Friday, March 25, 2022

කෘතගුණ සැලකීම, ප්‍රේම බන්ධන


කෘතගුණ සැලකීම

 

වසර කීපයකට පෙර, සිංගප්පුරුවේ පැවති මංගල උත්සවයකින් පසු මනාලියගේ පියා බෑණා පසෙකට කැඳවා, විවාහය දිගු කලක් සතුටින් ගත කරන ආකාරය පිළිබඳව උපදෙසක් දුන්නේය.

“ඔබ සමහර විට මගේ දුවට හුඟාක් ආදරය කරනවා ඇති කියලා මට හිතෙනවා”

“ඔව් ඇත්තටම” තරුණයා සුසුමක් හෙළීය.

“ඔබ සමහර විට සිතනවා ඇති ඇය, මේ ලෝකයේ සිටින වඩාත් ම ප්‍රියමනාප තරුණිය කියල.”

“එයා හැම අතින්ම සර්ව සම්පූරණයි.” තරුණයා මිමිණීය.

“විවාහ වෙන කොට එහෙම තමයි. නමුත් අවුරුදු කීපයකට පසු මගේ දුවගේ අඩුපාඩු වැරදි ඔයාට පේන්න පටන් ගන්නවා. ඔබ මේක මතක තියා ගත යුතුයි. එයාගෙ අඩුපාඩු නො තිබුනා නම් එයා කසාද බඳින්නේ ඔබට වඩා හුඟක් හොඳ කෙනෙක්.”

ඒ නිසා, අපේ සහකරුගේ හෝ සහකාරියගේ අඩුපාඩු හා වැරදි පිලිබදව අප හැම විටම කෘතඥ විය යුතු ය. මුල සිට ම එබඳු අඩුපාඩු නොතිබුණා නම් අපට වඩා උසස් කෙනෙකු සමග විවාහ වීමට ඔහුට හෝ ඇයට හැකි වනු ඇත.

 

ප්‍රේම බන්ධන

අප ප්‍රේමයෙන් බැඳී සිටින විට, අපට පෙනෙන්නේ සහකරුගේ, සහකාරියගේ යහපත් ගුණාංග පමණි. අප දකින්නට කැමති එපමණකි. පසුව, දික්කසාද නඩුවක් ගොනු කිරීම සඳහා නීතීඥයකු වෙත යන විට අපට පෙනෙන්නේ, සහකරුගේ / සහකාරියගේ අඩුපාඩු පැමිණි. යහපත් ගුණාංග අපට නො පෙනේ. ඒවා දැකීමට අප අකමැති ය.

මන්දාලෝකය ඇති සමාජ ශාලාවක දී හෝ සඳ පහන් රැයක දී හෝ පෙම් සබඳතා ආරම්භ වන්නේ මන්ද? ඇගේ මුහුණේ කුරුලෑ ද, ඔහුගේ බොරු දත්ද ඔවුනොවුන්ට නො පෙනෙන බැවිනි. ඒ වාගේම මන්දාලෝකක් ඇති විට, ඉදිරියෙහි හින්දා ගෙන සිටින තරුණිය සුරූපී නිරූපිකාවක් වශයෙන් ද තරුණයා සිනමා නළුවෙකුට සමාන යයි ද සිතේ මවා ගැනීමට නිදහස තිබේ. එසේ සිතේ මවා ගැනීමට අප ආශා කරන අතර අප මවා ගන්නේ ප්‍රේමයයි.

ඊසාන දිග තායිලන්තයේ භික්ෂුවක වශයෙන් මා ගත කළ ප්‍රථම වර්ෂයේ දී මම කාරයකින් ගමන් කරමින් සිටියෙමි. තවත් බටහිට භික්ෂුන් දෙදෙනෙකු සමග මා පසුපස අසුනේ හිඳ ගෙන සිටි අතර ඉදිරි අසුනෙහි වූයේ අචාන් චා හිමියන් ය. හදිසියේ ම පසුපස අසුනට නෙත් යොමු කළ එතුමා මා අසළ සිටි ඇමෙරිකානු භික්ෂුව දෙස බලා තායි බසින් යමක් පවසීය. තායි බස මැනෙවින් දැන සිටි අනෙක් භික්ෂුව ඒ ප්‍රකාශය ඉංග්‍රීසි බසට පරිවර්තනය කළේය.

“ඔබ ලොස් ඇන්ජලිස් නුවර සිටින, ඔබේ පෙම්වතිය ගැන කල්පනා කරන බව එතුමා පවසනවා”

සාමණේර භික්ෂුව මවිතයට පත් විය. එතුමා නිවැරදි ලෙස ඔහුගේ සිතුවිලි තේරුම් ගෙන තිබිණි.

“දුක් වෙන්න  එපා. අපි ඒ ගැන පිළිවෙලක් යොදමු. ඔබේ ඊළඟ ලිපියේ දී එයාට දන්වා යවන්න, එයා ගැන මතක් වෙන්න මොනවා හරි පෞද්ගලික දෙයක් එවන්න කියල”

“ස්වාමීනි, එහෙම කරන්න භික්ෂූන්ට අවසර ලැබෙනවා ද?”

“සත්තකින්ම”

අචාන් චා හිමියන් ඊළඟට පැවසූ වචන පරිවර්තනය කිරීමට මද වෙලාවක් ගත වූයේ පරිවර්තක භික්ෂුවට සිනාව නතර කර ගත නොහැකි වූ නිසා ය.

“එතුමා කියනවා, අසූචි බෝතලයක් එවන ලෙස, ඒ පෙම්වතියට දන්වා යවන්න ලූ. එතකොට එයා මතක් වේවි ලූ.



0 comments:

Post a Comment