Thursday, September 22, 2022

කැරලි මර්දන ක්‍රම


 

අප වැරදි දිසාවට යන විට, බොහෝ ගැටලුවලට විසඳුම් ඇති බව අපට නො පෙනේ. මීට ඉහත කතාන්දරයේ යාත්‍රාවේ ඇන්ජිම අලුත්වැඩියා කරන ලද අතර තරුණයෝ දෙදෙනා ගජ මිතුරන් බවට පත් වූහ. මුහුදු ගමනෙහි ඉතිරි කොටස ඉතා විනෝදාත්මක විය.

මිනිසුන් වඩාත් සුහදව ජීවත් වීමට පටන් ගෙන ඇති බැවින්, අපේ ගැටලුවලට විසඳුම් සොයා ගත යුතුව තිබේ. අපට පලා යාමට අන් තැනක් නැත. තවදුරටත් දරුණු ගැටුම් ඇති වීමට අපට කිසි සේත් ඉඩ දිය නොහැකි ය.

, 1975 දශකයේ මැද භාගය විය. දරුණු අර්බුදයකට එබඳු විසඳුමක් ලබා දුන් රජයක් පිළිබඳ අත්දැකීමක් මට තිබේ. එය ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් තර්ජනයක් විය.

1975 වර්ෂයේ සුළු කාලයක් ඇතුළත දකුණු වියට්නාමය, ලාඕසය සහ කාම්බෝජය යන රටවල් කොමියුනිස්ට් කැරලිකරුවන්ගේ ආධිපත්‍යට නතු විය. ඊළඟට තායිලන්තයට ද ඒ ඉරණම අත් වනු ඇතැයි බටහිර බලවතුන් අනාවැකි පැවසූහ. එකල මම ඊසාන දිග තායිලන්තයේ තරුණ භික්ෂුවක් වීමි. අපේ ආශ්‍රමය උතුරු වියට්නාමයේ හැනෝයි නගරයට ඉතා ආසන්න විය. අපේ තානාපති කාර්යාල වෙත ලියා පදිංචි වීමට අපට දන්වන අතර අප තායිලන්තයෙන් ඉවත් කිරීමේ සැලසුම් සූදානම් කරන ලදි. බටහිර බලවතුන් විස්මයට පත් කරමින්, තායිලන්තය කොමියුනිස්ට් ආධිපත්‍යයට නතු වූයේ නැත, ඒ වන විට අචාන් චා හිමියන් ඉතා ප්‍රකටව සිටි අතර හමුදා ජනරාල්වරු ද, ජාතික රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද, උපදෙස් ලබා ගැනීම සඳහා එතුමාගේ ආශ්‍රමයට ගියහ. මා තායි සහ ලාඕස බාෂා මැනවින් දැන සිටි බැවින් තත්ත්වයේ බැරෑරුම් බව පිළිබඳ ගැඹුරු අවබෝධයක් මට ලබා ගත හැකි විය. හමුදාවට සහ රජයට වඩාත් බරපතල ගැටුම වූයේ, දේශ සීමාවෙන් පිටත රැඳී සිටි ‘රතු හමුදා නොව රට තුල ම සිටි කොමියුනිස්ට් කැරලිකරුවන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ය. අත්‍යන්තර තායි කොමියුනිස්ට් ගරිල්ලා හමුදාවකට සහාය දැක්වීම සඳහා සරසවි සිසුන් රැසක් ඊසාන දිග තායිලන්තයේ වනාන්තරයට පලා ගොස් සිටි අතර ඔවුන්ට අවි ආයුධ සැපයීමත්, පුහුණු කිරීමත් සුදු වූයේ දේශ සීමාවෙන් ඔබ්බෙහිය. ඒ ප්‍රදේශයේ ගම්වලින් ඔවුන්ට ආහාර සහ වෙනත් අවශ්‍යතා සපයන ලදී. ඔවුහූ භයානක තර්ජනයක් බවට පත්ව සිටියහ. එය විසඳීමට රජය අනුගමනය කළ උපාය මාර්ගය අදියර තුනකින් සමනිවියත විය.

01.සංයමය :-

කොමියුනිස්ට් කැරලිකරුවන් ගැවසුණු ස්ථාන, මැනවින් දැන සිටියත් හමුදාව ඔවුන් ආක්‍රමණය කලේ නැත. හුදකලා භාවනාවට උචිත ස්ථාන සොයමින් මා කඳුවලත්, වනාන්තර වලත් සැරිසරන කාලයේ මුර සංචාරයේ යෙදුණු සෙබළුන් හමු වූ විට, ඔවුහූ මට අවවාද කළහ. කොමියුනිස්ට් කැරලි කරුවන්

 

ගැවසෙන කඳුකරයට නො යන ලෙස දැන්වූහ.

ඒ දිනවල වනාන්තරයේ භාවනා කරමින් සිටි භික්ෂූන් කීප දෙනෙකු අල්ලා ගත් කැරලිකරුවන්, වදහිංසා පමුණුවා මරා දැමූ බව මට දැන ගන්නට ලැබුණි.

 

02.සමාව දීම :-

මේ බිහිසුණු කාල පරිච්ඡේදය පුරා කොන්දේසි විරහිත පොදු සමාවක් ප්‍රකාශ කර තිබිණි. ත්‍රස්තවාදී ක්‍රියා අත් හැර දැමීමට කිසි යම් කරලිකරුවෙකුට අවශ්‍ය වූ හැම විටම ආයුධ බිම දමා තම ගමට හෝ විශ්ව විද්‍යාලයට ආපසු යා හැකි විය. දැඩි පරීක්ෂණ වලට මුහුණ දීමට සිදු වුවත් දඬුවම් දීමක් සිදු නො වීය.

 

03.මූලික ගැටලුව විසඳීම :-

මේ කාලය තුල නව මහාමාර්ග ඉදි වුනු අතර පැරණි මාර්ග රැසක් අලුත් වැඩියා කරන ලදි. එමගින් තම ගොවි නිෂ්පාදන විකිණීම සඳහා නගරයට ගෙන යාම, ගැමි ජනතාවට පහසු කරුණක් විය. කුඩා ජලාශ සිය ගණනක් සහ ඊට සම්බන්ධ වාරිමාර්ග ව්‍යාපාරයක් ඉදිකරන ලද අතර රජතුමා ඒ කටයුතු පෞද්ගලිකව පරීක්ෂා කළේය. ඒ නිසා වර්ෂයකට තවත් කන්නයක් වී වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සැලසිණි. ඉතා දුර බැහැර ගම්මානවලට විදුලි බලය සපයන ලදි. හැම ගමකටම පාසලක් සහ වෛද්‍ය සායනයක් ලැබිණි. ගැමි ජනතාව සාපේක්ෂ වශයෙන් සමෘධිමත් වූහ.

මුර සංචාරයේ යෙදෙමින් සිටි තායි සෙබළෙක් වරක් මා සමග මෙසේ පැවසී ය.

“කොමියුනිස්ට් කැරලිකරුවන් මරා දමන්නට අපට අවශ්‍ය නෑ. ඔවුන් අපේ ම තායි වැසියන්. කඳුකරයේ සිට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඔවුන් ගමට යන විට අපට හමු වෙනවා. ඔවුන් කවුරුන්ද කියා අප දන්නවා. මගේ අලුත් ඔරලෝසුව ඔවුන්ට පෙන්වනවා. මගේ කුඩා ගුවන් විදුලි යන්ත්‍රයෙන් ගීතයකට සවන් දෙන්න ඔවුන්ට ඉඩ දෙනවා. එවිට කොමියුනිස්ට්වරුන් වීම ඔවුන් අත් හැර දමනවා”.


අනෙක් සෙබළුන්ගේ අත්දැකීම් ද ඊට සමාන විය.

 තායි කොමියුනිස්ට්වරුන් සිය කැරැල්ල ආරම්භ කලේ රජය කෙරෙහි දැඩි කෝපයෙනි. සිය තරුණ ජීවිත පූජා කිරීමට ඔවුහූ සූදානම් ව සිටියහ. එහෙත් තම කෝපය වඩා උග්‍ර වීම වළක්වා ගැනීමට, රජය දැක්වූ සංයමය ඔවුන්ට පිහිට විය. පොදු සමා කාලය මගින් සුරක්ෂිත ව නම්බුකාර ලෙස ඒ කටයුතු වලින් ඉවත් වීමට අවස්ථාව සැලසිණි. සංවර්ධනය මගින් ගැටළු විසඳීම නිසා ගැමි ජනතාව සමෘධිමත් වූහ. කැරලිකරුවන්ට තවදුරටත් සහාය දැක්වීමේ අවස්ථාවක් නැති බව ගැමියන්ට වැටහිණි. ඒ වන විට පැවති රජය කෙරෙහි ජනතාව තෘප්තිමත් වූහ. ඒ අතර කලාවෙන් වැසුණු වනාන්තරවල අපමණ දුක් ගැහැට විඳිමින් ගමන් කරමින් සිටි කටයුතුවල අරමුණු පිළිබඳව කොමියුනිස්ට්වරු විසින් ම සැක කිරීමට පටන් ගත්හ.

 කැරලිකරුවෝ එකිනෙකා ආයුධ බිම දමා, තම පවුල් වෙත හෝ විශ්ව විද්‍යාලය වෙත ආපසු ගියහ. 1980 වර්ෂයේ මුල් කාලය වන විට කිසිම කැරලිකරුවෙකු ඉතිරි වී නො සිටි අතර ‘කැලෑ හමුදාවේ ජනරාල්වරුද, කොමියුනිස්ට් නායකයෝද, හමුදාවට බාර වූහ. කැරලිකරුවන් විසූ ගල් ගුහා සංචාරක ආකර්ෂණයක් වී ඇති බව බැංකොක් පොස්ට් නම් පුවත්පතෙහි විශේෂාංග ලිපියක සඳහන් ව තිබිණි.

 කැරලි නායකයින්ට කුමක් සිදු වී ද? කොන්දේසි විරහිත පොදු සමාවක් ඔවුන්ට ද දිය හැකි ද? ඔවුන්ට දඬුවම් දීමක් හෝ රටින් පිටුවහල් කිරීමක් හෝ සිදු නො වූ අතර ඒ වෙනුවට ඔවුන්ගේ නායකත්ව ලක්ෂණ ද පොදු ජනතාව කෙරෙහි ඇති දයාව ද අගය කිරීමක් වශයෙන් රජයේ වැදගත් තනතුරු ඔවුන්ට පිරිනමන ලදී. එබඳු ශූර වීර  සේවයකට කැපවුණු තරුණ සම්පත අපතේ යවන්නේ මන්ද?

 මෙය එකල ඊසාන දිග තායිලන්තයේ සිදු ගැමියන්ගෙන් මට අසන්නට ලැබුණු සත්‍ය කතාවකි. එසේම මගේ ඇස් දෙකින් දුටු සිදු වීමකි.

2 comments:

  1. බොහොම පිං බොහොම ස්තුති🥰🤩😍🙏

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම පින්. තෙරුවන් සරණයි

      Delete