Monday, August 8, 2022

වස්සාන කාලය

 


බොහෝ විට අපගේ කෝපයට හේතුව බලාපොරොත්තු බිඳ වැටීම ය. අප බෙහෙවින් කැප වන කිසියම් ව්‍යාපෘතියක් අපට අවශ්‍ය පරිදි සාර්ථක නොවන විට, අප කුපිත වන්නෙමු. ඒ සියලු ම අවශ්‍යතා අනාගත අපේක්ෂා බවට පත් වන අතර, අනාගතය අවිනිශ්චිත බව අපට දැන් වැටහී තිබේ. අනාගතය ගැන පමණට වඩා බලාපොරොත්තු තැබීම, කරදරවලට අත වැනීමකි.

මා හඳුනන බටහිර බෞද්ධයෙක්, ඈත පෙරදිග රටක දී පැවිදි විය. දැඩි විනයක් පවතින කඳුකර භාවනා ආශ්‍රමයකට ඒ භික්ෂුව සම්බන්ධ විය. හැම වසරක ම, දින හැටක භාවනා වාරයක් එහි පැවැතිවිණි. දුර්වල සිත් ඇති අයට ඔරොත්තු නො දෙන තරමට එය ඉතා දුෂ්කර විය. පෙරවරු 3.00 ට පිබිද, පෙරවරු 3.10 වන විට එරමිණියා ගොතා ගෙන භාවනාව ආරම්භ කළ යුතු විය. හිඳ ගෙන මිනිත්තු පහනක් භාවනා කර, ඒ සමගම මිනිත්තු දහයක් සක්මන් භාවනාවක් වශයෙන් දිගින් දිගට දවස පුරාම භාවනා කිරීමට සැලසුම් කර තිබිණි. ඒ ස්ථානයේ ඒ ඉරියව්වෙන් ම ආහාර අනුභව කළ අතර කතාබස් කිරීමට අවසර නො ලැබිණි. රෑ නින්දට අවසර ලැබුණේ පස්වරු 10.00තය. එහෙත් නිදා ගත යුතු වූයේ භාවනා ශාලාව තුළ තමන් භාවනා කළ ස්ථානයේ ම ය. පෙරවරු 3.00ට පිබිදීම අනිවාර්ය නොවීය. අවශ්‍ය නම්, ඊට කලින් පිබිදීමට අවසර තිබිණි. එහෙත් ඊට පසු නොවේ. එකම විවේකය ලැබුණේ බිය දනවන නායක භික්ෂුව සමග පවතී දෛනික සම්මුඛ පරීක්ෂණය සඳහා ය. ඊට අමතරව වැසිකිළි යාමට ද සුළු විවේකයක් ලැබිණි.

තෙදිනකට පසු බටහිර භික්ෂුවගේ දෙපාවල ද, පිටකොන්දෙහි ද තියුණු වේදනාවක් දැනිණි. බටහිර ජාතිකයකු වශයෙන් එබඳු අපහසු ඉරියව්වකින් එපමණ වේලාවක් සිටීමට ඔහු පුරුදුව සිටියේ නැත. තවත් සති අටක කාලයක්, ඒ දුෂ්කර භාවනාව සඳහා ඉතිරිව තිබිණි.

පළමු සතියෙ අවසානය වන විට වේදනාව තවත් උග්‍ර විය. දින දහයක භාවනාවක යෙදුණු අය, එය කෙතරම් වේදනාත්මක දැයි දනිති.

එහෙත් මේ භික්ෂුව, දැඩි සිත් ඇති පුද්ගලයෙක් විය. තමන් සතු සියලු අධිෂ්ඨාන ශක්තිය ඒකරාශී කරගත් ඔහු, මොහොතින් මොහොත ඒ වේදනාව විඳ දරා ගත්තේ ය. එහෙත් ප්‍රථම දෙසතිය අවසන් වන විට, ඔහුට එය එපා වන තත්ත්වයට පැමිණ තිබිණි. වේදනාව දරා ගත නොහැකි තරම් විය. බුදු දහමේ සඳහන් මධ්‍යම ප්‍රතිපදාවට එය පටහැණි බව කල්පනා කළේ ය.

ආසියානු භික්ෂූන් එය විඳ දරා ගත් අන්දමට දුටු විට, තමන් ගැන ඇති වූ ලැජ්ජාව නිසා තවත් දෙසතියක් ඉවසා සිටීමට ඔහුට හැකි විය. එකම සහනය වූයේ පස්වරු 10.00 ට පීඩාවට පත් ශරීරය දිග හැර වැතිරීමට අවස්ථාවක් ලැබීමය.

තිස්වන දිනය අවසානයේ, බලාපොරොත්තුවේ ආලෝකය ඈත දිලිසෙනු පෙනිණි. එහෙත් දවස් වඩා දීර්ඝ වන බව දැනුණු අතර, වේදනාව ද වඩා උග්‍ර විය. ඔහු කෙසේ හෝ අඛණ්ඩව භාවනාවෙහි නිරත විය. පැණිවල ඇලුණු කුඹියෙකු මෙන් කාලය ගාටන බවක් ඔහුට දැනිණි. ඒ වන විට වේදනාව විඳ දරා ගැනීමට ඔහු පුරුදුව සිටියත් එය කිසි සේත් පහසු නො වීය. ඒ අවස්ථාවේ භාවනාව අත් හැර දැමීම එතෙක් කළ ඉවසීමට කරන අසාධාරණයක් බව ඔහු කල්පනා කළේය. තමන් මියගියත්, අවසානය දක්වා භාවනාව දිගට ම කරන බවට රෑ කාලයේ දී ඔහු අදිටන් කර ගත්තේ ය.

හැට වැනි දිනයෙහි පෙරවරු 3.00ත ඔහු පිබිදුණේ ය. එදින දැනුණු වේදනාව, ඇදහිය නොහැකි තරම් විය. එතෙක් සමච්චල් කල වේදනාව සැබෑ ප්‍රහාරයකට සැරසෙන බව පෙනිණි. කෙසේ හෝ අවසන් මිනිත්තු පනහ උදාවිය. තවත් පැයකට පසු භාවනාව අවසන් වූ විට දීර්ඝ වෙලාවක් උණු වතුරෙන් ස්නානය කිරීම, නිදහසේ ආහාර අනුභව කිරීම, පිළිසඳර කථා ආදී කටයුතු රැසක් ඔහු සිතේ මවා ගත්තේ ය. බිත්ති ඔරලෝසුව දෙස බැලීමට ඔහු දෙනෙත් මදක් විවර කළේය. එය සෙමෙන් ගමන් කරන බව ඔහුට දැනිණි. අන්තිම මිනිත්තු පහන, කල්ප පනහකට සමාන විය. අන්තිමේ දී භාවනාවේ අවසානය හඟවමින් සීනුව නාද විය.

ප්‍රීතිය ගත පුරා පැතිර ගොස් වේදනාව යටපත් විය. ඔහු භාවනාව අවසන් කර තිබිණි.

හැම දෙනාගේ අවධානය ලබා ගැනීම සඳහා නායක භික්ෂුව යළිත් සීනුව නාද කලේ ය. නිවේදනයක් කිරීමට එතුමාට අවශ්‍ය විය.

“මේක විශේෂ භාවනා වාරයක් වූ බව කිව යුතුයි. බොහෝ භික්ෂූන් විශාල දියුණුවක් ලබා තිබෙනවා. මේ භාවනාව තවත් දෙසතියක් දීර්ඝ කරන ලෙස ඔවුන් මට යෝජනා කළා. මෙය විශිෂ්ට අදහසක් බව මම හිතනවා. ඒ අනුව භාවනාව දීර්ඝ කළා. දැන් යළිත් හිඳ ගන්න”

සියලුම භික්ෂූහු එරමිණිය ගොතා ගෙන හිඳ ගත්හ. තමන්ට තවදුරටත් වේදනා නො දැනුණු බව බටහිර භික්ෂුව පැවසීය. ඒ යෝජනාව කළ භික්ෂූන් කවුරුන් දැයි සිතා ගැනීමට ඔහු වෑයම් කළේ ය. හටගත් දැඩි කෝපය නිසා ඔවුන්ගෙන් පලි ගැනීමට ඔහු සිතූ උපක්‍රම, භික්ෂුවකට කිසි සේත් යෝග්‍ය නොවීය.

කෝපය මගින් සියලු වේදනා මකා දමන ලදී. ඊට ඔඑර කිසි විටක එතරම් දරුණු ලෙස ඔහු කෝප නො තිබිණි. ඒ අවස්ථාවේ සීනුව යළිත් නාද විය. නායක භික්ෂුව පිරිස ඇමතීය.

“භාවනාව අවසානයි. දාන ශාලාවේ ඔබ සඳහා කෑම බීම සූදානම්ව තිබෙනවා දැන් කතා බස් කළාට කමක් නැහැ”.

බටහිර භික්ෂුව මහත් අවුලකට පත් විය.

“මම හිතුවෙ, තවත් දෙසතියක් අපි භාවනා කරනවා කියලා. ඇයි ඒක නතර කළේ ? ”

ඉංග්‍රීසි භාෂාව කථා කළ ජ්‍යෙෂ්ඨ භික්ෂුවක් ඔහු අමතා මෙසේ පැවසී ය.

“දුක් වෙන්න එපා. අපේ නායකතුමා හැම අවුරුද්දෙ ම මේ වැඩේ කරනවා”.




0 comments:

Post a Comment