනි පැයෙන් පසුව පසුවද තවත් පැයක් දීර්ඝ කිරීමට අණ ලැබිණි. බටහිර භික්ෂුවගේ තායි භාෂා දැනුම සීමිත ය. ගිහි පිරිසට එය නීරස වුවත් කළ හැකි අන් කිසිවක් නොවීය.

තෙවැනි පැයෙන් පසුව ද එබඳු ම අණක් ලැබිණි. පැය සතරකින් පසු ධර්මානුශාසනාව අවසන් විය. එබඳු අත්දැකීමකින් සභාවේ ප්‍රතිචාරයේ ගැඹුරට ම කිමිදුණු විට, පිරිසක් ඉදිරියේ කතා කිරීමට තව දුරටත් බියක් නො දැනෙන බව ඒ භික්ෂුව පැවසීය.

අචාන් චා හිමියන් විසින් අප පුහුණු කරන ලද්දේ එලෙස ය.




0 comments:

Post a Comment