Saturday, September 25, 2021

බක්කුල මහරහතන් වහන්සේ

ගෞතම බුදු සසුනේ ආශ්චර්යමත් මහරහත් ජීවිත කතා අතරින් බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතයද සුවිශේෂී එකකි. උන්වහන්සේ කිසි දිනෙක ආහාරපාන හැරුණු කොට ඖෂධ යයි කියනා කිසිවක් ලබාගෙන නොමැත. ඒ පමණක් නොව උන්වහන්සේ කිසිකලෙක ලෙඩවීද නොමැත. පුරා අවුරුදු එකසිය හැටක් ආයු වැළඳූ උන්වහන්සේ එක දිනකවත් හෙම්බිරිස්සාවකින් හෝ පීඩා විඳ නොමැත.

අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට සමයේ බක්කුල හිමියෝ බ්‍රාහ්මණයෙක්ව උපත ලබා සිටියේය. බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා පැවිදි වූ මේ  බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ හට බෙහෙත් පූජාවක් කරගැනීමටද අවස්තාව ලැබිණි. මෙසේ අනෝමදස්සී බුදුන් දවස මහා පුන්‍යකර්ම සිදුකර සුගති සම්පත් ලබා පදුමුත්තර බුදුන් දවසද මනුලොව ඉපදී ඒ ලෙසම කුසල් මාර්ගයේ ගියේය. විපස්සී බුදුහිමියන් දවසද මනුලොව ඉපද ගිහි ජීවිතයෙන් බැහැර වී හිමාල අඩවියේ තපස් රකිමින් කාලයක් ජීවත් විය. ඒ සමයේද භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සඟ පිරිසකට බෙහෙත් ආදිය පූජා කරමින් උතුම් පිංකම් කරගත්තේය. එලෙසම කාශ්‍යප බුද්ධ සාසනය පහළ වූ කළද යහමගෙහි යෙදුනි. ඒ ලැබූ සියලු කුසලානුභාව බලයද එකතුවෙන් ගෞතම බුදුන් පහළ වන සමයේ දඹදිව එක් දන්වත් සිටුකුලයක උපත ලැබීය.

මේ කුමාරයා උපත ලැබූ දින සිට නිවසට බොහෝ ලාබ සම්පත් ලැබෙන්නට විය. ඒ නිසා දෙමව්පියන් මේ පින්වත් දරුවා දීර්ඝායුෂ ලැබීම සඳහා එම කාලයේ කළ පිළිවෙතක් අනුගමනය කිරීමට සැරසිණි. එය නම් යමුනා නදියේ ජලයෙන් දරුවා නෑවීමයි. නාවන මොහොතේ අත් වැරදීමකින් දරුවා වතුරට වැටී විශාල මාළුවෙකුට ගොදුරු විය. නමුත් දරුවාගේ පුණ්‍ය තේජස නිසා ඒ මාළුවා වෙන ගම් පිරිසකගේ මාළු දැලකට හසුවිණි. මේ විසාල මාළුවා මිලදී ගත් ගම් සිටුවරයෙක් එය ගෙනත් බිරිඳට දුන්නේය. ඇය මාළුවා කපා සුද්ද කිරීමට සැරසෙද්දී නිරුපද්‍රිත දරුවා හමුවිණි. භාරකාරයෙක් නොමැති නිසා රජු හමුවට දරුවා ගෙන ගිය දෙදෙනාට දරුවා ඇති දැඩි කරන්නට රජතුමා අවසර දුනි. සිටුපවුලට දරවන්ද නොමැති නිසා දෙදෙනා එයට කැමති විය. මෙසේ කාලයක් ගිය පසු දරුවා බිහිකළ දෙමව්පියන් හට මේ ආරංචිය දැනගන්නට ලැබී ඔවුන් පැමිණ දරුවා ඉල්ලා සිටියහ. ඇතිදැඩි කළ සිටුපවුල මෙයට අකමැති විය. ඒ නිසා මේ ගැටළුව විසඳා ගැනීමට දෙපිරිසම රටේ රජු හමුවට ගියහ. රජුගේ තීරණය මත දරුවා බිහි කළ දෙමව්පියන්ටත්, දරුවා ඇතිදැඩි කළ දෙමව්පියන්ටත් සමසමව අයිතිය තීන්දු විනි. තීන්දුවට අනුව කලක් දරුවා බිහිකළ ගෙදරත්, තවත් කලක් දරුවා බේරාගත් ගෙදරත් යන දෙතැනම සුවසේ ඇතිදැඩි වන්නට විය. ඒ නිසා දරුවාට කුල දෙකකින් යුත් යන අර්ථය ඇති බක්කුල යන නම භාවිතා විය. මහත් සැප සම්පත් විඳිමින් සිටි මොහුට අසූවයස් එළඹී කළ බුදුරජාණන් වහන්සේ දේශණා කළ ශ්‍රී සත් ධර්මය ශ්‍රවණය කරන්නට ලැබිනි. සාසනයට ඇලුණු සිතින් යුතුව මේ පින්වත් පුද්ගලයා සියලු සැප සම්පත් හැර දමා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් අති උතුම් පැවිද්ද ලබා ගත්තේය. උන්වහන්සේ පැවිදි කර අවසන් වීමටත් ප්‍රථම පළමු ධ්‍යානය උපදවාගෙන් වාසය කළහ. ඒ එලෙස පැවිදිව සත් දිනක් පමණක් ගොස් උතුම් අරහත් භාවය ලබා ගැනීමට තරම්ද උන්වහන්සේ පින්වන්ත විය.

දිනක් උන්වහන්සේගේ ගිහිකල හිතවතෙක් වූ අචේල කස්සප නම් නිරුවත් තවුසා පැමිණ සැපදුක් විමසා සිටියේය. මේ කාලය වන විට උන්වහන්සේ ගිහිකල අවුරුදු අසූවකුත්, පැවිදි වී අවුරුදු අසූවකුත් ගත කළ සිටියේය. එනම් උන්වහන්සේ ගතකල සම්පූරණ වර්ෂ ප්‍රමාණය අවුරුදු එකසීය හැටකි. ඒ උන්වහන්සේ පිරිණිවන් පෑමට ආසන්න කාලය විය. කස්සප තවුසා කතාබස් කරමින් සිටියදී “ඔබ මේ අසූ වයස් පැවිදි ජීවිතයේ කාමහි කී වතාවක් යෙදී තිබෙනවාද? ” යැයි උන්වහන්සේගෙන් විමසා සිටියේය. එවිට උන්වහන්සේ “ඔබ අසූ ප්‍රශ්නය වැරදි... ඇසීය යුත්තේ කී වතාවක් මා හට කාම සංඥාව ඇතිවී ඇත්තයි ලෙසයි” යැයි කියමින් එයට පිළිතුරු ලෙස “මා හට ශ්‍රමණ දිවියේ එකඳු කාම සංඥාවක්වත් ඇතිවී නැතැයි” කියා සිටියේය. ඒ වාගේම කස්සප බමුණා උන්වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්න පෙලක් අසද්දී තම දිවියේ සුවිශේෂී අද්භූත ලක්ෂණ බොහෝ ගණනක් දක්වමින් ඒවාට පිළිතුරු ලෙස ලබා දුන්හ. එයින් කීපයකි මේ -

මගේ පැවිදි අසූ වයස තුළ ගිහියෙක් දුන් කිසිඳු සිවුරක් පිළිගත් බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ ඉඳිකටුවකින් සිවුරක් මැසූ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ සිවුර පඬුවලින් පඬු පෙවූ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ ආරාධනා කළ දානයක් භාරගෙන නොමැත.

මගේ පැවිදි අසූ වයස තුළ ගෙයක් ඇතුළකට ගිය බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ කාන්තාවකට සතර පද ගාථාවකින් හෝ දහම් දෙසූ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ සාමනේර හිමියෙකුට ලවා හෝ උපස්ථානය කරගත් බවක් මතක නැත.

මගේ මුළු ජීවිතය තුළම සුළු මොහොතක් හෝ අසනීප වූ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ කිසිවෙක් පවිදිකළ බවක් මතක නැත.

මගේ පැවිදි අසූ වයස තුළ ඇඳක පිට හාන්සිකර බවක් හෝ නිදාගත් බවක් මතක නැත.

මේ ආදී වශයෙන් උන්වහන්සේගේ දිවියේ සියලු සුවිශේෂී අද්භූත කාරණා විස්තර කරගෙන යද්දී සියල්ල අසාගෙන සිටි අචේල කස්සප තව්සා ඒවා අනුමෝදන් විය. ඒ වාගේම ඔහු දහම කෙරේ පැහැදී උන්වහන්සේගෙන් තමාද මහණ කරන ලෙස ඉල්ලා සිටියේය. නමුත් උන්වහන්සේ කස්සපව පැවිදි නොකළහ. ඒ උන්වහන්සේ සතු අද්භූත ලක්ෂණ හේතුවෙනි. ඔහු බුදුහිමියන් සමීපයට ගොස් මහණ වීර්ය වඩා නොබෝ කලකින්ම බක්කුල මහරහතන් වහන්සේ සේ ඒ උතුම් නිවණ සාක්ෂාත් කළේය. එසේ උතුම් හුදකලාවේ වාසය කළ බක්කුල හිමියෝ දිනක් තම ආයුෂය අවසන් බව දැන සියලු සඟ පිරිස අමතා තමා පිරිනිවන් පාන බව උන්වහන්සේලාට පවසා සිටියහ. එසේ පවසා තමා ගිහි කලාවත්, පැවිදි කලාවත් කිසිවෙකුට භාදාවක්, හිරිහැරයක් නොවූ බව පවසා තම පිරිනිවීමද එසේ ම සිදුවීමට අදිටන් කර ගනිමින් අහසට නැග ඵලක් බැඳ තේජෝ කසිනයට වැදී පිරිනිවීය. ඒ මොහොතේ උන්වහන්සේගේ අධිෂ්ඨානය පරිදි සිරුරින් ගිණි ජාලාවක් පැන නැගී දැවී ගොස් පහනක් නිවී යන පරිද්දෙන් භික්ෂු සඟයා මධ්‍යයේ නිවී ගියේය. නමුත් සත්වයාට හට කරුණාවෙන් උන්වහන්සේ ධාතු පමණක් ඉතිරි කර අපට වන්දනාමාන කරගෙන පින් රැස් කරගැනීමට ඉඩ සලසා දුන්හ.

0 comments:

Post a Comment